Sunday, February 27, 2011

දෙවිවරු වැනි ගුරුවරු

සුපුරුදු විදිහට අම්මා ඊයේ හවස කතා කලා. ආගිය තොරතුරු කතා කර කර ඉන්නකොටම අම්මා " ආ මට කියන්න අමතක වුනානේ පුතේ, ඊයේ කරුණා මැඩම් කතා කලා. ඔයා ගැන විස්තර ඇහුවා ". මේ වචන ටික ඇහුන ගමන්ම මට පුදුමාකාර සතුටක් දැනුනා. ඒ වගේම මට පුදුමත් හිතුණා. කරුණා මැඩම් කියන්නේ මගේ පන්ති භාරව හිටපු ගුරුතුමියක්. එතුමිය තමයි මම 6 වසර ඉන්න කාලේ මගේ පන්ති භාර ගුරුතුමිය. එතුමිය මට ඉගැන්නුවේ 1996දී. අද 2011. අවුරුදු 15ක කාලයක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ. එතුමිය ලඟ අපේ ගෙදර නොම්මරය තිබ්බා කියන එකත් පුදුමයි. මට එවෙලේම ගිහින් එතුමිය බලන්න හිතුනත් මම ඉන්නේ රටින්  පිටවෙලා. සතුට එක්කම දුකකුත් හිතට නැඟුනා.

එතුමිය මට ඉගැන්නුවේ මම කෑගල්ල ශාන්ත මරියා විදුහලේ හිටපු කාලේ. ඒත් මම 6 වසරේ එතුමියගේ පන්තියේ හිටියේ මාස 7ක් විතරයි.5 වසර ශිෂ්‍යත්වයේ ලකුණුවල පිහිටෙන් මම කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුලත් උනා ඊට පස්සේ. මට අද වගේ මතකයි මම 6 වසරෙන් අස්වෙලා යන්න ලැහැස්තිවෙලා එතුමියට වැඳපු වෙලාවේ එතුමිය මගේ අත්දෙකෙන් අල්ලගෙන සැහෙන වෙලාවක් අවවාද දීදී ඇඬුවා.  අපේ ජිවිතේ අපට මුණගැහෙන ගුරුවරු බොහොමයක් යම් යම් හේතු නිසා අපේ මතකයෙන් කවදාවත් ඈත් වෙන්නේ නෑ. සමහරවිට අමතක නොවෙන හේතුව හොඳ එකක් නොවෙන්නත් පුළුවන්. කරුණා ගුරුතුමිය නම් ඇත්තෙන්ම තමන්ගේ ශිෂ්‍යයන්ට තමන්ගේ දරුවෙක්ට වගේ ආදරය දක්වපු නම වගේම හදවතත් කරුණාවෙන් පිරුණු ගුරුමවක්. එතුමිය විශ්‍රාම ගන්න තුරු මට විවේකයක් ලැබුණුවිට මගේ කලින් පාසලට ගිහින් මම එතුමියව මුණ ගැහුනා. ඒත් මම 9 වසර විතර වෙද්දී ඈ ගුරු දිවියෙන් විශ්‍රාම ගත්තා. ඊට පස්සේ සෑහෙන කාලයක් යනකම් කරුණා මැඩම් ගැන ආරංචියක් ලැබුනේ නෑ. මම උසස්පෙළ දෙවනි පාරත් ලියලා ඉවර වෙලා ඉන්න කාලේ මට එතුමියගේ ලිපිනය ලැබුනා. ඉතින් මම එතුමිය හොයාගෙන ගියා. මාව දැක්ක ගමන් එතුමිය මාව අඳුනගත්තා පමණක් නෙවෙයි, එතුමියගේ ඇස්දෙකට කඳුළුත් ඉනුවා. ඒ 2005 දී. එදා තමයි මට ඇයව අන්තිමට මුණගැසුනේ. පහුගිය අවුරුදු 6ටම මට කිසිම ආරංචියක් දැනගන්න බැරිඋනා. ලංකාවට නිවාඩුවට ගිය වෙලාවට මුණගැහෙන්න උත්සහා කරත් ඒ එකක්වත් හරි ගියේ නෑ.එහෙම වෙලත් එතුමියට මාව මතක් වෙලා නැවතත් ගෙදරට කතා කලා කීවහම මට පුදුමාකාර සතුටක් දැනුනා. එතුමියත් පහුගිය කාලේ විදේශ ගතවෙලා ඉඳලා තියෙන්නේ.

ඇත්තටම මම හරිම වාසනාවන්තයි කියලා මට දැනුනා. ගුරු වෘත්තියත් මුදලට යට වුන යුගයක, තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අඩත්තේට්ටම්, නොයෙකුත් අපයෝජන කරන, තමන්ගේ ශිෂ්‍යයන්ට මත් ද්‍රව්‍ය බෙදා හරින ගුරුවරු ඉන්නා යුගයක, සියළුම ශිෂ්‍යයන් තමන්ගේ දරුවන් ලෙස සලකපු ගුරුවරු කොටසකින් අකුරු කරන්න, දැනුම ලබන්න අවස්ථාව ලබපු මම හරි වාසනාවන්තයි. කොලුකමට සමහර වෙලාවට අනවර්ථ නාමයකින් ගුරුවරයෙක් හැඳින්වුවාට කවදාවත් මගේවත් මගේ පාසල් මිත්‍රයන්ගෙවත් ගුරු ගෞරවය බින්දුවක්වත් අඩු උනේ නෑ. සමහර ගුරුවරුන්ට අනවර්ථ නාමයක් පාවිච්චි කලේ ආදරේට. අපේ ආදරණීය කල්ලා සර්ට, කල්ලා කීවේ ඇත්තටම අපේ හිතේ එතුමා කෙරෙහි තිබූ බැඳීමට හා ආදරය නිසා. සමහර වෙලාවට අපි කරපු ජඩ වැඩකට අපිට ගැහුවත් බැන්නත් කවදාවත් අපේ ගුරුවරු ඒවා හිතේ තියාගෙන හිටියේ නෑ. මට තාම මතකයි මම 10 වසර ඉගෙන ගන්න කාලේ මම පන්තියේ බෙර ගහ ගහ ඉඳලා අපේ පන්ති භාර ගුණවර්ධන ගුරුතුමා මට දුන්නා හොඳ කනේ පාරක්. හැබැයි පීරියඩ් එක ඉවර වුන ගමන් මගේ ළඟට ඇවිත් " ගොඩයෝ මම උගන්නද්දී උඹ බෙර ගහ ගහ ඉන්නවා දැක්කහම මට කේන්ති ගියා, පාඩමට බාධා කරහම අනිත් උන්ටත් පාඩුයි, එහෙම නැතුව මගේ තරහක් නෑ. ගහපු එක අමතක කරලා ඊලඟ පීරියඩ් එකට ලැහැස්ති වෙනවා " කියලා පන්තියෙන් පිටවුනා. මම ගුටි කෑවේ කරපු වරදට. මගේ හිතේ ගෞරවයක් මිසක් කවදාවත් වෛරයක් ඇතිවුනේ නෑ එතුමාගෙන් ගුටි කෑවා කියලා.

