Sunday, July 24, 2011

ජිවිතයේ ඉඩ කඩ...............

අන්තර්ජාලයේ සැරිසරද්දී හම්බවෙන කතා අතරේ ජීවිතේට වැදගත් වෙන, වටින දේවල් ඉඳලා හිටලා අපිට හම්බවෙනවා... වටිනවා කිවේ සමහරවිට ඒ ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් අපිට අපේ ජිවිතේ ලේසි කරගන්න ඉඩ තියනවා. මේ ලියන්න යන සිද්ධියත් එහෙම එකක්. ගොඩක් අය අහලා ඇති කියලත් හිතනවා. ඒත් කමක් නෑ දන්න සිංහලෙන් ලියනවා.

ඔන්න දවසක් දර්ශන විද්‍යාව උගන්නන මහාචාර්යවරයෙක් ආවා පන්තියට ජිවිතය ගැන දේශනයක් දෙන්න. මහාචාර්යවරයාගේ මේසේ උඩ ලොකු හිස්  භාජනයක් තියලා තියනවා. මහාචාර්යවරයා කිසිම කතා බහක්  නැතුව ලොකු ටෙනිස් බෝල පෙට්ටියක් හැලුවා අර ලොකු භාජනේට. දැන් අර ලොකු භාජනය පිරෙන්න ටෙනිස් බෝල. ඊට පස්සේ තමන්ගේ ශිෂ්‍යයන්ගෙන් ඇහුවා " මේ හිස්ව තිබ්බ භාජනය පිරිලද නැද්ද ?? " කියලා. ශිෂ්‍යයෝ සියලුම දෙනාම භාජනය පිරිලා තියෙන්නේ කියලා කිවා.... " හොඳයි " කෙටි පිළිතුරක් දුන්න මහාචාර්යවරයා නැවත තවත් පෙට්ටියක් ගත්තා. ඒ පෙට්ටිය පිරිලා තිබ්බේ පබළු වලින්. මහාචාර්යවරයා නිහඩවම ඒ පබළු පෙට්ටියත් අර ලොකු භාජනයට හැලුවා....  ලොකු ටෙනිස් බෝල අතරේ තිබ්බ හිදැස් අතරින් ඉඩ කඩ හොයාගෙන ඒ පබළු ඔක්කොමත් අර භාජනයට පිරුනා. නැවතත් මහාචාර්යවරයා අර පළමු ප්‍රශ්නයම ශිෂ්‍යයන්ගෙන් ඇහුවා. ඒ පාරත් ශිෂ්‍යයන් මහාචාර්යතුමා සමඟ එකඟවුනා. ඒ භාජනය පිරිලා තියෙන්නේ කියලා. නැවතත් නිහඬවුන මහාචාර්යවරයා තවත් පෙට්ටියක් ගත්තා. මේ වතාවේ ඒ පෙට්ටිය පිරිලා තිබුනේ වැලි වලින්. එතුමා නිහඬවම වැලි ටිකත් භාජනයට හැලුවා. අර ටෙනිස් බෝල, ලොකු පබළු අතර තිබුන පුංචි ඉඩ කඩ හොයාගෙන ඒ වැලි ටිකත් රිංගුවා. වැලි ටික හලලා ඇහුවා " දැන් මේ භාජනය පිරිලද? " කියලා. ශිෂ්‍යයන් සියලුම දෙනා මේ වතාවෙත්  ඒකමතිකව එකඟවුනා භාජනය පිරිලා කියලා.  හීන් හිනාවක්‌ මුණේ රදවා ගත්තා මහාචාර්යවරයා මේසේ යට තිබ්බ වයින් විදුරු දෙකක් අරන් ඒ විදුරු දෙකත් හැලුවා  අර ලොකු භාජනයට. කොච්චර පිරුනා කිවත් කිසිම කරදරයක් නැතුව අර වයින් විදුරු දෙකත් භාජනයට රිංගුවා.....   මහාචාර්යතුමාගේ පුරුදු ප්‍රශ්නය ඇහුවා ආයෙත්. " දැන් මොකද කියන්නේ ?  මේ භාජනය පිරිලද නැද්ද ?"  මුහුණේ සිනා රදවාගත්ත ශිෂ්‍යයන්ගේ පිළිතුර වුනේ "ඔව්. භාජනය පිරිලා" කියලා...........

මේ වතාවේ මහාචාර්යතුමා තමන්ගේ කටහඩ අවදිකලා. " මේ ලොකු භාජනය කියන්නේ අපේ ජිවිතේ කියලා හිතන්න. මේක මුලින්ම හිස්. හැබැයි ඒකට පිරුන ටෙනිස් බෝල කියන්නේ අපේ ජිවිතේ වඩාත් වැදගත් දේවල්. අපේ පවුල, දරුවෝ, සෞඛ්‍යය වගේ දේවල්. අනිත් මොනවා නැති උනත් අපේ ජිවිතේ ඉතුරුවෙන දේවල්. ඒ දේවල් නැතිව ජ්විතේ අරමුණක්  නැතුව යනවා. ඒ නිසයි ඒවා වඩාත් වැදගත් වෙන්නේ. දෙවනියට දාපු පබළු වලින් කියන්නේ ජිවිතේ හම්බවෙන අනිත් ප්‍රශ්න..  රස්සාව, ගෙවල් දොරවල්, යාන වාහන. මේවට ලැබෙන්න අපේ ජිවිතේ දෙවැනි තැන.... වැලි වලින් කියන්නේ ඔය දේවල් වලට අමතරව අපේ ජිවිතේ හම්බවෙන සියලුම දේවල්..... ඉතින් අපි මුලින්ම වැලි පිරෙව්වා නම් අපේ ජීවිතේට අපට ටෙනිස් බෝලවත් පබළුවත් දාන්න ඉඩක් ලැබෙන්නේ නෑ....  ඒ දේම සමාන වෙනවා අපේ ජිවිත වලටත්.ජිවිතේ අපිට ලැබෙන පොඩි පොඩි දේවල් මත්තේ අපේ ශක්තිය, කාලය, ධනය වැය කරන්න ගියොත් අපේ ජිවිතේ වැදගත් වෙන දේවල් වලට ඉඩක් නැතිවෙනවා. සමහරවිට අපිට ඒක තේරෙනකොට අපි ගොඩක් පරක්කු වෙන්න පුළුවන්.  ඒ නිසා ජිවිතේ වැදගත් දේවල් වලට වැඩි අවධානයක් යොමු කරන්න... දෙමව්පියෝ ගැන, පවුල ගැන, ළමයි ගැන බලන්න, සෞඛ්‍යය ගැන බලන්න, ඒ වෙනුවෙන් කාලය වැය කරන්න ලෝබ වෙන්න එපා. මොකද ජිවිතේ වැදගත්ම දේවල් වලට ඉඩ තියනවා කියන්නේ දෙවැනියට තුන් වෙනියට වැදගත් වෙන දේවල් වලටත් අනිවාර්යයෙන් ජීවිතෙන් ඉඩක් ලැබෙනවා කියන එකයි. හරියට ටෙනිස් බෝල පුරවපු භාජනයට පබළු, වැලි පුරවන්න ඉඩ තිබ්බා වගේ... " මුළු විස්තරේම කියලා ඉවර වුන මහාචාර්යතුමා නිහඬ වුනා......

