Tuesday, May 31, 2011

විහිළු සහ ගුටි කෑම



ඔක්කොටම කලින් මගේ "තාමත් කෙල්ලෙක් නැද්ද" පොස්ට් එකට ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි. මේ බ්ලොග් එක ලියන්න අරගෙන දැන් මාස 4ක් විතර වෙනවා. ඔය මාස 4ට එක එක ජාති ලීවා. ඒත් ගිය සතියේ ලියපු ඔය පෝස්ට් එකට තමයි වැඩිම ප්‍රතිචාර ලැබුනේ. බලාගෙන යද්දී හොඳ කාලීන මාතෘකාවක් ගැනනේ මම ලියලා තියෙන්නේ. හික්ස්.....   දැන් දවස් තුන හතරකට කලින් අපේ ඇන්ඩයියා ලියපු " ගුටි " විස්තරේ කියවද්දී මටත් වෙච්ච සිද්ධියක් මතක් වුනා. කොමෙන්ට් එකක් විදිහට එතන දාන්න හදලත් දිග වැඩි නිසා අද ඒ විස්තරේ ලියන්න හිතුනා.

මම එතකොට 9 වසරේ. දිග කලිසමට බහින්න මාස කීපයයි. කොල්ලෙක්  දිග කලිසමට බහිනවා කියන්නේ වහු පැටියෙක්ට  අං ලැබෙනවා වගේ වැඩක්. 9 වසරේ ඉන්නකොටම කට්ටියටම ඔය රස්නේ වදිනවා. ඒ රස්නෙත් එක්කම ගැන්සි හදාගැනීම, බොක්කවල් හොයාගැනීම, වලි දාගැනීම, සෙට් වීම, ගුටි කෑම ආදී නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. මමත් ඒ වෙද්දී අනිත් උන් වගේම ඔය සංක්‍රාන්ති සමයේ හිටපු ගැටයෙක්. හැබැයි ඒ වෙද්දීත් මම ස්කොලේ ආවේ පාසල් සේවයේ පිහිටෙන්.  ඔන්න දවසක් ස්කොලේ ඉවර වෙලා අපේ ස්කුල් බස් එක එනකම් මමයි අපේ ස්කූල් බස් එකේ යන උන් සෙට් එකයි ස්කොලේ ගේට්ටුවෙන් එළියේ පාර අයිනට වෙලා ඉන්නවා. දන්නවනේ ඉතින් ස්කොල අරුනහම කට්ටියට හරියට වැඩනේ. ස්කොලේ වෙච්ච දේවල් ගැන සාකච්චා කරන්න, එක එකාට ලනු දෙන ඒවා ගැන කතා කරන්න,  ස්කුල් වෑන් වල ඉන්න කෙල්ලෝ බලන්න, එතකොට අපේ උන් ට්‍රයි කරපු කෙල්ලන් ගැන ඔත්තු බලන්න, කඩ චෝරු හොයන්න, මුද්දර, ස්ටිකර්, රූප ආදී දේවල් හුවමාරු කරන්න.....  ඔය වගේ නානාප්‍රකාර වැඩ එක එකාට තිබ්බා. 

මමත් ඔන්න ස්කොලේ ඇරිලා ගජබින්නාලන්කාරය දිග ඇරගෙන තව කොල්ලෝ දෙන්නක් එක්ක අපේ බස් එක එනකම් ඉන්නවා. ඒ අතරේ අපේ පන්තියේ කැරැව්වා  ජැන්ඩියට කැප් එකක් එහෙම දාගෙන පොරගේ මවුන්ටන් බයික් එකේ වටේ ඉන්න කෙල්ලන්ට එහෙම ඇඩ් එකක් දීගෙන එනවා. මටත් ඉතින් අතපය එක විදිහකට තියාගෙන ඉන්න බැරි අමාරුවක් තියනවනේ.  ඒ අමාරුවට කිවේ කැසිල්ල කියලා. ඉතින් ඔය කැසිල්ල නිසා මම ශේප් එකේ කැරැව්වාගේ පුටාර් එක පස්සෙන් දුවගෙන ගිහින් ඌ උජාරුවෙන් දාගෙන ගිය කැප් එක ගලවගෙන ගේට්ටුව ලඟට ආවා. කැරැව්වා ශේප් එකේ බයිසිකලේ පාරේ අයිනේ නවත්තලා මුණේ හිනා පොදක්වත් නැතුව එනවා. මොනවා වුනත් වෑන් වල යන කෙල්ලෝ එතකොට ස්කොලේ අයියලා මල්ලිලා  ඔක්කොමල්ලා ඉස්සර වෙච්ච වැඩේට පොරට පොඩ්ඩක් අවුල් වගේ. 

මමත් ඉතින් හිනාව දාගෙන ගියා ඌ එන පෙර මඟට කැප් එකත් උගේ පැත්තට දික් කරගෙන. මෙන්න ලඟට ආපු එකා කිසි කතාවක් නැතුව කැප් එක ඇදලා අරගෙන ඒ එක්කම දුන්නේ නැත්ද හොඳ කනේ පාරක්. කොහොමවත් මම බලාපොරොත්තු නොවුන පාරක් ඒක. කවුද දන්නේ මූ මල අතට වඩම්මාගෙන ආවේ කියලා. අනික එවෙලේ ගුටි කාපු අමාරුවට  වඩා වස ලැජ්ජාව. අර කෙල්ලෝ, කොල්ලෝ, අම්මලා,  තාත්තලා,  ටීචර්ලා ඔක්කොම බලාඉන්නවා. මමත් මගේ තියන කැසිල්ලට කරේ වුවමනා නැති වැඩක්නේ. ඒ නිසා පලවෙනි ප්‍රහාරය ඉවසාගෙන " මචං කැරැව් විහිළුවක් කලේ බං " කියද්දීම මූ ආයෙත් අත ඉස්සුවා. ඒ පාර මම උගේ අත් දෙකෙන් අල්ලාගෙන " විහිළුවක් බං. සිරා ගන්න දෙයක්ද ඕක. එකක් ගැහුවනෙ. ඇතිනේ. යමන් දැන්" කියද්දී මූ කකුලෙනුත් ගැහුවා. අන්න ඒ අවස්ථාවේදී නම් මගේ ඉවසීම කියන එක කොහෙන්ද මන්ද අන්තර්ධාන වුනා. ඇයි හත් දෙයියනේ මම වැරද්දක් කරාම කියමුකෝ. ඒත් අර ස්කොලේ ඇරිලා යන කෙල්ලෝ ඉස්සරහා මහ පාරේ ඔහොමත් ගුටි කන්න පුලුවන්ද ?  මගෙත් පුෂ්පය වැඩියා අතට. දීලා ඇද්දා අරූට. කොල්ලව අර තාර පාරේ බිම දාගෙන ගැහුවා. උගේ අතපය හීරිලා දණහිස පතුරු ගිහින් ලේ වැක්කෙරෙනකම් මමත් නෙළුවා. අන්තිමට ගේට්ටුවේ මුරට ඉන්න අන්කලුයි තවත් අන්කල් කෙනෙකුයි, තව අයියාලා දෙන්නෙකුයි ඇවිල්ලා තමයි ගෝරිය නවත්ත ගත්තේ. ඒ වෙද්දී ස්කූල් බස් එකත් ඇවිල්ලා මම එනකම් බලා ඉන්නවා. මම දඩබඩ ගාලා නැග්ගා බස් එකට ගෙදර ආවා.නැත්නම් ඉතින් මුර අන්කල්ටයි අහල පහල හිටපු සර්ලටයි උත්තර බඳින්න වෙනවනේ. 

