" අම්මා තාත්තවත් විශ්වාස නැති කාලයක් "
" උඹට හොඳටම විශ්වාසද ඌව, මට නම් සත පහකට විශ්වාස නෑ බං "
කාත් එක්ක කතා කලත් නිතරම මේ වගේ දේවල් ඇහෙන නිසා අද විශ්වාසය ගැන ලියන්න හිතුනා. කවුරු කොහොම කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ කිවත් මිනිස්සු ඉපදිලා මැරෙනකම්ම කුමන හෝ විශ්වාසයක් මත ජිවත් වෙන බව නම් මට විශ්වාසයි. අපි පුංචි උන් සන්දියේ ඉඳලා අපේ වටේ ඉන්න අයව විශ්වාස කරන්න පෙළඹෙනවා. පොඩි කාලේ අපි නොදන්නා දෙයක් දැක්කාහම දැනුනහම අපි ක්ෂණිකව අහන්නේ අපේ ළඟ ඉන්න දෙමාපියන්ගෙන්. මොකද අපිට ඒ අයව විශ්වාසයි. ඒ කාලේ සමහර දේවල් අපිට තේරුම් ගන්න අමාරුයි කියලා අම්මට තාත්තට තේරුනහම ඒ අය අපට බොරු කිවා. ඒත් අපිට තේරෙන කාලේදී ඒ අය බොරු කිවා කියලා අපිට අම්මලා තාත්තලා ගැන තිබ්බ විශ්වාසය අඩු වුනේ නෑ. මොකද අපිට තේරුනා ඒ මොහොතේ ඒ දේවල් තේරුම් ගන්න තරම් ශක්තියක් නැති නිසයි අම්මලා අපිට ඒ විදිහේ උත්තරයක් දුන්නේ කියලා. ඒ නිසා ඒ විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වුනේ නෑ. ඒත් අද කාලේ නිවුස් එහෙම ඇහෙද්දී හිතෙනවා අම්මලා තාත්තලා උනත් විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයි නේද කියලා.. හැමෝම නම් නෙවෙයි.
අපි අම්මලා තාත්තලා ගෙන් ඈත් වෙලා ස්කෝලෙට එතකොට ගෙදරින් එළියේ සමාජයට ගියාට පස්සේ අපිට සෙට් වුනා යාළුවො. අපි සමහර යාළුවන්ව විශ්වාස කරා. සමහර එවුන් නම් සත පහකට ෂුවර් නෑ. යාළුවො අතර විශ්වාසය ගොඩ නැගුන විදිහ නම් හරි අපූරුයි. අපි ඔක්කොමල්ලා විවිධාකාර පවුල් පසුබිම් වල ඉඳලා තමයි එකට වැටුනේ. ඉතින් එක එකා හිතන පතන විදිහ හරිම වෙනස්. ඒ අස්සේ මම වගේම නැතත් මට ටිකක් කිට්ටුවෙන් හිතන එකෙක් සෙට් වුනහම පොඩ්ඩක් හිතවත් වෙනවා. ඒත් සත පහකට විශ්වාස නෑ. ඊට පස්සේ ටික ටික ඌව අධ්‍යනය කරනවා. එක එකාගේ හැටියට ඔය අධ්‍යනය කරන කාල පරාසය වෙනස් වෙනවා. ඔය විදිහට කාලයක් යනකොට අපිටම ඒත්තු යනවා මූ නම් විශ්වාස කරන්න පුළුවන් ගොබිලෙක් කියලා. ඊටත් පස්සේ අපි මූණ දෙන්න දේවල් වලට ඒ මනුස්සයා දක්වන ප්‍රතිචාර එක්ක අපිට හිතෙනවා මේ යකා නම් විශ්වාස කරන්න පුළුවන් කියලා. ඔය විදිහට ඇති වෙච්ච යාළුකම් විශ්වාසවන්තකම් සමහරවිට කැඩිලා බිඳිලා යනවා. හේතුව අපි අර මනුස්සයව අඳුරගෙන තියෙන්නේ වැරදියට. හැබැයි මගේ පොඩි කාලේ ඉඳං ආශ්‍රය කරන, විශ්වාස කරන උන් මට නම් තාමත් විශ්වාසයි. මොකද ඒ අය තාමත් ඒ විශ්වාසය පළුදු වෙන වැඩ කරලා නැති නිසා.
