Sunday, June 12, 2011

මම කරපු ගොංකම්.........

පහුගිය ටිකේම දිගටම ලිවේ ලනු දුන්න ඒවයි, එතකොට ගුටි කාපුවා එහෙමනේ. අද වෙනස් විදිහක පොස්ට් එකක් ලියන්න හිතුණා. අපි හැමෝම ඉතින් ජිවිතේ හැමදාම හරියට හරිම දේ කරන්නේ නෑනේ. හරි වගේම වැරදි දේවලුත් අපේ අතින් සිද්ද වෙනවා. හැබැයි මම හිතනවා නොදැන එක පාරක් කරපු වැරැද්ද දැන දැන ආයේ කරනවා නම් එක තමයි කරන ලොකුම ගොන්කම. මොකද කරේ වැරැද්දක් කියලා තේරුණාට පස්සේ ඒ වැරැද්ද හදාගන්න බැරිවුණොත් අපේ ජිවිතවල දියුණුවක් දකින්න අමාරුයි කියල මම හිතනවා.  මේවා ඔක්කොම ඉතින් මට හිතෙන දේවල්. අද ලියන්න යන්නේ මම හොඳ පාඩමක් ඉගෙන ගත්ත සිද්ධියක්. මම අර විහිළු සහ ගුටි කෑම  පෝස්ට් එකේ කිවා වගේ මේ කියන්නේ දිග කලිසම එහෙම ඇඳලා අං තට්ටුව එහෙම තියාගත්ත කාලේ වෙච්ච සිද්ධියක්. ඒ වෙද්දී මට මතක විදිහට මම 11 වසර නැත්නම් 12 වසර. ඒ කාලේ ඉතින් ඔන්න එහෙං මෙහෙන් කොල්ලොත් සෙට් වෙනවා. කව්ද කොහොමද කොහෙද කියලා හෙවිල්ල බැලිල්ල නැතුවම නෙවෙයි. ඒත් එහෙම බලලා මනුස්සයෝ අඳුරගන්න ඒ වෙද්දී අපිට අත්දැකීම් බොහොම අඩුයි. ඒ කොහොම උනත් අම්මලා තාත්තලා කියන දේ අහන එකත් බොහොම අඩුයි. ඒ කාලේ අපිට හිතෙන්නේ ඉතින් අපි ඔක්කොම දන්නවා කියලනේ. වයසේ වැරැද්ද මිසක් අපේ වැරද්දක් එහෙම නෙවෙයි.

ඉස්සර දෙසැම්බර් 31 වෙනිදට අපේ කට්ටියම සෙට් වෙනවා. අපේ කට්ටිය කිවේ යාළුවො නෙවෙයි අපේ නෑදෑයෝ. කට්ටියම රෑ එළිවෙනකං පාර්ටි දාලා, සින්දු කියලා එහෙම තමයි පරණ අවුරුද්දට සමුදෙන්නේ. ඔය අතරේ අපේ පවුල් වල හිතවත් පොඩි සෙට් එකටත් මම ආරාධනා කරනවා. නිරෝධ අයියට සහ අපේ තාත්තට හොඳට සින්දු කියන්න පුලුවන්. තාත්තාගෙන් ඒ කාලේ සින්දුවයි, අයියගෙන් මේ කාලේ සින්දුවයි. ගොඩක් වෙලාවට තාත්තා දෙසැම්බර් වලට ලංකාවට ආවා.... ඔය විදිහට පැදුරු පාර්ටිය හැම පාරකම නැගලා ගියා. ඔය පාර්ටි එක ගොඩක් වෙලාවට තිබ්බේ බාප්පලාගේ ගෙදර. ඒත් එක පාරක් අවුරුද්දක මම පොඩි වෙනසක් කරන්න හිතුවා. ඒ අවුරුද්දේ පාර්ටිය තියන්න ලැහැස්ති කලේ අපේ ගෙදර. තාත්තාගේ පරණ යාළුවො සෙට් එකටත් කියලා, මගෙත් ළඟ පාත හිටපු යාළුවො සෙට් එකටමත් කියලා, පැදුර වෙනුවට පොඩ්ඩක් නව තාක්ෂණයේ සංගීතය උපයෝගී කරගන්න හිතලා පොඩ්ඩක් නවීන විදිහට මම වැඩේ ලැහැස්ති කළා.