ඒත් එක ශිෂ්‍යයෙක් අත උස්සගෙන ඉන්නවා ප්‍රශ්නයක් අහන්න බලාගෙන. මහාචාර්යවරයා තම ශිෂ්‍යයාට අවස්ථාව ලබා දුන්නා. " ඔබතුමා  සියලුම දේවල් ගැන පැහැදිලි කළා. ඒත් අර අන්තිමට භාජනට හලපු වයින් විදුරු දෙක ගැන සඳහන් කලේ නෑ... මොකක්ද ඒ වයින් විදුරු දෙකෙන් කියන්නේ ? ".  බොහොම හයියෙන් හිනාවුන මහාචාර්යවරයා " බොහොම සතුටුයි ඒ ප්‍රශ්නේ අහපු එක ගැන. අනිත් අයට ඒක මඟ අරුනා. ඒ වයින් විදුරු දෙකෙන් කියන්නේ මේ හැමදේකින්ම අපේ ජිවිතේ පිරිලා තිබ්බත්, අපට මොනතරම් ප්‍රශ්න තිබ්බත් ඕනෙම වෙලාවක යාලුවොත් එක්ක වයින් විදුරු දෙකක් බොන්න ඉඩ අපේ ජිවිත වල තියනවා කියන එකයි." කියලා දේශනය හමාර කලා.  මේක කියෙව්වහම මටත් හිතුනා සමහර වෙලාවට වැදගත් නොවන දේවල් වලින් අපි ජිවිතේ පුරවාගෙන කරදර වෙනවා කියලා.... හොඳයි කියලා හිතුන නිසා ලීවා. අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න....   

Tuesday, July 12, 2011

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද..............................


මේ මිනිස් සමාජය තුල මිනිසත්කමින් පිරුණු මිනිසුන් බොහෝ හිඟ වුවද තිරිසනුන්ගෙන් නම් කිසිම අඩුවක් පාඩුවක් නැත. තිරිසන් යන වචනය මිනිසුන්ට හරියටම ගැලපෙන බවයි මගේ හැඟීම.  බුදුහාමුදුරුවන් දේශනා කල ආකාරයට තෘෂ්ණාව සියලුම සත්වයන්ට පොදුය. ඒත් මිනිසුන් වන අපට ලැබී ඇති බුද්ධියේ මහිමෙන් අප කල යුත්තේ මේ ආසාවන්, තෘෂ්ණාවන් වලින් හැකිතාක් දුරට ඈත් වී සිටීමයි. ඒත් බැලූ බැලූ අත අපේ සමාජය තිරිසන් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ඇත. බුද්ධියට ඉඩක් නැත. මේ ලියන්න යන්නේද තවත් තිරිසනෙක් පිළිබඳවයි. තිරිසනුන් පිළිබඳව ඕනෑ තරම් කතාන්දර, උදාහරණ, විස්තර ඇති බව දනිමි. නමුත් මේ කතාව ඇසුන වෙලේම ලියනවා කියා සිතුවේ අනේ අපොයි කියා මට කියවුන නිසාමයි. ඉතින් මේ කතාවත් ඒ තිරිසන් කතා ගොඩට එක් වන තවත් එකකි.

මේ කතාව මට කිවේ මගේ හිත මිත්‍රයෙකි. මිත්‍රයෙක් කියනවට වඩා ඔහු මාගේ වැඩිමල් සොහොයුරෙක් වැනිය. ඔහුගේ අනුදැනුම සහ අවසරය ඇතුව කතාව මම මෙසේ ලියමි.......    මේ කතාවේ කතා නායිකාව  වෛද්‍ය ශිෂ්‍යාවකි. වෛද්‍ය පීඨයේත් ඇගේ අධ්‍යාපන කටයුතු බොහෝ සාර්ථකව කෙරීගෙන ගිය අතර හදිස්සියේ ඇයට අසනීප තත්වයක් ඇතිවිය.  මෙය ශාරීරික අසනීප තත්වයක් නොව මානසික අසනීප තත්වයකි. පොඩි දේටත් සියදිවි හානි කරගැනීමට තැත් කරන, මානසිකව වැටීමට හැකි පතුලටම වැටුන, දවසේ පැය 24ම උපරිම මානසික පීඩනයෙන් ඇය කල් ගෙවන්නට විය. වාසනාවට ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් විය. ඇය වටා නිරන්තරයෙන් වෛද්‍යවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ, ආචාර්යවරු, මහාචාර්යවරු ගැවසුන බැවින් මේ සම්බන්ධව ඒ සියළුදෙනාගේ නිරන්තර අවධානය නිසා මේ රෝගී තත්වයට හේතු කාරණා එලි පෙහෙළි විය. නමුත් ඒ ඇත්ත බොහෝ තිත්තයි.

ඇයගේ මේ රෝගී ලක්ෂණ වලට හේතුව වුයේ  මීට අවුරුදු දහයකට දොළහකට උඩදී ඈ ලැබූ අමිහිරි කටුක අත්දැකීමකි.  මේ සොයුරියට වයස අවුරුදු 13දී ඇයගේ ඥාති සොයුරෙකුයැයි කියන තිරිසනෙකු විසින් ඇයව දුෂණය කර ඇත. ඇය මේ පිළිබඳව කිසිවෙකුට නොකියා ඒ කම්පනය, වේදනාව, නීරස සියළුම දේ හිතේ තද කරගෙන මෙතුවක් දුර ආවාය. ඈ ආ දුර එසේ මෙසේ දුරක් නොවෙයි. අවුරුදු දහතුනේ සිට මෙවැනි මානසික තත්වයක් යටතේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ,සියළුම කඩයිම් ජයගැනීම ලේසි පහසු කර්තව්‍යයක් නොවේ.  නමුත් අන්තිමේ කොහොදෝ සිටි පව්කාරයක්ගේ පව් ඈ පසු පසු ඇවිදින්ය. මෙතුවක් දුර මේ සියලු දුක් වේදනා ඈ දරාගත්තේ කෙලෙසදැයි මට සිතාගත නොහැකිය. නමුත් තව දුරටත් ඇගේ සිතට දරාගැනීමේ හැකියාවක් නොමැත. අවුරුදු ගණනාවක් තිස්සේ පීඩිතව සිටි සිතේ ශක්තිය දිය වී ගොස්ය.... ඒ හේතුවෙන් ඈ මානසික රෝගියෙක් බවට පත් වී හමාරය. මේ සිද්ධියෙන් පසු අනාවරණය වී ඇත්තේ මේ සොයුරිය කෙලසූ තිරිසනා විසින්ම ඔහුගේ ඥාති සොහොයුරියන් කීපදෙනක් කුඩා කාලයේදී කෙලෙසා ඇති බවයි. මෙවැනි පිරිමින් දුටුවිට පිරිමිකම ගැන මටම ලැජ්ජා සිතෙයි. මුන් පිරිමිද ?  අවුරුදු හිරිමල් යෞවනය යනු කෙතරම් සුන්දර කාලයක්ද ? පිපෙන්න ලං වූ මලක් තලන්න තරම් මිනිසුන්ගේ සිත් රුදුරුය. අනාගතයේදී සමාජයට වැඩදායි යහපත් පරපුරක්  බිහිකරන්නට අපේ ලොකු පුටුවල උදවිය සම්මන්ත්‍රණ, සාකච්චා, වැඩමුළු පවත්වති. නමුත් වර්තමානයේ දුර්ගන්ධය පතුරවන කුණු සොදන්නේ නැතිව අනාගතයක කෙලෙස පවිත්‍ර කරන්නද ??  නොමිනිස්සුන්ගේ වැරදි වලට දුක් විඳින්නේ කිසිවක් නොදන්නා අහිංසකයින් නොවේද ??

