Saturday, April 23, 2011

සිතක් දිවගිය දුරක්...............

අද උදේ අන්තර්ජාලෙයේ අරමුණක් නැතිව සැරිසරන අතරතුරේ එක්තරා වීඩියෝවක් මගේ නෙත ගැටුනා. ඒ රූප පෙල නරඹන අතරේ මට දැනුනා මගේ දෙනෙත් බොඳ වෙනවා. ටික වෙලාවකින් කඳුළු කැටයක් දෙකක් මටත් හොරාම මගේ අතට වැටුනා. ඒ එක්කම මගේ හිතත් ඒ අසුරු සැනින් මටත්  හොරාම සැහෙන දුරක් දිව්වා. ඒ දුවපු දුර නිසාමයි මට මේක ලියන්න හිතුනේ. ඔක්කොටම කලින් රූප පෙල බලල හිටිමුකෝ.......



අපේ ජිවිත වලට සමීප අයගේ වෙන්වීම කොච්චර නම් වේදනාකාරිද ???  මේ රූපපෙලේ පොඩි උන් දුවගෙන ඇවිල්ලා තාත්තාගේ ඇඟේ එල්ලෙනවා දැක්කහම මට මුලින්ම මතක්වුනේ කසුන් අයියගේ  පොඩි උන් තුන්දෙනා.  අයියා නැතිවුන කාලේ මම ගියහම ලොකු පුතා මගේ ලඟට ඇවිල්ලා ඇහුවේ " කෝ තාත්තා ? " කියලා. ඒ පොඩි හිතත්  මේ රූප පෙලේ දකින පොඩි උන් වගේ දුවගෙන ඇවිත් තාත්තගේ කරේ එල්ලෙන්න සැහෙන කාලයක් හීන බල බල හිටියා කියලා මම හොඳටම දන්නවා.  ඒත් පොඩි උන්ගේ පුංචි හිත්වල තිබුන ඒ ලස්සන හීනය තත්පරෙන් තත්පරේ බොඳවෙලා යනවා කියලා මට ඊට පස්සේ ලංකාවට යන හැම පාරම තේරුම් ගියා. උන්ගේ පුංචි හිත් ඇතුලේ තිබ්බ ලස්සන බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නෑ වගේ කියලා පැටවු තුන්දෙනා ටික ටික තේරුම් අරගෙන. ඉතින් මගේ ඇසට මටත් හොරෙන් කඳුළු ආවේ අනේ උන්ටත් මෙහෙම දුවගෙන ඇවිල්ලා තාත්තගේ ඇඟේ එල්ලෙන්න තිබුනා නම් කියලා හිතුන නිසා....  ඒ විතරක් නෙවෙයි මම ලංකාවට ගියහම තුන්දෙනාම දුවගෙන ඇවිල්ලා මගේ ඇඟේ එල්ලෙන හැටි මතක් වෙලා.  බැරිවෙලා හරි අපේ පොඩ්ඩිව ගන්න කලින් දෙවනියා වඩාගත්තොත් එහෙම එතන ලෝක යුද්දේ....  ඒ යුද්දේ වෙන මොකටවත් නෙවෙයි නැතිවුන සෙනහස කොහොමහරි ලබාගන්න.....

ඊළඟට මගේ හිත දුවගෙන ගිහින් නතරවුනේ මගේ ළමා කාලයෙන්. මගේ දයාබර තාත්තාටත් ජිවිතේ වැඩි කාලයක් අපෙන් ඈත් වෙලා ඉන්නයි සිද්ධවුනේ...... යුධ හමුදාවේ සේවය කල නිසා නෙවෙයි. ඒ අපි වෙනුවෙන් ලස්සන ලෝකයක් හදන්න, අපිට වුවමනා සැප සම්පත් දෙන්න කාසි උවමනා නිසා. අපි පොඩි කාලේ ඉඳන්ම තාත්තා හිටියේ පිටරට. අපෙන් ඈත්වෙලා තාත්තා කරපු කැපවීම ගැන මට හරියටම අදහසක් ආවේ මමත් පිටරටක තනිවුන දවසේ.....  අපේ තාත්තාත් දෙතුන් සැරයක් අපිට නොකියා ඇවිත් අපිව පුදුම කරලා තියනවා. මේ රූප පෙල දකිද්දී මට මතක් වුනේ ඒ සිදුවීම් පෙල, අපේ තාත්තා සහ මගේ ළමා කාලය.......  ඒ සිදුවීම් පෙළත් මාව අවුරුදු 15ක් 20ක් ඈතට අරන් ගියා......  

ඊළඟට මගේ හිතට ආවේ අපේ විරෝධාර රණවිරුවන්ගේ පවුල් වල උදවිය.... රණවිරු පවුල් කීයක දරුවෝ කීදාහක් නම් අද ඔය විදිහට තාත්තා ඒවී කියා බලාගෙන ඉන්නවා ඇත්ද?? ඒ වගේම යුද්ධය අතරතුරේ අතුරුදහන්වෙලා, තුවලා ලබලා, කිසිම ආරංචියක් නැතුව හිටපු රණවිරුවන් මාස ගානකට පස්සේ හදිස්සියේ ගෙට ගොඩවෙන කොට කීදෙනෙක් නම් ඔය විදිහට කඳුළු වගුරවන්න ඇතිද ??

මේ වීඩියෝ එක බලද්දී  පොඩි උන් විතරක් නෙවෙයි අපි ආදරය කරන, ප්‍රිය කරන කෙනෙක්  වෙන්වෙලා ඉඳලා නැවත හමුවුනහම දැනෙන හැඟීම, සතුට කොහොමද කියලා එහෙම අත්දැකීමක් නැති කෙනෙක්ට උනත් අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.  හැබැයි එහෙම අත්දැකීමක් තියන කෙනක් මේක බැලුවොත් නම් ඇසට කඳුලක් ඉබේම නැඟෙවී...... හැබැයි මේ රූපපෙලේ ගොඩක් රූපරාමුවලින් පිය සෙනෙහස විස්තර වු නිසා මට ටී.එම් ජයරත්න මහත්තයාගේ අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී  ගීතය ඔය සියලුම සිතිවිලි මැදින් මගේ හිතට ආවා. අම්මා දසමාසයක් අපිව කුසේ තියාගෙන පරිස්සම් කරලා, මේ ලෝකෙට අපිව බිහිකරලා, ලේ කිරිකර පොවලා, අපිව ලොකු මහත් කරනබව ඇත්ත. අම්මගේ මෘදු මොලොක් ආදරයෙන් අපේ හදවත් තෙමෙන බව ඇත්ත. ඒත් ඒහා සමාන වූ සෙනහසක්, ආදරයක් තාත්තා තුලත් තියනවා.  මගේ හැඟීමනම්  තාත්තලගේ  හිතේ දරුවන් ගැන තියන ආදරේ, කැක්කුම අම්මලාට වගේ පෙන්න තෙරෙන්නේ නෑ, ඒත් ඒ ආදරය අම්මා හරහා හීන් සීරුවේ දරුවන්ට ගලායන්න ඉඩ හරිනවා කියලයි........  දරුවන් වෙනුවෙන් රහසින් කඳුළු හලන පියවරු අපි අතරේ කොච්චරනම් ඇතිද ???   දරුවන් වෙනුවෙන් සමහරවිට තමන්ට කරන්න අසීරු, අපහසු දෙයක් පවා කරන්න තාත්තාලා සුදානම්. තාත්තලා කරන ගොඩක් දේවල් අම්මා හරහා සිද්ද වෙන නිසාද කොහෙද තාත්තා ගැන කතා කෙරෙනවා අඩුවෙලා ඇත්තේ. ගීතයේ කියවෙන විදිහටම අම්මා සඳකි. නමුත් ඒ සඳට එලිය ලැබෙන්නේ කොහෙන්ද ???  ඉරෙන් නේද ?? ඉතින් ඒ සඳ එලිය කරන හිරු අපේ තාත්තා. ඒ ඉර හඳ දෙකෙන් තමයි අපේ ලෝකෙය එලිය වුනේ.........
මටත් අහන්න තියෙන්නේ ගීතයෙන් අහනවා වගේම  අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ ??? කියලා 

ඒ වගේම පියා කවුරුන්දැයි දන්නේ නැති, සමාජයෙන් අවමන්, නින්දා විඳින දරුවෝ කී දාහක්නම් අපි අතරේ ඉන්නවද කියලත් මතක් වුනා. තාත්තා කියන නමට අවමන් කරපු තාත්තලා කීදාහක් අපි අතරේ ඉන්නවද? ඒ සිතුවිල්ලත් එක්කම මට මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ  ගීතයත් හිතට ආවා...  අනේ ඉතින් අපි ජිවත්වන ලෝකේ හැටි ???? 

ඔන්න ඔය වීඩියෝ එක දිගේ මගේ සිතුවිලි දුවපු දුර......

“දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං 
යේ චිත්තං සංය මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා”*          

දුර ගමන් යන තනිව හැසිරෙන සිරුරක් නැති ශරිර කුඩුවේ වාසය කරන සිතට යන්න පුළුවන් දුරේ හැටියට මේ දුර නම් මහා දුරක් නෙවෙයි. ධම්මපදයේ එන මේ ගාථාවේ කියන හැටියට නම් යමෙක් ඒ සිත දමනය කරගනිද  ඒ පුද්ගලයා මාර බන්දනයෙන් මිදේවි. මේ මාර බන්දනවලින් කවදා නම් අපිට මිදෙන්න හැකිවේවිද?????


Friday, April 22, 2011

කසුන් අයියා

මේ ලියන්න යන්නේ මගේ ජිවිතේ මම මුහුණ දුන්න දුක්බරම සිද්ධිය ගැන... මම අවුරුදුත් ඉවරයි පොස්ට් එකේ කිවනේ මම අවුරුද්දට අවුරුදු 3 කින්  ලංකාවේ හිටියේ නෑ කියල.  මට පහුගිය අවුරුදු තුනේ අවුරුද්දට ඉන්න නිවාඩු තිබිලත් වුවමනාවෙන්ම තමයි මම හිටියේ නැත්තේ....  හේතුව තමයි මේ කියන්නේ යන්නේ.....

