Saturday, April 9, 2011

පුංචි පහේ මං........

පිසාචයා ලියපු අපේ ගුරුතුමා පෝස්ට් එක කියවද්දි මට මතක් උනා තවත් සින්දුවක්. ඒ සින්දුවත් එක්කම මම මගේ අතීතයට ගියේ අසුරු සැනින්. සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන ඉස්සර මං ගිය පාසල ඇරිලා  කියන සින්දුව අහලා ඇතිනේද හැමෝම. අහලා නැති කෙනෙක් ඉන්නවානම් මෙන්න මෙතන ඔබන්නකෝ. මේ සින්දුවේ විස්තර කරන පොඩි එකා තරම් නම්  මම වාසනාවන්ත නෑ. මොකද මටත් ඉස්කෝලේ යන්න වුනේ පාසල් සේවයේ, පහු පහු වෙද්දි නම් බස් එකේ. මේ කියන පොඩි එකාට වගේ මට සොබාව සෞන්දර්යය රස විඳින්න ලැබුනේ නෑ.  ඒත් මට 5 ශිෂ්‍යත්ව පන්ති යද්දි නම් ඒවාගේ පොඩි පොඩි අත්දැකීම් ලැබුනා. ඉතින්  මේ සින්දුව ඇහෙන  ගානේ මට මතක් වෙන්නේ පන්ති ගිය හැටි. ඒ මතකය ඇවිස්සුනු නිසා මට හිතුනා ඒ ගැන පොඩ්ඩක් ලියන්න.

මම ඒ කාලේ පොඩි එකා. දැනුත් ඉතින් මහ වයසක්යෑ.....  අර කලින් පෝස්ට් එකක ලීවා වගේ අපේ අම්මා මට පන්න පන්න උගන්නන්න දැඟලුවේ නෑ. එහෙම කිවේ  දැන් ඉන්න ගොඩක් දෙමව්පියෝ,  පොඩි උන්ට තියන නිදහස සම්පූර්ණයෙන් දින, කාල වකවානු නැතුවම අහෝසි කරලනේ. අපේ අම්මා නම් එහෙම කලේ නෑ. සෙල්ලම් කරන්න යන්න නොදී එක වසරේ ඉඳන් මාව පන්ති ගානේ ඇදගෙන යන්න ලැහැස්ති වුනේ නෑ. මට පොඩි කාලේ පොඩි එකෙක් විදිහට ලැබෙන්න ඕන අත්දැකීම් ලැබෙන්න ඇරියා. අනිත් උන් 2 වසර 3 වසර ඉඳන් ශිෂ්‍යත්ව පන්ති ගියාට අම්මා ඒ කාලේ මට නිදහසේ ඉන්න දුන්නා. හැබැයි හතර වසර වෙද්දි මගේ පන්තියේ හිටපු ගොඩක් උන් පන්ති යනවා. මටත් ඔන්න පන්ති යන්න ඕනේ වුනා. ඒකාලේ පන්ති යනවා කියන්නේ ලොකු වැඩක්. ගිහින් කන්නේ අමුම අමු කට්ටක්. ඒ වුනාට ඒක හෙන ලොකු වැඩක්.

තාත්තා පිටරට නිසා අම්මට නංගිත් එක්ක මාව අරන් ඔය ඈත පන්තිවලට යන්න අමාරුයි.  ඒ නිසා මාව දැම්මා අපේ ගමේම පන්තියකට. පියසීලි ටීචර්ගේ පන්තියට. ටීචර් පන්ති කලේ ටීචර්ලගේ ගෙදර. අපේ ගෙදර ඉඳන් ගම ඇතුලට කිලෝමීටර් එකහමාරක් දෙකක් යන්න ඕනේ. ගම ඇතුලේ නිසා ආරක්ෂාව හොඳයි. අම්මට පස්සෙන් ගිහින් බලන්න ඕනේ උනේ නෑ. ඔන්න හතර වසරේ මැදක් විතර වෙද්දි මම පන්ති යන්න පටන් ගත්තා. පයින් තමයි ගමන. අපරාදේ කියන්න බෑ පන්ති යන්න සෙට් එකකුත් හිටියා. සෙට් එකම අපේ ගේ ලඟින් යන්නේ. අපේ කොඩිකාරයත් පන්ති එනවා. ඌ එන්නේ තාත්තා එක්ක. තාත්තා ඌව බයිසිකලෙන් පන්තියට ගිහින් දානවා. කොඩිකාර කියන්නේ මාත් එක්ක 1 වසරේ ඉඳන් මේ දක්වාම ඉන්න එකෙක්. ඌ මගේ අතිජාත මිත්‍රයා උනත් තාත්තා එක්ක එන නිසා ඌව මඟ අරිනවා.මොකද අපි සෙට් එකට වැඩ තිබුනේ පන්තියට යන එන අතරමඟ. කොඩ්ඩගේ තාත්තට හරි පන්තියට එන වෙන කාගේ හරි දෙමව්පියෙක්ට මාට්ටු උනොත් අපේ වැඩ ඔක්කොම හබක්. අපිට ඔය තිබ්බ තිරිකිස් වැඩ නිසා තමයි මට අර සින්දුව ඇහෙද්දි පන්ති ගිය හැටි මතක් වෙන්නේ.

