Tuesday, February 21, 2012

ගිනි.....

උදේ ඉඳං තොර තෝංචියක් නැතුව වහිනවා. සති දෙකක ඉඳං එක සීරුවට වැටෙන වැස්ස. ඒ වැස්සත් එක්ක පොර බදන්න තරම් හයියක් පොල් අතු වහලෙට නැති බව කියාපාන්නේ වහලය අතරින් රූරා වැටිලා ගෙබිම සිපගන්න වතුර බින්දුයි. ඒ වෑහෙන වතුර බින්දු ගොම ඇතිරුව ගෙබිමත් මඩ කරලා දාලා. දිය සීරාව ගෙපැල ඇතුලේ සීතල තව තවත් වැඩි කරනවා. හාවක් හුවක් නැති ගෙපැල හතර අතේම මුස්පේන්තුකම රජවෙලා. බුරු ඇඳේ උන්ඩිවෙලා මුළු සරුවාන්ගෙම සරම ඇතුලේ හංගාගෙන හිටපු සිරිපාල හිමින් සැරේ ඔලුව එලියට දැම්මේ හරියට ගොලුබෙල්ලෙක් කටුවෙන් එලියට එනවා වගේ. හිමින් සීරුවේ කකුල් දෙකත් සරමෙන් එලියට ගත්තු සිරිපාල ඈලි මෑලි කමින්ම ඇඳ උඩ එරමිණියා ගොතාගෙන වාඩිවුනා. කිසිම බලාපොරොත්තුවක් නොමැති වූ ඔහුගේ හිස් ඇස් ගෙපැල ඇතුලේ එහෙට මෙහෙට ගියේ පුරුද්දට වගේ. ඒ ඇස් නැවතුනේ කවුළුව අසල. මෙච්චර කාලයක් කවුළුව වහන්න පාවිච්චි කරපු කාඩ් බෝර්ඩ් කෑල්ල වැස්සටම දියවෙලා ගොහින්. පොල් අතු වහලෙන් බේරෙන වතුර බින්දු මදිවට කවුළුවෙන් ඇතුල්වෙන සිරිපොදත් ගෙපැලට සීතල එකතු කරා.  ඉබේම ඔහුගේ දෑස් කවුළුවෙන් එළියේ වහින මහා වැස්සට දිහාට යොමුවුනේ කිසිම අරමුණක් නැතුව.  වැහි බින්දු අතර ඔහුගේ ඇස් තනිකරලා ඔහුගේ හිත ඔහේ පියාඹලා ගියේ ඔහුටත් හොරෙන්.



' සති දෙකකින් කුලී වැඩක් නෑ. කිරි කපන්නත් නෑ. පොඩි උන්ව ස්කොලේ යවන්න තියා උන්ට කන්න දෙන්නවත් දෙයක් ගේ හරියේ නෑ. අමාරුවෙන් ඉතිරි කරලා තියාගත්තු සල්ලි ටිකත් වැස්සටම දිය වෙලා ගිහින්. ඉතුරු වෙච්ච අන්තිම සියේ කොලෙයි ඊයේ පියසිලිගේ අතට දුන්නේ. පුදුම කාලකන්නි වැස්සක්' ඒ සිතුවිලි පෙරහැරත් එක්ක තමන්ගේ ලෝකේ තනිවුන සිරිපාල හුල්ලන්න උනා. හිස් වෙලා තිබ්බ ඇස් දෙකට දුක මුසුවුනේ ඉබේම. දුප්පත් කමත් එක්ක පොරකමින් සිරිපාල  වීරිය කරන්නේ ජිවිතේ ජයගන්න නෙවෙයි. ජිවත් වෙන්නයි. ඒ සටනේදී මේ අසරණයට වැස්ස මරු පහරක්. කවුළුවෙන් එළියේ වහින වැස්ස සිරිපාලට පෙනුනේ තමන්ගේ අසරණකමට මහ හඬින්  නගන හිනාවක් වගේ. බර හුස්මක් පිටකරලා බුරු ඇඳෙන් බිමට බැස්ස සිරිපාල ගේ පිටිපස්සට කිට්ටු කරා. දුක පිරිච්ච ඔහුගේ ඇස් යොමුවුනේ ගිනි මොලවන්න උත්සහකරමින් සිටි පියසීලි වෙතයි. පියසීලිගේ වැයම දිහා බලාගෙනම සිරිපාල නැවතත් සිතුවිලි අතර තනිවුනා. ' අනේ මේ ගෑණි මම නිසා විඳින දුකක්. මොන තරම් කරදර බාධක කම්කටොලු වලට මුහුණ දුන්නා කියලද ?  තාමත් කෙළවරක් නෑ. මොන තරම් කරදර උනත් නොසැලී, ඉවසීමෙන් වැඩ කරන හැටි.' ඒ සිතුවිලි පෙළත් සමගම තමන්ගේ බිරිය ගැන ඇතිවූ අප්‍රමාණ වූ සෙනෙහස ඔහුගේ දුක් මුසු දෑස් වලින් දොරේ ගලන්න වුනා. ඒ සෙනෙහස දෑසේ තිබුන දුක වගේම හදවතේ වේදනාවද හෝදගෙන ගියා. 