කසුන් අයියා කියන්නේ අපේ මහප්පාගේ පුතා. අපි පොඩි කාලෙදිම මහප්පා නැතිවුනා. මහප්පාට හිටියේ එකම එක දරුවයි. ඒ අපේ අයියා විතරයි. අපේ බාප්පාගේ පුතයි, දුවයි, කසුන් අයියයි, මමයි, නංගියි පොඩි කාලේ ඉඳන්ම එකට හැදුනේ. අපේ ගෙවල් තියෙන්නේ එක ළඟ. ඉතින් හැම වෙලාවේම උඩහට දුවන එක තමයි වැඩේ. කසුන් අයියත් නිතරම බාප්පලාගේ ගෙදර. අපිත් කොච්චරවත් දුවන්නේ එහෙට.  මමයි නංගියි එයාලත් එක්ක බලද්දී ගොඩාක් පොඩියි. ඒ 3 දෙනාම අපි දෙන්නට වඩා අවුරුදු 10 ක් විතර වැඩිමල්. කසුන් අයියට සහෝදර සහෝදරයින් නැති නිසා මල්ලියි, නංගියි විදිහට සැලකුවේ මටයි නංගිටයි.  බාප්පාගේ පුතත් කසුන් අයියගේ වයසම වගේ නිසා බාප්පාගේ පුතා සහෝදරයෙක්ට වඩා මචං විදිහට තමයි අයියා ආශ්‍රය කලේ. හැබැයි පොඩි කාලේ නම් අයියලාගේ වැඩේ මාව අන්දවන එක. මම ඉතින් පොඩි එකානේ. කොච්චරවත් මාව බයිට් එකට ගන්නවා. වෙලාවකට යකා නැඟලා මූණත් අකුලන් ගෙදර එන්නේ ආයේ උන් දෙන්නගේ මූණවත් බලන්නේ නෑ කියලා හිතාගෙන. එත් විනාඩි 10යෙන් ඔක්කොම අමතකයි. ආයෙත් ලජ්ජා නැතුව පස්සෙන් යනවා. ඒ කාලේ මතක්  වෙද්දි පුදුම දුකක් දැනෙනවා.

ඔය විදිහට තත්පරෙන් තප්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස,  සතියෙන් සතිය, අවුරුද්දෙන් අවුරුද්ද, ගෙවිලා ගියා. ගොඩාක් දේවල් වෙනස් වුනා. මම ටික ටික ලොකු වෙනකොට වැඩිහිටියෙක් බවට පත්වෙන කාලය වෙද්දී අපි තව තවත් ලං වුනා. අයියලා දෙන්න ඒ වගේම අක්කත් විවහා වුනා. මොන දේ වෙනස් උනත් අපි වෙනස් වුනේ නෑ. හැමදාම හැමදේකටම අපි එකට හිටියා. අපි හැම අවුරුද්දෙම අවුරුදු කෑවේ එකට, නෑගම් ගියේ එකට,  මඟුල් ගෙදරක, මල ගෙදරක ගියේ එකට.  දානයක්, පින්කමක් තිබ්බහම නිදි මරාගෙන වැඩ කලේ එකට, වෙසක් එකට දන්සල් දුන්නේ, වෙසක් කුඩු හැදුවේ එකට. හිටපු ගමන් සෙට් වෙලා පිස්සු නැටුවේ එකට. ට්‍රිප් ගියේ එකට, ඒ විතරක් නෙවෙයි අසනිපයක් උනහම එකෙක්ට අනිත් උන් පන කඩාගෙන දිවා, අපි පස් දෙනාගෙන් කාට ප්‍රශ්නයක් උනත් අපේ වැඩ ඔක්කොම දාලා අපි වලේ වැටිච්ච එකා ගොඩ දාන්න දැගලුවා.  වලියක් සෙට් වුනත් ළඟ හිටියේ අයියලා තමයි. වලියකදි නම් කසුන් අයියා තමයි මුලටම.  අයියලා දෙන්න බැන්දට පස්සේ දෙන්නම කාර්යබහුල වුනා. ඉතින් ඒ දෙන්නට දෙන්නා හම්බවෙන්න වෙලාව අඩු වෙද්දී දෙන්නගෙම දේවල් වලට උදව් කරන්න මට වෙලාව ඉතුරු වුනා. විශේෂයෙන් කසුන් අයියට තනියම කොහේ හරි යන්න උනහම, එයාගේ ව්‍යාපාර වැඩ වලට උදවුවක් ඕනේ වුනහම, එයාගේ ප්‍රශ්න කියන්න කෙනෙක් උවමනා වුනහම මට තමයි කතා කලේ. මොකද මට ඒ දවස් වල විශේෂ වැඩක තිබුනේ නෑ. ඕනේ තරම් වෙලාව තිබ්බා. ඉතින් මම උ.පෙ කරලා ඉන්න කාලේ අයියා මට ගොඩක් සමීප වුනා.

මම ලංකාවෙන් හා හා පුරා පිටත් වෙන්න තියන දවසට කලින් දවසේ රෑ අයියා කෑම හදාගෙන ඇවිල්ලා කන්න දීලා " උඹ ගිහින් වරෙන් මල්ලි. බය නැතුව ගිහින් තියන වැඩ ටික හරියට කරපන්. අම්මයි නංගියි බලාගන්න අපි ඉන්නවනේ. ඕනේ දෙයකට මම ඉන්නවා. ඒ නිසා මෙහෙ දේවල් ගැන උඹ කරදර වෙන්න එපා. පරිස්සමට ගිහින් වරෙන් "  කියලා තමයි මාව පිටත් කරේ. මම මෙහෙට පය ගහලා තුන් මාසයයි ගියේ..... දවසක් උදේ වරුවක දනි පනි ගාලා නැගිටගෙන ලෙක්චර්ස් යන්න ලැහැස්ති වෙනවා. පරක්කු වෙලත් තිබුනේ. ඔය අස්සේ ෆෝන් එක අතට ගත්තහම දැක්ක කෙටි පණිවිඩයක් ඇවිල්ලා තියනවා. මොන හදිස්සියේ වුනත් ඒක බැලුවා. ලංකාවේ මගේ යාලුවෙක්ගෙන්. " මල්ලි මම මේ කියන දේට කලබල වෙන්න එපා. ඊයේ රෑ කසුන් අයියා ඇක්සිඩන්ට් එකකින් නැතිවුනා. ගෙදර අය කියනකම් ගෙදරට කෝල් කරන්න එපා. මට මේක උබට කියන්නේ නැතුව ඉන්න බෑ. ඒකයි කිවේ. කලබල වෙන්න එපා. " මගේ ඇඟම පණ නැතිවුනා. වචනත් එන්නේ නෑ. කරන්න ඕනේ මොකක්ද කොහොමද කියලා තේරුම් ගන්නත් බැරි උනා. ඒ විතරක් නෙවෙයි මම හිතුවෙම මේක විහිළුවක් කියලා. මම විශ්වාස කලේ නෑ පොඩ්ඩක්වත්. එහෙම්මම ඇඳේ වාඩිවෙලා ගත්තා කෝල් එකක් ඒ මනුස්සයාට විස්තර දැනගන්න. අනේ ඒ පණිවිඩය විහිළුවක් එහෙම නැත්නම් බොරුවක් වුනා නම් කොච්චර හොඳද??  ඒත් සිද්ධිය ඇත්ත. ඒවෙලාවේ මගේ යාලුවත් ඉස්පිරිතාලේ. ( මෙන්න අනතුර ගැන පොඩි විස්තරයක් උවමනා නම් .)  ගෙදරින් කතා කරනකම් මම හිටියේ කොහොමද කියලා නිච්චියක් නෑ. ගෙදරින් කෝල් එකක් ආවත් අම්මටවත් නංගිටවත් වචනයක් කියාගන්න බැරි වුනා.  අඬනවා ඉවරයක්‌ නෑ. මෙහෙ ඉන්න මටත් ඇඬෙනවා. මොකද මට ගෙදරින් නොකීවට මම දැනගෙන හිටියනේ.... ටිකකින් තාත්තා කතා කලා. එතකොටත් තාත්තා ලංකාවට යන්න යන ගමන්. මටත් යන්න උවමනාව තිබ්බත් තාත්තා කැමති වුනේ නෑ. තාත්තා තේරුම් කරලා දුන්නා ගොඩක් දේවල්.

" ඔයා ගියා කියලා අයියට ලැබෙන අමුතු දෙයක් නෑ. දැන් කවුරු හරි ඉන්න ඕනේ මළගෙදර වැඩ ටික කරන්න. ඉතින් මම යනවා. ඔයා තුන් මාසෙට ගිහින් ඒ වැඩ ටික කරන්න. ඔයා ඔහෙට ආපු ගමන්ම තියන වැඩ දාලා ඇවිල්ලා හරියන්නේ නෑ. අනික අපි දෙන්නගෙන් කවුරුහරි ඉන්න ඕනේ තුන් මාසෙටත් "
 ඉතින් අමාරුවෙන් හරි එවෙලේ මම හිත හදාගෙන මෙහෙ හිටියා. හැබැයි ඒ දවස් ටිකේ හිටියේ කොහොමද කියලවත් හරියට ගානක් නෑ.

 හිත හදාගෙන විභාග ඉවර වෙනකම් අමාරුවෙන් හිටියා. විභාගේ ඉවර වෙච්ච ගමන් ලංකාවට ගියා. මම ලංකාවෙන් එද්දී මට කන්න දීලා අපේ අම්මවයි නංගිවයි බලාගන්නම් කිව මනුස්සයා අද කොහෙද ? මම කොහොමද විශ්වාස කරන්නේ ?  අයියෝ මම අයියලාගේ ගෙදරට ගොඩ වුනහම මට පුදුමාකාර හිස් හැඟීමක් ආවේ. ජීවිතේට සමීප කෙනෙක් අකාලයේ අපි අතරින් වෙන් වුනහම දරාගන්න තියා ඒ දේ විශ්වාස කරන්නත් අමාරුයි. ඒ අස්සේ අයියගේ ලොකු පුතා ඇවිත් " බාප්පේ, බාප්පේ, ඇයි තාත්තා ආවේ නැත්තේ ??  ඔයාට තාත්තා හම්බ වුනේ නැත්ද ? තාත්තාත් රට ගියා " කියල මගේ ඇඟේ එල්ලුනා. මම මොකක්ද දෙන උත්තරේ ??  මටම හිතාගන්න බැරි උනා. අයියාගේ පැන්චිට එතකොට මාස 4යි. අක්කා පොඩි උන් 3දෙනා වට කරගෙන ඔහේ කල්පනා කර කර ඉන්නවා. ජිවිතේ හැටි... අයියා අපිව දාලා ගියේ 2008 ජනවාරි 15 වෙනිදා . තුන් මාසේ තිබුනේ හරියටම 2008 අලුත් අවුරුදු පහුවුන ගමන්ම වගේ.. 2008 අලුත් අවුරුද්දේ මම ලංකාවේ හිටියා. ඒ අයියගේ දානෙට. අවුරුද්ද ගෙවුනේ අයියාගේ පොඩි උන් එක්ක. මට අවුරුද්ද එපා වුනේ අපේ නෑදෑයෝ කියන සමහරක්   අයියාගේ තුන් මාසේ ඉවර වෙන්නත් කලින් රතිඤ්ඤා එහෙම පත්තු කරලා ලිප පත්තු කරලා කියලා ආරංචි උනහම. අයියා ඉන්නකම් පණ යනකම් උගෙන් උදව් එහෙම ගත්ත මිනිස්සු. ඒ විතරක් නෙවෙයි කැවුමක්, කොකිසක්‌ අරන්  නෑගම් එහෙමත් ගියා.  මට තාමත් එහෙම නෑදෑයොත් එක්ක අවුරුදු කන්න යන්න හිත හදාගන්න අමාරුයි. ඒ නිසයි මම ඊට පස්සේ හැම අවුරුද්දක්ම මඟ ඇරියේ.......

