Sunday, October 30, 2011

උණ විකාර

උණ හැදිලා, සෙම වැඩිවෙලා, කන්, නහය ඔක්කොම හිරවෙලා මම අංඤකොරොස් වෙලා ඉන්නේ. දවස් දෙකක් වැඩට ගියෙත් නෑ. කොච්චර උණ තිබ්බත් අමාරුවෙන් හරි කෑම ගේන්න එලියට බහින්න වෙනවා. නැත්නම් බෙහෙත් බොන්න විදිහක්වත් නෑනේ. ඔක්කොමත් හරි අමාරුවෙන් ගිහින් ගෙනාව කෑම එක කන්න කිසිම පිරියක් නෑ. මොකද ලංකාවේ ඉන්නකොට උණ ගැනුනහම අම්මා හදලා දෙනවා වගේ මිරිසට, සැරට කඩවල් වල ඉන්න උන් කෑම හදනවා කියලද? තනියම ඉන්නකොට පට්ටම අසරණ වෙන්නේ ලෙඩ හැදුනහම. මේ ටිකේ මගේ කාමරේ හිටපු එකත් නිවාඩු ගිහින්. පෙරේදා නම් ඕනෙම නෑ. අදනම් පොඩ්ඩක් ඔළුව උස්සගෙන ඉන්නවා. ඔය උණ අමාරු අස්සේ මට මතක් වුනා මම ඕලෙවල් ලියපු හැටි. කට්ටිය බලයි මම උණ විකාරෙන්ද කියලා. ඇයි යකඩෝ උණ ගැනුනහම මිනිස්සුන්ට කොහෙද විභාග මතක් වෙන්නේ.සමහරුන්ට නම් විභාග මතක් වෙද්දි උණ ගැනෙනවා. ඔන්න එහෙනම් අද ලියනවා මට උණ ගැනුනහම ඕ ලෙවෙල් මතක් වෙන්න හේතුව.



ඕලෙවල් කරද්දිවත් ඒ ලෙවෙල් පලවෙනි පාර කරද්දිත් ලේසියකට පොතක් අතින් අල්ලපු එකෙක් නෙවෙයි මම. ඕ ලෙවෙල් කරන කාලේ නිතරම ස්කෝලේ බාහිර වැඩ. 10 වසරෙදි හැමදාම උදේ ඉඳන් බෑන්ඩ් ප්‍රැක්ටිස්. අම්මා කෑගද්දි කියන්නේ " හරි හරි ලබන අවුරුද්දෙනේ එක්සෑම්. 11වසර පටන් ගත්තහම පාඩම් කරන්න පටන් ගන්නම්. අනික ස්කොලෙන් අවුට් වෙලා මේවා කරන්න බෑනේ." ඔය වගේ ලොකු ටෝක්, ලොකු පාර්ට් දාලා ශේප් වෙනවා. කොහොමහරි 10 වසරත් ඉවරයි. කොල්ලා 11ටත් ආවා. ඒත් කිසිම වෙනසක් නෑ. සුපුරුදු දින චරියාව. මට මතක විදිහට 11 වසරේ පලවෙන වාරයේ භාගයක් යනකොට අපේ අම්මා ස්කෝලෙට ඇවිල්ලා මාව බෑන්ඩ් වැඩෙනුත් නවත්ත ගත්තා. හරිම ශෝක්. දැන් පාඩම් කරන්නෙත් නෑ. බෑන්ඩ් ගහන්නෙත් නෑ. අනිත් බාහිර වැඩ ටික ලෙසටම කරගෙන යනවා. අම්මා ඉඳලා හිටලා සද්ද දානවා. මම මට නෙවෙයි වගේ ඉන්නවා. අවුරුදු කාලෙට අවුරුදු උත්සව ලැහැස්ති කිරිලිද? වෙසක් කාලෙට කැරකෙන කූඩු ගහන ඒවද? මළගෙවල්, දානේ ගෙවල්, පිරිත් ගෙවල්, මඟුල් ගෙවල්, ඔය මෙකී නොකී සියළුම සමාජ සේවාද අකුරටම කරනවා. කෙරෙන්නෙ නැති එකම දේ තමයි පාඩම.

