Sunday, May 15, 2011

වෙසක්..........


වෙසක් සතියත් ආවා............... කුසල් සිත් මතුවන අකුසල් සිත් දුරුවන, මෙත් ගුණ, කරුණා ගුණ දසත පැතිරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!    ඔන්න හතර වෙනි අවුරුද්දටත් වෙසක් එකට මම ලංකාවෙ නෑ. හිතට හරිම වේදනයි. ලංකාවේ ඉන්න ටිකේ හැම වෙසක් එකටම මම මොකක් හරි වෙසක් නිර්මාණයක් කළා. බොහොම පොඩියට මම 7 වසරේ වගේ ඉන්නකොට පටන් ගත්ත නිර්මාණ මම 9 වසර විතර වෙද්දී ටික ටික දියුණු වුනා. පොඩියට හදපු තොරණ 10 වසරදී සෑහෙන ලොකු වෙසක් නිර්මාණයක් වුනා. ඒ එක්කම මට ගොඩක් දෙනෙක් උදවු කළා ඒ නිර්මාණ ශක්තිය දියුණු කරගන්න. නම් වශයෙන් මෙතන කියන්න බැරි තරම් පිරිසක් ඉන්නවා.  මගේ යාළුවො, අසල වැසියෝ, නෑදෑයෝ, යාලුවන්ගේ අම්මලා තාත්තලා මේ හැමෝගෙන්ම උදවු ලැබුනා. ඒ උදවු නොලැබුණා නම් මේවා කරන්න බෑ ගොඩයට. ඒ වගේම නොසැලී මාව දිරිමත් කලේ මගේ අම්මා. ළඟ නොහිටියත් නෑ බෑ නොකියා ඕනේ දේවල් අරන් දීලා, ඒවට කිසිම පැකිලීමක් නැතුව වියදම් කරලා  මගේ තාත්තාත් මාව ඉස්සරහට තල්ලු කළා. ඒ වගේම පහු වෙද්දී මගේ යාළුවන්ගේ ගෙවල් වලිනුත් උදවු කළා. ඒ දවස්වල වෙසක් ලංවෙනකොට අපේ ගෙදර උදේ දවල් රෑ නැතුව කොල්ලෝ. හෝ ගාලා වැඩ. බල්බ් පාස්සනවා, කූඩුවලට කැටයම් කපනවා, රැලි කපනවා, ඊට අමතරව හට් ගහන්න, පාරේ කූඩුව ගහන තැන හදාගන්න, අම්මෝ වැඩ කෝටියයි. අපේ අම්මගේ වැඩේ නම් කොච්චරවත් තේ හදන එකයි කෑම හදන එකයි. අපේ අම්මම හින්දා හොඳයි.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආමිස පුජාවට වඩා වටින්නේ ප්‍රතිපත්ති පූජාව කියලා. ඇත්ත වෙන්න පුළුවන්. ඒත් කුසල් කෙසේ වෙතත් මේ නිර්මාණ නිසා අපේ කුසලතා නම් වර්ධනය වුනා. අදටත් මට ඒ ලැබුන හුරුව මගේ ජීවිතේට වටිනවා. ඒ කාලේ මම තොරණක් බලන්න ගියහම රිංගන්නේ පිටිපස්සට. කොහොමද ඔය ලයිට් වැඩේ වෙන්නේ බලන්න. තොරණක්, කූඩුවක් මොකක් බලන්න ගියත් එහෙම තමයි. පොඩි කාලේ වෙසක් එකට එලියට බැස්සහම අම්මගේ කටේ දෙයක් නෑ මට කෑගහලා. ඔය අස්සක මුල්ලක රිංගද්දී මට කරන්ට් වදී කියලා බයේ. කොහොමෙන් කොහොම හරි ටික ටික වැඩේ අල්ලගත්තා. අම්මා කොච්චර බය වුනත් මාව නැවැත්තුවේ නෑ. ඒ වැඩ කරන්න ඉඩ දුන්නා. පොතින් පතින් ඉගෙන ගන්න බැරිවුන ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. විදුලි කාර්මික වැඩ, යාන්ත්‍රික වැඩ, ඒ වගේම සැලසුම් කරන හැටි, අලුතින් පොඩ්ඩක් හිතන හැටි, තවත් මනුස්සයෙක්ගෙන් සහයෝගය ගන්න හැටි, තව කෙකෙන් එක්ක සහයෝගයෙන් වැඩ කරන හැටි, ඔය වගේ ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. ඒ දේවල්  කවදාවත් පොතින් ඉගෙන ගන්න බැරි දේවල්. ඒ වගේම දෙතුන් දෙනෙක්ගෙන්  මට කැපිල්ල ආවට ගොඩාක් දෙනෙක්ගෙන් සහයෝගය ලැබුනා. මම උ.පෙ අන්තිම අවුරුදට එනකම්ම  ඒ වෙසක් සැරසිලි වැඩේ කෙරුනා. ඊට පස්සේ මට වෙලාව නැති වුනා. වැඩෙත් නැවතුනා. ඔන්න බලන්නකෝ ඒ කාලේ කරපු නිර්මාණ කොහොමද කියලා ???