ඒ සිද්ධිය එතනින් ඉවරයි. ඔන්න දැන් කොල්ලා පහුවදා ස්කොලේ යනවා. එදා අපිට විද්‍යාවටද කොහෙද ශාක පත්‍ර වින්‍යාසයේ අනුරුවක් හදාගෙන එන්න කියලා තිබ්බේ. ඉතින් ලොකු බෝඩ් එකක මම ඔය වින්‍යාසය එහෙම හදාගෙන අත්දෙකෙන්ම බෝඩ් එකත් අරගෙන පන්තියට අඩිය තිබ්බා විතරයි. කිව්වහම මොකද මට අර බෝඩ් එක කොහෙන්වත් තියාගන්නවත් ලැබුනේ නෑ. මූණ හරහා හොඳ පන්ච් එකක් ලැබුනා තරු පෝලිමක් එක්ක. ඒ එක්කම මගේ අතේ තිබ්බ බෝඩ් එක කව්දෝ එකෙක් උදුරලා අරන් පැත්තකින් තිබ්බා. ලාවට වගේ දැක්ක 10 දෙනෙක් විතර වටවෙලා ඉන්නවා. කැරැව්වා සහ උගේ ගැන්සිය. කලබලෙන් මම වටපිට බැලුවා. පන්තියේ එකෙක්වත් නෑ.  මගේ ගැන්සියේ එවුන් ඒ වෙද්දී ස්කෝලෙට ඇවිල්ලත් නෑ. අනික කැරැව්වා ස්කොලේ කිට්ටු නිසා උගේ ගැන්සිය ටිකක් ප්‍රභලයි. අයියලා එහෙමත් ඉන්නවා. කිසිම සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා එදානම් හොඳටම තේරුම් ගියා. සියලුම බලාපොරොත්තු අත ඇරගෙන ඇස් දෙක වහගත්තා. දහ දෙනෙක් විතර වටවෙලා උදේම නෙලද්දී තියන ආතල් එක ගැන නම් වචනයෙන් කියන්න බෑ. එදා උදේ කෑමට ලැබුනේ ගුටි. ගුටි කීවට හොඳම එකෙන්. විනාඩි 5ක් 6ක් ගුටි කෑවට පස්සේ තමයි අපේ එකෙක් ඇවිල්ලා යාන්තම් වැඩේ නවත්ත ගත්තේ. එහෙම නොවුනානම් ගොඩයා කනවා ඇප නැතිවෙන්නම. ඇත්තටම කිවොත් ඒ විනාඩි 5ට 6ට ඇප නැතිවෙන්නම කාලා තිබ්බේ. 

ගුටි මුරය ඉවර වෙලා නැගිටලා බලදී මම හිටියේ පන්තියේ අන්තිම කෙලවරේ. හැබැයි මතක හැටියට මම පන්තියට අඩිය තිබ්බා විතරයි. කොනට විසිවුනේ කොහොමද කියලා දෙයියෝ තමයි දන්නේ... ආ... නෑ නෑ කැරැව්වාගේ ගැන්සිය තමයි දන්නේ. එවෙලේ නම් ශේප් එකේ පන්තියේ එකෙක් ගාව තිබ්බ සිද්ධාලේප එකක් උලාගෙන මුකුත් වුනේ නැති ගානට හිටියා. ඒත් තැලුම් වේදනාව දවසක් දෙකක්ම තිබ්බා.  විලි ලැජ්ජාව නිසා ගෙදරට කිවේ නෑ.වේදනාව අමතක කරලා හිටියා. මොනවා වුනත් මගේ අත පය තියාගෙන ඉන්න බැරි අමාරුව නිසා කරපු දෙයක්නේ. අනික ස්කොලේ ඇතුලේ ගුටි කෑවට කෙල්ලන්ට පේන එකක්යැ.. ඒ වගේද මම කැරැව්වට දුන්න පෝරියල් එක. කීදාහක් ඉස්සරහද මහ පාරේ ඌ මගෙන් කෑවේ. ඒ නිසා මම රිටන් දෙන්න උවමනාවක් තිබුනේ නෑ. මොකද ගුටි කෑවත් මම දුන්න පෝරියල් එක ගැන මට සැටිස්. කැරැව්වාගෙයි මගෙයි ඔය අවුල දවස් කීපයකින් සමථයකට පත්වුනා. උගේ ගැන්සියත් ඒ වගේම සාමදාන වුනා.

 ඔය වගේ සිද්ධි කීපයකට පස්සේ ලැබුනු බෙහෙත් වල පවර් එකට මගේ අර තිබ්බ අමාරුව ඒ කිවේ කැසිල්ල, අන්න ඒ කැසිල්ල පොඩ්ඩක් විතර අඩුවුනා. හැබැයි නිට්ටාවට හොඳ කරන්න බැරිද මන්ද? මොනවා කොරන්නද උවමනා නැති විහිළු කරන්න ගියහම ඔහොම තමයි. ඊට පස්සේ නම් පොඩ්ඩක් විතර පරිස්සම් වුනා කාට හරි විහිළු කරන්න යද්දී. පරිස්සම් වුනා කිවටම එහෙමමත් නැද්ද මන්දා....  මොකද ඔය සිද්ධියෙන් පස්සෙත් කීප අවස්ථාවකදීම ගොඩයට ඔය වගේ බෙහෙත් හම්බවුනා. ඒවට වෙන්න ඇති මයේ හිතේ කියන්නේ විලි ලජ්ජා නැතිකම කියලා.....  හික්ස්....     

Sunday, May 15, 2011

වෙසක්..........


