Saturday, April 23, 2011

සිතක් දිවගිය දුරක්...............

අද උදේ අන්තර්ජාලෙයේ අරමුණක් නැතිව සැරිසරන අතරතුරේ එක්තරා වීඩියෝවක් මගේ නෙත ගැටුනා. ඒ රූප පෙල නරඹන අතරේ මට දැනුනා මගේ දෙනෙත් බොඳ වෙනවා. ටික වෙලාවකින් කඳුළු කැටයක් දෙකක් මටත් හොරාම මගේ අතට වැටුනා. ඒ එක්කම මගේ හිතත් ඒ අසුරු සැනින් මටත්  හොරාම සැහෙන දුරක් දිව්වා. ඒ දුවපු දුර නිසාමයි මට මේක ලියන්න හිතුනේ. ඔක්කොටම කලින් රූප පෙල බලල හිටිමුකෝ.......



අපේ ජිවිත වලට සමීප අයගේ වෙන්වීම කොච්චර නම් වේදනාකාරිද ???  මේ රූපපෙලේ පොඩි උන් දුවගෙන ඇවිල්ලා තාත්තාගේ ඇඟේ එල්ලෙනවා දැක්කහම මට මුලින්ම මතක්වුනේ කසුන් අයියගේ  පොඩි උන් තුන්දෙනා.  අයියා නැතිවුන කාලේ මම ගියහම ලොකු පුතා මගේ ලඟට ඇවිල්ලා ඇහුවේ " කෝ තාත්තා ? " කියලා. ඒ පොඩි හිතත්  මේ රූප පෙලේ දකින පොඩි උන් වගේ දුවගෙන ඇවිත් තාත්තගේ කරේ එල්ලෙන්න සැහෙන කාලයක් හීන බල බල හිටියා කියලා මම හොඳටම දන්නවා.  ඒත් පොඩි උන්ගේ පුංචි හිත්වල තිබුන ඒ ලස්සන හීනය තත්පරෙන් තත්පරේ බොඳවෙලා යනවා කියලා මට ඊට පස්සේ ලංකාවට යන හැම පාරම තේරුම් ගියා. උන්ගේ පුංචි හිත් ඇතුලේ තිබ්බ ලස්සන බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නෑ වගේ කියලා පැටවු තුන්දෙනා ටික ටික තේරුම් අරගෙන. ඉතින් මගේ ඇසට මටත් හොරෙන් කඳුළු ආවේ අනේ උන්ටත් මෙහෙම දුවගෙන ඇවිල්ලා තාත්තගේ ඇඟේ එල්ලෙන්න තිබුනා නම් කියලා හිතුන නිසා....  ඒ විතරක් නෙවෙයි මම ලංකාවට ගියහම තුන්දෙනාම දුවගෙන ඇවිල්ලා මගේ ඇඟේ එල්ලෙන හැටි මතක් වෙලා.  බැරිවෙලා හරි අපේ පොඩ්ඩිව ගන්න කලින් දෙවනියා වඩාගත්තොත් එහෙම එතන ලෝක යුද්දේ....  ඒ යුද්දේ වෙන මොකටවත් නෙවෙයි නැතිවුන සෙනහස කොහොමහරි ලබාගන්න.....

ඊළඟට මගේ හිත දුවගෙන ගිහින් නතරවුනේ මගේ ළමා කාලයෙන්. මගේ දයාබර තාත්තාටත් ජිවිතේ වැඩි කාලයක් අපෙන් ඈත් වෙලා ඉන්නයි සිද්ධවුනේ...... යුධ හමුදාවේ සේවය කල නිසා නෙවෙයි. ඒ අපි වෙනුවෙන් ලස්සන ලෝකයක් හදන්න, අපිට වුවමනා සැප සම්පත් දෙන්න කාසි උවමනා නිසා. අපි පොඩි කාලේ ඉඳන්ම තාත්තා හිටියේ පිටරට. අපෙන් ඈත්වෙලා තාත්තා කරපු කැපවීම ගැන මට හරියටම අදහසක් ආවේ මමත් පිටරටක තනිවුන දවසේ.....  අපේ තාත්තාත් දෙතුන් සැරයක් අපිට නොකියා ඇවිත් අපිව පුදුම කරලා තියනවා. මේ රූප පෙල දකිද්දී මට මතක් වුනේ ඒ සිදුවීම් පෙල, අපේ තාත්තා සහ මගේ ළමා කාලය.......  ඒ සිදුවීම් පෙළත් මාව අවුරුදු 15ක් 20ක් ඈතට අරන් ගියා......  