සමහර වෙලාවට අපේ යාලුවෙක් කරන වැඩ නිසා අපිට හිතෙනවා මූව නම් සත පහකට විශ්වාස නෑ කියලා. ඒත් කාලයක් යද්දී වැටෙහෙනවා ඌ ඒ දේ කරේ අපේම හොඳට නේද කියලා. සමහර වෙලාවට අපි පරක්කුයි. කොහොමත් විශ්වාසය කියන දේ එක පාරක් පළුදු උනහම ආයෙත් යථා තත්වයට ගන්න අමාරුයි. හරියට වටිනා කරන වීදුරු භාණ්ඩයක් වගේ. බොහොම දුර්ලභ චීන මැටි භාජනයක් වගේ. එක පාරක් කැඩුනොත් ආයේ ඉතින් එක මොනවා කරලවත් යථා තත්වයට ගන්න බෑ......
කොහෙවත් ඉන්න කවදාවත් දැකලා නැති කෙනෙක් ඇවිල්ලා තවත් කෙනෙක්ට කිවොත් " මාව විශ්වාස කරන්න " කියලා අර මනුස්සයා කියයි " තමුසෙට පිස්සුද ? කවදාවත් දැකලා නැති, දන්නේ නැති කෙනෙක්ව විශ්වාස කරන්න කියන්නේ කියලා " විශ්වාසය කියන දේ ඇති වෙන්නේ අපි තව කෙනෙක් ගැන දැනගෙන, මැනගෙන ඒ මනුස්සයා අපි බලාපොරොත්තු වෙන සීමාවට ආවට පස්සෙයි. එහෙම නැතුව නිකම්ම දැක්ක පලියට කිව පලියට මිනිහෙක් විශ්වාස කරනවා නම් ඒ ඉතින් නොම්මර එකේ මෝඩයෙක්. මම එහෙම කීවට මොකද මේ ලෝකේ සමහරු ඉන්නවා මිනිස්සු මෝඩයාට අන්දන්න උපන් හපන්කම් තියන මිනිස්සු. උදාහරණයකට ගමුකො සක්විති. විශ්වාසය සහ තන්හාව නිසයිනේ මිනිස්සු තමන් හම්බකරපු සන්තකේම මිනිහට දුන්නේ. ඒ නිසා කෙනෙක් විශ්වාස කරද්දී පුදුම විදිහට පරිස්සම් වෙන්න සිද්ධවෙනවා. එතකොට සමහරු කියයි " අපෝ ඊට වඩා හොඳයි කිසිම කෙනෙක් විශ්වාස නොකර ඉන්න එක " කියලා. ඔව් ඒකත් හොඳයි. හැබැයි ඒ විදිහට වටේ ඉන්න හැමෝම ගැන සැකෙන් බල බල ජිවත් වෙන එක කොච්චර දුරට සාර්ථකද කියන එකයි ප්‍රශ්නේ. මොකද මට උදව්වක් ඕනේ වෙලාවට මම ඒ උදව්ව ඉලන්නේ මගේ විශ්වාසවන්ත කෙනෙක්ගෙන්. එහෙම නැතුව විශ්වාස නොකරන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න පෙළඹෙන්නේ නෑනේ. අනික මාව විශ්වාස නොකරන කෙනෙක්ට උදව්වක් දෙන්න මම බයයි. අවිශ්වාසයෙන් උදව්වක් ගන්න එක සහ දෙන එක දෙගොල්ලන්ගේම සැක මතු වෙන්න හේතුවක් වෙනවා. කොහොමත් අවිශ්වාසය තියන තැනට සැකය එනවා. එතනට නිකම්ම බයත් එනවා. ඒ නිසා අපිට හැම තිස්සෙම කාව හරි මොකක්හරි විශ්වාස කරන්න සිද්ධවෙලා තියනවා. හැබැයි මොනවා විශ්වාස කරන්නත් කලින් විශ්වාස කරන්න ඕනේ ලොකුම දේ තමයි තමන්ව. තමන්ට තමන්ව විශ්වාස නැති උන්ගෙන් උන්ටත් සමාජයටත් වෙන්න තියන හානිය වැඩියි. මොනවා කරත් කරන්න ගියත් තමන් ගැන විශ්වාසය තියෙන්නේ ඕනේ.
