Sunday, January 29, 2012

බෞද්ධයෝ...........

බ්ලොග් එක ලියන්න පටන් ගත්ත කාලේ ලියන්න තිබ්බ උනන්දුව දැන් දැන් ටික ටික අඩුවෙලා ගිහින්. ඒවාගෙම බ්ලොග් අවකාශය දිහා දැක්කහම ලියන්න තියන උනන්දුව තවත් අඩුවෙනවා. මෙහෙම කීවට කවුරුත් අහිතක් හිතන්න එපා. ඒත් මට හිතෙන විදිහට නම් දැන් බ්ලොග් අවකාශයත් තම තමන්ගේ කුහකකම් ප්‍රදර්ශනය කරන්න පාවිච්චියට ගන්න තැනක් වෙලා වගේ.එක අතකට ඒ ගැන පුදුම වෙන්න දේකුත් නෑ. බ්ලොග් ලියන්නෙත් අපේ සමාජයේම කොටසක්නේ. මගේ බ්ලොග් එකේ උඩින්ම ලියලා තියනවා වගේ මේ ලියන්නේ මට හිතෙන, මට දැනෙන දේවල්. හොඳද ? නරකද ?  හරිද ? වැරදිද කියලා තීරණය කිරීම කියවන උදවිය සතුයි. ඒ පිළිබඳව අදහස් දැක්වීමටත් හැමෝටම අයිතියක් තියනවා. ඒත් තව කෙනෙක්ට ප්‍රතිවිරුද්ධ අදහසක් තිබ්බා කියලා ඒ අදහසකට දිගට හරහට පන්න පන්න පහර ගහන එකේ නම් තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. වැරැද්දක් හෝ අඩු පාඩුවක් දකිනවා නම් පෙන්නලා දෙන එක යුතුකමක්. අනිත් කෙනා ඒක පිළිගන්නවාද නැද්ද කියන එක ඒ වැරැද්ද පෙන්නලා දෙන කෙනාට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒ නිසා එවගේ වාදවලින් පස්සෙත් පුද්ගලිකව කපා කොටාගන්න එක නම් මහා අප්‍රසන්නයි.  මේ ගැන නෙවෙයි අද ලියන්න හිතුවේ. ඒත් බ්ලොග් අවකාශයේ වසරකට ආසන්න කාලයක් ගත කරපු මට ආපහු හැරිලා බැලුවහම පොඩි කලකිරීමකුත් දැනෙනවා. ඒ නිසයි මේ ටික ලියන්න හිතුනේ. ඒ කතාව ඉවරයි. දැන් හැරෙමු අද ලියන්න හිතුවේ මොකක්ද කියන එක පැත්තට.



මාතෘකාව දැක්කහම හැමෝටම තේරෙනවා ඇති ලියන්න හදන්නේ ආගම සම්බන්ධ දෙයක් විත්තිය. මේක ලියන්න හිතුනේ මේ ටිකේම මූණු පොතේ බෞද්ධ විරෝධී පුද්ගලයන් ගැන බෞද්ධයන් පළකරලා තිබුණ දේවල් දැකලා. බෞද්ධ විරෝධී කීවේ බුදුරජාණන් වහන්සේට අගෞරව වෙන විදිහට යම් යම් ප්‍රකාශ කරන, විකෘති රූප පලකරන උදවිය. ඒ අය පිළිබඳව අපේ බෞද්ධයන් විසින් නිකුත් කරපු ප්‍රකාශ බොහොමයක තිබුනේ වෛරයය.  " සාප වේවා" "භංග වේවා" සමහර ප්‍රකාශ පට්ට පල් කුණුහරුප. මේවා දැක්කහම මට කල්පනාවුනේ මේ ඇත්තටම බෞද්ධයෝද කියලා.  බෞද්ධයෝ නම් බුදු රජාණන්වහන්සේ දේශනා කරපු දර්ශනය අනුගමනය කරන ඈයෝ වියයුතුයිනේ. මම මේ කියන්න යන්නේ පෘතග්ජන අපිට තේරුම් අමාරු අභිධර්මය ගැන නෙවෙයි. මට මේවා දැක්කහම කල්පනාවට ආවේ බොහොම සරල අපේ බෞද්ධයන්ගේ අත්පොත විදිහට සැලකෙන ධම්ම පදයේ ගාථාවක්.


