මට මතක විදිහට ඒ ඕලෙවල් හරි ඒලෙවෙල් හරි කිට්ටු කාලයක්. උදේ බෝධි පුජාවට විශාල සෙනගක් හිටියා. විභාගෙට ආශිර්වාද ලබාගන්න අම්මලා තාත්තලා එක්ක ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමයි වැඩිපුර හිටියේ. පුජාවට අවශ්‍ය කළමනා ලැහැස්තිකරගෙන අපි දෙන්නත් සෙනග අතරෙන් හාමුදුරුවන්ට කිට්ටුවෙලා භාරයක් ඔප්පු කරන්න ආපු බව කීවහම උන්වන්සේ ඒ අවශ්‍ය දේවල් කල යුතු ආකාරය පැහැදිලි කරලා දුන්නා. තදබදයේ උනත් ඒ කළමනා, දැහැත්, මල්, පහන් එහෙම පුජා කරලා, අවශ්‍ය කටයුතු එකලාසයක් කරලා අපි දෙන්නා විහාර ගෙයින් පිටමං වෙලා බෝධි මළුවට පියමැන්නා. පන්සලේ සෙනග හිටියත් බෝ මළුව බොහොම නිස්කලංකයි. ලා හිරු රැස් පතිත වුන බෝ මලුව පුරාම ශාන්ත බවක් පැතිරුනා. ඒ ශාන්තබවට, සැනසිල්ලට හිත ඇදිලා ගිය නිසා මාත් අයියත් බෝ මළුවේ සුදු වැලිතලාවේ වාඩිවුනේ වන්දනාකරනවාටත් වඩා බෝ පත් සෙවනේ දැනුන සැනසිල්ල, සිසිලස, ශාන්තබව රිසිසේ හිතට ගලාගෙන යන්න ඉඩදෙන්නයි.
අපි දෙන්නා බෝ මළුවේ වාඩිවෙලා දන්නා විදිහට ගාථා කියමින් වැන්දා. ඊට පස්සෙත් නැගිටලා එන්න හිතක් නොතිබුන නිසා උන් තැනම වාඩිවෙලා බෝ මලුවේ ඒ මේ අත ඇස යවද්දී මම දැක්ක මගේ අම්මාගේ වයසම ඇති අම්මා කෙනෙක්. ඒ අම්මව මම දැක්කේ පන්සලට ආපු වෙලාවෙයි. ඒත් ඒ වෙලාවේ අවධානය යොමුවුනේ නැතත් එක පාරටම මගේ අවධානය ඈ වෙත යොමුවුනා. මිට පෙර කොහේදී හෝ ඈ හමුවී ඇති බව හිතුනත් ඒ ගැන හරි හමන් නිනව්වක් මගේ හිතේ තිබුනේ නෑ. " නෑ මම දන්නා කෙනෙක් වෙන්න බෑ " මටම කියාගත් මම නැවතත් ඈ වෙත ඇස යොමුකළා. ඈ ඉතා වුවමනාවෙන් සැහෙන වෙලාවක ඉඳං වතාවත්වල යෙදුන බව මට පැහැදිලියි. ඒ වගේම මට හිතුනා මේ අම්මගේ වතාවත් සියල්ලම ඇයගේ දරුවෙකු වෙනුවෙන් කියලත්. ටික වෙලාවක් මම මගේ මනෝ ලෝකේ තනිවෙලා හිටියේ කිසිම අරමුණක් නැතුව. ආයෙත් මේ ලෝකෙට ඇවිල්ලා වටපිට බලද්දී මම දැක්කා අර අම්මා වතාවත් කටයුතු ඉවර කරලා බෝ මළුවට වෙලා ඉන්නවා. ඒ එක්කම ඇයගේ ඇස් මා වෙත යොමුවුනා. මද සිනහවකින් සංග්‍රහ කරපු ඇයට මමත් මඳ සිනහවකින් සංග්‍රහ කරා. ඇගේ දෙනෙත් වල බොහෝ වෙහෙසකාරී බවක්, පිඩාවක ලකුණු මම දැක්ක. ඊටත් විනාඩි 5කට විතර පස්සේ අපි පන්සලෙන් පිටත් වෙන්න ලැහැස්ති වෙද්දී අර මෑණියන්ව මගේ ඉදිරියටම මුණගැහුනා.