" මොනවා තම්බන්නද උඹ ඔය ලිප ගිනි මොලවන්නේ ? " වැස්සේ හඬ පරයා සිරිපාල තම කටහඬ අවදි කළා. ඒ හඬට ගැස්සුණු පියසීලි ඔලුව ඉස්සුවා. " ඔහේ නැගිට්ටද ???   තම්බන්න කියලා දෙයක් නම් ගේ හරියේ නෑ. සීතලට කහට උගුරක්‌ බොන්න කියලයි ලිප මෙලෙව්වේ. පැටව් දෙන්නත් තාම නිදි. ඊයේ රෑත් බඩගින්නෙනේ උන් දෙන්නා නිදාගත්තේ. මම ඇහැරවන්න ගියෙත් නෑ. ස්කොලේ යවන්න කියලැයි. වතුර නටනකං ඩිංගිත්තක්  උන්නේ, කහට උගුරක්‌ වක්කරලම ඔහේට කතා කොරන්න" පිළිතුරු දෙන අතරේම වතුර ටිකක් ලිපේ තියපු පියසීලි සිරිපාලට කිට්ටු වුනා.  සිරිපාලගේ මුවින් " හ්ම්ම්ම් " යැයි පිටවුනේ ඇහෙන නොහැනෙන ගානටයි. උළුවස්සට හේත්තු වුන සිරිපාල නැවතත් තමන්ගේ කල්පනා ලෝකයේ තනිවුනා. සිරිපාල අභිමුවේ ඉතා විශාල ගැටළුවක් ඇත. මේ ලෝකේ විවිධාකාර මිනිසුන්ට විවිධාකාර ගැටළු ඇත. සමහර ගැටළු අති සංකීර්ණය. ඒ සංකීර්ණ ගැටළු මිනිසාට ඇති කරනු ලබන්නේ මේ සංකීර්ණ වූ මිනිස් සමාජය විසිනි. ඒවා මිනිසා විසින්ම නිර්මාණය කරගත් ගැටළුවෙයි. මේ සංකීර්ණ සමාජය තුල මිනිසුන්ට අනවශ්‍ය අවශ්‍යතා බොහොමයි. ඒ අනවශ්‍ය අවශ්‍යතා නිසා පැන නැගෙන ගැටළුද අති විශාලයි. ඒ ගැටළු හමුවේ දියුණු වූ මිනිසුන්ට කෙතරම් මිල මුදල් තිබුනත් සැනසෙන්නට නොහැක. අවශ්‍යතාවන් ඊට වඩා අති විශාලය. එහෙත් මේ අසරණයාගේ ගැටලුව අනවශ්‍ය අවශ්‍යතා නොවෙයි. මිනිසාගේ පමණක් නොව මෙලොව වසන සියලුම සතුන්ගේ මුලික අවශ්‍යතාවය වන්නේ ආහාරයි.  ඒ මුලික අවශ්‍යතාවය සපුරාගත නොහැකිවූ මේ අසරණයා බලාගත් අත බලාගෙන කල්පනා කරන්නට විය. 

