Monday, June 27, 2011

ඇතුවත් බැරි නැතුවත් බැරි විශ්වාසය

" අනේ මන්ද මචං කිසිම එකෙක් විස්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයි බං මේ "

" අම්මා තාත්තවත් විශ්වාස නැති කාලයක් "

" උඹට හොඳටම විශ්වාසද ඌව, මට නම් සත පහකට විශ්වාස නෑ බං " 



කාත් එක්ක කතා කලත් නිතරම මේ වගේ දේවල් ඇහෙන නිසා අද විශ්වාසය ගැන ලියන්න හිතුනා. කවුරු කොහොම කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ කිවත් මිනිස්සු ඉපදිලා මැරෙනකම්ම කුමන හෝ විශ්වාසයක් මත ජිවත් වෙන බව නම් මට විශ්වාසයි.  අපි පුංචි උන් සන්දියේ ඉඳලා අපේ වටේ ඉන්න අයව විශ්වාස කරන්න පෙළඹෙනවා. පොඩි කාලේ අපි නොදන්නා දෙයක් දැක්කාහම දැනුනහම අපි ක්ෂණිකව අහන්නේ අපේ ළඟ ඉන්න දෙමාපියන්ගෙන්. මොකද අපිට ඒ අයව විශ්වාසයි. ඒ කාලේ සමහර දේවල් අපිට තේරුම්  ගන්න අමාරුයි කියලා අම්මට තාත්තට තේරුනහම  ඒ අය අපට බොරු කිවා. ඒත් අපිට තේරෙන කාලේදී ඒ අය බොරු කිවා කියලා අපිට අම්මලා තාත්තලා ගැන තිබ්බ විශ්වාසය අඩු වුනේ නෑ. මොකද අපිට තේරුනා ඒ මොහොතේ ඒ දේවල් තේරුම් ගන්න තරම් ශක්තියක් නැති නිසයි අම්මලා අපිට ඒ විදිහේ උත්තරයක්‌ දුන්නේ කියලා. ඒ නිසා ඒ විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වුනේ නෑ. ඒත් අද කාලේ නිවුස් එහෙම ඇහෙද්දී හිතෙනවා අම්මලා තාත්තලා උනත් විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයි නේද කියලා..  හැමෝම නම් නෙවෙයි.

අපි අම්මලා තාත්තලා ගෙන් ඈත් වෙලා ස්කෝලෙට එතකොට ගෙදරින් එළියේ සමාජයට ගියාට පස්සේ අපිට සෙට් වුනා යාළුවො. අපි සමහර යාළුවන්ව විශ්වාස කරා. සමහර එවුන් නම් සත පහකට ෂුවර් නෑ. යාළුවො අතර  විශ්වාසය ගොඩ නැගුන විදිහ නම් හරි අපූරුයි.  අපි ඔක්කොමල්ලා විවිධාකාර පවුල් පසුබිම් වල ඉඳලා තමයි එකට වැටුනේ. ඉතින් එක එකා හිතන පතන විදිහ හරිම වෙනස්. ඒ අස්සේ මම වගේම නැතත් මට ටිකක් කිට්ටුවෙන් හිතන එකෙක් සෙට් වුනහම පොඩ්ඩක් හිතවත් වෙනවා. ඒත් සත පහකට විශ්වාස නෑ. ඊට පස්සේ ටික ටික ඌව අධ්‍යනය කරනවා. එක එකාගේ හැටියට ඔය අධ්‍යනය කරන කාල පරාසය වෙනස් වෙනවා.  ඔය විදිහට කාලයක්  යනකොට අපිටම ඒත්තු යනවා මූ  නම් විශ්වාස කරන්න පුළුවන් ගොබිලෙක් කියලා. ඊටත් පස්සේ අපි මූණ දෙන්න දේවල් වලට ඒ මනුස්සයා දක්වන ප්‍රතිචාර එක්ක අපිට හිතෙනවා මේ යකා නම් විශ්වාස කරන්න පුළුවන් කියලා. ඔය විදිහට ඇති වෙච්ච යාළුකම් විශ්වාසවන්තකම් සමහරවිට කැඩිලා බිඳිලා යනවා. හේතුව අපි අර මනුස්සයව අඳුරගෙන තියෙන්නේ වැරදියට. හැබැයි මගේ පොඩි කාලේ ඉඳං ආශ්‍රය කරන, විශ්වාස කරන උන් මට නම් තාමත් විශ්වාසයි. මොකද ඒ අය තාමත් ඒ විශ්වාසය පළුදු වෙන වැඩ කරලා නැති නිසා.

සමහර  වෙලාවට අපේ යාලුවෙක් කරන වැඩ නිසා  අපිට හිතෙනවා මූව නම් සත පහකට විශ්වාස නෑ කියලා. ඒත් කාලයක් යද්දී වැටෙහෙනවා ඌ ඒ දේ කරේ අපේම හොඳට නේද කියලා. සමහර වෙලාවට අපි පරක්කුයි. කොහොමත් විශ්වාසය කියන දේ එක පාරක් පළුදු උනහම ආයෙත් යථා තත්වයට ගන්න අමාරුයි. හරියට වටිනා කරන වීදුරු භාණ්ඩයක් වගේ. බොහොම දුර්ලභ චීන මැටි භාජනයක් වගේ. එක පාරක් කැඩුනොත් ආයේ ඉතින් එක මොනවා කරලවත් යථා තත්වයට ගන්න බෑ......

