Tuesday, September 27, 2011

දැක්කද ??? ( කොට සාය )

කස්ටිය බලයිද දන්නේ නෑ පහුගිය ටිකේ සද්ද වහලා ඉඳලා, හදිස්සියේ ගොඩයා හෝ ගාලා ලියන්න පටන් අරන් මොකෝ කියලා? ඇයි යකඩෝ සද්දේ වහලා හිටිය කාලේ ලියන්න හිටිය ටිකත් කොහොම කොහොම හරි ලියන්න එපැයි.... අනික මේ දවස් දෙක නිවාඩු. එලියට බහින්න කම්මැලිකමේ ඉන්න එකේ තවත් පෝස්ට් එකක් ලියන්න හිතුනා. අහපු කතාවක්. කීවේ අපේ හිතවත් අන්කල් කෙනෙක්.

මේ අන්කල්ගේ පවුල ටිකක් විතර බටහිර පන්නයට හැසිරෙන, අඳින, පළදින උදවිය.සිංහලෙන් කීවොත් වෙස්ටනයිස් වෙලා.  පවුල කීවට ඉතින් පුන්චි පවුල රත්තරං කියලා හිටියේ අන්කල්, අන්කල්ගේ භාර්යාව සහ අයියයි, අක්කයි.  අයියගේ නම් ඔය සෝබන සීන්, වෙස්ටන් සීන් මුකුත් නෑ ඒ කාලේ. අපේ කොල්ලොත් එක්ක ඔය කොහෙ හරි බඩ ගාලා රා කට්ටක් කාරිය ගහලා හිටපු කොල්ලා. ඇන්ටිත් ඩිංගක් වෙන්න සොබනේ වුනාට ශේප්. ඒත් අක්කනම් හරිම ගණන් කියල කස්ටිය ඒ කාලේ කියනවා. පොඩ්ඩක් විතර පොත්ත සුදු හින්දද මන්දා. මට වැඩක් නෑනේ කොහොමත්. මම ඒ කාලේ හීන් එකා. ඒ නිසා මට ඔය කාගේවත්  උලවු ගණන් වලින් වැඩක් නෑ.  අන්කල්ගේ තව්සන්ඩ් ටෝක්. හිටපු ගමන් වනන්නේ කඩුවෙන්. පම්පෝරියත් අඩුවක් නෑ. ඒත් හිත හොඳ මනුස්සයා. අන්කල් එක්ක කතා කරද්දි මාර ආතල් කතන්දර අහගන්න පුළුවන්. අතින් එහෙමත් දාලා දෙනවා ඇට්ටි හැලෙන්න.....

ඒ දවස් වල අපි වෙසක් එකට කූඩුවක් ගහනවා කොළඹ-නුවර පාරේ අයිනේ. ඉතින් අන්කල් වැඩ ඇරිලා යනගමන් නැවත්තුවා වාහනය අපේ කූඩුව හදන හට් එක ළඟ. ඔහොම කයිය ගහ ගහ ඉන්නකොට පොර කීව කතාවක් තමයි මේ. සිද්ධිය වෙලා තියෙන්නේ මිනිහගෙම පවුලේ උදවියට. කොහෙන්දො මන්දා පන්සල් කතාවක් ඇවිල්ලයි මේ සිද්ධිය ප්‍රචාරය වුනේ. වෙසක් කාලෙට ඉතින් පන්සල්, දන්සල් ගැන වැඩිපුර කතා යනවනේ. මම මේ කියපු පවුලේ කස්ටිය ගිහිල්ලා දවසක් පෝයට කොහෙද ඔය ඈත පන්සලකට. මට පන්සල නම් මතක නෑ. හැබැයි පඩිපෙල් නැගලා නැගලා කන්දක් උඩටද, ගලක් උඩටද යන්න ඕනේලු. පුරාණ රජමහා විහාරයක්. හරිම ලස්සන පන්සලක් කියපු හින්දා සෙට් එකම ගිහින් පෝයට පන්සල්.