වාසනාවකට මේ සොයුරියට වෛද්‍ය පිඨය තුලින්ම වචනයේ පරිසමාප්තයෙන් යුතු මනුස්සයෙක් මුණගැසී ඇත. මගේ හිතවතා කී ආකාරයට ඔහු ඇයව හොඳින් තේරුම් ගෙන ඇයට ජිවිතෙට අවශ්‍ය සවිය, අත්වැල නිබඳව සපයමින් සිටී. එම නිසා ඒ සොයුරියට ජිවත්වීමේ වාසනාව ලැබී ඇත. මා එසේ කිවේ ඈ කීපවරක් සිය දිවි හානි කරගැනීමට තැත් කර ඇති නිසාය. ඔහුත් වෛද්‍යවරයෙකු නිසා ඇයව තේරුම් අරන් ඈයට සවියක් වීමට හැකියාව ඇත. නමුත් අසරණ වූ සැමටම මෙවැනි පිළිසරණක්  නොලැබෙයි. අපේ සමාජය කරන්නේ අසරණ වූ කෙනෙක් තවත් අසරණ කිරීමය. අපේ මිනිසුන් " පට්ට බැල්ලි " කියා හඳුන්වන ගැහැණිය මේ ආකාරයෙන් කාගේ හෝ අතවරයට ලක් වී අසරණ වූ කෙනෙක් විය හැක. කකුලක් නැති මිනිහෙක්ට " අබ්බගාතයා " කියා කීවද ඒ මනුස්සයාගේ කකුල රට වෙනුවෙන් කල යුද්ධයේදී  අහිමි වූවා විය හැක. තරබාරු කෙනෙකුට " තඩියා" කියා උපහාස නැගුවද ඒ මනුස්සයා කිනම් හෝ අසනීපයකින් පෙලනෙවා විය හැක. එම නිසා අසරණ වූ කෙනෙක් උපහාසයට ලක් කරද්දී අවමයෙන් දෙපාරක් සිතා බලමු.  මෙවැනි තත්වයන්ට පත් වූ අසරණයින් කොතෙක්දැයි අපි නොදනිමු. ඒත් හැමදාමත් පත්තරයක මෙවැනි සිදුවීම් වාර්තා වෙයි. ඒ සමාජයට හෙළිදරව්වන සිද්ධීන් පමණයි. මෙවන් තිරිසනුන්ටදඬුවම්ද නැත. දඬුවම් විඳින්නේ අසරනයින්ය. කෙසේවතත් මෙවැනි තිරිසනුන් ඉපදුනේ මවකගේ කුසින්මදැයි සැක මතුවේ.... සියළුම දෙනාට සොහොයුරියන් නැතත් අම්මාලා සිටී. නමුත් කාන්තාව සෙල්ලම් බඩුවක් යැයි සිතන පිරිමින් දුටුවිට මට නම් මගේ පිරිමිකම ගැන ලැජ්ජා සිතේ. එනමුත් බහුතර තිරිසනුන් මැද ඉඳ හිට හෝ මිනිසුන් හමුවීම සතුටට කරුණකි. මේ සිද්ධිය ලිවේ මගේ හිතට දැනුන කම්පනය හේතුවෙනි. මෙතුවක් කල් දුක් ගැහැට විඳගෙන තම ජිවිතේ මුහුණ දුන් නීරස, කටුක සිද්ධියෙන් පසුබට නොවී  ජිවිතේ සාර්ථක කරගැනීමට ඒ සොයුරිය ගත් උත්සාහය පිබඳව මගේ ඇත්තේ අප්‍රමාණ ප්‍රීතියකි. ඇය මෙතුවක් දුර ආවේ නැත්නම් ඇයට සිදුවන්නේ සිය දිවිහානි කර ගැනීමටයි.  නමුත් ඇය මේ පිළිබඳව හෙළිදරව් කළා නම් සමහරවිට ඇයට ඇයගේ අනිකුත් ඥාති සොහොයුරියන් බේරාගැනීමට ඉඩ ප්‍රස්තාව තිබුණි. ඒත් ඒසේ වූවා නම් ඇයට ජිවිතේ ජයගැනීමට ඉඩක් අපේ කුරිරු සමාජය ඉතුරු කරන්නේ නැති බව මට විශ්වාසයි. මම බුදු දහම විශ්වාස කරමි. ඒ නිසා උසාවියෙන් දඩුවම් නොලැබුනද මෙවැනි තිරිසනුන්ට කර්මය කෙදින හෝ පලදේ යැයි විශ්වාස කරමි.........

මේ සිද්ධිය මගේ කන වැටුන සැනින් එක්තරා ගීතයක් මගේ මතකයට එබිනි.......


වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්

පුද දෙමු දෙවොලට කැඳවා 

Sunday, July 10, 2011

ලෝකාන්තයට තව පොඩ්ඩයි - 2 කොටස ( වෙරි සමඟ ක්‍රිකට් )

2 කොටස කියලා ලියන්න පටන් ගත්තට ඇත්තටම මේක තමයි අන්තිම කොටස. තවත් කොටසක් ලියන්න තියාගන්න බලාපොරොත්තුවක් නෑ. කලින් පොස්ට් එක 1 කොටස  කියලා දාපු නිසා මේකට 2 කොටස කියලා දානවා. අනිත් කාරණය ඔය ඔබා මාමා, ඕනයා වගේ ඇල්කොහොල් ඇලජික් උපාසක මහත්තුරු ඉන්නවා නම් කරුණාකර මෙතනින් එහාට කියවන්න එපා....  ලොල්.........