මිනිස්සු අදහන ආගම් ගත්තොත් වැඩි ආගම් ප්‍රමාණයක් දෙවියන් මූලික කරගෙන බිහිවුන ආගම්. දෙවියන් දැකලා නැති උනත් මිනිස්සු දෙවියන්ව විශ්වාස කරනවා. දෙවියෝ ගැන භක්තියෙන්, විශ්වාසයෙන් ආගම අදහන කෙනෙක්ගෙන් ඇහුවොත් " උඹ මොකටද දැකලාවත් නැති, කටහඬවත් ඇහිලාවත් නැති දෙවියෙක්ව විශ්වාස කරන්නේ ?? " කියලා, ඒ ප්‍රශ්නේ අහපු එකාට හොඳ කනේ පාරක් නම් ලැබෙන්න ඉඩ තියනවා. මිනිස්සු ඉපදුන දවසේ ඉඳං ඒ දෙවියන්ට ගරු කරනවා, විශ්වාස කරනවා, අදහනවා. මොකද මිනිස්සු වෙච්ච අපිට විශ්වාසය කියන දේ වැදගත්. විශ්වාසය උඩ දෙයක් පටන් ගත්තොත් මිසක් කිසිම විශ්වාසයකින් තොරව පටන් ගන්න දෙයක් සාර්ථක වෙන්න තියන ඉඩ කඩ අඩුයි. ඒ නිසයි ලෝකේ මිනිස්සු බහුතරයක් දෙවියන්ව විශ්වාස කරන්නේ සහ ඒ විශ්වාසය මත ඒ මිනිස්සු කරන දේවල් සාර්ථක වෙනවා කියලා විශ්වාස කරන්නේ. මම මේ කිවේ දෙවියන්ව විශ්වාස කරනවාද නොකරනවාද කියලා නෙවෙයි. ඒත් මිනිස්සුන්ට විශ්වාසය වැදගත් කියලයි. මිනිස්සු කොච්චර කිවත් මම කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ කියලා මිනිස්සු වෙච්ච අපිට විශ්වාසය වැදගත්. මොකද විශ්වාසය නැති තැනට සැකය එන නිසා. සැකයත් එක්ක බය එන නිසා. මම කියන්නේ නෑ ලෝකේ ඉන්න හැමෝම එහෙම නැත්නම් ලෝකේ තියන හැමදේම විශ්වාස කරන්න කියලා. නමුත් යම් යම් අවස්ථාවලදී අපිට යම් යම් දේවල් විශ්වාස කරන්න වෙනවා.
සමාජයේ කිනම් හෝ පිරිසක් කෙනෙක්ව විශ්වාස කරනවා නම් ඒ පුද්ගලයාගේ යුතුකම තමයි ඒ විශ්වාසය පළුදු නොකර තියාගන්න එක. ඒත් කවදා හරි ඒ විශ්වාසය බිඳුණු දවසට ඒ මනුස්සයට සමාජයට එන්න අපහසු වෙනවා. ඒ වගේම අර මිනිහව විශ්වාස කරපු පිරිසටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ මිනිස්සුන්ටත් ලෝකෙට මූණ දෙන්න අපහසු වෙනවා. ඒ මිනිස්සුත් දුක් වෙනවා. මොන විදිහෙන් හරි අර මනුස්සයා සමාජයට නැවත ආවත් ඔලුව උස්සගෙන ඉන්න නම් වෙන්නේ නෑ. සමහර විටදී ඒ මනුස්සයා අතින් විශ්වාසය බිඳුනේ සාධාරණ හේතුවක් මත නම් දෙවැනි අවස්ථාවක් ලැබේවි. කොහොම උනත් කෙනෙක්ගේ විශ්වාසයක් දිනාගත්තා නම් ඒ විශ්වාසය රැකගන්න එකත් විශ්වාසය දිනා ගත්තා වගේම වැදගත්.... ඒ නිසා හැමෝගෙම යහපත ගැන හිතලා තවකෙනේක්ගේ විශ්වාසය දිනා ගන්න කලින් ඒ විශ්වාසය රදවාගන්න පුලුවන්ද කියලා දෙපාරක් හිතන්න........
( මේ දවස් ටිකේම පොඩ්ඩක් එකම විදිහේ පොස්ට් සෙට් එකක් යන්නේ. මේකත් ලියලා ඉවර වුනාට පස්සෙයි හිතුනේ දිගටම ලිවේ එක වගේ ඒවා කියලා. ලබන සතියේ වෙනස් එකක් ලියනවා ලියනවාමයි..... )
( මේ දවස් ටිකේම පොඩ්ඩක් එකම විදිහේ පොස්ට් සෙට් එකක් යන්නේ. මේකත් ලියලා ඉවර වුනාට පස්සෙයි හිතුනේ දිගටම ලිවේ එක වගේ ඒවා කියලා. ලබන සතියේ වෙනස් එකක් ලියනවා ලියනවාමයි..... )