Sunday, March 20, 2011

අපේ මිනිහෙක් සහ පිට මිනිහෙක්......

ත්‍රීවිල්  ගැන ලීවේ මට වෙච්ච සිද්ධියක් නිසානේ. ඔන්න එහෙනම් ත්‍රීවිල් මතක් වෙච්ච සිද්දිය ලියන්නයි යන්නේ. සිද්දි එකක් නෙවේ දෙකක් සම්බන්ධයි. ඔන්න ඉතින් කතාවට බහිමුකො. මම ඉතින් මගේ රටෙන් පිටවෙලා මේ අනුන්ගේ රටකනේ කරක් ගහන්නේ.  මෙහේ ආව කාලේ ඉතින් පිස්සු වගේ. මෙහෙ ඉන්න උන්ගේ මූණේ හිනාවක් තියා ලේ කඳුලක් නෑ. නිකන්ම නිකන් හිස් බැල්මක් විතරයි තියෙන්නේ. ලංකාවේ අපේ මිනිස්සුනේ මූණුවල තිබ්බ මනුස්සකම, ලෙන්ගතු හිනාව අතරේ ජිවිතේ ගෙවපු මට මුන්ගේ මූණු දකිද්දී එන කේන්තියට මෙහෙ උන්ට හොම්බට 2ක් 3ක් නෙවෙයි 100ක් 200ක් ඇනලත් මදියි කියලා හිතුනා. දැන් නම් ඉතින් ඒක පුරුදු වෙලා. ඒ හැටිම ගානක් නෑ. පිටරට විස්තරේම මෙතන කියන්න බෑ.  කියන්න ඕන උනේ අපේ මිනිස්සුන්ට වගේ මනුස්සකමක් මෙහෙ උන්ට නෑ කියලා. හැබැයි අතරින් පතර රත්තරන් හදවත් තියන මිනිස්සුත් ඉන්නවා. එහෙම අය ඉතින් රත්තරං වගේම දුර්ලභයි.


ඔන්න ඉතින් මේ ළඟදී දවසක මමයි මගේ යාළුවෙකුයි පොඩි හදිස්සි වැඩකට යන්න ටැක්සි එකක් ගත්තා. අපි යන්න ඕනේ තැන නම විතරයි දන්නේ. ඒවගේ වෙලාවට ටැක්සියේ පිහිටම තමයි. මෙහෙ ඉතින් ත්‍රී වීලර් නෑනේ. අඩුගාණට ලංකාවේ වගේ ඔය හදිස්සි වැඩ කරගන්න බෑ. අත දාලා නවත්ත ගත්තා වාහනයක්. දෙන්නම නැඟලා ඩ්‍රැයිවර් අන්කල්ට යන්න ඕනේ තැන කීවා. පිටි පස්සේ අපි දෙන්නා කයියක් දාගෙන යනවා. මෙන්න මේ මනුස්සයා එක පාරටම වාහනය පාර අයිනේ නැවැතුවා.

" මෙතනද ඒ තැන? කෝ එහෙම බෝඩ් එකක් වත් නෑනේ"  ඒ ප්‍රශ්නේ මගෙන්.

" මට සමාවෙන්න, මම මේ පැත්තට සෑහෙන කාලෙකින් ඇවිල්ලා නෑ. මම හිතුවේ ඔය කියන තැන මෙතන කියලා. ඒත් මට වැරදුනා. ප්‍රශ්නයක් නෑ. මම මීටර් එක නවත්තන්නම්. මෙතන්ට විතරක් ගෙවන්න. මම කොහොමහරි ඉක්මණට ඔය තැනට ගිහින් දාන්නම්.සමාවෙන්න." ඔන්න උත්තරේ.