' වැස්ස පොඩ්ඩක් තුරල්වුන ගමන් එලියට බහින්න ඕනේ. වැස්ස නිසා මේ දවස් වල ඇළ පිරිලා. ඇළ අයිනට වෙලා හිටියොත් පාවෙලා එන පොල් ගෙඩියක් දෙකක් අහුලගන්න බැරි වෙන එකක් නෑ. ඒත් පොල් ගෙඩියක් දෙකක් අහුලාගෙන මොනවා කරන්නද ?  ගෙදර හරියේ හාල් ඇටයක් නැතුව. චැක්... වැස්ස නිසා ගස්වල දිය සීරාව. කොස් ගෙඩියක් කඩා ගන්නවත් විදිහක් නැති හැටි. අනේ මෙහෙමත් කාලකන්ණි වැස්සක්. අනේ දෙයියනේ හෙටවත් පෑව්වේ නැත්නම්. මහා වැස්සේ හරි කමක් නෑ කුලී වැඩක් ලැබෙනවා නම්. කරුමෙට එහෙම දෙයක්වත් නෑනේ. එක අතකට මේ කාලකණ්නිකම වැස්සේ නෙවෙයි අපෙයි කාලකන්ණිකම. වැස්ස කියලා හැමෝටම අපිට වගේ බඩගින්නේ ඉන්න වෙන්නේ නෑනේ. සොබාදරුමේට දෙස් දෙවල් තියලා වැඩකුත් නෑ කරුමේ ගෙවනවා මිසක්'       " ආ මෙන්න, මේක බීලා හිටියා නම්"     පියසිලිගේ කටහඬින් කල්පනා ලෝකෙන් මේ ලෝකෙට කඩාවැටුන සිරිපාල පියසීලි දික් කරගෙන හිටිය තේ කෝප්පේ අතට ගත්තා. " ඔහේ ඔය හැටි කල්පනා කරා කියලා වැඩක් නෑ. මේක ඔහේගේ වැරද්දක් නෙවෙයි. අපේ කරුමේ. මට නම් බඩගිනි උහුලන එක පුරුදුයි. ඒත් පොඩි උන් දෙන්නට පුළුවනැයි ඔය හැටි ගිනි උහුලන්න. පපුව හෝස් ගාලා ඇවිලෙනවා උන් බඩගිනියි කියද්දී". පියසීලි ඒ පිළිතුර දුන්නේ සිරිපාල කල්පනා කරමින් තැවෙන කාරණය හොඳින්ම දන්න නිසා.   "හ්ම්ම්.... ඒක තමයි බං මම මේ කල්පනා කලේ."  කෙටි පිළිතුරක් දුන්න සිරිපාල නැවතත් කල්පනා ලෝකෙට හිමින්ම කිට්ටු වුනා. 

කල්පනා ලෝකය අතරේ සිරිපාලට එකපාරටම සිහිවුනේ චුට්ටේ. මිට කලින් දවසකත් චුට්ටේ සිරිපාලට කතා කරේ අඩු මහන්සියකින් වැඩි ගානක් හොයාගන්න පුළුවන් වැඩකටයි. සිරිපාල කර ඇරියේ හිතට අවංකව කරන්න බැරි වැඩක් නිසයි. චුට්ටේ කියන්නේ පළාතේම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරය වුනේ නීතිවිරෝධී මත්පැන්. එහෙමත් නැත්නම් කසිප්පු. කසිප්පු චුට්ටේ කියපුවහම පලාතම හොඳින් හඳුනනවා. සිරිපාලට කතා කලේ කසිප්පු බෙදාහරින්නයි. කවදත් පවට, නීතියට බය වෙච්ච, සාධාරණ මනුස්සයෙක් වුන සිරිපාලට හිතට එකඟව කරන්න බැරි දෙයක් නිසා මග ඇරලා හිටියා. සිරිපාල අනිත් උන්ට ගිනිවතුර පොවලා තමන්ගේ ගිනි නිවාගන්න ලැහැස්ති නොවීය. ඒත් ඒ නීතිගරුක බවෙන්වත් පින් පව් වලින්වත් දරු පැටවුන්ගේ, බිරිඳගේ බඩේ ගින්දර නිවන්න බැරිබව සිරිපාල හොඳාකාරවම දන්නා කාරණයයි. තීරණයක්‌ ගන්න බැරිව සිරිපාලගේ හිත  දෙලොවක් අතර දෝලනය වන්නට පටන්ගත්තා. තමන්ගේ හෘදසාක්ෂිය තමන්ට කෑගහන බව ඔහුට තේරුනා. ඒත් ඉක්මනින් යමක් කලයුතුයි. සිරිපාලගේ මැලවුන දෙනෙත් දිලිසෙන්න පටන්ගත්තා.  උගුරට දෙකට තේ කෝප්පය හිස් කල ඔහු හිස් කෝප්පය බිරිඳ අතට දී කඩිමුඩියේ  කලයෙන් දිය දෝතක් ගෙන මූණ තෙමාගත්තේ අලුත් පණක් ලද එකෙක් මෙනි. ඇද සිටි සරම උනා වෙනත් සරමක් පටලවා ගත්තා. දිරාගිය කමිසයක්ද ඇඟට දාගත්තා. තම ස්වාමිපුරුෂයා මහා වැස්සේම එලියට බහින්න සුදානම් වනවා දුටු පියසීලි " මේ මහා වැස්සේ කොහෙද යන්න හදන්නේ ? " යැයි විමසිය. " ගිහින් එන්නම්" යැයි පවසමින් ඔහු ගෙපැලෙන් එලියට බැස්සේ කොතෙකුත් කෑගැසුවත් තමන්ගේ හෘදසාක්ෂිය මරාදමන බවට තමාට ප්‍රතිඥා දෙමින්...............


