Wednesday, December 7, 2011

අලි කෙලි..........


මම නිතරම කියනවා වගේ මගේ ජිවිතේ රස්තියාදු ගහපු කාලේ කොරපු දේකුත් නෑ නොකරපු දේකුත් නෑ. මේ කියන්න යන්නෙත් ඒ කාලේ සිද්ධියක් දෙකක්. මේ සයිබරේ නිතරම වල් අලි ගැන කතා ලියන්නේ සඳරුවානේ. මේ ලියන්න යන්නෙත් වල් අලි සීන් එකක්. මේක උනෙත් අපේ සඳරුවාගේ ගම් පලාතේ. මම 2006 අවුරුද්දේ ටික කාලයක් යාළුවො සෙට් එකකුත් එක්ක අම්පාරේ හිටියා යාළුවෙක්ගේ වැඩකට ගිහිල්ලා. අපි නැවතිලා හිටියේ පලාත් පාලන අමාත්‍යංශයට අයිති සංචාරක බංගලාවේ. ඒ දවස් වල අපේ පුරුද්දක් තිබ්බා හැමදාම හවසට ජපන් සාම චෛත්‍යය ළඟට  අලි බලන්න යන එක. එන ගමන් වැව් මාළුත් අරන් ඊළඟට ටවුං එකේ තිබ්බා පොඩි බයිට් කරත්තයක්, එකේන් ස්ටෙලා වෙන කොට හපන ඒවත් අරං ස්ටෙලා වෙන්න ඕනේ ඒවත් අරං  තමයි රෑට අපේ නැවතුම්පොලට ගොඩ වෙන්නේ. ආ..... කියන්න අමතක වුනානේ. දිගාමඩුල්ල වටේම රවුම් ගහන්න අපට තිබ්බේ 13 ශ්‍රී ලාන්සර් බොක්ස් එකක්. භාණ්ඩේ පරණ උනාට ලංකාවේ හතර අතේ දීවා ඒක ඒ කාලේ කිසිම කරදරයක් නැතුව. අපි වරකපොල ඉඳන් අම්පාරට ගියෙත් ඒ රථයෙම තමයි. ගෑස් ටැංකියෙන් තමයි ගමන. පෙට්‍රොල් තියෙන්නේ හදිස්සියකට. එතකොට ජපන් සාම චෛත්‍යය ගැන කියනවා නම් ජපන් සාම චෛත්‍යය තියෙන්නේ වැව අයිනේ. ඒකත් ටිකක් වැව ඇතුලට වෙන්න. ඔය චෛත්‍යයට මහ පාරේ ඉඳං යන්න තියන පාර මැද්දෙන් තමයි හවසට අලි රංචුව මාරු වෙන්නේ. මට මතක විදිහට අලි 50ක විතර රංචුවක් හිටියා ඒ කාලේ. හැබැයි අලියෙක් කුලප්පු වෙලා චෛත්‍යය පැත්තේ ඉඳං අලි බලන අපේ පැත්තට හැරිලා පැන්නුවොත් අබ සරණයි. මොකද දුවන්නවත් තැනක් නෑ. දුවන්න වෙන්න චෛත්‍යය වටේට තමයි. ඒ වගේ වෙලාවට ඉතින් ඒ චෛත්‍යයට අරක්ගත් දෙවියෙක් වගේ පිහිටවෙලා හෝ අලියට එපා වෙලා අත ඇරියොත් ඇරෙන්න ජිවතේ නම් ශුවර් නෑ. ආ වනජිවී මහත්තුරු දෙන්නෙකුයි, මට මතක විදිහට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දෙන්නෙක් තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නව මතකයි. ඒත් මට තේරුණ විදිහට නම් ඒ පොඩි ඉඩේ අලියෙක් කුළප්පු වෙන හදිස්සියට ඒ අයටත් ලොකු දෙයක් කරන්න අමාරුයි.