දැන් ඉතින් පවුලේ කස්ටිය තරණය කරනවලු පඩිපෙල්. අන්කල් වාහනය එහෙම පාර්ක් කරලා හිමින් සීරුවේ කට්ටිය පස්සෙන් යනවලු. කොල්ලො තුන් දෙනක් අන්කල්ගේ දුව පස්සෙන් යනවලු. අන්කල් උන් තුන්දෙනා පස්සෙන් යනවලු. අර කට්ටියව අඳුරන්නේ නෑ වගේ. මම කීවනේ අර අක්කා හෙන වෙස්ටර්නයිස් කියලා. අන්කල් එපා කියද්දි මෙයා ඇඳගෙන ගිහින් තියෙන්නේ කොට සායක්ලු. අර කොල්ලො තුන් දෙනා පිටිපස්සෙන් ගිහින් දෙකට තුනට නැවි නැවි බල බල යනවලු. නිකන් පෙන්නන ෂෝ එකක් අත ඇරලා කොහොමද පෝය දවසේ ?  අන්කල්ට විතරක් නෙවෙයි  දැන් වටේ ඉන්න අයටත් සීන් එක මීටර් වෙලා එක එක ඒවා කියනවලු අක්කට. මොනවා උනත් තාත්තෙක්ට අහන් ඉන්න පුළුවන්ද ඒවා. එහෙම කියලා වෙලා තියන වැඩේ හැටියට විලි සංගේ තියාගෙන ගිහින් පොරට කියන්නත් බෑ ඒ මගේ දුව කියලා. මොකද අහල පහල උන් බනින්නේ දෙමාපියන්ටනේ හදලා තියන විදිහ කියලා. මොනවා හරි කරලා මේ හතර විලි ලැජ්ජාවෙන් ගැලවෙන්නත් එපෑයි...

අන්කල් කිට්ටු කරාලු කොල්ලො තුන් දෙනා ගාවට. එකක්ට තට්ටුවක් එහෙම දාලා
 "  දැක්කද ?  කොහොමද ? "
කියලා අර කොල්ලො තුන්දෙනාගෙන් ඇහුවලු. මයේ හිතේ අක්කට වඩා විලිලැජ්ජාව තියන උන් තුන්දෙනක් ඒ කොල්ලෝ තුන් දෙනා. දැක්කද අහපු ගමන් වැඩේ නොන්ඩිනේ. තුන් දෙනා මාරු වෙලා. එදා මොන පන්සල්ද? පොර කට්ටියත් එක්ක එහෙම්මම ආපහු හැරිලා ඇවිල්ලා තිබ්බේ මාරාවෙශයෙන්. අක්කට දෙසන්න ඇති හොඳම එකෙන්. අන්කල් හැබැයි සාධාරණ මනුස්සයා. අපේ සමහරු නම්  ඔය වගේ එකක් දැක්කහම කොල්ලන්ටනේ වලි දාන්නේ. අන්කල් ඉඳන් කියනවා " අනේ පුතාලා ඒ කොල්ලන්ට බැනලා හරි ගහලා හරි වැඩක් නෑනේ. උන් කොල්ලොනේ. අපේ එළදෙන දැනගන්න ඕනේනේ තැනට සුදුසු විදිහට අඳින්න. අපේ එකීට එහෙම ඇඳගෙන පෙන්න පෙන්න ගියාට පස්සේ මම රෙද්දක් ඇඳගෙන ඒ කොල්ලන්ට වචනයක් කියන්නද ?  ඒක ඇඳගන යන්න එපා කියලා කට කැඩෙනකම් කීවා. මුන් අපි කියන දේවල් අහන එකක්යෑ... මම දුන්නා ඕකිට එදා නම් කනේ ඇඟිලි ගහගන්න ". අනේ අපොයි. සිද්ධිය කෙසේවෙතත් අන්කල් ඕක කියපු විදිහට නම් අපි බඩවල් අල්ලගෙන හිනා උනා.



 ඔය සිද්ධියට එවෙලේ හිනාවුනාට අපිට පස්සේ හිතුනා අන්කල්ට එවෙලේ මොනවා හිතෙන්න ඇත්ද කියලා. තමන්ගේ දුවගේ පිටිපස්සෙන් ගිහින් මොකෙක් හරි එබිලා බලද්දි මොන තරම් අපහසුවක්, අසරණකමක් දැනෙන්න ඇත්ද ? අනේ ඔය කවුරු කවුරුත් ලස්සනට ඇන්දට කමක් නෑ. ඒත් තැන නොතැන නොබලා ෆැෂන් කරන්න ගියහම අමාරුවේ වැටෙන්නේ අහක ඉන්න මිනිස්සු. අර කොල්ලො තුන්දෙනා වුනත් අසරණ වුන නිසානේ අමාරුවෙන් එබි එබී බලන්න ගියේ. එහෙම ඇන්දහම ඉතින් කොල්ලෙක්ට වුනත් පන්සල කියලා අමතක වෙනවා. මනුස්සයොනේ. කවුරුත් රහත් වෙලා නෑනේ. මේක ලීවේ කාටවත් කොටට අඳින්න එපා කියන්නවත්, ෆැෂන් කරන්න එපා කියන්නවත් නෙවෙයි. තැනට සුදුසු විදිහට රටේ සංස්කෘතියට, සමාජයට ගැලපෙන විදිහට ෆැෂන් කරන්න. කෙල්ලො විතරක් නෙවෙයි අපේ කොල්ලො වුනත් නොගැලපෙන විලාසිතා නොගැලපෙන  තැන්වලට පාවිච්චි කරහම අපහසුතාවයට පත්වෙන්නේ අහක ඉන්න මිනිස්සුනේ. එහෙම නැතුව විලාසිතාවලට අමනාපයක්, බටහිර පන්නෙට අඳින එක ගැන කිසිම අමාරුවක් මට නෑ. තැන නොතැන බලලා ඕනෑම විලාසිතාවක්....  කවුද අකමැති ලස්සනට ඉන්න......