පොඩි උත්සහයක් කලේ..... පලවෙනි එක. අසාර්ථක ඇති. අඩු පාඩු පෙන්නනවා නම් බොහොම කැමතියි......

23 comments:

  1. අලුත් වෑඩක්.හොදයි ලස්සනයි. දිගටම ලියන්න.

    ReplyDelete
  2. මං මහා ලොකුවට ලියවිල්ල ගැන දන්න කෙනෙක් නෙමේ.. ඒත් අම්මප අයියේ මං ඔය මහාලොකු ගත්කතුවරුන් කියන අයගේ සම්භාව්‍ය පොත් කියවල තියනවා, මට කියවද්දී හිතුනේ මේක ඔයා කොහෙන් හරි උපුටා ගත්ත එකක්ද කියල.. ඒ තරම් හැකියාපුර්ණ පරිනත බවක් ඔයාගේ භාශනයේ තියනවා..

    ඇත්ත වශයෙන්ම කියන්න තියෙන්නේ පළමු නිර්මාණය අතිසාර්ථකයි...

    ReplyDelete
  3. කියන්න තියෙන එක අඩුපාඩුව... අඩු පාඩුවක් නෑ කියන එක තමයි ඉතිං.. ඔහොම ඇදන් යමු...

    ගොඩේ බ්ලොග් එකේ බොඩි ට්‍රාන්ස්පෙරන්සි අඩු කරා නම් ඇස් දෙකට පහසු වේවිද කියලත් හිතෙනවා... පොඩ්ඩක් හිතලා බලපං සහෝ !

    ReplyDelete
  4. පළමු උත්සාහය සාර්ථකයි.මුල ටික කියවනකොට මැවිලා පෙනුනා.හොඳට වෙලා අරන් ඉවසීමෙන් ලියන්න..සිරියස්ලි හොඳ ලිවීමේ හැකියාවක් තියනවා..

    ReplyDelete
  5. උත්සහය සාර්ථකයි !!!
    ඔය වැස්සට අකමැති කෙනෙක් අපේ පවුලෙත් ඉන්නවා ! ඒ අපේ බාප්පොච්චි ! උන්දෑ කරන්නේ මේසන් වැඩ ! වැහි කාලෙට මෙසන් වැඩ නැති නිසා උන්දෑ වැස්සට එච්චර මනාප නෑ

    ReplyDelete
  6. උත්සාහය සාර්තකයි මචං . . . . සුභ පැතුම්

    ReplyDelete
  7. ගොඩයා අයියා ගේ පළවෙනි උතසහය පට්ට.....
    නියමෙටම ලියලා තියනවා.. දිගටම ලියමු ජය

    ReplyDelete
  8. නියමයි මචං.. කතාවේ මුල්ම ජේදෙන් අපිව කතාවේ පරිසරයට අරං ගියා.. ජය!!!

    ReplyDelete
  9. අංජන .. දැන් තමයි ගොඩයාගේ හැකියාව එලියට එන්නේ.. සමාජයේ මතුඔපිටට පෙනෙන්නේ නැති පැතිකඩක් අරන් ලියපු මේ කෙටි කතාව නම් අපුරුයි.. තේමාව ලිවිල්ල පරිනතයි.. අන්තිම තීරණය අනිවාර්යවෙන විදිහට ටිකක් දිගට ගියා නම් තවත් අගෙයි කියල හිතෙනවා .

    ReplyDelete
  10. ඇත්තමයි හිතට දැනෙන්න ලියලා තියනවා වගේ
    කථාව කියවනකොට අපිත් මොහොතකට ඒ සිරිපලත් ඉන්නවා ගේ දැනුනා

    ReplyDelete
  11. උත්සාහය සාර්ථකයි.. ඔහොම යං.. අන්තිම ටික ටිකක් ඔබාමා එක්ස්ප්‍රස් එක වගේ.. ඒ නැතුව පටන්ගත්ත වගේ හෙමින් හෙමින්ම ගියානම් තවත් ලස්සනයි..