“නහී වේරේන වේරානී - සම්මන්තිධ කුදාචනං
    අවේරේනව සම්මන්තී – එස ධම්මෝ සනන්තනෝ”      



මේ තියෙන්නේ අපි පොඩි කාලේ කට පාඩම් කරපු ධම්ම පදයේ සඳහන් සරල ගාථාවක්. ගථාවේ තේරුම ගත්තොත් "මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයයෙන්ම වෛරය සන්සිඳෙයි. එය පෙරසිට පවතින සනාථනික ධර්මයක් බව බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළසේක" . අපි බෞද්ධයෝ විදිහට වෛරයෙන් වෛරය නොසන්සිඳෙයි කියලා  ඉගෙන ගත්තේ බොහොම පුංචි සන්ධියේ ඉඳලා. ඒත් ඇත්තටම බෞද්ධයෝ ඒ දේවල් ක්‍රියාත්මක කරනවද?  බුද්ධ ධර්මයට නිග්‍රහ කරනවා කියලා වෙනත් ආගමක් අදහන කෙනෙක්ට ද්වේශයෙන්, වෛරයෙන් කෑ ගැහුව පලියට බුද්ධාගම විනාශ නොවී පවතිනවද? මේ ලෝකේ මිනිස්සුන්ට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තියනවා. ඒත් කිසිම ආගමක් හෙලා දැකීමේ අයිතියක් නෑ. එහෙම වුනත් යම් යම් පටු අරමුණු නිසා එහෙම කරන කොඨ්ඨාශයක් අපි අතරේ ඉන්නවා. ඒ ගැන මේ හැටි කලබල වෙලා වෛරය, ක්‍රෝධය පුරවගෙන යුද්ධ ප්‍රකාශ කරන්න බෞද්ධයන් විදිහට අපිට යුතුකමක් තියනවද?  බුදුරජාණන් වහන්සේ වැඩහිටිය යුගයෙත් දේවදත්තලා, චිංචිමානවිකාවන් එහෙම හිටියා කියලා අමතක වුනාද ? බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩහිටි සමයේ උන්වහන්සේට කෙනෙහෙලිකම් කරපු විරුද්ධ වුන මිනිස්සු හිටපු එකේ බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදහස් පන්සිය පණහකට පස්සේ ඔය වගේ දේවදත්තලා, චිංචිමානවිකාවන් ඉන්න එක පුදුම වෙන්නවත්, කිපෙන්නවත් කාරණයක් නෙවෙයි. එහෙම උදවියට ගහන්න, බනින්න, වෛරකරන්න සැබෑ බෞද්ධයෙක්ට පුළුවන් කමක් නෑ කියලයි මගේ නම් අදහස. 