ඔය විදිහට ගිහින් දෙවනි වාරෙත් ඉවර වුනා. දැන් ඉතින් අන්තිම ලාස්ට් ෆයිනල් වාරේ. වෙනසක් නෑ. පන්ති නම් යනවා. ඒ ඇරෙන්න පාඩමක් නෑ. සැප්තම්බර් විතර වෙනකොට අම්මා කෑගද්දි කියනවා " හරි හරි මම නොවැම්බර් මාසෙම පාඩම් කරනවා. දෙසැම්බර්නේ එක්සෑම්. නොවැම්බර් මාසේ ඇති මට එක්සෑම් ගොඩ දාගන්න". එහෙම කීවට මොකද මට ඔක්තොම්බර් මාසේ සැරෙන් සැරේ උණ ගත්තා. ඔහොම ගිහින් නොවැම්බර් මාසේ පටන් අරන් සතියක් යද්දි දවසක් හවස් වරුවේ සහලෝලා උණ ගත්තා. දොස්තර ගාවට ගියහම වහාම මාව ඉස්පිරිතාලේ නවත්තන්න කීවා. ඔන්න ඉතින් එදා හවස මාව වරකපොල ඉස්පිරිතාලේ නැවැත්තුවා.රෑ ආවා ඩ්‍රැක්‍යුලා කෙනෙක්. ඇවිත් ඇද්දා මගේ ලේ කුප්පි දෙක තුනක්. කොහොමහරි කරන්න තිබ්බ ඔක්කොම පරීක්ෂණ ඉවර වෙලා පහුවදා දවල් තමයි ඒ පරීක්ෂණ වාර්තා හම්බවුනේ. මෙන්න බොලේ රීපොට් ටික අතේ තියාගෙන ආපු දොස්තර කීවා මාව කෑගල්ලට මාරු කරන්න කියලා. කෑගල්ලට මාරු කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අමාරු ලෙඩ්ඩු. මට උණ විකාරේ අස්සෙ තවත් උණ ගැනුනා. කතා බතා මුකුත් නෑ. කට්ටිය මාව දැම්මා ඇම්බියුලන්ස් එකේ. ඒකට පටවද්දී අපේ ගෙවල් ළඟ ත්‍රීවිල් පාර්ක් එකේ අයියා කෙනෙක් මාව දැකලා ගෙදරට කියලා තිබ්බා පණිවුඩේ. පණිවිඩේ ගෙදරට ලැබිලා තිබ්බා කෝල් එකකටත් වඩා වේගෙන්. පණිවිඩේ ගිය වේගය දැන ගත්තේ මම ඇම්බියුලන්ස් එකේ කෑගල්ලට යන ටිකට කසුන් අයියා කෑගල්ල ඉස්පිරිතාලෙට ඇවිල්ලා ඉන්නවා දැක්කහම. කොහොමහරි කසුන් අයියව දැක්කහම පොඩ්ඩක් හිතට සැහැල්ලුවක් දැනුනා. මට ඒ වෙනකොටත් සහලෝලා උණ. ඔන්න කෑගල්ල ඉස්පිරිතාලෙට කොල්ලව ඇතුල් කරා. ඇඳකටත් දැම්මා. ඊට පස්සේ තමයි  තත්වය දරුණු වුනේ. සැරෙන් සැරෙට මට සිහි නැතිවෙන්න ගත්තා. මට මතක විදිහට සති දෙකක් විතර සැරෙන් සැරෙට සිහි එනවා යනවා. සේලයින්ම තමයි දිගටම. උණ අඩු වෙනකොට සිහි එනවා. ආයෙත් උණ වැඩි වෙච්ච ගමන් සිහි නෑ. කොහොමහරි ඔය සිහි එන වෙලාවට ඇහෙනවා කට්ටිය කතා වෙනවා මට ඩෙංගු කියලා. උණ විකාරෙන්ම මට මතක් වුනේ ඕලෙවෙල්. හත් ඉල්ලව්වේ මදැයි අන්තිමට පාඩම් කරන්න හිටියා. අනික ඒ දවස් වල ඩෙංගු හැදිලා මැරුණ අය ගැනත් නිතරම කනේ වැටුනා. මට හිතුනා මමත් මැරෙයි කියලා. ඕලෙවල් නොකරම එලොව යන්න ටිකට් එක එයි කියලා හිතුනා. බොරු කියන්නේ මොකටද මට හිතුනා පාඩම් කරනවට වඩා මැරිලා යන එකත් එක අතකට හොඳයි කියලා. කනක් ඇහෙන්න වෙන්නේ නෑනේ නැත්නම්...  හික්ස්....

