Tuesday, November 13, 2012

රට රස්සා

සැහෙන කාලෙකින් මුකුත්ම ලිවේ නැති නිසා බ්ලොග් එකත් පාලුවටම ගිහින්. පොඩ්ඩක් මකුළු දැල් එහෙම කඩලා පොස්ට් එකක් දාන්න හිතුනා. ඇත්තටම නොලියා ඉන්නේ ලියන්න කරුණු නැතිවටත් වඩා වෙලාව අඩු නිසා. එහෙම නැතුව දවස ගානේ අපේ ජීවිතේට එකතු වෙන අත්දැකීම් එක්ක ලියන්න දෙයක් හොයාගන්න බැරි වෙන්නේ කොහොමද ?  හරි වටේ යන එක නවත්තලා අදාල මාතෘකාවට එමුකො. රට රස්සා. මමත් කරන්නේ රට රස්සාවක් සහ අපේ රටේ දේශපාලුවන්ට පිං සිද්ධ වෙන්න ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් දවසින් දවස සක්තිමත් වෙන නිසා  මගේ යාලුවන්ගෙන් රට රස්සා ගැන විමසීම දැන් ටික කාලෙක ඉඳන් ඉහල ගිහින් තියනවා. ඒ නිසයි අද ඒ ගැන පොඩ්ඩක් ලියන්න හිතුවේ.....

මම උසස් පෙළ කරන කාලේ මමත් මගේ යාලුවොත් හිතුවේ කොහොම හරි ලංකාව ඇතුලේ රුපියල් හැටදාහක හැත්තෑ දාහක විතර වැටුපක් තියන රැකියාවක් හොයාගන්න ඕනේ කියලා. මොකද ඒ කාලේ හැටියට අපිට තේරුනා ඒ මුදලින් හොඳට කාලා බීලා වාහනයක් එහෙම පාවිච්චි කරගෙන උජාරුවට ඉන්න පුළුවන් කියන එක. අනික අපි හැමෝම හීන බලන්නේ පිළිවෙලකට ඉන්නනෙ. ( කාටවත් ලොකුකම් දාන්න නෙවෙයි. ඒත් ඕනෙම එකක් ආසයිනේ තමන්ට කියලා ගෙයක් දොරක්, වාහනයක් තියාගෙන ලස්සනට ඉන්න. ) හැබැයි වාසනාවටද අවාසනාවටද මන්ද මට නිදහස් අධ්‍යාපනයේ දොර උසස් පෙලින් පස්සේ වැහුනා. ඊට පස්සේ ඉතින් රටින් පිටවෙලා උසස් අධ්‍යාපනය හොයාගෙන ආපු පාර තමයි තාමත් මෙහෙට වෙලා ඉන්නේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ දොරගුළු මට විවෘත නොවුන එක ගැන ඒ දවස් වල මම දුක් වුනත් ආපහු හැරිලා බලනකොට හිතෙනවා එහෙම වෙච්ච එකත් හොඳයි කියලා. ඒකයි වාසනාවාටද අවාසනාවටද දන්නේ නෑ කියලා කිවේ. කොහොම හරි මම මෙහෙ ඉගෙන ගෙන රස්සාවක් හොයාගෙන පිළිවෙල වෙනවත් එක්කම ලංකාවේ ඉගෙන ගත්ත මගේ සඟයෝ ටිකත් රස්සාවල් හොයාගෙන ජිවිතේ දුවන අදියරට ආවා. රස්සාවක් හොයාගෙන සමාජයට එනවා කියන්නේ අපි ඔහේ දුවනවා කියන එකයි. මේ රේස් එක මොකක්ද කියලවත් නොදැන අපි දුවනවා. හැබැයි නවතින්න නම් බෑ. එහෙම උනොත් බඩගින්නේ මැරෙන්නේ නිකම්ම නෙවෙයි අපිව යට කරන් දුවන සමාජයට පෑගිලා. හැබැයි දුවලා අනිත් පැත්ත හැරිලා බැලුවහම අපිට ඉතුරු වෙන්නේ හති විතරයි. ඒ විතරක් නෙවෙයි ඒ වෙද්දී අපිට ජීවිතෙත් මඟ ඇරිලා. අපි ජිවිතේ විඳලත් නෑ.