ඇත්තටම නියම බෞද්ධයෝ විදිහට අපි ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන්න ඕනේ බව මම හිතනවා. ඒත් 364 දවසක් කරන්න තියන අසමජ්ජාති වැඩ ඔක්කොම කරලා එක දවසක් ප්‍රතිපත්තියේ පිහිටලා වැඩක් තියෙයිද කියලත් හිතෙනවා. අනිත් අතට හැමදාම වැරදි කරන මිනිහෙක් එක දවසක් හරි ඒ වැරැද්දෙන් මිදිලා ඉන්න උත්සහ කරන එකත් ලොකු දෙයක්. මට හිතෙන විදිහට නම් අපි කරන්න ඕනේ ඒ උත්සාහය එක දවසකට සීමා නොකරන එකයි. මම මේ බණ කියන්න උත්සහා කරනවා නෙවෙයි. ඒත් අඩුම තරමේ තමන් වපුරන දේ තමයි කවදා හරි තමන්ට අස්වැන්න හැටියට ලැබෙන්නේ කියලා මිනිස්සුන්ට අවුරුද්ද පුරාම මතක තියනවා නම් ඒකත් ලොකු දෙයක්. 

ඒ කොහොම වෙතත් අලුත් අවුරුද්ද වගේම වෙසක් එකත් මුදලාලිලාට මඩිය තර කරගන්න අවස්ථාවක් කරගෙන. ඉස්සර වෙසක් එකට වහලා තිබ්බ හෝටල්, කඩ එහෙම ඔක්කොම වගේ දැන් වෙසක් එකට විවෘතයි. ඒ කාලේ වෙසක් එකට කරත්තෙට බැන්ද ගොනා පවා නිදහස් කරනවා වැඩ වලින්. ඒත් අද බෞද්ධයන්ටත් පෝය කියලා එහෙම නිදහසක් නෑ. සල්ලි පස්සේ දුවන්න වෙච්ච ලෝකෙක අරුමයක් නම් නෙවෙයි. ඒත් දුකයි.  අපි පොඩි කාලේ කවුරු හරි ලොකු කෙනෙක් එක්ක ඇලක් අයිනට ගිහින් උන ගහක් කපාගෙන ඇවිල්ලා ඒක පතුරු කරගෙන අටපට්ටම්, තරු හදන්න පටන් ගන්නේ වෙසක් එකට සති දෙකක් විතර තියාගෙන. හරිම සන්තෝසෙන් අයියලා, අක්කලා, මාමලා, නැන්දලා  එකතු වෙලා හැමෝගෙම ගෙවල් වලට ඇති වෙන්න කූඩු හදනවා. ඒත් අද හැමෝම කාර්ය බහුල නිසා කඩෙන් ගෙනත් කූඩුවක් එල්ලනවා. ඉතින් පොඩි එකෙක්ට එහෙම දෙයක් කරන්න අත හුරුවෙයිද ???  කූඩුව ලස්සනට සුදු පාටින් අලවලා රතු පාට හරි නිල් පාට හරි රැලි ලස්සනට දාලා වැඩේ ඉවර කරහම අපිට දැනුන සතුට දැනේවිද ???  මේවාගේ දේවල් පොඩි උන් පොතෙන් එහෙම නැත්නම් ටියුෂන් පන්තියෙන් ඉගෙන ගනීවිද?? හැබැයි මේ යන විදිහට නම් ලඟදීම ඕවටත් ටියුෂන් පටන් ගනී.