මේ විදිහට මෙතුවක් කල් මට අකුරු කරපු ගුරුවරු සියළුම දෙනා මගේ මතකයේ අද ඊයේ වගේ රැඳිලා ඉන්නවා. අදටත් අපේ මිත්‍රයෝ එකතු උනහම අර ගුරුතුමා මුණගැහුනා, මේ ගුරුතුමාට දැන් මෙහෙමයි ඔය වගේ තොරතුරු හුවමාරු කරගන්නේ පුදුමාකාර ආදර භක්තියකින්. මට මේ ලිපිය ලියන්න හිතුණේ මගේ දයාබර ගුරුමෑණියන්ගේ ඇමතුම නිසා. ඊළඟ පාර ලංකාවට ගියහම නම් කොහොමහරි මම යනවා එතුමිය බලන්න.කොහොමත් ලංකාවට යන හැම පාරකම මගේ හදවතට බොහෝ සමිපවුන ගුරුවරුන්ව බලලා එන්න මම කවදාවත් අමතක කලේ නෑ. අපි අද මෙහෙම ඉන්න එක දිහා බලලා අපේ දෙමව්පියන්ට පස්සේ සතුටු වෙන්නේ අපිට හොඳ නරක කියලා දුන්න අපේ ගුරුවරු කියලා මම විශ්වාස කරනවා. දෙවිවරු වැනි ගුරුවරු වගේම අතරින් පතර ගුරුහොරු හිටියත් බහුතරයක් ගුරුවරු එහෙම නොවෙයි කියලා හිතනවා.ගුරු වෘත්තිය කියන්නේ මේ ලෝකේ පවතින වෘත්තීන්ගෙන් ඉතාමත් උසස් වෘත්තියක්. ඒ නිසා කිසිම ගුරුවරයෙකුට ඒ වෘත්තියේ ගෞරවය කෙලසෙන ආකාරයට හැසිරීමට හිත් පහළනොවේවා ප්‍රාර්ථනය සමඟම  මගේ පෙර පාසලේ පටන් මේ දක්වා මට හොඳ නරක කියාදුන්, දැනුම බෙදා දුන් සියලුම ගුරුවරුන්ට නීරෝගි සුවය සහ දීර්ඝායුෂ පතමි!!!!!

ගොඩයාගේ උපන් දිනය

ඊයේ ගොඩයාගේ උපන් දිනේ. දැන් ඉතින් ගොඩයටත් වයසයි. වයසයි කීවට මහ ලොකු වයසක් නෑ. ඒත් තාමත් මට නම් හිත්තෙන්නේ අද ඊයේ ස්කෝලෙන් එලියට ආව අවුරුදු 18ක කොලු ගැටයෙක් කියලා. කොච්චර එහෙම හිතුනත් දැන් කාලේ ඉන්න අවුරුදු 18 කොල්ලෙක් එක්ක වචන 2ක් 3ක් කතා කලහම තේරුම් යනවා අපි වයසයි කියලා. මොකද උන් ඉන්නේ අඟහරු ලෝකේ දිහා අපි පෘතුවියේ හිටියට. එහෙම නැත්නම් මට වැරදිලා.  මම ඉන්නේ වෙන මොකක් හරි ලෝකෙක උන් ඉන්නේ පෘතුවියේ. වෙලාවකට නම් මට එහෙමත් හිතෙනවා. ඕවා ඉතින් ඔහොම තමයි. පරම්පරාවන් අතර ඉතින් පරතරයක් තියෙන්නත් ඕනෙනේ. වයස ගැන කතා කරලා වැඩක් නෑ. මොකද ඉතින් වයස කියන එක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. 

මම මේ කියන්න හැදුවේ ඊයේ දවස ගැන. කොහොමත් මම ඉතින් උපන් දිනේ කියලා කවදාවත් ලොකුවට සමරපු මනුස්සයෙක් නෙවෙයි. බොහෝ වෙලාවට අම්මා කිරිබත් ටිකක් හදනවා බුද්ධ පූජාවට සහ හීල් දානයට. හවසට අම්මත් එක්ක ගිහින් බෝධි පූජාවක් තිබ්බා. අනිත් කාරණය ඉතින් වයසට යන්න යන්න පරලොව ගැනත් හිතන්න ඕනෙනේ. ඒත් දැන් ඉතින් මම ඉන්නේ ලංකාවෙත් නෙවෙයි, අම්මා ඉන්නේ මගේ ලඟත් නෙවෙයි. ඉතින් ඔය චාරිත්‍ර කරන්න බැරි උනත් තාමත් මම උපන්දිනේ දවසට පන්සලට නම් ගොඩවෙන්න අමතක කරන්නෙ නෑ. 

මේ පාර නම් උපන්දිනේටත් කලින් වැඩකරන තැන යාළුවන්ගෙන් උපන්දින තෑග්ගක් ලැබුනා. මෙහේ අය ඉතින් උපන් දිනේ සමරන්න පොඩ්ඩක් මහන්සි වෙනවනේ, ඒ නිසාම මගේ යාළුවෝ කීපදෙනෙක් මගේ උපන් දිනය වෙනුවෙන් හවස එකතු වුනා. ඒ විතරක් නෙවෙයි මම නැවතිලා ඉන්න ගෙදර පවුලේ අයත් එකතුවුනා මගේ උපන් දිනේ සමරන්න. ඇත්තම කියනවානම් ගොඩයාට ලොකු සතුටක් දැනුනා. තමන්ගේ රටෙන් තමන්ගේ මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්නකොට දැනෙන පාළුව තනිකම මැද්දේ මේ හිත මිත්‍රකම්, බැඳීම් හිතට ලොකු හයියක් දෙනවා.ඒ සමහර මිත්‍රයන් ලංකාවේ අයත් නොවෙයි. පිටරටක මනුස්සයො උනත් ඒ අයගේ මනුස්සකම, හිතවත්කම හදවත් වල පිරිලා තියන බවක් මට දැනුනා.එහෙම කීවේ උපන් දිනේ සමරන්න ආපු නිසා නෙවෙයි. පිටමිනිස්සු මැද්දේ තනිවෙච්ච මට බොහෝ උදව් උපකාර මේ අයගෙන් ලැබුන නිසා. ඒ වගේම තමයි ලංකාවේ යාළුවොත්. මොන ප්‍රශ්නේ උනත් කියන්න ඉන්නේ, උදව් ඉල්ලන්න ඉන්නේ ඒ අය. කෑවද? බිවද? කියලා හොයලා බලන්නේ, අසනීපයකට බෙහෙත් පෙත්තක් හරි හොයලා දෙන්නේ ඒ යාළුවෝ තමයි.ඒ හිතවත් කමට, සහෝදරකමට මගේ ස්තූතිය සහ කෘතඥතාවය.  

ඒ හැමදෙනා වගේම  මගේ උපන්දිනය දවසේ මූණු පොතෙන් හෝ කෙටි පණිවුඩයකින් සුභ පැතුමක් එකතු කරපු හැමෝටම මගේ ස්තූතිය. ඒ හැමදෙයක්ම තනියෙන් ජිවිතේ ගෙවන මට බොහොම වටිනවා. ලංකාවේ ඉන්න කාලේ එකට ජිවිතේ බෙදාගත්ත මගේ හිත මිත්‍රයන්ට තාම මාව අමතක නෑ කියලා දැනෙන එකත් ලොකු සතුටක්. හැමෝම ගෙවන්නේ බොහෝමත්ම කාර්යබහුල ජීවිතයක් බව මම හොඳාකාරව දන්නවා. ඒ වැඩ කන්දරාව මැද්දේ මාව අමතක නොවුන එකට බොහොම පිං.......   සුභ පැතුවේ නෑ කියන එකෙන් මාව අමතක වුනා කියලා මම හිතනවා නෙවෙයි. මම කියන්න උත්සහා කලේ මට ඒ ප්‍රාර්ථනයන් දැක්කහම සතුටක් දැනුනා සහ මම තනිවෙලා නෑ කියලා දැනුනා. එක ලොකු දෙයක් මට. ඒ නිසා මගේ උපන් දිනය දවසේ එකතු වුන මගේ හිත මිත්‍රයන්ටත්, මම වැඩ කරන තැන මගේ යාළුවන්ටත් සුභ පැතුම් එක් කල හැමදෙනාටමත් මගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි.........