මම මාසයක් විතර ඉස්පිරිතාලේ හිටියා. පලවෙනි සති දෙක නම් සිහි නෑ. වුනේ මොනවද කියලා කිසිම නිච්චියක් නෑ. අනික දිගටම සේලයින්. එපාම කරපු වැඩේ ලේ ගන්න එක. දවසට තුන් පාරක් ලේ ගත්තා. ඒ ලේ ගත්ත තැන කටු ඇනලම කොස් කට්ටක් වගේ අන්තිමට. හැමදාම බ්ලඩ් ප්ලෙට් කවුන්ට් එක බැලුවා. ඒක අම්බානෙකම බැහලලු තිබ්බේ. මට මෙතුවක් කාලෙකට හැදිච්ච උණ වලින් හොඳම උණේ තමයි ඒක. ඉතින් මේ උණ මරගාතේ වැටිලා ඉන්නකොට ඕ ලෙවල් මතක් වුනේ  ඒ නිසයි. මට මතක විදිහට මම ටිකට් කපාගෙන ගෙදර ආවේ ඕ ලෙවෙල් පටන් ගන්න තිබ්බ දවසේ. ඒත් වෙලාවට චන්ද කලබල නිසා එක්සෑම් කල් ගියා. ඒ නිසා ගොඩයට එක්සෑම් කරන්න සිද්ධවුනා. හැබැයි පාඩම් කරන්න, මහන්සි වෙන්න ඕනෙවුනේ නෑ. මොකද දොස්තරලා විශේෂෙන්ම කීවේ මහන්සි වෙන්න එපා කියලා. මටත් ඉතින් හොඳ පල්ලම. ඉස්පිරිතාලේ ඉන්නකොට ලැබුන අත්දැකීම් නම් අද ඊයේ වුනා වගේ මතකයි. ඒ ගැන ලියන්නත් ඕනේ. ඒත් ඔක්කොම ඔහේ දිගට ලියන්න ගියොත් කියවන්නත් එපා වෙනවනේ. ඒ නිසා ඒ ටික ඊළඟ පෝස්ට් එකට ලියනවා. කොහොම කොහොම හරි ගොඩයා ඕලෙවෙල් හොඳට පාස් හොඳේ......

Sunday, October 23, 2011

අපි කොතැනද ???

මේ ලියන්න යන්නේ රස කතාවක්වත් හිනා යන කොමඩියක්වත් නෙවෙයි. තිත්තම තිත්ත පෝස්ට් එකක්. මහා විස්තරයක් ලියන්න හදනවා නෙවෙයි. ඒත් පහුගිය ටිකේ මූණු පොතේ හැමෝම වගේ බෙදා ගත්ත වීඩියෝ එකක් දැකලයි මේක ලියන්න හිතුනේ.  මේ විඩියෝ එක දැක්ක අයත් ඇති. නොදැකපු කෙනෙක් ඉන්නවා නම් ඔන්න බලන්න. හැබැයි ගොඩාක් සංවේදී කෙනෙක් නම් පරිස්සමින්....... 



මේක ගොඩ දෙනෙක් මූණු පොතේ දැම්මා නොයෙක් විදිහේ වාක්‍යත් එක්ක. සමහරු චීනුන්ට බැනලා දැම්මා. මම මේ ලියන්න යන්නේ මට හිතුන දෙයක්. මෑත වකවානුවේ ලොකයේ බල තණ්හාවෙන් සීඝගාමී ගමනක් යන රටක් තමයි චීනය. චීන නායකයා තමයි මේ වෙද්දි ලෝකේ බලවත්ම නායකයා බවට පත්වෙලා තියෙන්නේ. බොහොම වේගයෙන් උඩට ආපු රටක්. කොහොමද මෙහෙම වුනේ ???  අපි ගොඩ දෙනෙක් දන්නවා කැපකිරීමක් නැතුව කිසිම දෙයක් ලබාගන්න අමාරු බව. ඉතින් ලෝකයේ වැඩිම ජනගහනය ඉන්න රට හැටියට චීනය මේ තැනට එන්න මොනවගේ දේවල් කැප කරන්න ඇතිද ??? මාත් එක්ක ඉගෙන ගත්ත, මාත් එක්ක වැඩ කරන චීනය ජාතිකයන්ගෙන් මම දැකපු දෙයක් තමයි ඒ මිනිස්සු ගොඩක් යාන්ත්‍රිකයි කියන එක. මට හිතුන විදිහට චීනය මෙහෙම දියුණුවීම පිණිස බිල්ලට දීලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ මනුස්සකම. කැපකරලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ මානුෂික හැඟීම්. ඒකට මිනිස්සුන්ට වඩා වග කියන්න ඕනේ පාලකයයෝ......