එතකොට කෙනෙක් අහයි "මේවා බලාගෙන අපිට අතපය බැඳගෙන ඔහේ ඉන්නද කියන්නේ " කියලා.  බෞද්ධයෙක් විදිහට මේවා ගැන කතා නොකර ඉන්න කියනවා නෙවෙයි. ඒත් වෛරයක් ඇතිකරගෙන මේ ගැන කටයුතු කරන එකේ තේරුමක් නෑ.  මම නොයෙකුත් ආගම් අදහන මිත්‍රයෝ ආශ්‍රය කරනවා.  ලංකාවෙන් පිට ඉන්න නිසා නොයෙකුත් ආගම් අදහන, නොයෙකුත් ජාතීන් එක්ක වැඩ කටයුතු කරන්න වෙනවා. ඒ අය අදහන ආගම ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ ආගම ගැන වැරදි ප්‍රකාශයක් කරොත් එතනදි ඒක මම නිවැරදි කරනවා. කට වහගෙන ඉන්නේ නෑ. ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමේ හැටියට ඒ ඒ දේවල් තේරුම් ගන්නවා. තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති පුද්ගලයෙක් නම් මම ඒ ගැන දිගින් දිගට කතා කරන්න යන්නේ නෑ. ඒ වගේම ඒ මනුස්සයට වෛර කරන්නේත් නෑ. ඒ ඉතින් මගේ පෞද්ගලික ක්‍රියා පටිපාටිය. අපි හිතමු ඔය අන්තවාදී ආගමික කණ්ඩායමක් මුල් කරගෙන ඒ කණ්ඩායමට විරුද්ධව වෛරී සිතින් මොනවා හරි ප්‍රතික්‍රියාවක් ආරම්භ කරා කියලා. ඒ සිද්ධිය හොඳටම ප්‍රමාණවත් වේවි ආගමික ගැටුමක් රට තුළ ඇතිවෙන්න. අතීතයෙන් අපිට හොඳ පාඩම් ලැබුනා මතක ඇතිනේ. කාළකණ්නි ජාතිවාදී යුද්ධයක් තිබුනා සහ ඒ දේවල් වලට හේතු තාම අපේ අයට මතක ඇති කියලා හිතෙනවා. ඒ නිසා මේ ආගමික ප්‍රශ්න වලට වෛරයෙන් යුතුව පිළිතුරු හොයන එක නම් බෞද්ධයන්ට සුදුසු නෑ. පහුගිය ටිකේම මම දැක්කා බෞද්ධ සිද්ධස්ථාන වෙනත් ආගම් වලින් අත්පත් කරගෙන, බෞද්ධයන්ට නොයෙකුත් ආකාරයේ තර්ජන, ගර්ජන. මේ සම්බන්ධ දේවල් වලට කතා නොකර ඉන්න කියනවා නෙවෙයි. කතා කරාට ගැටළුවක් නෑ, හැබැයි වෛරයය කියන ගිනිගොඩ පැත්තකින් තියලා. බුදුරජාණන්වහන්සේ කිසිම තැනක දේශනා කරලා නෑ කිසිම සත්වයෙක්ට වෛරයය කරන්න කියලා. බෞද්ධයන් විදිහට සියලුම සත්වයන්ට මෛත්‍රිය පතුරන්න හුරුකලා මිසක්. 


බෞද්ධයන්ට ඔය කියන අන්‍යාගමිකයන්ට බනිනවට, ගහනවට, වෛර කරනවට වඩා වැදගත් යමක් තියනවා කරනවා නම් කරන්න. ඒ තමයි වචනයේ පරිසමාප්තයෙන්ම බෞද්ධයෙක් වෙන්න උත්සහ කරන එක. අනිත් ආගම්වලට ඇඟිලි දික් කරන්න කලින් බෞද්ධයන් විදිහට අපි ළඟ තියන අඩු පාඩු, වැරදි හදාගන්න එක. එහෙම නැතිව කරන්න තියන කඩප්පුලි වැඩ ඔක්කොම කරන ගමන් වෙන ආගමක මනුස්සයෙක් පටු අරමුණක් වෙනුවෙන් කරන දේකට ඒ මනුස්සයට වෛර බැන්දා කියලා බෞද්ධාගම පිරිහෙන එක නවතින්නේ නෑ. මුලින්ම බෞද්ධයන්ට පුළුවන් නම් බෞද්ධ සංස්කෘතියට සදාචාරයට අනුව ජීවත් වෙන්න උත්සහ කරන්න මම හිතනවා ඒක තමයි බෞද්ධ ධර්මය පිරිහෙනවට බෞද්ධයන් වශයෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ. ඒ නිසා තවත් මනුස්සයෙක්ට බෞද්ධ ධර්මයේ නාමයෙන් වෛර කරන්න කලින් හිතලා බලන්න ඒ දේ බෞද්ධයෙකුට ගැලපෙනවද කියන දේ. එවගේම නියම බෞද්ධයෙක් විදිහට තමන් ජීවත් වෙනවද කියන දේ. 