අනිත් එක වෙසක් එකට තොරණක් ඉදිකරොත් එතනත් මෙරිගෝ රවුන්ඩ්, මාරක ලිඳ අරවා මේවා ගෙනල්ලා ගානක් හොයාගන්නවා. සමහර තැන් වල දන්සල් කෙරෙන්නේත් ලාබ පාඩු බලාගෙන එහෙම නැත්නම් තරඟෙට. අරුන් කරපු නිසා අපි උන්ට වඩා ලොකුවට කරන්න ඕනේ කියලා. අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සිහිකරලා කරන මේ පින්කම් වලදී පවා මෙහෙම තරඟ කරන එක, වංචා කරන එක උන්වහන්සේට කරන දරුණු නින්දාවක් විදිහටයි මට හිතෙන්නේ. මෙහෙම පින්කම් කරන එකෙන් වෙන්නේ අන්තිමට අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අපේ ජිවිත වලින් බැහැර කරන්න කියලා දේශනා කරපු දේවල් බොහොම තදින්  ඒ අය තව තවත් අල්ලගන්න එක නෙවෙයිද ?  එහෙම පින්කම් නොකර ඉන්න එක ඊට වඩා හොඳද මන්දා?? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවනේ අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට කරන්න පුළුවන් ලොකුම ගෞරවය උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන එක කියලා. එහෙම නැතුව ලක්ෂ ගණන් ඔය විදිහට වියදම් කරන්න කියලා උන්වහන්සේ දේශනා කරලා නෑනේ. දානය උතුම් දෙයක්. හැබැයි කාටවත් තරඟයක් දෙන්න, ප්‍රසිද්ධ වෙන්න  එහෙම නැත්නම් කියක් හරි හොයාගන්න චේතනාවෙන් නෙවෙයි. චේතනාව තමයි වැදගත් හැමදේකදිම...............

ඔක්කොටම වඩා දුක හිතෙන්නේ අපේ සමහර පන්සල් වලට ගොඩ වුනහම. අනේ වෙසක් දවසට පන්සලට ගොඩවෙන උපාසක උපාසිකාවන්ට පන්සලේ හාමුදුරුවන්ගෙන් වෙන්න ඕනේ යුතුකම් උන්නාන්සේලාට අමතක වෙලා. සමහර ස්වාමින් වහන්සේලාට පන්සලට ආපු උදවියට පන්සිල් දෙන එකවත් මතක නෑ. ඒවා පැත්තකින්   තියලා අපාය පෙන්නන්න ටිකට් විකුණනවා. තවත් සමහර හාමුදුරුවරු පන්සලේ ඉදිකරපු තොරණ ළඟ කූඩුව ළඟ කවි කිය කියා ආධාර එකතු කරනවා. ඒ ඔක්කොමත් හරි පත්තරයක් ගත්තහම බලන්න ගුරුකම්, හදි හූනියම්, කේන්දර බැලිල්ල, ගියපු අය ගෙන්වා දෙන, පෙමවතා, පෙම්වති යාලු කරලා දෙන හාමුදුරුවරු කීදෙනෙක් ඉන්නවද කියලා.  ඒ වගේ  ස්වාමින්වහන්සේලා  දැක්කාහම අනේ අපොයි කියලා හිතෙනවා. මුදල් කියන්නේ කාටත් අවශ්‍ය දෙයක් බව ඇත්ත. ඒත් අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ  සර්පයෙකුට උපමා කරලා ඈත් කරන්න කියලා කියපු මුදල් පස්සේ අපේ හාමුදුරුවෝ යන එක නම් හරිම ඛේදනියයි.   මම මේ කියන්නේ දැනට අවුරුදු 4කට කලින් මම දැකපු දේවල්. දැන් තත්වය ඊටත් වඩා බරපතල ඇති කියලා හිතෙනවා.


 වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කිවලු. මේ සාසනය ආරක්ෂා කරන්න ඉන්න අපේ හාමුදුරුවරුත් එහෙම නම් අපේ ගිහියෝ ගැන මොන කතාද? සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ.... කියලා අපි වැඳ නමස්කාර කරලා සිහිකරන්නේ අපේ සංඝයා වහන්සේලාගේ ගුණ. ඉතින් එහෙම කරන කොට උන්වහන්සේලාත් පොඩ්ඩක් ගිහියන් ගැන අනුකම්පා කරලා කටයුතු කරනවා නම් හොඳයි. මේ ගිහි ජිවිතේ ප්‍රශ්න වලට කොටු වෙලා ඉන්න ගිහියෝ එහෙම දවසට හරි පන්සලට ගොඩවෙන්නේ හිතට සහනයක් ක්ෂාන්තියක් ලබාගන්න. ඒ සඳහා නොවැ උන්වහන්සේලා සසුන්ගත වුනේ. ඒ යුතුකම් ඉටුකරා නම් තමයි වටින්නේ. එහෙම නැතුව එන ගිහියන්ගෙන් සල්ලි එකතු කරන්න බලා ඉන්න එක නොවෙයිනේ. ඒ වගේම ගිහියන් වශයෙන් අපිටත් යුතුකමක් තියනවා උන්වහන්සේලාගේ උවමනා එපාකම් බලලා ඒවා සපයා දෙන්න.  