කොහොම හරි කාලයාගේ පිහිටෙන් මමත් මගේ සමවයස් යාලුවොත් මේ රේස් එකට එකතු උනා. මුල් අවුරුද්ද හැමෝම තමන්ට ලැබුන රස්සාව බොහොම සතුටින් ආඩම්බරයෙන් කරා. නමුත් අවුරුද්ද දෙක වෙලා අත්දැකීම් වැඩිවෙනකොට ඔන්න මගේ යාළුවො එක්කෙනා දෙන්නා පිට රට රස්සා ගැන උනන්දු වෙන්න ගත්තා. මාව හොයාගෙන ඇවිත් විස්තර ඇහුවා. මමත් දන්නා විදිහට විස්තර දුන්නා. හැබැයි දැන් දැන් ඒ ඉල්ලීම් එන්න එන්නම වැඩිවෙනවා. ඒ වගේම මම ඉන්න රටේ වගේම අනිත් බහුතරයක් දියුණු රටවල් විදේශ ශ්‍රමිකයන්ට විවෘත කරලා තිබුන දොරවල් ටික ටික වහන්න පටන් අරගෙන තියෙන්නේ.  මම දැනට ජිවත් වෙන්නේ සිංගප්පුරුවේ. කාලයක් මෙහෙ උපාධියක් තියන කෙනෙකුට රස්සාවක් හොයාගැනීම සඳහා එන්න අවුරුද්දක රැදී සිටීමේ බලපත්‍රයක් නැත්නම් විසා ලබා දුන්නා. ඒ අවුරුද්දද ඇතුලත මෙහෙට ඇවිල්ලා රස්සාවක් හොයාගනිමේ පහසුකම තිබුනා. නමුත් දැන් ඒ සියලුම දේවල් අත්හිටුවලා තියෙන්නේ. හැබැයි ඊට පස්සෙත් මාසෙක සංචාරක විසා ලබාගෙන ආපු මිත්රයෙක්ට උදව් කරා රස්සාවක් හොයාගන්න. සැහෙන දුක් විඳලා මාසෙන් බැරිව ආයෙත් ලංකාවට ගිහින් ඇවිත් රස්සාවක් හොයාගත්තා. හැබැයි සැහෙන මහන්සි වෙලා.  දැනටත් මගේ යාළුවො ගොඩ දෙනක් විස්තර අහනකොට මම කියන්නේ " මෙහෙ තත්වය හොඳ නෑ. ඉතින් ඇවිල්ලා මාසයක් ඉන්න ලක්ෂයක් දෙකක් වියදම් කරලා රස්සාවක් නැති උනොත් මොකද කරන්නේ ??" කියන එකයි. ඒත් සමහරු හිතනවා ඇති මම ඉරිසියාවට එහෙම කියනවා ඇති කියලා. කෙනෙක් වෙන රටක ඉන්න කෙනෙක්ගෙන් විස්තර අහන්නේ ඒ රටේ ඇත්ත තත්වය දැන ගන්න. ඉතින් ඒ ගැන නිවැරදි විස්තරයක් නොදී බොරුවට වරෙන් කියන්නේ කොහොමද ? එහෙම කියලා ලංකාවේ රස්සාව දාලා ඇවිල්ලා මෙහෙ රස්සාවක් නැති උනොත් මොකද කරන්නේ ?



ලංකාවේ බොහොම බුද්ධිමත් දේශපාලුවන්ට ස්තුති වෙන්න මිනිස්සුන්ට ජිවත් වෙන්න එන්න එන්නම අමාරු වෙනවා. හැට හැත්තෑ  දාහක් නෙවෙයි ලක්ෂයක් ගත්තත් කොල්ලෙක්ට තමන්ගේ කියල ගෙයක් හදන්න, වහනයක් ගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒ නිසා ගොඩ දෙනෙක් රට රස්සා ගැන හීන මවනවා. ඒ නිසාම ලංකාවේ ඉන්නා විදේශ රැකියා නියෝජිතයෝ ගොඩ දෙනක් තමන්ගේ හොද්ද බොර කරගන්නවා. විශේෂයෙන් ගොඩක් කම්කරු රැකියා සඳහා යන පිරිසට කියන්න තියෙන්නේ පිට රට ගිහින් හම්බවෙන සොච්චමට වඩා ඒ ප්‍රමාණයටම ලංකාවේ වැඩ කරනවා නම් ඒ මුදලටත් වඩා මුදලක් හොයාගන්න පුළුවන් කියලයි. ලොකු ගානක් හොයන්න පුළුවන් කම්කරු රැකියා තියනවා. හැබැයි රැකියා අවස්ථා ටිකයි. ඔය ගොඩක් විදේශ රැකියා නියෝජිතයෝ ළඟ තියෙන්නේ එහෙම රැකියා නෙවෙයි. ඒ අය කරන්නේ වහල් වෙළදාම. අනික කම්කරු රැකියාවලට කියලා සමහරු සිංගප්පුරුවට එක්කගෙන ඇවිල්ලා අතරමං කරනවා. හේතුව ලාංකිකයන්ට සිංගප්පුරුවට ඇතුල් වෙන්න අවසර ගුවන් තොටුපලින් ලබාගන්න පුළුවන්. වලංගු ගමන් බලපත්‍රයක් තිබ්බා නම් ගුවන් ටිකට් පත ප්‍රමාණවත් සිංගප්පුරුවට එන්න.  ඉතින් එහෙම එක්කන් ඇවිල්ලා ඔහේ අතරමං කරලා යන තරුණයොත් මෙහෙ ඉන්නවා. නීති විරෝධිව රැඳී ඉඳලා රැකියා කරන අයත් ඉන්නවා. හැබැයි මේ අය විඳින දුක් කම්කටොලු නම් එමටයි. මොකද අනවසරයෙන් ඉන්න නිසා කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්න වෙනවා. සමහර වෙලාවට 6 දෙනෙක් ඉන්න පුළුවන් ගෙදරක මේ වගේ අය 30ක් විතර ඉන්නවා. මේ ඉතින් මම දන්නා සහ දැකලා තියන දේවල් ටිකක්. 