වෛරයයෙන්, ද්වේශයෙන් අනිත් ආගම් හෙලා දැකීමෙන් බුද්ධ ධර්මයේ පුනර්ජීවනයක් ඇතිවෙනවද ???  අනිත් ආගමකට දෝෂයක්, චෝදනාවක් කරන්න කලින්, වෛරය බැඳගන්න කලින් අපි ඇත්තටම බෞද්ධයෝද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් මොකද? අනිත් ආගමකට ඇඟිලි දික් කරන්න කලින් කරන්න වැඩගොඩක් අපිට තියනවා. පෘථග්ජන අපිට 100% නිවැරදි වෙන්න පුලුවන් කමක් නෑ. ඒත් අපි අඩුම තරමේ නියම බෞද්ධයෙක් විදිහට ජීවත් වෙන්න පොඩි හරි උත්සහයක් කරන්න ඕනේ. 365 දවසෙම පන්සල් ගියා කියලවත් උදේ හවස පන්සිල් ගත්ත පමණින්ම කිසිම කෙනෙක් බෞද්ධයෙක් වෙන්න නෑනේ. ප්‍රතිපත්තියටයි මුල් තැන. බෞද්ධයන් විදිහට තමන්ට අවංකව ප්‍රතිපත්ති ගරුක වීමයි අවශ්‍යය. වෙනත් ආගම් වල වගේ නීති පිළිපැදිය යුතුයි කියලා දෙයක් නෑ.   බෞද්ධ දර්ශනය යනු අන්ධ භක්තියෙන් පිළිගතයුතු දහමක් නොවේ. එය අවබෝධ කර ගත යුතු හා නිරතුරැ විමසීමට ලක් කළ යුතු දහමකි. “මාගේ වචනය පරීක්ෂාක කොට පිළිගත යුතුය. හුදෙක් මා කෙරෙහි ඇති ගෞරවය නිසා ඒවා නොපිළිගත යුතු” බවයි බුදුන් වහන්සේ  දේශනා කොට වදාළේ.


එපමණක් නොවෙයි බෞද්ධ දර්ශන යනු යාතාර්ථවාදී දර්ශනයක්. යම් යම් පිරිස් එය විනාශ කොතෙකුත් උත්සහ කරත් යථාර්තය කවදාවත් වෙනස් නොවෙයි. බෞද්ධයන් වන අපිට බෞද්ධ ධර්මය රැක ගැනීමට ගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ගය නම් එම දර්ශනය අනුගමනය කරන්න උත්සහා කිරීම, එහෙමත් නැත්නම් වචනයේ පරිසමාප්ත අයුරින්ම බෞද්ධයෙක් වීමට උත්සහ කිරීම. ආගම රැකගැනීමේ අරමුණින්, වෛරය පතුරවමින් ගත කරන කාලය නියම බෞද්ධයෙක් වීමට උත්සහයකට යෙදවීමෙන්, සියළු සත්වයින්ට හිතකර ආකාරයෙන්, බෞද්ධ දර්ශනය රැකගැනීමට හැකියාවක් බෞද්ධයන්ට තිබේ යැයි මගේ හැඟීම. ඉතින් බෞද්ධ ධර්මය කෙරෙහි ඇත්තටම තමන්ට ඇල්මක් තිබේ නම් තවකෙකුට වෛරකරනවා වෙනුවට නියම බෞද්ධයෙක් වන්න උත්සහ කරන්න. ප්‍රදර්ශනාත්මක බෞද්ධයන්ගෙන්, පාරම්පරික බෞද්ධයන්ගෙන් හෝ නාමික බෞද්ධයන්ගෙන් බුද්ධ ධර්මයට සිදුවෙන හානිය අන්‍යාගමිකයින් බෞද්ධ දර්ශනයට කරන හානියට වඩා බොහෝ දරුණු යැයි මගේ හැඟීම. ඒ නිසා බෞද්ධයන් වන අපි බෞද්ධ දර්ශනයට කරන  හානිය අඩු කරොත් අපිට අන්‍යාගම් සමඟ වෛර බැඳීමට හේතුවක් නැතිවේවි. බුදුරජාණන් වහන්සේගේ අන්තිම වචනය බෞද්ධයෝ වශයෙන් අපි සිහියේ තබා ගන්නවා නම් බොහොම වටියි. “ සියළු සංස්කාරයෝ ( හේතුවෙන් හටගත් දේවල්) නැසෙන සුළුය අප්‍රමාදව කටයුතු කරන්න”  මට නම් හිතෙන්නේ මේ තියන දේවල් බදාගෙන බෞද්ධයෝ වෙච්ච අපි ප්‍රමාද වෙවී ඉන්නවා කියලයි. සියළු දෙනාට තෙරුවන් සරණයි !!!!