වෙසක් සතියත් ආවා............... කුසල් සිත් මතුවන අකුසල් සිත් දුරුවන, මෙත් ගුණ, කරුණා ගුණ දසත පැතිරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!    ඔන්න හතර වෙනි අවුරුද්දටත් වෙසක් එකට මම ලංකාවෙ නෑ. හිතට හරිම වේදනයි. ලංකාවේ ඉන්න ටිකේ හැම වෙසක් එකටම මම මොකක් හරි වෙසක් නිර්මාණයක් කළා. බොහොම පොඩියට මම 7 වසරේ වගේ ඉන්නකොට පටන් ගත්ත නිර්මාණ මම 9 වසර විතර වෙද්දී ටික ටික දියුණු වුනා. පොඩියට හදපු තොරණ 10 වසරදී සෑහෙන ලොකු වෙසක් නිර්මාණයක් වුනා. ඒ එක්කම මට ගොඩක් දෙනෙක් උදවු කළා ඒ නිර්මාණ ශක්තිය දියුණු කරගන්න. නම් වශයෙන් මෙතන කියන්න බැරි තරම් පිරිසක් ඉන්නවා.  මගේ යාළුවො, අසල වැසියෝ, නෑදෑයෝ, යාලුවන්ගේ අම්මලා තාත්තලා මේ හැමෝගෙන්ම උදවු ලැබුනා. ඒ උදවු නොලැබුණා නම් මේවා කරන්න බෑ ගොඩයට. ඒ වගේම නොසැලී මාව දිරිමත් කලේ මගේ අම්මා. ළඟ නොහිටියත් නෑ බෑ නොකියා ඕනේ දේවල් අරන් දීලා, ඒවට කිසිම පැකිලීමක් නැතුව වියදම් කරලා  මගේ තාත්තාත් මාව ඉස්සරහට තල්ලු කළා. ඒ වගේම පහු වෙද්දී මගේ යාළුවන්ගේ ගෙවල් වලිනුත් උදවු කළා. ඒ දවස්වල වෙසක් ලංවෙනකොට අපේ ගෙදර උදේ දවල් රෑ නැතුව කොල්ලෝ. හෝ ගාලා වැඩ. බල්බ් පාස්සනවා, කූඩුවලට කැටයම් කපනවා, රැලි කපනවා, ඊට අමතරව හට් ගහන්න, පාරේ කූඩුව ගහන තැන හදාගන්න, අම්මෝ වැඩ කෝටියයි. අපේ අම්මගේ වැඩේ නම් කොච්චරවත් තේ හදන එකයි කෑම හදන එකයි. අපේ අම්මම හින්දා හොඳයි.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආමිස පුජාවට වඩා වටින්නේ ප්‍රතිපත්ති පූජාව කියලා. ඇත්ත වෙන්න පුළුවන්. ඒත් කුසල් කෙසේ වෙතත් මේ නිර්මාණ නිසා අපේ කුසලතා නම් වර්ධනය වුනා. අදටත් මට ඒ ලැබුන හුරුව මගේ ජීවිතේට වටිනවා. ඒ කාලේ මම තොරණක් බලන්න ගියහම රිංගන්නේ පිටිපස්සට. කොහොමද ඔය ලයිට් වැඩේ වෙන්නේ බලන්න. තොරණක්, කූඩුවක් මොකක් බලන්න ගියත් එහෙම තමයි. පොඩි කාලේ වෙසක් එකට එලියට බැස්සහම අම්මගේ කටේ දෙයක් නෑ මට කෑගහලා. ඔය අස්සක මුල්ලක රිංගද්දී මට කරන්ට් වදී කියලා බයේ. කොහොමෙන් කොහොම හරි ටික ටික වැඩේ අල්ලගත්තා. අම්මා කොච්චර බය වුනත් මාව නැවැත්තුවේ නෑ. ඒ වැඩ කරන්න ඉඩ දුන්නා. පොතින් පතින් ඉගෙන ගන්න බැරිවුන ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. විදුලි කාර්මික වැඩ, යාන්ත්‍රික වැඩ, ඒ වගේම සැලසුම් කරන හැටි, අලුතින් පොඩ්ඩක් හිතන හැටි, තවත් මනුස්සයෙක්ගෙන් සහයෝගය ගන්න හැටි, තව කෙකෙන් එක්ක සහයෝගයෙන් වැඩ කරන හැටි, ඔය වගේ ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. ඒ දේවල්  කවදාවත් පොතින් ඉගෙන ගන්න බැරි දේවල්. ඒ වගේම දෙතුන් දෙනෙක්ගෙන්  මට කැපිල්ල ආවට ගොඩාක් දෙනෙක්ගෙන් සහයෝගය ලැබුනා. මම උ.පෙ අන්තිම අවුරුදට එනකම්ම  ඒ වෙසක් සැරසිලි වැඩේ කෙරුනා. ඊට පස්සේ මට වෙලාව නැති වුනා. වැඩෙත් නැවතුනා. ඔන්න බලන්නකෝ ඒ කාලේ කරපු නිර්මාණ කොහොමද කියලා ???



ඇත්තටම නියම බෞද්ධයෝ විදිහට අපි ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන්න ඕනේ බව මම හිතනවා. ඒත් 364 දවසක් කරන්න තියන අසමජ්ජාති වැඩ ඔක්කොම කරලා එක දවසක් ප්‍රතිපත්තියේ පිහිටලා වැඩක් තියෙයිද කියලත් හිතෙනවා. අනිත් අතට හැමදාම වැරදි කරන මිනිහෙක් එක දවසක් හරි ඒ වැරැද්දෙන් මිදිලා ඉන්න උත්සහ කරන එකත් ලොකු දෙයක්. මට හිතෙන විදිහට නම් අපි කරන්න ඕනේ ඒ උත්සාහය එක දවසකට සීමා නොකරන එකයි. මම මේ බණ කියන්න උත්සහා කරනවා නෙවෙයි. ඒත් අඩුම තරමේ තමන් වපුරන දේ තමයි කවදා හරි තමන්ට අස්වැන්න හැටියට ලැබෙන්නේ කියලා මිනිස්සුන්ට අවුරුද්ද පුරාම මතක තියනවා නම් ඒකත් ලොකු දෙයක්. 