චීනයේ ඇතුලේ සිද්ධවෙන ගොඩක් දේවල් ලෝකේන් වසන් කරන්න ඒ උදවිය මහන්සි ගන්න බව. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. චීනයට ගිය කෙනෙක් දන්නවා අන්තර්ජාලයේ කොච්චර නම් සීමා පනවලා තියනවාද කියන එක. මම මේ විස්තරේ කීවේ චීනයට දොස් කියලා හෙලා දකින්න නෙවෙයි.  ඒත් චිනය දිහා බැලුවහම හිතුනා දියුණුව පස්සේ මිනිස්සු දුවනකොට ඒ මිනිස්සුන්ට තමන් මිනිස්සු කියලා අමතක වෙනවා කියන එකට උදාහරණයක් නේද කියලා....   කොහොමත් මිනිස්සු දියුණුව කියලා හිතන්නේ බලය ලබා ගන්න එකනේ. වැඩියෙන්ම දියුණුවුන එකා තමයි බලවත්ම වෙන්නේ. බලන් ගියහම දියුණුව කියලා කීවට දුවන්නේ බලය පස්සේ. බලය පස්සේ මිනිස්සු දුවනවා කියන්නේ මිනිස්සු තිරිසන්නුන්ටත් අන්ත වෙනවා කියන එක.  මම කියන්නේ බොරු නම් බලන්නකෝ පල්ලෙහා තියන විඩියෝ එක. තිරිසනෙක් අමාරුවේ වැටුනහම උන් කොහොමද වැඩ කරන්නේ කියලා.


අනික ඉතින් ඔය බලය නිසා මිනිස්සු බල්ලො බලල්ලූ වෙනවා කියන එකට උදාහරණ නම් ඕන තරම් අපේ රටෙන් හොයාගන්න පුලුවන්. ඒකට වැඩි ඈතකට යන්න ඕනේ නෑ.මේ ළඟදී වෙච්ච සිදුවීම් හොඳටම ප්‍රමාණවත්. කතාව තව තවත් දිග් කරන්න ඕනේ නෑ. චීනය මනුස්සකම විනාශය කරගනිමින් දියුණු වෙනවා. හදවත් නැති මිනිස්සු බිහිකරමින් යනවා. කොහොමහරි චීනය දැන් ලෝකයේ බලවතා කියන තැනට ඇවිල්ලා. චීනය නැත්නම් ලොකේ අනිත් රටවල් වලට අඳින්න යට ඇඳුමක්වත් නැතිවෙන තැනට ඇවිල්ලා ඉවරයිනේ දැන්.

ඒත් ඔය විදිහට මනුස්සකම නැතිකරගත්ත මිනිස්සු ඉන්නේ චීනේ විතරද?? දියුණුවයි කියලා කොහෙවත් යන කසල ගොඩවල් ඔළුවට දාගෙන මනුස්සකම බල්ලට දාපු මිනිස්සු වෙන නැත්ද?? මට හිතුණ දෙයක් තමයි අපේ මිනිස්සු ඔය ගැන චීනයට දොස් කියලා ස්ටේටස් දැම්මට, චීනයේ වැරදි දැක්කලා උන්ට බැන්නට, අපේ මිනිස්සුත් ඒ මිනිස්සුන්ගේ මට්ටමටම කිට්ටු වෙලා නේද කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න උදේට වැඩට යන ලොකු මහත්තුරු ඇක්සිඩන්ට් එකක් උනහම ඒ ගමන නවත්තලා එයාගේ කාර් එකෙන් හැප්පුන මනුස්සයා ඉස්පිරිතාලයට ගෙනියන්න ඉදිරිපත් වෙනවද කියලා. මම අත්දැකීමෙන් දන්නවා බොහොම අතලොස්සක් තමයි එහෙම කරොත් කරන්නේ. ත්‍රීවිල් එකක් පාරේ තියාගෙන කීයක් හරි හොයාගන්න සහොදරයෙක් ඔය වැඩේට ඉදිරිපත්  වුනොත් ඇරෙන්න අනිත් අය නම් එයාලගේ ගමනට වෙන පමාව ගැන හිතලා බනිනවා ඇරෙන්න හැපුන මිනිහා ගැන බලනවා අඩුයි. එහෙම අපිට වෙලා තියෙන්නේ අපිත් දියුණුවක් පස්සේ දුවන නිසා නෙවෙයිද?? අපිටත් මනුස්සකම අමතක වෙලා නැද්ද? බස් එකකට බඩ දරු අම්මේක්, වයසක මනුස්සයෙක් නැග්ගහම හිනාවෙලා සංතෝසයෙන් සීට් එක දෙන මිනිස්සු කීදෙනක් දැන් අපි අතර ඉන්නවාද??? ඉස්සර නම් අනිත් මනුස්සයා ගැන හොයලා බැලුවට දැන් අපිට තව කෙනෙක් ගැන හොයලා බලන්න වෙලාව තියනවාද? අනිත අයට ඇඟිල්ල දික් කරන්න කලින් පොඩ්ඩක් අපිත් හිතලා බැලුවොත් නරකද අපි යන්නේ හරිම පාරෙද කියලා.... චීනය නම් මනුස්සකම නැතිකරගෙන ලෝක බලවතාවෙයි. ඒත් අපි ????  අපි මනුස්සකම අමතක කරලා දුවන්නේ ලෝකේ අල්ලන්නද ???