ප.ලි   මේ පෝස්ට් එක පබ්ලිශ් කරන වෙලාව වෙද්දී නම් ගොඩයාගේ උපන්දිනය ඊයේ නෙවෙයි පෙරේදා වෙන්න ඕනේ.  මොකද මේක ලියන්න පටන්ගත්තේ ඊයේ, ඒත් ඉවරවුනේ අද. 

Thursday, February 24, 2011

කෝපි සහ ජීවිතය

මම අද ලියන්න හිතුවා පොඩි කතාවක්. මේක මම කියවපු කතාවක්. කොහේ හරි මේ අන්තර්ජාලයේදී ඇහැගැටුන කතාවක්. හැබැයි ඒක කියවපු ගමන්ම මගේ හිතට බොහෝම තදින් කාවැදුනා. ඒනිසා ලියන්න හිතුණා. කියවපු අයත් ඇති. මට මතක විදිහට තමයි සිංහලට පෙරලන්නේ. වරදක් වුනොත් හිතකින් නොවේ.

ඔන්න දවසක් විශ්ව විද්‍යාලයක ආදි ශිෂ්‍යයෝ පිරිසක් තමන්ට උගන්නපු මහාචාර්යවරයෙක් බලන්න ගියාලු. මේ වෙනකොට හැමෝම හොඳ රස්සා කරන සමාජයේ වගකීමක් දරන අය. ඒත් ගියවෙලේ ඉඳන් කතාකරන්න ගත්තේ වැඩ කරන තැන්වල තියන ප්‍රශ්න, හිතට නිදහසක් නැති එක ගැන, නිතරම දැනෙන ආතතිය ගැන. මේ කතා ඔක්කෝම අහගෙන හිටපු මහාචාර්යවරයා සද්ද නැතුවම කුස්සියට ගිහින් ලොකු කොපි පෝච්චියක් හදාගෙන ආවා. පෝචිචිය සාලෙන් තියලා කට්ටියට කෝපි බොන්න එක එක විදිහේ කෝප්ප ගෙනත් තිබ්බා. එතන පෝසිලේන් කෝප්ප, බොහෝම මිල අධික කෝප්ප, ලස්සන කෝප්ප, වීදුරු කෝප්ප, ලාභ කෝප්ප, ලෝහ කෝප්ප, ඔය වගේ නානාප්‍රකාර කෝප්ප තියලා තිබ්බා. ඉතින් මහාචාර්යවරයා කීවා හැමෝටම ගිහින් කෝපි අරගන්න කියලා. එහෙම කියලා හැමෝම කෝප්ප වලට කෝපි දාගන්නකම් බලාගෙන හිටියා.හැමෝම උත්සහා කලේ ලස්සන කෝප්පයක්, පෙනුම තියන කෝප්පයක් ලබා ගන්න. කොටින්ම කීවොත් හැමෝටම ඕන උනේ හොඳම කෝප්පේ. මේ දිහා බලාගෙන හිටපු මහාචාර්යවරයා ඔන්න එතුමාගේ  කටහඬ අවදි කලා.

" තමාට හොඳම දේ ගන්න උත්සහා කරන එක බොහෝම සාමාන්‍ය දෙයක්. හැබැයි මෙච්චර වෙලා ඔයාලා කියපු මැසිවිලි වලට, ප්‍රශ්න වලට හේතුවත් ඒකමයි. කෝප්පේ කොච්චර මිල උනත්, ලස්සන උනත් ඒකෙන් කෝපි එකේ රසය වැඩි වෙන්නේ නෑ. කොච්චර ගණන් උනත් සමහර කෝප්ප ඇතුලේ තියෙන්නේ මොනවද කියලාවත් පේන්නේ නෑ. ඇත්තටම ඔයාලාට ඕනේ උනේ කෝපි මිසක් කෝප්පේ නෙවෙයිනේ. එහෙම වුනත් ඔයාලා උත්සහා කලේ හොඳම කෝප්පෙට තමන්ගේ කෝපි එක දාගන්න. ඊට පස්සේ හිමින් සැරේ අනිත් අය ගත්ත කෝප්ප දිහා බලන්න පටන්ගත්තා. දැන් පොඩ්ඩකට අපි හිතමු ජීවිතේ කියන්නේ මේ කෝපි එක කියලා.  එතකොට මේ රස්සාවල්, මිල මුදල්, සමාජ තත්වය මේ ඔක්කෝම තමයි කෝපි කෝප්පේ. කෝප්පේ කියන්නේ මේ ජිවිතේ අන්තර් ගතය රඳා පවත්වගන්න පාවිච්චි කරන මෙවලමක් විතරයි. ඒ කෝප්පෙට කවදාවත් බෑ ජිවිතේ කියන කෝපි එකේ රසය වැඩිකරන්න. සමහර වෙලාවට කෝප්පේ ගැන හිත හිත ඉන්න ගියහම අපට කෝපි එක රසවිඳින්න බැරි වෙනවා. අන්තිමට බලද්දී කෝපි එක නිවිලා. නිකන්ම විසිකරන්නයි වෙන්නේ. ඒ නිසා කෝප්පේ ගැන නොසිතා, ඒගැන වද නොවී, කෝපි එක රසවිඳින්න. කෝපි  එකේ රසය ගැන හිතන්න.සන්තෝසෙන් ඉන්න මිනිස්සු ළඟ තියන හැමදේම හොඳම දේවල්, වටින දේවල්, ලස්සන දේවල් නෙවෙයි. හැබැයි ඒ මිනිස්සුන්ට ලැබෙන හැම දේම හොඳම දේවල් බවට පත් කරගන්නවා. සරලව ජීවත් වෙන්න. ලෝභ නැතුව ආදරේ කරන්න.දයාවෙන් සලකන්න. කාරුණිකව කතා කරන්න. ජිවිතේ තියන ප්‍රශ්න අඩු වේවි "

මේ කතාව කියවපු ගමන්ම ඒ විස්තරේ මගෙ හිතේ බොහොම ගැඹුරේ නැවතුනා. ජිවිතේ ගැන බොහෝම ගැඹුරු පාඩමක් බොහොම සරලව රසවත්ව කියලා දීලා තියන ලස්සන. ඇත්තටම කල්පනා කරලා බැලුවහම අපි කරන්නේ හොඳම කෝප්පෙට පොරකන එක. ඒ පොරය නිසා කෝපි එක රස විඳින්න අපට අමතක වෙලා. කොච්චර හොඳ දෙයක් ලැබුනත් ඒ සතුට හිතේ තියෙන්නේ මොන තරම් පොඩි වෙලාවක්ද?? ඊට පස්සේ තවත් නොලැබුන දෙයක් ගැන හිත හිත අපි දුක් වෙනවා. මේ රේස් එක දුවලා දුවලා හති වැටුන දවසට පොඩ්ඩක් හැරිලා බලන්න. අපිට මොනතරම් දේවල් ජීවිතෙන් මඟ ඇරිලා තියනවාද කියලා......    හැමෝටම කෝප්පේ ගැන හිතනවා වෙනුවට කෝපි එක රසවිඳින්න හිත් පහල වේවා කියලා ගොඩයා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යන්න අවසර. සැමට ජය !!!!