Monday, September 26, 2011

සාර්ථකව පාසලෙන් පැන තව නූලෙන් ගස් යෑම

නිවාඩු ගිය කතාම ලියලා මටම එපා වෙලා. මතක් වුනා ස්කෝලේ කාලේ සිද්ධියක්. මේක මතක් වුනේ පිණිබිඳු ලියපු පන්ති පිටින් පන්ති කට් කිරීම සහ ක්සැන්ඩරයාගේ පොස්ට් එක නිසා. ඔය පෝස්ට් දෙක නිසා මාත් ස්කෝලේ කාලෙට දීවා තප්පරෙට 120 වේගෙට. මතක් උන කතා රෝලම එක පාර දිග අරින්න අමාරුයි. පොඩ්ඩක් කොටයි කියලා හිතෙන එකක් ලියන්නයි තනන්නේ....



මම එතකොට 10 වසරේ. දෙයියනේ කියලා දිස් කලිසමට බැහපු කාලේ. ඒ කාලේ ඉතින් හෙනම උණ. දිස් කලිසම් අඳින අයියලානේ. ඔය ස්කෝලෙන් පනින උණ, ගැන්සි බහින උණ, බඩු බහින උණ, පොර වෙන උණ වගේ රටේ නැති උණ ජාති හැදෙනවා. එක එකාට එක එක ජාතියේ උණ. මම අර විහිළු සහ ගුටි කෑම සීන් එකෙත් කිවනෙ ඔය උණ ජාති ගැන නම්. ඔන්න ඔය කාලේ දවසක මටයි සිම්බටයි ( උගෙ නම සියඹලාපිටිය කෙටියෙන් සිම්බා ) හිතුණා දවසක් කලින් ගෙදර යන්න ඕනේ කියලා.  හාෆ් ඩේ දාන්න තියනවා ක්‍රම දෙක තුනක්. ඒ කිවේ පනින්න තියනවා පාරවල් දෙක තුනක්ම. එවා ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන දායද වගේ තමයි. එදා අපි දෙන්නා තෝර ගත්තෙ දෙවනි පිට්ටනිය හරහා යන රූට් එක. අපේ ස්කොලෙට පිට්ටනි දෙකක් තිබ්බා. එක පිට්ටනියක් ස්කොලේ ඇතුලෙම තිබ්බා. අනික ස්කෝලෙට අල්ලපු වත්ත වගේ පැත්තකට වෙන්න තිබ්බේ. ඒකට තමයි දෙවනි පිට්ටනිය කියන්නේ. ඒකට එහා පැත්තෙ තමයි ශාන්ත ආනා විද්‍යාලයේ පිට්ටනිය. ඔය දෙවනි පිට්ටනිය දිගේ ශේප් එකේ ආවහම මොකෙක්ටවත් මාට්ටු වුනේ නැත්නම්  කොළඹ කුරුණෑගල පාරට පැනගන්න පුළුවන්.

අපි ඒ වෙද්දි පනින්නේ පුරුදු වෙන්න නෙවෙයි.  ඉතින් පුරුදු කාරයෝ දෙන්නා බෑග් මලු දෙකත් උස්සගෙන ෆුල්ම සර්ච් එකක් දාගෙන පිට්ටනිය පැත්තට කිට්ටු කරා. මොනවා උනත් බොක්කේ බිත්තර තම්බ තම්බ තමයි අපි පිට්ටනිය කෙලවරට වෙනකම් ආවේ. යාන්තම් තාප්පෙන් පැනගත්තට පස්සේ පොඩ්ඩක් වෙන්න ලේ ටිකක් ඉනුවා. ඒත් හිටපු ගමන් ටවුන් එකටත් එක එක හෙනුහුරො පාත් වෙනවා. අපි දෙන්නා ගෙදර යන්න බස් එක ගන්න හිතාගෙන ආවා ටවුන් එක පැත්තට. ඔන්න ඒ අස්සේ සිම්බට මතක් වුනා උගේ තැපැල් හැඳුනුම්පත හදන්න දුන්නට ඒක ගත්තෙ නෑ කියලා. ඉතින් ඔන්න මනුස්සයට ඕනේවුනා ඒකත් යනගමන් අරගෙන යන්න. දෙන්නම ගියා තැපැල් කන්තෝරුවට.