කලින් පොස්ට් එක නැවතුනේ ලොරියා කරගත්ත වින්නැහිය ගැන කියලනේ... අනේ ඔන්න ඉතින් ලොරියගේ  කබරයා පාර යන අතරේ අපි නුවරඑලියට කිට්ටු කරා....  ආතල් අතරේ ලොරියාවත් බලා කියාගන්න ස්වේච්චාවෙන්ම යහපත් මානසික මට්ටමෙන් හිටපු අපේ උන් දෙන්නෙක් ඉදිරිපත්වුනා. අනිත් අයත් අතරින් පතර ඌ ගැන හොයාබලමින් නුවරඑලිය නගරයට සේන්දු උනා. මතක හැටියට ඒ වෙද්දී දවල් 12ට විතර. වාහනය නැවැත්තුවා රේස් කෝස් පිට්ටනිය කිට්ටුව පාර්ක්‌ එකෙන්. කොහේ යන්නත් කලින් ලොරියව කෙලින් කොරගන්න එපායැ.... නැතුව ඉතින් මූ කොහෙද ලොකාන්තේ යන්නේ.... කට්ටියම එතන නැවැත්තුවේ ඌට උවමනා බෙහෙත් ගන්න සහ කෑම ගන්න. උදේම දවසටම ඇති වෙන්න බීම ගත්තට කෑම ගැන වගක් තිබුනේ නෑනේ....  දැන් කන්න ගන්නේ මොනවද කියලා කට්ටිය සාකච්චාව. ඔය අතරේ අපේ කීපදෙනක් එලියට බැහැලා නුවරඑළියේ සුවය විඳිනවා. නුවරඑලිය පැත්තේ කරක් ගහපු උදවිය දන්නවා ඔය රේස් කෝස් පිට්ටනිය කිට්ටුවමයි නගර සභාවයි, නගර සභා පිට්ටනියයි තියෙන්නේ. අර එලියට බැහැලා නුවරඑලි හුලං වැදි වැදී හිටපු අපේ අයගේ ඇහැ ගියා ඔය නගර සභා පිට්ටනියට.  අපේ ගුරයි අපියි කන්න ගන්න දේවල් ගැන කතා කර කර ඉන්න අතරේ අරුන් ටික ආවා. " අයියේ මේ ග්‍රවුන්ඩ් එක පට්ට. මෙතන ගහමු ක්‍රිකට්. මොන ලොකාන්තේද ? මෙහෙම ආතල් එකක් ගන්න වෙන්න නෑ. ගිහින් බලන්නකෝ ග්‍රවුන්ඩ් එක කොහොමද කියලා ? "  අපේ ගුරත් ක්‍රිකට් පිස්සෙක්. ආයේ මොනවත් කතා නෑ " එහෙනම් ක්‍රිකට් ගහමු.  මල්ලි කෑම ගන්න දැන් යන්න ඕනේ නෑනේ. තව බෝතල් දෙකකුත් තියනවා, වෙරි පිටම ක්‍රිකට් ගහමු. ඒකත් පට්ටම ආතල්නේ". ඔන්න දැන් සෙට් එක තීරණය කරලා ඉවරයි ක්‍රිකට් ගහන්න. ඔන්න දැන් ලොරියාගේ ප්‍රතිකර්ම ගැන මතක නෑ...  අනික ලොරියත් වීරයා වගේ කිවා අවුලක් නෑ, ලොකාන්තේ යන්නේ නැත්නම් ඌත් ක්‍රිකට් ගහන්න එනවයි කියලා... උගේ ආසාවනේ.. අපිත් මුකුත් කිවේ නෑ.

එතන හිටපු උන් ගොඩදෙනෙක් මාත් ඇතුළුව ලොකාන්තේ කීප පාරක්ම ගිහින් තියනවා. ඉතින් ආයෙත් ඔතනට ගියා කියලා අමුතු ආතල් එකක් අපිට නෑ... ඒ නිසා අපි ඔක්කොම ක්‍රිකට් ගැහිල්ලට මනාපෙ දැම්මා. ඒ අස්සේ දෙන්නෙක් නහයෙන් අඬනවා " අඩේ මොකක්ද බං.. ලොකාන්තෙට තව පොඩ්ඩයි...  ඒ ටිකත් යමංකො... අපි දෙන්නා ගිහින් නෑ බං". ඒත් දෙන්නා තේරුම් ගත්තා කියලා තේරුමක් නෑ කියලා. අනිත් සෙට් එකම ක්‍රිකට් ගහන්න ලැහැස්තිය... ලොරියා විතරක් කිසි සද්ද බද්දයක් නැතිව පාඩුවේ.....   අපේ පුරුද්ද තමයි කොයි ලෝකේ ගියත් බැට් දෙකකුයි, විකට් කණු 3යි දාගෙන යන එක.. බෝලයක් නම් මගින් ඕනේ වෙලාවක ගන්න බැරියෑ...  ඔන්න දැන් කස්ටියම ක්‍රිකට් ගහන්න සූදානම. කෑම ගන්න එක පැත්තකින් තියලා තුන් හතර දෙනෙක් ගියා බෝලයක් ගේන්න. අපි කට්ටිය  අවශ්‍ය අඩුම කුඩුම අරන් ග්‍රවුන්ඩ් එකට ගියා. ලොරියත් ක්‍රිකට් ගහන්න එනවා කියපු ලැජ්ජාව නිසා අමාරුවෙන් අමාරුවෙන්  අපේ පස්සෙන් ග්‍රවුන්ඩ් එකට ආවා. ඔන්න විකට් කණු හිටවලා කට්ටියම බොලේ එනකම් බලාගෙන ඉන්නවා. ඒ අස්සේ නගර සභාවේ මනුස්සයෙක් ඇවිත් කොක්කක් දැම්මා... බුක් කරන්නේ නැතුව ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න බෑ කියලා. පස්සේ අපේ ගුරු අයියා ගිහින් ගානක් ගෙවලා හවස 5.30 වෙනකම් පිට්ටනිය අපිට අයිතිකරගෙන ආවා.  ඔය අස්සේ ඈත තියන ඉවුරකට හේත්තු වෙලා මොකක්ද එකෙක් අත උස්සගෙන ඉන්නවා.... අර පන්තියේ නම් ලකුණු කරන කොට අත උස්සනවා වගේ. ටිකක් අපේ ලොරියා වගේ.. ඌත් අමාරුවෙන් අපි පස්සෙන් ආවනේ.. බැලින්නම් ඌ තමයි... වෙරි මරගාතේ කොහේහරි යන්න ගිහින් යන එන මං නැතුව මිනිහා ඉන්නවා. අතක්  වනන්නවත් පණ නැතුවද කොහෙද අත උස්සගෙන. අපේ හදිසි විහිදුම් බලකායේ දෙන්නෙක් යැව්වා මිනිහට මොනවාහරි කරන්න කියලා. මොනවාද ඉතින් දෙන්නා ගිහින් ඌව බස් එකේ හොඳ වමනේ දාන්න එහෙම පහසු තැනක් බලලා සතපවලා ඇවිල්ලා. ලොරියාගේ ජවනිකාව එතැනින් නිමි....   
මෙන්න මේකයි ඔය කියපු ග්‍රවුන්ඩ් එක 