දෙසැම්බර් 31ත් වුනා. කට්ටියම ගෙදරටත් ආවා. මට මතක විදිහට ඔක්කොමල්ල 100 වඩා එකතු වුනා. සින්දු කිවිල්ලත් නැගලා ගියා. ඔය අතරේ කෑමද ඒ එක්කම තාත්තාගේ යාලුවන්ට බීම සංග්‍රහයට පොඩි මේසයක් තාත්තා ගෙවත්තේ කෙලවරට වෙන්න ලැහැස්ති කරලා තිබ්බා. අන්කල්ලා සෙට් එකම අවුරුදු ගානකට පස්සේ හම්බවෙලා එතන පැය ගානක් එතන කයිය ගහ ඉඳලා ඇවිල්ලා සින්දු කියන්න සෙට් වුනා. කොහොමහරි ඔක්කොම හොඳට සිද්ධවුනා. කට්ටිය හොඳට විනෝදවුනා. කෑවා, බීවා, සින්දු කීවා, නැටුවා. වැඩේ නැගලා ගියා.පාන්දර 2,3 වෙලා තමයි කට්ටිය විසිරිලා ගියේ. ඔය විදිහට පරණ අවුරුද්ද ඉවර වෙලා අලුත් අවුරුද්ද ලැබුවා කියමුකො. ඒ වුනාට ඒ අලුත් අවුරුද්ද හිතුව තරම් හොඳ වුනේ නෑ. හේතුව මේකයි. පාර්ට් එකට ආපු  අන්කල් කෙනෙක් එයාගේ ජංගම දුරකථනය අර වත්ත කෙලවරේ තිබ්බ මෙසේ ලඟ තියල කන්න ගිහින්. ඇවිල්ලා බලද්දී ෆෝන් එක තිබිලා නෑ. ඉතින් අන්කල් අපේ තාත්තට කියලා " මචන් පාර්ටි එකට ආපු කට්ටිය ගැන පොඩ්ඩක් කල්පනාවෙන්. මම කීයටවත් හිතුවේ නෑ උඹලා ගෙදරට එන මිනිහෙක් මෙහෙම කරයි කියලා. කොහොමත් ලොකු අය ගැන නම් ප්‍රශ්නයක් නෑ. ඒත් පුතාගේ යාළුවො ගැන පොඩ්ඩක් හොයලා බලන්න. එතන හිටය වෙන කාටවත් ඔය වගේ දේවල් කරන්න උවමනාවක්  නෑනේ ". ඔහොම කීවට පස්සේ ඉතින් අපේ තාත්තාට ඇතිවෙන තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.  පොලව පලාගෙන යන්නනේ හිතෙන්නේ. ඒ ටිකම මට කීවහම මට හිතුනෙත් පොලව පලාගෙන යන්න තමයි. දැන් ඊළඟ ප්‍රශ්නේ කවුද ඕක කරේ කියන එක. 