ප.ලි - මේ ටික ලීවේ අනිත් ආගම් වලට ඇඟිලි දික් කරන්න ගොඩක් බෞද්ධයෝ පුරුදු වෙලා වගේ දැනුන නිසයි. අනික මේ පෝස්ට් එක කියවලා සමහරු අහයි " උඹ හෙන බෞද්ධයාද අනිත් උන්ට බණ කියන්න " කියලා. මම කියන්නේ නෑ මම බොහොම හොඳ බෞද්ධයෙක් කියලා. මම කොහොම මනුස්සයෙක්ද කියන එක මගේ බ්ලොග් පොස්ට් එකක් දෙකක් කියවපු, මාව මාස කීපයක් සමහරවිට අවුරුදු කීපයක් මාව දන්න කෙනෙක්වත් හරියට නොදන්නවා වෙන්න පුළුවනි. ඒ නිසා මගේ බෞද්ධකම ගැන තර්ක කරන්න යන්න වුවමනාවක් මට නෑ.   කියන්න තියෙන්නේ මාව හරියට දන්නෝ දනිති කියලයි. ඊට අමතරම මේ කියලා තියන කාරණාව ගැන කියන්න තියෙන්නේ  මම අනිත් ආගම්වලට දොස් කියන්නෙවත්, බුද්ධර්මයට නිගා කරන උන්ට කෙලවෙලා පල කියලා සාප කරන්නවත් යන ජාතියේ මිනිහෙක් නෙවෙයි කියලා. කොහොමත් මම වෛර කරන මනුස්සයෙක් නෙවෙයි. ඒ ගැන මීට කලින් ලීවා. ඔන්න ඒකත් ගිහින් බලන්න පුලුවන් මෙතැනින්.

Wednesday, January 4, 2012

ලෝකේ උතුම් රට ලංකාවයි..... සිරි ලංකාවයි........

ලැබුවා වූ නව වසර සියළුම දෙනාට කරදර බාධක වලින් තොර වූ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨවන, අයහපත් සිතුවිලි බැහැරවෙන නිරෝගී, ප්‍රීතිමත් වසරක් වේවා !!! කියලම ඔන්න පටන් ගන්නවා මේ අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක ලියන්න.

මේ අවුරුද්ද හැමෝටම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරද්දි මට හිතුනා ඊට කලින් රටට යහපත්, සුභ කලදසාවක් උදාවෙන්න ඕනෙ නේද කියලා.සමහරවිට කෙනෙක්ට කියන්න පුළුවන් රට හදන්න නම් මිනිස්සු හැදිලා ඉන්න ඕනේ කියලා. මිනිස්සුද රටද මුලින් හදන්නේ කියලා තර්ක කර කර ඉඳලා නම් වැඩක් නෑ. කොහොමවුනත් මෙච්චර කාලෙකට කොටපු නැති විදිහේ පෝස්ට් එකක් කොටන්න හිතුනා අළුත් අවුරුද්දේ.



දැන් අවුරුදු 4 කටත් වැඩි කාලයක් මම ජීවත් වෙන්නේ ලංකාවෙන් පිට. ඉතින් ඔය කාලය ඇතුළත අපේ රට ගැන අනිත්  රටවල් වල මිනිස්සු අහපු ප්‍රශ්න වලට උත්තර බැඳීම, ඒ වගේම ඒ මිනිස්සු අපේ රට ගැන දරපු ආකල්ප අහගෙන සිටීම වගේ දේවල් නිසා අපේ රට ගැන පිට ඉඳන් බලන මිනිහෙක්ට පේන ආකාරය ගැන මගේ හිතේ හැමදාමත් තිබ්බේ වේදනාවක්. හැමදාමත් මට පුළුවන් විදිහට ඒ ආකල්ප වෙනස් කරන්න උත්සහ කලා. යුද්ධය තිබුන කාලේ මේ රටේ මිනිස්සු හිතාගෙන හිටියේ අපි දමිල ජනතාව ප්‍රසිද්ධියේ මරලා දාන, ඒ වගේම ඒ අයට තියන සියළුම වරප්‍රසාද අහිමි කරපු ජාතියක් විදිහට. ඒ විතරක් නෙවෙයි මෙහෙ පාසල් වල සමාජ අධ්‍යනය විශයට අදාල ලිපියක තියන දේවල් දැක්කහම දුක වගේම කේන්තිත් යනවා. එකේ බොහොම ලස්සනට උළුප්පලා තියනවා දෙමළ මිනිස්සු දුක්විඳිනකොට සිංහල මිනිස්සු සුර සැප විඳිනවා කියලා. සල්ලි තියනවා නම් සුර සැප විඳින්න ජාතිය ආගම ප්‍රශ්නයක් නෑ කියලා දන්නේ අපි විතරනේ.මේවට ඉතින් අපේ උත්තරීතර ආයතනයට සේවය සලසන අය වගකියන්න ඕනේ.

