Tuesday, December 20, 2011

අලි වංගුව

අලි කෙලි පෝස්ට් එකේ ඉතුරු කෑල්ල තමයි මේ ලියන්න හදන්නේ... සෑහෙන දවසකින් මුකුත්ම ලියන්න බැරිවුනා. අලි වංගුව කීවට මේක අර මයියංගණයේ දහ අට වංගුවේ වගේ වංගු ගැන නෙවෙයි. මේ ලියන්න යන්නේ අලි මාරු වෙන වංගුවක් ගැන. අලි කෙලි පෝස්ට් එකේ කීවනේ අම්පාරේ කාලයක් කරක් ගැහුවා කියලා. අපි ගියේ අපේ යාළුවෙක්ගේ ගෙයක් හදන එකකට උදව්වක් දෙන්න. අපි නැවතිලා හිටියේ අම්පාරේ වුනාට අපේ යාළුවාගේ ගෙවල් තිබ්බේ මධ්‍යම කඳවුර කිට්ටුව. ඔහොම කීවට කීදෙනෙක් දන්නවද දන්නේ නෑ. මයියංගණේ අම්පාර පාරේ අම්පාරට කිලොමීටර් 10ක් විතර තියෙද්දී හම්බවෙනවා උහන හංදිය. අන්න ඒ හන්දියෙන් හැරිලා තමයි ඔය මධ්‍යම කඳවුරට යන්නේ. සඳරු මල්ලි නම් ඉස්සව්ව දන්නවා තක්කෙටම.


දවසක් වැඩ ඉවර වෙලා එහෙම අපි නැවතිලා ඉන්න තැනට එන්න ලැහැස්ති වෙද්දි අපිත් එක්ක වැඩ කරන්න බැහැලා හිටපු ගමේ කොල්ලො ටික පොඩි සාජ්ජයක් දාන්න සූදානම. ගෙපොල එහෙම කපලා අහවර වෙච්ච දවස. අපිටත් වැඩේට සහභාගි වෙන්න කියලා බේරෙන්න බෑ. දිගටම වැඩ කරලා මහන්සි එකේ පොඩි ආතල් එකක් ගන්නයි කට්ටිය ලැහැස්තිය. ගමේ සෙට් එකම එකතු වෙන එකේ අපිට බෑ කියන්නත් බෑ. ඒත් දාඩිය පෙරාගෙන මොන සාජ්ජද? අපි ටවුං එකට ගිහින් නාගෙන පොඩ්ඩක් මහන්සිය එහෙ මෙහෙ කරගෙන එන්නම් කියලා ආවා අපි හිටපු තැනට. අර මම කලින් පෝස්ට් එකේ කීවේ ලාන්සර් බොක්ස් එකක් ගැන. ඔය රෝද හතර තමයි තිබ්බේ එහෙට මෙහෙට දුවන්න. කට්ටියම ඇවිල්ලා නාකියාගෙන බොක්ස් රථෙම නැගලා ඔන්න ගියා හත හමාර විතර වෙද්දි ගමට. යද්දි වැඩේ නැගලා යනවා. බෝතලුත් 5ක් 6ක්. කාර් එක එළවගෙන ගිය අයියයි මමයි වැඩේට සම්මාදන් වෙන එක ප්‍රතික්ෂේප කරා. මොනවා වුනත් නොදන්න පළාතක මොන අවුලක් ගියත් එකෙක් දෙන්නෙක් හරි සිහියෙන් ඉන්න එපැයි පොලිසියටවත් ගිහින් කියන්න. මොකද ඒ දවස් වල කොටි කලබලත් තිබුනා.