Wednesday, February 23, 2011

හුරු නොවූ වෛරය............

අපේ නැන්දලාගේ (තාත්තාගේ සහෝදරිය ) ගෙවල් තිබ්බෙත් අපේ ගෙවල් කිට්ටුවමයි. කාලයක් අපේ නැන්දලා අපිත් එක්ක අමනාප වෙලා හිටියා. හැබැයි මට ඒ ගැන කිසිම දෙයක් ගැන අපේ අම්මා කීවේ නෑ. ඒ වෙනකොට මට මතක විදිහට අවුරුදු 6ක් 7ක් ඇති. දවසක් අම්මයි මමයි කඩේට ගිහින් එනවා. අපේ මාමා එහා පැත්තේ පාරෙන් පල්ලේහාට එනවා. අම්මයි මමයි මෙහා පැත්තේ පාරෙන් උඩහට යනවා. පාරවල් දෙක වෙන් වුනේ පොඩි වැටකින්. මාමා ඈත එනවා දැක්ක ගමන්ම අපේ අම්මා කිව්වා

 " මාමා ළඟට ආවහම කොහොමද ? කොහෙද යන්නේ කියලා අහලා මාමත් එක්ක කතා කරන්න ඕනේ".

පොඩි උනාට ගොඩයත් ලේසි නෑ. සද්ද නැතුව හිටියා. මුකුත් උත්තරයක් නොදී. මාමාත් ළඟටම ආවා. මම නෙවෙයි කට හෙල්ලුවේ. අම්මා මගේ අත මිරිකුවා. ඒත් කොල්ලා නෙවෙයි වචනයක් කීවේ. දෙන්නම ගියා කියමුකෝ ගෙදර. අනේ ගේ ඇතුලට අඩියවත් හරියට තියාගන්න මට බැරි උනා. ඇදලා ගත්තේ නැතෑ අම්මා මගේ කනෙන්.  දවල් තරු දාස් ගාණක් පෙනුනා මතක විදිහට.

" ඇයි මාමට කතා කරන්නේ නැතුව ආවේ. ඇයි?"

 තුන් පාරක් විතර ඔය ප්‍රශ්නේම ඇහුනට පස්සේ මම කට ඇරියා. ඇත්තම කීවොත් ඇරියා නෙවෙයි වේදනාවම හින්දා කට ඇරුනා.


" අපි ඒ ගොල්ලොත් එක්ක තරහයිනේ. ඉතින් තරහා මිනිස්සු එක්ක මොකටද මම කතාකරන්නේ. අනික අම්මා කතා කරන්නෙත් නෑනේ."

 අනේ ඒ පාරනම් මගේ කන අත ඇරුනා. කන අතඇරියාට ඊට වඩා වේගයෙන් අම්මාගේ අතට අහු උනා මගේ කට. මිරිකුවේ නැත්ද කටත් කන වගේම. අනේ ගොඩයාගේ පණ්ඩිතකම. කනත් ඉවරයි. කටත් ඉවරයි.

" කව්ද කීවේ අපි මාමලත් එක්ක තරහයි කියලා. අනේ මගේ නම් එහෙම කිසිම තරහක් නෑ. අනික මොන ප්‍රශ්න තිබ්බත් ඒවා ලොකු මිනිස්සුන්ට අදාල ප්‍රශ්න. ඒවා ඔයාලාට කිසිම වැඩක් නෑ.මාමා කියන්නේ වැඩිහිටියෙක්. ඒ මිනිස්සුන්ට ගරු කරන්න ඕනේ. ඇයි මාමා කීවද ඔයාට කතා කරන්න එපා කියලා???

 " නෑ"

 " ආආආ...... එහෙනම් කතා කරන්න. මම කතා නොකරන්නේ මම තරහ නිසා නෙවෙයි. ඒ ගොල්ලො මාත් එක්ක කතා කරන්න අකමැති නිසා. හැබැයි ඔයාට එහෙම කතාවක් මාමා කීවේ නෑනේ. ඒ නිසා මීට පස්සේ මාමා දැක්කහම කතා නොකර එහෙම ඉඳලා අහුවුනොත් කට තලනවා. පොඩිකාලේ ඉඳන්ම පුරුදු වෙන්නේ මිනිස්සුන්ට පුප්පන්නද? වෛරකරන්නද??? ඒවට නම් ලැහැස්ති වෙන්න එපා මේ අම්මත් එක්ක. කවුරු අපිත් එක්ක තරහ වුනත් වෛරකරත් කමක් නෑ. ඒත් අපිට එහෙම කරන්න උවමනාවක් නෑ, ඒ අය කරපු දේවල් ඒගොල්ලන්ට තියෙයි. අපි කරන දේවල් අපිට. බලන්න ඔයා කරපු දේ නිසා මාමා මං ගැන මොනවා හිතුවාද දන්නේ නෑ."