මේ ටික කියන්න හිතුනේ රටේ ආර්ථිකය දිනෙන් දින මිය යාම නිසා රටින් පිටවෙන්න  වැර දරන තරුණ පරම්පරාවේ ඒ සඳහා ඕනෙම අභියෝගයක් භාර ගන්න සුදානමින් දුරදිග නොබලා වැඩ කරන පිරිසක් අනිවාර්යයෙන් ඉන්නවා කියලා දන්න නිසා.  රටේ තියන තත්වයත් එක්ක ජිවිත් වෙන්න ඔට්ටු අල්ලද්දී ඒ තරගේ දිනන්න වෙන රටකට යන එකේ ගැටළුවක් නෑ. හැබැයි කවදාවත් ජිවිතේ එක්ක ඔට්ටු අල්ලන්න එපා. මොකද තමන්ගේ ජිවිතේ උගසට තියලා රටකට පය ගැහුවා වගේ නෙවෙයි ඊට පස්සේ එන ප්‍රශ්න වලදී ලංකාවේ වගේ වචනයකින්වත් උදව් කරන්න කිසිම කෙනෙක් නෑ. දැන් නම් එහෙම උදව් ලංකාවෙ ජිවත් වෙන පිරිසගෙන් ලැබෙන්නෙත් අඩුවෙන් මං හිතන්නේ. අඩුම ගානේ මෙහෙම කියන මම උනත් කෙනෙක් නීති විරෝධිව සංක්‍රමණය වෙලා මොකක් හරි උදව්වක් ඉල්ලුවොත් බෑ කියනවා. ඒ තියා නිත්‍යානුකුලව ඉඳලා ප්‍රශ්නයක් ඇති කරගත්තත් උදව් කිරීමේ අවස්තාව හරිම අඩුයි. එකක් අපිත් ඉන්නේ අනුන්ගේ රටක වීම, අනිත් එක ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්නට ගිහින් අපි අමාරුවේ වැටෙන්නට ගිය අවස්ථා වලින් ඉගෙන ගත්ත පාඩම්. 
 කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ අපේ රටේ වගේම ගොඩක් රටවල ආර්ථික තත්වය හොඳ නැති නිසා ඒ රටවල් වල පුරවැසියන්ට අවස්තාව ලබාදීමේ අරමුණින් ඒ ඒ රටවල් විදේශිකයන් සඳහා රැකියා අවස්ථා වසා දමන නිසා එන්න එන්නම විදේශ රැකියා අවස්ථා අඩු වෙනවා.. ඉතින් විදේශ රැකියා හීනය දකින හැමෝටම කියන්න තියෙන්නේ රටකට යම් ක්‍රමයකින් ඇතුළු වී රැකියාවක් සොයා ගැනීමේ අරමුණක් හෝ රැකියා අවස්තාවක් ලැබී රටකට යාමේ අරමුණක් ඇති නම්  ඒ පිළිබඳව හරියටම තොරතුරු දැනගෙන නොරටකට පය ගහන්න කියලයි. විශේෂයෙන් නීතියට පිටින් වෙනත් රටකට ඇතුල් වෙන්න උත්සහ කිරීමේදී මුණ දෙන්න වෙන දුක් කරදර වලදී ඔබ පිළිබඳව කිසිම වගකීමක් ඔබට හැර වෙනත් කාටවත් නෑ. අනිත් එක ඔබේ මිත්‍රයෙක් වෙන රටක සේවය කරා කියලා ඒ කෙනාට ලංකාවේ ඉන්නා කෙනෙක්ට රැකියාවක් සොයාදීමට ඇති ඉඩ ප්‍රස්තාව බොහොම අඩුයි. හේතුව ඒ පුද්ගලයත් සේවය කරන්නේ තමන්ට අයිති නොවන සමාගම නිසා තමන් අයිති නොවන රටක වීම සහ " මචං ඔහෙන් රස්සාවක් හොයලා දීපන්කො" කියලා කියනවා තරම් ඒ වැඩේ සරල වැඩක් නොවන නිසා. එසේ ඇසීමෙන් සිද්ධ වෙන්නේ රට සිටින මිතුරා අසරණ වීම සහ නිරුත්තර වීමයි.

 ඒ කෙසේවෙතත් දැනටමත් මගේ යාලුවන්ගෙන් අඩකට වඩා ප්‍රමාණයක් රැකියා කරන්නේ ලංකාවෙන් පිට. ඒ අය අතර බහුතරය ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිහිටෙන් උපාධි ලබාගත් අය. මේ පිටට ගලා යන්නේ අපේ රටට වැඩ කරන්න තිබුන අපේ රටේ තරුණ ජවය. ඒත්  සම්පත් වලින් වැඩක් නොගන්න, ඒ සම්පත්වලට හරි හමන් තක්සේරුවක් නොදෙන රටකට සම්පත් තිබුනයි කියලා වැඩක් වෙයිද ?


රට රස්සා සොයා යන හැම දෙනාටම සුභ පතන අතර විදේශ ගත වී තම සේවය සැලසීමෙන් පසු සුරක්ෂිතව තමන්ගේ රටට ලඟා වීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!!!!!

26 comments:

  1. Nidahas ( Nomile) adayapanaya labadi Mawbima bihikala ugath minissu rata athera yana eka kohoma hari sadarana widiyakin nawattanna oone.

    ReplyDelete
    Replies
    1. එහෙම නවත්තන්න නම් රටේ විශාල ආර්ථික දියුණුවක් වෙලා මිනිස්සුන්ට තමන්ගේ දැනුම හා ශ්‍රමය ප්‍රමාණයට, අනිකුත් අවශ්‍යතාවයන්ට අනුරූපව හොඳ වැටුපක් ලැබෙන්න ඕනේ. එහෙම නැතුව ඕක නවත්තන්න බෑ. අවංකවම කිවොත් රටින් පිට ඉන්න බහුතරය කැමති නෑ රටින් පිටවෙලා ඉන්න. නමුත් තියන ආර්ථික තත්වය නිසා එහෙම කරන්න සිද්ධවෙලා තියනවා. ඒ තියා යුද්දේ ඉවර වුන වෙලාවේ මෙහෙ ඉගෙන ගත්ත අපි හීන බැලුවෙත් ඉක්මනට රට දියුණුවෙලා අපිටත් ආයේ ලංකාවට එන්න පුළුවන් වෙයි කියලා... හැබැයි ඒක හීනයක්ම වෙලා ගිහින්.......

