Saturday, April 16, 2011

අවුරුදුත් ඉවරයි

ලැබුවා වූ නව වසර සැමටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන  සාමය සතුට පිරි වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා !!!   අපිට නම් ඉතින් මොන අවුරුදුද?  අවුරුදු දවසෙත් අපි වැඩ. එහෙම වෙලත් නැකතට නැතත් අවුරුද්ද දවසේ කිරිබත් කෑල්ලක් කන්න තරම් වාසනාවක් මට තිබුනා.  ඒ මම වැඩ කරන තැන මාත් එක්ක වැඩ කරන අක්කා කෙනෙක්ටයි එයාගෙ හොඳම යාළුවාටයි පිං සිද්ධ වෙන්න. අක්කාගේ යාලුවා නොනගතෙට වැඩ අල්ලලා කිරිබත් උයලා තිබුනා.  මාස ගානකට පස්සෙ රසම රස කිරිබත් කැල්ලක රස බැලුවා. කිරිබත් උයපු සහ මට ආරාධනා කරපු දෙන්නාටම බොහොම පිං. එහෙමවත් ආරාධනාවක් නොලැබුනා නම් මේ අවුරුද්දෙත් ගොඩයට හුළං තමයි. ඔය පල්ලෙහා තියෙන්නේ අක්කලා ලැහැස්ති කරපු, අපි හා හා පුරා කියලා ඉඳුල් කරපු අවුරුදු මේසේ.




 පහුගිය අවුරුදු 3ම මම අවුරුද්දට ලංකාවේ හිටියේ නෑ. නොහිටින්න හේතුව පස්සෙ ලියන්නම්. ගිය අවුරුද්දේ නම් මම ඉන්දියාවේ. ඊට කලින් අවුරුද්දේ ලංකාවෙන් ආවේ පරණ අවුරුද්ද දවසේ.  මේ අවුරුද්දෙත් මෙහෙ. මම මෙහෙ හිටියට  නිතරම ලංකාවේ රේඩියෝ එක අහනවා. පහුගිය ටිකේම රේඩියෝ එක පුරවලා අවුරුදු අසිරිය. ඕවා ඇහෙනකොට නිකන්ම මම ලංකාවේ වගේ තමයි. හැබැයි රේඩියෝ එකෙන් නම් ඇහුනේ අවුරුදු අසිරියට වඩා අවුරුදු වෙළදාම. අපි දන්න විදිහට නම් අවුරුද්ද කියන්නේ සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්තවීම සැමරීම. ඒ වගේම දන්න විදිහට නම් අවුරුද්ද කියන්නේ පරිසරය එක්ක බැඳුන උත්සවයක්. ඒත් මට රේඩියෝ එක අහනකොට නම් මේ කාලේ වැඩිපුර ඇහුනේ කඩවල් වල ගොඩ ගැහුනු රෙදි ගොඩවල්, සපත්තු ගොඩවල්, බිස්කට් ජාති, කේක් ජාති, අයිස් ක්‍රීම් ජාති, නෑගම් යන්න ගෙනියන්න ඕනේ දේවල් විකුණගන්න රටේ මිනිස්සුන්ව අන්දවන්න ගත්තු උත්සහයන්.  අනේ මන්දා, මිනිස්සු අවුරුදු කනවද? අවුරුදු මිනිස්සු කනවද කියලයි හිතාගන්න බැරි. එහෙම කිවේ මම ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ලංකාවෙන් එන්න කලින් දැකපු සිද්ධියක් නිසා.  ලංකාවෙන් එන්න කලින් ටවුන් එක පැත්තේ ගියා ඕනේ කරන දේවල් හොයාගෙන එන්න. අම්මෝ  සෙනග. හුස්ම ගන්න ඉඩ නෑ. ඔක්කොම හරි මම ලොකුම පෝලිම දැක්කේ උගස්‌ මධ්‍යස්ථාන වල. අතේ, කනේ, කරේ තියන දේවල් උගස්‌ තියල අවුරුදු කනවා. අවුරුද්දටම කන්නේ අදින්නේ එක දවසයි වගේ තමයි වැඩ. එහෙම අවුරුදු කාලා ඊට පස්සේ මුළු අවුරුද්දෙම ණය බේරනවා.