අනිත් තුන් දෙනා ඔන්න වැඩේට අත ගැහුවා. අපි දෙන්නත් ඉන්නවා දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා. ආතල් ගත්තා වගෙ නෙවෙයි සිහියෙන් ඉන්න අපි දෙන්නට මතක් වෙනවා ඉන්න පලාතේ තියන අවදානම. කොහොම හරි රෑ 9.30 විතර වෙද්දි අරුන් තුන්දෙනාව ගලවගෙන අපි ආවා. උහන හන්දියටත් ඇවිල්ලා ඔන්න දැම්මා අම්පාර මයියංගණය පාරට. ඔය පාරේ අම්පාර කිට්ටුවෙද්දි කැලෑවක් තියනවා. ඔන්න දැන් ඒ හරියටත් ආවා. කිසිම ආබාධයක් අතුරු ආන්තරාවක් නෑ. අරුන් 3 දෙනා පිටිපස්සෙ ඉඳං බයිලා ගහ ගහ එනවා. අපි දෙන්නා ඉක්මණට ටවුං එකට එන්න දඟලනවා. ඒ කාලේ ඔය පාර හවසට වහනවා. ඕවා මේවා ඔක්කොම අපි දෙන්නගෙ ඔළුවේ. අරූන්ට ගාණක්වත් නෑ.අනේ දෙයියනේ කියලා කැලෑව මැදට වෙද්දි මෙන්න මේ මඟුල හුචක් හුචක් ගාලා දෙපාරක් තුන් පාරක් ගස්සලා හිටියේ නැතෑ.....  අපි දෙන්නට තරු පිට තරු.....    හැබැයි වාහනේ ලංකාවේ වටේ ගියත් ලෙඩ දුන්න භාණ්ඩයක් නෙවෙයි. එහෙව් එකේ මෙහෙම වෙලාවක වෙච්ච නස්පැත්තිය. කාර් එක එලවගෙන ආපු එකා ඔළුවේ අතගහගෙන " හුටා පෙට්‍රොල්" කියපි. මම දන්න විදිහට වාහනේ දීවේ වායුවෙන්. අර ඇල්.පී ගෑස් ටැංකියක් බැඳගෙන. එහෙව් එකේ මොන පෙට්‍රොල්ද?
 "ඇයි අයියේ ගෑස් වලට මොකද වුනේ? "
" අනේ මල්ලියේ හවස යද්දි ගෑස් ඉවරවුනා. පෙට්‍රොල් වලට මාරු කරගෙන දීවේ. යද්දි පෙට්‍රොල් ගහගන්නම් කියලා ගියේ. ඒත් අමතක වුනා"
ඔන්න වෙලා තියන සන්තෑසිය. හරිම ශෝක්. කාට කියන්නද මේවා ? කාලා වරෙන්කො. මේ මහ රෑ කැලෑව ඇතුලේ මොන පැට්‍රොල්ද? කෝකටත් අපි දෙන්නා බැහැලා ඩිකියේ තියන හිස් කෑන් එක ගත්තා. මොකක් හරි යන වාහනයක් නවත්තයිනේ, අඩු ගානේ ආමි එකෙන් නැත්නම් එස්.ටී.එෆ් එකෙන්වත්. ඔන්න විනාඩි 10ක් විතර යද්දි වාහන එලියක් එනවා.අත පය ඔක්කොම දාලා නවත්තන්න කීවත් මොන ඇරලා තියලා යනවා. ආයෙත් ඉන්නවා මොකක් හරි එයි කියලා. මොකද ගාලු පාරේ වගේ වාහන යනවා කියලද? ඔහොම පැය භාගයක් විතර ඉන්නකොට (ඔය පැය භාගෙටම වාහන තුනක් නැත්නම් හතරක් යන්න ඇති) ත්‍රී විල් අයියෙක් ඇවිත් නවත්තලා මොකද කියලා ඇහුවා. විස්තරේ කියන්නත් කලින් බූලියයි අර අයියවයි දාගෙන ත්‍රී විල් එක ඉගිලුනා. මම කෝකටත් නැවතුනා මොනවා හරි වුවමනාවකට කතා කරන්නවත් එකෙක් ඉන්න එපැයි අරුන් තුන් දෙනා ළඟ.වෙරි මරගාතේ මොනවා කරයිද කවුද දන්නේ?