මම ඒ පාර අලුත් යාළුවො කීපදෙනෙක් එක්කං ආවා. ඊට අමතරව සංගීතය භාණ්ඩ සහ ශබ්ද සපයන්න ආවෙත් අලුත් කට්ටිය. දැන් සැකේ වාසිය අලුතෙන් මේ වැඩේට එකතු වෙච්ච අයටයි. අයියෝ මම කොරගත්ත ගොන් කමක්. අර කලින් වගේ පරණ පුරුදු විදිහට නොකර නවීන වෙන්න ගියානේ. දැන් මට තමයි තොප්පිය. මම හිතාගත්තා කොහොමහරි මේක හොයනවා කියලා. දැන් ඔන්න අග මුල හොයනවා. එක එකාගෙන් අහනවා. අපිත් එක්ක ලඟදි එකතු වෙච්ච මල්ලි කෙනෙකුත් මේ වැඩේට ආවා. කීපදෙනක්ගෙන් ඇහුවහම කීවා මිනිහා බයිට් කන්න කියලා ගිහින් අර ටේබල් එක වටේ කැරකෙනවා දැක්කා කියලා. ඔය වගේ දෙයක් ඇහුනහම සැකේ වාසියත් තියෙද්දී මම දෙපාරක් නොහිතාම තීරණය කළා මිනිහා තමයි ඔය වැඩේ කරේ කියලා. දන්නවනේ ඒ කාලේ මොලේ අඩුවෙන් පාවිච්චි වෙන්නේ කියලා. අත පය තමයි වැඩිපුර පාවිච්චි කරන්න හිතෙන්නේ. අනික තාත්තාත් අම්මත් දෙන්නම මම ආශ්‍රය කරන කට්ටියගෙන් පරිස්සම් වෙන්න කිය කියා ඒ දවස් වල නිතරම දේශනා තියනවා. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඔහොම උනහම ලකුණු කැපෙන්නේ කොහොමද කියලා. අනික ඊට වඩා ලොකුයි මට වෙච්ච ලැජ්ජාව. ඇයි මම හොරු ආශ්‍රය කරනවා වගේ කෙස් එකක්නේ. ඔය නිසා ඒ දවස්ටිකේ මට හරියට නින්දකුත් නෑ. මාර අප්සට්. 

දවසක් හවසක මගේ යාළුවො දෙතුන් දෙනෙක් ආවා. මම තීරණය කරා අරුන්ගේ ගෙදරටම ගිහින් ප්‍රශ්නේ විසදන්න. ඒ කාලේ හරිම ආසයි ගෙදරටම ගිහින් දෙකක් නෙලලා එහෙම එන්න. ඔන්න කට්ටියම ගියා. අර මල්ලිට කතා කළා.  "කෝ ෆෝන් එක ?" දැම්ම කොල්ලට ප්‍රශ්නේ. " මොන ෆෝන් එකද වරුණ අයියේ ?" අගක් මුලක් නොදන්නා කොල්ලා අහිංසක විදිහට උත්තර දුන්නා.    " මොන ෆෝන් එකද ?  ඇයි උඹ පාර්ටි එක වෙලාවේදී අපේ ගෙදරදී උස්සපු එක....  හරියට දන්නේ නැති උන් ගෙට ගත්තට අපිට හොඳ පාඩම්. හොරකම් කරන උන් කවුරුත් අපේ සෙට් වල හිටියේ නෑ කලින්. තාත්තටත් එක්ක ලැජ්ජාව. ඇයි මට ? දැන් කොහොමද කියහන් කොල්ලෙක් එක්ක යන්නේ අපේ ගෙදරකට බය නැතුව......  බ්ලා බ්ලා බ්ලා......  "  මම සතියක් තිස්සේ අපේ අම්මගෙනුයි තාත්තාගෙනුයි අහගත්ත දේවල් නිසා තිබ්බ පීඩනය, වෙච්ච ලැජ්ජාව, තරහව ඔක්කොම යනකම් ඌට බැන්නා. අනේ කොල්ලා අඬන්න පටන් ගත්තා. මොන මට ඒත් නවත්තන්න හිතුනේ නෑ. අන්තිමට අපේ ගෙවල් පැත්ත පළාතේ එන්න එපා කියලා තර්ජන පාරක් දාලා මම ආවා. ෆෝන් එක නම් ලැබුනේ නෑ. අඩු ගානේ මගේ හිතේ තිබ්බ තරහවවත් අඩු උනානේ. අනිත් එක මට ජීවිතේට කවුරු ගැන වුනත් සැකයක් හෝ තරහවක් හිතේ තියාගෙන ඉන්න බෑ. කියන්න අමතක උනානේ. ඔය මල්ලි කොළඹ හොඳ ලොකු ස්කොලෙක ඉගෙන ගත්ත එකෙක්. 