අපේ තැපැල් සේවය පට්ටම කාර්යක්ශමයිනේ. ගොඩවෙන්නත් කලින් වැඩේ ගොඩනේ. ඉතින් අපි දෙන්නත් ඉන්නවා තැපගෙන එතනට වෙලා. ඔහොම විනාඩි 5ක් 10ක් ඉන්න කොට ආවේ නැතැයි පපන්. පපන් කියන්නේ අපේ ස්කෝලේ ගුරුවරයෙක්. ඒ කාලේ අංශප්‍රධානිද කොහෙද? මේ ළඟදිනම් උප විදුහල්පති වෙලා කියලා ආරංචියක් ආවා. කොහොමහරි ඔය මනුස්සයටත් ඕනේ නැති කජු පුහුලමක් නෑ. පන්තියක් ලඟින් පොර යද්දි සද්දයක් ඇහුනත් පොඩි උන්ගේ පන්තියක් නම් සද්දේ දාලා යන්නේ. ඒ ලෙවෙල් ක්ලාස් වලට වැඩිය පාර්ට් දාන්නේ නෑ. ඒත් අපි ඒ ලෙවෙල් කරන්න හිතලවත් නෑනේ. පොරට මාට්ටු උනා කියන්නේ අනිවා මිනිහගෙම වාහනයෙන් ෆී ට්‍රාන්ස්පොර්ට් ස්කෝලෙටම. ඉර හඳ වගේ ඒක සුවර්. අනික බැජ් එකත් සාක්කුවටම තියලා මහගෙනනේ. මූණ ඇඳුරුවේ නැතත් බඩුම තමයි. කල්පනා කර කර ඉන්න තරම් වෙලාවක් නැති බව තේරුනා අපි දෙන්නටම. දීවා කඩාගෙන බිඳගෙන තැපැල් කන්තොරුව ඇතුලට.

ඇතුලේ ලියුම් මලු ගොඩවල්, ඒ අස්සේ වැඩකොරන ජනතාවගේ මේස පුටු ඔය ඔක්කොම අස්සේ අපි දෙන්නා දුවලා නැවතුනේ කන්තොරුව අස්සෙම. ඉන්නෙ කොහෙද කියලාවත් නිච්චියක් නෑ. අනික හොඳටම සුවර් ඒ කලාපයට පිටස්තරයන් ඇතුල් කොරගන්නේ නෑ කියලා. ඒ වගේද පපන්ට මාට්ටු වුනොත් කන්න වෙන කෑම. පපන් ගියාද කියලා රබර් ඇහැ දාලා බල බල පොඩ්ඩක් හති අරිද්දි ආවේ නැතෑ පියන් මහතැන් කෙනෙක්. ඔය කන්තෝරුව වල ලොකුම පුටුවේ ඉන්නේ පියන්ලනේ. ආපු ගමන් දැම්මා සද්දයක්

 " ඔය ළමයි මොකද මේක ඇතුලේ කරන්නේ ???  මේක ඇතුලට එන්න බෑ පිට අයට? කාගෙන් අහලද ආවේ?"

කල්පනා කර කර ඉන්න වෙලාවක් නෑ. මම කටට ආව උත්තරෙ කියලා දැම්මා.

" මගේ චුටි මාමා වැඩ කරන්නේ මෙහේ. එයාව අපේ ස්කෝලේ පොඩි උවමනාවකට එක්ක යන්නයි ආවේ. කාටද මන්දා කියලා එන්නම් කියලා අපිට මෙතන ඉන්න කීවා."
 කියලා ගොත නොගහා ආපු ගැම්මටම මම කීවා.

" කව්ද චූටි මාමා? නම මොකක්ද? "  ඔන්න ඇහුවා ප්‍රශ්නයක්. දැන් දීපන්කෝ උත්තර.

 " අනේ අන්කල් නම නම් මට ගානක් නෑ. පොඩි කාලේ ඉඳලම චූටි මාමා කියනවා මිසක් නම මතක නෑ. දැන් එයි හැබැයි. මෙතන ඉන්න එක ප්‍රශ්නයක් නම් අපි එලියට යන්නම්." කිවා.

 " හ්ම්ම්.... අනේ මන්දා ... එලියට යන්න ඕනේ නෑ එහෙනම්. ඔය ඔතන තියන පුටු දෙකෙන් වාඩි වෙලා ඉන්නවලා, මෙතන හිටගෙන හිටියහම කරදරයි." කියලා ඔරවගෙන පොර මාරුවුනා.