 නැකතට රතිඤ්ඤා පත්තු වෙනවා ඇහුනම මට ඇඬුම්  ආවේ අයියයි මමයි හැම අවුරුද්දෙම තරඟෙට රතිඤ්ඤා පත්තු කරන හැටි, පාරවල් දිගේ අහස්‌ කූරු ඇරපු හැටි මතක් වෙලා.  හැමදාම නෑගම් ගිය හැටි මතක වෙලා. මට හොඳට මතකයි අවුරුදු ගානකට පස්සේ මම සැහෙන වෙලා ඇඬුවා. ඉපදුන දවසේ ඉඳං හැම අවුරුද්දකම අපිත් එක්ක හිටපු අයියා නැතිව අපිට ගතකරන්න වුන පලවෙනි අවුරුද්ද. මට වගේම අයියගේ වියෝව බාප්පාගේ පුතාටයි, දුවටයි දරා ගන්න බොහෝම අමාරුවුනා. තව අදටත් මට හැම දවසෙම අයියාව දවසට කීප වතාවක් මතක් වෙනවා. මොනවා දැක්කත්, මොනවා ඇහුනත් ඒ දේවල් අතීතයේ අපි දෙන්නටම සම්බන්ධ වෙලා තියනවා...  ඒ නිසාම හැමවෙලේම ඒ මතකය මාත් එක්ක ජිවත් වෙනවා.  ඒ පාර නිවාඩුව ඉවරවෙලා ලංකාවෙන් ආවත් ඒ දුක, ඒ වියෝව, ඒ අඩු පාඩුව තාමත් හිතේ එහෙමමයි.....

අයියා වෙනුවෙන් මට කරන්න තියන එකම දේ අර පොඩි උන් 3 දෙනාගේ අනාගතය ලස්සන කරන එක. අයියාගේ පැටව් 3දෙනා  යහපත් මිනිස්සු විදිහට මේ සමාජයට එකතු කරාට පස්සේ තමයි මම අයියා වෙනුවෙන් යුතුකම් ඉෂ්ටකලා වෙන්නේ. එදාට නම් මට අවුරුදු වගේ තියෙයි. අයියා අපි අතරින් වෙන් වෙලා අද වෙද්දී අවුරුදු 3යි මාස 3 කුත් ගෙවිලා. දැන් අපේ පොඩ්ඩි ඇවිදිනවා, පණ්ඩිත කතා කියනවා, එක එක කෝලං ගොඩයි. ලොකු පුතා ඉස්කෝලේ යනවා. අනේ මේ දේවල් දකින්න අයියාට ඉන්න වාසනාව නැතිවුනා. ඒත් අයියා කොහේ හරි ඉඳං මේ දේවල් බලාගෙන ඇති කියලා විශ්වාසයි...... මමත් මේ රටක හිර වුන නිසා මටත් උන් එක්ක ගෙවන්න තියන කාලය සීමිත වෙලා.....   නැවත ඉපදෙන ආත්මයක මගේම අයියා වෙලා ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතුනත් එහෙම ආත්මාර්ථකාමී ප්‍රාර්ථනාවක් කරන්න මට හිත දෙන්නේ නෑ.... ඒ නිසා අයියාට  මේ සසර ගමනේ තවත් ඇලී ඇලී දුක නොවිඳ මේ සසරෙන් එතර වෙන්න මාර්ගයක් විවෘත වේවා!!!
කසුන් අයියාට  නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!

Saturday, April 16, 2011

අවුරුදුත් ඉවරයි

ලැබුවා වූ නව වසර සැමටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන  සාමය සතුට පිරි වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා !!!   අපිට නම් ඉතින් මොන අවුරුදුද?  අවුරුදු දවසෙත් අපි වැඩ. එහෙම වෙලත් නැකතට නැතත් අවුරුද්ද දවසේ කිරිබත් කෑල්ලක් කන්න තරම් වාසනාවක් මට තිබුනා.  ඒ මම වැඩ කරන තැන මාත් එක්ක වැඩ කරන අක්කා කෙනෙක්ටයි එයාගෙ හොඳම යාළුවාටයි පිං සිද්ධ වෙන්න. අක්කාගේ යාලුවා නොනගතෙට වැඩ අල්ලලා කිරිබත් උයලා තිබුනා.  මාස ගානකට පස්සෙ රසම රස කිරිබත් කැල්ලක රස බැලුවා. කිරිබත් උයපු සහ මට ආරාධනා කරපු දෙන්නාටම බොහොම පිං. එහෙමවත් ආරාධනාවක් නොලැබුනා නම් මේ අවුරුද්දෙත් ගොඩයට හුළං තමයි. ඔය පල්ලෙහා තියෙන්නේ අක්කලා ලැහැස්ති කරපු, අපි හා හා පුරා කියලා ඉඳුල් කරපු අවුරුදු මේසේ.




 පහුගිය අවුරුදු 3ම මම අවුරුද්දට ලංකාවේ හිටියේ නෑ. නොහිටින්න හේතුව පස්සෙ ලියන්නම්. ගිය අවුරුද්දේ නම් මම ඉන්දියාවේ. ඊට කලින් අවුරුද්දේ ලංකාවෙන් ආවේ පරණ අවුරුද්ද දවසේ.  මේ අවුරුද්දෙත් මෙහෙ. මම මෙහෙ හිටියට  නිතරම ලංකාවේ රේඩියෝ එක අහනවා. පහුගිය ටිකේම රේඩියෝ එක පුරවලා අවුරුදු අසිරිය. ඕවා ඇහෙනකොට නිකන්ම මම ලංකාවේ වගේ තමයි. හැබැයි රේඩියෝ එකෙන් නම් ඇහුනේ අවුරුදු අසිරියට වඩා අවුරුදු වෙළදාම. අපි දන්න විදිහට නම් අවුරුද්ද කියන්නේ සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්තවීම සැමරීම. ඒ වගේම දන්න විදිහට නම් අවුරුද්ද කියන්නේ පරිසරය එක්ක බැඳුන උත්සවයක්. ඒත් මට රේඩියෝ එක අහනකොට නම් මේ කාලේ වැඩිපුර ඇහුනේ කඩවල් වල ගොඩ ගැහුනු රෙදි ගොඩවල්, සපත්තු ගොඩවල්, බිස්කට් ජාති, කේක් ජාති, අයිස් ක්‍රීම් ජාති, නෑගම් යන්න ගෙනියන්න ඕනේ දේවල් විකුණගන්න රටේ මිනිස්සුන්ව අන්දවන්න ගත්තු උත්සහයන්.  අනේ මන්දා, මිනිස්සු අවුරුදු කනවද? අවුරුදු මිනිස්සු කනවද කියලයි හිතාගන්න බැරි. එහෙම කිවේ මම ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ලංකාවෙන් එන්න කලින් දැකපු සිද්ධියක් නිසා.  ලංකාවෙන් එන්න කලින් ටවුන් එක පැත්තේ ගියා ඕනේ කරන දේවල් හොයාගෙන එන්න. අම්මෝ  සෙනග. හුස්ම ගන්න ඉඩ නෑ. ඔක්කොම හරි මම ලොකුම පෝලිම දැක්කේ උගස්‌ මධ්‍යස්ථාන වල. අතේ, කනේ, කරේ තියන දේවල් උගස්‌ තියල අවුරුදු කනවා. අවුරුද්දටම කන්නේ අදින්නේ එක දවසයි වගේ තමයි වැඩ. එහෙම අවුරුදු කාලා ඊට පස්සේ මුළු අවුරුද්දෙම ණය බේරනවා.


තව දෙයක් තමයි අවුරුද්දට නගරයේ ගම මාකට් කිරිම සහ ගමේ නගරය මාකට් කිරීම. එහෙම කිවේ නගරයේ සුපිරි වෙළදසල් වල සේවිකාවන්ට අන්දනවා රෙද්ද හැට්ටේ. ගහනවා පොල අතු මැස්සක්. එහෙම කරලා ගම මාර්කට් කරනවා. ගමේ රෙදි කඩේට අවුරුද්දට ගෙනත් දානවා නගරයෙන් අලුත් ෆැෂන්. අලුතින් ගෙනාපුවා අවුරුද්දට කියලා ගහනවා මිනිස්සුන්ගේ ඇඟේ. කොහොම කරත් අන්තිමට අවුරුදු කාලා තියෙන්නේ මුදලාලිලා. 