මම හිතුවේ කතා නොකර හිටපු එක ගැන අපේ අම්මා සතුටුවෙයි කියලා. මොකද අම්මා මට කෙලින්ම නොකීවට මම දැනගෙන හිටියා මාමලා අපිත් එක්ක අමනාපයි කියලා. මගෙ අම්මෝ එත් අනේ පොඩි එකාට වුනේ වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුනා වගේ වැඩක්නේ. ඊටත් වඩා මට පුදුම හිතුනේ අම්මා එවෙලේත් කල්පනා කර කර හිටියේ මාමා අපි ගැන මොනවා හිතුවාද කියලා. වෙන මිනිහෙක් නම් ඒ මනුස්සයා අමනාප නිසා ඕන දෙයක් හිතාගත්තාවේ කියල ඉන්නවානේ. ඔය සිද්ධිය තාමත් මගේ මතකේ අද ඊයේ සිද්ධ උන දේයක් වගේ  රැඳිලා තියනවා. ඒ වගේම ඔය සිද්ධියෙන් පස්සේ මම කා එක්කවත් කතා නොකර හිටියේ නෑ. අනේ අම්මේ ඒ දවස් වල මට ඔය සිද්ධි මතක හිටියේ ගතට දැනුන වේදනාව නිසාද මන්දා. කොහොමවෙතත් අම්මා ඒ කියලා දුන්න පාඩම් වල වටිනාකම නිම කරන්න බෑ අම්මේ. කන මිරිකලා දෙක තුනක් ගහපු නිසා හරි ඒවා මතක තිබුන එකේ වටිනාකම මම කොහොමද කියන්නේ.  මම ඒ කාලේ ඉඳන්ම මිනිස්සුන්ට වෛර කරන්න පුරුදු උනානම් අද ජීවිතේ ගෙවන්න වෙන්නේ ගිනි ගොඩක් උඩ. අම්මා මට කියලා දුන්නා වගේ කාගෙන් හරි කරදරයි නම්, කවුරු හරි අපිට වෛර කරනවා නම් ඒ මනුස්සයාගෙන් ඈත් වෙලා හිටියාම ඒ හොඳටම ඇති. වෛර කරන එකෙන් වෙන්නේ අපේ හිතේ සැනසීම නැති වෙන එක. ඔය පාඩම් වල අර්තය දැන් තමයි මට හොඳට තේරෙන්නේ. සමාජයත් එක්ක ගැටෙද්දී. මිනිස්සුත් එක්ක වැඩ කරද්දී.
මම හොඳාකාරවම දන්න දෙයක් තියනවා. ඒ තමයි මගේ අම්මා එයාගේ ජිවිතේ පුරාවටම කාටවත් වෛර කලේ නෑ. තරහව හිතේ තියාගෙන හිටියෙත් නෑ. තරහ ගිය වෙලාවට කෑගැහුවා හිතේ තියන දේ කීවා. එච්චරයි. අම්මාට පිං සිද්ධ වෙන්න ඒ දේ මටත් පුරුදු වුනා. ගොඩයා ගැන හොඳට දන්න මිනිස්සු ඒක දන්නවා මං හිතන්නේ. මොනවා උනත් මිනිස්සුන්ට වෛර නොබැඳ ඉන්න පුරුදු වෙන එක අපේ ජීවිත වලට බොහොම වැදගත්. වෙන මොකවත් නිසා නෙවෙයි ඒ නිසා අපිට සැනසීමේ ඉන්න පුලුවන් වෙනවා. නැත්නම් අනිත් මිනිස්සු ගැන තියන තරහ ගැන හිතලම අපිව නිකන්ම දිරලා යනවා. අද සමාජයේ ඉන්න සමහර දෙමව්පියෝ කරන්නේ දරුවන්ට විෂ පොවන එක. ඒත් එහෙම සමාජයක මට එහෙම නොකරන්න කියලා දුන්න තරවටු කරපු මගේ අම්මාට බොහොමත්ම පිං..........

Tuesday, February 22, 2011

ගොඩයා පොඩි කාලේ.............

මෙහෙම විස්තර ලියන එක සමහරවිට මෙලෝ රහක් නැති වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. ඒත් මම හැදුන වැඩුන පරිසරය ගැන, වටපිටාව ගැන විස්තරයක් නොකර මගේ ජීවිත අත්දැකීම් ලියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මොකද මම අහසින් වැටුන මිනිහෙක් නෙවෙයිනේ.

මට හිතෙන විදිහටනම් මගේ ළමා කාලය ගැන මට මතක් කරලා කල්පනා කරලා තාමත් සතුටු වෙන්න පුළුවන්. එහෙම කීවහම කාට වුනත් හිතෙන්න පුලුවන් මම පොඩි කාලේ සුර සැප විඳපු, රෝසමල් අතුරපු යහනාවක හැදුනු වැඩුනු කොල්ලෙක්  කියලා. අනේ එහෙමම නෙවෙයි. ඒත් මේ ලෝකේ සමහර පොඩි උන් විඳින දුක් කන්දරාව දැක්කහම ඇත්තටම මම වින්දේ සුර සැප. විශේෂයෙන් මානසිකව මට කිසිම පීඩාවක්  වුනේ නෑ.මට හිතෙන විදිහට ඒක තමයි පොඩි එකෙක්ට වැදගත්ම දේ. කොහොමහරි මට අවුරුදු දෙකක් පිරිලා ටික දවසක් යනකොට අපේ පවුලට තවත් සාමාජිකයෙක් එකතු වුනා. ඒ තමයි මගේ සැපට, දුකට, තනියට, පාළුවට ළඟ හිටපු මගේ ආදරණීය නැඟණිය. අනේ ඉතින් පොඩි කාලේ ගහ ගත්තට, බැණ ගත්තට, රණ්ඩු උනාට  අපි දෙන්නට අපි දෙන්නා නැතුව බෑ. අදටත් නංගී මගේ ළඟ නැති උනාට ඒ බැඳීමේ කිසිම වෙනසක් නෑ.

මගේ නංගීට අමතරම මගේ බාප්පාගේ දුවත්, පුතාත්, මගේ මහප්පාගේ පුතාත් මගේම අක්කා සහ අයියලා දෙන්නා උනා. අනිත් කාරණය මගේ තාත්තාගේ නෑ පිරිවරම තමයි මගේ අසල්වැසියෝ වුනේ. ඉතින් බාප්පාගේ ගෙවල් තිබ්බේ අපේ ගෙදරට උඩින්. මහප්පාගේ ගෙදර වම් අත පැත්තේ. ඉතින් පොඩි කාලේ ඉදන් අපි හැදුනේ වැඩුනේ එකට. අයියලා දෙන්නා එකම ස්කෝලෙට ගිය නිසා ලොකු ගොඩයයි, පොඩි ගොඩයයි උනා. ඒත් දැනට අවුරුදු තුනකට උඩදි අවාසනාවන්ත රිය අනතුරක් ලොකු ගොඩයාව සදහටම අපෙන් ඈතට අරන් ගියා. ඒක තමයි මගේ ජිවිතේ මට ලැබුන කම්පිතම සිදුවීම. ඒ ගැන මෙහෙම ලියන්න බෑ. ඒ ගැන ඉදිරියේදි වෙනම ලියන්නම්.

මම කලින් කීවා වගේ මගේ තාත්තා ලංකාවේ හිටියේ නෑ. ඉතින් අනිත් පොඩි උන්ට වගේ වැඩ ඇරිලා තාත්තා එනකම් බලාගෙන ඉන්න අවස්ථාවක් මට ලැබුනේ නෑ. නංගියි, මමයි ඒ වෙනුවට කලේ බාප්පා එනකම් බලා ඉන්න එක. අනේ අපේ බාප්පාත් මොනතරම් මහන්සිවෙලා උනත් වැඩ ඇරිලා  ගෙදර යන ගමන් අපේ ගෙදරට ගොඩවෙලා පොඩි වෙලාවක් නංගියි මමයි වඩාගෙන ඉඳලා, වැඩ ඇරිලා එද්දි ගෙනාපු යෝගට් එකක් හරි, චොක්ලට් එකක් හරි අපි දෙන්නාටත් දීලා තමයි උඩහට ගොඩ වෙන්නේ. අනික නංගිගෙයි මගෙයි අවාසනාවකටද කොහෙද අපි ඉපෙදෙන කොට අම්මාගේ දෙමාපියොත්, තාත්තාගේ දෙමාපියනුත් මේ ලෝකෙන් සමු අරන්. ඉතින් අපි දෙන්නාටම කවදාවත් අත්තම්මලාගේ සීයලාගේ ආදරය ලබන්න බැරි උනා. අපේ අම්මාට ලොකු හයියක් උනා බාප්පාගේ පවුල. බාප්පා, පුංචිඅම්මා විතරක් නෙවෙයි නිතරම තනි නොතනියට හිටිය අක්කාත් අයියත් ලොකු හයියක් උනා. මහප්පාත් අපි පොඩි කාලේම අපි අතරින් වියෝවුන නිසා මහප්පාගේ පවුලට ගොඩක් කරදර තිබුනා. ඒ නිසා ඒ පවුලටත් ගොඩක් උදව් කලේ බාප්පලා. කොහොම උනත් මගේ අම්මාට පස්සේ මාවයි නංගිවයි හදන්න බලාගන්න මහන්සි ගත්තේ පුංචි අම්මා. අදටත් මම මගේ දෙවනි මව් විදිහට සලකන්නේ මගේ පුංචිඅම්මාව. ඒ වගේම තමයි බාප්පාත්. ඒ අය අපි වෙනුවෙන් කරපු උදව් වලට සමාන වෙන්න ප්‍රති උපකාරනම් අපිට කරන්න බෑ. අපි හැමදාමත් ඒ අයට ණයගැතියි.  ඊට අමතරව තව ගොඩාක් දෙනෙක් මම පොඩි කාලේ පටන් අද වෙනකම් අපිට නානාප්‍රකාරයෙන් උදව්කලා. ඒ හැමෝම ගැන නොලීවට ඒ හැමදෙයක්ම ගොඩයට අද ඊයේ වගේ මතකයි. ඒ හැමෝටම බොහෝම ස්තූතියි, බොහෝමත්ම පිං...................