අපි දෙන්නත් ගැහි ගැහි වාඩි වෙලා පපන් යනකම්ම හිටියා. කොහොමත් එලියට ගියොත් පපන්ගෙන් පෝරියල්. ඇතුලේ ඉඳලා මාට්ටු උනත් පෝරියල්. ඒත් ඇතුලේ හිටියොත් මොනවාහරි ශේප් එකක් දාගන්න පුලුවන්නේ.අපි දෙන්නටම පුදුමයි අපි දුවන් එද්දි කාටවත් මීටර් නොවුනු එක. කොහොමහරි පපන් විනාඩි 20කට වඩා එතන මොකක්දෝ උලව්වක් කරා.  අපි දෙන්නට ඌත් එක්ක බුදුම මල. දැන් යයි කිය කිය හොරෙන් බල බල හිටියා. හොරෙන් බලන්නත් බයයි. අර පියන් ලොක්කා දැක්කොත් ආයෙත් ඇවිල්ලා පුරස්ස්න කොරනවනේ. කොහොම කොහොම හරි පපන් ගිය ගමන් අපි දෙන්නා බැස්සා පාරට  තත්පර දෙකෙන් තුනෙන් දෙන්නම වාශ්ප වුනා. ආයෙත් අරූගේ තැ.හැඳුනුම්පත ගන්න ගියානම් අර පියන් ලොක්කට මාට්ටු වෙලා චාටර් කන්න වෙනවනේ. සිම්බා ඒක ගත්ත සති 2කට 3කට පස්සෙ ගිහින් මයේ හිතේ.ඉස්කෝලෙන් පැන්න නම් ටවුන් එකේ නොඉඳ කොහෙට හරි මාරු වෙන්නේ නැතිව පණ්ඩිත වැඩ කොරන්න ගියහම ඔහොම වෙනවා කාට කාටත්...........

සයිබර් අවකාශේ මිතුරන් දෑසින් දුටුවෙමි

ලංකාවට නිවාඩු ආව කාලේ සිද්ධි තමයි දිගටම ලිවේ.... තවත් ලියන්න ඒවා නැතුවමත් නෙවෙයි. ඒත් දිගටම ඒ ගැනම ලියමත් බෑ...  නොලියා බැරි තවත් සිද්ධියක් තියනවා. ඒ තමයි මෙච්චර කාලයක් බ්ලොග් එකෙන් දුක සැප බෙදා ගත්තු, මඩ ගහගත්තු දෑහින් නොදැකපු කස්ටිය සෙට්වුන සිද්ධිය. ඒකත් ලියලම නිවාඩුව ගැන ලිවිල්ල නතර කරනවා කියලා හිතුවා.

මම ලංකාවට එනවා කියලා තක්කෙටම තීරණය කලාට පස්සේ අපේ ඇන්ඩයියට කීවා මම එන විත්තිය. මෙච්චර කාලයක් සයිබර් ලෝකේ දැක්ක උන්ගේ සූකිරි මූණු ඇත්තටම බලාගන්න, පොඩ්ඩක් සෙට් වෙන්න ලොකු උවමනාවක් තිබුනා. ලංකාවේ ඉන්න කස්ටිය නම් කොහොම කොහොම හරි එකතුවෙනවා. ඒත් අපිට කොහෙද එහෙම චෑන්ස්? ඔය සයිබර් සැනකෙලි පින්තූර එහෙම බලද්දි පපුව වාවන්නේ නෑ. අනේ මුන් ආතල් ගන්නවා නේදෝ අපි නැතුවට කියලා හිතෙනවා.
කොහොමෙන් කොහොමෙන් හරි ආව දවසට පහුවදාම අපේ ඇන්ඩයියා නොහොත් ඕනයාව ඇමතුවා.
 " හරි හරි ගොඩයෝ, යන්න කලින් කොහොමහරි සෙට් වෙමු. මම කස්ටියව සෙට් කරන්නම්. උඹට කවද්ද පුලුවන් ?"
ඔන්න ඉතින් මමත් තෝරලා බේරලා දවස් ටික දුන්නා කියමුකො. දාගත්ත දවස ඊළඟ සතියකට කල් ගියා. කොහොමෙන් කොහොමහරි ඔන්න ඒ දවස ආවා. ඕනයා තමයි සංවිධායක.