ඒ කොහොම වෙතත් අලුත් අවුරුද්ද වගේම වෙසක් එකත් මුදලාලිලාට මඩිය තර කරගන්න අවස්ථාවක් කරගෙන. ඉස්සර වෙසක් එකට වහලා තිබ්බ හෝටල්, කඩ එහෙම ඔක්කොම වගේ දැන් වෙසක් එකට විවෘතයි. ඒ කාලේ වෙසක් එකට කරත්තෙට බැන්ද ගොනා පවා නිදහස් කරනවා වැඩ වලින්. ඒත් අද බෞද්ධයන්ටත් පෝය කියලා එහෙම නිදහසක් නෑ. සල්ලි පස්සේ දුවන්න වෙච්ච ලෝකෙක අරුමයක් නම් නෙවෙයි. ඒත් දුකයි.  අපි පොඩි කාලේ කවුරු හරි ලොකු කෙනෙක් එක්ක ඇලක් අයිනට ගිහින් උන ගහක් කපාගෙන ඇවිල්ලා ඒක පතුරු කරගෙන අටපට්ටම්, තරු හදන්න පටන් ගන්නේ වෙසක් එකට සති දෙකක් විතර තියාගෙන. හරිම සන්තෝසෙන් අයියලා, අක්කලා, මාමලා, නැන්දලා  එකතු වෙලා හැමෝගෙම ගෙවල් වලට ඇති වෙන්න කූඩු හදනවා. ඒත් අද හැමෝම කාර්ය බහුල නිසා කඩෙන් ගෙනත් කූඩුවක් එල්ලනවා. ඉතින් පොඩි එකෙක්ට එහෙම දෙයක් කරන්න අත හුරුවෙයිද ???  කූඩුව ලස්සනට සුදු පාටින් අලවලා රතු පාට හරි නිල් පාට හරි රැලි ලස්සනට දාලා වැඩේ ඉවර කරහම අපිට දැනුන සතුට දැනේවිද ???  මේවාගේ දේවල් පොඩි උන් පොතෙන් එහෙම නැත්නම් ටියුෂන් පන්තියෙන් ඉගෙන ගනීවිද?? හැබැයි මේ යන විදිහට නම් ලඟදීම ඕවටත් ටියුෂන් පටන් ගනී.

අනිත් එක වෙසක් එකට තොරණක් ඉදිකරොත් එතනත් මෙරිගෝ රවුන්ඩ්, මාරක ලිඳ අරවා මේවා ගෙනල්ලා ගානක් හොයාගන්නවා. සමහර තැන් වල දන්සල් කෙරෙන්නේත් ලාබ පාඩු බලාගෙන එහෙම නැත්නම් තරඟෙට. අරුන් කරපු නිසා අපි උන්ට වඩා ලොකුවට කරන්න ඕනේ කියලා. අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සිහිකරලා කරන මේ පින්කම් වලදී පවා මෙහෙම තරඟ කරන එක, වංචා කරන එක උන්වහන්සේට කරන දරුණු නින්දාවක් විදිහටයි මට හිතෙන්නේ. මෙහෙම පින්කම් කරන එකෙන් වෙන්නේ අන්තිමට අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අපේ ජිවිත වලින් බැහැර කරන්න කියලා දේශනා කරපු දේවල් බොහොම තදින්  ඒ අය තව තවත් අල්ලගන්න එක නෙවෙයිද ?  එහෙම පින්කම් නොකර ඉන්න එක ඊට වඩා හොඳද මන්දා?? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවනේ අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට කරන්න පුළුවන් ලොකුම ගෞරවය උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන එක කියලා. එහෙම නැතුව ලක්ෂ ගණන් ඔය විදිහට වියදම් කරන්න කියලා උන්වහන්සේ දේශනා කරලා නෑනේ. දානය උතුම් දෙයක්. හැබැයි කාටවත් තරඟයක් දෙන්න, ප්‍රසිද්ධ වෙන්න  එහෙම නැත්නම් කියක් හරි හොයාගන්න චේතනාවෙන් නෙවෙයි. චේතනාව තමයි වැදගත් හැමදේකදිම...............

ඔක්කොටම වඩා දුක හිතෙන්නේ අපේ සමහර පන්සල් වලට ගොඩ වුනහම. අනේ වෙසක් දවසට පන්සලට ගොඩවෙන උපාසක උපාසිකාවන්ට පන්සලේ හාමුදුරුවන්ගෙන් වෙන්න ඕනේ යුතුකම් උන්නාන්සේලාට අමතක වෙලා. සමහර ස්වාමින් වහන්සේලාට පන්සලට ආපු උදවියට පන්සිල් දෙන එකවත් මතක නෑ. ඒවා පැත්තකින්   තියලා අපාය පෙන්නන්න ටිකට් විකුණනවා. තවත් සමහර හාමුදුරුවරු පන්සලේ ඉදිකරපු තොරණ ළඟ කූඩුව ළඟ කවි කිය කියා ආධාර එකතු කරනවා. ඒ ඔක්කොමත් හරි පත්තරයක් ගත්තහම බලන්න ගුරුකම්, හදි හූනියම්, කේන්දර බැලිල්ල, ගියපු අය ගෙන්වා දෙන, පෙමවතා, පෙම්වති යාලු කරලා දෙන හාමුදුරුවරු කීදෙනෙක් ඉන්නවද කියලා.  ඒ වගේ  ස්වාමින්වහන්සේලා  දැක්කාහම අනේ අපොයි කියලා හිතෙනවා. මුදල් කියන්නේ කාටත් අවශ්‍ය දෙයක් බව ඇත්ත. ඒත් අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ  සර්පයෙකුට උපමා කරලා ඈත් කරන්න කියලා කියපු මුදල් පස්සේ අපේ හාමුදුරුවෝ යන එක නම් හරිම ඛේදනියයි.   මම මේ කියන්නේ දැනට අවුරුදු 4කට කලින් මම දැකපු දේවල්. දැන් තත්වය ඊටත් වඩා බරපතල ඇති කියලා හිතෙනවා.


 වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කිවලු. මේ සාසනය ආරක්ෂා කරන්න ඉන්න අපේ හාමුදුරුවරුත් එහෙම නම් අපේ ගිහියෝ ගැන මොන කතාද? සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ.... කියලා අපි වැඳ නමස්කාර කරලා සිහිකරන්නේ අපේ සංඝයා වහන්සේලාගේ ගුණ. ඉතින් එහෙම කරන කොට උන්වහන්සේලාත් පොඩ්ඩක් ගිහියන් ගැන අනුකම්පා කරලා කටයුතු කරනවා නම් හොඳයි. මේ ගිහි ජිවිතේ ප්‍රශ්න වලට කොටු වෙලා ඉන්න ගිහියෝ එහෙම දවසට හරි පන්සලට ගොඩවෙන්නේ හිතට සහනයක් ක්ෂාන්තියක් ලබාගන්න. ඒ සඳහා නොවැ උන්වහන්සේලා සසුන්ගත වුනේ. ඒ යුතුකම් ඉටුකරා නම් තමයි වටින්නේ. එහෙම නැතුව එන ගිහියන්ගෙන් සල්ලි එකතු කරන්න බලා ඉන්න එක නොවෙයිනේ. ඒ වගේම ගිහියන් වශයෙන් අපිටත් යුතුකමක් තියනවා උන්වහන්සේලාගේ උවමනා එපාකම් බලලා ඒවා සපයා දෙන්න.  