Sunday, February 20, 2011

පැතුම්

දිනෙන් දින ගොඩ    ගැසෙන
කිසිදාක නිම          නොවෙන
දුක කඳුළ            රැගෙන එන
පැතුම් මලු            පොදි බඳින


නැතිදාක ඒ                   පැතුම්
හිස් වේවි අප                 සිතුම්
පතන විට දේ                උතුම්
යමක් සිදුවෙයි              නැවුම්


නොදැන තම                සීමාව
ඇති කරන්                   ආසාව
හඹා යන                     මායාව
නවතීවි                     ශෝකීව


සිතා දෙවරක්             හොඳින්
පතමු පැතුමන්              සිතින්
සැමගෙ සුභ            සිහිනයන්
පතමි ඉටුවන             ලෙසින්

ගොඩයාගේ ගම

කලින් පොස්ට් එකෙන් වැඩිපුර ඉඩක් මාව මේ ලොකේට බිහි කරපු මගේ දෙමව්පියො වෙනුවෙන් වෙන්කලා. ඒත් මට නම් වෙන්කරපු ඉඩ මදි වගේ. කොහොමත් ඒ අයගේ ජිවිත වලින් වැඩිපුර ඉඩක් වෙන්කෙරුනේ අපි වෙනුවෙන්. ඔන්න ඉතින් එහෙම මේ ලෝකෙට පාත් උන මම අඟලෙන් අඟල උස් උනා, අඩියෙන් අඩිය තියන්න ඉගෙන ගත්තා. මගේ මතකයේ ඉතිරි වෙලා තියෙන්නේ අවුරුදු 5න් 6න් පස්සේ වගේ වෙච්ච සිද්ධි. වාසනාවට ඉපදුන දවසේ ඉදන්ම මේ දක්වාම අපි ජීවත් වුනේ එකම ගමක.එහෙම කීවේ මම දන්න මගේ යාළුවො ඉන්නවා. තාත්තාට අම්මාට මාරු වීම් ලැබෙද්දි ලංකාව වටේම යන්න සිද්ධ වෙච්ච. ඒ අය එක පළාතකට හුරු වෙද්දි ආයෙත් වෙන තැනකට. ඒ වැඩේ නම් පුදුම වදයක්. අද පොඩ්ඩක් වෙන්න මම හැදුන වැඩුන පරිසරය ගැන විස්තරයක් ලියන්න හිතුවා. අපේ ගමේ පොඩි රූප කෑලි දෙකකුත් ඔන්න ඇමිණුවා.

කොහොමහරි ගොඩයාගේ නම වගේම ගොඩයත් ගමේ ගොඩේ කොල්ලෙක්.  අපේ ගම පිහිටියේ සබරගමුව පලාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, වරකාපොල ප්‍රාදේශීය සභා සීමාවේ. හැබැයි කොළඹ - නුවර පාර මායිමේ අපේ ගෙවල් තිබ්බ නිසාද මන්දා ගම කීවට මම හැදුන පරිසරය අර්ධ ග්‍රාමී පරිසරයක් කියලා මට හිතෙනවා. මම දැනට ලංකාවෙන් පිටවෙලා හිටියත් මට මගේ ගම, මගේ රට වගේ හිතට ගතට සතුටක් සැනසුමක් දෙන වෙන තැනක් මේ ලෝකේ නෑ. කොහොමත් ගමක තියන නිස්කලංකකම හිතට පුදුමාකාර සහනයක් ගේනවා. අනිත් කාරණය මේතාක් කල් අපේ ගමේ කලබල තිබුනේ නෑ. පොඩි පොඩි සිද්ධි නොතිබුනා නෙවෙයි. ඒත් මහලොකු කරදරයක් තිබුනේ නෑ. ගම ඇතුලට කිලෝ මීටර් 3ක් 4ක් ගියහම මා ඔය හම්බ වෙනවා. ඒ නැතත් අපේ ගෙවල් ලගිත් පොඩි ඔයක් තියනවා. අපි පොඩි දවස් වල නම් ඉතින් අපි නිතරම ඔයට ගියා නාන්න. ඒත් අපේ ගමේ සීග්‍ර දියුණුවට පිං සිද්ධ වෙන්න දැන් නම් නෑවොත් මොනවගේ ලෙඩ හැදිලා නවතියිද දන්නේ නෑ. ඇත්තම කියනවා නම් දැන් ගම හරිම දියුණුයි. හැම තැනම අලුත් ගොඩනැගිලි. අලුත් මූණු , අලුත් මිනිස්සු ගමේ ඉඩම් අරන් පදිංචියට ඇවිත්. මට හිතුණා මේ අලුතෙන් එකතුවෙච්ච හැම දෙයක්ම ඉස්සර ගමේ තිබ්බ නිස්කලංකකම හොරකම් කරලා කියලා.


මේ පාර ලංකාවට ගියහම මම මූණ දුන්න පුංචි සිද්ධියක් ලියනවා. මොකද ඒකත් ගමේ දියුණුවට අදාලයි. මගේ කාමරේ එක ජනේලයක් තියෙන්නේ ගම ඇතුලට යන පාරට මූණ දාලා. පාරෙන් එහා පැත්තේ මහා විශාල වෙල් යායක් තියෙන්නේ. ඉස්සර මගේ මේසේ තිබුනේ මේ ජනේලේ ඉස්සරහා. එතන ඉදන් වැඩ කරන එක ගතට වගේම හිතටත් පහසුයි. ජනේලේ ඇරියහම හැමවෙලේම බොහොම සනීප සුලඟක් වෙල්යාය පැත්තෙන් එනවා. ෆෑන් පාවිච්චි කරන්න ඕනේ නෑ.මේ පාර ලංකාවට ගිහිල්ලා පලවෙනි දවසේ උදේම කාමරයේ වෙල් යාය පැත්තේ ජනේලේ ඇරලා මම පොඩ්ඩක් කාමරය අස්පස් කලා. ඒත් වෙනදා වගේ ඇඟට සනීපෙට දැනෙන හුලං පාර නෑ. පැයක් විතර යද්දි රස්නේ එන්න එන්න වැඩි උන නිසා පොඩ්ඩක් ජනේලෙන් එලියට එබුනා. අනේ වෙල්යායේ, පාර කිට්ටුව ටික ගොඩ කරලා එතන තට්ටු ගොඩනැඟිල්ලක් හදලා. ඉතින් කොහෙන් එන හුලංද? ලංකාවෙන් එනකම්ම කාමරේ ඉන්න වෙලාවට ෆෑන් එකේ සරණම තමා.