 " දැන් කොහෙද ඇන්ඩයියේ අපි සෙට් වෙන්නේ? " තැන් තැන් වල ගිහින් සෙට් වෙන්න ඕනේ නෑ බං. අපි සෙට් වෙමු අංගොඩ.( හික්ස්... අපිටම කියාපු පැත්ත. අනේ කවුරුත් මුකුත් හිතන්න එපා. අපි සෙට් වුනේ ඇන්ඩයියලගේ ගෙදර ) "
ඇන්ඩයියගේ උපදෙස් මාලාව අනුව  මමත් සෙට් උනා හවස් වෙද්දි පිටකොටුවට. ඌට කෝල් කරහම මොන බස් එකේද නඟින්න ඕනේ කියලා අහන්න මනුස්සයා කියපි සුචරිතය ගාවට එන්න කියලා. සුචරිතය කිට්ටුවට ගිහින් මනුස්සයත් හොයාගත්තා කියමුකො. දැන් අපි දෙන්නා ඉන්නවා පිසාචයා මල්ලි එනකම්. ඌ ගාල්ලෙන් එනවා කියපු වෙලාවට ආව නම් කොටුවට දෙපාරක් එන්න වෙලාව. පිසාට කතා කරහම
 " හරි අයියේ මේ දැන් පිටකොටුවට දැම්මා බස් එක කීවා. මූට ඉතින් සුචරිතය හොයාගන්න එක කචල් නිසා අපි කීවා ගුණසිංහපුර කුරුණෑගල බස් ගහන ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක හොයාගන්න පුලුවන් නම් හොයාගෙන වරෙන්"  කියලා.
දන්නේ නැත්නම් බස් ඩ්‍රැවාගෙන් අහපන් කියලත් ඇන්ඩයියා කියනවා ඇහුනා. එතනට ඇවිල්ලා කෝල් එකක් දීපන් කියලා අපිත් බලාගෙන හිටියා කියමුකෝ. විනාඩි 20ක් 30ක් ගියත් කොල්ලගෙන් නෙවෙයි කිසිම ආරංචියක්. කව්ද දන්නේ පොඩි එකාට මොන විපැත්තියක් වුනාද කියලා. ආයෙත් ගහලා බැලුවා කෝල් පණිවිඩයක්.
" මල්ලි කොහෙද ඉන්නේ?  "
" ඉන්නේ කොහෙද නම් හරියට දන්නේ නෑ අයියේ. හැබැයි මැනින් මාර්කට් එක නම් පේනවා "ඔන්න කොල්ලගේ උත්තරේ.
 " යකෝ දන්න එකෙක්ගෙන් ඇහුවේ නැද්ද කුරුණෑගල බස් ගහන්නේ කොහෙද කියලා? අනේ අම්මපා උඹ වගේම එකෙක්. අහපන් කාගෙන් හරි අහගෙන වරෙන්. එද්දි උඹට පෙනෙයි මිටියක් තියාගෙන ඉන්න පොරක්. ඒ හරියට ආවහම කෝල් එකක් දීපන් " කියලා උපදේස් දීලත් කොකටත් කියලා අපි දෙන්නම ගියා ගුණසිංහපුර පැත්තට. අනේ කොල්ලා අපිව දැක්ක ගමන් සතුටට ඇඹරුණා ඇඹරිල්ලක් තව නූලෙන්..... නෑ නෑ... එක්කොත් ඒ ටික ඕනේ නෑ....   ඒ ටික දන්නෝ දනිති. කොහොමෙන් හරි පිසාව ත්‍රී රෝද රථයක පටවලා මමයි ඇන්ඩයියයි ගොඩවුනා උගේ දඬු මොනරේ. ඔන්න ඉතින් ඇන්ඩයියලගේ ගෙදරට ගොඩවුනාට පස්සේ ඇන්ඩයියලගේ ගෙදර බැල්කනි කෑල්ල සුද්ධ පවිත්‍ර කොරලා ( අපිම එනකම් හිටියා ඕනයා ඔය බැල්කනි කෑල්ල සුද්ධ කොරගන්න ) ලැහැස්ති උනා රාජකාරියට. ටිකකින් ඔන්න අන්තිම පේලියේ හසා, අවංක පැට්ටා, මාමයිට් එහෙම ආවා. අභීත අයියා එනකම් තමයි සෑහෙන වෙලා බලා හිටියේ. මිනිහා ඉතින් හෙන බිසීනේ.