අපේ ආගම ධර්මය විනාස කරනවා කියලා අනිත් ආගම් වලට ඇඟිල්ල දික් කරගෙන වෛරයය, ක්‍රෝධය පතුරවලා ආගම් භේද ඇති කරන එක නෙවෙයි අපි කරන්න ඕනේ. අපි බෞද්ධයන් විදිහට හරියට කෙලින් වැඩ කරනවා නම් අමුතුවෙන් අපේ ආගම රකින්න දෙයක් නෑ. අනිත් එක මොනම හේතුවක් නිසාවත් වෙනත් ආගම්වල උදවියට චෝදනා කරන එකවත්  හිරිහැර කරන එකවත් බෞද්ධයන් විදිහට අපිට වටින්නේ නෑනේ. සත්ව හිංසාව හෙළා දකින අපි කොහොමද බුද්ධ ධර්මයේ නාමයෙන් තව කෙනෙක්ට කරදර කරන්නේ ??  අපේ ස්වාමීන්සේලාගෙන් අපේ සමාජයට වෙන්න ඕනේ යුතුකම්, කාරණා හරියට ඉටුවෙනවානම්, ගිහියන්ට ඉෂ්ට වෙන්න ඕනේ යුතුකම් කෙරෙනවා නම් මොන බලවේගයකටවත් අපේ ශාස්තෘන්වහන්සේ වදාළ ධර්මය නසන්නට බෑ. අනිත් ආගම් වලට ඇඟිල්ල දික් කරන අපේ අතින්මයි මට නම් පේන විදිහට අපේ ශාසනය විනාස වෙන්නේ. ඒ නිසා මේ ශ්‍රී සුභ වෙසක් සතියේ සම්බුද්ධ ජයන්තිය නිමෙත්තෙන් දස දහස් ආමිස , ප්‍රතිපත්ති පූජා කරන අතරම මේ ගැනත් හිතලා බලනවා නම් අපි කාටත් හොඳයි කියලයි ගොඩයට හිතෙන්නේ. ගොඩයාට බණ කියන්න දන්නේ නෑ. හිතුන දේ තමා කිවේ. වෙසක් උදාවත් එක්කම මේ ලෝ තලයේ වෙසෙන මනුසතුන්ගේ සිත් පිරිසිදු වී , වෛරී සිත් නිවී, අකුසල් සිත් පහවී මේ ලෝකේ සියලුම සත්වයන්ට සතුටෙන් සාමයෙන් ජිවත් වන්නට පුළුවන් හෙටක් උදාවේවා !!!!  සැමට සම්මා සම්බුදු සරණයි !!!

13 comments:

  1. ගොඩයාට තෙරුවන් සරනය්.....!!!

    ReplyDelete
  2. සුභ වෙසඟක් වේවා!!
    කූඩුවත් නියමයි..

    ReplyDelete
  3. අපි එකතු වෙලා....ඒ කරපු දේවල් මතක් වෙනකොට නම් අම්මපා පෘතත්ජන මනුස්සයෙක් හෑටියට මට නම් ඈස් වලට කදුලු උනනවා..ඈයි හත් ඉලවුවේ ටිකක් ලියනවාකො අපි 3 පාරක් දිපු නෙස්කෑපේ දන්සෑල ගෑනත්...