ගම් දියුණු වෙන්න ඕනේ. පාරවල් හැදෙන්න ඕන, නගර දියුණු වෙන්න ඕන, රට දියුණු වෙන්න ඕන. ඒත් දෙයියනේ ඇයි මේ මිනිස්සු පොඩ්ඩක් පරිසරය, සොබ දහම ගැනත් හිතන්නේ නැත්තේ. මහ ලොකු දේවල් නෙවෙයි. අර ඔයට හෝස් ගාලා කුණු කානුව හරවනවා වෙනුවට පුළුවන් තරමක් හරි ඒ ජරාව, පෙරහනක් පාවිච්චි කරලා අඩු කරන්න බැරි ඇයි. ඔය වගේ පොඩි පොඩි දේවල් තියනවා. අපිට කරන්න පුලුවන්. ඒත් උවමනාවක් නෑ.දියුණුවත් එක්ක පරිසරය දූෂණය වෙන එක නවත්තන්න අමාරුයි. ඒත් අඩු කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.මොනව වුනත් මම මගේ ගමට ආදරය කරනවා. මගේ ගමත් දවසින් දවස දියුණු වෙන්න ඕනේ. ඒත් අපේ ගම දියුණු වෙනකොට  ගමේ තිබුන ගමේ කම, ලස්සන නැති වෙයිද කියලා බයයි.විස්තරේ කීවට මම ගමේ නම කීවේ නෑනේ. ගමේ නම අඹේපුස්ස. ගමට නම හැදුන එක ගැනත් ලස්සන කතාවක් තියනවා. ඒක පස්සේ දවසක ලියන්නම්. එහෙනම් ගිහින් එන්නම්. සැමට ජය !!!!

Friday, February 18, 2011

මම මෙලොව එලිය දිටිමි

ලියන්න ගත්තහම තමයි හිර වෙන්නේ.කොහෙන් පටන් අරගන්නද කියල කල්පනා කරන්නම සෑහෙන වෙලාවක් යනවා. වැඩේ පටන් ගත්ත එකේ ලියන්නත් කොහෙන් හරි පටන් ගන්න එපැයි. මේක ඉතින් මගේ දෙවනි පොස්ට් එකනේ. මම මේ තාම හොයන්නේ මගේ ජිවිතේ ලැබුන අත්දැකීම් වචන වලට පෙරලන්න, සිද්ධියෙන් සිද්ධිය පෙලගස්සන්න පටන්ගන්න තැනක්. මගේ ජීවිතේ පටන් ගත්ත තැනින්ම ලියන්න පටන් ගත්තනම් හොඳයි කියලා මට හිතුණා.
      ගොඩයා වන මම මෙලොව එලිය දුටුවයි කියන්නේ එකදාස් නවසිය අසූපහේ නවම් මස 25 වනදායි. එහෙම නැත්නම් තේරෙන  ඉංග්‍රීසියෙන් කියනවානම් මම ඉපදිලා තියෙන්නේ 1985 පෙබරවාරි 25 වෙනිදා. එදා පටන් මම මේ ආපු දුර මාව එක්කගෙන එන්න හැම අම්මෙක් තාත්තෙක් වගේම මගේ දෙමාපියො දෙන්නත් පුදුමාකාර විදිහට මහන්සි උනා, දුක් වින්දා. වාසනාවකට මම ඉපදුනේ නැති බැරි ඉතා දුප්පත් පවුලක නෙවෙයි. හැබැයි මගේ අම්මයි තාත්තයි ඇති හැකි දළකාරයොත් නෙවෙයි.අපේ පවුල බොහෝම සාමාන්‍ය පවුලක්. මම ගැන ගොඩාක් සතුටු වෙනවා. මොකද අපි  මධ්‍යම පන්තියේ නිසා මගේ ජිවිත කාලයේ මට දුප්පත් මනුස්සයාගේ සිට පෝසත් මනුස්සයා දක්වා අපේ සමාජයේ මිනිස්සු  ආශ්‍රය  කරන්න අවස්ථාව ලැබුනා. මම විශ්වාස කරනවා අවස්ථාව වැඩිපුර ලැබෙන්නේ  මධ්‍යම පන්තියේ මිනිස්සුන්ට කියලා.
ඉතින් මේ පවුලේ වැඩිමල් දරුවා වුනේ මමයි. අපිට  අවශ්‍ය දේවල් අඩු පාඩුවක් නැතිව දෙන්න ඕනේ නිසා, අපිට හොඳට උගන්නන්න ඕනේ නිසා, අපිට හොඳට සැප පහසුකම් දෙන්න ඕනේ නිසා මගේ ආදරණීය තාත්තා අපි පොඩි කාලෙදිම විදේශ ගතවුනා. ඉතින් ගෙදර තනිඋනේ මමයි , නංගියි, අම්මයි. මගේ අම්මා අපිට තේරුම් ඇති කාලයක් වෙනකම් පුදුමාකාර විදිහට දුක් වින්දා. දුක් වින්දේ හිතින්. තනියම ගෑණියෙක් පොඩි උන් දෙන්නෙක් එක්ක ගෙදරක තනිවුනහම එන  ප්‍රශ්න ගැන පොඩිහරි අවබෝධයක් හැමෝටම ඇති කියලා මම හිතනවා. හැබැයි සියළුම  ප්‍රශ්න ඉදිරියේ මගේ අම්මා බොහොම ඉවසීමෙන්, නොසැලී, කාටවත් වචනයක් කියන්න බැරිවෙන්න ජීවත්වුනා විතරක් නෙවෙයි, අපිවත් විදිහට ලොකු මහත් කලා. මම මගේ ජීවිතේ වැඩිපුරම අගේ කරන්නේ  මගේ අම්මාව. සමහර දෙනෙක්ට තමන් ජීවිතේ වැඩිපුරම අගේ කරන්නේ කව්ද කියන එකට උත්තර විදිහට ලොකයේ නායකයෝ, කලාකරුවෝ, මහාචාර්යවරු, ආචාර්යවරු, නොයෙකුත් තරාතිරමේ පුද්ගලයෝ ඉන්න පුලුවන්. අය ලෝකේට බොහෝ වැඩදායි පුද්ගලයෝ. නමුත් මම අයගේ මුළු චරිතයම එක මොහොතක් නෑර දන්නේ නෑ. නමුත් අපි අපේ අම්මා ගැන අනිවාර්යයෙන්ම දන්නවා, නිසා මට මගේ අම්මා තරම් අගේ ඇති වෙන කෙනෙක් මේ ලෝකේ නෑ.
එහෙම කීවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් අම්මා රත්තරං ඇයි තාත්තා පිත්තලද කියලා. මට මගේ අම්මා වගේම තාත්තාත් රත්තරං. මම අම්මාව වැඩියෙන් අගේ කරනවා කීවේ මගේ අම්මා  තනියම අම්මා සහ තාත්තා යන චරිත දෙකම බොහොම අපූරුවට රඟ දක්වපු නිසා. ඉස්සරහට ලියන පෝස්ට් කියවද්දි හැමෝටම ඒක ටික ටික තේරුම් යාවි කියලා හිතනවා. තව දෙයක්. මගේ අම්මයි තාත්තයි දෙන්නම අනිත් දෙමාපියන්ට වඩා වෙනස් කියලා මට හිතෙනවා. කවදාවත් මගේ දෙමව්පියෝ මට කීවේ නෑ " උඹ හොඳට ඉගෙනගෙන ලොකු මිනිහෙක් වෙයන් " කියලා. හැමදාම කීවේ " පුතේ මොනවාවුනත් උඹ හොඳ මිනිහෙක් වෙයන්, කාටවත් කරදරයක් නොවෙන්න ජීවත් වෙයන් " කියලා. කිසිම දවසක උඹ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ, උඹ ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ කියලා නෑ. මගේ තාත්තාට ලංකාවේ ඉන්න උනේ අවුරුද්දටම මාස2ක් විතර. ඉතින් මගේ හැම දේකටම අම්මා තමයි මුල් උනේ. අම්මා මට පුදුමාකාර නිදහසක් දුන්නා ජිවිතේ දකින්න, අත් විඳින්න. හැබැයි නිදහසෙන් මට හොඳ  ප්‍රතිඵල වගේම නරක  ප්‍රතිඵලත් ලැබුනා. ඒකට ඉතින් වගකියන්න ඕනේ මමමයි. නමුත් නිදහසෙන්, පොතෙන් කවදාවත් ඉගෙන ගන්න බැරි පාඩම් මගේ ජිවිතේට එකතු වුනා. පොතෙ පතේ පාඩම් වලට වටිනාකමක් නම් සමහරවිට උපාධියකින්, පශ්චාත් උපාධියකින් ලැබෙන්න පුලුවන්.  ඒත් අත්දැකීම් වලින් ලැබෙන  පාඩම් වල වටිනාකම  කොහොමවත් මනින්න බෑ.