කොහොමහරි ඔය අතරේ යුද්ධය නිමාවීමත් එක්ක පිට මිනිස්සුන්ට බොහොම ආඩම්බරෙන් මට කියන්න පුළුවන් වුනා " දැන් ලංකාවේ තත්වය බොහෝම සාමකාමී. ඉතින් ගිහින් බලලා එන්න මගේ රටේ ලස්සන" කියලා. දවස් 10ක 12ක සංචාරයකට ලංකාව තරම් හොඳ වෙන රටක් නම් නැතුව ඇති. මොකද කෙටි කාලයක් තුළ වෙනස් දේශගුණික කලාප, මන බඳින වෙරළ තීරු, වනෝද්‍යාන, පුරාතන නටබුන් ඔය වගේ මොනතරම් දේවල් බලන්න පුළුවන්ද?   අපේ රට ආසියාවේ ආශ්චර්යය කරන්න කියලා අමුතුවෙන් දෙයක් තියනවද කියලත් හිතෙනවා. ඇත්තටම මට මුණගැහුණු ගොඩ දෙනෙක් ලංකාවට නිවාඩුවකට යන්න ආසාවෙන් හිටපු ඒත් යුද්ධය සහ ඒ වටා අපේ මිනිස්සු ගැන ඇහුනු කතා යන්න බයෙන් හිටපු අය.

 යුද්ධය අහවර වුනාට පස්සේ ඔන්න මමත් ශ්‍රී ලාංකික පුරවැසියන් බහුතරයක් වගේම අපේ රට දියුණුවෙයි කියලා බොහොමත්ම ආසාවෙන් බලාගෙන හිටියා. 2009 මැයි මාසේ යුද්ධය ඉවර වෙද්දි අපේ රණවිරුවෝ දාස් ගාණකගේ ජීවිත, අත, පය අහිමිවෙලා. ඒ ලේ කඳුළු මැද්දෙන් ලැබුණු ජයග්‍රහණය දිහා හැමෝම බැලුවේ ආඩම්බරයෙන්, සතුටෙන්. ඒ කඳුළ, වේදනාව මැද්දෙන් අපේ මිනිස්සුන්ගේ මූණේ ඉක්මණින් හිනාවක් දකින්න පුළුවන් වෙයි කියලායි අපි කවුරුත් හිතුවේ.මේ වෙද්දි 2011ත් ඉවරවෙලා, හැරිලා බැලුවහම ගොඩක් දුක හිතෙනවා. රණවිරුවන් යුද්ධකරලා ලබාගත්ත ජයග්‍රහණය දේශපාලනයට සින්න වෙලා. ඒ සින්න වෙච්ච ජයග්‍රහණය තාමත් විකුණගෙන කනවා. මේ කිසිම දේශපාලන පක්ශයකට කඩේ යන්න සූදානම් වීමක් නෙවෙයි. යුද්ධයට නායකත්වය දුන්න නායකයා විදිහට මම අපේ රටේ ජනාධිපතිතුමාට ගොඩක් ගරු කරනවා. ඒත් හොඳ එක දෙයක් කරනවා කියන්නේ නරක ගොඩක් කරන්න අවසර ලැබෙනවා කියන එක නෙවෙයි. කිරි කළයට ගොම බින්දුවක් වැටුනත් ඇති ඒ කිරි කළයෙන් ප්‍රයෝජනයක් නැතිවෙනවා. ඒත් යුද්ධෙන් පස්සේ අපේ පාලකයෝ එකතු කරපු ගොමවල තරම කියන්නේ දැන් ඒ කිරිකළෙම ගොම පාටයි. තව ටික කාලයක් යද්දි කිරි තිබ්බද කියලාවත් හොයාගන්න බැරිවෙයි. කිරි කළෙට ගොම බින්දුවක් වැටුනට ප්‍රයොජනයක් ගන්න බැරිඋනත් අඩුම ගානේ ඒක කිරිකළයක් කියලා හරි පේන්න තියනවා. ඒත් ගොම කළේකට කිරි බින්දුවක් දැම්මට ඒක කිරි කළයක් කියලා නම් කාටවත් කියන්න බෑ.