කොහෙවත් ඉන්න කවදාවත් දැකලා නැති කෙනෙක් ඇවිල්ලා තවත් කෙනෙක්ට කිවොත් " මාව විශ්වාස කරන්න " කියලා  අර මනුස්සයා කියයි " තමුසෙට පිස්සුද ? කවදාවත් දැකලා නැති, දන්නේ නැති කෙනෙක්ව විශ්වාස කරන්න කියන්නේ කියලා "     විශ්වාසය කියන දේ ඇති වෙන්නේ අපි තව කෙනෙක් ගැන දැනගෙන, මැනගෙන ඒ මනුස්සයා අපි බලාපොරොත්තු වෙන සීමාවට ආවට පස්සෙයි. එහෙම නැතුව නිකම්ම දැක්ක පලියට කිව පලියට මිනිහෙක් විශ්වාස කරනවා නම් ඒ ඉතින් නොම්මර එකේ මෝඩයෙක්. මම එහෙම කීවට මොකද මේ ලෝකේ සමහරු ඉන්නවා මිනිස්සු මෝඩයාට අන්දන්න උපන් හපන්කම් තියන මිනිස්සු. උදාහරණයකට ගමුකො සක්විති. විශ්වාසය සහ තන්හාව නිසයිනේ මිනිස්සු තමන් හම්බකරපු සන්තකේම මිනිහට දුන්නේ. ඒ නිසා කෙනෙක් විශ්වාස කරද්දී පුදුම විදිහට පරිස්සම් වෙන්න සිද්ධවෙනවා. එතකොට සමහරු කියයි  " අපෝ ඊට වඩා හොඳයි කිසිම කෙනෙක් විශ්වාස නොකර ඉන්න එක " කියලා. ඔව් ඒකත් හොඳයි. හැබැයි ඒ විදිහට වටේ ඉන්න හැමෝම ගැන සැකෙන් බල බල ජිවත් වෙන එක කොච්චර දුරට සාර්ථකද කියන එකයි ප්‍රශ්නේ. මොකද මට උදව්වක් ඕනේ වෙලාවට මම ඒ උදව්ව ඉලන්නේ මගේ විශ්වාසවන්ත කෙනෙක්ගෙන්. එහෙම නැතුව විශ්වාස නොකරන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න පෙළඹෙන්නේ නෑනේ. අනික මාව විශ්වාස නොකරන කෙනෙක්ට උදව්වක් දෙන්න මම බයයි. අවිශ්වාසයෙන් උදව්වක් ගන්න එක සහ දෙන එක දෙගොල්ලන්ගේම සැක මතු වෙන්න හේතුවක් වෙනවා. කොහොමත් අවිශ්වාසය තියන තැනට සැකය එනවා. එතනට නිකම්ම බයත් එනවා. ඒ නිසා අපිට හැම තිස්සෙම කාව හරි මොකක්හරි විශ්වාස කරන්න සිද්ධවෙලා තියනවා. හැබැයි මොනවා විශ්වාස කරන්නත් කලින් විශ්වාස කරන්න ඕනේ ලොකුම දේ තමයි තමන්ව. තමන්ට තමන්ව විශ්වාස නැති උන්ගෙන් උන්ටත් සමාජයටත් වෙන්න තියන හානිය වැඩියි. මොනවා කරත් කරන්න ගියත් තමන් ගැන විශ්වාසය තියෙන්නේ ඕනේ.
මිනිස්සු අදහන ආගම් ගත්තොත් වැඩි ආගම් ප්‍රමාණයක් දෙවියන් මූලික කරගෙන බිහිවුන ආගම්. දෙවියන් දැකලා නැති උනත් මිනිස්සු දෙවියන්ව විශ්වාස කරනවා.  දෙවියෝ ගැන භක්තියෙන්, විශ්වාසයෙන් ආගම අදහන කෙනෙක්ගෙන් ඇහුවොත් " උඹ මොකටද දැකලාවත් නැති, කටහඬවත් ඇහිලාවත් නැති දෙවියෙක්ව විශ්වාස කරන්නේ ?? " කියලා,  ඒ ප්‍රශ්නේ අහපු එකාට හොඳ කනේ පාරක් නම් ලැබෙන්න ඉඩ තියනවා. මිනිස්සු ඉපදුන දවසේ ඉඳං ඒ දෙවියන්ට ගරු කරනවා, විශ්වාස කරනවා, අදහනවා.  මොකද මිනිස්සු වෙච්ච අපිට විශ්වාසය කියන දේ වැදගත්. විශ්වාසය උඩ දෙයක් පටන් ගත්තොත් මිසක් කිසිම විශ්වාසයකින් තොරව පටන් ගන්න දෙයක් සාර්ථක වෙන්න තියන ඉඩ කඩ අඩුයි.  ඒ නිසයි ලෝකේ මිනිස්සු බහුතරයක් දෙවියන්ව විශ්වාස කරන්නේ සහ ඒ විශ්වාසය මත ඒ මිනිස්සු කරන දේවල් සාර්ථක වෙනවා කියලා විශ්වාස කරන්නේ. මම මේ කිවේ දෙවියන්ව විශ්වාස කරනවාද නොකරනවාද කියලා නෙවෙයි. ඒත් මිනිස්සුන්ට විශ්වාසය වැදගත් කියලයි. මිනිස්සු කොච්චර කිවත් මම කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ කියලා මිනිස්සු වෙච්ච අපිට විශ්වාසය වැදගත්. මොකද විශ්වාසය නැති තැනට සැකය එන නිසා. සැකයත් එක්ක බය එන නිසා. මම කියන්නේ නෑ ලෝකේ ඉන්න හැමෝම එහෙම නැත්නම් ලෝකේ තියන හැමදේම  විශ්වාස කරන්න කියලා. නමුත් යම් යම් අවස්ථාවලදී අපිට යම් යම් දේවල් විශ්වාස කරන්න වෙනවා. 
සමාජයේ කිනම් හෝ පිරිසක් කෙනෙක්ව විශ්වාස කරනවා නම් ඒ පුද්ගලයාගේ යුතුකම තමයි ඒ විශ්වාසය පළුදු නොකර තියාගන්න එක. ඒත් කවදා හරි ඒ විශ්වාසය බිඳුණු දවසට ඒ මනුස්සයට සමාජයට එන්න අපහසු වෙනවා. ඒ වගේම අර මිනිහව විශ්වාස කරපු පිරිසටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ මිනිස්සුන්ටත් ලෝකෙට මූණ දෙන්න අපහසු වෙනවා. ඒ මිනිස්සුත් දුක් වෙනවා. මොන විදිහෙන් හරි අර මනුස්සයා සමාජයට නැවත ආවත් ඔලුව උස්සගෙන ඉන්න නම් වෙන්නේ නෑ.  සමහර විටදී ඒ මනුස්සයා අතින් විශ්වාසය බිඳුනේ සාධාරණ හේතුවක් මත නම් දෙවැනි අවස්ථාවක් ලැබේවි. කොහොම උනත් කෙනෙක්ගේ විශ්වාසයක් දිනාගත්තා නම් ඒ විශ්වාසය රැකගන්න එකත් විශ්වාසය දිනා ගත්තා වගේම වැදගත්....  ඒ නිසා හැමෝගෙම යහපත ගැන හිතලා තවකෙනේක්ගේ විශ්වාසය දිනා ගන්න කලින් ඒ විශ්වාසය රදවාගන්න පුලුවන්ද කියලා දෙපාරක් හිතන්න........