ඔන්න අපි සෙට් එකට උදේම පන්තියට යන අතරේ තියනවා ලොකු රාජකාරියක්. ඒ තමයි සංඛ්‍යාලේඛනයක් හදන්න. හතර වසරේ උන්නු කිරි කජු කොල්ලන්ට මොන සංඛ්‍යාලේඛනද කීවලු?   සංඛ්‍යාලේඛනය වෙන මොකවත් ගැන නෙවෙයි, පාර දෙපැත්තේ වතුවල තියන රඹුටන් , අඹ, පේර, ජම්බු, ලොවි, වෙරළු....... මෙකී නොකී ගඩා ගෙඩි ගැන තමයි. කොකෝවා ගහකුත් තිබ්බා හොඳට මතකයි. උදේට ඔය හදන රිපෝට් එකේ හැටියට තමයි පන්ති ඇරුනහම වැඩ සිද්ධ වෙන්නේ. අනික ගිය සතියේ පන්ති එද්දි ගස් වල තිබ්බ පැහිච්ච නැති ගෙඩි ගැන එහෙමත් හොඳ මතකයක් සෙට් එකටම තිබ්බා. හොඳට ඉදුනු පේර, රඹුටන්, ජම්බු වගේ දෙයක් උදේ දැක්කොත් පන්ති ඇරෙනකම් කට්ටියට සිහි නෑ. පන්ති ඇරිච්ච ගමන් සෙට් එකම නවතින්නේ ගස් යට තමයි. අනිත් එක ඔය වතු වල අයිතිකාරයෝ ගෙඩි කැඩුවා කියලා ගහන්න බනින්න ආවේ නෑ. සමහර වෙලාවට අයිතිකාරයා දැක්කොත් අහලම කඩාගන්නවා. ලඳු ගානේ රිංගන්න හේතුවක් නැති උනොත් ඒ කිවේ කඩන්න තරමේ පැහිච්ච ඉදිච්ච ගඩා ගෙඩි නැති වුනොත් ඊළඟ වැඩේ තමයි ඇළකට බැහැලා මාළු අල්ලන එක. අපේ ගම මැද්දේ ලොකු වෙල්යායක් තියනවා. ඔය වෙල අයිනෙන් යන පොඩි ඇළට බැහැලා සිලි කවරයක් හොයාගෙන මාළු අල්ලනවා. ඔය මොන කෙලිය කරත් මම නම් ගමේ මිනිහෙක් දකී කියලා පට්ට බයේ තමයි ඉන්නේ. වෙන මොකවත් නෙවෙයි සමහර වෙලාවට මම ගෙදර එන්න කලින් මගේ වැඩ ගැන ගෙදරට සියළු විස්තර ඇතුව වාර්තාව ඇවිල්ලා. එදාට ඉතින් ඉඳලා ඉවරයි.

පහ වසරට ආවහම අම්මා මට බයිසිකලේ පන්ති යන්න දුන්නා. බයිසිකලේ කීවේ බාගේ බයිසිකලයක්. හැබැයි කොන්දේසි බර ගානක් දාලා තමයි අවසර දුන්නේ. හයියෙන් යන්න බෑ. ඩබල් දාලා යන්න බෑ. පැලවත්ත කන්දෙදි බැහැලා බයිසිකලය තල්ලු කරගෙන එන්න ඕනේ. ( පැලවත්ත කන්ද කියන්නේ පට්ටම බෑවුමක් ) මලාට බයිසිකලේ කන්දේ පදින්න නම් බෑ. එද්දි නම් පල්ලම. ආයේ මුකුත් නෑ වෙඩිල්ල වගේ එන්න පුලුවන්. පල්ලම ඉවර වෙන්නේ වෙල් යාය පටන් ගන්න තැනින්. ඒ එක්කම වංගුව.  කොහොම කොහොම හරි අම්මා  ඔය මොන කොන්දේසි දැම්මත් මම ඉතින් ඔය කරන්නේ නෑ කීව හැම දේම කොලා. පුදුම කරුමයක් කියන්නේ හැමදාම අම්මට ආරංචි වෙනවා මම කන්ද පල්ලමේ නැඟලා ආවහම. ඩබල් දාලා ආවාහම. මම ඒ දවස් වල ඔය කේලම් කියන එකා හොය හොය හිටියේ.හෙව්වේ ඌට ගහන්න එහෙම නෙවෙයි අනිත් දවසේ ඌට පෙන්නේ නැතිව එන්න. පුදුම තරහක් තිබුනේ ඌත් එක්ක.