ඔන්න ඔහොම ඉන්න දවසක අපි සුපුරුදු විදිහට වැඩ ඉවරවෙලා ඉන්න තැනට ඇවිත් නාලා කරලා බැස්සා අපේ සුපුරුදු රවුම ගහන්න. අර කතාවටත් කියනවනේ අලි බැලිල්ලෙයි බලි බැලිල්ලෙයි ඉවරයක් නෑ කියලා. අපිටත් ඉතින් හැමදාම බැලුවත් එපා වුනේ නෑ. ඔන්න ඉතින් ගියා සාම චෛත්‍යය ළඟට. එදා හැබැයි ගොඩක් සෙනඟ හිටියා. පොඩි එවුන් එහෙමත් උස්සගේන් ට්‍රිප් ගිය කට්ටියකුත් හිටියා. අපි හැමදාම වගේ සෙට් වෙච්ච කොහොඹ ගහ යටට සෙට් වෙලා අලි ටික පාර පනිනකම් බලා ඉන්නවා. වැව් පිටියේ ඔහේ ඔනාවට එපාවට ඉඳලා උන් උන්ගෙ පාඩුවේ එකා දෙන්නා චෛත්‍යය පහුකරගෙන යනවා. ඉතින් ඔය අලින්ගේ ඒවා මේවා වැඩ කෑලි බල බල උන්ට එක එක ඒවා කිය කිය හිටියා  අපේ උන් දෙන්නක්. උන් දෙන්නගෙන් එකෙක් අනිකට උපදෙස් දෙනවා අලි කුලප්පු උනොත් හැසිරෙන විදිහ. අනේ උගේ උපදෙස්. ඌ ජීවිතේටම වල් අලියෙක් දැක්කමද කොහෙද?  අර වනජීවි ඩබලත් ඌ දිහා බලලා පොඩි නෝන්ඩි හිනාවක් දානවා මම බලාගෙන.එකෙක් අනිකට කියනවා " මචං අලියා කුලප්පු උනොත් කලබල වෙන්න හොඳ නෑ. දුවලා වැඩක් නෑ. අනික ඌ හැමෝම පස්සෙ පන්නනේ නෑ. ඌට මීටර් වුන එකා පස්සෙ විතරයි ඌ පන්නන්නේ. ඒ නිසා අපි දුවන්න ඕනේ නෑ. හැබැයි ඉතින් ඌට මීටර් වුනේ උඹ නම් උඹට දුවන්න වෙන්නේ සිග් සැග් ක්‍රමෙට තමයි". අරුත් බොහොම කල්පනාවෙන් අහගෙන ඉඳලා ප්‍රශ්න එහෙමත් අහනවා. කතාව ඇත්ත වෙන්නත් පුලුවන්. ඒත් මේ අලි ජිවිතේට දැකලා නැති එකා දෙන ටෝක් කොහොමද විශ්වාස කරන්නේ. මොකද ඕවා අපිත් අහලා තියනවා. ඒත් ඇත්තටම සීන් එකකට මූණ දීලා නෑනේ.

මමත් පාඩුවේ උන් දෙන්නගේ ආතල් ටෝක් වලට එක කනක් දාගෙන මාත් එක්ක ආපු අනිත් අයියත් එක්ක කයියක් දාගෙන ඉන්න අතරේ මම දැක්කා පණ්ඩිතයෙක් කැමරාවකුත් අරන් අර අලි මාරු වෙන පාරට කිට්ටු කරනවා. අරුන් දෙන්නගේ කතාව පැත්තකින් තියලා අපි දෙන්නා පොඩ්ඩක් මේ සීන් එකට ඇහැ දැම්මා. අර මනුස්සයාගේ පවුලේ අය කෑගහනවා පොරට කිට්ටුවට යන්න එපා කියලා. මොන පොර නෙවෙයි කනකට තියා කන් පෙත්තකටවත් ගන්නේ. ඔන්න දැන් අපේ නිර්භීත ඡායාරූප ශිල්පියා අලියාට ගොඩක් කිට්ටු වෙලා ගැහුවේ නැතෑ පොටෝවක්. පොටෝව ගහපු එක නම් අවුලක් නෑ. ඒත් මේ මැට්ටා ඒක ගැහුවේ අර ෆ්ලෑෂර් එහෙම දාගෙන. අනේ තත්පර 10ක් ගියේ නෑ. අලියා ගත්තා කරකවලා වලිගේ, උස්සගත්තා හොඬෙත් පටන්ගත්තේ නැතෑ අරූ පස්සෙ පන්නන්න. අර බලන් හිටපු ගෑණු මිනිස්සුන්ට ළමයි මතකත් නෑ. එක පාරටම පලාතම හෙලවෙන්න හූ සද්දේ. බොරු කියන්නේ මොකටද ඒ සීන් එක දැක්ක පාර මට නම් දුවන්න අමතක වුනා. චණ්ඩිකමට දුවන්නේ නැතුව හිටියා නෙවෙයි. දුවන්නවත් මතක නැතිවුනා. තත්පර දශම ගාණෙන් සිහිය එනකොට හිතාගත්තා  කොරන්නම දෙයක් නැතිවුනොත් චෛත්‍යය වටේ තියන වැටෙන් වැව් පිටියට පනිනවා කියලා. කොහොම හරි අලියා අරූ පස්සේ පැන්නුවා චෛත්‍යයේ පඩි ළඟටම. ඊට පස්සේ ඌටම එපා වෙලා හැරිලා ගියා. ඔය තමයි කතාවේ අතිශය බිහිසුණු අවස්ථාව.