ඊළඟට මගේ හිතට ආවේ අපේ විරෝධාර රණවිරුවන්ගේ පවුල් වල උදවිය.... රණවිරු පවුල් කීයක දරුවෝ කීදාහක් නම් අද ඔය විදිහට තාත්තා ඒවී කියා බලාගෙන ඉන්නවා ඇත්ද?? ඒ වගේම යුද්ධය අතරතුරේ අතුරුදහන්වෙලා, තුවලා ලබලා, කිසිම ආරංචියක් නැතුව හිටපු රණවිරුවන් මාස ගානකට පස්සේ හදිස්සියේ ගෙට ගොඩවෙන කොට කීදෙනෙක් නම් ඔය විදිහට කඳුළු වගුරවන්න ඇතිද ??

මේ වීඩියෝ එක බලද්දී  පොඩි උන් විතරක් නෙවෙයි අපි ආදරය කරන, ප්‍රිය කරන කෙනෙක්  වෙන්වෙලා ඉඳලා නැවත හමුවුනහම දැනෙන හැඟීම, සතුට කොහොමද කියලා එහෙම අත්දැකීමක් නැති කෙනෙක්ට උනත් අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.  හැබැයි එහෙම අත්දැකීමක් තියන කෙනක් මේක බැලුවොත් නම් ඇසට කඳුලක් ඉබේම නැඟෙවී...... හැබැයි මේ රූපපෙලේ ගොඩක් රූපරාමුවලින් පිය සෙනෙහස විස්තර වු නිසා මට ටී.එම් ජයරත්න මහත්තයාගේ අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී  ගීතය ඔය සියලුම සිතිවිලි මැදින් මගේ හිතට ආවා. අම්මා දසමාසයක් අපිව කුසේ තියාගෙන පරිස්සම් කරලා, මේ ලෝකෙට අපිව බිහිකරලා, ලේ කිරිකර පොවලා, අපිව ලොකු මහත් කරනබව ඇත්ත. අම්මගේ මෘදු මොලොක් ආදරයෙන් අපේ හදවත් තෙමෙන බව ඇත්ත. ඒත් ඒහා සමාන වූ සෙනහසක්, ආදරයක් තාත්තා තුලත් තියනවා.  මගේ හැඟීමනම්  තාත්තලගේ  හිතේ දරුවන් ගැන තියන ආදරේ, කැක්කුම අම්මලාට වගේ පෙන්න තෙරෙන්නේ නෑ, ඒත් ඒ ආදරය අම්මා හරහා හීන් සීරුවේ දරුවන්ට ගලායන්න ඉඩ හරිනවා කියලයි........  දරුවන් වෙනුවෙන් රහසින් කඳුළු හලන පියවරු අපි අතරේ කොච්චරනම් ඇතිද ???   දරුවන් වෙනුවෙන් සමහරවිට තමන්ට කරන්න අසීරු, අපහසු දෙයක් පවා කරන්න තාත්තාලා සුදානම්. තාත්තලා කරන ගොඩක් දේවල් අම්මා හරහා සිද්ද වෙන නිසාද කොහෙද තාත්තා ගැන කතා කෙරෙනවා අඩුවෙලා ඇත්තේ. ගීතයේ කියවෙන විදිහටම අම්මා සඳකි. නමුත් ඒ සඳට එලිය ලැබෙන්නේ කොහෙන්ද ???  ඉරෙන් නේද ?? ඉතින් ඒ සඳ එලිය කරන හිරු අපේ තාත්තා. ඒ ඉර හඳ දෙකෙන් තමයි අපේ ලෝකෙය එලිය වුනේ.........
මටත් අහන්න තියෙන්නේ ගීතයෙන් අහනවා වගේම  අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ ??? කියලා 

ඒ වගේම පියා කවුරුන්දැයි දන්නේ නැති, සමාජයෙන් අවමන්, නින්දා විඳින දරුවෝ කී දාහක්නම් අපි අතරේ ඉන්නවද කියලත් මතක් වුනා. තාත්තා කියන නමට අවමන් කරපු තාත්තලා කීදාහක් අපි අතරේ ඉන්නවද? ඒ සිතුවිල්ලත් එක්කම මට මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ  ගීතයත් හිතට ආවා...  අනේ ඉතින් අපි ජිවත්වන ලෝකේ හැටි ???? 

ඔන්න ඔය වීඩියෝ එක දිගේ මගේ සිතුවිලි දුවපු දුර......

“දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං 
යේ චිත්තං සංය මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා”*          

දුර ගමන් යන තනිව හැසිරෙන සිරුරක් නැති ශරිර කුඩුවේ වාසය කරන සිතට යන්න පුළුවන් දුරේ හැටියට මේ දුර නම් මහා දුරක් නෙවෙයි. ධම්මපදයේ එන මේ ගාථාවේ කියන හැටියට නම් යමෙක් ඒ සිත දමනය කරගනිද  ඒ පුද්ගලයා මාර බන්දනයෙන් මිදේවි. මේ මාර බන්දනවලින් කවදා නම් අපිට මිදෙන්න හැකිවේවිද?????


6 comments:

  1. අම්මගේ ආදරේ උල්පත ගලනවා වගේ සද්දයි පැහැදිලියි තාත්තගේ ආදරේ හුස්ම ගන්න වායුව වගෙයි අපි වටේ තියෙනවා අපි ආශ්වාස කරනවා නමුත් පේන්නේ නැහැ අපි දකින්නෙත් නැහැ කවද හරි තාත්ත කෙනෙක් වෙනකන් .. මල්ලි දන්නවද ? මට මගේ ජීවිතේ දීල මගේ පොඩි එකාගේ ජීවිතේ සාමාන්‍ය දරුවකුට සම කරන්න පුළුවන් නම් මම එක කරන්න දෙපාරක් හිතන්නේ නැහැ..

    ReplyDelete
  2. ඒක ඇත්ත අයියා... මම තාත්තෙක් නොවුනට ඒ ගැන පොඩිහරි හැඟීමක් තියන නිසයි මේ පොස්ට් එක ලිවේ..... මට තේරෙනවා අයියාගේ හිතේ තියන වේදනාව. අයියාගේ පොඩි එකා ගැන කියලා තියන මේ වාක්‍යය ඇත්තද බොරුද කියලා මට දෙපාරක් හිතන්න ඕනේ නෑ. බය වෙන්න එපා අයියා. ඔච්චර හොඳ දෙමාපියෝ ලැබුන පැටියා අවාසනාවන්ත නෑ.... සාමාන්‍ය කෙනක්ට වඩා ඉස්සරහට යන්න, ජීවිතය දිනන්න පොඩි එකාට පුළුවන් වෙනවා......

    ReplyDelete
  3. පොස්ට් එක නියමයි අයියේ.ගොඩක් හිතට වදිනවා.
    ඒ වගේම Jayya අයියාට කියන්න ඕන ආයිමත් ඔයා වගේ තාත්ත කෙනෙක් ලබන්න ඒ පොඩි එකා ගොඩක් පිං කරන්න ඇති.ඔයා හිතල බලන්න ඔය පොඩි එකාම දරුවෝ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති තාත්තෙක් ගාව ඉපදුනා නම්....අපේ "මල්ලි" හරි ලකී නොවැ...!!

    ReplyDelete
  4. තාත්තගෙ ආදරය ගැන මට දෙන්න තියන් එකම උදාහරනය තමයි මගෙම තාත්තා. මම වැඩිය කචල් අංශෙට බර පුද්ගලයෙක් නොවීම සහ . . . මගෙ මල්ලි ඒකෙම අනිත් පැත්ත වීම නිසා මම වෙනුවෙන් තාත්ත කරල තියන වැඩ කටයුතු ප්‍රමානය මල්ලිත් එක්ක සසඳලා බලද්දි ඉතා කුඩා ප්‍රමානයක් උනත් . . . අදටත් මට ජීවත් වෙලා ඉන්න තියන එකම රුකුල තමයි මගෙ තාත්ත.
    @ජයියා: මම හිතන්නෙ නෑ අයිය අයියගෙ දරුවව සාමාන්්‍ය දරුවෙකුට සමාන නොකරන එක හොඳයි කියල . . ."මගේ පොඩි එකාගේ ජීවිතේ සාමාන්‍ය දරුවකුට සම කරන්න පුළුවන් නම්"

    ReplyDelete
  5. @ ඕනයා - අනිවාර්යයෙන් අයියා, අපි බහුතරයකට තිබ්බ හයිය තමයි තාත්තා. හැබැයි ඒක එක පාරටම අපිට තේරෙන්නේ නෑ. කාලයක් යනවා.

    උඹ කියනවා වගේ ජයියා අයියා එහෙම කියන එක නම් හොඳ නෑ.....

    ReplyDelete
  6. අද තමයි මට මේ ක්ලිප් එක බලන්න පුලුවන් උනේ . . . . බිමට වැටෙන ප්‍රමානයේ කඳුලු ඇහැට ගේන්න සමත් උනා . . . . මට මේ ක්ලිප් එකට ඊට වඩා කොමෙන්ට් එකක් දෙන්න බෑ මචෝ . . . .

    ReplyDelete