ඒ වගේම අම්මා තාත්තා ගැන ගුණ කියලා නිමක් කරන්න බෑ. කොහොම උනත් මගේ ජිවිතේ මේ තාක් දුරට මාව ගෙනාපු, මම වැටුන හැමවෙලේම මාව නැඟිට්ටවපු, මම යන පාර දිහා ඈත ඉදන් බලාගෙන සතුටු වුන, වැරදි පාරක යන්න හැරෙන්න හදනකොට කනින් අල්ලලා හරි පාරට ඇදලා දාපු මගේ දයාබර දෙමාපියන්ට දීර්ඝ ආයුෂ සමඟ නිරෝගි සුව පතමින් අදට නවතිමි.  සැමට ජය !!!

Wednesday, February 16, 2011

සයිබර් ලෝකෙන් ගොඩයාටත් ඉඩක්

හා හාපුරා කියලා ගොඩයා දැම්මේ කවියක් ඔන්න. හැබැයි ඉතින්  කවියක් පොස්ට් කෙරුවට මම කවියෙක්වත්, ලේඛකයෙක්වත් නෙවෙයි. තනියම ඉන්නකොට ගොඩයට හිතුණා ලියන්න. එහෙම ලියන්න හිතුණ එක ගැන විශේෂයෙන් අන්තිම පේලියේ කට්ටියටත්, කස්සටත් ස්තූති කරන්න ඕනේ. තනියම පාළුවේ ඉන්නකොට ඉස්සර අන්තිම පේලියට ගොඩවුනා. මමත් මගේ ජිවිතේ වැඩි කාලයක් අන්තිම පේලියේ ගත කරපු මිනිහෙක්. ඒ නිසා අන්තිම පේලිය අල්ලලා ගියා.  ටික කාලයක් යද්දි පොස්ට් එක දෙක අන්තිම පේලියට ලීවා. කොහොමහරි අන්තිම පේලියේ කට්ටිය දුන්න තල්ලුව නිසා දිගටම ලියන්න හිතුණා. දිගටම ලීවා. හැබැයි අන්තිම පේලියේ කට්ටිය (මමත් ඇතුළුව ) පෝස්ට් එකක් කියවන්න එන්නේ හිනාවෙන්න බලාගෙන. හිනා යන්නේ නැති, මෙලෝ රහක් නැති පෝස්ට් එකක් දැම්මොත් අන්තිම පේලියේ කට්ටියට පොඩ්ඩක් අවුල්. එහෙම අවුල්වෙන එක සාධාරණයි. මොකද කට්ටිය එතන්ට එන්නේ හිනා වෙන්නනේ. ඉතින් ඔය සීමාවල් නිසා මට හිතුණා මගේම බ්ලොග් එකක් ලියන්න. කොහොම වුනත් නැවත වතාවක් අන්තිම පේලියට බොහොම ස්තූතියි.

දැන් ඉතින් මටම කියලා පොඩි ඉඩක් සයිබර් ලොකේ තියන නිසා සීමා මායිම් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ලියන්න හිතාගෙන ඉන්නේ. මේ පොඩි ඉඩකඩේ මගේ ජිවිතේ මම මුහුණ දුන්න රසබර සිද්ධීන්, දුක්බර සිදිධීන්, මෙලෝ රහක් නැති සිද්ධි, අහපු දේවල්, දැකපු දේවල්, කවි, කතා, මෙකී නොකී සියළුම දේවල් වෙලාවක් හම්බවෙන විදිහට ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම කියවන අයටත් ලියන්න පුලුවන්. මේ පොස්ට් එක ලීවේ ගොඩයා මේ සයිබර් අවකාශයේ මොනවද ලියන්න යන්නේ සහ ඇයි ලියන්නේ කියලා හැමොටම පොඩි අදහසක් දෙන්න. ලියන දේවල් වල අඩුපාඩු කියවන ඔබතුමන්ලා විසින් පෙන්වාදෙනවානම් මමබොහොම මනාපයි. එහෙමනම් ඉතින් අවසර. නිවාඩු පාඩු තියන වෙලාවකට මේ පැත්තේ ඇවිත් ගොඩයාගේ වං හුං පොඩ්ඩක් බලලා යන්න කියලා හැමොටම ආරාධනා කරනවා. ගිහින් එන්නම්. සැමට ජය !!!!

Tuesday, February 15, 2011

ලියෙනෙමි මකා ගන්නට අටියෙන් තනිය

ගත කල දිවිය විහඟ ලෙසින් පෙර   දිනක
සිහිවන විටදි නැගුණා දුක හිත    කොනක
පෙරකල පවක් මට පටිසන් දුන්     ලෙසක
දැනුණා නිතර තනි වූ විට           පිටරටක

ලැබුණත් සුවය නොඅඩුව අපගේ     ගතට
සැප මොටද නැත්නම් සහනය     සිතට
වැටුනෙමි මමත් පිට මිනිසුන් ගොඩ මැදට
එන්නට ඇඟිලි ගනිනෙමි මම මගේ  රටට

මා කවියෙකු නොවෙයි රස කවි පබඳින්න
ගන්නේමි වෑයමක් අදහස්        අමුණන්න
දැක්කොත් අනේ අඩු පාඩුව      පවසන්න
එය වෙයි සවිය තව තව මට    රසවෙන්න

අපහට ලැබෙන  ගල් සහ මල්   අපමණය
රසමුසු වෙමින් දැණුනේ සැපදුක   දෙකය
බාධක මැදින් ගලනා දිවියේ            රසය
ලියෙනෙමි මකා ගන්නට අටියෙන් තනිය