( මේ දවස් ටිකේම පොඩ්ඩක් එකම විදිහේ පොස්ට් සෙට් එකක් යන්නේ. මේකත් ලියලා ඉවර වුනාට පස්සෙයි හිතුනේ දිගටම ලිවේ එක වගේ ඒවා කියලා. ලබන සතියේ වෙනස් එකක් ලියනවා ලියනවාමයි..... )

Tuesday, June 21, 2011

පශ්චාත්තාපය නොහොත් පසුතැවිල්ල



ටික දවසක් සද්ද නැතුව ඉඳලා ඔන්න අද මොකක් හරි ලියන්න ඕනේ කියලා හිතුනා....   අද ලියන්න යන්නේ නම් මට සිද්ධවෙච්ච ඇබැද්දියක් නෙවෙයි.  ඊමේල් කඩදහියකින් ලැබුන එකක්. මේ ඇබැද්දිය කාට සිද්ධ වුනත් මේ වගේ සිද්ධි අපිටත් ඉඳලා හිටලා සිද්ධ නොවෙනවාමත් නෙවෙයි නිසා ලියන්න හිතුනා. මොකද මේකෙන් කාට කාටත් යමක් ඉගෙන ගන්න තියනවා. මෙතන ඉඳං කතාව ලූ වලින් තමයි කියන්න වෙන්නේ. මේ කතාවේ කතා නායිකාව සුදු නෝනා කෙනෙක්. මේ නෝනා ඔන්න දවසක් තමන්ගේ රටේ ඉඳං වෙන රටකට පියාඹනවලු. අතරමඟ ගුවන්තොටුපලකින් නෝනාට වෙනත් ගුවන් යානයකට මාරුවෙන්නත් තියනවලු. ඒ කිවේ ට්‍රාන්සිට් කේස් එකක්.. ඔය ට්‍රාන්සිට් ගැන කට්ට කාපු උදවිය දන්නවා. කොහොමහරි ඔය ගුවන්යානා මාරුව තිබ්බ ගුවන් තොටුපලට ඇවිල්ලා බැලුවහම ඊළඟ ගමනට පැය 6ක් විතර බලාගෙන ඉන්න වෙනවලු. මොනවා කියල කරන්නද ? නෝනාත් ඉතින් මේ පැය 6 කොහොමහරි ගෙවාගන්න හිතාගෙන පොතකුයි, බඩගින්නට ඉස්සතරම්ම වර්ගයේ කුකීස්  පැකට් එකකුයි අරන් හොඳ සැප පුටුවක වාඩි වුනාලු. දන්නවනේ සුදු නෝනලා හොයන්නේ ඉස්තරම්ම දේවල්නේ.......

ඔන්න ටික වෙලාවක් යද්දී කොහේදෝ යන මහත්තයෙක්  ඇවිල්ලා මේ නෝනා වාඩිවෙලා හිටිය පුටු පේලියේම වාඩිවුනාලු. දෙන්නා අතරේ එක හිස් පුටුවක් තියනවා. මහත්තයත් ඔන්න පොතක් දිග ඇරගෙන කියවන්න ගත්තලු. ඔය අතරේ නෝනට මතක් උනාලු ගත්ත කුකීස් පැකට් එක. බලද්දී මේ නෝනායි මහත්තයයි අතර තියන හිස් පුටුව උඩලු කූකීස් පැකට් එක. ඒ විතරක් නම් මදෑ.... අර මහත්තයා පොත කියවන ගමන් ඒකෙන් එකක් අරගෙන කනවලු. දැන් මේකට නෝනට ඌරු ජුවල්. ඇයි යකඩෝ පැය 6ක් තිස්සේ කන්න ගෙනාපු එක වෙන එකක් කද්දී යකා නගිනවනේ.... අනික කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව. මොනවා උනත් මේ සමාජයේ තියනවනේ ආචාර ධර්ම. දැන් නෝනට පොත කියවන්න තරම් ඉස්පාසුවක් නෑලු. හිතින් අර මහත්තයාගේ පරම්පරාවටම පින් අනුමෝදන් කර කර ඉන්නවලු. අනික ඉතින් ඔය කුකීස් එකක් ගැන කට ඇරලා අහන්නත් ලැජ්ජයිනේ. ඔන්න ඔහේ ඕනේ එකක් කියලා නෝනත් ගත්තලු කුකියක්‌ අතට. තරහින් පැලෙන ගමන් නෝනත් කුකීස් කනවලු. නෝනා පුපුර පුපුරා ඉන්න අතරේ අර මහත්තයා නිවිහැනහිල්ලේ පොත කියවනලු. ඒක දකිනකොට නෝනට මල් පොකුරු පිටින් පනිනවලු. ඔය විදිහට වෙලාව යද්දී දෙන්නගෙම පිහිටෙන් කුකීස් පැකට් එකේ අවසානෙට ආවලු. දැන් තියෙන්නේ කුකීස් එකයි. නෝනා මෙහෙම කල්පනා කරනවලු " බලමුකෝ දැන් මේ යකා මොකද කරන්නේ කියලා. කිසිම හැදියාවක් නැති එකෙක්නෙ.  අනිතිම එකත් උගේ වගේ පැනලා ගනී." ඔය විදිහට හිතින් බැන බැන ඉන්නකොට අර මනුස්සයා ඉතුරු වෙච්ච කුකීස් එක දෙකට කඩලා කෑල්ලක් නෝනට තියලා ඉතුරු බාගේ කෑවලු...  හිතාගන්න පුළුවන්නේ නෝනට මොකක් හිතෙන්න ඇතිද කියලා. තමන්ගේ කුකීස් පැකට් එකම  අහන්නෙවත් නැතුව කාලා ඒ මදිවට ඉතුරු වෙච්ච එකත් තමන්ගේ වගේ දෙකට කඩලා කෑවහම කොහොමද?