    ReplyDelete
  4. ෂා.. ගොඩය කියන්නේ වැඩයා කියන්න ඕන ගොබිලෙකුටනේ !
    සම්පුර්ණ ඇත්ත. ශාක්‍ය කෝලිය යුද්ද්දය බලන්න ආපු බුදු හාමුදුරුවෝ තමුන්ගේ අය කියල ශාක්‍යයින්ගේ පැත්ත ගත්තේ නෑනේ .. අද අපේ සමහරක් හාමුදුරුවරු එක ජාතියක පැත්ත අරගෙන ජාතීන් අතර සමය ගොඩ නැගීම වෙනුවට ජාතීන් හා ආගම් අතරත් භේදය වපුරනවා.. මහන කරන්න කුලය හොයනවා. බුදු හාමුදුරුවෝ තිරශ්චීන විද්‍යා කියල බැහැර කල සාස්තර කියනවා. බලි තොවිල් නටනවා. හූනියම් කරනවා.. ඔක්කොටම හපන් පාර්ලිමේන්තු ගිහින් නටන නෙය්යාඩම් ..
    අපි හෙට උදේ මෙහෙ දානෙට ඉඹුල් කිරිබත් හදනවා.. අද උදේ ඉඳන් අපේ නෝනගේ වැඩේ මට කෝල් කර කර ඕක කතාව.. මහා බරපතල වැඩක්නේ.. හා.හා...හා..
    හෙට මං 20 වතාවට ලේ දෙනවා.. අය්යෝ මේක ලොකු දෙයක් කියල නම් කියන්න එපා. අවුරුදු පහකට කලින් අපේ ලංකාවේ ඔෆිස් එකේ ගෑනු කෙක්නෙක් 38 වෙනි වතාවට දුන්න.. එය දැන් හතලිස් පහක්වත් දීල ඇති එක හාමුදුරුකෙනෙක් 97 වතාවක් දීලතිබ්බ.. මට දුක එච්චර වර ගණනක් දෙන්න බැරි වෙයි කියල.. ඒ උනාට ලේ ටික බටය දිගේ බැග් එකට උණු උණුවේ යනකොට මං ඇස් පියාගෙන මයිත්‍රී සිතින් මේ ලේ ලැබෙන කෙනාට සුවපත් වෙන්න කියල පතනවා. එතකොට දැනෙන සතුට තරම් සතුටක් තවත් නෑ. දවසම පිරෙනවා ඒ සතුටින්..

    ReplyDelete
  5. @ Observer - ඔබා මාමාටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!!
    තෙරුවන් සරණයි !!!!

    @ තාරක - පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!! බොහෝමස්තුතියි!!! මට නම් තාමත් ආසයි බං ගිහින් ආයෙත් ඔය වගේ නිර්මාණයක් කරන්න. මම හිතුවා මගේ වටේ ඉඳං මට උදව් කරපු උන්ට ඔය වැඩේ දිගටම කරන්න පුළුවන් වෙයි කියලා. කොහෙද මම බිසී වුනාට පස්සේ ඒ වැඩ කරන්න එකෙක් නැතිවුනා. ඒ ගැන මට සිරාවටම දුකයි.

    ReplyDelete
  6. @ කල්ප - උඹ දන්නවනේ මල්ලි මම දුන්න දේවල් ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන් කියලා. දුන්න දෙයක් ගැන කියන්න මගේ වැඩි මනාපයක් නෑ. කූඩුව ගැන කිවේ ඒ දෙයින් ලැබුන දේවල් තිබුන නිසා....

    @ ලංකාප්‍රිය - ගොඩයා කියන්නේ එක විදිහක ගොබිලෙක් අයියා..... හරියටම මාව දන්න උන් ඒක දන්නවා. මිනිස්සුන්ට නීති පනවලා බුද්ධ ධර්මය රකින්න හදනවට වඩා මට නම් හිතෙන්නේ මිනිස්සුන්ට ඒ ගැන අවබෝධයක් දෙන එක වටිනවා. එහෙම වුනහම නීති ඕනේ නෑ අමුතුවෙන්. දන් දෙන එකේ ලොකු පොඩියක් නෑ අයියා. පොඩි දෙයක් හරි දෙන්න හිත දෙනවා කියන්නේ ලොකු දෙයක්. මමත් ලේ දන් දීලා තියනවා කීප වතාවක්. කී වතාවක්ද මතක නෑ. මොකද අර කල්පයාට කීවා වගේ දෙන දේවල් මගේ හිතේ රැදෙන්නේ නෑ. කවදා හරි මේ තියන ඒවා දාලා යද්දී මොනවා හරි යන ලෝකෙටත් ගෙනියන්න ඕනෙනේ. ඉතින් යද්දී ගෙනියන්න දේවල් පුළු පුළුවන් විදිහට දැන්ම තියාම මමත් එකතු කොරනවා.

    ReplyDelete
  7. හැබෑටම මේ ඔයා හදපු වෙසක් කූඩුද? ෂා හරි ෂෝක්නේ. මටත් එකක් හදා ගන්න ඇත්නම්.