එහෙම කියපු මනුස්සයා අපි ආවට වඩා දුරක් රවුම් ගහලා කොහොමහරි තැන හොයලා දුන්නා. අපිට තේරුණා මේ වැඩෙන් ටැක්සි අන්කල්ට සෑහෙන පාඩුයි කියලා. ඉතින් මම කීවා
 " මීටර් එක වැඩ කලේ නැති උනාට කමක් නෑ. තව කීයක් හරි ගන්න" කියලා.
මොකද ඒ ගමන පාර දැනගෙන ආවත් ඊට වඩා ගාණක් ගෙවන්න වෙනවා. අනික මේ මනුස්සයාගේ මනුස්සකමට සහ අවංකකමට මට හිතුණේ නෑ අර ගාණ විතරක් දීලා බහින්න. ඒත් අපි වැඩිපුර දුන්න සතයක් වත් ගත්තේ නෑ. එවෙලෙත් කීවේ
 " කමක් නෑ. මම නිසා ඔයාලට පරක්කු උනා. ඒ ගැන සමාවෙන්න. මගේ වැරැද්ද. මම තැන හරියටම දන්නේ නැතුව ඔයාලාව වාහනේට දාගත්තා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. මම බොහොම සතුටින් මේ ගාන ගන්නේ."
මෙහෙ මිනිහෙක්ගෙන් කලාතුරකින් ලැබෙන වචන ටිකක් ඔය.

මට මේක සුවිශේෂි සිද්ධියක් උනේ මම මේ රටේ අවුරුදු 3ක් 4ක් ගත කරලා තියනවා. මෙච්චර කාලෙකට හම්බවුන මිනිස්සු අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මිනිස්සු මිසක් මේ වගේ මිනිස්සු හම්බවුනේ  හරිම අඩුවෙන්. අනේ ඉතින් අපි දෙන්නත් අර මනුස්සයාට ස්තූති කරල වැඩේට යන ගමන් මිනිහට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරා. ඒවගෙම පොඩ්ඩක් පරක්කු උනත් හිත සතුටින් අවශ්‍ය තැනට ගියා.

ඔය සිද්ධිය එක්කම මට ත්‍රී විලර් එක මතක් වුනා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි. අපේ මිනිහෙක්ගේ මනුස්සකම නිසා. මම ගිය පාරට කලින් ලංකාවට ගිය වෙලාවක නොදන්න පලාතක එක්තරා ආයතනයකට යන්න ඕන උනා මගේ වැඩකට. බස් එකෙ මඟක් ගිහින් බස් වැඩිය දුවන්නේ නැති අතුරු පාරක යන්න තිබුන නිසා ත්‍රීවිලර් එකක නවත්ත ගත්තා. තැන කීවහම මිනිහත් ගමන පටන් ගත්තා. හැබැයි යන පාරවල් වල හැටියට මේ මනුස්සයා රවුමක්ද ගහන්නේ කියලත් හිතුනා. මම ඇහුවත් එක්ක. ඒත් මනුස්සයා නෙවෙයි ගනන් ගත්තේ. නොදන්න පලාත් වල ත්‍රීවීල් අයියලාට සද්ද දාන්නත් බෑනේ. කොහොමහරි සෑහෙන වෙලාවක් අරන් සෑහෙන දුරක් ගියා. අවශ්‍ය තැනට ගිහින් බැස්සුවා ගාණ හරියටම මතක නෑ. හැබැයි 200 පැනලා. ආපු දුරේ හැටියට කමක් නෑ කියලා හිතාගෙන මමත් දුන්නා. අනික ලංකාවේ ඔය ගාස්තු මාස 6න් 6යට සංශෝධනය වෙනවානේ. කවුද ඉතින් ගනන් හරියට දන්නේ. සල්ලි දීලා මම මගේ වැඩේට ගියා.
වැඩේ අහවර කරගෙන ආපහු ප්‍රධාන පාරට එන්නත් එතනින් වෙන ත්‍රීවීලර් එකක් කුලියට ගත්තා. අනේ මේ මනුස්සයා වෙන මොකක්ද පාරකින් බොහොම ඉක්මනට මාව පාරට ගෙනත් දැම්මා. ඒ විතරක් නෙවෙයි ගාන 80යි. මට යකා නැග්ගා. සල්ලි හින්දා මිනිස්සු කරන වැඩ. වැඩිපුර කීයක් හරි ගන්න ඕන උනානම් අර මිනිහ කෙටි පාරෙන් ගිහින් මගෙන් 150ක් ගත්තනම් මට දුකක්වත් කේන්තියක් වත් නෑ. මොකද මගේ වෙලාව හරි ඉතිරි වෙනවා. මේ මිනිහා මගේ වෙලාවත් කාලා, සල්ලිත් ගත්තේ. අනේ මන්ද ඉස්සර නම් අපේ රටේ මිනිස්සු ළඟ පුදුමාකාර මනුස්සකමක්, ලෙන්ගතුකමක් තිබුනා. හැබැයි මම නිවාඩුවට එන හැම පාරම මට දැනෙන්නේ අපේ මිනිස්සු ළඟ තිබුන ඒ රත්තරං ගතිගුණ සල්ලි කොලවලට දවසින් දවස වැහෙනවා කියලා.