මම කලින් කීවානේ අවුරුද්ද පරිසයට බද්ද වුනු උත්සවයක් කියලා. අවුරුද්දට හේතුව වෙන්න සුර්යය සංක්‍රාන්තිය. සුර්යයා නිසානෙ මුළු ලෝකෙම පවතින්නේ. කෙලින්ම පරිසයට සම්බන්ධයි. අපේ අම්මා හැමදාම  නැකතට ගනුදෙනු කලේ ළිදත් එක්ක. අවුරුද්දේම වතුර සපයන ළිදට කලගුණ සැලකීමක් විදිහට. එකත් පරිසරයට සම්බන්ධයි. ගොඩක් වෙලාවට අපේ ගම් වල උදවිය  වැඩ ඇල්ලුවේ ගහක් හිටවලා. ඔය වැඩ අල්ලන වැඩේට කිරි ගහ තමයි බොහොම ප්‍රසිද්ධ.  හිස තෙල් ගාන්න නානු හැදුවේ කැලෙන් හොයාගත්ත ඖෂධ වලින්. පයට, හිසට ගහක කොළ අත්තක් තමයි ගත්තේ හිස තෙල් ගාන්න. මේ හැමදෙයක්ම පරිසරයට සම්බන්ධයි. ඒත් අද අවුරුදු කාලේදී පරිසරය ගැන කතා කරනවා අඩුයිනේ. හැමෝම තමන්ගේ බඩ වඩාගන්න හදනවා මිසක්. අනේ මේ සුභම සුභ අලුත් අවුරුද්දේ අපේ වටේ තියන ගහ කොළ, ඇළ දොළ, සතා සීපාව අමතක කරන්න එපා. අපේ මිතුන් මිත්තෝ අවුරුදු සැමරුවේ ඒවත් එක්ක. බොහොම අර්ථවත් විදිහට. අවුරුද්ද විකුණන මුදලාලිලා පෝසත් කරන්න විතරක් අවුරුදු කන්නේ නැතුව පොඩ්ඩක් මේ ගැනත් හිතලා බලමු නේද?  


අනික අද අපි අතරේ ඉන්න ගොඩක් ඈයෝ අවුරුද්ද දවසට හැමෝටම සුභ පතලා ඊට පස්සෙ මුළු අවුරුද්දම අර මිනිස්සුන්ගේ දියුණුවට අකුල් හෙලන්න පුරුදු වෙලා. ඔය අවුරුදු දවසට විතරක් කරන චාරිත්‍ර වාරිත්‍ර සිතුම් පැතුම් මුළු අවුරුද්ද පුරාම තියනවා නම් අපේ සමාජය මොනතරම් ලස්සන වෙයිද? අවුරුද්ද කියන්නේ තරහ මරහා අමතක කරලා හැමෝම සතුටු වන සමයක්. මුළු අවුරුද්ද පුරා කලකෝලාහල කරලා අවුරුදු දවසේ විතරක් සාමයෙන් හිටියට වැඩක් නෑනේ.  ඉතින් මේ අවුරුද්දෙවත් සැමදෙනාටම අවුරුදු පැතුම් අවුරුද්දේ 365 දවසෙම හැමෝගෙම හිත් වල රැදෙන, සාමය සතුට මුළු අවුරුද්ද පුරාම පැතිරෙන, අපි ගැන වගේම ගහ කොළ, ඇළ දොළ ගැන සලකා බලන්න හිතෙන පරිසරයට මිනිස්සුන්ට මනුස්සකමට ආදරය කරන්න හිතෙන සුන්දර සිත්  පහළ වේවායි ගොඩගේ පැතුම.  ආ....තව කාරණයක්. ඊළඟ අවුරුද්දෙදිවත්  අසරණ, අහිංසක පාරිභෝගික ජනතාව වන අපිව මංකොල්ල නොකන අලුත් අවුරුද්දක් දකින්න වාසනාව හැමෝටම ලැබේවා !!!!!

Sunday, April 10, 2011

තනියට තනිකම.....................



තනිකම ඇවිදින් තනියට මා ළඟ හිඳ            ඉකිබිඳිනවා
පාළු රැයේ හමන සුළං මූසලකම                 මුසු කරනවා
කුටියක සිරවුනු මාගේ හදවත හඬනව            ඇහෙනවා
නොරටක තනිවු මාහට මගෙ අසරණකම      දැනෙනවා


තනිකම සැපයි මිහිරියි කියලා සිතුනත් මට          විටෙක
ඒ තනිකමම හැඬවූවා මා රඳවා                     සිර ගෙයක
හුදකලාව අතරින් සිහිවන නටබුන් වූ                    මතක
කඳුලැලි ගෙනාවේ දෙනෙතට බොඳකර දෙනුවන් හනික


පෙරදා ගෙවූ කාලය  සමඟින් මාගේ මිතුරු         කැළ
නෑදෑ පිරිවරයි, පවුලේ උදවිය මට දුන්               රුකුල
තනිවූ විටදි සිහිවීලා හදවත පිරුණා                   කඳුල
සඟවා ගතිමි කඳුලට හිමිකරදි  මගෙ හද             පතුල


බන්ධන වැඩි විටදි නිතරම  ජීවිතයට                දුක ඒවී
වෙන්වූ විටදි ප්‍රියයන්ගෙන් දුක් ගිනි හද          ඇවිලේවි
බුදු හිමි දෙසූ ඒ  බණ පද මගෙ දෙසවන්           පුරවාවි
ඒ මෘදු වචන තරමක හෝ මාහට            සැනසුම දේවි



Saturday, April 9, 2011

පුංචි පහේ මං........

පිසාචයා ලියපු අපේ ගුරුතුමා පෝස්ට් එක කියවද්දි මට මතක් උනා තවත් සින්දුවක්. ඒ සින්දුවත් එක්කම මම මගේ අතීතයට ගියේ අසුරු සැනින්. සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන ඉස්සර මං ගිය පාසල ඇරිලා  කියන සින්දුව අහලා ඇතිනේද හැමෝම. අහලා නැති කෙනෙක් ඉන්නවානම් මෙන්න මෙතන ඔබන්නකෝ. මේ සින්දුවේ විස්තර කරන පොඩි එකා තරම් නම්  මම වාසනාවන්ත නෑ. මොකද මටත් ඉස්කෝලේ යන්න වුනේ පාසල් සේවයේ, පහු පහු වෙද්දි නම් බස් එකේ. මේ කියන පොඩි එකාට වගේ මට සොබාව සෞන්දර්යය රස විඳින්න ලැබුනේ නෑ.  ඒත් මට 5 ශිෂ්‍යත්ව පන්ති යද්දි නම් ඒවාගේ පොඩි පොඩි අත්දැකීම් ලැබුනා. ඉතින්  මේ සින්දුව ඇහෙන  ගානේ මට මතක් වෙන්නේ පන්ති ගිය හැටි. ඒ මතකය ඇවිස්සුනු නිසා මට හිතුනා ඒ ගැන පොඩ්ඩක් ලියන්න.

මම ඒ කාලේ පොඩි එකා. දැනුත් ඉතින් මහ වයසක්යෑ.....  අර කලින් පෝස්ට් එකක ලීවා වගේ අපේ අම්මා මට පන්න පන්න උගන්නන්න දැඟලුවේ නෑ. එහෙම කිවේ  දැන් ඉන්න ගොඩක් දෙමව්පියෝ,  පොඩි උන්ට තියන නිදහස සම්පූර්ණයෙන් දින, කාල වකවානු නැතුවම අහෝසි කරලනේ. අපේ අම්මා නම් එහෙම කලේ නෑ. සෙල්ලම් කරන්න යන්න නොදී එක වසරේ ඉඳන් මාව පන්ති ගානේ ඇදගෙන යන්න ලැහැස්ති වුනේ නෑ. මට පොඩි කාලේ පොඩි එකෙක් විදිහට ලැබෙන්න ඕන අත්දැකීම් ලැබෙන්න ඇරියා. අනිත් උන් 2 වසර 3 වසර ඉඳන් ශිෂ්‍යත්ව පන්ති ගියාට අම්මා ඒ කාලේ මට නිදහසේ ඉන්න දුන්නා. හැබැයි හතර වසර වෙද්දි මගේ පන්තියේ හිටපු ගොඩක් උන් පන්ති යනවා. මටත් ඔන්න පන්ති යන්න ඕනේ වුනා. ඒකාලේ පන්ති යනවා කියන්නේ ලොකු වැඩක්. ගිහින් කන්නේ අමුම අමු කට්ටක්. ඒ වුනාට ඒක හෙන ලොකු වැඩක්.

තාත්තා පිටරට නිසා අම්මට නංගිත් එක්ක මාව අරන් ඔය ඈත පන්තිවලට යන්න අමාරුයි.  ඒ නිසා මාව දැම්මා අපේ ගමේම පන්තියකට. පියසීලි ටීචර්ගේ පන්තියට. ටීචර් පන්ති කලේ ටීචර්ලගේ ගෙදර. අපේ ගෙදර ඉඳන් ගම ඇතුලට කිලෝමීටර් එකහමාරක් දෙකක් යන්න ඕනේ. ගම ඇතුලේ නිසා ආරක්ෂාව හොඳයි. අම්මට පස්සෙන් ගිහින් බලන්න ඕනේ උනේ නෑ. ඔන්න හතර වසරේ මැදක් විතර වෙද්දි මම පන්ති යන්න පටන් ගත්තා. පයින් තමයි ගමන. අපරාදේ කියන්න බෑ පන්ති යන්න සෙට් එකකුත් හිටියා. සෙට් එකම අපේ ගේ ලඟින් යන්නේ. අපේ කොඩිකාරයත් පන්ති එනවා. ඌ එන්නේ තාත්තා එක්ක. තාත්තා ඌව බයිසිකලෙන් පන්තියට ගිහින් දානවා. කොඩිකාර කියන්නේ මාත් එක්ක 1 වසරේ ඉඳන් මේ දක්වාම ඉන්න එකෙක්. ඌ මගේ අතිජාත මිත්‍රයා උනත් තාත්තා එක්ක එන නිසා ඌව මඟ අරිනවා.මොකද අපි සෙට් එකට වැඩ තිබුනේ පන්තියට යන එන අතරමඟ. කොඩ්ඩගේ තාත්තට හරි පන්තියට එන වෙන කාගේ හරි දෙමව්පියෙක්ට මාට්ටු උනොත් අපේ වැඩ ඔක්කොම හබක්. අපිට ඔය තිබ්බ තිරිකිස් වැඩ නිසා තමයි මට අර සින්දුව ඇහෙද්දි පන්ති ගිය හැටි මතක් වෙන්නේ.