දැන් මෙන්න මෙහෙමයි සිද්ධිය. රෑක මහ කැළෑවක් මැද්දේ වෙරි කාරයෝ තුන්දෙනෙක්ගේ සහ අර වන්ඩියේ මුරට මම ඉන්නවා. ඒ අස්සේ අරුන් තුන්දෙනා කාර් එකෙන් බැහැගෙන විකාර කරනවා. පාර මැද්දෙ සින්දු කියන්න හදනවයි, සුළු දිය පහකොරන්න හදනවයි, රටේ නැති පිස්සු. ඒ අස්සේ එක එක මාතෘකා. දැන් කොටි ගැහුවොත් මොකෝ කරන්නේ? අලි ගැහුවොත් මොකෝ කරන්නේ? හොරු ආවොත් මොකෝ කරන්නේ? එක එක විකාර.ඒ අස්සේ මට හිතෙනවා පැට්‍රොල් හොයන්න යං කියලා  මූ ඉස්සුවාවත්ද කියලා.  ඇයි යකඩෝ පැට්‍රෝලුත් නැති එකේ අරූව උස්සලා තියන ඒවා හූරගෙන කැලෑවට තල්ලු කරත් කව්ද දන්නේ? ඒත් උගෙන් හූරන්න දෙයක් නම් තිබුනේ නෑ. ඒ වෙද්දි හොඳටම හිඳිලා හිටියේ. පැට්‍රොල් ගහන්න අමතක වෙන්න ඇත්තෙත් ඒ නිසා. ඔය ඔක්කොම අස්සේ මම සියළු දෙවි දේවතාවුන් සිහිකරගෙන අනේ අර ගිය එකාට ඉක්මණට පැට්‍රෝල් ලැබේවා කිය කිය හිතින් මතුර මතුර ඉන්නවා. තවත් විනාඩි විස්සක් පැය භාගයක් ගිය තැන අර රෝද තුන ගියාටත් වඩා වේගෙන් ආවා.
ඇවිල්ලා අපේ එකාවත් බස්සලා
 "මල්ලිලා ඉක්මණට තෙල් ටික දාගෙන ගහලා බලන්න. වෙන ලෙඩක්ද දන්නෙ නෑනේ. ස්ටාර්ට් නොවුනොත් එහෙම" කියලා ත්‍රීවිල් අයියත් ස්ටාර්ට් එකේම ඉන්නවා.
අපි දෙන්නත් පැට්‍රෝල් ටික දඩ බඩ ගාලා හලාගෙන ගහලා බැලුවා. සියළු දෙවි දේවතා ආරක්ෂාවෙන් වෙන කරදරයක් නෑ. ගහපු ගමන් ස්ටාර්ට්. කට්ටියවත් තප්පරේට නග්ගගත්තට පස්සේ අර ත්‍රී විල් අයියා කියනවා " මල්ලි ඔයාලාගෙත් වෙලාව. මේ හරියේ ජිවිතේට දන්න මිනිහෙක් රෑට වාහනයක් නවත්තන්නේ නෑ. ඔන්න ඔය පේන වංගුවෙන් තමයි අලි මාරු වෙන්නේ. ඒකයි වාහන කීයක් ගියත් නවත්තන්න අකමැති. ඔය කතන්දරේ දන්න නිසයි නැවැත්තුවේ මම. දැන් ඉතින් දෙයියන්ගේ පිහිටෙන් ඉක්මණට යන්න" කියලා මිනිහත් ඉගිල්ලුනා. ඔය කතාව අහපු ගමන් අපේ වෙරි තුන්දෙනාගේ වෙරිත් හිඳුනා. එදා නිදාගන්නකම්ම තුන්දෙනා කලේ " අඩේ අපි අරහෙම පාරේ ඇවිද්දා, මෙහෙම කරා, ඒ වෙලාවේ අලි ආවා නම් කිය කිය" කොරපු මෝඩකම් මෙනෙහි කරපු එක.