හැමදාමත් ප්‍රවෘත්ති ඇහුවොත් බැලුවොත් දූෂණ, වංචා, හොරකම්, මැරකම් කලකිරීමක් ඇරෙන්න සතුටක්, ආඩම්බරයක් හිතෙන දෙයක් නම් කවදාවත් ඇහෙන්නේ නෑ. රටේ දූවා දරුවන්ගේ අනාගතය තීරණය කරන  විභාගයට වෙලා තියන අභාගයක්. වැරැද්දක් කරලත් කිසිම වගක් නැතුව මුන් රෙදි ඇඳන් කතා කරන ලස්සන. ඒ අතර ලංකාවට විදේශ සංචාරකයෝ ගෙන්න ගන්න දගලන ආණ්ඩුවට ඒ එන මිනිස්සුන්ට හරි හැටි ආරක්ශාව දෙන්න බෑ. ආණ්ඩුවේම මැරයෝ ඒ එන සංචාරකයන්ව දූෂණය කරලා මරලා දාන්නේ වගේ වගක් නැතුව. ඒ විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතේදි මිනිස්සුන්ට මූණදෙන්න වෙන කම්කටොළු, දුක් ගැහැට ගැන වගේ වගක් නැතිව ආණ්ඩුවට අවශ්‍යකරන දේවල් හරි අපූරුවට කරන ලස්සන. මේ ලිස්ට් එක ගැන කියන්න ගියොත් ඉතින් පෝස්ට් කියක් ලියලා ඉවර කරන්න කියලද ? මහරජතුමෝ, ඔබතුමාගේ රටවැසියන් නැවත වතාවක් ඔබතුමාට චන්දය දුන්නේ යුද්ධය ඉවරකරා වගේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳලා මිනිස්සුන්ගේ ජිවන යුද්ධය නිමාකරන්න මිසක් ඔබතුමාගෙවත් ඔබතුමාගේ වටේ ඉන්න ඈයන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න නෙවෙයි. එහෙම කරත් කමක් නෑ ඒත් රටවැසියන්ගේ ප්‍රශ්න විසඳලා අහවර වෙලා.



2009 අවුරුද්දේ මහරජ ගැන තිබ්බ පැහැදීම, ආඩම්බරය දැන් නම් කොහෙද මන්ද? කොන්දක් නැති විපක්ෂයක් හිටිය පළියට තමන්ට රිසිලෙස ඩෙගා නැටීම නම් ඒ හැටි හොඳ ක්‍රියාවක් නෙවෙයි. අපේ රටේ මිනිස්සුන්ගේ අභාගයට හරි හමන් විපක්ෂයකුත් නෑ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. අද රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඇටි කෙහෙල් කාපු ගුඩුවෝ වගේ ආණ්ඩුව කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්න. මහජනතාව කට්ටියට චන්දේ දීලා කට්ටිය රඟපාන කොමඩිය දිහා බලා ඉන්නවා. ඒ මදිවට මෙලෝ රහක් නැතුව ඒ අයට අත්පුඩි ගහන කට්ටියකුත් ඉන්නවා. මට හිතෙන්නේ මේ විදිහට දිගටම ගියොත් මේ විගඩම්, කරදර, දුක් දරාගෙන ඇතිවුන දවසක මිනිස්සු පාරට බහීවි. හැබැයි රජතුමෝ එදාට නම් ඔබතුමාට හැඟෙන්න ගුල් හොයන්නවෙයි. එහෙම වුනොත් ආයෙත් ලේ ගංගාවක් ගලන්න බැරි නෑ. අනේ එහෙම දෙයක් නොවෙන්න වැඩ කටයුතු සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොටි ප්‍රශ්නය නිසා නැතිවෙච්ච ජීවිතය සහ දේපල ප්‍රමාණය වැඩිත් එක්ක. දෙමළ වේවා සිංහල වේවා ඒ නැති වුනේ අපේ රටේ මිනිස්සු. ඒ නිසා ආයෙත් එහෙම යුගයක් නම් එපා.

