Sunday, July 3, 2011

බල්ලෝ...............



කලින් පොස්ට් එකේ කිවනේ මේ පාර වෙනස් පොස්ට් එකක් ලියනවා කියල. ඉතින් වෙනසකට එක්ක ලියන්න හිතුනා බල්ලෝ ගැන.  බල්ලෝ මතක් වෙන්න එක හේතුවක් නම් අපේ ලංකාප්‍රිය අයියා ලියපු  බලු කතාව. අනිත් හේතුව නම් පොඩි කාලේ ඉඳං මාත් බල්ලන් ඇති කරාට දැන් ඒ සඳහා අවස්ථාවක් නොමැති වීමේ ශෝකය හා  නිතරම බලු වැඩ ගැන අපේ අය කතා කිරීම......  බල්ලා යනු ක්ෂීරපායී සිව්පා සතෙකි. පුරාතණයේ සිට මිනිසාගේ සමිපතම මිතුරෙකි. එම නිසා බල්ලන් ගැන කතා කිරීමට එක පොස්ට් එකක් ප්‍රමාණවත් නොවේවි කියා මම සිතමි.

බල්ලන් යැයි ගත් කල නානාප්‍රකාර බල්ලන් ඇත. බල්ලන් නොයෙකුත් අරමුණු වලින් ඇති කරයි. රාජකාරිය අනුව, දක්ෂතා අනුව, කරන වැඩ අනුව, පෙනුම අනුව බල්ලන් විවිධාකාරයෙන් බෙදාවෙන් කරයි.  දඩ බල්ලන්, මුර බල්ලන්, හුරතල් බල්ලන්, වංසක්කාර  බල්ලන්, වල් බල්ලන්. දඩාවතේ යන බල්ලන් ආදී නොයෙකුත් බල්ලන් සිටී.  ඊට අමතරව බල්ලන්ගේ වංසය අනුවත් බල්ලන් බෙදා ඇත. හැබැයි ඒ බෙදිල්ලත් මිනිස්සුන්ගේ බෙදිල්ලක් මිස බල්ලන් බෙදා ගත් බෙදිල්ලක් නම් නොවෙයි. මට නම් බල්ලා කිවහම කොයි එකත් බල්ලෙක්ය. ඒත් වංසක්කාර බල්ලන් මිනිස්සුන්ට වඩා සැපෙන් කල් ගෙවයි. මිනිසුන්ගේ  වංසය කොච්චර හොඳ උනත් අතමිට නැති දාට සිද්ධ වෙන්නේ ඒ වංසය කබල් ගාන්නටයි. නමුත් බල්ලන්ට එහෙම නැත. එහෙම බැලුවහම දුප්පත් වී වංසක්කාර පවුලක මිනිහෙක් ඉපදෙනවාට වඩා වංසක්කාර බල්ලෙක් වී ඉපදීම සැපකි. ළඟදී දවසක ඇහුන විදිහට ලෝකේ මිල අධිකම බල්ලාගේ වටිනාකම ඩොලර් මිලියන 1.5කි. ඌට වියදම් කරන සල්ලි වලින් කුසගින්න නිසා මේ ලෝකේ මියැදෙන මිනිස්සු කී දෙනෙක් නම් ජිවත් කරන්න තිබ්බාදැයි මට සිතුනි. සමහරවිට එහෙම සිතුනේ මට එතරම් මුදලක් නැති නිසා වියයුතුයි. බල්ලන්ට බෙහෙත් හේත් කිරීමට වෛද්‍ය මද්‍යස්ථාන වලට අමතරව සැලුන්, සම්බාහන මධ්‍යස්ථාන, හෝටල් ආදී නොයෙකුත් පහසුකම් සලසන ආයතන ඇත. ඒ සියලුම පහසුකම් විවෘත වන්නේ සුරතලේට ඇති කරන වංසක්කාර බල්ලන්ට පමණි. දඩාවතේ යන වල් බල්ලන්ට හිමිවන්නේ ගල් පාරක්, ඉදල් පාරක් පමණි එහෙමත් නැත්නම් වෙඩි උණ්ඩයක් හෝ මාරාන්තික එන්නතක් පමණි. දඩාවතේ යන බල්ලන් මරන්නේ ජල භීතිකාව තුරන් කිරීමේ අරමුණින් වුනත් උන්ව මරණ ආකාරය නම් ශෝචනීයයි. කෙසේ වෙතත් හැම වල් බල්ලෙක්ම දඩාවතේ නොයයි. සුරතල් වෙමින් ගෙවල් වල බොහොම හොඳට හැදුනු වල් බල්ලන්ද ඇත. උන් වල් වී ඇත්තේ වංසයක් නැති හෙයිනි. අපි ඉස්සර වල් බල්ලන්ව හැදින්වූයේ හැලි වලන් ක්‍රොස් නමිනි. ලොකු ලොකු පොෂ් බල්ලන් එක එක වංස වලින් ක්‍රොස් වෙද්දී වල් බල්ලන්ට පොෂ් නමක් නොදීම අසාධාරණ බැවින් අප ඒ නම වල් බල්ලන් වෙනුවෙන් භාවිතා කලමු....