      Delete
  2. ලංකාවෙන් ඉගෙනගෙන පිටරට රස්සාවල්වලට යන ප්‍රමාණය වැඩි කරනවටයි මමනං කැමති... නිකංම අත් වන වන පුහුණුවක් නැතිව කම්කරුවන් සහ ගෘහ සේවක මට්ටමේ රැකියාවලට පිරිස යවනවට වඩා පුහුණුව ලත් කාර්මිකයින් ආදිය යැවීම වඩා සුදුසුයි... උගත් වෘතිකයින් රට යෑම ගැන මටනං කිසිම වරදක් පේන්නේ නැහැ. ලංකාව වගේ පොඩි රටකට විශාල ලෙසින් උගතුන්ට රස්සා බිහි කිරීම ලේසි නැහැ... දැන් උනත් අවුරුද්දකට විශ්ව විද්‍යාල වලින් බිහිවෙන උගතුන්ගේ ප්‍රමාණය රජයට ලොකු බරක්. අන්තිමට ඒ අය නඩත්තු කරන්න වෙන්නේ රජයේ රැකියාවලට ඔහේ බඳවාගෙන.. අන්තිමට පෞද්ගකිල අංශයේ රැකියා කරන අයගේ කර මතයි ඔවුන්ගේ බරත් රැ‍ෙඳෙන්නේ... ලංකාවේ බහුතරයක් උගතුන්ගේ ප්‍රායෝගිකත්වය ගැන ගැටළු තිබුනා උනත් මං හිතන්නේ ලංකාවේ ප්‍රමාණයේ හැටියට ලංකාව වසරකට බිහිකරන උගතුන් ප්‍රමාණය සෑහෙනවා... ඉතිං රටට බරක් නොවන අන්දමට පමණක් ඔවුන්ට රැකියා දෙන ගමන් අනිත් උගතුන්ට රජයේ මැදිහත්වීමෙන්ම හරි පිට රටවල් කරා ඇඳී යන්න පහසුකම් සැලසුවට අවුලක් නැහැ... හැබැයි ඔවුන් හරහා රටට විදේශ විනිමය ඇදෙන විදියේ ක්‍රමයක් සකස් කල යුතුයි... බොහෝ විට රැකියාවට ගොස් දරු පවුල් එක්ක පදිංචියටම යන අයගෙන් නම් රටට ලැබෙන ආදායම අඩුයි.. ඒත් පදිංචියටම නැතිව යන බහුතරය හරහා රටට සිද්ධ වෙන්නේ ලොකු සේවයක්...

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නේ ඒකෙ වැරද්දක් නෑ කියලා. ඒ මිනිස්සු උගත් දේවල් වලින් වැඩක් ගන්න අවස්ථාවක් රටේ නැති එකේ වෙන කොහේ හරි ගිහින් ඒ අවස්ථාව ලබාගත්තහම කිසිම ගැටළුවක් නෑ. අනික කොහොමත් කම්කරු රස්සා වලට රට යාමෙන් ලොකු සෙතක් රටටවත් ඒ යන උදවියටත් නෑ. ඒ නිසා ඊට වඩා උගත්, පුහුණු පිරිසක් යවන එකෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩිකරගන්න පුළුවන්. හැබැයි මාරයා අයියේ මේ කිවේ දැන් ඉස්සර වගේ එහෙම අවස්ථා අනිත් රටවල් වලින් විදේශිකයන්ට ලබාදෙන්නේ බොහොම අඩුවෙන්.... ඒ නිසා රජයකට මැදිහත් උනත් විදේශ රැකියා ඉස්සර වගේ ලේසියෙන් ගන්න බෑ.... කොච්චර උනත් අදටත් ලංකාවට විදේශ විනිමය ගොඩක් ලැබෙන්නේ පිටරට දාඩිය වගුරවන අපේ මිනිස්සුන්ගෙන්....

      Delete
    2. මාරයගේ කටේ මසුරං....නෑ පෑනෙ මසුරං දාන්න ඕනෙ..(ආ..කී බෝඩ් එකටද?)
      හරිම ඇත්ත...
      මේ වගේ මසුරං මොල තියෙන්න ඕනෙ තැන්වලද තියෙන්නෙ අද ලංකාවේ..විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති හෝ අඩුගානේ ලේකම් හැටියට ඉන්න ඔනෙ මාරය වගේ අයනෙ...ඒකටත් එක්ක ඕවල වැඩකරන උන්...අර එයාර්පෝර්ට් එකෙන් පිටවෙද්දි බියුරෝ එකට සල්ලි ගෙව්වද කියල හොයල බලන්න දාල ඉන්න එවුන්..තමන්ට ආදරය කරන දරු පවුල් වෙන්වයාමේ දුකට කඳුලු ‍හලද්දි...වහල් මෙහෙයට යන අහිංසකයින් දිහා බලන්නෙ, උන්ට කතාකර‍‍න්නෙ හරියට අරුන්ගේ ඉඩම් උගසට තියල අපි උන්ගෙ සල්ලි වලින් රට යනව කියල හිතාගෙන.පන්දම් අල්ලල අරගත්තු රස්සාවෙ වැටුප ගෙවන්නෙත් ඒ එන වුන් කඹුරල එවන විදේශ විනිමය වලින් කියන හැඟීමවත් අඩුගානෙ උන් ලඟ නෑ...
      //බොහෝ විට රැකියාවට ගොස් දරු පවුල් එක්ක පදිංචියටම යන අයගෙන් නම් රටට ලැබෙන ආදායම අඩුයි.. ඒත් පදිංචියටම නැතිව යන බහුතරය හරහා රටට සිද්ධ වෙන්නේ ලොකු සේවයක්...//
      මේ විදිහට උඔල හිතන එකත් අපිට ලොකු හයියක් මලය...