අපේ ආගම ධර්මය විනාස කරනවා කියලා අනිත් ආගම් වලට ඇඟිල්ල දික් කරගෙන වෛරයය, ක්‍රෝධය පතුරවලා ආගම් භේද ඇති කරන එක නෙවෙයි අපි කරන්න ඕනේ. අපි බෞද්ධයන් විදිහට හරියට කෙලින් වැඩ කරනවා නම් අමුතුවෙන් අපේ ආගම රකින්න දෙයක් නෑ. අනිත් එක මොනම හේතුවක් නිසාවත් වෙනත් ආගම්වල උදවියට චෝදනා කරන එකවත්  හිරිහැර කරන එකවත් බෞද්ධයන් විදිහට අපිට වටින්නේ නෑනේ. සත්ව හිංසාව හෙළා දකින අපි කොහොමද බුද්ධ ධර්මයේ නාමයෙන් තව කෙනෙක්ට කරදර කරන්නේ ??  අපේ ස්වාමීන්සේලාගෙන් අපේ සමාජයට වෙන්න ඕනේ යුතුකම්, කාරණා හරියට ඉටුවෙනවානම්, ගිහියන්ට ඉෂ්ට වෙන්න ඕනේ යුතුකම් කෙරෙනවා නම් මොන බලවේගයකටවත් අපේ ශාස්තෘන්වහන්සේ වදාළ ධර්මය නසන්නට බෑ. අනිත් ආගම් වලට ඇඟිල්ල දික් කරන අපේ අතින්මයි මට නම් පේන විදිහට අපේ ශාසනය විනාස වෙන්නේ. ඒ නිසා මේ ශ්‍රී සුභ වෙසක් සතියේ සම්බුද්ධ ජයන්තිය නිමෙත්තෙන් දස දහස් ආමිස , ප්‍රතිපත්ති පූජා කරන අතරම මේ ගැනත් හිතලා බලනවා නම් අපි කාටත් හොඳයි කියලයි ගොඩයට හිතෙන්නේ. ගොඩයාට බණ කියන්න දන්නේ නෑ. හිතුන දේ තමා කිවේ. වෙසක් උදාවත් එක්කම මේ ලෝ තලයේ වෙසෙන මනුසතුන්ගේ සිත් පිරිසිදු වී , වෛරී සිත් නිවී, අකුසල් සිත් පහවී මේ ලෝකේ සියලුම සත්වයන්ට සතුටෙන් සාමයෙන් ජිවත් වන්නට පුළුවන් හෙටක් උදාවේවා !!!!  සැමට සම්මා සම්බුදු සරණයි !!!

රෝද තුනේ කතා

මම මීට සැහෙන කාලෙකට කලින් ත්‍රී වීලර්  එක ගැන විස්තරයක් ලීවා.  මේ ලියන්නේ ඒ රෝද තුන සම්බන්ධ සිද්ධි දෙක තුනක්.  ලංකාවේ අපිට ඔය රෝද තුනේ වාහනය හරිම සමිපයිනේ.

පලවෙනි සිද්ධිය
මට මතක විදිහට එදා වෙසක් පෝය හරි පොසොන් පෝය හරි දවසට පහුවදා දවසක්. මමයි මගේ යාළුවො කීප දෙනෙකුයි හවස් වරුවේ පාරට ආවා. පාර කිවේ කොළඹ නුවර පාරට. හවස් වීගෙන එනකොට ඉතින් වාහන පෝලිමේ එලියට බහිනවනේ එදාට. වෙසක් සැරසිලි බලන්න. පන්සල් යන්න. දන්සැල් කන්න. එදාට ඉතින් පාරට නිවනක් නෑනේ.  අපි තුන් හතර දෙනා පාරට අද්දරට ආවහම දැක්කා පොලිසියේ ඈයෝ දෙන්නෙකුත් පාරට වෙලා ඉන්නවා. ඉස්සර හැබැයි වෙසක් එකට එහෙම එච්චර පොලිසියෙන් පන්න පන්න වාහන ගැන බලන්නේ නෑනේ. මොකද එහෙම බලන්න වෙලාවක් නෑ.  මාර්ග තද බදය නිසා වාහන හසුරවන්න තියනවනේ. ඒත් අපිට තේරුණ විදිහට නම් දෙන්නා දඩ කොළ ලියනවා.  වැඩේ පොඩි ගතියක් තිබ්බා වගේ දැනුන නිසා අපිත් ඒ පැත්තට කිට්ටු කළා.

 ඔය අස්සේ මහා සද්දෙට සින්දුවක් එහෙම දාගෙන ආවා රෝද තුනක්. කොටින්ම කීවොත් ඒක දුවන  කැසට් එකක්. ඒකේ එලවන එකාගේ දෙපැත්තේත් දෙන්නෙක් එල්ලිලා පොල් පටවලා වගේ පිටිපස්සේත්. පොලිස් ලොක්කා දැම්මා අත. වාහනයත් නතර වුනා. දෙපැත්තේ හිටපු උන් දෙන්නා පැන්න එලියට. ඩ්‍රයිවර් කොලුවත් බැස්සා." ඔන්න ඔය කන්කරච්චලේ නතර කරනවා ඉස්සෙලා. ගන්නවා බලන්න ලයිසන්, ඉන්ෂුවරන්ස්. මේකේ කීදෙනෙක් ඉන්නවද ??? හා හා බහිනවා බහිනවා ඔක්කොමල්ලා." පොලිසියෙන් පුරුදු විදිහටම සද්දේ දැම්මා.  ඔන්න පිටිපස්සේ හිටපු උන් එකා එකා අමාරුවෙන් බහිනවා. එක පොලිස් උන්නැහේ කෙනෙක් ලයිසන් ඉන්ෂුවරන්ස් වලට සද්ද දාන අතරේ අනිත් මනුස්සයා ත්‍රි වීලර් එකෙන් බහින උන් ගනිනවා. ඒ අස්සේ වීල් එක එලවාගෙන ආපු ගැටයා " අනේ සර් ලයිසන් ඉන්ෂුවරන්ස් මුකුත් නෑ. මේක අයියගේ ත්‍රිවිල් එක. වෙසක් හින්දා පොඩ්ඩක් ඇවිදින්න ආවේ. අනේ සර් දඩ නම් ලියන්න එපා. අයියා මාව එල්ලයි." කියා කියා නහයෙන් අඬනවා.
මේ කියවන ඔයාලා විශ්වාස කරයිද මන්දා ඒ ත්‍රිවිල් එකේ පිටිපස්සේ ඉඳං කොල්ලෝ 6ක් බැස්සා. ත්‍රිවිල් එකෙන් බැස්ස කොල්ලෝ ගණන් කර කර හිටපු පොලිස් උන්නැහේ කතා කළා සගයට. " මේ මේකේ පිටිපස්සේ 6 යි. ඉස්සරහ දෙපැත්තේ එල්ලිලා ආපු උන් 2යි, එලවපු මනුස්සයයි ඔක්කොම 9යි. වෑන් එකකට හරියන සෙනග" කියලා කියද්දීම තවත් එකෙක් බැස්සා ත්‍රි වීල් එකෙන් එලියට. ඒක තමයි මේ සිද්ධියේ උණුසුම්ම ජවනිකාව. පොලිස් උන්නැහලාගේ කටවල් අරුනා, ඇස් දෙකක්ත් පැන්නා එලියට. අපිටත් හිනා අර කොලු ගැටයා හීන් සීරුවේ එලියට ආපු හැටි දැකලා.