ඔක්කොම සිද්ධිය වෙලා ටික කාලයක් යද්දී මටම කල්පනා උනා කට්ටිය කියපු දේ අහලා අරූට චෝදනා කලාට තව කීදෙනෙක්ට ඔය හොරකම කරන්න අවස්ථාව තියෙන්නේ ඇතිද කියලා. මොකද අපේ ගෙවත්ත අයින නිසා සද්දෙට තාප්පෙන් කවුරුහරි එබිලා බැලුවනම් ඕක දැකල අරන් යන්න ඉඩ තියනවනේ. අනික අර සවුන්ඩ්ස් ගෙනාපු දෙන්නා. ඒ අස්සේ මේ කොල්ලා තවත් කෙනෙක් එක්ක කියලා අඬලා. ඌට හොරා කිවා කියලා. කවදාවත් මම එහෙම කරයි කියලා හිතුවේ නෑ කියලා. මටත් එතකොට කරපු ගොන්කම ගැන පුදුම විදිහේ ලැජ්ජාවක් හිතුනේ. මොකද කට්ටිය කීවට ඒ පැත්තේ කැරකුනා කියලා ගන්නවා දැක්ක කෙනෙක් හිටියේ නෑනේ. මම දැක්කෙත් නෑනේ. මිනිහෙක්ට ඔය වගේ චෝදනාවක් කරද්දී මීට වඩා හිතන්න තිබ්බා නේද හිත හිතා මම සෑහෙන්න තැවුනා. එතකොට මට අවුරුදු 16ක් හෝ 17ක්. ඒ කාලේ කොහෙද එහෙම දේවල් තේරුම් ගන්න මොලයක් තිබ්බේ. මට ඊට පස්සේ නම් ඒ මල්ලිගේ මූණ බලන්නවත් බැරුව හිටියේ ලැජ්ජාවට. ඒත් කොහොමහරි දවසක් මම ඌව හම්බවෙච්ච වෙලාවක කරපු ගොන් කමට සමාව ඉල්ලුවා. හැබැයි ඉතින් කරේ නම්   සමාව දෙන්න වටිනා වැඩක් නෙවෙයි. ඒත් උගේ හොඳකමට සමාව ලැබුනා. අනේ කොල්ලා තාමත් අපේ ගෙවල් වල යනවා එනවා.  

පෝස්ට් එක නම් ටිකක් දිග වැඩිවුනා. ජිවිතේ කරපු ගොන්කම් සහ ඒ ගොන්කම් වලින් ඉගෙන ගත්ත පාඩම් ගැනත් ලියන්න හිතුන නිසයි ලිවේ. දැනට ඔය සිද්ධිය වෙලා අවුරුදු 10ක් විතර. හැබැයි මම ඉගෙන ගත්ත පාඩම නම් ජීවිතේටම මතක තියනවා. ඔය සිද්ධියෙන් පස්සේ කවුරු කොහොම කිවත් මමම දකිනකම් ඔය වගේ දේවල් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා මම හිතන්නේ නිරපරාදේ මිනිහෙක්ගේ හිතක් තලන පෙලන එක නැවතුනා. මිනිහෙක්ට නිරපරාදේ චෝදනා කරන එකනම් මහම මහා බලු වැඩක්. මොනවා කරන්නද ? මම ඒ වැරැද්ද එක පාරක් කරා. ආයේ නම් කරේ නෑ. කරන්නෙත් නෑ. අපි ඉතින් මිනිස්සුනේ.....  වැරදි අපේ අතින් සිද්ධවෙනවා.  හැබැයි ඒ ලැබෙන පාඩම් මතකනම්, ඒ මතකය නිසා ඒ වැරැද්ද ආයේ කෙරෙන්නේ නැත්නම් ඉදිරියේ අපිට අහිමිවෙන්න තියන ගොඩක් දේවල් බේරගන්න පුළුවන් වේවි..........................

17 comments:

  1. උඹත් මාර වැඩක්නේ කරලා තියෙන්නේ :D

    ReplyDelete
  2. විද්දි හී තලයත්
    මුවින් පිටවූ වදනත්
    ගෙවුණු කාලයත්
    කිසිදා ආපසු ගත නොහැක.

    ReplyDelete
  3. දිග වැඩී . . . . කියවලාම කොමෙන්ට් කෑල්ලක් දාන්නං

    ReplyDelete
  4. @ බබා සහ පූසා - මොන මරුද බං??? මම සෑහෙන කාලයක් දුක්වුනා ඒ කරපු බලු වැඩේ ගැන. ඒ වෙලාවේ තිබ්බ තරහට ඔහොම ගොන් වැඩක් කරාට පස්සේ මාර අප්සට්. ඊට පස්සේ නම් ඔහොම ගොන් වැඩ කරන්න ගියේ නෑ.........