ඔන්න අපි සෙට් එකට උදේම පන්තියට යන අතරේ තියනවා ලොකු රාජකාරියක්. ඒ තමයි සංඛ්‍යාලේඛනයක් හදන්න. හතර වසරේ උන්නු කිරි කජු කොල්ලන්ට මොන සංඛ්‍යාලේඛනද කීවලු?   සංඛ්‍යාලේඛනය වෙන මොකවත් ගැන නෙවෙයි, පාර දෙපැත්තේ වතුවල තියන රඹුටන් , අඹ, පේර, ජම්බු, ලොවි, වෙරළු....... මෙකී නොකී ගඩා ගෙඩි ගැන තමයි. කොකෝවා ගහකුත් තිබ්බා හොඳට මතකයි. උදේට ඔය හදන රිපෝට් එකේ හැටියට තමයි පන්ති ඇරුනහම වැඩ සිද්ධ වෙන්නේ. අනික ගිය සතියේ පන්ති එද්දි ගස් වල තිබ්බ පැහිච්ච නැති ගෙඩි ගැන එහෙමත් හොඳ මතකයක් සෙට් එකටම තිබ්බා. හොඳට ඉදුනු පේර, රඹුටන්, ජම්බු වගේ දෙයක් උදේ දැක්කොත් පන්ති ඇරෙනකම් කට්ටියට සිහි නෑ. පන්ති ඇරිච්ච ගමන් සෙට් එකම නවතින්නේ ගස් යට තමයි. අනිත් එක ඔය වතු වල අයිතිකාරයෝ ගෙඩි කැඩුවා කියලා ගහන්න බනින්න ආවේ නෑ. සමහර වෙලාවට අයිතිකාරයා දැක්කොත් අහලම කඩාගන්නවා. ලඳු ගානේ රිංගන්න හේතුවක් නැති උනොත් ඒ කිවේ කඩන්න තරමේ පැහිච්ච ඉදිච්ච ගඩා ගෙඩි නැති වුනොත් ඊළඟ වැඩේ තමයි ඇළකට බැහැලා මාළු අල්ලන එක. අපේ ගම මැද්දේ ලොකු වෙල්යායක් තියනවා. ඔය වෙල අයිනෙන් යන පොඩි ඇළට බැහැලා සිලි කවරයක් හොයාගෙන මාළු අල්ලනවා. ඔය මොන කෙලිය කරත් මම නම් ගමේ මිනිහෙක් දකී කියලා පට්ට බයේ තමයි ඉන්නේ. වෙන මොකවත් නෙවෙයි සමහර වෙලාවට මම ගෙදර එන්න කලින් මගේ වැඩ ගැන ගෙදරට සියළු විස්තර ඇතුව වාර්තාව ඇවිල්ලා. එදාට ඉතින් ඉඳලා ඉවරයි.

පහ වසරට ආවහම අම්මා මට බයිසිකලේ පන්ති යන්න දුන්නා. බයිසිකලේ කීවේ බාගේ බයිසිකලයක්. හැබැයි කොන්දේසි බර ගානක් දාලා තමයි අවසර දුන්නේ. හයියෙන් යන්න බෑ. ඩබල් දාලා යන්න බෑ. පැලවත්ත කන්දෙදි බැහැලා බයිසිකලය තල්ලු කරගෙන එන්න ඕනේ. ( පැලවත්ත කන්ද කියන්නේ පට්ටම බෑවුමක් ) මලාට බයිසිකලේ කන්දේ පදින්න නම් බෑ. එද්දි නම් පල්ලම. ආයේ මුකුත් නෑ වෙඩිල්ල වගේ එන්න පුලුවන්. පල්ලම ඉවර වෙන්නේ වෙල් යාය පටන් ගන්න තැනින්. ඒ එක්කම වංගුව.  කොහොම කොහොම හරි අම්මා  ඔය මොන කොන්දේසි දැම්මත් මම ඉතින් ඔය කරන්නේ නෑ කීව හැම දේම කොලා. පුදුම කරුමයක් කියන්නේ හැමදාම අම්මට ආරංචි වෙනවා මම කන්ද පල්ලමේ නැඟලා ආවහම. ඩබල් දාලා ආවාහම. මම ඒ දවස් වල ඔය කේලම් කියන එකා හොය හොය හිටියේ.හෙව්වේ ඌට ගහන්න එහෙම නෙවෙයි අනිත් දවසේ ඌට පෙන්නේ නැතිව එන්න. පුදුම තරහක් තිබුනේ ඌත් එක්ක.

දවසක් පන්තිය ඇරෙන්න කිට්ටුව වැස්සක් පටන් ගත්තා. ඉවරයක් නැතුව වහිනවා. වැස්සක තෙමෙනවා කියන එක මොනතරම් ආතල්ද? මම ඉතින් පොත් ටිකත් සිලිකවරයට දාගෙන ඕන එකක් කියලා බයිසිකලේ අරන් එලි බැස්සා. අර පල්ලමට කිට්ටු කරහම වැස්ස නිසා තල්ලු කරන් යන්නත් කල්පනා කරලා ආයෙත් වීරයා වගේ පැදගෙනම පල්ලම බැස්සා. පල්ලම කාලක් විතර ආවාහම බ්‍රේක් ගහලා බැලුවා. උදේ හොඳට වැඩ කරපු බ්‍රේක් හදිස්සියෙ අතුරුදහන් වෙලා. බ්‍රේක් වදින්නෙම නෑ. එහෙන් වැස්ස. මෙලො දෙයක් කල්පනා කරන්නවත් වෙලාවක් තිබුනේ නෑ. මම බුලට් එක වගේ කන්දපල්ලමේ එනවා. වෙල්යායට කිට්ටු උනහම හොඳට ඇස් දෙක තද කරලා වහගත්තා.  හැඩල් එක හයියෙන් අල්ලගත්තා. එච්චරයි මතක. කොල්ලයි බයිසිකලෙයි දෙන්නම උඩින් ගිහින් නතර වුනේ වෙලේ. දඩ බඩ ගාලා නැඟිටලා බැලුවා කවුරුත් දැක්කද කියලා. වෙලේ හිටපු මි හරක් රංචුව ඇරෙන්න වැස්ස නිසා කවුරුත්  අහල පහල නෑ. අතක් පයක් කැඩුනේ නෑ හොඳ වෙලාවට. ඇඟ පුරා මඩ, ගන්න සසරක් නෑ.  මඩ පිටින් ගියොත් වැඩේ මාට්ටු නිසා වැස්සෙම ඇළට බැහැලා මඩ හෝදගෙන කොල්ලා ගෙදර ආවා. ඒත් වැස්සේ බයිසිකලේ ආපු නිසා හොඳට බැනුම් ඇහුවා. මේ සීන් එකට මං මෙච්චර කල් පබ්ලිසිටියක් දුන්නේ නෑ. ඒ කාලේ ඉතින්  විලි ලැජ්ජාව නිසා කාටවත් සීන් එක කීවෙ නෑ. ඔන්න ඒකත් අද කීවා.

ඔන්න ඔහොමයි පුංචි පහේ ගොඩයා ශිෂ්‍යත්ව පන්ති ගියේ. පන්තියට වුනත් හෙනම ආතල් එකේ තමයි ගියේ. සමහරු ගොඩයට ශිෂ්‍යත්වය පාස් වෙන්න තරමේවත් ලකුණු ගන්න බෑ කියලා කියද්දි, පියසීලි ටීචර්ට පිං සිද්ධ වෙන්න ගොඩයා ශිෂ්‍යත්වේ හොඳට පාස් වෙලා ලොකු ඉස්කෝලෙකටත් ගියා. පන්තිය යන අතරමඟ මොන නාඩගම නැටුවත් පන්තියෙදි වැඩ ටික හොඳට කලා. ඒ පියසීලි ටීචර් බොහොම ආදරයෙන් කරුණාවෙන් උගන්නපු නිසා. අදටත් ලංකාවට යන වෙලාවට එතුමිය බලලා එනවා. මට අර සින්දුව ඇහෙනකොට ඔය පරණ සිද්ධි මතක් වෙනවා.අපි ඉතින් පන්තිය ගියත් ඒ අතරතුරෙත් කලේ කැලේ පැන්න එක, ගඩා ගෙඩි හොයපු එක, ඇළවල්වල දන්ඩි පැටව් අල්ලපු එක. ඒත් ඉතින් අද කාලේ පොඩි උන්ට නම් මෙහෙම අත්දැකීම් නෑ. උන්ව බඩට ආපු දවසේ ඉඳන් අම්මලා උන්ව පන්ති යවනවානේ. ඒ යවන්නෙත් ඉතින් ලොකු ලොකු පන්ති වලටනේ. අනික උන්ටත් ඉතින් වීඩියෝ ගේම්, කොම්පියුටර්, ෆෝන් වලින් තොර ලෝකයක් නෑ. තියන තරඟය නිසා පොඩි උන්ට උන්ගේ ළමා කාලය අහිමි වෙලා. හිතක් පපුවක් නැති, ගහ කොල, සතා සීපාවා තියා අම්මා තාත්තාවත් අඳුරන්නේ නැති පරම්පරාවක් බිහිවෙන එක ගැන එක අතකට පුදුමයකුත් නෑ. මොකද උන්ට ඒ දේවල් අඳුරගන්න වෙලාවක්, අවස්ථාවක් නෑනේ.............

Sunday, April 3, 2011

අවසාන මහා තරඟය............


මේ ලියන්න යන්නේ ඊයේ මැච් එක ගැන විචාරයක් එහෙම නෙවෙයි.  කොහොමත් එහෙම ඒවා ලියන්න තරම් මම පොරක් නෙවෙයි. මැච් එක පැරදුනාට පස්සේ මොන විචාර දුන්නත් වැඩක් නෑනේ. මේ ලියන්න හදන්නේ මැච් එක බලන්න ගියපු මට ඇහුන, දැකපු දේවල් සහ මට හිතුන ඒවා. අනිතිම ලාස්ට් ෆයිනල් මැච් එක හින්දා මගේ යාළුවෝ සෙට් එකම කතා කලා එලියට ගිහින් මැච් එක බලන්න. ලංකාවේ ඉන්නවා වගේ නෙවෙයිනේ පිට ඉන්නකොට. කාමරේට වෙලා ඉන්ටර්නෙට් එකෙන් ඕක බලන එකේ කිසිම ගතියක් නෑනේ. ඉතින් කට්ටියම කතා කලා කොහේ හරි පබ් එකකට හරි රෙස්ටුවරන්ට් එකකට හරි ගිහින් මැච් එක බලමු කියලා. ගාණකට තට්ටු වුනත් කට්ටිය සෙට් වෙලා බියර් එකක්  එක්ක තරඟය බලන එකේ ෆන් එක වැඩි නිසා මමත් හා කීවා.ඊයේ දවල් වෙනකම්ම යන්න තැනක් හෙව්වා. මෙහෙ ක්‍රිකට් පෙන්නන්නේ ගොඩක් වෙලාවට ඉන්දියන් පබ් වල. මොකද මෙහෙ ක්‍රිකට් ජනප්‍රිය නෑ.  ගොඩක් තැන් වලට කතා කරහම ඒවා බුක් කරලා. අනික ඉන්දියන් පබ් වල ඉන්දියන් උන් පිරිලා. අපිට එහෙම තැනකට යන්න ඕන වුනෙ නෑ.