හුදෙක් මාගේ හිතට නැඟුනු අදහසක් පමණි.

Tuesday, October 4, 2011

දන්නවාද මේ ගැන ????

අද මට හිතුනා වෙනස් විදිහේ පෝස්ට් එකක් ලියන්න. මම නිතරම මුහුණදෙන ගැටලුවක් තියනවා. ඒ තමයි  කවුරු හරි ඇහුවහම මගේ රස්සාව මොකක්ද කියලා ඒ අහන කෙනාට මගේ රස්සාවේ ස්වරූපය පැහැදිලි කරන එක. ඒ ගැන පැහැදිලි කරන්න  යන එකෙන් වෙන්නේ මට විනාඩි 10, 15ක ලොකු විස්තරයක් කරන්න. හොඳම හරිය තමයි අන්තිමට දන්න සෙල්ලම් ඔක්කොම දාලා විස්තර කරාට පස්සෙත් ඔය ගැන අහන කාටවත් හරිහමන් අවබෝධයක් ලැබෙන්නේ නෑ. ගොඩක් වෙලාවට මම ඒ විස්තරේ කියන්නත් ඔය කොම්පියුටර් කෑලි ගැන අවබෝධයක් හරි එහෙම නැත්නම් ඒ ලෙවෙල් science කරපු එහෙමත් නැත්නම් ඒ වගේ දෙයක් තේරුම් ගන්න පුළුවන් පසුබිමක් තියන කෙනෙක්ට.  අනිත් අයට ඔය මොකක් හරි කියලා ශේප් වෙනවා. වෙන මොකවත් නිසා නෙවෙයි කියලා තේරුමක් නැති නිසා. ඒත් අපේ කස්ටිය ඉන්නවානේ නොතේරුනත්, තේරුනත්, ඔනේ වුනත්, එපා වුනත් ඔය විස්තර හොයන්න අහන්න ආසා අය. එහෙම අය හම්බවුනහම නම් සොරි ඩොට් කොම්.  හැබැයි මම රැකියාව කරන ක්ෂේස්ත්‍රය ගැන දන්නේ නැති වුනාට මේ කර්මාන්තයෙන් නිපදවෙන නිෂ්පාදන අපි හැමෝගෙම එදිනෙදා ජිවිතේට බොහෝම සමීපයි. අපි හැමෝම නිතර දෙවේලේ භාවිතා කරනවා. දැන් මේ මම ලියන පෝස්ට් එක කියවන කාට හරි හිතිලා තියනවාද මේක කියවන්න පාවිච්චි කරන කොම්පුටරේ ඇතුලේ තියන කෑලි බෑලි හදන්නේ කොහොමද කියලා. සමහරවිට හිතිලත් ඇති. කොහොමෙන් කොහොම හරි ඕවා මේවා නිසා අද මට හිතුනා මම වැඩ කරන මේ ක්ෂේස්ත්‍රය ගැන පොඩ්ඩක් ලියන්න.හැබැයි මේ පොස්ට් එක සමහර අයට මෙලෝ රහක් නැතිවෙන්නත් ඉඩ තියනවා. ඕන එකක් කියලා ඔන්න ඔහේ ලියනවා

Semi Conductor Industry එහෙම නැත්නම් අර්ධසන්නායක කර්මාන්තය. මේ කර්මාන්තය ගැන  අහපු අයත් ඇති. මට තේරුණ දෙයක් නම් ලංකාවේ ගොඩක් දෙනෙක් මේ ගැන අහලා නෑ. ඒ නිසයි මේක ලියන්න හිතුනේ. අපි පාවිච්චි කරන ජංගම දුරකථනය, පරිඝනකයේ ඉඳලා කැමරා, රූපවාහිනි මෙකී නොකී සියලුම ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර සූත්‍ර, යාන වාහන, ගුවන් යානා,  වෛද්‍ය උපකරණ, යුධෝපකරණ මෙකී, නොකී හැම නිෂ්පාදනයකටම වැදගත් වන ඉලෙක්ට්‍රොනික් චිප් (Chip) නිශ්පාදනය කිරීම තමයි මේ අර්ධසන්නායක කර්මාන්තයෙන් කෙරෙන්නේ. ඔය පල්ලෙහා තියෙනේ මම වැඩ කරන සමාගම පිළිබඳ කෙටි විඩියෝ පටයක්. ඒක බැලුවහම මම කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා පොඩි අදහසක් ඒවි.