    @ පිණිබිඳු - ඔව්. සහතික ඇත්ත. වචනයක් පිටවුනාට පස්සේ ආයේ මොනවා කිවත් වැඩක් නෑ. අපි එතකොට හොඳටම පරක්කුයි. හැබැයි එක පාරක් එහෙම වුනාහම පාඩමක් ඉගෙනගන්න එකයි වැදගත්.....


    @ ඕනයා - ඒක නම් එහෙම තමයි. සැහෙන දිගට කියා කතාව. අවුලක් නෑ. හිමින් සැරේ කියවලා දෙන්නකෝ බලන්න කොමෙන්ට් එකක්.

    ReplyDelete
  5. මටත් ඔය වගේම සිද්ධියක් වුනා...
    2006 නොවැ. වල අපේ සීය කෙනෙත් නැතිවුනා.. මම ඒ දවස්වල හිටියෙ අපේ නැන්දලගෙ ගෙදර. මළගෙදර තිබ්බෙත් එහෙ. දෙවෙනි දවසේ මමයි තව යාළුවො දෙන්නෙකුයි උඩ තට්ටුවට වෙලා කතාකර කර හිටියා.(ඒ කාලෙ බාගෙට උඩ තට්ටුව හදල තිබ්බේ. ඉතිං මොකෙක්වත් එන්නේ නෑනෙ ඔයාට. කිසි කරදරයක් නැතුව ඉන්න පුලුවන්)දෙන්නම ලඟම නෑදෑයො. ඔහොම ඉද්දි මගේ ෆෝන් එකේ බැට්රි බැස්සා. මගේ කාමරේ තිබ්බේ පහල, එළියෙන් එන්ට්‍රන්ස් තියෙන්නේ ඒකට. ඉතිං මම ගිහින් චාර්ජ් වෙන්න ගහල ආව. නැන්දල මට කාමරේ ලොක් කරන්න එපා කියල තිබ්බේ, ඒකෙ මොකේකට හරි ඕන වුනොත් මාව හොයන්න එන්න එපැයි ඉතිං ඒ හින්ද. ඔහොම ඉද්දි එක කොල්ලෙක්ගෙ තාත්ත කතා කලා යන්න එන්න කියලා. ඉතිං එයා ගියා. මමයි අනිත් එකයි එහෙමම ටිකක් ඉඳල පහලට ආවා. වටේ රවුමක් දාලා එහෙම කාමරේ පැත්තේ ඇව්ත් බලද්දි හුටා! ෆොන් එක නෑ.. බලන්න පුලුවන් හැම තැනම බැලුවා. ගෙදර අයට කියන්නත් බෑ එයාල ඉන්න තත්වෙත් එක්ක. කිව්වොත් මොනවා වෙයිද කියල මට හිතා ගන්නත් බැරුව හිටියෙ. මොකද ඒ කාලෙ මට ෆෝන් පාව්ච්චි කරන්න දෙන්නෙත් නෑ. පොඩිඑකානේ.... මළ ගෙවල් කාලෙ තමා ඕක ටිකක් අතපත ගාන්න හම්බවුනේ.. ඒකාලෙ ඒක රු.22000ක් විතර වටිනවා.
    ඒක නැතිවුනාට පස්සේ දවසෙ වැඩ කලා ඊට පස්සෙ ඉදන් වැඩ නෑ.
    මෙතන සැක කරන්න එකෙක් කියලත් නෑ. ගමේ ඔක්කකොම අපේ ගෙදර. දන්න ලොකු උන් දෙතුන් දෙනෙක්ට කියල ගොඩක්ම සැක උන්ව චෙක් කරලත් බැලුවා.. ඒත් බඩු නෑ.