හවස් වෙද්දි එක එකා අදහස වෙනස් කරගෙන ඉතුරු වුන අපි පස් දෙනා ගියා රෙස්ටුවරන්ට් එකකට. මගේ ඉන්දියන් යාළුවෝ දෙන්නෙකුත් ආවා. හොඳ තැනක් ඕන නිසා කලින්ම ගියා.වැඩි කලබලයක් නෑ. අපි හිතුවා අවුලක් නැතිවෙයි කියලා. මෙන්න බොලේ ටිකකින් කඩාපාත් වුනේ නැත්ද ඉන්දියන් උන් 20ක් 30ක්. ලංකාවෙන් අපි පස් දෙනයි. ටිකකින් බලද්දි ඉන්දියන් උන් ඉන්නවා 40ක් විතර." අයියෙ සෙට් එකම ඉන්දියාවෙන් වගේ, අපි විතරයි ලංකාවෙන්, මාර ගේම නේද? කෑවොත් නම් ඇපත් නෑ. අනේ කොහොමහරි ගහපල්ලා." ඒ මාත් එක්ක ගියපු උන්. අනිත් කාරණය අපියි ඉන්දියන් උනුයි පෙනුමන් එක වගේ නිසා වාඩි වෙලා ඉන්න උන් ඔක්කොම ඉන්දියන්මද කියලා ෂුවර් නෑ. ඔන්න මැච් එක පටන් ගත්තා.

මැච් එක පටන් අරන් විනාඩි 3ක් 4ක් යද්දි තේරුනා වටේම ඉන්නේ ඉන්දියන් උන් කියලා. ඩිල්ශානුයි, තරංගයි දෙන්නම හිර වෙන්න වෙන්න උන් දෙවනත් වෙන්න කෑ ගහනවා.  බෝලෙන් බෝලෙට චීයර් කරනවා. අපි 5 දෙනා හරියට හනුමන්තාගේ සේනාවට කොටු වෙච්ච රාවනාගේ කොල්ලො වගේ. කට ඇරගන්න චාන්ස් එකක්  එනකම් බලාගෙන ඉන්නවා. අනික අපේ උන් ලංකාවේ ටී ෂර්ට් ඇඳගෙන ආවේ. ඉතින් උන් ඔක්කොම දන්නවා අපි ලංකාවෙන් කියලා. බෝලෙන් බෝලෙට අපි දිහා බලනවා, කෑ ගහනවා. අම්මෝ ඒ කෑ ගැහිල්ලෙන්, බැලිල්ලෙන් දැනෙන ප්‍රේෂර් එක විස්තර කරගන්න මට බෑ. මැච් ගහන උන්ට වඩා එතන බලන්න ගිය අපිට ප්‍රෙෂර්. උඹලට කියන්න මට එවෙලේ මතක් උනේ පිට්ටනිය මැද්දේ සෙල්ලක් කරන අපේ කොල්ලන්ට මොනතරම් පීඩනයක් ඇත්ද කියලා. අපිට මෙතන 40ක් 50ක් ඉඳලා මෙහෙම ඒක දැනෙනවා නම් දාස් ගානක් මැද්දේ ඉන්න අපේ කොල්ලන්ට කොහොමඇත්ද? අනිත් රටක එකෙක් දෙන චියර් එකක් වගේ නෙවෙයි මුන්ගේ චියර්. මුන් ඉතින් ෆිල්ම් එකක් බලලා අන්තිමට වීරයා මැරුනොත් ෆිල්ම් හෝල් එක ගිනිතියන ජාතියක්නේ. අපි 5 දෙනා හිතින් අනේ හතරක් ගහපන්, අනේ හතරක් ගහපන් කිය කිය හිටියා. 4 ගහපු ගමන් අපි 5 දෙනා කෑ ගහනවා. ඒත් කරුමෙට ඊයේ උන් හොඳට ෆීල්ඩ් කරා. ඉන්දියන් උන්ටත් පුදුමයි ඊයේ උන් ෆීල්ඩ් කරපු හැටි.මම හිතන්නේ ඉන්දියන් ටීම් එකේ උන් දන්නවා මැච් එක කෑවොත් කොහොමත් රටේ උන් උන්ගේ අඬු කඩනවා කියලා. ඉතින් නිකන්ම අඬු කඩාගන්නවට වඩා බෝලෙකට පැනලා අතක්, පයක් ගැලවුනත් දුක නෑ කියලා හිතාගෙනද කොහෙද උන් ඊයේ සෙල්ලම් කලේ.  ඔහොම ඔහොම වෙලාව යද්දි ඔන්න මහේල ටික ටික නෙලන්න ගත්තා. අපිට මාර ආතල්. දැන් මොකෙක්වත් සද්ද නෑ. අපිට අමුතු විදිහේ කෝචොක් බැල්මවල් දාන්නෙත් නෑ.

අන්තිම බෝලටත් තිසර මල්ලි 6ක් ගැහුවා විතරයි අපිට පුදුම ආතල් එකක්. එතන හෙලවෙන්න කෑ ගහලා වටපිට බැලුවා. කලින් කෑගහපු උන්ගේ මූණු මැලවිලා. ඉන්දියන් සෙට් එකෙම තිබුන බලාපොරොත්තු හේදිලා තිබුනා. එ වගේම බලාපොරොත්තු අත ඇරගෙන තිබුන අපිට බලාපොරොත්තුවක් ලැබුනා. දැන් ඉතින් දෙවනි ඉනිම තමයි වැඩේ. ඔය අතරේ ඉන්දියන් එකෙක් අපිට ඉඳන් කියනවා " ඕක දිනුවේ නැත්නම් ටීම් එකට එලියට යන්න හම්බ වෙන්නේ නෑ. අනිවාර්යයෙන් කුඩු කරනවා ඔක්කොම.  ඕක සචීන්ගේ ටවුන් එක. ඒ නිසා මේක කොහොමහරි දිනන්න ඕනේ. " කියලා. අපිට වඩා ඉතින් උන් දන්නවානේ උන්ගේ උන් ගැන. අනික අපිට මතකයි 96 සෙමි ෆයිනල් වෙලාවේ ඉන්දියන් උන් හැසිරුන විදිහ. කතාව බොරු වෙන්නත් බෑ. කොහොමත් අපිට දැන් දිනුවත් පැරදුනත් දුක නෑ. චාටර් ලකුණු ගානකට අපේ කට්ටියම අවුට් වෙලා චාටර් උනා නම් මොනවා උනත් හිතට දුකයිනේ.

ඔන්න දෙවනි ඉනිමත් පටන් ගත්තා. මාලිංගගේ පලවෙනි ඕවරෙන්ම එකෙක් ගියා. පට්ට ආතල්. ෆුල් සද්දයක් දාලා වටපිට බැලුවා. ඉන්දියන් උන්ගේ මූණු ඔක්කොම මල ගෙයක් වගේ කරගෙන. එහෙම ඉඳලා ඉඳලා හතරක් වැදුන ගමන් උන් කෑගහනවා මැච් එකම ගැහුවා වගේ. මොනවා උනත් ඉන්දියන් උන් මාලිංගට පට්ට බයයි. මාලිංග බෝල් කරද්දි කට්ටියම කට ඇරගෙන බලාගෙන ඉන්නේ. ඔහොම ඔහොම ඕවර් 30ක් විතර වෙනකම් ගියා. කට්ටියම දැන් සද්ද නෑ. මීයට පිම්බා වගේ. අපිවත් ඉන්දියන් උන්වත් කෑගහන්නේ නෑ. කාටවත් ෂුවර් නෑ මොනවා වෙයිද කියලා. මොනවා උනත් ඕවර් 45 ට විතර එනකම් මාරම ආතල්. අපි අනේ විකට් එකක්, අනේ විකට් එකක් කිය කිය ඉන්නවා. ඉන්දියන් උන් අනේ 4ක් අනේ 4ක් කිය කිය ඉන්නවා. මැච් එකේ හතලිස් පස්වෙනි ඕවරේට ආවට පස්සේ " මල්ලී මට නම් පේන විදිහට අද ඉන්දියන් උන්ට රෑ කෑමට සිංහ මස් වගේ. අපි පස් දෙනාවත් කන සීන් එකක් තියෙන්නේ. ලකුණු 274ක් ගහපු නිසා අපේ උන් මෙතනින් රෙදි ඇඳගෙන යන්න පුලුවන්. එහෙම නොවුනානම් යන්න වෙන්නේ කලිසම ගලවලා ඒකෙන් ඔලුව වහගෙන තමයි" එහෙම කියලා මම පරදින එක ගැන හිත හදාගත්තා. " නෑ ,නෑ බං අපි අද දිනනවා. දිනනවාමයි. තව ඕවර් 5ක් තියනවානේ. අනිවා ඊළඟ එකේ විකට් 2ක් යනවා. එතනින් එහාට ගේමම ගොඩ. " අපේ එකෙක් පරදින්න යනවා කියලා පිලිගන්න කැමතිම නෑ. ඒකත් එක අතකට හොඳයි. හොඳ හයියක්.

ඔන්න දෙයියනේ කියලා නුවන් කුලසේකරගේ ඕවරේට හතරේ දෙකක් නෙලුවා. පලාතම හෙලවෙන්න අරුන් කෑගහනවා. අපිට නම් ඇපත් නැත. ඊළඟ ඕවර් එකෙන් මැච් එක අපි පැරදුනා.  කවුරුහරි දිනන්න තවත් කෙනෙක් පරදින්න ඕනේ. ඒත් පැරදුනත් මට දුකක් හිතුනේ නෑ. මොකද ඊට විනාඩි 15 කට කලින් ඉන්දියන් උන්ගේ මූණු දැක්කාහම අපි උන්ට හෙන ගේමක් දීලා පැරදුනේ කියලා පෙනුන නිසා. අනික අපිට උන්ට වගේ නෙවෙයි ජය පරාජය දෙකම දරාගන්න කොන්දක් තියනවා. සමහරවිට අපි දිනුවනම් අර කලින් ඉන්දියන් එකා කීවා වගේ උන්ගේ ටීම් එකටත් ගහලා අපේ කොල්ලන්ටත් ගහලා මොකක් හරි මෝඩ ආතල් එකක් ගන්න ඉඩ තිබ්බා. ඔක්කොම වෙන්නේ හොඳටයි කියලා හිත හදාගන්නයි තියෙන්නේ. අපරාදේ කියන්න බෑ දිනලා, කෑ ගහලා ටික වෙලාවක් ගියාට පස්සේ සෙට් එක අපි ලඟට ඇවිත් " hey are you guys ok ? don't worry man. it was an amazing battle. your team did well. " කීවා. මොනවා උනත් ලඟට ඇවිත් කතා කරානේ. අපිත් ඉතින් හිතින් බැන බැන  කට්ටියටම සුභ පතලා ආවා.