තව දෙයක් තමයි අවුරුද්දට නගරයේ ගම මාකට් කිරිම සහ ගමේ නගරය මාකට් කිරීම. එහෙම කිවේ නගරයේ සුපිරි වෙළදසල් වල සේවිකාවන්ට අන්දනවා රෙද්ද හැට්ටේ. ගහනවා පොල අතු මැස්සක්. එහෙම කරලා ගම මාර්කට් කරනවා. ගමේ රෙදි කඩේට අවුරුද්දට ගෙනත් දානවා නගරයෙන් අලුත් ෆැෂන්. අලුතින් ගෙනාපුවා අවුරුද්දට කියලා ගහනවා මිනිස්සුන්ගේ ඇඟේ. කොහොම කරත් අන්තිමට අවුරුදු කාලා තියෙන්නේ මුදලාලිලා. 


මම කලින් කීවානේ අවුරුද්ද පරිසයට බද්ද වුනු උත්සවයක් කියලා. අවුරුද්දට හේතුව වෙන්න සුර්යය සංක්‍රාන්තිය. සුර්යයා නිසානෙ මුළු ලෝකෙම පවතින්නේ. කෙලින්ම පරිසයට සම්බන්ධයි. අපේ අම්මා හැමදාම  නැකතට ගනුදෙනු කලේ ළිදත් එක්ක. අවුරුද්දේම වතුර සපයන ළිදට කලගුණ සැලකීමක් විදිහට. එකත් පරිසරයට සම්බන්ධයි. ගොඩක් වෙලාවට අපේ ගම් වල උදවිය  වැඩ ඇල්ලුවේ ගහක් හිටවලා. ඔය වැඩ අල්ලන වැඩේට කිරි ගහ තමයි බොහොම ප්‍රසිද්ධ.  හිස තෙල් ගාන්න නානු හැදුවේ කැලෙන් හොයාගත්ත ඖෂධ වලින්. පයට, හිසට ගහක කොළ අත්තක් තමයි ගත්තේ හිස තෙල් ගාන්න. මේ හැමදෙයක්ම පරිසරයට සම්බන්ධයි. ඒත් අද අවුරුදු කාලේදී පරිසරය ගැන කතා කරනවා අඩුයිනේ. හැමෝම තමන්ගේ බඩ වඩාගන්න හදනවා මිසක්. අනේ මේ සුභම සුභ අලුත් අවුරුද්දේ අපේ වටේ තියන ගහ කොළ, ඇළ දොළ, සතා සීපාව අමතක කරන්න එපා. අපේ මිතුන් මිත්තෝ අවුරුදු සැමරුවේ ඒවත් එක්ක. බොහොම අර්ථවත් විදිහට. අවුරුද්ද විකුණන මුදලාලිලා පෝසත් කරන්න විතරක් අවුරුදු කන්නේ නැතුව පොඩ්ඩක් මේ ගැනත් හිතලා බලමු නේද?  


අනික අද අපි අතරේ ඉන්න ගොඩක් ඈයෝ අවුරුද්ද දවසට හැමෝටම සුභ පතලා ඊට පස්සෙ මුළු අවුරුද්දම අර මිනිස්සුන්ගේ දියුණුවට අකුල් හෙලන්න පුරුදු වෙලා. ඔය අවුරුදු දවසට විතරක් කරන චාරිත්‍ර වාරිත්‍ර සිතුම් පැතුම් මුළු අවුරුද්ද පුරාම තියනවා නම් අපේ සමාජය මොනතරම් ලස්සන වෙයිද? අවුරුද්ද කියන්නේ තරහ මරහා අමතක කරලා හැමෝම සතුටු වන සමයක්. මුළු අවුරුද්ද පුරා කලකෝලාහල කරලා අවුරුදු දවසේ විතරක් සාමයෙන් හිටියට වැඩක් නෑනේ.  ඉතින් මේ අවුරුද්දෙවත් සැමදෙනාටම අවුරුදු පැතුම් අවුරුද්දේ 365 දවසෙම හැමෝගෙම හිත් වල රැදෙන, සාමය සතුට මුළු අවුරුද්ද පුරාම පැතිරෙන, අපි ගැන වගේම ගහ කොළ, ඇළ දොළ ගැන සලකා බලන්න හිතෙන පරිසරයට මිනිස්සුන්ට මනුස්සකමට ආදරය කරන්න හිතෙන සුන්දර සිත්  පහළ වේවායි ගොඩගේ පැතුම.  ආ....තව කාරණයක්. ඊළඟ අවුරුද්දෙදිවත්  අසරණ, අහිංසක පාරිභෝගික ජනතාව වන අපිව මංකොල්ල නොකන අලුත් අවුරුද්දක් දකින්න වාසනාව හැමෝටම ලැබේවා !!!!!