ඒ වෙලාවේ අනේ අපේ පිහිටට ආපු ඒ ත්‍රී විල් අයියට නම් සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි. ඒ වෙලාවේ දුන්න උදව්වේ වටිනාකමට ස්තූති කරන්න වචන නෑ. කවුරු කොහොම කීවත් පාර තොටකදී වෙන හදිස්සියකදි, කරදරයකදී ඕනෑම ලෙඩක් දාගෙන උදව්වක් දෙන්න ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ඔය ත්‍රී විල් අයියලා, මල්ලිලා. දාන තරම් ලෙඩත් මිනිස්සුන්ට දානවා තමයි, ඒත් හොඳක් තියේ නම් ඒකත් කියන්න ඕනෙනේ. ලොකු ලොකු ඈයන්ගේ කාර් අසරණයෙක්ගේ දුකකට නවතින්නේ එහෙමත් වෙලාවකට. අලි වංගුවේ මහ රෑ පැයක් විතර ඉඳලත් යහතින් අපි ආවා. හැබැයි එක අලියෙක් හරි දැක්කා නම් අපිව අද මට බ්ලොග් ලියන්න වෙන්නේ නැති බව නම් ඒකාන්තයි.

Wednesday, December 7, 2011

අලි කෙලි..........


මම නිතරම කියනවා වගේ මගේ ජිවිතේ රස්තියාදු ගහපු කාලේ කොරපු දේකුත් නෑ නොකරපු දේකුත් නෑ. මේ කියන්න යන්නෙත් ඒ කාලේ සිද්ධියක් දෙකක්. මේ සයිබරේ නිතරම වල් අලි ගැන කතා ලියන්නේ සඳරුවානේ. මේ ලියන්න යන්නෙත් වල් අලි සීන් එකක්. මේක උනෙත් අපේ සඳරුවාගේ ගම් පලාතේ. මම 2006 අවුරුද්දේ ටික කාලයක් යාළුවො සෙට් එකකුත් එක්ක අම්පාරේ හිටියා යාළුවෙක්ගේ වැඩකට ගිහිල්ලා. අපි නැවතිලා හිටියේ පලාත් පාලන අමාත්‍යංශයට අයිති සංචාරක බංගලාවේ. ඒ දවස් වල අපේ පුරුද්දක් තිබ්බා හැමදාම හවසට ජපන් සාම චෛත්‍යය ළඟට  අලි බලන්න යන එක. එන ගමන් වැව් මාළුත් අරන් ඊළඟට ටවුං එකේ තිබ්බා පොඩි බයිට් කරත්තයක්, එකේන් ස්ටෙලා වෙන කොට හපන ඒවත් අරං ස්ටෙලා වෙන්න ඕනේ ඒවත් අරං  තමයි රෑට අපේ නැවතුම්පොලට ගොඩ වෙන්නේ. ආ..... කියන්න අමතක වුනානේ. දිගාමඩුල්ල වටේම රවුම් ගහන්න අපට තිබ්බේ 13 ශ්‍රී ලාන්සර් බොක්ස් එකක්. භාණ්ඩේ පරණ උනාට ලංකාවේ හතර අතේ දීවා ඒක ඒ කාලේ කිසිම කරදරයක් නැතුව. අපි වරකපොල ඉඳන් අම්පාරට ගියෙත් ඒ රථයෙම තමයි. ගෑස් ටැංකියෙන් තමයි ගමන. පෙට්‍රොල් තියෙන්නේ හදිස්සියකට. එතකොට ජපන් සාම චෛත්‍යය ගැන කියනවා නම් ජපන් සාම චෛත්‍යය තියෙන්නේ වැව අයිනේ. ඒකත් ටිකක් වැව ඇතුලට වෙන්න. ඔය චෛත්‍යයට මහ පාරේ ඉඳං යන්න තියන පාර මැද්දෙන් තමයි හවසට අලි රංචුව මාරු වෙන්නේ. මට මතක විදිහට අලි 50ක විතර රංචුවක් හිටියා ඒ කාලේ. හැබැයි අලියෙක් කුලප්පු වෙලා චෛත්‍යය පැත්තේ ඉඳං අලි බලන අපේ පැත්තට හැරිලා පැන්නුවොත් අබ සරණයි. මොකද දුවන්නවත් තැනක් නෑ. දුවන්න වෙන්න චෛත්‍යය වටේට තමයි. ඒ වගේ වෙලාවට ඉතින් ඒ චෛත්‍යයට අරක්ගත් දෙවියෙක් වගේ පිහිටවෙලා හෝ අලියට එපා වෙලා අත ඇරියොත් ඇරෙන්න ජිවතේ නම් ශුවර් නෑ. ආ වනජිවී මහත්තුරු දෙන්නෙකුයි, මට මතක විදිහට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දෙන්නෙක් තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නව මතකයි. ඒත් මට තේරුණ විදිහට නම් ඒ පොඩි ඉඩේ අලියෙක් කුළප්පු වෙන හදිස්සියට ඒ අයටත් ලොකු දෙයක් කරන්න අමාරුයි.