    පහුවදා හිමීට නැන්දට කිව්වා.. මළ ගෙදර හයියෙන් කෑගහන්න බැරි හින්ද ටිකක් ෂේප්. ඒත් එක එක්කෙනා ලඟට ඇවිත් බැනලා යනවා..
    ඔය සීන් එකට මට මාත් එක්ක හිටපු කොල්ලව ටිකක් සැකයි. මොකද මූ එදා තමයි ඒ ෆොන් එක ගොඩක් වෙලාවට උගේ අතේ තියාගෙන හිටියෙ. මමත් ඉතිං එහෙම දෙනවා මටත් අවුලක් නෑ ඒක. මූ එදා හවස මට කිව්වා උගේ යාළුවෙකුගෙ ලගත් මේ ෆොන් එකක්ම තියෙනවා ඒකෙ චාජර් එකේ අවුලක් මගෙ එක දෙන්න බැයිද කියලා. මොකද ඒ කාලෙ sagem ෆෝන්ස් අඩුයි. ඒකෙ තියෙන්නෙත් වෙනස්ම විදියෙ චාජර් එකක්. දැන් කාලෙ වාගේ රු.150 චාර්ජරුත් නෑ. මමත් කඩවල් 2, 3කින් අහල බැලුවා නෑ" කියලමයි කියන්නේ. ඉතිං මම කිව්වා මම පස්සෙ නැන්දලගෙන් අහල දෙන්නම් කියලා. මොකද ෆොන් එක තියෙන්නේ එයාලගෙ බාරයෙනේ.
    දැන් මට මූ සැකයි කියල ලොකු අය කාටවත් කියන්නත් බෑ. ලඟම නෑදෑයොනේ. ඊට පස්සේ එකටත් කතාවක් දාන්නනේ ඒ කට්ටිය බලාගෙන ඉන්නේ. අනික ඕක කියන්න ගිහින් පවුල් පුශ්න ඇතිවුනොත් එහෙම. ඒත් මම දවස් දෙක තුනකින් අපේ නැන්දට කිව්වා මෙයාවනම් පොඩ්ඩක් සැකයි කියලා. ඒත් එයාලට ඒක අහන්ත් බෑනෙ කෙලින්ම ගිහින්.
    ඒත් මටයි මාත් එකක් හිටපු අනිත් එකාටයි හොඳටම ෂුවර් මූ තමා ගත්තේ කියලා. බැරිම තැන ගිහින් ඇහුවා. මූ කියනවා පිස්සුද මචං මම එහෙම කරනවාද කියලා. ඒත් අපිට ෂුවර් මූ තමා හොරා කියලා. දවස් දෙකකින් විතර මූ ඇවිල්ලා මගෙන් චාජර් එක ඉල්ලනවා, ඉක්මනට ගෙනත් දෙන්නම් කියලා. මම කිව්වා බෑ එක දැන් නැන්දල ලග තියෙන්නේ කියලා. කොහොමහරි අපේ කොල්ලො සෙට් එක මුව හැලුවා. මූට එක ගානකුත් නෑ. ඊලග අවුරුද්දේ ජනවාරි දෙවනිදා, මම ස්කෝලෙ ගිහින් දාවට පස්සේ නැන්ද මෙහෙ එනවා කියලා ෆොන් එක පෙන්නුවා. මටත් පුදුමයි. ඒ වෙද්දි මම ඒකෙ ආසාව හිතෙන් අයින් කරන් තිබ්බේ. මොකද ඒ කාලෙ වෙද්දි ගත්ත එකාට ඕක මස් කරල කෑල්ල කෑල්ල විකුණන්නත් කාලෙ ඇතිනේ..