ඔය සිද්ධි පේලිය අවසාන වෙද්දී නෝනට ඊළඟ ගුවන් යානයට යන්න වෙලාවත් හරි. කඩිමුඩියේ ලට්ට පට්ටත් අරගෙන නැග්ගලු ඊළඟ ගුවන් යානයට.නැගලා හරි බරි ගැහිලා වාඩිවෙලා එහෙම ඉන්න අතරේ මොකක්දෝ වුවමනාවකට නෝනගේ අත් බෑග් එක විවෘත කරාලු. මෙන්න බොලේ අර කාපු කුකීස් පැකට් එක බෑග් එක ඇතුලෙලු....  නෝනට තරු පොකුරු පොකුරු විසිවුනාලු.  ඒ මදිවට අසීමිතව  ලැජ්ජා හිතුනලු තමන් ගැන. මොකද මෙච්චර වෙලා අර මනුස්සට බැන බැන කාලා තියෙන්නේ ඒ මනුස්සයා ගෙනාපු කුකීස් පැකට් එක.. අනික තමන්ගේ එකෙන් අහන්නේ නැතුව කනවා කියලා මේ නෝනා මොනතරම් නම් විස්සෝප වුනාද? එහෙම එකේ අර මනුස්සයා කිසිම වචනයක් නොකියා සද්ද නොකර ඒ මහත්තයාගේ කුකීස් පැකට් එක බෙදාගෙන කාපු ලස්සන.... ඒ මදිවට අන්තිමට ඉතුරු වෙච්ච එකෙන් බාගයක් මේ නෝනාට දෙන්න තරම් කාරුණික වුනා. එච්චර කාරුණික වුන මනුස්සයට ස්තුතියි නොකියා හිතින් කොච්චර නම් බැන්නද?  දුවගෙන ගිහින් අර මනුස්සයාගෙන්   සමාව අරගෙන ස්තුතියි කියලා එන්න හිතුනත් දැන් ප්‍රමාදයි.... දැන් ඉතින් කොහේන් කියලා හොයන්නද ඒ මනුස්සයව. නොනාමහත්තයාට සිද්ධවුනේ තමන් කරපු ජරා වැඩේ ගැන හිතින් දුක් වෙන්න. අඩු ගානේ අර මනුස්සයට ඒ ගැන කියලා හිත සැහැල්ලු කරගන්නවත් අවස්ථාවක් නැතිවුනා.

මේ සිද්ධිය හරි සරල සිද්ධියක්. ඒත් ඉගෙන ගන්න දෙයක් තියනවා කියලා හිතුන නිසයි ලිවේ. අපිටත් ඔහොම දේවල් මේ ජිවිත කාලේ ඇතුලත සිද්ධවෙලා තියනවනේ. සමහර වෙලාවට සමහර දේවල් අපිට තේරුම් යද්දී අපි ගොඩක් ප්‍රමාදයි. සමහර වෙලාවට අම්මලා තාත්තලා, එතකොට වැඩිහිටියෝ, එවගේම යාළුවො කරන වැඩ ගැන අපිට කේන්ති යනවා. ඒත් ටික දවසකින් තේරෙනවා ඇයි ඒ අය එහෙම කලේ කියලා.  තේරෙන කාලේ වෙද්දී වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි. අන්තිමේදී ඉතුරු වෙන්නේ පසුතැවිල්ල විතරයි. අපි ජිවත් වෙන්නේ කෙටි කාලයයිනේ...  ඔය කාලයේ අපි අතින් වැරදි වෙනවා. සමහර ඒවා හදාගන්න පුළුවන්. සමහර ඒවා ඉක්මන් වුනොත් බේරගන්න පුළුවන්. ඒත් සමහර දේවල් මොනවා කරලවත් ආයේ යථා තත්වයට ගන්න බෑ...   බොහෝවිට එහෙම වෙන්නේ කාලය කියන දේ පස්සට ගන්න බැරි නිසා.......  ඒ නිසා අපිට හිතෙනවා නම් කරපු දේ වැරදියි කියලා, එහෙම නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක් වැරදියට වටහාගත්තා කියලා අදම ඒ ගැන හිතලා අදම ඒ ගැන කතා කරලා සමාව ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ විතරක් නෙවෙයි, සමහරවිට කෙනෙක් ගැන සැකයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තරහක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ කෙනෙක් ගැන හිතේ තිබ්බ ලෙන්ගතු කමක්,  එහෙමත් නැත්නම් ආදරයක් වෙන්න පුළුවන්..... මොන දේ හිතුනත් ඒ දේ අදම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් සමහරවිට පසුතැවීම් අඩු වෙන්නත් පුළුවන්. මොකද ඒ දේ හෙට කියන්න හිටියොත්, හෙට කියන දවස ගොඩක් ප්‍රමාද වෙන්න පුළුවන්....

ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ...........
(ඒත් ඉතින් ප්‍රමාද වුනාට පස්සේ පසුතැවිලා වැඩක් නෑ. ඊට පස්සේ ඒ දේ නොකරන ඉන්න උත්සහ ගන්න එකයි වැදගත්.)

Sunday, June 12, 2011

මම කරපු ගොංකම්.........

පහුගිය ටිකේම දිගටම ලිවේ ලනු දුන්න ඒවයි, එතකොට ගුටි කාපුවා එහෙමනේ. අද වෙනස් විදිහක පොස්ට් එකක් ලියන්න හිතුණා. අපි හැමෝම ඉතින් ජිවිතේ හැමදාම හරියට හරිම දේ කරන්නේ නෑනේ. හරි වගේම වැරදි දේවලුත් අපේ අතින් සිද්ද වෙනවා. හැබැයි මම හිතනවා නොදැන එක පාරක් කරපු වැරැද්ද දැන දැන ආයේ කරනවා නම් එක තමයි කරන ලොකුම ගොන්කම. මොකද කරේ වැරැද්දක් කියලා තේරුණාට පස්සේ ඒ වැරැද්ද හදාගන්න බැරිවුණොත් අපේ ජිවිතවල දියුණුවක් දකින්න අමාරුයි කියල මම හිතනවා.  මේවා ඔක්කොම ඉතින් මට හිතෙන දේවල්. අද ලියන්න යන්නේ මම හොඳ පාඩමක් ඉගෙන ගත්ත සිද්ධියක්. මම අර විහිළු සහ ගුටි කෑම  පෝස්ට් එකේ කිවා වගේ මේ කියන්නේ දිග කලිසම එහෙම ඇඳලා අං තට්ටුව එහෙම තියාගත්ත කාලේ වෙච්ච සිද්ධියක්. ඒ වෙද්දී මට මතක විදිහට මම 11 වසර නැත්නම් 12 වසර. ඒ කාලේ ඉතින් ඔන්න එහෙං මෙහෙන් කොල්ලොත් සෙට් වෙනවා. කව්ද කොහොමද කොහෙද කියලා හෙවිල්ල බැලිල්ල නැතුවම නෙවෙයි. ඒත් එහෙම බලලා මනුස්සයෝ අඳුරගන්න ඒ වෙද්දී අපිට අත්දැකීම් බොහොම අඩුයි. ඒ කොහොම උනත් අම්මලා තාත්තලා කියන දේ අහන එකත් බොහොම අඩුයි. ඒ කාලේ අපිට හිතෙන්නේ ඉතින් අපි ඔක්කොම දන්නවා කියලනේ. වයසේ වැරැද්ද මිසක් අපේ වැරද්දක් එහෙම නෙවෙයි.