ඔන්න ඔහොම ඉන්න දවසක අපි සුපුරුදු විදිහට වැඩ ඉවරවෙලා ඉන්න තැනට ඇවිත් නාලා කරලා බැස්සා අපේ සුපුරුදු රවුම ගහන්න. අර කතාවටත් කියනවනේ අලි බැලිල්ලෙයි බලි බැලිල්ලෙයි ඉවරයක් නෑ කියලා. අපිටත් ඉතින් හැමදාම බැලුවත් එපා වුනේ නෑ. ඔන්න ඉතින් ගියා සාම චෛත්‍යය ළඟට. එදා හැබැයි ගොඩක් සෙනඟ හිටියා. පොඩි එවුන් එහෙමත් උස්සගේන් ට්‍රිප් ගිය කට්ටියකුත් හිටියා. අපි හැමදාම වගේ සෙට් වෙච්ච කොහොඹ ගහ යටට සෙට් වෙලා අලි ටික පාර පනිනකම් බලා ඉන්නවා. වැව් පිටියේ ඔහේ ඔනාවට එපාවට ඉඳලා උන් උන්ගෙ පාඩුවේ එකා දෙන්නා චෛත්‍යය පහුකරගෙන යනවා. ඉතින් ඔය අලින්ගේ ඒවා මේවා වැඩ කෑලි බල බල උන්ට එක එක ඒවා කිය කිය හිටියා  අපේ උන් දෙන්නක්. උන් දෙන්නගෙන් එකෙක් අනිකට උපදෙස් දෙනවා අලි කුලප්පු උනොත් හැසිරෙන විදිහ. අනේ උගේ උපදෙස්. ඌ ජීවිතේටම වල් අලියෙක් දැක්කමද කොහෙද?  අර වනජීවි ඩබලත් ඌ දිහා බලලා පොඩි නෝන්ඩි හිනාවක් දානවා මම බලාගෙන.එකෙක් අනිකට කියනවා " මචං අලියා කුලප්පු උනොත් කලබල වෙන්න හොඳ නෑ. දුවලා වැඩක් නෑ. අනික ඌ හැමෝම පස්සෙ පන්නනේ නෑ. ඌට මීටර් වුන එකා පස්සෙ විතරයි ඌ පන්නන්නේ. ඒ නිසා අපි දුවන්න ඕනේ නෑ. හැබැයි ඉතින් ඌට මීටර් වුනේ උඹ නම් උඹට දුවන්න වෙන්නේ සිග් සැග් ක්‍රමෙට තමයි". අරුත් බොහොම කල්පනාවෙන් අහගෙන ඉඳලා ප්‍රශ්න එහෙමත් අහනවා. කතාව ඇත්ත වෙන්නත් පුලුවන්. ඒත් මේ අලි ජිවිතේට දැකලා නැති එකා දෙන ටෝක් කොහොමද විශ්වාස කරන්නේ. මොකද ඕවා අපිත් අහලා තියනවා. ඒත් ඇත්තටම සීන් එකකට මූණ දීලා නෑනේ.