වංසේ හොඳ බල්ලෝ 

බල්ලා යනු දඩයම යුගයේ සිට මිනිසාට බොහෝ උදව් උපකාර කල සතෙකි. දඩයමෙන් පටන් ගත්  බල්ලාගේ උදව් පදව් අද වනවිට නොයෙකුත් ක්ෂේත්‍ර වලට විහිදී පැතිරී ගොස්ය. මේ මිහි මතින් මුලින්ම අභ්‍යවකාශ ගත වුවේද ලයිකා නැමති රුසියානු බැල්ලියයි. අද වන විට ආරක්ෂක අංශවල රාජකාරියේ නියතු බල්ලන්ට බොහෝ වගකීම් ඇත. ඒ ඒ අංශ වල ඉන්න මිනිසුන්ට වඩා හොඳින් බල්ලන් ඒ රාජකාරි ඉටුකරන බව නම් මම විශ්වාසය කරමි. බල්ලන් රඟපෑමටද දක්ෂය. අවංකම කිවොත් බලු රඟපෑම් සමහර නළු රඟපෑම් වලට වඩා තාත්විකය.  ඒ වාගේම බල්ලන් වීර වික්‍රමයන් දක්වපු අවස්ථා නිතරම ලෝකේ නොයෙක් අහු මුළු වලින් ඇසේ. නොයෙකුත් හපන්කම් පෙන්නවන බල්ලන්  ගැනත් නිරන්තරයෙන් ඇසෙන දකින අතර මිනිස්සු ඒ දස්කම් විකුණාගෙන ජිවත්වෙති. බලු රේස්, බලු ෆයිට්, බලු සංදර්ශන මේ හැමදෙයක්ම මිනිසුන්ගේ ජීවිකාව සඳහා වෙයි. මේකි නොකී හේතුන් මත ලෝකයේ අනිත් සතුන්ට වඩා හොඳ ස්ථානයක්  මේ මිනිස් සමාජය තුල බල්ලාට හිමි බව  නොරහසකි.

බල්ලන් නොයෙකුත් බලු වැඩ කලාට කම් නැත. ඌ බලු වැඩ කරන්නේ බල්ලෙක් බැවිනි. ඉස්සර බල්ලෙක් උඩු බුරලන විට අපේ අම්මා කලබල වන්නීය. එවැනි අවස්ථාවලදී මා ඇයට කිවේ  බල්ලන් බුරනවා, උඩු බුරලනවා විනා උන්ට සිංහල හෝ වෙනත් භාෂා ගීත ගායනය කල නොහැකි බවයි. බල්ලන් වටා ගෙතුන විවිධාකාර කියමන් සහ යෙදුම් අපේ සමාජයේ පවතී.
  " බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ "  
" උන පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇද ඇරෙන්නේ නැත"  
" බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ"
 " බුරන බල්ලා හපා නොකයි "  
" බල්ලොත් එක්ක නිදාගත්තහම නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක" 
"නගුට විසින් බල්ලා වැනිම"   
" බල්ලන්ට ලෙලි පොල් දුන්නා වගේ "  