ඇත්තටම මට හිතෙන විදිහට නම්  අපේ කොල්ලන්ට බනින්න දෙයක් නෑ. අළුත් මූණු කීපයක් එක්ක සංගයි, මහේලයි යම් කිසි දෙයක් කෙරුවා. උන්ගේ රටේ උන්ගේ මිනිස්සු මැද්දේ සෙල්ලම් කරද්දි තියන පීඩනය ගැන පොඩිහරි අදහසක් මට ආපු නිසයි මේ කියන්නේ, එහෙම පීඩනයක් එක්ක සෙල්ලම් කරන එක ලේසි නෑ. කොහොම උනත් දැන් ඉතින් ඔය ගැන කතා කරලා වැඩක් නෑ. මේක ලීවේ මගේ ජීවිතේ මෙහෙම අත්දැකීමක් ලැබුනේ ඊයේ නිසා. අනිත් හැම පාරම ලංකාවේ උන් එක්ක මැච් බැලුවේ. ඒ විස්තරේ නම් ඉවරයි. මම අද උදේ දැක්කා මැච් එක ඉවර වෙද්දිම ලංකාවේ ඉන්ධන මිල නැග්ගා කියලා ප්‍රවෘත්තියක්. මැච් පැරදුන හින්දා තමයි ඔය ගානෙන් වැඩි වුනේ දිනුවානම් අනිවා තවත් රුපියල්5ක් 10ක් එකතු කරනවා වැඩි කරපු ගානට. මොකද මැච් එකේ ජයග්‍රහනය සතියක් විතර යනකම් භුක්ති විඳිනකොට අපේ මිනිස්සුන්ට ඔය ගනන් හිලව් අමතක වෙනවානේ. දැන් ඉතින් වර්ල්ඩ් කප් එක ඉවරයි. පටි තද කරගෙන කප් එක ගහනකම් ජිවිත ක්‍රිකට් මැච් එක ගහන හැටි කල්පනා කරපල්ලා. මේ තියන පීඩනයත් එක්ක හයේ , හතරේ ඒවා නම් අපිට ජීවිතෙට ගහන්න බෑ. ඒ උනාට අඩුගානේ විකට් එක බේරගන්න උත්සහයක් ගමු................

Saturday, April 2, 2011

ඇහින්දාස් ගමන.........(අවසාන කොටස)

කලින් පෝස්ට් එකේ කීවනේ කොහොමද රාත්‍රිය ගත වුනේ කියලා. සීනි සම්බෝල ගෙනාපු භාජනයෙන් ඇඟ හෝදලා එකෙම ලූණු සම්බෝල හදලා පාන් කාලා තමයි කට්ටිය නින්දට වැටුනේ.  එලිය වැටෙනවත් එක්කම කට්ටිය නැඟිට්ටා.    " මචං උදේට නම් ටී එකක් ගහන්න ඕනේ. ඒක නැති වුනොත් නම් ඉතින් ලෝක චාටර් එකක් කන්න වෙන්නේ. බොඟක් දාගන්න ටී එකක් නැතුව නම් බෑ ඕං. උදේට නොකෑවත් ටී එකක් නම් ඕනේ."    ඔන්න එකෙක් උදේ නැඟිට්ට ගමන්ම පටන් ගත්තා දවසේ ප්ලෑන් එක ගහන වැඩේ. කතාව ඇත්ත. ටී එකක් බොන වැඩේ ඒකමතිකව සම්මත වුනා. ඔය අස්සේ අපේ හලා මල්ලී " මේ වරුණ අයියේ, මට නම් උදේට බත් ඕනේ. උදේට බත් එකක් කෑවේ නැත්නම් දවසම ඇඟට පණ නෑ. මට ඔය පාන් රොඩු උදේට කාලා පුරුදු නෑ". මට මේ ටික ඇහුනා විතරයි උදේම කට්ට පැන්නා රතු ඉරටත් උඩින්. උදේට පාන් රොඩ්ඩක්වත් කාගන්න විදිහක් නැතුව මම මේ කල්පනා කරනවා. මූ මඟුලක් කතා කරනවා."දෙන්නම් තොට බත්" එහෙම හිතාගෙන " මල්ලී බත් තියා පාන්වත් උදේට කන්න බැරි සීන් එකක් තියෙන්නේ. උඹ කියන කතාවනම් ඇත්ත බං. අපි උනත් කැමතියි බත් කටක් කන්න. ඒත් කොරන්න දෙයක් නෑ. උදේට නම් බතුත් නෑ, පානුත් නෑ." කියලා මම කීවා. ඕක ඇහුනා විතරයි සෙට් එකම ඩිම්. " සිරාවටම අයියා උදේට මොකක්වත් කරගන්න බැරිද? මුකුත්ම නොකා ඉන්න අමාරුයි නේද? " කට්ටියගෙන්ම බර බරේ. මමත් ඉතින් ෆුල් සීරියස් එහෙම කීවට උදේටත් කට්ටිටම මොනවාහරි කන්න ගන්න හිටියේ. අනිත් කාරණය අපි නැවතිලා හිටියේ මුතියංගණය පංසල ඉස්සරහා තැනක. ඉන්න තැනක් හොයාගන්න කලින් පන්සලට ගොඩවුනාට  ඒ ගොඩවුනේ පංසලේ නවතින්න පුළුවන්ද බලන්න මිසක් වන්දනා මාන කරන්න නෙවෙයිනේ. කලින් දවසෙත් ගියාට හිතේ තිබ්බේ නවතින්න තැනක් හොයන ප්‍රශ්නෙනේ. ඉතින්  හැමෝටම උදේ පන්සලට යන්න උවමනාව තිබ්බා.

කට්ටියම උදේම මූණ කට හෝදගෙන නැවතිලා හිටිය තැන ආපහු දෙන්න කලින් හිස් බඩම පංසලට ගියා. උදේම මුතියංගනය වන්දනාමාන කරගත්ත උපාසක මහත්තුරු ටික ඒ අහල පහල කඩේකට ගියා ටී එකක් ගහන්න. ඒ වෙලාවේ බාපු උණු උණු කිඹුලා බනිස් තිබ්බා හෝටලේ. කට්ටියටම පාන් කන එක අමතක උනා. කිඹුලා බනිසකුයි ටී එකකුයි ගහමු කියලා යෝජනාවක් ආවා. කිඹුලා බනිසකුත් ඒ දවස් වල මහා ගානක් නෑ. ඒ නිසා ඔන්න යෝජනාව අනුමත වුනා. දැන් ඔන්න හැම එකාම කිඹුලා බනිසයි ටී එකයි ඕඩර් කලා. ඉසුරුවා හදිස්සියේම ඔළුව කහ කහා මම හිටිය තැනට ආවා. ඌ ඉතින් ඔළුව කහ කහා එනවා කියන්නේ ඌට මොකක් හරි ලොකු ප්‍රශ්නයක්. මූ ලඟට ඇවිත් ඔළුව කහන ගමන්ම " වරුණ අයියේ, මේ මට ටී එපා" . මම කල්පනා කරනවා මූ මේ මොකාටද එන්න හදන්නේ කියලා. දෙයියනේ කියලා කවදාවත් කෑම බීම එපා කියපු නැති එකාට හදිස්සියේ මොකක් වෙලාද?. " ම්හ්... ඇයි උඹට ටී බොන්න බැරි ? මොකෝ බඩේ අජීර්ණයක්වත්ද? ".
 " අනේ නෑ වරුණ අයියේ , මම මේ කියන්න හැදුවේ මට ටී එපා. මට ටී එක වෙනුවට තව කිඹුලෙක් කන්න බැරිද? ටී එකේ ගානමයි යන්නේ. අවුලක් නෑ නේද? පට්ට බඩගිනියි බං." කියලා කියපි ඉසුරුවා. එක පාරටම කට්ටියටම හිනා ගියත්, මගෙ බඩ පපුවත් දාලා ගියා ඌ ඒ අහපු විදිහට. ඌ ඇත්තටම පට්ට බඩගින්නේ ඉඳලා තියෙන්නේ. "කාපන්, කාපන්. කිසිම අවුලක් නෑ. බඩ පුරවගන්නත් ඕනෙනෙ,"

ඔන්න කට්ටිය තේ බීලා ඇවිත් අවශ්‍ය කරන දේවල් කරගෙන පිටත් වෙන්න සූදානම. මමයි තවත් එකෙකුයි ගියා අන්කල්ට යතුට දෙන්න. ඒ අතරේ එක එකා එලියට ඇවිල්ලා අපි යතුර භාර දෙනකම් එලියට වෙලා ඉන්නවා. අන්කල්ට කතා කරහම ආවා එලියට. යතුර ගන්න ගමන්ම මෑන් සෙට් එක දිහාම හොඳට බැලුවා. " මේ ළමයි මට කීවේ ඉන්නේ දහ දෙනයි කියලනේ ? ඒත් මෙතන ඊට වඩා ඉන්නව නේද? " යකෝ වයසට ගියත් මනුස්සයගෙ පෙනීම හොඳයි. අපි නිකමටවත් හිතුවේ නෑ  ඔය කේස් එක මාට්ටු වෙයි කියලා. " ආ... උන් දෙන්නයි බස් එකේ අයියයි නිදා ගත්තේ බස් එකේ. දැන් මේ ලැට් එකට යන්න ඕන වෙලයි ඔය අපිත් එක්ක ආවේ. අනික අන්කල් කාමරේ 10ට වඩා දාන්නත් බෑනේ. එහෙනම් අන්කල් උදව්වට බොහොම ස්තූතියි. ලොකු පිනක් අන්කල් කරගත්තේ. අපි ගිහින් එන්නම් එහෙනම්." කියලා සෙට් එකම නොසෑහෙන්න අන්කල්ට ස්තූති කරලා එතනින් මාරු වුනා. ඇත්තටම ඒ මනුස්සයා ඒ වෙලාවේ අපිට කලේ ලොකු උදව්වක්. එතනත් නැතිවුනා නම් පාරේ තමයි සෙට් එකම. බස් එකට නැග්ග ගමන් මාතෘකාව වුනේ ඊළඟට මොකෝ වෙන්නේ කියන එක. ඊයේ දවසත් කට්ටියට හරියට නාගන්න බැරි උන නිසා හැමෝටම හොඳට නාගන්න පුලුවන් පොට් එකකට යන්න ඕන කීවා. (කන්න නැති එකේ අඩු ගානේ නාන්නවත් හොඳට.)බණ්ඩාරවෙල යන ගමන නැවත්තුවා. මයියංගණය, හසලක හරහා රිවස්ටර්න් ( පිටවල පතනට ) යන්න තීරණය වුනා. තෙළගමු ඔයේ නාපු එකෙක් දන්නවා තියන ආතල් එක. ඒත් දැන් ඒ ආතල් එක අඩු වෙනවා මට හිතෙන විදිහට.ඔන්න මමත් මාතෘකාවෙන් පිට පනිනවා. රිවස්ටර්න් ගැන වෙන දවසක කතා කරමු.