අපේ මිනිස්සුනේ ගතිගුණවල අගය තේරුණේ පිටරටක පිට මිනිස්සුත් එක්ක ජීවිතේ ගත කරන්න පටන් ගත්තහම. ඒත් අපේ මිනිස්සුන්ගේ වටිනාකම අපේ මිනිස්සුම අඩු කරගන්න හදන එක ගැන නම් මට පුදුම කේන්තියක් සහ දුකක් දැනෙන්නේ. ඒ වෙනස රටින් පිට කාලයක් ඉඳලා රටට එද්දී හොඳටම දැනෙනවා. ලංකාවෙත් හැමෝම දැන් රේස් එක දුවන්න පටන් අරන්. හැබැයි ඔය රේස් එකෙන් පස්සේ අපට ඉතුරු වෙන්නේ හති විතරයි. මේ සිද්දි දෙක ලීවේ අපේ විනාශ වෙන මනුස්සකම ගැන තියන කැක්කුම නිසා. ඒ කැක්කුම තදින් දැනෙනවා අපේ මිනිස්සුන්ගෙන් වෙන් උනහම. ඒත් එකම කාරණයකදී අපේ මිනිහෙක් මට දක්වපු ප්‍රතිචාරයයි, පිට මිනිහෙක් මට දක්වපු ප්‍රතිචාරයයි අතර තියන දුර. මේ වගේ මිනිස්සු අතරේ තාමත් අපේ රටේ මනුස්සකමින් පිරුනු උතුම් හදවත් තියන උදවිය ජීවත් වෙනවා. එකේ සැකයක් නෑ. ඊළඟ ලිපිය අපේ මිනිස්සුන්ගේ මනුස්සකම ගැන. අනේ දෙවියනේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මුදල් හොයන්න මිසක් මුදල් හොයන්න ජීවත්වෙන්න හිත් නොදේවා...........

4 comments:

  1. කාලයත් එක්කම හුගාක් දෙවල් වෙනස් වෙලා අයියා...මුදලට ගිය ලොකයක් දැන් මේක ..දාහකට එකක් වගේ රත්තරං මිනිස්සුන් ඉන්නේ...