ඔය මට මතක් වූ කියමන් පමණි. මේ කියමන් යෙදෙන අවස්ථා ගැන විග්‍රහ කිරීම අවශ්‍ය නැත. මේවා යෙදෙන්නේ මිනිසා සම්බන්ධයෙනි. බල්ලා යනු කෙළෙහි ගුණ හොඳට අඳුරන සත්වයෙකි. මිනිසාගේ ආදීතම මිතුරෙකි. නමුත් මිනිසා යනු ඊට වඩා බොහෝ දරුණු, කෙළෙහි ගුණ නොදත්, අමානුෂීය සත්වයෙකි. මේ කියමන් ඒ පිළිබඳව මනාව කියා පානවා නොසැකයි. මන්ද යත් මිනිසුන් අතින් සිදුවන අඩු පාඩු, වැරදි, අසත්පුරුෂකම්, අමුනුස්සකම් මිනිසාගේ පරම මිතුරා වූ  බල්ලාගේ ගිණුමට බැරවන බැවිනි. එතනදීම මිනිසා තමාගේ ගතිගුණ ප්‍රදර්ශනය කර හමාරය. තමාගේ අඩු පාඩු තම මිතුරාගේ නමට බැර කරන්නේ මිත්‍ර ද්‍රෝහින්ය. ඒ අයුරුන් බලන කල මිනිසා මිත්‍ර ද්‍රෝහියෙකි. කෙසේවෙතත් මිනිසාගේ අධම ගති සඳහා බල්ලන්ගේ නම භාවිතයට මම නම් බලවත් විරෝධය ප්‍රකාශ කරමි. ඒ එයින් බල්ලාට වන නිගරුව මෙතකැයි කිව නොහැකි නිසාය. ඕනෑම අසමජ්ජාති වැඩක් දුටු තැන මිනිසුන් එය " බලු වැඩක් " ලෙස හැඳින්විමට පුරුදුව ඇත. නමුත් බල්ලන් කරන්නේ මිනිසුන්ට ආදරය කිරීම, ආදරය කරන මිනිසුන් ආරක්ෂා කිරීම, කන්න බොන්න දෙන මනුස්සයාට කෙළෙහි ගුණ දැක්වීමයි. ඒ ගති ගුණ කිට්ටුවෙන්වත් නැති මිනිසුන්ට බල්ලා යැයි කීම නොහොබිනා කමකි. මිනිසුන් බලු වැඩ නොකරයි. කරන්නේ අසමජ්ජාති අවලං වැඩයි.එවැනි දෑ බල්ලන් නොකරයි. එම  නිසා බල්ලන් මේ පිළිබඳව මිනිසුන්ට විරුද්ධව අපහාස නඩුවක් ගොනු කිරීමට පවා අයිතියක් ඇත. පුළුවන් අයෙක් වේ නම් බල්ලන්ට උදව්වක් වශයෙන් නඩුවක් ගොනු කල හැක. මගේ නම් නඩු හබ වලට පැටලීමට මනාපයක් නොමැත.

කෙසේ වෙතත් මිනිසුන් බලු වැඩ කියා හඳුන්වන සමාජ අසම්මත, අමානුෂීය, ගුණමකු වැඩ සහ බල්ලෝ කියා හඳුන්වන අසමජ්ජාතින් ප්‍රතිශතය අපේ සමාජය තුල වැඩිය. නමුත් ඉඳහිට හෝ හොඳ එකෙක් දෙන්නෙක් ඇතුවාට සැක නැත.  සමාජය තුල ඉන්නා අසමජ්ජාතීන් ගැන කතා කිරීමෙන් පලක්ද නැත. නමුත් උන් වෙනුවෙන් බල්ලාගේ නාමය භාවිතා කර අහිංසක අසරණ තිරිසනාට අපහාස නොකරන්නට අපි වග බලා ගනිමු..............

12 comments:

  1. අම්මෝ බල්ලෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. සමහර ගෑනු උදවිය ගෙදර ළමයින්ට වඩා බල්ලන්ට සලකනවා.

    දවසක් ගෑනු කෙනෙක් බල්ලෙක්ව ත්‍රීවිල් එකක දාගෙන බේත් ගේන්න අරගෙන යනවා. මම ඔය ත්‍රිවිල් එක ලඟින් යද්දි ර වල් බල්ලා මාව කන්න පැන්නේ නැතෑ !!!!! ශික් මෙහෙමත් බල්ලෝ.

    මොනා උනත් ඒ කාලේ ඉදන් මිනිස්සුන්ගේ යාලුවෝ වගේ ඉන්නෙත් බල්ලෝ නේ !!! (මම කියන්නේ කකුල් හතරේ බල්ලෝ ගැන.)