ඊට පස්සේ තිබ්බේ හාස්‍ය ජනක අවස්ථාව. හාස්‍ය කීවට හාස්‍යමත් නෙවෙයි. ඔන්න අලියා ගියාට පස්සේ ඇවිල්ලා හිටිය අම්මලා තමන්ගේ ළමයි හොයන්න පටන්ගත්තා. තව සමහරුන්ගේ ළමයි මාරුවෙලා. ඔය වගේ ජරමර ගොඩයි. ඒ අස්සේ සමහරු අර ගොන් වැඩේ කරපු එකා හොයනවා. ඔය අලකලංචි අස්සේ අර අයියටයි මටයි මතක්වුනා අපේ අනිත් උන් දෙන්නව. අලි පන්නද්දි දුවන්න ඕනේ නෑ කියපු එකයි ඒ උපදෙස් ඉහ මුදුනින් පිළිගත්ත එකයි දෙන්නම හිටපු තැන නෑ. ඒ කිවේ දෙන්නම පණ කඩාගෙන දුවලා. සෙනග අස්සේ එහෙට මෙහෙට කැරකෙද්දි ඔන්න උපදෙස් අහගෙන හිටපු එකා හම්බ වුනා. උගෙන් ඇහුවා අනිකා කෝ කියලා. " අනේ මන්දා බං, ඌත් දීවා, මාත් දීවා. දැන් නම් ඌ කොහෙද දන්නේ නෑ " කියල කියපි මූ. මරු ගුරයි ගෝලයයි. ගෝලයා නම් සිටී. ඒත් ගුරා පේන්න නෑ. මූ එන පාටකුත් නෑ. ඔන්න දැන් කරුවලත් වැටීගෙන එනවා. පාර මාරු වෙන්න ආපු අලිත් මාරු වෙලා ඉවරයි. අලි බලන්න ආපු කට්ටියත් එකා දෙන්නා යනවා. ඒත් මූ නෑ. තවත් විනාඩි පහක් විතර ගියපු තැන මූ එනවා. "කොහෙද බං ගියේ ? " අපිට මල අතේ. " නෑ බං අලි කලබල අස්සේ පොඩ්ඩක් හැංගුනා. අලිනේ බං. ශුවර් නෑනේ. තත්වය සාමකාමී වෙනකම් ඉඳලයි මම එලියට බැස්සේ. අපි එහෙමයි." මූ අපිටත් ටෝක් දෙනවා. ඒත් හිටියේ කොහෙද ඇහුවට කියන්නේම නෑ. කොච්චර පෙරැත්ත කර කර ඇහුවත් මූ නෙවෙයි හිටිය තැන කියන්නේ. කොහොමහරි ඔය කලබල ඉවරවෙලා රෑට ඕනේ කරන අඩුම කුඩුමත් අරගෙන අපි හිටිය තැනට ආවා. ඊට පස්සේ ඔන්න ස්ටෙලා වෙන අවස්ථාව. අපේ අලි උපදේශකට පොඩ්ඩක් හරියාගෙන එනකොට අපි ආයෙත් අපේ පරණ ප්‍රශ්නේ දැම්මා. ඒත් අදිමදි කරනවා. ඔය විදිහට ටිකක් වෙලා ඇදගෙන ගියාට පස්සෙ මෙන්න පොර විස්තරේ කීවා.  " අනේ උඹලා ඉතින් ගිහින් මේවා කාටවත් කියන්න එපා. බොරු කියන්නේ මොකටද අලියා කුලප්පු වෙච්ච වෙලාවේ මගේ බඩ අවුල් වුනා. ඉතින් ශේප් එකේ ගියා ඒ වැඩේට, ඒකයි පරක්කු වුනේ. අඩේ සමාවක් දීපල්ලා බං. හදිස්සි අවශ්‍යතාවයක් හින්දනේ පරක්කු වුනේ.... " කියලා කතාව ඉවර කරද්දි කන පිරෙන්න එකම හූවයි.