    මම අර සැක කරපු, මගේ හොඳම යාලුවෙක් කියල හිතන් හිටපු ඒ කොල්ලගෙ කාමරේ අල්මාරියෙ හංගල තිබිලා උගේ තාත්තට හම්බවෙලා තියෙන්නේ.. ගෙදරදි ඌට හොදටම නෙලල අපේ ගෙදරට ගෙනත් දීල තිබ්බා..
    ඌ ෆෝන් එක උස්සන්න කලින් ඉඳලම ප්ලෑන් කරල තියෙන්නේ. ඒක ගත්තට චාජර් හොයන්න නැති හින්ද මගෙන් ඉල්ලලම ගන්න ඉඳල තියෙන්නේ. එතොකොට කිසි කරදරයක් නෑනේ..

    ReplyDelete
  6. ඔහොම තමයි.. ඔය වයසට ගන්නේ ඉක්මන් තීරණ.. ඒ වගේම ඇක්ෂන් ස්ටේෂන් යන්න බොහොම හදිසියි.. මන කල ගොන් කම් ලියන්න ගියොත් අවුරුද්දක් දවසට දහය ගණනේ ලියන්න වෙයි.. දැන් කියලත් ඒ හැටි වනසක් නැහැනේ..පවු වැඩේ අපි අහිංසක ගොනව මේකට ගාගන්න හොඳ නැහැ.. මනුස්සකම් කියල කියමු වරදින්නේ මනුස්සයින්ටනේ ..

    ReplyDelete
  7. අර පෝන් එකට මක්කයි වුණේ......
    අනික ඉතින් අයියා එකයි කරලා තියෙන්නේ.....මංම කීයක් නම් කරලා ඇත්ද...
    මගේ චොකලට් එක කෑවයි කියලා නංගිට අල්ලන් නෙලලා..පස්සෙ අම්මගෙනුත් ගුටි කාලා...කාමරෙට යනකොට මේසෙ යට චොකලට් එක.මාත් අඬ අඬාම චොකලට් එක කෑවා.අපරාදෙනේ..!!

    ReplyDelete
  8. ලංකාප්‍රිය කියනව වගේ කොරපු Bull වැඩ වැඩිය කියන්න ගියොත් ඇඩ්රස් නැති වෙනවා... ඒක නිසා නොකිය ඉන්නවා... කතාව එල.... කොරපු සුට්ටන් එකක් කියන්නම් නැත්නම් හොඳ නෑනේ... මේක මගේ පළමු පෙම කාලේ වෙට්ච එකක්... මමයි මගේ කෙලි පොඩ්ඩයි ඉස්කෝලෙදි තනිබන්ගලමේ කතාවක් දාගෙන ඉන්නකොට අපේ බැචේ හිටපු කොටම ඩයල් එක උගේ නම XXXX කුරේ... ආව අපි දෙන්න ඉස්සහරහට.... කට ඇරලා කිව්වා "මේ මම ඔයාට කැමතියි... මට හිතල වචනයක් දෙන්න කියල..." ඌ ආවට වඩා වේගෙන් නොපෙනී ගියා.... මගේ කෙලීට ලජ්ජා හිතුනද මන්ද.... ඇස් රතු උනා... අපේ බැචේ ගොඩක් උන් අපේ සම්බන්දෙ දැනගෙන හිටියෙත් නෑ... හේතුව කෙලී ඉස්කෝලේ ගුරුවරියකගේ දෝනි... හත්දෙයියනේ මොන කොල්ලටද තමන්ගේ කෙල්ල ඇස් රතු වෙනව ඉවසන්න පුළුවන්... එත් කෙල්ල ඉස්සරහ මුකුත් කොරන්න බැරි නිසා... ඉවසගෙන හිටිය.... පස්සේ දවසක හවස මග රැකලා ඌව හොඳට මසාජ් කොළා.... කිව්වා වගේ වයසේ වැරැද්ද (17ක් මගේ හිතේ...) ඊට හපන් මම හිතන්නේ උගේ රාහු කාලේ වෙන්න ඇති ඕක ඇහුවේ... අනේ මම කොරපු පව් වැඩේ තේරුම් ගියේ සම්බන්දේ නවත්තල එව්වා මෙව්වා මතක් කොරන වෙලාවක.... පස්සේ ඌව හම්බුනේ නෑ... අද නම් වෙලාවකට ලජ්ජත් හිතෙනවා.... එත් මොනා කොරනන්ද කොරපු දේ කළා... ඒවා යෟවනයේ පොපියන චමත්කාරය....

    ReplyDelete
  9. ගොඩයො ෆෝන් එකට කෝල් එකක් දීල එහෙම බැලුවෙ නැද්ද? පරක්කු වෙන කොට නං සිම් එකත් මාරු කරල ඇති.

    ReplyDelete
  10. සමහර දේවල් ඇහින් දැක්කත්, කනින් ඇහුවත්, අතින් ඇල්ලුවත් විශ්වාස කරන්න බැහැ ..........
    ඒක නිසා හොඳට හොයලා බලලා මිසක් කාට හරි චෝදනා කරන්න නරකයි .....