    ReplyDelete
  2. මම ත් බල්ලන්ට හුගක් කැමතියි ගොඩයෝ... ගෙදර අර පොෂ් 3ක් ඉන්නවා... මේ මාසේ උන්ව බලන්න යන්නත් ඕනේ... මම මේ කිව්වේ කකුල් 4 උන් ගැන හොඳේ... එල කියමන් ටික... කිව්වත් වගේ මිනිසුන්ගේ අමන වැඩ බල්ලාගේ එකවුන්ට් එකට බැර කිරීමට නම් මමත් එකඟ නෑ ඕන්..

    හැබැයි වැඩේ කියන්නේ මෙහෙ (UK) වල ඔය grass ඩෝග් කටියටත් මාර සැප... අයිතිකාරයා කන්නේ හැම් බේකන් නම් අපරාදේ කියන්න බෑ බලු ගොයියටත් කටක් සුවර්... හැමදාම උදේ හවා ඇවිදින්න එක්කන් යනවයි... අප්පේ උන්ට තියෙන සැප....

    ReplyDelete
  3. මෙහෙනම් බල්ලන්ට වෙනම Pre school හිටන් තියෙනවා.
    අපි අදුරන ෆැමිලි එකක බල්ලෙක්ට රෑ heart attack 1ක් වගේ එකක් හැදිලා. බේත් ගන්න $800ක් ගිහින්

    ReplyDelete
  4. අම්මේ .. මාන්න ගොඩය මල්ලි බලු ෆන් ක්ලබ් එකට එකතු වෙලා.
    මිනිස්සු සමහර බලු වැඩ කරනවා නම් අපේ ජීවිත මීට වඩා හුඟක් හොඳ වේවි මගේ හිතේ.. ඔන්න ලැයිස්තුවක්
    1. බල්ලන්ගේ එක කාලයකට විතරක් සීමිත එකතුවීම නිසා ජනගහනය පාලනය වේ..(මිනිස්සුන්ටත් එහම පුළුවන් නම් ?-උපත් පාලන බිස්නස් වලට පාඩු වෙයි )
    2. බල්ලන් වගේ කළගුණ මතක තියේ නම් මිනිස්සුන්ටත් ?
    3. බල්ලන් වගේ මිනිස්සුත් කොන්දේසි විරහිතව මිත්‍රයන්ට ආදරේ කරනවා නම් ?
    4. බල්ලන් වගේ මිනිස්සුත් තමන්ගේ හිතවතුන් වෙනිවෙන් ජීවිත පුජාවෙන් සටන් කරාවි නම් ?
    ඔහොම ගොඩක් ලිවුවහැකි,. නැද්ද මල්ලි ?

    ReplyDelete
  5. ලංකාවට වඩා පිට රට වල බල්ලන්ට තියෙන්නෙ පුදුම සැලකිල්ලක්... ළමයින්ටත් වඩා මිනිස්සු බල්ලෝ ගැන බලන වෙලවල් තියෙනවා..

    ReplyDelete
  6. අපේ ගෙදරත් දැන් බල්ලෝ ජෝඩුවක්ම ඉන්නවා.කලින් හිටපු එකා උණ හැදිලා මලා..දුකයි තමා...ඒත් බල්ලෙක් හුරතල් කරද්දී ඌ මාර විදිහට සංවේදී වෙනවා.ඌට අපි කියන එවා තේරෙන්න ගන්නවා.බල්ලන්ගේ මාර ඇඩ් තියෙන්නේ වෙලාවකට.එව්වා බලන්න වටිනවා..

    ReplyDelete
  7. අපේ ගෙදර හැමදාම බල්ලෙක් හිටිය, ඒ කියන්නෙ මං පොඩිකාලෙ අම්ම තාත්ත එක්ක ජීවත් වෙනකොටත්, එයාලගෙන් වෙන්වෙලා වෙනම මගේම තැනක බිරින්දය් දරුවොය් එක්ක ජීවත් වෙනකොටත්. දැනටත් එක්කෙනෙක් ඉන්නවා, දැන් නං එයාට බලු අව්රුදු වලින් ගැන්නොත් මටත් වඩා ටිකක් වයසය්,(අපේ අව්රුද්දක්=බලු අව්. හතක්) හැබය් මං හිතන්නේ මට වඩා නං සරීර සවුක්ය අතින් ෆිට්. දැන් බෝලෙ පස්සෙ එලවන්න වැඩිය අකමැති වුනත් අපි දෙන්න ඇවිදින්න යනකොට, එයා මාව එක්ක යනව, ටිකක් මට වඩා හය්යෙන් යන්න තමා කොය් වෙලාවෙත් ට්‍රය් එක. හැමදාම යන පාරෙ වෙන එයාලගෙ කෂ්ටිය ඉන්න ගෙවල්, ඒ වගේම හැරෙන තැන් එහෙම හොඳට මතකය්. අනික අනික් කෂ්ටිය සලකුණු කරලා ගිය ලයිට් කණු එහෙම චෙක් නොකර යන්නෙ නැහැ කොය් තරං ගමන හදිසි වුනත්.