කතාව නම් එච්චරයි. මිනිස්සු වෙච්ච අපිට තිරිසන්නුන්ට වඩා මොලේ තියනව කියනවනේ. ඒත් අපේ හරක් කරන වැඩ වලින් අහක ඉන්න සත්තු කුලප්පු වෙලා කරදර කරහම අපේ උන්ම උන්ට වෙඩිත් තියනවා. ඔය වගේ තැනකට ගිහින් සත්තුන්ට කරදර නොකර හිටියා නම් ඔය ප්‍රශණ කරදර මුකුත් නෑ. එහෙම ඉන්න දන්නේ නැති උන්ට කියන්න තියෙන්නේ  " අනේ වැඳලා කියන්නම් උඹලා නම් එන්න එපා" කියලා. මොකද උන් කොරන වැඩ වලින් අහක යන උන්ටත් පරිප්පු කන්න වෙනවා. එසේ මෙසේ ඒවා නෙවෙයි. අතක් පයක්, නැත්නම් ජීවිතේම ගහලා යන ඒවා.

තවත් සිද්ධියක් තියනවා. දිගාමඩුල්ලේම වෙච්ච අලි සම්බන්ධ එකක්.කාර් එක ගැන විස්තරේ කීවේත් ඒ කතාවත් ලියන්න බලාගෙන. ඒත් දිග වැඩිවෙන නිසා මතු සම්බන්ධ කරනවා. ඒක දාන්නම් ඊළඟ සතියේ.

13 comments:

  1. සම්පූර්න ඇත්ත... මොලේ තියෙන මිනිස්සුන්ගෙ වැඩ නිසාම තමයි නැති කරදර ඇති කර ගන්නෙ !

    ReplyDelete
  2. ගිය සැරේ නවම් පෙරහැරේ ගිය ඇතෙකුත් කුලප්පු උනා . . කවුද පිස්සෙක් ෆ්ලෑශර් දාල ඇතාගෙ ඇහැටම කිට්‍ටු කරල පොටෝ අල්ලන්න ගිහිං . . අනේ ඒ අසරණ සතා විඳපු දුකක් ඊට පස්සෙ . . . . වැඩේ කරපු එකානං මහ චන්ඩියෙක් වගේ පිංතූරෙ පෙන්නල නයි අරිනව ඇති . . . ඒවගේ එවුං වාහනේකට හරිකමක් නෑ යටවෙලා මැරිල යන්න ඕනෙ . . .

    අලි පන්නද්දී බේරීමට මෙතඩ් එකක් . . මෙතනින් කියවන්න

    ReplyDelete
  3. අපේ මිනිස්සුන්ට මේවා කිව්වට ගණන් ගන්නේ නැහැ
    මතකද වතාවක් ප්‍රවෘත්ති වලටත් පෙන්නුවා අලියෙක වලක වැටිලා ඉඳල ගොඩ ආපු ගමන් මිනිහෙක්ව පාගල මරණ සීන් එකක්
    ඒකත් ඉල්ලගෙන කෑමක්නේ
    අලියව ගොඩ ගන්න අයට ඒ වැඩේ කරගන්න දීල අනිත් මිනිස්සු දුරකට වෙලා හිටියනම් ඉවරනේ
    අපේ මිනිස්සු මේ වගේ මෝඩ වැඩ කරලා ජීවිතෙන්ම වන්දි ගෙවනවා
    මේ කතාවේ පොරත් ඒ ජාතියේම කේවට්ටයෙක් වෙන්න ඇති

    අර අලි උපදේශකට පොඩ්ඩක් මෙහාට එන්න කිව්වනම්, වනජීවී එකේ රස්සාවක් අරගෙන දෙන්න
    අලියා ආපහු හැරිලා යන්න ඇත්තේ අලි උපදේශකට බඩගියාට පස්සේ ආපු ගඳ නිසා වෙන්නත් බැරි නැහැ

    ReplyDelete
  4. එළ ඈ..සාම චෛත්‍යය ලගට ගිහිල්ලා මාළුයි බයි‍ටුයි අරං සෙටමෝල් වෙන එක....අලිංගේ වයස කියන හැටි මට එකෙක් කියල දුන්නා පෝස්ට් එකකින්ම දාන්න ඉන්නේ ඒක....