"පුතාලා යන්නද ? " මඳ සිනහවක් ආයාසයෙන් මුහුණේ ඇඳගනිමින් ඇය මගෙන් ඇසුවා. " ඔව් අම්මා. අම්මා භාර වෙච්ච බාරයක් ඔප්පු කරන්න ආවා. බෝ මළුවේදි පුදුම සැනසීමක් දැනෙනවා. ඉතින් පොඩ්ඩක් වාඩිවෙලා හිටියා." මමත් උත්තර දුන්නා. "මගෙත් ඉන්නවා පුතාගේ වයසේම වගේ පුතෙක්. මම මේ එයා වෙනුවෙන් පුජාවක් කරන්න ආවේ. පුතා දැක්කහම මට මගේ පුතාව මතක් උනේ " ඇගේ ඒ වචනය පන්සලෙන් පිටත්වෙන්න සුදානම් වුන මාව මොහොතකට නතර කළා. මට හිතුනා පොඩ්ඩක් ඒ අම්මත් එක්ක කතා කරන්න. මොකක් නමුත් දරුවෙක් නිසා ලොකු බරක් දරාගෙන ඉන්න බව මට හිතුන නිසා මම පොඩ්ඩක් නැවතුනා. " පුතා මොකද කරන්නේ ? " ඇය නැවතත් මගෙන් ඇහුවා. " මම වැඩිදුර අධ්‍යාපනයට රට යන්න කියලා. ඒ වැඩේට තමයි අම්මා හාරවෙලා තිබ්බේ. ඉතින් වැඩේ හරි. ඒ නිසා යන්න කලින් බාරය ඔප්පු කරන්න ආවේ. අම්මගේ පුතා මොකද කරන්නේ ?" මගේ හිතේ කැකෑරි තිබ්බ ප්‍රශ්නය එලියට දැම්මා.
"මගේ පුතා එයාර් ෆෝස් එකේ පයිලට් කෙනෙක්. තාම ට්‍රේනින්. අද උදේ එයාට පරීක්ෂණයක් තිබ්බා. එකෙන් පාස් වුනොත් තමයි ජෙට් වලට යන්න පුළුවන්. එයාට නිතර කතා කරන්නත් බෑ. ඒත් කතා කරපු වෙලාවක කිවා හරිම අමාරුයි. ෆේල් වෙයි කියලා බයයි කියලා. ඒ නිසා එයාගේ පරීක්ෂණය ඉවරවෙනකම් තමයි මම මේ පුජාව තිබ්බේ. මට පුළුවන් එකම දේ තමයි ඉතින් මේ. තුරුණුවන්ගේ ආශිර්වාදය ඉල්ලන එක එයා වෙනුවන්." හදවතේ ලොකු බරක් එක්ක ඇය විසින් ඒ වචන ටික ගැලපුවේ තරමක ආයාසයෙන්. " පුතා කොහෙටද ස්කොලේ ගියේ ?" ඇය නැවතත් ප්‍රශ්නයක් ඇසුවා. " මම මලියදේව බෝයිස් එකට ගියේ." මගේ ඒ පිළිතුරත් එක්ක ඇගේ මුහුණට සිනහවක් නැගුනා. ඉතින් පුතේ මගේ පුතා ගියෙත් බෝයිස්.. මොන අවුරුද්දේද ඒ ලෙවෙල් කලේ ? මොනවද කලේ ? " තව ප්‍රශ්න කීපයක්ම ඈ ඇසුවා. " මම 2004. මැත්ස් කලේ. හැබැයි 2005ත් එක්සැම් ලියන්න උනා." එවර ඇගේ දෙනෙත් දිලිසෙන්න වුනා. " අනේ පුතේ මගේ පුතාත් මැත්ස් කලේ 2004. එයත් දෙවැනි පාර කළා. නම තරිඳු." ඒ වාක්‍යයත් එක්ක තරිඳු නමින් ඉන්නා මගේ යාළුවන්ගේ මුණු අතර හිතින් සැරිසැරුවා. ඒත් එයාර් ෆෝස් ඉන්න එකෙක් නම් මගේ හිතට ආවේ නෑ. " අම්මා, සර් නේම් එක මොකක්ද පුතාගේ ? තරින්දුලා ගොඩක් ඉන්නවා." තරින්දුලාගේ පැටලිල්ල ලිහාගන්න හිතාගෙන මම ඇහුවා. " සර් නේම් එක හේරත්. ආ.... එයාට ස්කොලේ හැමෝම කියන්නේ ටී.