ඔන්න දැන් බෝලත් ගෙනාවා. කට්ටිය පිල් දෙකකටත් බෙදුනා. ක්‍රිකටුත් ගසා ඇත. ඒත් එදා තමයි නියම ක්‍රිකට් ගැහුවේ..  පන්දු යවන අන්තයේ කඩුල්ල ගාව බෝතලෙයි, කොකාකෝලා එකයි, බයිටුයි. මොකද ඕවර් එකක් දාපු ගමන් කට්ටියට වෙරි බහිනවා. ඉතින් ඕවර් එකක් දාපු එකා එතනින් යනකොට එකක් අරගෙන ඕවර් එක දාන්න කලින් හිටපු තත්වයට ඇවිල්ලා තමයි යන්නේ... අප්පා අන්න ක්‍රිකට්....  එකෙක් දෙනෙක් ඇරෙන්න අනිත් උන් ඔක්කොම වෙරි පිට. අර සිහියෙන් හිටපු උන්ගේ මොලේ අවුල් වෙලා වෙරි උන් කරන වැඩ දැකලා. ඒත් වෙරි පිට සෙල්ලම් කරපු උන් තමයි හොඳම ආතල් ගත්තේ...  එකෙක් ආවා බෝල් කරන්න. ඇවිල්ලා බෝල් කරන පැත්තේ විකට් එක ලඟට වෙලා කල්පනාව. ඉවසලා බැරිම තැන ඇහුවා මොකද කියලා. " අඩේ විකට් එකට කණු තුනයි නේද බං ? ඒත් මේ විකට් එක වැටක් වගේ පෙන්නේ මොකද ??? " ඔන්න ඌට තිබ්බ ප්‍රශ්නේ. තව එකෙක් බොලේ අරගෙන  " අඩේ මම කොයි කනුවටද බොලේ දාන්න ඕනේ " එක එකාට එක එක ප්‍රශ්න. අනිත් එක බුල් ලෝකයයි. ගහන උනුත් බුල් කෙලිනවා. බෝල් කරන එවුනුත් බුල ගහනවා, රකින උන් ඒ දෙගොල්ලන්ටම එහා...  හය හතර එහෙම යන්නේ හැකියාවට නෙවෙයි. වයිඩ්, නො බෝල් එක ඕවර් එකකට හයට වැඩියි. අපි ගහපු ක්‍රිකට් දිහා සිහියෙන් බලාගෙන හිටියනම් මොකක් හරි ආයේ ජීවිතේට ක්‍රිකට් බලන්නේ නෑ ෂුවර් එකටම.  රකින උන් වැනි වැනි බොලේ පස්සේ දුවද්දී අපිට පෙරලි පෙරලි හිනා... උන් අපිට හිනා වෙනවා, අපි උන්ට හිනා වෙනවා. කොහොම හරි උඩ පන්දු එහෙම ඔහේ අත අරිනවා... අපේ එකෙක් බැරිම තැන උඩින් එන බොලේ අල්ලන්න බැරි නිසා හතර යන එක නවත්තන්න හිතාගෙන බොලේ එන දිහා බලාගෙන බිම වාඩි උනා. මොකද උඩින් ආවට ඕක බම්ප් වෙලා බිම දිගේ යද්දී නවත්ත ගන්න පුළුවන්නේ...  අනේ උගේ කරුමෙට බොලේ ඌ හිටියට වඩා ගොඩාක් ඉස්සරහින් නැවතුනා. බොලේ එනකම් බලාහිටියට වැඩක්යැ... අයෙත් අමාරුවෙන් නැගිටලා බෝලෙට බැන බැන වැනි වැනි බොලේ ගන්න යද්දී අරුන් දෙන්නා හතරක් දුවලා ඉවරයි....  අම්මෝ එදා ඇඟම රිදුනේ ක්‍රිකට් ගැහුව අමාරුවට වඩා හිනා වෙච්ච අමාරුව නිසා... මිට කලින් වෙරි ක්‍රිකට් ගහලා නැත්නම් ට්‍රයි කොරලා බලන්න.... පට්ටම ආතල්.....  ඔන්න මම බොන්න කියලා එහෙම කියනවා නෙවෙයි...  ඔය අමද්‍යප මහත්තුරු එහෙම කොරන්න ඕනේ නෑ..  බොන උන් ඉන්නවා නම් බීලා ක්‍රිකට් ගහලා බලපල්ලා.....  අනිත් උන් බීපු උන් ක්‍රිකට් ගහනවා බලපල්ලා.... දෙකම ආතල්.......   වෙරි පිට ගහපු උන් දන්නවා රගේ...   කට්ටිය ක්‍රිකට් ගහල කනකොට හවස 6යි...  එතකොටත් ලොරියා කෙඳිරිගානවා. හැබැයි  ඒ බීම තමයි ලොරියාගේ පලවෙනි හා අන්තිම බීම... ඊට පස්සේ නම් ඌට " බො " ඇහෙද්දීත් මල පනිනවා....  අන්තිමට ඉතින් සියල්ලෝම සතුටින්  නුවරඑළියෙන් ශේප් එකේ පල්ලම් බැස්සා...

Wednesday, July 6, 2011

ලෝකාන්තයට තව පොඩ්ඩයි - 1 කොටස ( ලොරියා )

මම අර කලින් ඇහින්දාස් ගමනේ  විස්තර කියද්දීත් කීවනේ ගොඩයා කියන්නේ රට වටේ රස්තියාදු ගහන්න කැමති එකෙක් කියලා. විනෝදාංශය තමයි ඇවිදීම....   ඇවිද්ද පය කෝටි ගණන් වටිනවා කියනවනේ...   මේ කියන්න යන්නෙත් අපි ගියපු ගමනක් ගැන...
උසස් පෙළ දෙවැනි පාර කරන්න ලොකුම හේතුවක් වුනා අපට උගන්නපු අයියා කෙනෙක්. ගුරුවරයෙක් වෙන්න කලින්ම අපි අයියාව දන්නවා. අපේ ගෙවල් කිට්ටුව. මිනිහා කැම්පස් යන කාලේ ළඟ පාත ගෙවල් වලට ගිහින්  පන්ති කීපයක් කළා. අපිත් ඒ විදිහට අපේ ගෙවල් ළඟ තිබ්බ පන්තියකට ගියා. අපි අදටත් ඒ ගුරුවරයාට බොහෝ සෙයින් ගරු කරනවා. ඒත් ගුරුවරයාට වඩා අපේ තිබ්බා සහෝදරකමක්, හිතවත් කමක්.  ඒ නිසාම ඉස්සර හවසට අපි කට්ටිය එකතු වෙනවා. පන්තිය වෙලාවට ගුරු අනිත් වෙලාවට බුදු බොක්ක....  නටන පිස්සුවක් මිනිහත් නැටුවේ අපිත් එක්ක. එළියේ කොච්චර පිස්සු නැටුවත් පන්තියේදී ෆුල් සීරියස්... ගුරුවරයා කියන එක කවදාවත් අමතක වුනේ නෑ... අපේ උන් ගොඩ දෙනෙක් අද මිනිස්සු වෙලා ඉන්නේ අයියා නිසා. නමුත් මේ කියන අයියගේ නම නම් කියන්නේ නෑ... හේතුව අද වෙනකොට ඒ මනුස්සයා ටියුෂන් ක්ෂේත්‍රයේ බොහොම ජනප්‍රිය ගුරුවරයෙක්..  අදටත් ලංකාවට ගියහම දුවගෙන ගිහින් බලලා එනවා. ඒත් දැන් නම් ඉස්සර වගේ පිස්සු නටන්න නිදහස නෑ අපිට. කොහොමහරි මේ ගමන ගියේ අයියයි අයියගේ ක්ලාස් එකට ගිය අපි මල්ලිලා ටිකයි.... 