ඉස්සර දෙසැම්බර් 31 වෙනිදට අපේ කට්ටියම සෙට් වෙනවා. අපේ කට්ටිය කිවේ යාළුවො නෙවෙයි අපේ නෑදෑයෝ. කට්ටියම රෑ එළිවෙනකං පාර්ටි දාලා, සින්දු කියලා එහෙම තමයි පරණ අවුරුද්දට සමුදෙන්නේ. ඔය අතරේ අපේ පවුල් වල හිතවත් පොඩි සෙට් එකටත් මම ආරාධනා කරනවා. නිරෝධ අයියට සහ අපේ තාත්තට හොඳට සින්දු කියන්න පුලුවන්. තාත්තාගෙන් ඒ කාලේ සින්දුවයි, අයියගෙන් මේ කාලේ සින්දුවයි. ගොඩක් වෙලාවට තාත්තා දෙසැම්බර් වලට ලංකාවට ආවා.... ඔය විදිහට පැදුරු පාර්ටිය හැම පාරකම නැගලා ගියා. ඔය පාර්ටි එක ගොඩක් වෙලාවට තිබ්බේ බාප්පලාගේ ගෙදර. ඒත් එක පාරක් අවුරුද්දක මම පොඩි වෙනසක් කරන්න හිතුවා. ඒ අවුරුද්දේ පාර්ටිය තියන්න ලැහැස්ති කලේ අපේ ගෙදර. තාත්තාගේ පරණ යාළුවො සෙට් එකටත් කියලා, මගෙත් ළඟ පාත හිටපු යාළුවො සෙට් එකටමත් කියලා, පැදුර වෙනුවට පොඩ්ඩක් නව තාක්ෂණයේ සංගීතය උපයෝගී කරගන්න හිතලා පොඩ්ඩක් නවීන විදිහට මම වැඩේ ලැහැස්ති කළා.

දෙසැම්බර් 31ත් වුනා. කට්ටියම ගෙදරටත් ආවා. මට මතක විදිහට ඔක්කොමල්ල 100 වඩා එකතු වුනා. සින්දු කිවිල්ලත් නැගලා ගියා. ඔය අතරේ කෑමද ඒ එක්කම තාත්තාගේ යාලුවන්ට බීම සංග්‍රහයට පොඩි මේසයක් තාත්තා ගෙවත්තේ කෙලවරට වෙන්න ලැහැස්ති කරලා තිබ්බා. අන්කල්ලා සෙට් එකම අවුරුදු ගානකට පස්සේ හම්බවෙලා එතන පැය ගානක් එතන කයිය ගහ ඉඳලා ඇවිල්ලා සින්දු කියන්න සෙට් වුනා. කොහොමහරි ඔක්කොම හොඳට සිද්ධවුනා. කට්ටිය හොඳට විනෝදවුනා. කෑවා, බීවා, සින්දු කීවා, නැටුවා. වැඩේ නැගලා ගියා.පාන්දර 2,3 වෙලා තමයි කට්ටිය විසිරිලා ගියේ. ඔය විදිහට පරණ අවුරුද්ද ඉවර වෙලා අලුත් අවුරුද්ද ලැබුවා කියමුකො. ඒ වුනාට ඒ අලුත් අවුරුද්ද හිතුව තරම් හොඳ වුනේ නෑ. හේතුව මේකයි. පාර්ට් එකට ආපු  අන්කල් කෙනෙක් එයාගේ ජංගම දුරකථනය අර වත්ත කෙලවරේ තිබ්බ මෙසේ ලඟ තියල කන්න ගිහින්. ඇවිල්ලා බලද්දී ෆෝන් එක තිබිලා නෑ. ඉතින් අන්කල් අපේ තාත්තට කියලා " මචන් පාර්ටි එකට ආපු කට්ටිය ගැන පොඩ්ඩක් කල්පනාවෙන්. මම කීයටවත් හිතුවේ නෑ උඹලා ගෙදරට එන මිනිහෙක් මෙහෙම කරයි කියලා. කොහොමත් ලොකු අය ගැන නම් ප්‍රශ්නයක් නෑ. ඒත් පුතාගේ යාළුවො ගැන පොඩ්ඩක් හොයලා බලන්න. එතන හිටය වෙන කාටවත් ඔය වගේ දේවල් කරන්න උවමනාවක්  නෑනේ ". ඔහොම කීවට පස්සේ ඉතින් අපේ තාත්තාට ඇතිවෙන තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.  පොලව පලාගෙන යන්නනේ හිතෙන්නේ. ඒ ටිකම මට කීවහම මට හිතුනෙත් පොලව පලාගෙන යන්න තමයි. දැන් ඊළඟ ප්‍රශ්නේ කවුද ඕක කරේ කියන එක. 

මම ඒ පාර අලුත් යාළුවො කීපදෙනෙක් එක්කං ආවා. ඊට අමතරව සංගීතය භාණ්ඩ සහ ශබ්ද සපයන්න ආවෙත් අලුත් කට්ටිය. දැන් සැකේ වාසිය අලුතෙන් මේ වැඩේට එකතු වෙච්ච අයටයි. අයියෝ මම කොරගත්ත ගොන් කමක්. අර කලින් වගේ පරණ පුරුදු විදිහට නොකර නවීන වෙන්න ගියානේ. දැන් මට තමයි තොප්පිය. මම හිතාගත්තා කොහොමහරි මේක හොයනවා කියලා. දැන් ඔන්න අග මුල හොයනවා. එක එකාගෙන් අහනවා. අපිත් එක්ක ලඟදි එකතු වෙච්ච මල්ලි කෙනෙකුත් මේ වැඩේට ආවා. කීපදෙනක්ගෙන් ඇහුවහම කීවා මිනිහා බයිට් කන්න කියලා ගිහින් අර ටේබල් එක වටේ කැරකෙනවා දැක්කා කියලා. ඔය වගේ දෙයක් ඇහුනහම සැකේ වාසියත් තියෙද්දී මම දෙපාරක් නොහිතාම තීරණය කළා මිනිහා තමයි ඔය වැඩේ කරේ කියලා. දන්නවනේ ඒ කාලේ මොලේ අඩුවෙන් පාවිච්චි වෙන්නේ කියලා. අත පය තමයි වැඩිපුර පාවිච්චි කරන්න හිතෙන්නේ. අනික තාත්තාත් අම්මත් දෙන්නම මම ආශ්‍රය කරන කට්ටියගෙන් පරිස්සම් වෙන්න කිය කියා ඒ දවස් වල නිතරම දේශනා තියනවා. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඔහොම උනහම ලකුණු කැපෙන්නේ කොහොමද කියලා. අනික ඊට වඩා ලොකුයි මට වෙච්ච ලැජ්ජාව. ඇයි මම හොරු ආශ්‍රය කරනවා වගේ කෙස් එකක්නේ. ඔය නිසා ඒ දවස්ටිකේ මට හරියට නින්දකුත් නෑ. මාර අප්සට්. 