" තමුසෙත් මෙකෙද ආවේ?? කොහෙද ඔයි මේකේ තමුසෙට එන්න ඉඩ තිබ්බේ ??? " ඔන්න පොලිසියේ ප්‍රශ්නේ. "අනේ සෑර් මම ආවේ බක්කියේ " කොලුවා බය පක්ෂපාතිව උත්තර දුන්නා. " මොන බක්කියක්ද අයිසේ ? " නැවතත් පොලිසියේ අවස්ථාව. ඒ පාර කොලුවා අර පිටිපස්සේ සීට් එකට පිටිපස්සේ තියන පොඩි ඉඩ පෙන්නුවා.
" තමුසෙලා මේ ආපු විදිහට තමුසෙලට තෑග්ගක් දෙන්න ඕනේ. බලනවා දැන් වැරදි කීයක්ද ? දඩ කියලත් කීයකට ගහන්නද ??? " පොලිසියෙන් යනවා දේසනාව. අපිටත් හිතුනා දඩ ගණන් බලලා ගැටයෝ සෙට් එකට හොඳ තෑග්ගක් දෙයි කියලා.  ගැටයෝ කිවේ උන් අවුරුදු 16, 18 වගේ කොලු ගැටව් ටිකක්. කොහොම හරි පැය බාගෙක විතර දේසනාවකින් පස්සේ කට්ටියව හරවා යැව්වා. එතනින් එහාට යන්න දුන්නේ නෑ. දඩ ගැහුවෙත් නෑ. කොල්ලෝ ටිකත් දේසනාව අහලා සාධු කාරයක් එහෙම දීලා වෙසක් බැලිල්ල පැත්තකින් තියලා ගියා. ඔන්න වෙසක් ළඟ හින්දා කියන්නේ වෙසක් කියලා මාර්ග නීති වෙනස් වෙන්නේ නෑනේ. පාරවල් පුරා  සෙනග නිසා කවුරු කවුරුත් පරිස්සමින්.

දෙවැනි සිද්ධිය 
 තව දවසක් මම හවස ටවුන් එකට යන්න බස් එකක් එනකම් ඉන්නවා හන්දියේ... ඒ වෙලාවට හන්දියේ කට කපලා සෙනග. වැඩ ඇරිලා යන උදවිය, පන්ති ඇරිලා යන ගෑනු ළමයි, වැඩ ඇරිලා යන ගෑනු ළමයි.... ජනගහනය බොහොම වැඩියි. ඔය වගේ වෙලාවට වැඩ පෙන්නන්න කැමති ඈයෝ ඉන්නවනේ. මම ඉන්නකොට එහෙම ඈයෙක් රෝද තුනක පිඹගෙන ආවා. ආපු ගැම්මටම වැඩ කාරයා වගේ හැරෙව්වා හන්දියෙන්. ගෙම්බා පොලේ ගැහුවා වගේ පාර මැද්දෙම පෙරලුනා ත්‍රි වීලර් එක. මොකෝ ත්‍රී වීල් එක කියන්නේ ජෙට් එක වගේ උඩින් යන්න තියන වාහනයක් නෙවෙයිනේ. වේග සීමාවත් 40යි. ඒ තත්පරේට ත්‍රි වීලර් හාදයා ඔලුව දාලා " මට කිසිම අවුලක් නෑ. කවුරුත් කලබල වෙන්න එපා. " කියලා හන්දියටම ඇහෙන්න කෑගහලා අපි දුවගෙන යන ටිකට ත්‍රි වීලර් එක කෙලින් කරගෙනත් ඉවරයි. විලි ලැජ්ජාව සහ වටේ ඉන්න අයගෙන් බැනුම් අහන්න වෙන නිසා මිනිහා තත්පරෙන් මාරු. කව්දෝ එකෙක් කිවා " මිනිහට නිතරම වැඩ පෙන්නන්න ගිහින් ඔහොම ඒවා වෙනවා. ඌට ඕවා හොඳට පුරුදුයි " කියලා. ඌට විතරක් නෙවෙයි ත්‍රී වීල් එකටත් ඒවා හොඳට පුරුදුයි කියලා හිතුනා කිසිම හාවක් හූවක් නැතුව ගිය විදිහ දැක්කහම.  ඔන්න වැඩ පෙන්නන්න යන අයට වෙන දේවල්. ආදර්ශෙට ගන්නවා හොඳයි.