අපි ගියේ නුවරඑළියේ....  කට්ටියට ලෝකාන්තේ යන්න තමයි වුවමනා වුනේ... ඒ ගමන නම් ජීවිතේට අමතක නොවන ගමනක්... ඔන්න දැන් ගුරයි, ගෝලයෝ රොත්තයි ගමන යනවා...  ගුරු ගෝලකම් ඉතින් පන්තියේ විතරනේ......  ඉතින් පන්තියෙන් එළියේදී අර පරණ හිතවත්කම මිසක් ගුරු ගෝල සම්බන්ධකම නෑ... ඔන්න ගම්පොල කිට්ටුවට ආවහම කට්ටියට තෙල් ඕනේ වුනා.... ඔව් ඔව්.. තෙල් කිවේ නැටුම් තෙල් තමයි..... මොකද ඒ වෙද්දී උදේ 10 පහුවෙලා... ගම්පොල වටේම කැරකිලා තරමක් හොඳ ඒවායින් බෝතල් 3ක් 4ක් පටවගත්තා... යන ගමන් බස් එක ඇතුලේ ඕක කඩලා චොරකර ගන්න ඕනේ නැති නිසා පාරේ අයිනේ අර තියන පොඩි දිය ඇල්ලක් ළඟ ටිකක් ඇතුලට වෙන්න තියන ගල් පොත්තක් උඩ වාඩිවෙලා  දැන් කට්ටිය වැඩ අල්ලන්නයි ලැහැස්තිය. වැඩේ යන්නේ  වැඩිහිටි පිළිවෙලටනේ. ඔන්න අයියා නමෝ විත්තියෙන් වැඩේ ඇල්ලුවා.. දැන් අනිත අයත් සම්මාදන් වෙනවා.

ඔය අස්සේ අපේ ***** කිට්ටු කරා එතනට. කට්ටිය ඇහුවා මිනිහගෙනුත් ගන්නවද කියලා. ඔලුව වනලා මිනිහත් ආවා කරලියට. අපේ පුරුද්දක් තමයි බොන්නේ නෑ, කලින් බීලා නෑ කියන උන්ට බොන්න නොදෙන එක. ඉතින් පුරුදු ප්‍රශ්නේ අපි ඇහුවා මිනිහගෙන්....    " මචන් උඹ කලින් බීලා තියනවද ? "    "ඔව් බං කිසි අවුලක් නෑ. කෝ දියන්කෝ කෝප්පේ " කියලා මිනිහත් ගත්තා අර ප්ලාස්ටික් කෝප්පයක්. අපිත් ඔන්න කෝප්පෙත් එක්කම දුන්නා බෝතලෙත්. ගත්තා මනුස්සයා බෝතලේ අතට දාගත්තේ නැතෑ  අර අමුම අමුම සැරම සැර අරිෂ්ට කෝප්පේ පුරෝලම.  අපි ඔක්කොමල්ලා ඇස් දෙක කටේ දාගෙන බලා ඉන්නවා සීන් එක ? දැන් පොරට කලවම් කරන ඒවා දාගන්න ඉඩ නෑ. ඔන්න අමාරුවෙන් කොකා කෝලා බෝතලෙන් ඇබිත්තක් අර කෝප්පෙට වක්කර ගත්තා.  වටේ හිටපු අපි කට්ටිය ආයෙත් මුගෙන් අහනවා " අඩෝ උඹට ෂුවර්ද ඔහොම බොන්න පුළුවන් කියලා ?  උඹ කලින් බීලා තියනවා නේද ෂුවර් එකටම ?? ". මූ කෝප්පෙට වක් කරපු විදිහ ගැන සැක නිසා  අර දාගත්ත එක බොන්න නොදී ආයෙත් ප්‍රශ්න අහනවා. අරූ මල පිටම " ඔව් යකෝ, එක පාරක් කිවනේ " කියලා ගත්තා කෝප්පේ අතට. දැන් ප්‍රේක්ෂකාගාරය නිහඩයි. කස්ටියම මූ ඒක බොන හැටි නරඹනවා. ඒ අස්සේ කට පියාගෙන ඉන්න බැරි එකෙක් " උඹත් ගහන්නේ යමර ෂොට්නේ... යකෝ අපේ වයසේ එකෙක් ලොරි ෂොට් ගහනවා දැක්කමයි " කියපි. හිනා සද්දය අස්සෙන් කට්ටියම දෑස් අයාගෙන ඉන්නේ මූ ලොරි ෂොට් එක ගහනකං. මොකද ඒ කාලේ ඔහොම බොනවා කියන්නේ හෙනම හපන් කමක්... අපිත් එක්ක හිටපු වැඩිහිටියටත් ඒ කිවේ අර අයියටත් හෙනම අවුල් මුගේ වීරක්‍රියාව.