දවසක් හවසක මගේ යාළුවො දෙතුන් දෙනෙක් ආවා. මම තීරණය කරා අරුන්ගේ ගෙදරටම ගිහින් ප්‍රශ්නේ විසදන්න. ඒ කාලේ හරිම ආසයි ගෙදරටම ගිහින් දෙකක් නෙලලා එහෙම එන්න. ඔන්න කට්ටියම ගියා. අර මල්ලිට කතා කළා.  "කෝ ෆෝන් එක ?" දැම්ම කොල්ලට ප්‍රශ්නේ. " මොන ෆෝන් එකද වරුණ අයියේ ?" අගක් මුලක් නොදන්නා කොල්ලා අහිංසක විදිහට උත්තර දුන්නා.    " මොන ෆෝන් එකද ?  ඇයි උඹ පාර්ටි එක වෙලාවේදී අපේ ගෙදරදී උස්සපු එක....  හරියට දන්නේ නැති උන් ගෙට ගත්තට අපිට හොඳ පාඩම්. හොරකම් කරන උන් කවුරුත් අපේ සෙට් වල හිටියේ නෑ කලින්. තාත්තටත් එක්ක ලැජ්ජාව. ඇයි මට ? දැන් කොහොමද කියහන් කොල්ලෙක් එක්ක යන්නේ අපේ ගෙදරකට බය නැතුව......  බ්ලා බ්ලා බ්ලා......  "  මම සතියක් තිස්සේ අපේ අම්මගෙනුයි තාත්තාගෙනුයි අහගත්ත දේවල් නිසා තිබ්බ පීඩනය, වෙච්ච ලැජ්ජාව, තරහව ඔක්කොම යනකම් ඌට බැන්නා. අනේ කොල්ලා අඬන්න පටන් ගත්තා. මොන මට ඒත් නවත්තන්න හිතුනේ නෑ. අන්තිමට අපේ ගෙවල් පැත්ත පළාතේ එන්න එපා කියලා තර්ජන පාරක් දාලා මම ආවා. ෆෝන් එක නම් ලැබුනේ නෑ. අඩු ගානේ මගේ හිතේ තිබ්බ තරහවවත් අඩු උනානේ. අනිත් එක මට ජීවිතේට කවුරු ගැන වුනත් සැකයක් හෝ තරහවක් හිතේ තියාගෙන ඉන්න බෑ. කියන්න අමතක උනානේ. ඔය මල්ලි කොළඹ හොඳ ලොකු ස්කොලෙක ඉගෙන ගත්ත එකෙක්. 

ඔක්කොම සිද්ධිය වෙලා ටික කාලයක් යද්දී මටම කල්පනා උනා කට්ටිය කියපු දේ අහලා අරූට චෝදනා කලාට තව කීදෙනෙක්ට ඔය හොරකම කරන්න අවස්ථාව තියෙන්නේ ඇතිද කියලා. මොකද අපේ ගෙවත්ත අයින නිසා සද්දෙට තාප්පෙන් කවුරුහරි එබිලා බැලුවනම් ඕක දැකල අරන් යන්න ඉඩ තියනවනේ. අනික අර සවුන්ඩ්ස් ගෙනාපු දෙන්නා. ඒ අස්සේ මේ කොල්ලා තවත් කෙනෙක් එක්ක කියලා අඬලා. ඌට හොරා කිවා කියලා. කවදාවත් මම එහෙම කරයි කියලා හිතුවේ නෑ කියලා. මටත් එතකොට කරපු ගොන්කම ගැන පුදුම විදිහේ ලැජ්ජාවක් හිතුනේ. මොකද කට්ටිය කීවට ඒ පැත්තේ කැරකුනා කියලා ගන්නවා දැක්ක කෙනෙක් හිටියේ නෑනේ. මම දැක්කෙත් නෑනේ. මිනිහෙක්ට ඔය වගේ චෝදනාවක් කරද්දී මීට වඩා හිතන්න තිබ්බා නේද හිත හිතා මම සෑහෙන්න තැවුනා. එතකොට මට අවුරුදු 16ක් හෝ 17ක්. ඒ කාලේ කොහෙද එහෙම දේවල් තේරුම් ගන්න මොලයක් තිබ්බේ. මට ඊට පස්සේ නම් ඒ මල්ලිගේ මූණ බලන්නවත් බැරුව හිටියේ ලැජ්ජාවට. ඒත් කොහොමහරි දවසක් මම ඌව හම්බවෙච්ච වෙලාවක කරපු ගොන් කමට සමාව ඉල්ලුවා. හැබැයි ඉතින් කරේ නම්   සමාව දෙන්න වටිනා වැඩක් නෙවෙයි. ඒත් උගේ හොඳකමට සමාව ලැබුනා. අනේ කොල්ලා තාමත් අපේ ගෙවල් වල යනවා එනවා.  

පෝස්ට් එක නම් ටිකක් දිග වැඩිවුනා. ජිවිතේ කරපු ගොන්කම් සහ ඒ ගොන්කම් වලින් ඉගෙන ගත්ත පාඩම් ගැනත් ලියන්න හිතුන නිසයි ලිවේ. දැනට ඔය සිද්ධිය වෙලා අවුරුදු 10ක් විතර. හැබැයි මම ඉගෙන ගත්ත පාඩම නම් ජීවිතේටම මතක තියනවා. ඔය සිද්ධියෙන් පස්සේ කවුරු කොහොම කිවත් මමම දකිනකම් ඔය වගේ දේවල් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා මම හිතන්නේ නිරපරාදේ මිනිහෙක්ගේ හිතක් තලන පෙලන එක නැවතුනා. මිනිහෙක්ට නිරපරාදේ චෝදනා කරන එකනම් මහම මහා බලු වැඩක්. මොනවා කරන්නද ? මම ඒ වැරැද්ද එක පාරක් කරා. ආයේ නම් කරේ නෑ. කරන්නෙත් නෑ. අපි ඉතින් මිනිස්සුනේ.....  වැරදි අපේ අතින් සිද්ධවෙනවා.  හැබැයි ඒ ලැබෙන පාඩම් මතකනම්, ඒ මතකය නිසා ඒ වැරැද්ද ආයේ කෙරෙන්නේ නැත්නම් ඉදිරියේ අපිට අහිමිවෙන්න තියන ගොඩක් දේවල් බේරගන්න පුළුවන් වේවි..........................