මේ කර්මාන්තය කෙරෙන්නේ සීමිත රටවල් ගණනක.මේ කර්මාන්තයට අවශ්‍ය උපකරණ, පරිසර තත්ව, අනිකුත් පහසුකම් බොහෝ මිල අධිකයි.  ඒ නිසයි මේ කර්මාන්තය සීමා සහිත රටවල් ගණනක සිද්ධවෙන්නේ. ඇමරිකාව, කොරියාව, ඉතාලිය, ජපානය,සිංගප්පූරුව, චීනය, ජර්මනිය, තායිවානය වගේ රටවල් කීපයක තමයි මේ කර්මාන්තය සිද්ධවෙන්නේ.
කර්මාන්තයේ ඉතිහාසය ගත්තොතින් ට්‍රාන්සිස්ටර් එක තමයි මේ තාක්ෂණයේ මුල්ම පුරුක.ඉලෙක්ට්‍රොනික් ලෝකයේ විප්ලවය තමයි ට්‍රාන්සිස්ටරය. වර්තමානයේ අපි පාවිච්චි කරන සියලුම ඉලෙක්ට්‍රොනික් උපකරණ බිහිවෙන්න හේතුව ට්‍රාන්සිස්ටර් එක.  ඔය පල්ලෙහා තියෙන්නේ ලෝකයේ පළමුවෙනි ට්‍රාන්සිස්ටර් එක.


ට්‍රාන්සිස්ටර් එකක් කියන්නේ අර්ධසන්නායක උපාංග වල පාදම, එහෙම නැත්නම් අත්තිවාරම කීවොතින් මම වැරදි නෑ කියලා හිතනවා. එක පරිපථයක මේ කියන ට්‍රාන්සිස්ටර් බිලියන ගානක් තියනවා. ඒ හේතුවෙන් උපකරණයේ ප්‍රමාණය බොහෝ විශාල වෙනවා. ඒකනේ ලෝකයේ පලවෙනි පරිඝනකය කාමරයක් තරම් විශාල වුනේ. ඉතින් ඔය පරිපථවල සහ උපකරණවල ප්‍රමාණය කුඩා කරගැනීමේ අරමුණින් ඔය ට්‍රාන්සිස්ටර් කීපයක් එක් කරලා සංගෘහිත පරිපථ එහෙම නැත්නම් I.C ( Integrated Circuit ) හදන්න ගොඩක් සමාගම් පෙලඹුනා. ඒත් දැන් යුගයත් හමාරයි. කට්ටියට මතක ඇතිනේ ඉස්සර අපි පාවිච්චි කරපු ජංගම දුරකථන. ගඩොල් භාගයක් විතර ඇතිනේ.  ඉතින් ඔය ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි  චිප් (Chip) නිශ්පාදනය පටන් ගත්තේ. චිප් (Chip) කියන්නෙත් සගෘහිත පරිපථයක්ම තමයි. ඒත් ප්‍රමාණය කුඩා සහ අන්තර්ගතය වැඩියි. 

මේ කතන්දර ඔක්කොම කිවේ පොඩි හැඳින්වීමක් දෙන්න මේ කර්මාන්තය ගැන. මේ ඔක්කොම වැඩ කෑලි දාන්නේ සිලිකන් වල පිහිටෙන්. සිලිකන් කියන්නේ හොඳ අර්ධ සන්නායකයක්. ඔය ජංගම දුරකථන, එතකොට කොම්පියුටර්, අනිකුත් ඉලෙක්ට්‍රොනික් උපකරණ පාවිච්චි කරන අපිට හිතිලා තියනවද ඔය හැටි මෙව්වා ගණන් ඇයි කියලා. ඇත්තටම කීවොත් ඔය චිප් (Chip)එකක් හදන්න වියදම් කරන කාලය හා මුදල් ප්‍රමාණය බැලුවහම ඒක ඒ හැටි දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් චිප් එකක් එකලස් කරන්න කලින් මූලික ක්‍රියාවලිය අවසාන වෙන්න මාසයකට අධික කාලයක් වැය වෙනවා. අපේ සමාගමේ වට්ටොරුවට අනුව නම් මාස 2ක් යනවා. ඔන්න බලන්නකෝ කොහොමද සිලිකන් (Silicon), චිප් (Chip)එකක් වෙන්නේ කියලා.