සෙට් එකම බලා ඉන්න අතරේ මූ විරියා වගේ ඇස් දෙකත් වහගෙන එක හුස්මට බී ගෙන බී ගෙන ගියා.....  බීලා ඉවර වෙලා බයිට් එකෙන් ටිකක් කටට හලාගෙන අර අරිෂ්ටේ තියන මිහිරි රසය පොඩ්ඩක් අඩු කරගෙන එහෙම
" අඩෝ බියර් වගේ නෙවෙයිනේ. මම මෙච්චර දවසක් බීවේ බියර්. යකෝ අද තමයි මේ සැර ජාතියක් ගත්තේ. ශික්...  මොනවා උනත් බියර් මෙච්චර අවුලක් නෑ. මේක පට්ට සැරයිනේ.." කියපි...  අපි සැට් එකටම කට උත්තර නෑ... වෙලා තියන දේ දැන් හොඳටම තේරෙනවා. මේ යකා බියර් වක්කරගෙන තියන පුරුද්දටනේ මේ බෝතෙලෙන් කට කපලා වක් කරගෙන තියෙන්නේ. මෙච්චර වෙලා කට්ටිය හිතාගෙන හිටියේ වක් කරගත්ත විදිහට ඌ හෙන බෙබා කියලා. මොකද හොඳට බීපු එකෙක්ට විතරයිනේ අමු අමුවේ එහෙම බොන්න පුළුවන්. මුගේ තියන පැහි කමට ඒක කලින් කිවේ නෑනේ.  දැන් අපි දන්නවා මූට නුදුරු අනාගතයේම අඳුරු වලාවක් පාත් වෙනවා කියලා. නුදුරු කියන්නේ ළඟ ළඟම.. මොකද ජීවිතේට බීපු නැති එකෙක් දෙයියනේ කියලා පලවෙනි පාරටම කෝප්පේ කට කපලා ගැහුවට පස්සේ ඌව උස්සගෙන යන්න වෙන්නේ කියලා අපේ අය අත්දැකීමෙන් දන්නවනේ...කස්ටියට අඩිය ඉක්මන් කරලා අඩි ගහලා ඉවර කරා. වැඩේ යන ගමනුත් අරූගෙන් අහනවා " මචං අවුලක් නෑ නේද ??  කැරකෙනවා වගේද ? " කියලා. අරුත් " නෑ බොල... ********  *******  මට එහෙම අවුලක් නෑ" කිය කිය අහන උන්ට බලු බැනුම් බනිනවා. ( ****වලින් කියවෙන්න අසභ්‍ය වචනයි ) කොහොම හරි කඩපු බෝතල් ඉවර කොරගෙන අර අපේ ලොරි ෂොට් ගහපු එකාවත් දක්කාගෙන අර දියඇල්ල ළඟින් පාරට ගොඩවුනා... ඊට පස්සේ තමයි කට්ටියගේ ඇඟට ලේ චුන්ඩක් ඉනුවේ. ඇයි හත්වලාමේ අර යකා ගල් පොත්ත උඩ ෆ්ලැට්වුනා නම් අපිටනේ කරගහගෙන ඇල්ලෙන් උඩට ගන්න වෙන්නේ.... එහෙම වුනානම් ඌ විතරක් නෙවෙයි තවත් උන් දෙතුන් දෙනෙක්  දියඇල්ල පල්ලේ නවතින්නත් ඉඩ තියනවනේ.....  ඔන්න කට්ටියම යහතින් බස් එකට ගොඩවුනා...  කෝකටත් ලොරි ෂොට් මල්ලිව දැම්මා අන්තිම පේලියේ ජනේලේ ගාවට... බස් එකේ ගමන පටන් ගන්නවත් එක්කම සිංදුවකුත් පටන් ගත්තා... අනේ බස් එක අඩි 10ක් ගියේ නෑ...
" ඕඕඕඕක්ක්ක්ක්...... " ලොරි ෂොට් මල්ලි පටන් ගත්තා කබරයා පාර......  නුවරඑලියට ගියාට පස්සෙයි හොඳම හොඳ රස දෙන්න පටන්ගත්තේ..... ඒ ටික ලබන සතියට..... ඔය ලොරි ෂොට් කතාව නැවතුනේ අන්තිමේදී  මිනිහට " ලොරියා " කියන ගෞරව නාමය පිරිනැමීමෙන් පස්සේ......

Sunday, July 3, 2011

බල්ලෝ...............



කලින් පොස්ට් එකේ කිවනේ මේ පාර වෙනස් පොස්ට් එකක් ලියනවා කියල. ඉතින් වෙනසකට එක්ක ලියන්න හිතුනා බල්ලෝ ගැන.  බල්ලෝ මතක් වෙන්න එක හේතුවක් නම් අපේ ලංකාප්‍රිය අයියා ලියපු  බලු කතාව. අනිත් හේතුව නම් පොඩි කාලේ ඉඳං මාත් බල්ලන් ඇති කරාට දැන් ඒ සඳහා අවස්ථාවක් නොමැති වීමේ ශෝකය හා  නිතරම බලු වැඩ ගැන අපේ අය කතා කිරීම......  බල්ලා යනු ක්ෂීරපායී සිව්පා සතෙකි. පුරාතණයේ සිට මිනිසාගේ සමිපතම මිතුරෙකි. එම නිසා බල්ලන් ගැන කතා කිරීමට එක පොස්ට් එකක් ප්‍රමාණවත් නොවේවි කියා මම සිතමි.

බල්ලන් යැයි ගත් කල නානාප්‍රකාර බල්ලන් ඇත. බල්ලන් නොයෙකුත් අරමුණු වලින් ඇති කරයි. රාජකාරිය අනුව, දක්ෂතා අනුව, කරන වැඩ අනුව, පෙනුම අනුව බල්ලන් විවිධාකාරයෙන් බෙදාවෙන් කරයි.  දඩ බල්ලන්, මුර බල්ලන්, හුරතල් බල්ලන්, වංසක්කාර  බල්ලන්, වල් බල්ලන්. දඩාවතේ යන බල්ලන් ආදී නොයෙකුත් බල්ලන් සිටී.  ඊට අමතරව බල්ලන්ගේ වංසය අනුවත් බල්ලන් බෙදා ඇත. හැබැයි ඒ බෙදිල්ලත් මිනිස්සුන්ගේ බෙදිල්ලක් මිස බල්ලන් බෙදා ගත් බෙදිල්ලක් නම් නොවෙයි. මට නම් බල්ලා කිවහම කොයි එකත් බල්ලෙක්ය. ඒත් වංසක්කාර බල්ලන් මිනිස්සුන්ට වඩා සැපෙන් කල් ගෙවයි. මිනිසුන්ගේ  වංසය කොච්චර හොඳ උනත් අතමිට නැති දාට සිද්ධ වෙන්නේ ඒ වංසය කබල් ගාන්නටයි. නමුත් බල්ලන්ට එහෙම නැත. එහෙම බැලුවහම දුප්පත් වී වංසක්කාර පවුලක මිනිහෙක් ඉපදෙනවාට වඩා වංසක්කාර බල්ලෙක් වී ඉපදීම සැපකි. ළඟදී දවසක ඇහුන විදිහට ලෝකේ මිල අධිකම බල්ලාගේ වටිනාකම ඩොලර් මිලියන 1.5කි. ඌට වියදම් කරන සල්ලි වලින් කුසගින්න නිසා මේ ලෝකේ මියැදෙන මිනිස්සු කී දෙනෙක් නම් ජිවත් කරන්න තිබ්බාදැයි මට සිතුනි. සමහරවිට එහෙම සිතුනේ මට එතරම් මුදලක් නැති නිසා වියයුතුයි. බල්ලන්ට බෙහෙත් හේත් කිරීමට වෛද්‍ය මද්‍යස්ථාන වලට අමතරව සැලුන්, සම්බාහන මධ්‍යස්ථාන, හෝටල් ආදී නොයෙකුත් පහසුකම් සලසන ආයතන ඇත. ඒ සියලුම පහසුකම් විවෘත වන්නේ සුරතලේට ඇති කරන වංසක්කාර බල්ලන්ට පමණි. දඩාවතේ යන වල් බල්ලන්ට හිමිවන්නේ ගල් පාරක්, ඉදල් පාරක් පමණි එහෙමත් නැත්නම් වෙඩි උණ්ඩයක් හෝ මාරාන්තික එන්නතක් පමණි. දඩාවතේ යන බල්ලන් මරන්නේ ජල භීතිකාව තුරන් කිරීමේ අරමුණින් වුනත් උන්ව මරණ ආකාරය නම් ශෝචනීයයි. කෙසේ වෙතත් හැම වල් බල්ලෙක්ම දඩාවතේ නොයයි. සුරතල් වෙමින් ගෙවල් වල බොහොම හොඳට හැදුනු වල් බල්ලන්ද ඇත. උන් වල් වී ඇත්තේ වංසයක් නැති හෙයිනි. අපි ඉස්සර වල් බල්ලන්ව හැදින්වූයේ හැලි වලන් ක්‍රොස් නමිනි. ලොකු ලොකු පොෂ් බල්ලන් එක එක වංස වලින් ක්‍රොස් වෙද්දී වල් බල්ලන්ට පොෂ් නමක් නොදීම අසාධාරණ බැවින් අප ඒ නම වල් බල්ලන් වෙනුවෙන් භාවිතා කලමු....