    ReplyDelete
  8. @ මධුරංග - එතැනදී නම් බල්ලට නෙවෙයි බනින්න ඕනේ බලු අයිතිකාරයාට. ආයෙත් අහලා කොලු යාලුවන්ට වඩා බලු යාළුවෝ ෂුවර් ( කකුල් හතරේ උන් )

    @ ගුලියා - මෙහෙ නම් මචන් වල් එවුන් නෑ. ඒ කිවේ වල් බල්ලෝ.... අඩේ අපේ ගෙදර නම් දැන් බලු යාළුවො නෑ. අම්මට සාත්තු කරන්න බෑ කියලා මම ලංකාවට ආව දවසක හදන එකෙක් හදාගනින් කීවා. මොනවා උනත් එහෙම කෙනෙක් ඉඳලා නැති උනහම මාර පාලුයි බං....

    @ තාරක - මෙහෙත් එහෙම තමයි බං... සමහරු බල්ලන්ට වියදම් කරන විදිහට ඒ සල්ලි වලින් දුප්පත් පොඩි උන් 10 දෙනෙක්ට ඉගෙන ගන්න වියදම් කරන්න පුළුවන් අවුරුදු ගානක්.....

    ReplyDelete
  9. @ ලංකාප්‍රිය අයියා - ඔන්න ඔන්න එහෙම කියන එක වැරදි. බලු ෆෑන් ක්ලබ් එකට සෙට් උනේ මම හින්නි එකා සන්දියේ.... සහතික ඇත්ත අයියා... ඔය බලු ගුණ වර්ණනා කරන්න ගියොත් පොස්ට් 3ක් වත් ලියන්න වෙනවා.

    @ දිනේෂ් - අනිවාර්යයෙන්.... මිනිස්සුන්ට කොහෙද එහෙම සැප ???

    @ තීර්ථ යාත්‍රිකයා - ආයෙත් අහලා මල්ලි... මගෙත් වැඩේ ඉස්සර ගෙදර හිටපු එකත් එක්ක කතා කරන එක... ඌට කතා කරන්න බැරි උනාට කියන දේවල් හොඳට තේරෙනවා..... දැන් නම් ගෙදරත් එක්ක පාලුයි ඌ නැතුව.....

    @ ඔබා මාමා - එකනේ කියන්නේ බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ කියලා.... නාකි උනත් බල්ලා එහෙම තමයි... මාත් පොඩි කාලේ ඉඳලම බල්ලෙක් හිටියා.. ඒත් දැන් නම් නෑ.... මාරම පාලුයි.... ඉස්සර තනියට කතා කර කර ඉන්නේ ඌත් එක්ක... දැන් ඉතින් තනිකමට කතා කරන්නවත් එකෙක් නෑ.....

    ReplyDelete
  10. බල්ලො ආදරෙයි තමා. මොන දේ උනත් අපි එක්ක ඉන්නව තමා. ඒත් එච්චර කාලයක් ඉඳලා මැරුණු දවසට නම් ඒ දුක දරා ගන්න බෑ.

    ReplyDelete
  11. ඇත්ත ඇත්ත.... මට අද වගේ මතකයි අපේ ගෙදර පොඩි කාලේ ඉඳං හිටපු බල්ලා මැරුණ දවසේ අම්මා දවසම ඇඬුවා. මොකද අපි ස්කොලේ ගියහම අම්මගේ තනියට ළඟ හිටියේ එයානේ. ඊට පස්සේ සෑහෙන කාලයක් යනකම් බල්ලෝ හදන්න දුන්නෙත් නෑ. දුකයි කියලා......

    ReplyDelete