උඩ වලව එහෙම ගිය උන් දන්නවා ඇති හසලකින් දාලා මාතලේට වැටෙන පාර. මයියංගනෙන් පස්සෙ ආයේ ටවුමක් නෑ. ඉතින් දවල්ට කන්න මොනවාහරි කන්න තියෙන්නේ මයියංගනෙන්. සුපුරුදු විදිහටම මේ වේලත් පාන් වලින් ගොඩ දාගමු කියලා තීරණය වුනා. දැන් වගේ නෙවෙයි මිනිස්සු ඒ කාලේ පාන් කෑවේ අඩුවට වේල පිරිමහ ගන්න. දැන් නම් ඉතින් පාන් කන්නත් හොඳ වත් පෝසත් කමක් තියෙන්න ඕනෙනෙ. ඉස්සර වගේ පොල් සම්බෝලයි පානුයි කන්න බෑ කියලයි ආරංචිය.. පොල් ගෙඩියටයි, පාන් රාත්තලටයි රුපියල් 120ක් විතර යනවලු. ඒ කතාවත් පැත්තකින් තියමුකො. එදා ඕං එකෙක්ට පාන් තුන් කාලක් වැටෙන විදිහට දවල්ට කන්න පාන් ගත්තා. බස් එකේ අයියට බත් එකක් අරන් දුන්නා. මොනවා උනත් ඔය කඳු අස්සේ සුක්කානම කරකවන්නයි, උඩ නැඟලා බ්‍රේක් ගහන්නයි ඌට හයිහත්තිය ඕනෙනෙ.

දවල් 12 විතර වෙද්දි අපි තෙළගමු  ඔයට කිට්ටු කරා. කට්ටියම වතුරට පැන්නා. හවස 3 විතර වෙනකම් නෑවා. දන්නවනේ ඉතින් පැය ගාණක් නෑවට පස්සේ කොහොමද දැනෙන බඩගින්න කියලා. සෙට් එකටම පට්ටම බඩගිනියි. ඒත් එතන තිබ්බ විදිහට සෙට් එකටම එකට කන්න බෑ. මොකද පාන් කන්න ගෙනාපු හොඳි දාගන්න තිබ්බෙත් අර ලූණු සම්බෝල හදපු භාජනයම තමයි. කට්ටිය දෙකට බෙදිලා කට්ටියක් ඉසෙල්ලා කෑවා. එකෙක්ට පාන් තුන් කාලයි. ඔන්න පලවෙනි වටේ ඉවරයි. දැන් දෙවනි වටේ. එක පාරටම ගන්කේවලයා " කෝ යකෝ අපිට තියෙන්නේ පාන් බාගයයිනේ. තුන් කාලක් නෑ. බලපල්ලා කලින් කාපු උන් තුන් කාලක් කෑවට අපට බාගයයි. කෝ මේ පාන් ගේන්න ගියපු උන්? කවුද යකෝ පාන් කීයද කියලා ගණන් හදපු එකා ? මහ ලොකුවට මැත කරන්නේ. කොල්ලො 12 දෙනෙක්ට පාන් තුන්කාල ගානේ පාන් කීයක් ඕනෙද කියලා ගනන් හදාගන්න බෑ". ගන්කෙයට පට්ටම මල.  ඌ පට්ටම සාධාරණයි. නිකමට හිතපල්ලා වේල් 2ක්ම පාන් රොඩ්ඩක්, බනිසක් කාලා හිටපු උන් පැය ගාණක් නාලා පට්ට්ම බඩගින්නේ කන්න ආවහම මල උපරිමෙනුත් උපරිමේට පනින්නවනේ. දැන් ඉතින් පාන් ගාන හදපු එකෙක්වත්, ගේන්න ගියපු එකෙක්වත් නෑ. ඒ ඔක්කොම කරලා තියෙන්නේ වෙන ට්‍රිප් එකක් ගිය වෙනම සෙට් එකක්.

අනිත් කේස් එක උන් ටිකට මොනවා හරි කන්න අරන් දෙන්නත් අඩුම තරමේ රත්තොටට යනකම් ඉන්න වෙනවා. ඒකත් පැයක දෙකක ගමනක්. වෙච්ච වැඩේට මටත් මාර අවුල්. එවෙලේ කෑගැහුවට ඒ කේස් එක එහෙම්මම ඉවරයි. මම ඒකයි කලිනුත් කීවේ රත්තරං පපු තිබ්බ කොල්ලො ටිකක් කියලා. වෙන එකෙක්ට නම් මරාගන්න ඒ වැඩේ හොඳටම ඇති. ඒත් අපේ ගන්කෙ " අවුලක් නෑ. උඹලා කෑවානේ. දැන් ඉතින් කාපුවා වමාරන්නද? හරි හරි. කාපු බීපුවා ගැන හිතලා, කතා කරලා වැඩක් නෑ. අපි මඟින් ටී එකක් ගහමු බඩගින්නට. මේ සීන් එක අමතක කරලා ගන්න ආව ෆන් එක ගමු ". පාන් සීන් එක එතනින් ඉවරයි.

කට්ටිය සෑහෙන දුරක් එනකම් කෑ ගහ ගහා පිස්සු කෙල කෙල ආවා. ඒත් ටික වෙලාවක් යද්දි එකෙක්ටවත් පණ නෑ. දවස් දෙකටම එකෙක්වත් හරියට බඩ පිරෙන්න කාලා නෑ. අපේ ගම් බිම් කිට්ටු වෙද්දි ඔන්න අතෙ තියන සල්ලි එකතු කලා. අම්මට සිරි දහතුන්දාස් පන්සිය ගාණක් ඉතුරුයි. මාරම ආතල්. දවස් දෙකම එක්දාස් පන්සීයකින් විතර ගොඩදාගෙන. බස් එකේ අයියගේ ගාණ පැත්තකට කරහම තවත් පන්සිය ගාණක් ඉතුරුයි. පටාස් ගාලා ඇල්ලුවා හෝටලයකට. කට්ටියම ආප්ප කාලා ටී එකක් එහෙම ගහලා ගෙවල් බලා ගියා. මම නම් ගේ ඇතුලට යන්නත් කලින්ම අම්මාට කියාගෙන ගියේ බත් බෙදන්න කියලා. බත් නැතුව ඇඟම අංඤකොරොස්වෙලා තිබුනේ. ඊට පස්සේ දවසේ බස් එකේ අයියා කතා කරලා මට රුපියල් 1500ක් ආපහු දුන්නා. ඌ ඩීසල් ගහලා ගණන් හැදුවට පස්සේ ඌට එකොලොස් දාස් පන්සීයක් ඇති කියලා සල්ලි ආපහු දුන්නේ. ෂුවර් එකටම ඌට දුක හිතෙන්න ඇති අපි ගැන.

හැමෝගෙම තත්වය තේරුම් අරන්, හැමෝගෙම අදහස් වලට ගරු කරලා, කාටවත් කරදරයක්, විපත්තියක් නොවෙන්න, අතේ සතේ නැතිව හරි, වේල් තුනම පාන් කාලා හරි අපි ගමන ගිහින් ආවා. මොනවා උනත් සෙට් එකම හිත සංතෝසෙන් ගිහින් ආවා. බඩ පිරුනේ නැති උනාට හිත පිරුනා. මේ ගමනට කට්ටිය නම දැම්මේ පාන් ට්‍රිප් එක කියලා. ට්‍රිප් එක ගිය මේ කොල්ලො සෙට් එක වගේ සෙට් එකක් නම් ආයේ ලොවෙත් හොයගන්න හම්බවෙන්නේ නෑ. අපි සෙට් වුනේ අපිට කිසිම වටිනාකම නැති කාලේ. සත පහක්වත් අපේ අතේ නැති කාලේ. හොඳ රස්සා, උපාධි, ලොකු ව්‍යාපාර මේ කිසිම දෙයක් නැති කාලේ. අපි එකතු වුනේ අපේ වටිනාකම් නිසා නෙවෙයි. අපි ඇත්තටම අපි නිසා. දැන් ඉතින් අපි එකතු කරගත්ත යම් යම් දේවල් නිසාත් යාළුවෝ ඇති වෙනවා. අපි ළඟ තියන ඒවා නැති වෙද්දි උන් ඉඳීද කියලා ෂුවර් නෑ. ඒත් මුන් සෙට් එක මට මුකුත්ම තිබ්බේ නැති කාලේ මාත් එක්ක හිටියා.දැන් ඉතින් තිබ්බත් නැතත් මාත් එක්ක උන් ඉන්නවා.  ඒ ට්‍රිප් එක ගිය කොල්ලො ඔක්කොම අද හොඳ තැන් වල ඉන්නවා. නිතර හම්බ වෙන්න බැරි උනත් උන්ගේ හිත්වල එදා තිබ්බ බැඳීම තාමත් තියනවා. සමහර උන් නම් අවුරුදු ගාණකින් හම්බවෙලත් නෑ. හැමදේටම සල්ලි ඕනේ කියලා හිතපු උන් සෙට් එකක් උනානම් අපි සෙට් එක,  අපට කවදාවත් මෙහෙම ආතල් එකක් ගන්න බැරි වෙනවා. මේ ගමන ගියේ දැනට අවුරුදු 6කට උඩදී, ඒත් මුළු ගමනම අද වගේ මතකයි.... හැබැයි ආයේ කවදාවත් මේ වගේ ගමනක් නම් යන්න බැරි වේවි................