10 comments:

  1. කතාව නම් ඇත්ත අයියේ... එක දවසක තියෙන සතුට සමාදානය හැමදාම තියෙනවා නම් කොච්චර හොද්ද..අනිත් එක ණය වෙලා මොන අවුරුද්ද ඊට වඩා ණයක් නොවි පුලුවන් හැටියට කිරි හොද්දකුයි බතුයි කාලා හරි ඉන්න පුලුවන් නම් හොදයි නේද...එත් හිතන හැමදෙම එහෙම වෙන්නේ නැ කියලා නම් දන්නවා..

    ReplyDelete
  2. ඔබට සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා සහෝ!!!

    ReplyDelete
  3. @ නිම්ශා - ඇත්ත නංගි, අපි හිතන හැමදේම වෙන්නේ නම් නෑ. ඒත් අඩුම තරමේ හැමෝම එහෙම හිතන්නවත් පුරුදුවෙනවානම් මීට වඩා පොඩ්ඩක් හරි වෙනසක් වෙයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? හිතන දේ ක්‍රියාත්මක කරන්න කලින් හිතන්න ඕනෙනේ. ප්‍රශ්නේ තියෙන්නේ කවුරුත් හිතන්නේ නැති එකනේ.

    @ chAnDiKa - එසේම වේවා සහෝදරයා !!!

    ReplyDelete
  4. අපි නම් අවුරුද්දට හැදුව කැවුම් වගේ ජාති !! හැදුවට පස්සේ ඒවා කැවුම් වගේම තමයි ... හා හා හා.. වැඩ අල්ලන්න ලිවුවා බ්ලොගේ !! කොමෙන්ට් නැතත් කියවන ගැන දැක්කම අවුරුද්දත් සුබ උනා.

    ReplyDelete
  5. @ ලංකාප්‍රිය - ජයියා අයියට නම් අවුරුදු සරුයි වගේ. දරුපවුල් කාරයෝ උනහම කැවුම් නැතත් ඒවගේ දෙයක් හරි හදන්න වෙනවා. අනික අපිට වඩා ඔය හදපු කැවුම් වගේ ජාතිය වටින්නේ පොඩි උන්ට. හිත හොඳින් අවුරුද්ද පටන් ගන්නවා නම් කොහොම වැඩ ඇල්ලුවත් ගනුදෙනු කරත් අනිවා සුභ වෙනවා අයියා!!! මොකෝ කොමෙන්ට් නෑ කියන්නේ ???

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
    මටත් මේපාර අවුරුදු තියා කිරි බතක් වත් නෑ. ලංකාවෙන් පිට ගෙවන පළවෙනි අවුරුද්ද. ඒ හින්දද මන්ද කිසිම ගතියක් නෑ.

    ReplyDelete
  7. @ තාරක - කිරිබත් නැතිවුනාට අවුලක් ගන්න එපා මචං, ලැබුවා වූ අවුරුද්ද එලම කිරි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුලදී අපිටත් ඔහොම තමයි. දන ඉතින් අවුල් උනත් අවුලක් නෑ වගේ ඉන්න පුරුදු වෙලා........

    ReplyDelete
  8. ප්‍රර්තනා කරනව උඹට ඊලඟ අලුත් අවුරුද්දටවත් ලංකාවෙ ඉන්න ලැබෙන්න කියල

    ReplyDelete
  9. එල එල ඇන්ඩිඅයියා, බොහෝම ස්තුතියි ප්‍රාර්ථනාවට...... බලමුකෝ....... ලොකු බලාපොරොත්තු නම් නෑ.....

    ReplyDelete
  10. කී වෙනි පාරද දන්නේ නැ,සුබම සුබ නව වසරක් වේවා.....

    අර උගස්‌ කඩ ගැන කතාව නම් අයියේ සහතික ඇත්ත.ටීවී එකෙත් බලන්නකෝ කියන්නෙම පුළුවන් තරම් උගස්‌ තියපියව් කියලනේ.
    පව් අහින්සක මිනිස්සු,අන්තිමට ගෙවා ගන්න බැරුව තුට්ටු දෙකට බැදී සින්න වෙනවා.

    ReplyDelete