Sunday, June 5, 2011

අයියා අපේ නෑදෑයද ?????


මම උසස් පෙළ කරලා ගෙදරට වෙලා පිස්සු නටපු කාලේ එක එක විදිහේ රස්සා කරා. ගොඩක් රස්සා කරේ පඩියකට නෙවෙයි. කෑම පිඟානටයි, තේ කොප්පෙටයි තමයි.  හික්ස්....  ඇත්තටම ඒවා රස්සා කීවට මගේ හිතවත් අයට උදව්වක් විදිහට කරපු දේවල්. ඒත් උදව් නෙවෙයි ඒවා රස්සා. හරිහමන් ගාණක් ලැබෙන රස්සාවක් කියලා කලේ උත්සව අවස්ථා වීඩියෝ කරන එකයි, වීඩියෝ සංස්කරණයයි. ඊට අමතර නිවාඩු දවස්වලට යනවා එක එක වැඩ වලට. කාලයක් සතියට දවසක් ඩ්‍රයිවින් වැඩක් කළා. අපේ හිතවත් අයියා කෙනෙක් ටියුෂන් කරන්න අනුරාධපුරේ යනවා. ඒත් ඩ්‍රයිවින් කරද්දී නින්ද යන නිසා මගෙන් ඇහුවා යමුද කියලා. ඉතින් ඔන්න ඒ දවසට මම පොරගේ ඩ්‍රයිවර්. තව යාලුවෙක් හිටියා ඌට සර්විස් ස්ටේෂන් එකක් තිබ්බේ. උගේ ගෝලයෝ නිවාඩු දවසට මම උගේ ගෝලයා. තව මිනිහට ලොරියකුත් තිබ්බා. ඩ්‍රයිවර් නැති දවසට මම එක්කෝ ලොරියේ ගෝලයා ඌ ඩ්‍රයිවර්. එහෙම නැත්නම් මම ඩ්‍රයිවර්. මම මේ යාලුවෝ කීවට මේ අය මට වඩා වැඩිමල් උදවිය. ඒ කිවේ ඔක්කොමල්ලා වගේ අයියලා. කුඹුරු තියන උන් කුඹුරු වැඩ කාලෙට ඒවටත් කතා කරලා තියනවා. ආ.... තව අපේ එවුන්ගේ කොම්පියුටර් කැඩුනහමත් කොන්ත්‍රාත් හම්බ වෙනවා. හෝටල් තියන උන්ගේ ගෝලයෝ නැති දාට මම වේටර්. කොහොමත් ඉගෙන ගන්න කාලේ වේටර් රස්සාවෙන් තමයි මම මෙහෙ ජිවත් උනේ. ඔය විදිහට එක එක ජොබ් කරලා තියනවා. මට නම් ඒ ගැන අප්‍රමාණ සන්තෝසයි. මොකද එක එක ජොබ්වල තියන අමාරුකම, වගකීම එහෙම අත්දැකීමෙන් දන්නවා. අනික මම ජීවිතේට විවිධාකාර අත්දැකීම් එකතු කරගන්න කැමති මනුස්සයෙක්. ඉතින් මේ ලැබුන අත්දැකීම් වලින් මම ඉගනගත්ත දේවල් මෙච්චරයි කියන්න බෑ...

ඇති ඇති....  ඒ විස්තරේ හොඳටම ඇති. කතාවට එමුකො. ඔන්න දවසක් මගේ සර්විස් සෙන්ටර් එකේ යාලුවා කතා කළා. " වරුණ මල්ලි අද උඹට සර්විස් එක පැත්තේ එන්න පුලුවන්ද ? කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් අද එන්නේ නෑ කිවා. ඒ මදිවට ලොරියත් කොට උඩ. අනේ මල්ලි උඹ වැඩක්  නැත්නම් මේ පැත්තේ වරෙන්කෝ"  පණිවිඩේ කියලා ඉවර වෙන්න කලින්ම " හරි හරි අයියා මම එන්නම්. පැය බාගෙන් ඔතන". 

පැය බාගයක්  යන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි. අපේ ගෙවල් වරකාපොල තිබ්බට මිනිහගේ ගෙවල් තියෙන්නේ යක්කල. සර්විස් එකත් යක්කල. දන්න අඳුරන එවුන් ඒ පැත්තේ නෑනේ. බය නැතුව ගිහින් ඔය වගේ ජොබක් කරන්න පුළුවන්. අපේ ගෙවල් ළඟ තැනක ඔය වගේ වැඩක් කරන එක ගැන මගේ නම් අවුලක් නෑ, ඒත් අපේ අම්මයි තාත්තයි පව්නේ.  ඒ මිනිස්සුන්ට ගමේ මිනිස්සුන්ගෙන් ලැබෙන ගෞරවය, ආදරය, පිළිගැනීම මම විනාස කරන්නේ මොකටද ?  අද වෙනකම් මම එහෙම කරලත් නෑ. ඉදිරියට කරන්නෙත් නෑ. මගේ යාලුවා යක්කල නිසා හිතේ බයක් නැතුව ඌට සපෝර්ට් එකක් දෙන්න පුළුවන්. කොල්ලත් ගත්තා මොටෝ බයිසිකලේ ඉගිල්ලුනා යක්කලට.  ගිහින් බලද්දී මිනිහගේ ලොරියේ සර්වලෝක පූට්ටුවේ ලොකු අවුලක් කියලා උගේ සර්විස් ස්ටේෂන් එකේම පැත්තක ලොරිය ගලවලා. ආ සර්වලෝක පූට්ටුව දන්නේ නැති අය ඉන්නවා නම් අහලා ඇතිනේ universal joint එක. සර්විස් එක කරන අයියගේම යාලුවෙක් තමයි ලොරිය හදන්නේ. ඉතින් මට කිවා බාස්ගේ ගෝලයා වෙයන් කියලා. මටත් ඔය වාහනයක් අස්සේ රිංගගෙන යකඩ කෑල්ලක් අත  ගාන්න තියනවා නම් ඊට වඩා දෙයක් නෑ.