      ගොඩය කියන කතාව සම්පූර්ණ ඇත්ත...රට ඉඳගෙන අපි කරගත්තු මහලොකු දෙයක් නෑනෙ...ලිඳට වැටුන එකා ලිං කටෙන්ම ගොඩඑන්න ඕනෙ කියල හිත හිත ලිඳ තුලම වයසට යනව මිසක්....ලැබෙන විදිහකට ලංකාවෙ රස්සාවක් කරගෙන ජීවිතේ විඳින කෙනෙක් තරමට‍වත් අපි ජීවිතේ වින්දද..එක දිගටම විඳවනව මිසක්...දුක් විඳින්න තියෙන දේ නැතිකරගෙන මෙහෙ එන්න එපා කිව්වම හිතනව අකමැත්තට කියනව කියල....
      http://www.desert-frog.blogspot.com/

      Delete
    3. @Nimal (Desertfrog)අනේ අප්පේ ආයුබොවන්ඩ - ඔක්කොම මාරයගෙ කටේ දාන්ට එපෝ - තමනුත් දාගන්ට මං කිව්වැහැ..
      මෙව්ව අපි අපිම කථා කරල තේරුං ගත්තට කාටවත් තේරුං කරල දෙන්න අමාරුයි..
      මාරය අඩියක් දෙකක් එහාට ගිහිල්ල කථා කලාට ගොඩ දෙනෙක් ඒක තේරුම් ගන්නේ නෑ..
      එක සැරයක් සමාජ සත්කාරයක් කරන්න ගිහිල්ල "රට රස්සා කරන අයට රුපියල් සියය පොඩි දෙයක් වුණාට අපට නම් සෑහෙන්න ලොකු දෙයක් කියල..." එක උන්නැහැ කෙනෙක් කියල තිබ්බ... බුකියේ ඉන්න ළමා ලපටි කියන්නේ අපි ශ්‍රමය පිටරටට විකුණනව කියල - ඔපිස් වෙලාවේ ෆේස් බුක් යන්න ලංකාවේ පඩි ගෙවන්න සල්ලි ලැබෙන්නේ කොහොමද කියල කල්පනාවක් නෑ ආයිබොවන්ඩ ඒ අයට..
      ණයතුරුස් වලින් ගොඩ එන්න - කාටහරි උදව්වක් පදව්වක් කරගෙන කාටවත් නොනැමී ඉන්න ස්ථාවරයක් හදාගන්න එක තමා පුද්ගලිකව ලැබුණු දේ අපට - දරුපවුල් වලින් වෙන්වෙලා අපට අතපසු වෙන දේ බොහොමයි හිලව්වට - ඒත් හම්බ කරන හැම විදේශ විනිමය සතයක්ම ගානේ ලංකාවට එවන පිරිසෙන් කෙනෙක් ඔබ / මම. ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගය දැන් මගේ හිතේ විදේශ රැකියා වලින් හම්බෙන මුදල්. තව ගොඩක් දේ කියන්න තිබ්බත් කියල පලක් වෙයිද කියල සැකයි ආයුබොවන්ඩ.

      Delete
    4. @තිස්ස දොඩන්ගොඩ
      සහතික ඇත්ත මහත්තයො...මේ ගැන හිතට එන දේවල් ලියන්න ගත්තොත් තනිකරම බ්ලොග් එකක් වෙනම ලියන්න තරම් සිතුවිලි කන්දරාවක් ගොඩගැහෙනවා හිත පතුලේ....

      අවංකවම මගේ ඇස් තෙමුන මේ ටික කියවද්දි....

      //ණයතුරුස් වලින් ගොඩ එන්න - කාටහරි උදව්වක් පදව්වක් කරගෙන කාටවත් නොනැමී ඉන්න ස්ථාවරයක් හදාගන්න එක තමා පුද්ගලිකව ලැබුණු දේ අපට - දරුපවුල් වලින් වෙන්වෙලා අපට අතපසු වෙන දේ බොහොමයි හිලව්වට//

      Delete
    5. ඔය මහත්තුරු දෙන්නා කියන කතා ඔක්කොම සහතික ඇත්ත. මේකේ වේදනාව දන්නේ මේ කට්ට කන අපිම තමයි. අර කිවත් වගේ ගුවන් තොටුපලින් තමන්ගේ අයගෙන් වෙන්වෙලා ෆුල්ම අවුල් වෙලා එන වෙලාවට එතන ඉන්නවා කාලකන්නි සෙට් එකක්. හරියට අපරාධකාරයෝ අල්ලන්න වගේ ඉන්නේ. අනේ අර කාන්තාරෙට වෙලා ඇඟේ හයිය ලේ දහදිය කරලා දිය කරලා හම්බ කරන සොච්චමෙනුත් ගානක් කපනවා. ඔය මිනිස්සු ජිවත් වෙන්නෙත් පිටරට ඉඳන් අපේ කට්ටිය එවන කීයෙන් හරි කියල කට්ටියට අමතකයි. ඒ විතරක් නෙවෙයි ලොකු ලොකු පුටුවල ඇයන්ට රේස් පදින්න, එතකොට මාර්කට් යන්න, මිටින් යන්න එහෙම පාවිච්චි කොරන පිටරට වාහන ඇතුළු හැමදේම ලැබෙන්නේ අපේ රටේ මිනිස්සු හම්බ කරලා එවන විදේශ විනිමයෙන් කියලා කට්ටියට මතක නෑ. අර කිවත් වගේ මේ ගැන බ්ලොග් එකක් ලියන්න පුළුවන් මේ පොස්ට් එකත් මෙතනින් නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්. කියන්න දේවල් නම් ගොඩයි. කොච්චර කිවත් තේරුමක් නෑ....... ඔය මහත්තුරු දෙන්නටම බොහොම ස්තුතියි මේ පැත්තේ ගොඩ වුනාට...