ඔය මුලු ක්‍රියාවලියම නොකඩවා සිද්ධවෙන්න ඕනේ. ඉතින් ඔය අර්ධසන්නායක නිපදවන සියලුම සමාගම් මුලු අවුරුද්දෙම දවස් 365ම පැය 24ම වැඩ. ඔය සිලිකන් රවුම් තහඩුවට කියන්නේ වෙෆර්(Wafers) එකක් කියලා.   චිප් (Chip) එකක් වෙන්න කලින් වේෆර්(Wafers) එකේ තියනකොට එක ඒකකයක් හඳුන්වන්නේ ඩයි ( Die ) එකක් කියලා. අඩියක් විශ්කම්භය තියන වේෆර් එකක් උඩ සමාන්‍යයෙන් ඩයි ( Die ) 750ක් 1000ක් වගේ ගණනක් නිපදවෙනවා. චිප් (Chip)750 - 1000ක් අතර ගාණක් හදන්න පුලුවන් වේෆර් එකකින්.
මේ තියන්නේ ඔය කීව වේෆර්(Wafers) එකක්. ඔය කොටු කොටු තියෙන්නේ මම කීව ඩයි ( Die ).

ඒ වගේම ඔය කර්මාන්තය කෙරෙන්නේ වෙනස් පරිසර තත්වය යටතේ. Clean Room Environment  එකක තමයි ඔය නිශ්පාදන කටයුතු කෙරෙන්නේ. Clean Room එකක් ඇතුලේ අංශු ප්‍රමාණය ඉතාම අඩු අගයක තියාගන්න උත්සහ කරනවා. ඉතින් අත,පය, මූණ කට ඔක්කොම වහගෙන තමයි වැඩ කරන්න ඕනේ. ඒකට හේතුව ඔය පොඩි අණුවක් හොඳටම ප්‍රමාණවත් චිප් (Chip) එකක් විනාශ කරලා දාන්න.

මේ clean room එකක පින්තූරයක්.
මෙන්න මේ විදිහටයි clean room එක ඇතුලේ වායූන් සංසරණය වෙන්නේ. මේ හැමවෙලේම ( air filters) පෙරෙහන් මඟින් වායූන් පිරිපහදු කරලයි මුදා හරින්නේ. මේ ඔක්කොම වද විදින්නේ පරිසරයේ අංශු  
( particles ) අඩු කරන්න සහ අපවිත්‍රනය ( contamination  ) වලක්වන්න.

අනිත් කාරණය ඔය වේෆර් එක නිශ්පාදනයේදි සමහර පියවරවල් සිද්ධවෙන්න අඩු පීඩන සහ අධික උෂ්ණ පරිසර තත්ව යටතේ. ගොඩක් වෙලාවට පීඩනය මිලි ටොර් 5,10 වගේ අගයකත්, උෂ්ණත්වය සෙල්සියස් 400-500 වගේ අගයකත් ඒ වගේ සමහර පියවර අඩු උෂ්ණත්ව යටතෙත් සිද්ධවෙනවා.අඩු පීඩනයක් හෙවත් රික්තකයක් ඇතුලේ තියන අණු ගණන ඉතාමත් අල්ප නිසා තමයි ඒ වගේ පරිසර තත්වයක් යටතේ ඔය නිශ්පාදන සිද්ධකරන්නේ. වේෆර්(Wafers) එකක් සම්පූර්ණ නිශ්පාදන ක්‍රියාවලිය ඉවර වෙන්නේ  විවිධාකාර පියවර 800ක අධික ප්‍රමාණයකට මුහුණ දීලා. මූලික පියවරවල් මම සඳහන් කරන්නම්. හැබැයි මම සිංහල වචන නම් දන්නේ නෑ මේවට. 

Wet cleans
Photolithography
Ion implantation
Dry etching
Wet etching
Plasma ashing
Chemical vapor deposition (CVD) 
Physical vapor deposition (PVD)
Electroplating
Chemical-mechanical planarization (CMP) 
Wafer testing
මේ එකෙන් එක විස්තර කරන්න ගියොත් මට තව පොස්ට් 10ක් විතර ලියන්න වෙනවා. අනික ඒකෙන් ලොකු වැඩක් කාටවත් වෙන්නේ නැතිවෙයි.  මට ඕනෙ වුනේ මෙහෙම කර්මාන්තයක් ලෝකේ තියන විත්තිය ලියන්නයි. ඒ නිසා වැඩිපුර විස්තර ලියන්නෙ නෑ. විස්තර ඕනේ නම් මෙතන ඔබන්න. 