කේ කියලා." ඒ වාක්‍යයයේ අවසන් අකුරු දෙක කනට වැටෙද්දීම දැනුන සතුට නිම් හිම් නැතිවුනා. හරියට මගේ මනස තත්පර ගානකට ගල් ගැසුනා වගේ උනා. " අම්මා ටී.කේගේ අම්මාද ? අනේ අම්මා ටී.කේ එයාර් ෆෝස් ගියාට පස්සේ ආරංචියක් ගන්න මොනතරම් අපි දැඟලුවද ? අම්මා මම ටී.කේගේ පන්තියේ හිටියේ. අම්මා උයලා එවන බත් එක අපි හැමදාම පොර කකා එකට කෑවේ. මගේ නම නම් අහලා ඇති මම ගොඩමුණේ. ටී.කේලා නම් කියන්නේ ගොඩයා " කියලා. මගේ වචන පෙළත් එක්ක ඒ මෑණියන්ගේ දෑසට කඳුලක් උනනවා මා දැක්කා. " අනේ පුතේ අහලා තියනවා, දවසක් දෙකක් දැක්කට මට මතක නෑ. කොල්ලෝ ඔක්කොම එක වගේනේ. මගේ පුතා දැක්ක වගේ සතුටුයි." ඒ විදිහට තමයි මට ටී.කේගේ අම්මා අහම්බෙන් මුණගැහුනේ. ඒ 2006දි.... එදා මම ටී.කේ අම්මත් එක්ක ගොඩක් වෙලා කතා කළා. අපිත් එක්ක හිටපු කොල්ලෝ ගැන විස්තර ඇහුවා. ඔක්කොටම වඩා ගොඩක් වටිනා දෙයක් මට ලැබුනා. ඒ තමයි ටී.කේගේ දුරකථන අංකය. සම්බන්ධ කරගන්න අසීරු උනත් ලංකාවෙන් එන්න කලින් කොහොම හරි මම ටීකේට කතා කළා.
ටී.කේ කියන්නේ මගේ මිත්‍රයෙක්. නිකම්ම නිකම් මිත්‍රයෙක් නෙවයි අන්තිම පේලියේ මාත් එක්ක දුක සැප බෙදාගත්තු, එක බත් එක බෙදාගෙන කාපු, ජය පැරදුම එකට බෙදාගත්ත මගේ සහෝදරයෙක්. ටීකේටයි මටයි උසස්පෙළ දෙපාරක් කරන්න වෙච්ච එකට අපේ මිත්‍රකමත් ප්‍රධාන හේතුවක් මයේ හිතේ. කොලුකමට කරන්න තියන නොසන්ඩාල වැඩ කරපු අපිට බොහොම සුන්දර මතකයක් තියනවා. පලවෙනි වතාවේ විභාගේ ඇනගත්ත අපි දෙන්නම දෙවැනි පාර ගොඩ. ටී.කේට ඒ දවස්වල වුවමනා වුනේ නාවික ඉන්ජිනේරුවක් වෙන්න. ඒත් දෙවැනි පාර ප්‍රතිපල ඇවිල්ලා ටික දවසක් යද්දී මෙන්න මූ කියපි එයාර් ෆෝස් යනවා කියලා. අහස මොකද සයුර මොකද ? එහෙම කියපු අපේ සහෝදරයා අහස ජයගන්න ගුවන් හමුදාවට සම්බන්ධවුනා. හැබැයි පුහුනුවීම් තියන කාලේ නම් කිසිම ආරංචියක් ලැබුනේ නෑ. නිලධාරියෙක් විදිහට ස්ථිර වුනාට පස්සේ නම් ඔන්න ටී.කේ එක්ක කතා බහ කරන්න, සම්බන්දකම් පවත්වන්න අවස්තාව ලැබුනා. ගිය පාර ලංකාවට ගිය වෙලාවෙත් ටී.කේව හම්බවෙලා ආවේ. ටීකේ කියන්න ඒ වෙද්දී ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා ගුවන් නියමුවෙක්.