දවසක් පන්තිය ඇරෙන්න කිට්ටුව වැස්සක් පටන් ගත්තා. ඉවරයක් නැතුව වහිනවා. වැස්සක තෙමෙනවා කියන එක මොනතරම් ආතල්ද? මම ඉතින් පොත් ටිකත් සිලිකවරයට දාගෙන ඕන එකක් කියලා බයිසිකලේ අරන් එලි බැස්සා. අර පල්ලමට කිට්ටු කරහම වැස්ස නිසා තල්ලු කරන් යන්නත් කල්පනා කරලා ආයෙත් වීරයා වගේ පැදගෙනම පල්ලම බැස්සා. පල්ලම කාලක් විතර ආවාහම බ්‍රේක් ගහලා බැලුවා. උදේ හොඳට වැඩ කරපු බ්‍රේක් හදිස්සියෙ අතුරුදහන් වෙලා. බ්‍රේක් වදින්නෙම නෑ. එහෙන් වැස්ස. මෙලො දෙයක් කල්පනා කරන්නවත් වෙලාවක් තිබුනේ නෑ. මම බුලට් එක වගේ කන්දපල්ලමේ එනවා. වෙල්යායට කිට්ටු උනහම හොඳට ඇස් දෙක තද කරලා වහගත්තා.  හැඩල් එක හයියෙන් අල්ලගත්තා. එච්චරයි මතක. කොල්ලයි බයිසිකලෙයි දෙන්නම උඩින් ගිහින් නතර වුනේ වෙලේ. දඩ බඩ ගාලා නැඟිටලා බැලුවා කවුරුත් දැක්කද කියලා. වෙලේ හිටපු මි හරක් රංචුව ඇරෙන්න වැස්ස නිසා කවුරුත්  අහල පහල නෑ. අතක් පයක් කැඩුනේ නෑ හොඳ වෙලාවට. ඇඟ පුරා මඩ, ගන්න සසරක් නෑ.  මඩ පිටින් ගියොත් වැඩේ මාට්ටු නිසා වැස්සෙම ඇළට බැහැලා මඩ හෝදගෙන කොල්ලා ගෙදර ආවා. ඒත් වැස්සේ බයිසිකලේ ආපු නිසා හොඳට බැනුම් ඇහුවා. මේ සීන් එකට මං මෙච්චර කල් පබ්ලිසිටියක් දුන්නේ නෑ. ඒ කාලේ ඉතින්  විලි ලැජ්ජාව නිසා කාටවත් සීන් එක කීවෙ නෑ. ඔන්න ඒකත් අද කීවා.