    ReplyDelete
  5. සුවර් එකටම අලියා මාරු වෙන්න ඇත්තේ අර ගඳ නිසා වෙන්න ඕනේ.

    ReplyDelete
  6. Weni - සත්තු උන්ගේ පාඩුවේ ඉන්නකොට අපේ උන් තමයි පඬි වැඩ කොරන්න යන්නේ. අර කතාවටත් කියනවනේ වෙනි අයියේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑගහන්න එපා කියලා.

    ReplyDelete
  7. ඕනයා - උන් නෙවෙයි මැරෙන්නේ ඇන්ඩයියේ, එක්කො උන් කොරපු ගොන් වැඩෙන් කුලප්පු වෙච්ච සතා. නැත්නම් අහක ඉඳං පාඩුවේ බලා හිටපු අන්දෝ සංසාරයක් දන්නේ නැති එකෙක්.

    ලොකු පුතා - හේ හේ හේ හේ. අනේ මන්ද ඔය අහක යන සත්තු කුලප්පු කරන්න ආසා එවුන් ඉන්නවා. ලොකුවට උන්ගේ ඔළුගෙඩි තිබ්බට ඒවා ඇතුලේ මොල ගෙඩි නෑ මයේ හිතේ. අලි උපදේශක ඊට පස්සේ නම් අලි කියන වචනේ ඇහෙන පැත්තකවත් ඉන්නේ නෑ.

    ReplyDelete
  8. ඔබ නොදුටු ලොවක් - අපි සාම චෛත්‍යය ළඟට ගිහින් අලි බැලුවා මිසක් පන්සල් ගියෙ නෑ. කොහොමත් මම කියන්න හදන්නේ නෑ මම හොඳ බෞද්ධයෙක් කියලා. ඒත් ඔන්න දෙකක් දාගෙන පන්සල් ගිහින් එනවට වඩා අලි බලන්න ගිහින් එනගමන් සෙට් වෙන්න් ආපු එක එල කියලා හිතනවා. ඔය අලි ටික වෙන තැනක ඉඳන් බලන්න පුලුවන් වුනා නම් චෛත්‍යය ගාවට යන්නේ නෑ නොවෑ....... දාමුකෝ බලන්න ඔය වයස හොයන හැටිත්. ඒක නම් අපේ අලි ගුරාගේ උපදෙස් වගේ නෙවෙයි කියලා හිතනවා.

    ReplyDelete
  9. ක්සැන්ඩර් - ගඳක් නම් දන්නේ නෑ. මොකද මූ කොහාට මාරු වුනාද කියලා දන්නේ නෑ අපි තාමත්. වැවටම දීවද? පන්සලට රිංගුවද? කොහොමද වැඩේ වුනේ කියලා දන්නේ ඌම තමයි.

    ReplyDelete
  10. ගොඩයො, අපි නම් පන්සලක් පේන මානෙකට ගිහින් ආවත් එදාට බොන්නෙ නෑ..

    ReplyDelete
  11. Observer - අප්පච්චියේ ඔබා මාමා සිල් පද දෙකක්ම කඩලා. අපරාධේ බොරු නොකිය හිටියා නම් එකයි කැඩෙන්නේ..... ඇන්ඩයියේ මෙන්න ඔබා මාමා බොරු කියනවෝ...........

    ReplyDelete
  12. බොටත් සද්දෙට අධෝ වාතයක් පිට වුනත් ඇන්ඩ නැතුව බෑ වගේ

    ReplyDelete
  13. ආයෙත් අහලා. ඌ නැතුව කොහොමද ඔබා මාමා සද්දෙට මඩක්වත් ගහන්නේ. ඇන්ඩට වගේ මඩ අදහස් අපිට එන්නේ නැනේ.

    ReplyDelete