මේ ඉන්නේ අපේ වීරයා
හැබැයි මම ඉහතින් සඳහන් කරපු සිද්ධිය මට එක පාරටම මතක්වෙන්න හේතු වුනේ ඉතා මෑතකදී සිදුවුන ආන්දෝලනාත්මක සිද්ධියක්. ඒ තමයි පෙබරවාරි 13 වෙනිදා හදිසියේම පුහුණුවේ යෙදුන මිග්27 ප්‍රහාරක යානාවේ කඩා වැටීම.... ප්‍රවෘත්තිය අන්තර්ජාලය හරහා දැක්ක ගමන්ම මට මතක් වුනේ ටී.කේව. දන්නා කියන උන්ට කියලා අහලා බැලුවා. ඒවගේම ටී.කේගේ ජංගම දුරකතනයට කතා කරන්න උත්සහ කරා. ඒත් ප්‍රතිචාරයක් නෑ. ඒ අතරේ අපේ සහෝදර කොඩිකාර මට කෙටි පණිවුඩයක් එව්වා. " මචන්, ටී.කේ තමයි ෆ්ලයිට් එකේ ඉඳලා තියෙන්නේ. හැබැයි කොල්ලට අවුලක් නෑලු" කියලා. බොරු කියන්නේ මොකටද ඒ පණිවුඩයත් එක්ක මගේ බොක්ක කූල් වුනා සෙල්සියස් රින ගණන්වලටම. මෙච්චර වෙලා මූද දන්නේ නෑ ගියේ කියලා කල්පනා කර කර හිටිය එකේ දැන් ඒක ස්ථිරයිනේ. අපිත් එක්ක අන්තිම පේලියේ හිටපු තවත් බොක්කක් තමයි සුගත්. ඌත් මැසේජ් එකක් එව්වා කොඩිකාර කියපු එකම කියලා. මට ඉතින් ලංකාවේ වගේ එසැනින් පුවත් එන්නේ නෑනේ. ඉතින් එවෙලේ ඉඳං ටී.කේගේ ජංගම දුරකතනයට කතා කරන්න උත්සහකරපු එකයි කරේ. යාන්තම් මෙහෙ වේලාවෙන් රෑ නවයට දහයට වගේ දුරකථනය අනිත් පැත්තෙන් ඒ සුපුරුදු හඬ ඇහුනා. " මචන් ගොඩේ, මට අවුලක් නෑ." ඒ වචන ටික තමයි මාත් බලාපොරොත්තු උනේ. එතනින එහාට කිසිත් කතා කරන්න අවශ්‍ය නැති නිසා " හරි මචං. පරිස්සමින් හිටපන්. බුදු සරණයි." කියලා මම මගේ දුරකථනය පැත්තකට කරා. ඒත් එක්කම තමයි ඔය උඩින් මම සඳහන් කරපු සිද්ධිය මගේ හිතේ මැවුනේ. ඒ විතරක් නෙවෙයි. මගේ හිත පාසැල් කාලයට පියඹලා ගියා..... මොනතරම් සැහැල්ලුවෙන්ද අපි හිටියේ.... අද මොනතරම් වගකීමක් දරන මිනිස්සුද ???
මචං ටී.කේ, උඹ එදා ඔය වගේ අනතුරකට මුහුණ දීලත් තත්පර දශම එක්ක උඹේ ජීවිතය ඔට්ටු අල්ලලා, කිසිම ජිවිතෙකට හානි නොවෙන්න, උඹේ ජීවිතෙත් ගලවාගත්තේ උඹේ තියන දක්ෂකමට.... අපිට උඹ ගැන පට්ටම ආඩම්බරයි කොල්ලෝ..... උඹ අපිට වීරයෙක්..... තීරණයක් ගන්න එක නෙවෙයි වැදගත්. ඒ තීරණය ගන්න කොච්චර වෙලාවක් තියනවද කියන එක. තත්පර 4ක් 5ක් ඇතුලත හරි තීරණයක් ගන්න එක කවුරු කොහොම කිවත් ලේසි නෑ..... ඒ විතරක් නෙවෙයි උඹ වගේම අපිත් ගොඩක් වාසනාවන්තයි..... අපේ උන් නම් අන්න උඹට මඩ ගහන්න පටන් අරන්. පෙට්රෝල් වැඩිකරා කියල අමතක වෙලා වෙනදා ගානට පෙර්ටල් ගැහුවලු. හේ හේ හේ හේ........ අන්තිම පේලියේ හිටපු අපිට උඹට මඩ නම් මොනවද ? අපේ උන් ඒ මොනවා කිවත් උන් ඔක්කොම හදවතින් උඹ එක්ක...... උඹේ අම්මා එදා බෝධිය ඉස්සරහා ඉඳගෙන උඹට සෙත් පැතුවා වගේම අපිත් හැමදාමත් උඹට සෙත් පතනවා.... ආශීර්වාද කරනවා...... උඹේ සේවය අපේ රටට තව දිගු කාලයක් ලබාදෙන්න උඹට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා !!! තුරුණුවන්ගේ පිහිට, ආරක්ෂාව, ආශිර්වාදය ලැබේවා!!! සොයුර නුඹට සදා ජය !!!!!!
ප.ලි - මේක සිද්ධිය වුන ගමන් ලියන්න හදලත් ඒක සතියකට කල් දැම්මේ අපේ කට්ටිය ඕනෙම සිද්ධියක් සතියෙන් අමතක කරන නිසා. ඉතින් ඒ සිද්ධිය අමතක වීගෙන යද්දී ආයෙත් පොඩ්ඩක් මතක් කරහම හොඳයි කියලා හිතුනා.........