කොල්ලත්  දාගත්තා මජං කිට් එකක්. හැමතනම මජං ගෑවිච්ච ඕවරෝල් එකක්. ඔන්න ගෝලයයි බාසුයි වැඩ. ඔය අතරේ  ලොරියට වුවමනා කරපු අමතර කොටස් ටිකක් ගේන්න ටවුන් එකට යන්න කෙනෙක් ඕනේ වුනා. ලොරිය හදන්න ආපු අයියගේ තිබ්බේ ට්‍රේල් බයික් එකක්. ඒකත් 250.  මිනිහා බයික් එක පෙන්නලා කිවා " මල්ලි මෙන්න යතුර මගේ බයික් එකේ යන්න. ඒ කඩේ උන් මගේ බයික් එක අඳුරනවා. උඹ එව්වේ මම කියලා දැනගත්තහම උන් උඹව අන්දන්නේ නෑ. මම කිවා කියලා බඩු ටික අරන් වරෙන්" කියල. මජං ඇඳුම පිටින් ටවුන් එකට යන්න පොඩ්ඩක් ලජ්ජා හිතුනත් 250යක ටවුම වටේ රවුමක් ගහන්න ලැබෙන චාන්ස් එක අතාරින්නෙ කොහොමද ? අනික මේ ටවුමේ මාව අඳුරන කව්ද ඉන්නේ ? කොල්ලා ගත්තා දඬු මොනරේ. ඇරියා තියලා යක්කල ටවුමට. ඔන්න දැන් බයිසිකලේ නවත්තලා මජං පිටින්ම කොල්ලා ගියා කඩේට. එතනින් ඕනේ කරන දේවල් අරගෙන බයික් එකත් එතන තියලා ඒ ළඟ වෙන කඩේකට මම පයින්ම ගියා.  ඔය යන අතරේ මට මූණට මූණ හම්බවුනා අපේ දුරින් නෑදෑවෙන මල්ලි කෙනෙක්. මිනිහා මට හම්බවුනේ අවුරුදු පහකට හයකට පස්සේ. මාව දැක්ක පාර මිනිහගේ ඇස් උඩ ගිහින්, නළල රැලි වැටිලා, මූණ කළු වෙලා. ෆුල්ම අප්සට් වෙලා. මේ යකා තත්පර 30ක් විතර මා දිහා බලා ඉන්නකොට මට තේරුනා සීන් එක. උගේ ජීවිතේට ඌ බලාපොරොත්තු වෙන්නේ නෑ මේ ගොඩයා ගරාජ් එකක වැඩ කරයි කියලවත්,  මජං ඇඳුමක් ගහගෙන පාරක ඇවිදියි කියලාවත්. මමත් ඇඳගෙන ඉන්නේ මජං ඇඳුමක් කියලා මට පත්තු වුනොත් ටිකක් වෙලා ගිහින්. මටත් පොඩ්ඩක් අවුල් ගියා ඇඳගෙන ඉන්න කඩමාල්ල ගැන මතක් වුනහම.  

මා දිහා  කන්න වගේ බලාහිටපු පොඩි එකා 
" අයියේ ඔයා වගේ කෙනෙක් ඉන්නවා අපේ නෑදෑයෙක්. ඔයා වගේමයි. ඒත් ඔයා වෙන්නත් බෑ. අනේ තරහ වෙන්න එපා. මේ වරුණ අයියද ? අයියා අපේ නෑදෑයෙක්ද ? "  පුදුම වෙච්ච මාර්ක් එක මූණේ තියාගෙන මූ මගෙන් එහෙම ඇහුවා. මට හිනායන්නත් ඔන්න මෙන්න .  
" ඔව් මල්ලි, මම වරුණ අයියා තමයි. අනේ උඹ මාව මෙහෙම දැක්කා කියලා කාටවත් කියන්න එපා. එක්සෑම් කෙලවුනානේ බං. දැන් ඉතින් කොරන්න දෙයක් නෑ. මම ශේප් එකේ ගරාජ් එකක වැඩ ඉගෙන ගන්නවා. අනේ මල්ලි කාටවත් කියන්න එපා මාව මේ විදිහට හම්බවුනා කියලා. ගෙදර අය දන්නෙත් නෑ" මමත් ෆුල්ම ෆුල් ශෝක මූඩ් එක දාලා අඬන්න කිට්ටු ගානේ වොයිස් එකකින් මගේ දුක කීවා. මටත් ඉතින් මොකෙක් හරි අන්දන්න ලැබෙනවා කියන්නේ රෑට හොඳට නින්ද යනවා කියන එකනේ. ඇන්දුවා කොල්ලා නියමෙටම.  

"අනේ ඔහොම තමයි අයියේ. කව්ද දන්නේ අපිටත් මොනවා වෙයිද කියලා. ඕවා ගණන් ගන්න එපා අයියා, මම කාටවත් කියන්නේ නෑ......  බ්ලා බ්ලා බ්ලා......." මූ මාව සනසවනවා, පොරොන්දු දෙනවා, ආයෙත් සනසවන්න හදනවා, විභාග කොමසාරිස්ට බනිනවා, ආයෙත් පොරොන්දු දෙනවා. එවෙලේ  මගේ දුක් සීන් එක අහලා උගේ මොලේ කොලොප්පං වෙලා හොඳටම. 
" මල්ලි දැන් මේ කොහෙද යන්නේ ? " මම ඇහුවා. " ආ මම මේ පන්ති ඉවර වෙලා ගෙදර යනවා. ආ නෑ නෑ මම පන්ති ඉවර වෙලා ගෙදර යන්න බෑ අද තව ක්ලාස් එකක් තියනවා, ඒකට යන්න කියලා. මේ මම යන්නද අයියේ?"   

මගේ දුක් අඳොනාව අහලා මූට ආපු ගියපු තැනුත් අමතක වෙලා.  ඒ විදිහට ඉතින් ඌ ක්ලාස් ගියානම් සත පහක වැඩක් නෑ. ඔලුවේ තියෙන්නේ මට වෙච්ච සංගදියනේ. අනික ඕකා ක්ලාස් ඇරෙනකම් බලාගෙන ඉඳීවි මේ  සීන් එක ගෙදර ඇවිල්ලා කියන්න. ඉතින් සිහි කල්පනාවෙන් ඉගෙන ගන්න බෑනේ.  ඒ නිසා මම ඌට ඇත්ත සීන් එක කිවා. ඊට පස්සේ තමයි උගේ කළු වෙච්ච මූණට පොඩි තරු එළියක්‌ වැටුනේ. මට නම් කොල්ලගේ මූණ මතක් වෙද්දී තාමත් හිනා......