තුන්වැනි සිද්ධිය
මේක අපේ ගෙවල් පැත්තේ කොල්ලෙක්ට හයර් එකක් ගිහිල්ලා වෙච්ච වැඩක්. මනුස්සයා රෑ මල ගෙදරක ගිහින් හයර් එකක්. ගිහින් තියෙන්නේ මිරීගමට. වරකාපොල ඉඳං මීරිගමට යන්න තියන පාර මහා අහීමාන පාරක්. කොල්ලා හයර් එක ගිහින් රෑ 2ට විතර එනවලු. හයර් එක ගියපු අයියයි මූ දෙන්නා විතරයි ත්‍රි වීල් එකේ. ඔහොම එනකොට එක පාරම මුන් දෙන්නා දැකලා කෙල්ලෙක් ඉන්නවා පාර අයිනේ.... මළගෙදරක ගිහින් මහා රෑ 2ට විතර පාලු පාරක එනකොට ගෑනු පරානයක් දක්කහම මතක් වෙන්නේ කව්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.  ඔව් ඔව්... මෝහිනී අක්කා තමයි මතක් වෙලා තියෙන්නේ දෙන්නටම. එක පාරටම දෙන්නා ගැස්සුනත් කව්ද දන්නේ හදිසි ලෙඩෙක්, එහෙම නැත්නම් කරදරයක්ද කියලා කෝකටත් පොඩ්ඩක් බලමු කියලා ටික දුරක් ගිහින් නැවත්තුවලු. මෙන්න අර හිටපු කෙල්ල ලොකු බෑග් එකකුත් උස්සගෙන දුවගෙන ඇවිත් වීල් එකට නැග්ගලු. අරුන් දෙන්නා හොඳටම බය වෙලා. බෑග් එක තිබ්බට පස්සෙයි කෙල්ල ත්‍රිවිල් එකේ හිටපු එකාගේ මුණ දැකලා තියෙන්නේ. ඒ පාර කෙල්ල කෑගහගෙන ත්‍රිවිල් එකෙන් පැනලා. පිටිපස්සේ හිටිය එකා බෑග් එකත් එතනම බිමින් තියලා දෙන්නම පිඹගෙන ඇවිල්ලා ගෙදරම. කොහොමහරි 3දෙනාම බය වෙලා. පහුවදා ආරංචි කරලා බලද්දී අනේ ඒ පැත්තේ කෙල්ලෙක් රෑ පැනලා ගිහිල්ලලු. මුන් දෙන්නට හම්බ වෙලා තියෙන්නේ ඒ කෙල්ල. ඒකි හිතලා තියෙන්නේ ත්‍රි වීල් එකේ ආවේ කෙල්ලගේ කොල්ල කියලා. වැරදි ත්‍රි වීල් එකට නැගලා.

ත්‍රි වීලර් ගැන නම් තව කතා ගොඩක් තියනවා. ඒත් මෙහෙම එක පෝලිමට මාගල වගේ ලියන්න බෑ. අයෙ නිවාඩු වෙලාවක දාන්න බැරියෑ..........

Sunday, May 1, 2011

කොල්ලා කාණුවේ......

පහුගිය ටිකේ ටිකක් වෙනස් පෝස්ට් ලියපු නිසා මේ සතියේ පොඩි වෙනසකට වෙච්ච සිද්ධියක් ලියන්න හිතුවා.  මේ කියන්න යන්නේ ඈත අතීතයේ සිද්ධ වෙච්ච ඇබැද්දියක්...  කොටින්ම කිවොත් ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවක් මේ....... ඒ කාලේ කීවට මහා කාලයක් නෑ. මගේ මතකයේ හැටියට ඒ එකදාස් නවසිය අනූ නවය වසරයි. ඒ වසර නම් මරුම වසර. එකයි නවයේ ඒවම තුනක් තිබ්බා. අනික 20වෙනි ශත වර්ෂයේ කෙලවරටත් කිට්ටුයි. ඒවගෙන් වැඩක් නෑ. කොහොමෙන් කොහොම හරි අපිත් එතකොට නවය වසරේ. කියන්න හැදුවේ අපි එතකොට නවය වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෝ කියලා.

ඔන්‍න‍ නවය වසරදී ස්කොලෙන් අපිව විනෝද චාරිකාවක් එක්ක ගියා. ආ...... වැරදුනා. අපේ ගුරුවරු කීවේ ඒකට විනෝද චාරිකාවක් කියලා නෙවෙයිනේ ඒකට කීවේ අධ්‍යාපන චාරිකාවක්.  ඔය මොනවා කීවත් ඒ කාලේ අපිට  ඕනෑම ගමනක්  විනෝද චාරිකා තමයි. ගෙදර ඉඳන් ස්කෝලෙට යන එකත් විනෝද චාරිකාවක් කරගත්ත අපිට ඕවා මොනවද ? ස්කොලෙන් ගිය  හැම ගමනටම වගේ මේ ගමනටත් මට තිබුන ප්‍රශ්නේ තමයි පාන්දර ස්කෝලෙට යන එකයි. ගමන ගිහින් ආවට පස්සේ රෑ දෙගොඩහ ගෙදර එන එකයි. නවය වසර කියෙන්නේ ඉතින් අපි කිරි කජු කොල්ලොනේ. ගෙදරින් තනියම නම් රෑ එන්න දෙන්නේ නෑ. අම්මා විතරනේ හිටියේ. ඉතින් අම්මට තනියෙන් එන්නත් බෑනේ. අපේ ස්කොලෙයි ගෙදරයි අතර දුර කිලෝමීටර් 36ක්. ඔන්න අපේ අම්මා මාව එක්ක යන එකයි ආපහු එක්ක ගෙන එන එකයි අපේ ගෙදර වැඩවලට උදව් කරපු පියදාසට භාර දුන්නා.  පියදාසගේ පිහිටෙන් මමත් දෙයියනේ කියලා ගමන ගියා. අපේ ගෙවල් ළඟ ඉන්න කොඩ්ඩයි, මිතිලයයි දෙන්නත් ගියා, උන් දෙන්නා ගියේ තාත්තා එක්ක.

ගමන අහවර වෙලා ස්කෝලෙට කිට්ටු වෙද්දී රෑ 11 විතර වෙලා. ඒ වෙලාවට ඉතින් බස් එහෙම අඩුයි. මමයි පියදාසයි. මිතිලයයි, කොඩ්ඩයි, ජයසුරියයි උන් තුන් දෙනාගේ තාත්තලයි අපි කට්ටියම ඉන්නවා බස් එකක් එනකම්. සිද්ධිය වුනේ ඔය අතරේ. තාත්තලා වෙනම කතාවක් දාගෙන ඉන්න අතරේ අපි හතරදෙනා ගමන ගැනයි, එක එකාට වෙච්ච දේවල් ඕවා මේවා ගැන කතාව. කුරුණෑගල අවට ඉන්න අය නම් දන්නවා ඉස්සර දුර ගමන් සේවා බස් නැවතුම තිබ්බ තැන. කුරුණෑගල පොදු වෙළදපොල ඉස්සරහා ඔරලෝසු කනුව ලඟයි දුර සේවා බස් නැවතුම තිබ්බේ. ඔය ඔරලෝසු කනුව ළඟ හරි හරියට සුවිප් කූඩු තිබ්බා. දැන් නම් තියනවද දන්නේ නෑ. කොහොමත් දැන් එතන දුර සේවා නැවතුම නම් නෑ. ඊළඟ වැදගත් දේ තමයි බූ ඇල. කුරුණෑගල ටවුම පැත්තේ පස් පාගලා තියන උදවිය නම් අනිවාර්යයෙන් ඔය බූ ඇල ගැන දන්නවා. කුරුණෑගල නගරයේ සියලු අපද්‍රව්‍ය බැහැර කරන්න පාවිච්චි කරන වාරිමාර්ග ක්‍රමය තමයි බූ ඇල. ඔය බූ ඇලේ අතු ටවුන් එක පුරාම තියනවා. ඒවා වැඩිහරියක් ක්‍රොන්ක්‍රිට් ලෑලි දාලා වහලා තියෙන්නේ. ඔතන " බූ " වෙනුවට " ගූ " කියන අකුර පාවිච්චි කරත් ඒ හැටි වෙනසක් නෑ. ඔය අසිරිමත් බූ ඇලේ ශාඛාවක් යනවා ඔරලෝසු කනුව ඉස්සරහින්. වෙන මොකටවත් නෙවෙයි මාර්කට් එකේ කුණු ටික එකතු කරගන්න. හරි හරි ඒ විස්තරේ ඇති. කතාවට එමුකො.