මේ ලීවේ කිසිම දේශපාලනික අරමුණකින් නෙවෙයි. ඒත් ආපහු හැරිලා බලද්දි ඇතිවෙච්ච වේදනාව සහ කළකිරීම නිසයි ලියන්න හිතුනේ. මේක ලීවා කියලා ඇතිවෙන සෙතක් නෑ කියලත් මම දන්නවා. මොකෝ ජනාධිපති මගේ බ්ලොග් එක කියවලා මේ අවුරුද්දෙවත් වෙනස් වෙන්න ඕනේ කියලා හිතාගනි කියලද ? ඒ කෙසේවෙතත් තියන මාධ්‍ය නිදහසට අනුව සුදු වෑන් එකක් ගෙදරට එන්න ඉඩතියනවා. පිට මිනිස්සුත් එක්ක රටින් පිට ඉඳං ඒ දිහා බලාඉන්නකොට හිතට එන වේදනාව නිසයි ලීවේ. මහරජතුමනි, මීට අවුරුදු දෙකකට කලින් ඔබතුමා පිළිබඳ තිබුන ගෞරවය, ආඩම්බරය දැන් නම් කොහෙද මන්දා? දවසින් දවස කළකිරෙනවා, දුක හිතෙනවා, කේන්ති යනවා මිසක් කිසිම ඔය කරන වැඩගැන පැහැදීමක් නම් නෑ. හොඳ වැඩක් කරලා ඊට හත්කූරු ගොන් වැඩ 5ක් 6ක් කරලා අර හොඳ වැඩේ ගැන පම්පෝරි ගැහුවට වැඩක් වෙන්නේ නෑ. මේ තියන තත්වය අනුව අපේ රටට සහ රටේ පුරවැසියන්ට ඉතින් අර ඉන්නවයි කියන තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ පිහිට විතරයි. ඒත් මහරජතුමා හොරෙන්ම ඒ කට්ටියත් එයාගෙ පක්ෂෙට අරන්ද දන්නේ නෑ.....  එහෙම නම් ඉතින් අපිට සොරි ඩොට් කොම් තමයි.

ලංකාව අමුතුවෙන් ආසියාවේ ආශ්චර්යය කරන්න දෙයක් නෑ මහරජතුමනි. අපිට ලැබිලා තියන දේවල් දිහා හොඳට ඇස් ඇරලා බැලුවොත් පෙනෙවි අපි ඉන්නේ ආශ්චර්යමත් රටක විත්තිය. අනේ ඉතින් එහෙව් රටක නායකයා වශයෙන් ඔබතුමාට පුළුවන් නම් මේ ආශ්චර්යමත් රටට කොරන හානිය නවත්තලා ලැබිලා තියන සම්පත්වලින් හරියට ප්‍රයොජනය ගන්න ඒ හොඳටම ඇති කියලයි මගේ මේ පුංචි මොලේට තේරෙන්නේ. ඉතින් මේ අවුරුද්දෙවත් අපිට ආශ්චර්යය පෙන්නනවා වෙනුවට ඔබතුමාගේ වැහිලා තියන ඇස් ඇරිලා,ඔබතුමා වටේ ඉන්න මෝඩයෝ රැළත් එක්ක අර දොවාගත් කිරිකළේට ගොම එකතුකරන එක නවතීවා කියලා ප්‍රාර්ථනා කරනවා...........
ඔබ තුමාට කෙසේවෙතත් රටේ ජනතාව වෙච්ච අපිට සියළු දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි, ආරක්ශාවයි !!!!