ඔන්න ඔහොමයි පුංචි පහේ ගොඩයා ශිෂ්‍යත්ව පන්ති ගියේ. පන්තියට වුනත් හෙනම ආතල් එකේ තමයි ගියේ. සමහරු ගොඩයට ශිෂ්‍යත්වය පාස් වෙන්න තරමේවත් ලකුණු ගන්න බෑ කියලා කියද්දි, පියසීලි ටීචර්ට පිං සිද්ධ වෙන්න ගොඩයා ශිෂ්‍යත්වේ හොඳට පාස් වෙලා ලොකු ඉස්කෝලෙකටත් ගියා. පන්තිය යන අතරමඟ මොන නාඩගම නැටුවත් පන්තියෙදි වැඩ ටික හොඳට කලා. ඒ පියසීලි ටීචර් බොහොම ආදරයෙන් කරුණාවෙන් උගන්නපු නිසා. අදටත් ලංකාවට යන වෙලාවට එතුමිය බලලා එනවා. මට අර සින්දුව ඇහෙනකොට ඔය පරණ සිද්ධි මතක් වෙනවා.අපි ඉතින් පන්තිය ගියත් ඒ අතරතුරෙත් කලේ කැලේ පැන්න එක, ගඩා ගෙඩි හොයපු එක, ඇළවල්වල දන්ඩි පැටව් අල්ලපු එක. ඒත් ඉතින් අද කාලේ පොඩි උන්ට නම් මෙහෙම අත්දැකීම් නෑ. උන්ව බඩට ආපු දවසේ ඉඳන් අම්මලා උන්ව පන්ති යවනවානේ. ඒ යවන්නෙත් ඉතින් ලොකු ලොකු පන්ති වලටනේ. අනික උන්ටත් ඉතින් වීඩියෝ ගේම්, කොම්පියුටර්, ෆෝන් වලින් තොර ලෝකයක් නෑ. තියන තරඟය නිසා පොඩි උන්ට උන්ගේ ළමා කාලය අහිමි වෙලා. හිතක් පපුවක් නැති, ගහ කොල, සතා සීපාවා තියා අම්මා තාත්තාවත් අඳුරන්නේ නැති පරම්පරාවක් බිහිවෙන එක ගැන එක අතකට පුදුමයකුත් නෑ. මොකද උන්ට ඒ දේවල් අඳුරගන්න වෙලාවක්, අවස්ථාවක් නෑනේ.............

10 comments:

  1. "පොත් පිටු අතරේ නොරැදෙන දෑසින්
    වන වදුලේ අසිරිය දකිනා.....
    ගම් දරුවන් මැද මේ දරු පැටියා
    මගේ නෙතට කදුලක් නැගුවා....."

    පට්ටයි අයියේ.
    ඔය බයිසිකල් වලින් පල්ලමක යන ඒක ඒ දවස් වල අපිට ඉතින් හෙන ලොකු දෙයක්නේ.මාත් එහෙම තමයි.

    ReplyDelete
  2. මට ඔය කතාව කියෙවුවම මතක් උනේ.. මායි චන්දරයයි සයිකල් පදින්න ඉගෙන ගත්තේ අලගල්ල කන්ද පහළ වෙල් යායේ මැදින් යන පාරේ. ඔය වගේ අනුන්ගෙන ඉල්ලගත්ත බයිසිකලයක බ්රේක් නැති බව මන් දැනගෙන හිටියේ නෑ. කෙලලා ඇරිය පල්ල්ලමේ චන්දරය්ත් පොල්ලේ දාගෙන මටත් හරියට පුරුදු නැතුව..... ඉවර උනේ වෙල මැද .. අපුරුවට එරිල කෙලින් තිබුන බයිසිකලේ. අපි දෙන්න දෙපැත්තේ හොඳට මඩ නැවා. බයිඔසිකලේ කර ගහගෙන අපහු එනකොට ඉති හූව අතරේ තමයි.. අයිත්නම් ගියේ නෑ එතනට පුරුදුවෙන්න..

    ReplyDelete
  3. @ පිසාචයා - අපොයි ඔව්... ඒ කාලේ නම් පුදුම බයිසිකල් පිස්සුවක් තිබ්බේ. පල්ලම් පෙන්නන්න බෑ. අනික බයිසිකලේ යන්න දුන්නොත් අපායට උනත් යයි. මටත් පුදුමාකාර බයිසිකල් උණක් තිබ්බා. ඒ උණ හින්දා බෙල්ල කැඩෙන්න ගිහින් බේරුන වෙලාවල් අනන්තයි.

    @ ජයියා අයියා - මමත් මඩ නාගෙන ඉස්සෙල්ලාම බැලුවේ මොකාද අහල පහල ඉන්නේ කියලා. කවුරුත් නෑ කියලා තක්කෙටම තේරුනාට පස්සේ තමයි අතට පයට මොකක් හරි වෙලාද කියලා බලන්න මතක් වුනේ. මොකෙක් හරි දැක්කනම් අනිත් දවසේ රෙද්දක් ඇඳගෙන බයිසිකලේ පන්ති යන්නද???

    ReplyDelete
  4. හික් . . . බයිසිකලෙං වැටිල . . . . . මොකුත් උනේ නෑ . . . . මට මේව "ටොයිස්" වැඩ . . . වගේ මූන හදාගෙන නැගිටලා අමාරුව පෙන්නන්නෙ නැතුව ගෙදර යද්දි කෝමද ආතල් එක . . . ???