වංසේ හොඳ බල්ලෝ 

බල්ලා යනු දඩයම යුගයේ සිට මිනිසාට බොහෝ උදව් උපකාර කල සතෙකි. දඩයමෙන් පටන් ගත්  බල්ලාගේ උදව් පදව් අද වනවිට නොයෙකුත් ක්ෂේත්‍ර වලට විහිදී පැතිරී ගොස්ය. මේ මිහි මතින් මුලින්ම අභ්‍යවකාශ ගත වුවේද ලයිකා නැමති රුසියානු බැල්ලියයි. අද වන විට ආරක්ෂක අංශවල රාජකාරියේ නියතු බල්ලන්ට බොහෝ වගකීම් ඇත. ඒ ඒ අංශ වල ඉන්න මිනිසුන්ට වඩා හොඳින් බල්ලන් ඒ රාජකාරි ඉටුකරන බව නම් මම විශ්වාසය කරමි. බල්ලන් රඟපෑමටද දක්ෂය. අවංකම කිවොත් බලු රඟපෑම් සමහර නළු රඟපෑම් වලට වඩා තාත්විකය.  ඒ වාගේම බල්ලන් වීර වික්‍රමයන් දක්වපු අවස්ථා නිතරම ලෝකේ නොයෙක් අහු මුළු වලින් ඇසේ. නොයෙකුත් හපන්කම් පෙන්නවන බල්ලන්  ගැනත් නිරන්තරයෙන් ඇසෙන දකින අතර මිනිස්සු ඒ දස්කම් විකුණාගෙන ජිවත්වෙති. බලු රේස්, බලු ෆයිට්, බලු සංදර්ශන මේ හැමදෙයක්ම මිනිසුන්ගේ ජීවිකාව සඳහා වෙයි. මේකි නොකී හේතුන් මත ලෝකයේ අනිත් සතුන්ට වඩා හොඳ ස්ථානයක්  මේ මිනිස් සමාජය තුල බල්ලාට හිමි බව  නොරහසකි.

බල්ලන් නොයෙකුත් බලු වැඩ කලාට කම් නැත. ඌ බලු වැඩ කරන්නේ බල්ලෙක් බැවිනි. ඉස්සර බල්ලෙක් උඩු බුරලන විට අපේ අම්මා කලබල වන්නීය. එවැනි අවස්ථාවලදී මා ඇයට කිවේ  බල්ලන් බුරනවා, උඩු බුරලනවා විනා උන්ට සිංහල හෝ වෙනත් භාෂා ගීත ගායනය කල නොහැකි බවයි. බල්ලන් වටා ගෙතුන විවිධාකාර කියමන් සහ යෙදුම් අපේ සමාජයේ පවතී.
  " බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ "  
" උන පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇද ඇරෙන්නේ නැත"  
" බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ"
 " බුරන බල්ලා හපා නොකයි "  
" බල්ලොත් එක්ක නිදාගත්තහම නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක" 
"නගුට විසින් බල්ලා වැනිම"   
" බල්ලන්ට ලෙලි පොල් දුන්නා වගේ "  

ඔය මට මතක් වූ කියමන් පමණි. මේ කියමන් යෙදෙන අවස්ථා ගැන විග්‍රහ කිරීම අවශ්‍ය නැත. මේවා යෙදෙන්නේ මිනිසා සම්බන්ධයෙනි. බල්ලා යනු කෙළෙහි ගුණ හොඳට අඳුරන සත්වයෙකි. මිනිසාගේ ආදීතම මිතුරෙකි. නමුත් මිනිසා යනු ඊට වඩා බොහෝ දරුණු, කෙළෙහි ගුණ නොදත්, අමානුෂීය සත්වයෙකි. මේ කියමන් ඒ පිළිබඳව මනාව කියා පානවා නොසැකයි. මන්ද යත් මිනිසුන් අතින් සිදුවන අඩු පාඩු, වැරදි, අසත්පුරුෂකම්, අමුනුස්සකම් මිනිසාගේ පරම මිතුරා වූ  බල්ලාගේ ගිණුමට බැරවන බැවිනි. එතනදීම මිනිසා තමාගේ ගතිගුණ ප්‍රදර්ශනය කර හමාරය. තමාගේ අඩු පාඩු තම මිතුරාගේ නමට බැර කරන්නේ මිත්‍ර ද්‍රෝහින්ය. ඒ අයුරුන් බලන කල මිනිසා මිත්‍ර ද්‍රෝහියෙකි. කෙසේවෙතත් මිනිසාගේ අධම ගති සඳහා බල්ලන්ගේ නම භාවිතයට මම නම් බලවත් විරෝධය ප්‍රකාශ කරමි. ඒ එයින් බල්ලාට වන නිගරුව මෙතකැයි කිව නොහැකි නිසාය. ඕනෑම අසමජ්ජාති වැඩක් දුටු තැන මිනිසුන් එය " බලු වැඩක් " ලෙස හැඳින්විමට පුරුදුව ඇත. නමුත් බල්ලන් කරන්නේ මිනිසුන්ට ආදරය කිරීම, ආදරය කරන මිනිසුන් ආරක්ෂා කිරීම, කන්න බොන්න දෙන මනුස්සයාට කෙළෙහි ගුණ දැක්වීමයි. ඒ ගති ගුණ කිට්ටුවෙන්වත් නැති මිනිසුන්ට බල්ලා යැයි කීම නොහොබිනා කමකි. මිනිසුන් බලු වැඩ නොකරයි. කරන්නේ අසමජ්ජාති අවලං වැඩයි.එවැනි දෑ බල්ලන් නොකරයි. එම  නිසා බල්ලන් මේ පිළිබඳව මිනිසුන්ට විරුද්ධව අපහාස නඩුවක් ගොනු කිරීමට පවා අයිතියක් ඇත. පුළුවන් අයෙක් වේ නම් බල්ලන්ට උදව්වක් වශයෙන් නඩුවක් ගොනු කල හැක. මගේ නම් නඩු හබ වලට පැටලීමට මනාපයක් නොමැත.

කෙසේ වෙතත් මිනිසුන් බලු වැඩ කියා හඳුන්වන සමාජ අසම්මත, අමානුෂීය, ගුණමකු වැඩ සහ බල්ලෝ කියා හඳුන්වන අසමජ්ජාතින් ප්‍රතිශතය අපේ සමාජය තුල වැඩිය. නමුත් ඉඳහිට හෝ හොඳ එකෙක් දෙන්නෙක් ඇතුවාට සැක නැත.  සමාජය තුල ඉන්නා අසමජ්ජාතීන් ගැන කතා කිරීමෙන් පලක්ද නැත. නමුත් උන් වෙනුවෙන් බල්ලාගේ නාමය භාවිතා කර අහිංසක අසරණ තිරිසනාට අපහාස නොකරන්නට අපි වග බලා ගනිමු..............