අනික මේ පියවරවල් ටික ලිවේ තව දෙයක් කියන්න.කට්ටියටම පේනවනේ මේකේ ටෙස්ටින් ( Wafer Testing ) තියෙන්නේ අන්තිමට. ඔය මාස දෙකක් තිස්සේ කරන මහන්සියේ ප්‍රථිපලය දැනගන්න වෙන්නේ අන්තිමට. මොකක් හරි තැනක  වැරැද්දක් වුනහම ඒක දැනගන්න කොට තවත් වේෆර්ස් (Wafers) සිය දහස් ගාණක් ඒ විදිහටම සවුත්තු වෙලා තියෙන්න පුළුවන්. එහෙම දේකදී පාඩුව ඩොලර් මිලියන හෝ බිලියන වලින් නවතින්නේ. මොකද ඔය වේෆර්(Wafers) එකක් සම්පූර්ණ වුනහම මිල ඩොලර් 3000-4000ත් අතර ගාණක් වෙනවා. එක පාරට ඔය වගේ වේෆර්(Wafers) 25ක් මැශින් එකක් ඇතුලට ගන්නවා. ඒ වගේ ලොට් (lot) ( වේෆර් 25ට කියන්නේ ලොට් එකක් ) සිය ගණනක් දවසට දුවනවා. හිතාගන්න පුලුවන්නේ එතකොට මාසයක් හෝ සතියක් ඔහොම වැරද්දක්  තියාගෙන වැඩකරොත් මොකද වෙන්නේ කියලා.
මේ තියෙන්නේ ඔය පියවර 800ක් විතර සිද්ධවෙන ක්‍රියාපටිපාටියේ එක ක්‍රියාවලියකට දායක වෙන උපකරණයක්. මේ වගේ උපකරණ විශාල ගාණක් මැදින් ඇවිල්ලයි චිප් එකක් අපේ අතට එන්නේ.
මෙන්න මේවාගේ කුටීරයක් ඇතුලේ තමයි වේෆර්(Wafers) එක process වෙන්න අවශ්‍ය පරිසර තත්ව ඇති කරන්නේ.

මේ ගැන සියළුම විස්තර කියන්න අමාරුයි. ඒත් මෙහෙම දෙයක් වෙනවා කියලා නොදැන හිටිය කෙනෙක් දැනගත්තා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. මම වැඩකරන සමාගමින් නිපදවන්නේ පරිඝනක මතකයන්. එහෙම නැත්නම්  memory cards and DRAMs. ඒකෙනුත් අපේ ෆැබ් ( FAB ) එකේ නිශ්පාදනය කරන්නේ DRAM. ඔය අපේ පරිඝණක වලට පාවිච්චි කරන RAM වලට අමතරව තවත් නොයේකුත් උපකරණවලට RAM අවශ්‍ය වෙනවා. ඒ අතරින් මිල අධිකම RAM භාවිතා වෙන්නේ යුධායුද , වෛද්‍ය උපකරණ, වාහන, ගුවන් යානා වගේ මිනිස් ජීවිත ඍජුව සම්බන්ධ වන උපකරණ වලට. මේ මිල අධික වෙන්නේ නිශ්පාදනයේ සුපිරි තත්වය නිසයි. සුපිරි මට්ටමේ එහෙමත් නැත්නම් නොම්බර 1 RAM එකක් අපි පරඝණක සඳහා පාවිච්චි කරන RAM එකකට වඩා පස් හය ගුණයක් මිලයි. නොම්බර 2 එහෙමත් නැත්නම් දෙවැනි තත්වයේ RAM පාවිච්චි වෙන්නේ Sat-elite servers  වගේ දේවල් වලට. පරිඝණක සහ එදිනෙදා ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට පාවිච්චි වෙන්නේ 3 වෙනි ශ්‍රේණියේ RAM. 

මේක ඇත්තටම  බොහොම අසීරු කාර්යයක්. හැබැයි අසීරුයි සහ වියදම අධිකයි වගේම ලාභයත් අධිකයි. මම දන්න විදිහට මේ කර්මාන්ත ශාලාවක් පටන් අරගෙන අවුරුදු 5ක් විතර වැඩ කරාට පස්සේ තමයි ලාභ ලබන්න පුලුවන්. එතකම් වියදම් කල ගණන හොයන්න වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි එදිනෙදා පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික් උපකරණ කොටස් නිපදවෙන්නේ. ඔන්න තවත් විඩියෝ එකක් තියනවා. බලන්නකෝ වැඩේ කොහොමද කියලා. අනේ මෙලෝ රහක් නැති වුනා නම් සමාවෙන්න ඕනේ. දන්න කියන දෙයක් බෙදාගන්නයි පොඩි උත්සහයක් කලේ.