      Delete
    6. "අර එයාර්පෝර්ට් එකෙන් පිටවෙද්දි බියුරෝ එකට සල්ලි ගෙව්වද කියල හොයල බලන්න දාල ඉන්න එවුන්..තමන්ට ආදරය කරන දරු පවුල් වෙන්වයාමේ දුකට කඳුලු ‍හලද්දි...වහල් මෙහෙයට යන අහිංසකයින් දිහා බලන්නෙ, උන්ට කතාකර‍‍න්නෙ හරියට අරුන්ගේ ඉඩම් උගසට තියල අපි උන්ගෙ සල්ලි වලින් රට යනව කියල හිතාගෙන.පන්දම් අල්ලල අරගත්තු රස්සාවෙ වැටුප ගෙවන්නෙත් ඒ එන වුන් කඹුරල එවන විදේශ විනිමය වලින් කියන හැඟීමවත් අඩුගානෙ උන් ලඟ නෑ... "

      "ණයතුරුස් වලින් ගොඩ එන්න - කාටහරි උදව්වක් පදව්වක් කරගෙන කාටවත් නොනැමී ඉන්න ස්ථාවරයක් හදාගන්න එක තමා පුද්ගලිකව ලැබුණු දේ අපට - දරුපවුල් වලින් වෙන්වෙලා අපට අතපසු වෙන දේ බොහොමයි හිලව්වට - ඒත් හම්බ කරන හැම විදේශ විනිමය සතයක්ම ගානේ ලංකාවට එවන"

      මේ කතා දෙකෙන් ඔය සේරම කියවෙද්දී ඔය ගැන කතා කරන අපේ බලවත්තු අපි ගැන බලන්නේ නැතිවුනාම තමා තියන දුක. කොච්චර කැපකිරීම් කරනවද කියල දන්නේ අපි. හිතු හිතු වෙලාවට එන්න බැරි, දරුවෝ ළඟ ඉන්න බැරි පියවරු, මව්වරු කීදාහක් මේ වැලි කතරේ ඉන්නවද? ඒත් මිනිස්සු හිතන්නේ අපි ඉන්නේ සුරපුරේ කියලා. කාන්තාරේ වේලිච්ච කුබුස් එක්ක ඔටුවෙක් හරි මරාන කාල අපි මේ ඉන්නේ අපේ පවුල්වල අනිත් එවුන්ගේ ජීවිත ගොඩදාන්න කියල තේරෙන්නේ මේ කට්ට මෙහෙමම කාපු එකෙක්ට විතරයි.

      Delete
    7. උත්තරයක් කියලා ලියන්න දෙයක් නෑ. මොකද ඔක්කොමල්ලා එක බෝට්ටුවේ නිසා ආයේ අමුතුවෙන් මොනවා කියන්නඩ සහෝදරයා.....

      Delete
  3. හිටහං මං උඹට ලොකු පෝරියල් එකක් සෙට් කරන්න...

    :)

    ReplyDelete
    Replies
    1. මොකක්ද අප්පේ ඒ ගමන ඔයා සැට් කොරන්න යන බාල්දිය ????

      Delete
    2. ඔය තියන්නෙ බුකියේ දාලා මචං - ගොඩයාගෙන් රට රස්සා කියල - හනේ මේ මාරය නම්

      ස්තූතියි විස්තරේට - හොඳ සිහි කැඳවුමක්

      Delete
    3. මම බුකියේ සීන් එක දැක්කේ පස්සෙනේ තිස්ස අයියා.... කමක් නෑ කමක් නෑ... නොමිලේ පබ්ලිසිටියක්නේ.....

      Delete
  4. කාලෙකින් ලියන්න ආපු එකත් ලොකු දෙයක් ගොඩයෝ.
    අපෝ රටේ ආර්ථිකය ගැන නම් කතා කරන්ඩ එපා. අපට කන්න බොන්න ඕන නෑ. රේසින් කාර් ගේන්න තිබ්බහම ඇති. :)

    ReplyDelete
    Replies
    1. වෙලාව සහ තව තවත් පුංචි පුංචි හේතු නිසයි ලියන එක නැවතුනේ... පුළු පුළුවන් විදිහට මොන මොනවා හරි ලියමුකො ඉතින්... ආර්ථිකය සවිමත්නේ. එකනේ කට්ටිය රේසින් කාර් එහෙම ගෙන්න හදන්නේ.... අම්මපා ඕවා කතා කරලා ලේ පුච්චගන්න ඕනේ නෑ........

      Delete
  5. ගොඩයා දැක්ක කල්. මම දන්න පවුලක්ම ඉන්නවා සිංගප්පූරුවේ අනවසරයෙන් ‍රැඳී ඉන්න. අයියෝ කන කට්ටක්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් හෙන්රි මහත්තයෝ, ඉස්සර වගේ දැන් ලිවිල්ල වෙන්නේ නෑ.... අපෝ මෙහෙ පැනලා ඉන්න උන් කන කට්ටෙන් කිසිම තේරුමක් නෑ.... ඊට වඩා හොඳින් ඉන්න තිබ්බා ලංකාවේ.... එහෙම උදවිය ගොඩක් වෙලාවට යොදන්නේ වහල් සේවයේ.......

      Delete
  6. ගොඩයාගේ කතාව නම ඇත්ත.. එත මේ පිටරට ඉඳං තමුන්ගේ අය නැතුව මානසිකව විඳින පීඩාව දැනෙනකොට ලංකාවේ හිඟාකෑවත් කමක් නෑ කියල හිතෙනවා. ඒත් ලංකාවේ තත්වේ නම් දවසින් දවස නරක වෙනවා. අනේ මන්ද රැවුලයි කැඳයි දෙකම බේරන්න බෑලුනේ..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ සහෝදරයා.... රටේ තත්ත්වය ගැන කතා කරද්දී ඇඟේ ලේ ටික පිච්චෙනවා විතරයි....... අපිට වෙලා තියෙන්නේ කොටි වලිගෙ අල්ලගත්තා වගේ වැඩක්.....