    ReplyDelete
  11. @ තාරක - උඹට කියන්න මලේ මට පස්සේ හිතුනා අපිත් එක්කම හිටිය එකෙක් ඔය වැඩේ කලාවත්ද කියලත්.... උඹට ඔය වුනා වගේ... කව්ද ඉතින් දන්නේ ?

    @ ලංකාප්‍රිය අයියා - ඇත්ත ඇත්ත. මම එහෙම කිවේ ඒ අහිංසකයට අපහාස කරන්න නෙවෙයි. මට උපහාසයක්‌ කරගන්න. අනිවා ඉක්මන් වෙන එකෙන් වෙන්නෙම පාඩු තමයි. දැන් නම් සැහෙන කල්පනාවෙන් ඉවසීමෙන් තමයි වැඩ.

    @ පිසා මල්ලි - ඒ ෆෝන් එකට වෙච්ච දෙයක් දන්නේ නෑ. ගෙදර ප්‍රශ්නයක් වගේ නෙවෙයිනේ පිට මිනිස්සුන්ගේ දෙයක් නැති උනාහම තියන ලැජ්ජාව. ඒ වගේමයි පිට කෙනෙක්ගෙන් හොරා කියලා අහගන්න එකත් බොහොම වේදනාකාරියිනේ මල්ලි....

    ReplyDelete
  12. @ ගුලියා - එකනේ බං... මොනවා උනත් ඉක්මන් කොටයි කියනවනේ...

    @ ඔබා මාමා - මොන කෝල්ද මාමා. උස්සප්පු එකා එවෙලේම සිම් එහෙම ගලවලා. අර අන්කල් කීවෙත් ෆෝන් එක නැතිවුනාට වඩා පාඩුව සිම් එක නැතිවුණ එකයි කියලා. මොකද පොරගේ කන්ටෑක්ස් ඔක්කොම එකේ.

    @ කල්හාර - අනිවාර්යයෙන් මචං. මම ඔය සිද්දියෙන් පස්සේ එක හොඳට ඉගෙන ගත්තා....

    ReplyDelete
  13. මේක කොමෙන්ට් එකෙක් නෙවෙයි.. මගේ බ්ලොග්ස් වේලෙනවා.. යාලුවෙක් වත් එන්නේ නැහැනේ !

    ReplyDelete
  14. මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසී වුනා ජයියා අයියේ. ජංජාලයට එබුනට මටත් බ්ලොග් වලට එඹෙන්න වෙලාව පොඩ්ඩක් හරස්වුනා. අනික දැන් තමයි දැක්කේ ඔයා අලුතින් පෝස්ට් එකක් දාලා තියනවා. කට්ටිය අඩු මොකෝ?? අපි ළඟදී දවසක ඔයාගේ බ්ලොග් එකට අන්තිම පේලියෙනුත් පොඩි ඇඩ් පාරක් දුන්නනේ..........

    ReplyDelete
  15. මටත් ඔහොම වැඩක් උනා.
    දවසක් අපේ ගෙදර ආපු මගෙ ලොකු තාත්තගෙ පුතා මගෙ දුනු පිහියක් ආසාවෙන් අතේ තියාගෙන හිටිය . . . පහුවදා බලද්දි පිහිය නෑ . . . පස්සෙ මම ලොකු තාත්තගෙ ගෙදර ගිහිං ඌට අම්බානක බැනල ආව. සතියකට විතර පස්සෙ මෙන්න පිහිය තියනව මගෙ කබඩ් එක ඇතුලෙ . . . . .
    මොනා කරන්නද . . . . සද්ද නොකර හිටිය . . . හැබැයි ඊට පස්සෙ මගෙ මොනව නැතිඋනත් මම නෙමේ කාටවත් දොසක් කියන්නෙ . . . . මොනව හරි නැතිඋනොත් මම හිතන්න පටං ගත්ත ඒ වරද මගෙ කියල . . . හේතුව මොනව හරි නැති වෙනව නං . . . ඒක මගෙම නොසැලකිල්ල . . .

    ReplyDelete
  16. ඉක්මන් කොටයි නොවැ.

    ReplyDelete