අමාරුවෙන් රෑ 9 විතර වෙද්දි ඔන්න අභීත අයියා ආවා. අභිත අයියා විතරක් නෙවේයි  අපේ සෝරෝ සහෝදරයා සහ තවත් කීපදෙනක් ආවා. මට සමහර නම් මතක නෑ. අනේ සොරි හොඳේ....  බෝතලේ විවෘත වෙද්දි 9ත් පහුවෙලා. කට්ටිය එක්කම ඇන්ඩයියා විවේකි සුවයෙන් පොත් කියවන බැල්කනියේ හරි බරි ගැහිලා වාඩිවුනා. බෝතලේට වග කියන ඈයෝ හිටියේ බොහොම ටිකයි. අනිත් ඈයෝ බයිට් එක සහ කෝක් එකට වග කියන අතරේ බයිට් වීමත් ඉඳ හිට සිද්ධ වුනා. අම්මෝ එදා රස කතා, කැත කතා, මඩ කතා, ඕනේ නැති කතා, ඕපා දූප, දුක කතා මෙකි නොකී කතා ගොඩක් සිද්ධවුනා.  මොනවා වුනත් ලංකාවේ ගත කරපු කාලයේ ලැබුන බොහෝ සුන්දර සැන්දෑවක්...........
 සයිබර් ලෝකේ දැක්කට කොමෙන්ට් කෑල්ලක් දැම්මට එදා තමයි ඔන්න කස්ටිය ෆේස් ටු ෆේස් සෙට් වුනේ. මොකෙක් හරි දන්නවද කියලා කාගෙන් හරි ඇහුවොත් ඇන්ඩයියා කීවේ " ඔන්න මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා හොයනවා  " කියලා. වැඩේ අහරවෙද්දි රෑ 12ට කිට්ටු වෙලා. මඩ එහෙමත් නොසෑහෙන්න වැදිලා. මොනවා උනත් රස සාගරේ. කස්ටිය කියපු කතා එහෙම ලියලා තේරුමක් නෑ. ඒවා එතන ඉඳං ඒ ඇක්ශන් එක්කම අහන්න ඕනේ. එදා වැඩේ සංවිධානය කරපු ඇන්ඩා අයියට සහ වැඩේට ලෙඩේ නොදැම්මට අක්කටයි විශේෂ ස්තූතිය. මොකද අපේ සද්දේට පොඩි ඒකිට නිදාගන පුලුවන් කියලද?  එහෙව් එකේ අංගොඩ පලාතේ සෙට් වෙන්න චෑන්ස් එකක් දුන්න එකත් ලොකු දෙයක්. ඒ විතරක් නෙවෙයි තම තමන්ගේ වැඩ කටයුතු අස්සේ දුවගෙන ආපු කට්ටියටම ස්තූතියි. හසා ආවට ඌ ආවේ අන්ඩක් කඩාගෙන කොර ගහ ගහා. මාමයිටත් හෙන කට්ටක් කාගෙන ආවා.  අවංකයත් වැඩ ඇරිලා නෝම්බි එහෙම ඇරලා පිම්මේ ආවා. එතකොට ගාල්ලේ ඉඳන් ගෙදරට බොරු කියලා ආපු පිසා මල්ලී, වැඩ අස්සේ රෑ 9ට හරි ආපු අභීත අයියා, සෝරො, මෙකී නොකී හැමොටම බොහොමත්ම ස්තූතියි. අනික ඒ රෑ ජාමේ මාව කොළඹ නුවර පාරට ගෙනත් දැම්මේ අභීත අයියා. පලයන් කියලා කීවට මාව බස් එකක නග්ගලා තමයි මාමයිටා ආපහු ගියේ. ඉතින් කස්ටියටම බොහොමත්ම ස්තූතියි....   ඊළඟ වතාවේ නිවාඩුවට ආවහම ආයෙත් සෙට් වෙන්න බැරියෑ....

Monday, September 5, 2011

නිවාඩු නැතිවුන නිවාඩුව.

ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ ලියන්න කියලයි සූදානම.....  ගිය මාසේ මම ලංකාවට ගියා. ඉතින් ලංකාවට ගියහම හුස්ම ගන්නවත් වෙලාවක් නෑනේ... අනිත් එක ගියේ සති 2කට....  බ්ලොග් එක ලියනවා තියා ජාලෙට එබුනෙත් එහෙ මෙහෙ දුවන ගමන්... ලංකාවෙන් ආපු ගමන් පෝස්ට් එකක් දාන්නම් කියලා හිතාගෙන හිටියත් ඇවිල්ලා බලද්දි මගේ කොම්පීතරේ ලෙඩ වෙලා....  ඕවා මේවා අස්සේ අද තමයි තිබ්බ ප්‍රශ්න විසඳගෙන ලියන්න සෙට් වෙන්නේ.....