    ReplyDelete
  2. අපි පිටස්තර මිනිස්සුන්ගෙන් කොහොමද මල්ලි ඔය ගති ගුණ බලාපොරොත්තු වෙන්නේ ? තමුන්ගේම පවුලේ අයත් මුදල් පෙරට තියලයි දැන් දැන් සම්බන්දකම් පවත්වන්නේ.. ඇත්තම කියනවා නම් මම ඔක්කොටම වඩා කලකිරිලා ඉන්නේ මගේම මිනිස්සු ගැන.. සල්ලි ඕන නම් විතරයි මාව මතක් වෙන්නේ.. අත මිට සරු වෙලාවට මමවත් මගේ පොඩි උන් වත් මතක නෑ.. අපේ පෙනෙන්න තියෙන ප්‍රශ්න ගැන කවුරුත් අහන්නේ නෑ ඒ අයගේ පොඩි ප්‍රශ්න ලොකුවට පෙන්නලා මුල්‍යාදාර ගන්න තමයි ඕන.. ටිකක් ආදරෙන් කතාකරල සලකනවා නම් ඊට පස්සේ බිලක් එන බව සිකුරුයි !!! මායි මගේ බාරීයාවයි දැන් හොඳටම මට්ටු වෙලා ඉන්නේ. ඔන්න කවදාවත් නැතුව අවුරුදු අටකට පස්සේ මගේ පවුලේ කෙනෙක් හිටි ගමන් දිගින් දිගටම දුරකථන ඇමතුම් දි දී අපේ දුක සැප විමසන්න ගත්ත .. අපි දෙන්න දැන් කතාවෙනව මොනව හරි ගුලියක් තමයි කියල.. ඔන්න ටිකක් සීසන් වුනාට පස්සේ එනවා නය අයදුම් පත්‍රයක් !!

    ReplyDelete
  3. ඒක තමයි නංගි හිතට තියන දුක. මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. හැබැයි මෙහෙම නෙවෙයි. හොඳ විදිහට. හොඳ දේට තවත් හොඳ දේවල් එකතු කරගෙන වෙනස් වෙන්න ඕනේ. ඒත් වෙන්නේ හොඳ දේවල් විසිකරලා නරක දේවල් පුරවගන්න පොරකන එක. කොච්චර මොනවා කීවත් මුදලට ගන්න බැරි දේවල් ගොඩක් මේ ලෝකේ තියන බව අද ගොඩක් අයට අමතකයි...

    ReplyDelete
  4. සහතික ඇත්ත අයියා.... මම කොහොමත් සමාජ සම්බන්ධතා ඇතුලේ පවුල් සම්බන්ධතා කියන කොටස අමතක කරලා තියෙන්නේ. ඒකයි මට ඔය ගැන පොඩ්ඩක් වත් කල්පනා වුනේ නැත්තේ. මගෙ නම් නෑයෝ කීප දෙනෙක් ඉන්නවා වැටුන වෙලාවට වෙන හයියක් නැතත් වචනෙයෙන් හරි මාව නැඟිට්ටවන්න උත්සහ කරපු. මගේ පණ කෙන්ද තියනකන් ඒ මිනිස්සු මට අමතක වෙන්නේ නෑ. හැබැයි බහුතරය අපේ කකුල් වලට හයිය හත්තිය එන්න පටන් ගත්ත කාලෙම අපිව බිම දාන්න, පාගලා දාන්න, අපේ අඬු කඩන්න උත්සහ කරපු අය. දැන් ඉතින් අපේ අඬු හයියයි. ඒ කටු ඔක්කොම කාගෙන දෙපයින් නැඟිටලා ඉන්නවා. දැන්නම් ඉතින් ලේසියෙන් කාටවත් බිම දාන්න අමාරුයි කියලා දැනෙන්න ගත්තට පස්සේ මෙන්න කපන්න බැරි වෙච්ච අත ඉඹින්න හදනවා. මම ඉතින් මැරිලා ඉපදුනේ නෑනෙ අයියා. හැබැයි මම මේ පෝස්ට් එකෙන් කියන්න හැදුවේ අපේ මිනිස්සුන්ගේ තිබුන සමාජ සම්බන්ධතා ගැන. ජීවිතේට දැකලා නැති උනත් කරදරයකදී මිනිහෙක්ට උදව් කරන, ඒ මිනිහා වෙනුවෙන් කට්ටක් කන්න දෙපාරක් හිතපු නැති ප්ලැටිනම් පපු තිබුන මිනිස්සු කොටසක් අපිත් එක්ක ඉස්සර හිටියා. එහෙම මිනිස්සු වඳ වීගෙන යන එක ගැනයි දුක. කොහොම උනත් වේයන් වන් නෑයන් ගැන මගේ කතාවක් නෑ අයියා.........

    ReplyDelete