    ReplyDelete
  12. උත්සාහය ෆුල් සාර්ථකයි ගොඩයො..

    ක්සැන්ඩර්
    සයිඩ් එකෙන් ඉන්න ඔබ‍ට පාට් දාන්න එන්න එපා හරිද ?

    ReplyDelete
  13. samara - බොහොම ස්තුතියි!!! පොඩි උත්සහයක් ගත්තේ. බලමුකෝ දිගටම ලියලා.....

    ජීනියස් - බොහොම ස්තුතියි මල්ලි!!! මාත් ඔය මහප්‍රාණ කෑලි දන්නේ නෑ.දන්න විදිහට ලීවා. හැබැයි මලේ කොහෙන්වත් උපුටා ගත්තේ නෑ. එහෙම ගත්තා නම් අනිවාර්යයෙන්ම අයිතිකාරයා ගැන සඳහන් කරනවා. :) :) :)

    ReplyDelete
  14. ගුලියා - බොහොම ස්තුතියි!!! ඔන්න මචන් කියපු විදිහට බොඩි ට්‍රාන්ස්පේරන්සි අඩු කළා. දැන් අවුල හරි වගේ නේද ??? බොහොම ස්තුතියි ඒ අදහසටත්.....

    Malya Cruise - බොහොම ස්තුතියි නංගි. ඇත්ත අන්තිම ටික නම් ටිකක් ඉක්මනට ඉවරකරා තමයි....

    ReplyDelete
  15. මධුරංග - බොහොම ස්තුතියි මචන් !!! ඇත්ත. වැස්සෙන් ගොඩක්ම පහර වදින්නේ එදා වෙල හොයාගන්න මහන්සිවෙන අහිංසකයන්ට...

    ඕනයා - බොහොම ස්තුතියි අයියේ !!!!

    බීටා - බොහොම ස්තුතියි මල්ලි!!! පොඩි වෙනසක් කරන්න හිතුවා. බලමුකෝ ඉස්සරහටත්

    ReplyDelete
  16. ඔබ නොදුටු ලොවක් - බොහොම ස්තුතියි !!!

    දිනේෂ් - බොහොම ස්තුතියි සහෝදරයා!!! ජය!!!

    ReplyDelete
  17. සරත් ලංකාප්‍රිය - බොහොම ස්තුතියි අයියේ..... මේක පලවෙනි එක නිසා ටිකක් ඕනෙවට එපාවට වගේ ලිවේ. හරියයිද බලන්න. බලමුකෝ හිමින් සැරේ තව එකක් ලියලා. තව ටිකක් අරන් යන්නේ නැතුව නැවැත්තුවේ අන්තිම තීරණය කියවන ඔයාලටම තීරණය කරන්න ඇරලා.

    ජින්ජිබිරිස් - බොහොම ස්තුතියි සහෝ!!!

    ReplyDelete
  18. ක්සැන්ඩර් - සහෝදරයට වැඩේ අහුවෙලා. අවංකෙම්ම කියනවා නම් අන්තිම ටික කම්මැලිකම නිසා ඉක්මනට ඉවරකරන්න ඕනේ උනා. ඊළඟ එක කම්මැලිකම අත ඇරලා වුවමනාවෙන් ලියන්න බලන්නම්. බොහොම ස්තුතියි!!!

    ඔබා මාමා - බොහොම ස්තුතියි ඔබා මාමේ...... ඔයා සයිඩ් එකෙන් හිටියට ඉදිරිපෙළ ක්‍රිඩකයෙක්නේ. පාර්ට් දාන එක අහන්නත් දෙයක්ද ?? හික්ස්

    ReplyDelete
  19. එළකිරි !!! උඹව පාර්ලිමෙතුවට යවනවා මම එක පයින් ඔහොම ඉල්ලීම් ඉටු කොරනවට :D

    ReplyDelete
  20. ආසාවෙන් කියෙව්වා... උත්සාහය සාර්ථකයි !! ඉතුරු කොටසත් ඉක්මනින්ම දාන්න

    ReplyDelete
  21. ගුලියා - අනේ එක පයින් තියා එක අතින්වත් මට පණ පිටින් අපායේ යන්න ඕනේ නෑ බං.......

    අඹයා - බොහොම ස්තුතියි මල්ලි!!! ඉතුරු කොටසක් නෑ මල්ලි. කතාව අහවරයි........

    ReplyDelete