ඔන්න පැය භාගයක් විතර ඉන්නකොට අපිට පොඩි හදිස්සියක් ඇති වෙනවා. සුළු දිය ප්‍රශ්නයක්. මහ රෑ ආයේ වෙන කොහෙවත් රිංගන්න ඕනේ නෑනේ. හතර දෙනාම තීරණය කරා  ඒ අහල පහල තිබ්බ සුවිප් කූඩු පිටිපස්සට ගිහින් වැඩේ කරගන්න. අර මම කිව ඇලේ ශාඛාව වහලා තියන ක්‍රොන්ක්‍රිට් ලෑලි උඩ තමයි ඔය සුවිප් කූඩු තිබ්බේ.  ඔන්න දැන් අපි හතර දෙනාම කයිය ගහ ගහ කූඩු අස්සෙන් රිංගනවා. මිතිලයා හිටියේ මගේ වම් අත පැත්තෙන්.  එක පාරටම මෙන්න මගේ වම් අත වගේ හිටපු මිතිලයා පොලව පලාගෙන අපාගත වුනා. කවුරුත් දැකලා නෑ නේද මිනිහෙක් පණ පිටින් අපාගත වෙනවා. මට අද වගේ මතකයි ඌ පොලව පලාගෙන ගිය හැටි. එක පාරටම කළුවර අස්සෙන් මූ පොලව ඇතුලට ගියා. අන්තිමටම වගේ මූ ඇඳගෙන හිටපු සුදු පාට ෂර්ට් එකත් නොපෙනී ගියා. තප්පර දශම ගානෙන් ජවනිකවම ඉවරයි. මම ඉක්මනට අනිත් උන් දෙන්නට කතා කළා. හිතාගන්න බෑ වුනේ මොකක්ද කියලා.

" මචං කොඩ්ඩා, ජයා, වරෙල්ලකෝ. අරූ නෑ බං.. අතුරුදහන් වුනා. මාත් එක්කමයි මූ හිටියේ. එක පාරටම පොලව පලාගෙන  වගේ ගියා " මම අනිත් උන් දෙන්නට ඒ ත්‍රාසජනක ජවනිකාව විස්තර කරනවා. ඒ අස්සේ හීනියට කෙඳිරිලි සද්දයක් එනවා. සද්දේ හින්දා ඔන්‍න‍ අපි තුන්දෙනා පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. කට්ට කරුවලේ අපිට යාන්තමට පෙනුනා අර බූ ඇලේ එක කොන්ක්‍රීට් ලෑල්ලක් නෑ කියලා. අපේ මිතිලයා අඩිය තියලා තියෙන්නේ එතනට. " අනේ තාත්තට කතා කරපල්ලා. අම්මෝ... ඉන්න බෑ. කකුල රිදෙනවෝ, බුදු අම්මෝ.... " මිතිලයගේ කෙඳිරිය දිගටම යනවා. හරියට ප්‍රයිවට් බස් එකක දාපු නන්ස්ටොප් කැසට් එකක් වගේ. කොඩ්ඩා දුවගෙන ගියා  මිතිලයාගේ තාත්තා හොයන්න. ඒ අතරේ මමයි ජයයි අරුගේ අත් දෙකෙන් අල්ලලා ගොඩට ගත්තා. අප්පා උගේ කුසුඹ.... පළාතේ ඉන්න බෑ. මම කිවේ ඒකයි  "බූ" කියන තැනට "ගූ" දැම්මත් වරදක් නෑ කියලා. ඊට වඩා මූ ගොඩ ගත්ත වෙලේ ඉඳං මොර දෙනවා අඩිය තියන්න බෑ කකුල රිදෙනවා කියලා. ඔක්කොම අස්සේ අපට හිනා වෙච්ච වැඩේට. අපි හිනාව නවත්තගන්න දඟලනවා. අපිට හිනා යන්න හිනා යන්න අරුගෙ ඇඬියාව වැඩි වෙනවා.

යාන්තම් මුගේ ඇඟේ ගෑවිලා තිබ්බ කුණු එහෙන් මෙහෙන් පත්තර පිටු ටිකක් අරගෙන පිහදැම්මා. කොහෙද ඒත් අර ගඳ නම් එහෙමමයි. මට හිතුන විදිහට නම්  හත් පාරක්වත් ඌව නාවන්න ඕනේ ගඳ යවන්න. මහා රෑ නාන්න තැන් හොයන්න කියලද ???  හිමිට පේන්න තිබ්බ ජරාව පිහිගෙන ඒ එක්කම ආපු ඉන්ටර් සිටි බස් එකකට මූවත් අමාරුවෙන් නග්ගගෙන අපි ගෙදර ආවා. මුළු බස් එකම ගඳයි. බස් එකේ හිටියේ අපි ඇරුනහම තව දෙතුන් දෙනෙක් නිසා  අවුල් වුනේ නෑ. අනිවා පහුවදා උදේම බස් එක සර්විස් කරන්න දාන්න ඇති...

උදේ ආරංචි වුනා මිතිලයාගේ කකුල පැනලා කියලා. මතක විදිහට ඌට මාස දෙකකට කිට්ටු වෙන්න ස්කොලේ යන්නත් බැරි උනා.කුණු කානුව උනත් බූ ඇල අඩි 5ක් 6ක් ගැඹුරුයි. ඕකට වැටිච්ච එකෙක්ට ලේසියෙන් අතක් පයක් බේරගන්නේ වෙන්නේ නෑ. අපිට නම් ඒ වෙලාවේ තිබ්බ අමාරුම වැඩේ තමයි ගඳ ඉවසන එක. තව අදටත් බූ ඇල ලඟින් යද්දී මට ඔය සිද්දිය මතක් වෙනවා. මොකද එදා තමයි මම ජීවිතේටම මිනිහෙක් පණ පිටින් අපාගත වෙන හැටි සජීවීව දැක්කේ.............................