    ReplyDelete
  8. අනේ ඉතින් මේ වෙසක් පෝය සම්බන්ධව කතා කරන පොස්ට් එකේ මම මොකටද බොරු කියන්නේ ??? හිතුවොත් බැරි නෑ.... මම ඉන්නකම් කූදුව හැදුවට ඊට පස්සේ මගේ යාළුවො කාටවත් ඕවා ගැන ඉගෙන ගන්න උවමනාවක් නැතිවුනා. ඒකෙන් වැඩේ දිගටම කරගෙන යන්න කෙනෙක් නැතිවුනා. උවමනාව තියනව නම් හිතුවොත් කරන්න බැරි නෑ.... එච්චර අමාරු වැඩක් නෙවෙයි....

    ReplyDelete
  9. පන්සල් වල සල්ලි හෙවිල්ල ගැන නං කියල වැඩක් නෑ තමයි මචෝ . . . . මොන පන්සලේද නැත්තෙ කියපන් බාගෙට හදාපු බිත්ති කෑල්ලක් . . . . ඉතුරු ටික හදන්න දායකයන්ගෙන් සල්ලි එකතු කරන ????

    වෙසක් කූඩු . . . . . මම මගෙ පලවෙනි කූඩුව හැදුවෙ මම පහේ හරි හයේ හර් ඉඳිද්දි. ඒක නෙලුම් මලක්. ඊලඟ අවුරුද්දෙ නෙලුම්මල් හතක් හැදුව. එදා ඉඳන් 1993 අවුරුද්ද වෙනකං නෙලුම්මල් හත හැදුව. 93දි තමා මගෙ මල්ලි ඇමරිකාවට ගියේ. එදායින් නතර උන මගෙ වෙසක් කූඩු හැදිල්ල ආයෙ පටන්ගත්තෙ ගිය අවුරුද්දෙ හදපු නෙලුම් මල් හතෙන්. එදා මගෙ මල්ලි අවුරුදු ගානකට පස්සෙ මගෙත් එක්ක කූඩු හදන්න එකතු උනා. හැබැයි මේ සැරේ නං කූඩුවක් හදන්න බැරි උනා . . . .

    මේ වෙසක් එකට ගේ එලිය කරන්න මොකටද කූඩුවක් . . . . .???? ඕනෙම නෑනෙ ඉතිං . . .

    ReplyDelete
  10. අය්යේ මම බට කපල ඉන්නෙ.ඉතුරු හරිය කර කියා ගන්න බැරිව ගියානෙ. පාප්ප හදන්නවත් එකෙක් නැතිව ගියා. ශික් අප්පා. හබෑටම ඔය කරන විදිය අය්යට පෝස්ට් එකක් දාන්න පුලුවන්නම් ලොකුම දෙයක්. අය්යට පින්.

    ReplyDelete
  11. ඕනයා - වැඩක් නෑ කතා කරලා. හාමුදුරුවරු අතින් කෙරෙන්න ඕනේ දේවල් පැත්තකින් තියලා වෙන වැඩ... අනේ මන්ද ??? මමත් අවුරුදු ගානක් කරගන ආපු මේ දේවල් ඒලෙවෙල් කෙරිල්ල හින්දා නවත්තන්න වුනා. ඊට පස්සේ මෙහෙට පාත්වුනානේ.. දැන් ඉතින් කොරන්න කවුරුත් නෑ.
    අයෙත් අහලා අයියගේ කූඩුව එලිය කරන්න කෙලි පැටියගේ එළිය තියෙන්නේ......

    ReplyDelete
  12. @ City Boy - යකඩෝ කූඩුවක් හදන්න දන්න එකෙක් දැන් ලංකාවේ ඉතිරි වෙලා නැද්ද ??? වෙන්න බෑ මලේ.... මම කිවේ ඔය හදලා තියනවා වගේ එකක්. අට පට්ටම්, තරු, නෙලුම් මල් ගැන නම් නෙවෙයි. කොහොමවුනත් මට නම් තැපෑලෙන් පීනන්න උගන්නනවා වගේ වැඩ පුරුදු නෑ. අනික දැන් වෙසක් ඉවරයිනේ... ඊළඟ වෙසක් එකට මොකෙක් හරි එකෙක් සෙට්වෙයි.
    ආ... ඔන්න අපේ ඕනේ අයියා ඉන්නවා. සමහරවිට ඕනේ අයියට නම් තැපෑලෙන් ඔය වැඩේ කොරන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  13. කියලා තියන දේවල් සහතික ඇත්ත ........ හොඳ පෝස්ට් එකක් .....

    ReplyDelete