      Delete
  7. බොහොම කාලෝචිත ලිපියක්. ඉස්සර මැලේසියාවට එන්න අපිට වීසා අවස්ය උනේ නැහැ. ගුවන් තො‍ටුපලේදි ලැබුනා. ඊලන්ගට ඒක නැවැත්තුවා. ඒත් මේ ගුවන්තොට හරහා තව රටකට යන ලාංකිකයින්ට දින පහක නැවතීයාමේ වීසා පතක් මෙහිදීම ලබාගැනීමේ වරය තිබුනා ඒකත් මෑතකදී නවත්වා තිබෙනවා. හේතුව ව්යාජ රස්සා පෙන්නා මෙහි ගෙනවිත් අත හැරිය සංඛ්‍යාව අති විශාල වීමයි. එහෙම ඇවිත් හොරෙන් කට්ටි පැන පැන දුක් විඳින අය බොහොමයි සමහර කාන්තාවන් ලිංගික ශ්‍රමිකයින් වෙලා.. සමහරුන්ට ලොකු රස්සා පොරොන්දුවෙල මෙහේ අවිත් කරන්නේ පුංචි හෝටල්වල කම්කරු වැඩ. මම දන්නා පරිදි ලංකාවේ කම්කරුවෙකුට මීට වඩා මුදල් හෙවිය හැකියි.. ඔබ කියන්නා වගේ එහෙම අයට උදවු කිරීමත් බරපතල අවදානමකට තම්නුත් තමුන්ගේ යැපෙන්නනුත් පත්කිරීමක්. එහෙම කල කෙනෙක් අල්ලලා හිරේ දාල අන්තිමට පවුල පිටින් පි‍ටුවාහල් කලා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය මේ දවස් වල උනන්දු වෙන නිසයි ලියන්න හිතුනේ... මෙහෙ නම් තාමත් ගුවන් තොටුපොලෙන් විසා අරගෙන එන්න පුළුවන්.... හැබැයි අපේ අයගේ හපන්කම් නිසා ඒකත් ළඟදීම නවතීද දන්නේ නෑ.... මෙහෙ රට ගොඩක් පොඩි නිසා පැනලා මැලේසියාවේ වගේ හැංගිලා ඉන්න අමාරුයි.. හැබැයි පැනලා ඉන්න අය නම් කරන්නේ වහල් සේවය තමයි. අම්මෝ උදව් කරන්න ගිහින් ඉල්ලන් කන්න වෙනවා විතරක් නෙවෙයි අපිටත් අකුලාගෙන යන්න වෙනවා....

      Delete
  8. මේ කතාවම සහතික ඇත්ත. ලංකාවෙනම් ජිව්වත් වෙන්න වෙන්නේ අහිකුන්ටකයන් වගේ. මගේ යාලුව වැඩ කරන තැන රස්සාවක් හොයල දෙන්න කිවුවේ 2006 දී.කොහොම හරි මට එයා මම දැන් කරන රස්සාව හොයල දුන්නේ 2010 දී. එච්චර කාලයක් බලන් හිටියේ.මටත් ලංකාවේ යාලුවෝ කරදර කරනවා රස්සාවල් හොයල දෙන්න කියල. එත් මේ අප්‍රිකාවේ මම කොහොම රස්සාවල් හොයන්නද?.

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක්ට පුලුවන් දෙයක් නම් කරලා දෙනවා. ඒත් අපි මොක්කුද අනුන්ගේ රටකදි... සමහරු කියනවා කම්කරු රස්සාවක් හරි කමක් නෑ කියලා. එහෙම රස්සා කරන උන් කන කට්ට දැක්කහම පුලුවන් උනත් මම නම් එහෙම එකක් හොයලා දෙන්නේ නෑ. ඒක හරියට වහල්ලු හොයලා දෙනවා වගේ වැඩක්... අනික ඊට පස්සේ මගේ හත්මුතු පරම්පරාවටම ඌ දෙස් තියයි....

      Delete
  9. ලංකාවේ තරුණ ශ්‍රමය විදේශ රටවල් කරා ගලා යන බුද්ධි ගලනය නවත්තන්න ලංකාවේ ආරම්භ වෙලා තියන ව්‍යාපාර මදියි. ආරම්භ කරලා තියන සමහර ව්‍යාපාර හදන්නේ මිනිස්සුන්ගේ ශ්‍රමය හූරන් කන්න. නිසි වැටුපක් ගෙවන අය ඉන්නේ ටිකයි. මම දන්නවා ලංකාවේ එක්තරා පුද්ගලික බැංකුවක තොරතුරු තාක්ෂණය සඳහා ගත්තු නිලධාරියාට ගෙන්වන්නේ 25000 විතරයි. ඒ සුදුසුකම් ම තියන කෙනෙක් ට මෙහෙ ගෙවනවා 90000 විතර. ලංකාවේම තවත් එක ආයතනයක ඒ කෙනාට 50000 දෙනවා. බලන්න එතකොට මේ වැටුප් විෂමතාව. ඉතින් මේ කෙනා තෝරාගත්තේ විදෙස් රැකියාව. තමන්ට මුල් වැටුපෙ 3 ගුණයකට එහා දෙන රැකියාවක් එපා කියයිද අද ආර්ථිකේ එක්ක? එයා මට කිව්වේ මෙහෙම, මට දැන් ඕනේ සල්ලි. ඒ හින්දා රට එනවා කියලයි.

    ඒත් රට එන කෙනෙක් මේ ගාන හොයන්නේ සැහෙන්න කැපකිරීම් කරලා. ඒ වුනත් ඔහුගේ ජීවන තත්වය ලංකාවේදී ගොඩක් ඉහලයි. මෙහෙදී සාමාන්‍යයි. ඒත් ලංකාවට සාපේක්ෂව ඒකත් ඉහල ජීවන තත්වයක් (පෙනෙන දේ අනුව). මේ නිසා තමා අපේ මිනිස්සු රට යන මිනිස්සුන්ට ඉසුර ලැබුනා කියලා හිතන්නේ. ඒ වුනත් යතාර්ථය ඔහු මෙහිදී කන්නේ ලොකු කට්ටක්. ලංකාවට සාපේක්ෂව සමහර විටක අව්වේ සීතලේ වැඩ කරන එකම ලොකු දෙයක්. ඒ එක්කම පොඩි කාමර වල ඇඳට විතරක් සීමා වෙලා ඉන්න පිරිස ඉතා විශාලයි. එහෙමත් කෙනෙක් තමා හොඳ ආයතනයක සැප පහසුවට ඉඳගෙන හොඳ වැටුපක් ගන්නේ. ඒත් බහුතරය විඳින්නේ අමුම අමු දුකක්. ඒත් ගෙදරට කතා කරන්න මාස ගානකින් ලැප්ටොප් එකක් එහෙම ගත්තම මිනිස්සු හිතන්නේ ආ.. ලැප්ටොප් ඈ.. කියන තැනින් මිසක් වෙන තැනකින් නෙවෙයි.