මමත් පාඩුවේ උන් දෙන්නගේ ආතල් ටෝක් වලට එක කනක් දාගෙන මාත් එක්ක ආපු අනිත් අයියත් එක්ක කයියක් දාගෙන ඉන්න අතරේ මම දැක්කා පණ්ඩිතයෙක් කැමරාවකුත් අරන් අර අලි මාරු වෙන පාරට කිට්ටු කරනවා. අරුන් දෙන්නගේ කතාව පැත්තකින් තියලා අපි දෙන්නා පොඩ්ඩක් මේ සීන් එකට ඇහැ දැම්මා. අර මනුස්සයාගේ පවුලේ අය කෑගහනවා පොරට කිට්ටුවට යන්න එපා කියලා. මොන පොර නෙවෙයි කනකට තියා කන් පෙත්තකටවත් ගන්නේ. ඔන්න දැන් අපේ නිර්භීත ඡායාරූප ශිල්පියා අලියාට ගොඩක් කිට්ටු වෙලා ගැහුවේ නැතෑ පොටෝවක්. පොටෝව ගහපු එක නම් අවුලක් නෑ. ඒත් මේ මැට්ටා ඒක ගැහුවේ අර ෆ්ලෑෂර් එහෙම දාගෙන. අනේ තත්පර 10ක් ගියේ නෑ. අලියා ගත්තා කරකවලා වලිගේ, උස්සගත්තා හොඬෙත් පටන්ගත්තේ නැතෑ අරූ පස්සෙ පන්නන්න. අර බලන් හිටපු ගෑණු මිනිස්සුන්ට ළමයි මතකත් නෑ. එක පාරටම පලාතම හෙලවෙන්න හූ සද්දේ. බොරු කියන්නේ මොකටද ඒ සීන් එක දැක්ක පාර මට නම් දුවන්න අමතක වුනා. චණ්ඩිකමට දුවන්නේ නැතුව හිටියා නෙවෙයි. දුවන්නවත් මතක නැතිවුනා. තත්පර දශම ගාණෙන් සිහිය එනකොට හිතාගත්තා  කොරන්නම දෙයක් නැතිවුනොත් චෛත්‍යය වටේ තියන වැටෙන් වැව් පිටියට පනිනවා කියලා. කොහොම හරි අලියා අරූ පස්සේ පැන්නුවා චෛත්‍යයේ පඩි ළඟටම. ඊට පස්සේ ඌටම එපා වෙලා හැරිලා ගියා. ඔය තමයි කතාවේ අතිශය බිහිසුණු අවස්ථාව.

ඊට පස්සේ තිබ්බේ හාස්‍ය ජනක අවස්ථාව. හාස්‍ය කීවට හාස්‍යමත් නෙවෙයි. ඔන්න අලියා ගියාට පස්සේ ඇවිල්ලා හිටිය අම්මලා තමන්ගේ ළමයි හොයන්න පටන්ගත්තා. තව සමහරුන්ගේ ළමයි මාරුවෙලා. ඔය වගේ ජරමර ගොඩයි. ඒ අස්සේ සමහරු අර ගොන් වැඩේ කරපු එකා හොයනවා. ඔය අලකලංචි අස්සේ අර අයියටයි මටයි මතක්වුනා අපේ අනිත් උන් දෙන්නව. අලි පන්නද්දි දුවන්න ඕනේ නෑ කියපු එකයි ඒ උපදෙස් ඉහ මුදුනින් පිළිගත්ත එකයි දෙන්නම හිටපු තැන නෑ. ඒ කිවේ දෙන්නම පණ කඩාගෙන දුවලා. සෙනග අස්සේ එහෙට මෙහෙට කැරකෙද්දි ඔන්න උපදෙස් අහගෙන හිටපු එකා හම්බ වුනා. උගෙන් ඇහුවා අනිකා කෝ කියලා. " අනේ මන්දා බං, ඌත් දීවා, මාත් දීවා. දැන් නම් ඌ කොහෙද දන්නේ නෑ " කියල කියපි