    ප.ලි. ඉස් ඉස්සෙල්ලාම සයිකලේ පොල්ල උඩිං හිටං පදිද්දි . . . පැඩල් එකෙං කකුල ලිස්සුවාම . . . . . . "අම්මෝ . . . මතක් වෙනකොටත් . . . .^%^$%%&"

    ReplyDelete
  5. අම්මපා ඇන්ඩයියේ...බයිසිකලේන් වැටිලා අන්ඩ උළුක් වෙලත් මුකුත් වුනේ නෑ කිය කිය කොර ඇන ඇන ගිය දවස් තිබුනා නොවැ........ අනික ඉතින් ඔය අන්ඩක් එහෙ මෙහෙ වෙලා දැනෙන වේදනාව වගේ නෙවෙයි වැටිලා ගෙදරින් බනිද්දි දැනෙන වේදනාව. ඒ බැනුමෙන් රිදෙන එකනේ ඉවසන්න බැරි........

    අප්පච්චියේ ඔය ප.ලි කාරණය නම් මතක් වෙද්දිත් සරුවාංගෙම නිකන් සලිත වෙලා මෙව්වා වෙලා දත කටත් එක්ක පූට්ටු වෙනවා....@#$^&*#@$%%..............

    ReplyDelete
  6. මගේ බ්ලොග් එකේ කොමෙන්ටුවක් දාපු පාර දිගේ ආවෙ කවුද කියල බලන්න. :)
    අහ් පාසල් කාලෙ ගැනනං ඉතින් කියලා වැඩක් නෑ නෙව සහෝ. ජීවිතේ මහා බරක්පතලක් නැතුව හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් ගතවුනු කාලෙ. වාසනාවකට වගේ මටත් 6 වසරට එනකම් පයින් ස්කෝලෙ යන්න ලැබුණා. අදටත් මං ඉඳල හිටල හරි ඒ පාරෙන් එනව පරණ අතීතය මතක් වෙද්දී හරීම ආසයි. මේ ලිපිය නිසා ඒ සුන්දර කාලෙ මතක් වුනා සහෝ. :)
    මේකෙ තියන ලිපි එහෙන් මෙහෙන් කියෙවුවා. ආයෙ එන්නම්. නිවාඩු පාඩුවෙ කියවන්න බුක්මාර්ක් එකකුත් දාගත්ත ඕං. :)
    ජය!!!!

    ReplyDelete
  7. අපේ ඇන්ඩි අයියගේ මොළයට දරුණු බලපෑමක් වෙලා තියෙන්නේ අර ප.ලි. වල වගේ වුනු වැඩකදී වෙන්නැති....
    මං බය නැතුව එක කියන්නේ මටත් එහෙම මොලේ අමාරුවක් තියෙන හින්ද...කට්ටියට වැඩේ තේරෙන්නේ ඇති....

    ReplyDelete
  8. @පිසාචයා: සයිකල් පදින්න පුරුදුවෙද්දි ඔය ඇක්සිඩන්ට් එක නොවුනු කොල්ලෙක් ඉන්නවනං මලේ . . . . ඌ අනිවා පුරුදු වෙලා තියෙන්නෙ "ලේඩීස්" බයිසිකලේකිං

    ReplyDelete
  9. @ චන්දික - සතුටුයි සතුටුයි..... සාදරයෙන් පිළිගන්නවා සහෝ........ උඹේ කතන්දරේ කියෙව්වහම කොමෙන්ටුවක් නොදාඑන්න බැරි වුනා. ජය ජය !!!!

    @ පිසාචයා - පික්ෂු කතා කරන්න එපා මලයා... ඇන්ඩයියගේ මොලේට එහෙම දරුණු බලපෑමක් වෙලා නෑ. ඔය මනුස්සයා ඉපදෙනකොටමලු ඔය ඔළුවෙ අමාරුව තිබ්බේ(රට්ටු කියන කතා).... :D

    @ ඕනයා - සිරා සිරා... අන්ඩ දිග නැති කාලේ පොල්ල තියන බයිසිකල් පදින්න ට්‍රයි කොලානම් ශුවර් එකටම ඉතින් ඔය වැඩේ නම් එක පාරක් හරි වෙලා තියෙන්න ඕනේ....

    ReplyDelete
  10. මගෙ නම් ඉස්සර ආසම වැඩේ වෙලේ නියරවල් උඩින් පදින එක....
    ගොයම් කපල මඩ වේලුනාට පස්සෙ වෙලේ යන එකත් ආතල්, උඩ විසි වෙවී යන්න පුලුවන්

    ReplyDelete