මම ලංකාවට ගියේ මාස 9ට පස්සේ. යනවා කියලා හරියට තීරණය කරගෙනත් නෙවෙයි හිටියේ. ඒත් හදිස්සියේම වගේ යැවුනා. ඒ ගැන විස්තර පස්සේ පෝස්ට් එකක දාන්නම්. මේ පාර හදිස්සියේ ගිය නිසාත්, වැඩිය නිවාඩු නැති නිසාත් මගේ යාළු මිත්‍රයන්ට නොකියා හොරෙන්ම තමයි ගියේ. කොහොම ගියත් කස්ටියට ආරංචි වෙනවා. ඊට පස්සේ බැනුම් එහෙමත් අහගත්තා. මොනවා කරන්නද? කාලය සීමිත නිසයි එහෙම කරේ. එහෙම නැතුව යාළු මිත්‍රකම් අමතක කරලා නෙවෙයි. අනික මම නිවාඩුවට ආවට යාළුවන්ට නිවාඩු නෑනේ. ඒ නිසා ඒ අයටත් මාව මුණගැහෙන්න අමාරුයි. සමාවෙන්න ඕනේ කස්ටිය නොකියම ඇවිත්, නොකියම ගියාට. ඒ හිටපු දවස් 15 ගෙවුනේ හරියට දවස් දෙකක් වගේ. නිවාඩුවට ගියාට මොකද කිසිම නිවාඩුවක් නම් තිබුනේ නෑ. නිවාඩු ගත්ත නම් ගොඩක් දේවල් මඟ ඇරෙනවා. මාස ගාණකින් ගිය නිසාද මන්ද ලොකු වෙනසක් නම් දැනුනේ නෑ. හැබැයි මඟ තොට එහෙ මෙහෙ යද්දි ලංකාවට එන විදේශීය සංචාරකයෝ ප්‍රමාණය නම් ගොඩක් වැඩිවෙලා කියලා හිතුනා. බොරු කියන්නේ මොකටද ආසියාවේ ආශ්චර්යය නම් දැක්කේ නෑ ඕං... කවදා දකින්න වෙයිද දන්නෙ නෑ ඒක නම්.

මම ලංකාවට එනකම් මඟ බලාගෙන හිටපු අපේ කසුන් අයියගෙ පොඩි උන් ටිකට හැම පාරම වගේ මේ පාරත් බලාගෙන හිටියේ මාත් එක්ක කොහේ හරි රවුමක් ගහන්න. පොඩි උන්ට ඉතින් ඔය ස්වාභාවික සෞන්දර්යය, පෞරාණික නටබුන්, ඓතිහාසික සිද්ධස්ථාන බලන්න නෙවෙයිනෙ ඕනේ. උන්ට ඕනේ කොහේ හරි ගිහින් ඇති වෙනකම් දඟලන්න. ඒ නිසා සෙට් එකත් එක්ක ගියා පේරාදෙණිය උද්‍යානයට. ( අවුලෙන් වගෙ බලන්න දෙයක් නෑ. පොඩි උන් එක්ක යන්න පුලුවන් තත්වයක් තිබ්බා ) ලංකාවට ගියත් හරි විශේෂයෙන් කොහෙ හරි ගියා කියලා  ගියේ ඔය පොඩිඋන් එක්ක ගිය ගමන විතරයි. ඔය පල්ලෙහා ඉන්නේ කස්ටිය තමයි.



ඔය ගමනෙන් පටන් ගත්ත පටන් ගැනිල්ල ලංකාවෙන් එන්නේ හෙටයි කියන කම් දිව්වා. ඊළඟට විශේෂ වැඩකට තිබ්බේ මගේ බොහෝම හිතවත් මිත්‍රයෙක්, අසල් වැසියෙක් වන තාරක අයියගේ මඟුල. ඒකත් රස ආකරයක්.අනේ ඌ  පැණි හඳේ යන අතර මඟ කස්ටිය උගේ ඇඳුම් මල්ල උස්සලා ගිනිවිජ්ජුම්බරයයි එතන. අනික මනමාලිව කැන්දගෙන එන දවසෙත් කස්ටිය ඌට වද දීලා. ඒවා ගැන විස්තර වෙනම පෝස්ට් එකක ලියන්න ඕනේ.
ආපු දවසට පහුවදාම අපේ ඕනේ අයියා නොහොත් ඇන්ඩයියාට දන්වලා යැව්වා. කොහොම කොහොම හරි බ්ලොග් යාලුවොත් කීප දෙනෙක් සෙට්වුනා. ඇන්ඩයියලගේ ගෙදර තමයි සෙට්වුනේ. ඒකත් බොහොම වැදගත් ඉවෙන්ට් එකක්. බ්ලොග් වලින් හම්බවෙලා දුක සැප බෙදාගත්ත කස්ටිය සයිබර් අවකාශයෙන් එලියේ ඇත්තටම දැකලා හම්බවෙලා කතා කරන්න ලැබුන එක ගැන නම් අප්‍රමාණ සංතෝෂයි... ඇන්ඩයියට බොහොමත්ම ස්තූතියි ඒ වගේ අවස්ථාවක් සැලසීම සම්බන්ධයෙන්.  අපේ මේ සුහද හමුව ගැනත් වෙනම පොස්ට් එකක් ලියන්න ඕනේ. කොහොමහරි ඔය නිසා පහුගිය මාසෙම මුකුත් ලියාගන්න බැරිවුනා. මේ ලිවේ නම් පෝස්ට් එකක්ම නෙවෙයි. පහුගිය කාලේ බ්ලොග් එක පැත්තට එන්න බැරි වුන එකට නිදහසට කරුණු. කොම්පීතරෙත් ගොඩ නිසා ගොඩයා නැවතත් කරලියට....