මූ. මරු ගුරයි ගෝලයයි. ගෝලයා නම් සිටී. ඒත් ගුරා පේන්න නෑ. මූ එන පාටකුත් නෑ. ඔන්න දැන් කරුවලත් වැටීගෙන එනවා. පාර මාරු වෙන්න ආපු අලිත් මාරු වෙලා ඉවරයි. අලි බලන්න ආපු කට්ටියත් එකා දෙන්නා යනවා. ඒත් මූ නෑ. තවත් විනාඩි පහක් විතර ගියපු තැන මූ එනවා. "කොහෙද බං ගියේ ? " අපිට මල අතේ. " නෑ බං අලි කලබල අස්සේ පොඩ්ඩක් හැංගුනා. අලිනේ බං. ශුවර් නෑනේ. තත්වය සාමකාමී වෙනකම් ඉඳලයි මම එලියට බැස්සේ. අපි එහෙමයි." මූ අපිටත් ටෝක් දෙනවා. ඒත් හිටියේ කොහෙද ඇහුවට කියන්නේම නෑ. කොච්චර පෙරැත්ත කර කර ඇහුවත් මූ නෙවෙයි හිටිය තැන කියන්නේ. කොහොමහරි ඔය කලබල ඉවරවෙලා රෑට ඕනේ කරන අඩුම කුඩුමත් අරගෙන අපි හිටිය තැනට ආවා. ඊට පස්සේ ඔන්න ස්ටෙලා වෙන අවස්ථාව. අපේ අලි උපදේශකට පොඩ්ඩක් හරියාගෙන එනකොට අපි ආයෙත් අපේ පරණ ප්‍රශ්නේ දැම්මා. ඒත් අදිමදි කරනවා. ඔය විදිහට ටිකක් වෙලා ඇදගෙන ගියාට පස්සෙ මෙන්න පොර විස්තරේ කීවා.  " අනේ උඹලා ඉතින් ගිහින් මේවා කාටවත් කියන්න එපා. බොරු කියන්නේ මොකටද අලියා කුලප්පු වෙච්ච වෙලාවේ මගේ බඩ අවුල් වුනා. ඉතින් ශේප් එකේ ගියා ඒ වැඩේට, ඒකයි පරක්කු වුනේ. අඩේ සමාවක් දීපල්ලා බං. හදිස්සි අවශ්‍යතාවයක් හින්දනේ පරක්කු වුනේ.... " කියලා කතාව ඉවර කරද්දි කන පිරෙන්න එකම හූවයි.

කතාව නම් එච්චරයි. මිනිස්සු වෙච්ච අපිට තිරිසන්නුන්ට වඩා මොලේ තියනව කියනවනේ. ඒත් අපේ හරක් කරන වැඩ වලින් අහක ඉන්න සත්තු කුලප්පු වෙලා කරදර කරහම අපේ උන්ම උන්ට වෙඩිත් තියනවා. ඔය වගේ තැනකට ගිහින් සත්තුන්ට කරදර නොකර හිටියා නම් ඔය ප්‍රශණ කරදර මුකුත් නෑ. එහෙම ඉන්න දන්නේ නැති උන්ට කියන්න තියෙන්නේ  " අනේ වැඳලා කියන්නම් උඹලා නම් එන්න එපා" කියලා. මොකද උන් කොරන වැඩ වලින් අහක යන උන්ටත් පරිප්පු කන්න වෙනවා. එසේ මෙසේ ඒවා නෙවෙයි. අතක් පයක්, නැත්නම් ජීවිතේම ගහලා යන ඒවා.

තවත් සිද්ධියක් තියනවා. දිගාමඩුල්ලේම වෙච්ච අලි සම්බන්ධ එකක්.කාර් එක ගැන විස්තරේ කීවේත් ඒ කතාවත් ලියන්න බලාගෙන. ඒත් දිග වැඩිවෙන නිසා මතු සම්බන්ධ කරනවා. ඒක දාන්නම් ඊළඟ සතියේ.