    වහල් සේවයට එන කම්කරු පිරිමින් ගෙවල් වල වහල් මෙහෙය කරන ගැහැණු මීට වඩා අපා දුක් විඳින්නේ. රියාල් 900 උපරිම පඩියකට ඇවිත් රියාල් 200 කන්න වියදම් කරලා තව 100 විතර කෝල් කාඩ්ස් වලට අනිත් දේවල් වලට වියදම් කරලා ඉතුරු සොච්චම රියාල් 600 නැතිනම් 500 ගෙදරට යවන අය මම ඕනෙතරම් දැකලා තියනවා. ඒ වගේම රියාල් 15000 පඩි අරගෙන රියාල් 3000 ගෙයක් අරන් 1599 ගානේ මාස 48 ලෝන් එකට කාර් අරං ඉන්න අයත් දැකල තියනවා. ඔය දෙකොටස අතරින්ම ගුවන්තොටේ තැලෙන්නේ, වැඩ කරන තැනින් තැලෙන්නේ පුංචිම පුංචි පඩියට දරුපවුල රකින්න යන මිනිහා කියලත් මම දැකලාම තියනවා. රාක්ෂයෝ වගේ බියුරෝ ගෙවන්න කියාගන කඩා පනින බලු නගුටෝ එහෙම පනින්නේ තමන්ගේ බඩවියත සරි කරන මිනිහෙක්ට කියල නොදැනද මන්දා ගොරවන්නේ හරියට ඒ මිනිස්සු දාහක් වැරදි කරලා රටෙන් එලවනවා වගේ. දවසක් ඇස්පනාපිට මම දැක්කේ කඳුළු පෙරාගෙන හීනෙන් ඇවිදිනවා වගේ බෑග් එක ඇදගෙන සැරින්සැරේ නතරවේවි යන ගැහැණියක්වෙත මේ මිනිස්සු කඩාන පැනපු විදිය.

    කාට කියන්නද මේ දේවල්.. රියාල් 500 එවන්න රුපියල් ලක්ෂයක් ඒජන්සියට ගෙවලා යන මිනිහගෙන් රියාල් 300 එයාපෝට් එකේදිම ගසාකන රටක මොකක් කියන්නද?

    එක්කෝ අපේ රටෙත් අවම වැටුප මෙච්චරයි කියල පිලිපීනේ, ඉන්දියාවේ වගේ සීමා දාල මිනිස්සු රට යවන්න ඕනේ. ඒජන්සි වලට ගසාකන්න බැරිවෙන්න ඒවා වලට අයකරන සීමා පනවන්න ඕනේ. එහෙම නැතුව මේ වෙන දේවල් නවත්තන්න බෑ.

    මේ මගේම අත්දැකීම් ඔස්සේ කියන්නේ. මාව රට පටවන්න කොටුවේ ඒජන්සියක් දඟලපු දැඟලිල්ල එක්ක මම ඇහුවා කීයද පඩි කියලා. රියාල් 1200 කිව්වා. මම ඇහුවා කීයක් ගෙවන්න ඕනෙද කියලා ලක්ෂයක් කිව්වා. :) මම කිව්වා මම මෙහෙත් ඊට වඩා හොයද්දි මොකට යනවද කටාර්වලට ඔය සොච්චම හොයන්න කියල. ඒපාර ඒජන්සිකාරයා කියනවා කටාර්වල ක්‍රිකට් ගහන්න පුළුවන් ලු. ග්‍රවුන්ඩ් එක තියෙන්නේ මට රස්සාව දුන්න ආයතනය ලඟම ලු. මම කිව්වා මම රට යන්නේ ක්‍රිකට් ගහන්න නෙවෙයි කියලා.

    ඊට ම ටික කාලෙකින් අයදුම් කරන්නෙත් නැතුව ඊට මාස 8 කට කලින් යවපු අයදුම්පතක් එක්ක මට මම අද කරන රැකියාව ලැබුනා. බොහොම හොඳ වැටුපක් එක්ක. ඒ ඒජන්සියෙන් මගෙන් ගත්තේ රුපියල් 25000 විතරයි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ කොමෙන්ට් එකේ දිග. ඇත්තටම මේ ගැන අත්දැකීම් තියන අයට තමයි මේක කට්ටක් කියලා තේරෙන්නේ. ඒ වගේම ඔබතුමා කීවා වගේ විධායක තනතුරුවල වැඩ කරන උදවියට සහ කම්කරු නොවන රැකියා කරන උදවියට නම් ලංකාවට වඩා හොඳ ජිවන තත්වයක් පිටරටවලදි බොහෝවිට ලැබෙනවා. ඒත් තනිකම එක්ක කන කට්ට ලේසි නෑ. ඔය කීවා වගේ වැදගත් විදිහට රැකියා හොයලා දෙන ආයතනත් ඇති. හැබැයි බහුතරය කරන්නේ මිනිස්සුන්ව සූරාගෙන කන එක.... විධිමත් ක්‍රමයක් මඟින් ඔය වැඩේ ආණ්ඩුවේත් සහය ඇතිව කෙරෙනවා නම් හොඳයි. ඒත් ඒකට ආණ්ඩුවක් තියෙන්න එපැයි.....

      Delete