මම එතකොට 9 වසරේ. දිග කලිසමට බහින්න මාස කීපයයි. කොල්ලෙක් දිග කලිසමට බහිනවා කියන්නේ වහු පැටියෙක්ට අං ලැබෙනවා වගේ වැඩක්. 9 වසරේ ඉන්නකොටම කට්ටියටම ඔය රස්නේ වදිනවා. ඒ රස්නෙත් එක්කම ගැන්සි හදාගැනීම, බොක්කවල් හොයාගැනීම, වලි දාගැනීම, සෙට් වීම, ගුටි කෑම ආදී නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. මමත් ඒ වෙද්දී අනිත් උන් වගේම ඔය සංක්‍රාන්ති සමයේ හිටපු ගැටයෙක්. හැබැයි ඒ වෙද්දීත් මම ස්කොලේ ආවේ පාසල් සේවයේ පිහිටෙන්. ඔන්න දවසක් ස්කොලේ ඉවර වෙලා අපේ ස්කුල් බස් එක එනකම් මමයි අපේ ස්කූල් බස් එකේ යන උන් සෙට් එකයි ස්කොලේ ගේට්ටුවෙන් එළියේ පාර අයිනට වෙලා ඉන්නවා. දන්නවනේ ඉතින් ස්කොල අරුනහම කට්ටියට හරියට වැඩනේ. ස්කොලේ වෙච්ච දේවල් ගැන සාකච්චා කරන්න, එක එකාට ලනු දෙන ඒවා ගැන කතා කරන්න, ස්කුල් වෑන් වල ඉන්න කෙල්ලෝ බලන්න, එතකොට අපේ උන් ට්‍රයි කරපු කෙල්ලන් ගැන ඔත්තු බලන්න, කඩ චෝරු හොයන්න, මුද්දර, ස්ටිකර්, රූප ආදී දේවල් හුවමාරු කරන්න..... ඔය වගේ නානාප්‍රකාර වැඩ එක එකාට තිබ්බා.
මමත් ඔන්න ස්කොලේ ඇරිලා ගජබින්නාලන්කාරය දිග ඇරගෙන තව කොල්ලෝ දෙන්නක් එක්ක අපේ බස් එක එනකම් ඉන්නවා. ඒ අතරේ අපේ පන්තියේ කැරැව්වා ජැන්ඩියට කැප් එකක් එහෙම දාගෙන පොරගේ මවුන්ටන් බයික් එකේ වටේ ඉන්න කෙල්ලන්ට එහෙම ඇඩ් එකක් දීගෙන එනවා. මටත් ඉතින් අතපය එක විදිහකට තියාගෙන ඉන්න බැරි අමාරුවක් තියනවනේ. ඒ අමාරුවට කිවේ කැසිල්ල කියලා. ඉතින් ඔය කැසිල්ල නිසා මම ශේප් එකේ කැරැව්වාගේ පුටාර් එක පස්සෙන් දුවගෙන ගිහින් ඌ උජාරුවෙන් දාගෙන ගිය කැප් එක ගලවගෙන ගේට්ටුව ලඟට ආවා. කැරැව්වා ශේප් එකේ බයිසිකලේ පාරේ අයිනේ නවත්තලා මුණේ හිනා පොදක්වත් නැතුව එනවා. මොනවා වුනත් වෑන් වල යන කෙල්ලෝ එතකොට ස්කොලේ අයියලා මල්ලිලා ඔක්කොමල්ලා ඉස්සර වෙච්ච වැඩේට පොරට පොඩ්ඩක් අවුල් වගේ.
මමත් ඉතින් හිනාව දාගෙන ගියා ඌ එන පෙර මඟට කැප් එකත් උගේ පැත්තට දික් කරගෙන. මෙන්න ලඟට ආපු එකා කිසි කතාවක් නැතුව කැප් එක ඇදලා අරගෙන ඒ එක්කම දුන්නේ නැත්ද හොඳ කනේ පාරක්. කොහොමවත් මම බලාපොරොත්තු නොවුන පාරක් ඒක. කවුද දන්නේ මූ මල අතට වඩම්මාගෙන ආවේ කියලා. අනික එවෙලේ ගුටි කාපු අමාරුවට වඩා වස ලැජ්ජාව. අර කෙල්ලෝ, කොල්ලෝ, අම්මලා, තාත්තලා, ටීචර්ලා ඔක්කොම බලාඉන්නවා. මමත් මගේ තියන කැසිල්ලට කරේ වුවමනා නැති වැඩක්නේ. ඒ නිසා පලවෙනි ප්‍රහාරය ඉවසාගෙන " මචං කැරැව් විහිළුවක් කලේ බං " කියද්දීම මූ ආයෙත් අත ඉස්සුවා. ඒ පාර මම උගේ අත් දෙකෙන් අල්ලාගෙන " විහිළුවක් බං. සිරා ගන්න දෙයක්ද ඕක. එකක් ගැහුවනෙ. ඇතිනේ. යමන් දැන්" කියද්දී මූ කකුලෙනුත් ගැහුවා. අන්න ඒ අවස්ථාවේදී නම් මගේ ඉවසීම කියන එක කොහෙන්ද මන්ද අන්තර්ධාන වුනා. ඇයි හත් දෙයියනේ මම වැරද්දක් කරාම කියමුකෝ. ඒත් අර ස්කොලේ ඇරිලා යන කෙල්ලෝ ඉස්සරහා මහ පාරේ ඔහොමත් ගුටි කන්න පුලුවන්ද ? මගෙත් පුෂ්පය වැඩියා අතට. දීලා ඇද්දා අරූට. කොල්ලව අර තාර පාරේ බිම දාගෙන ගැහුවා. උගේ අතපය හීරිලා දණහිස පතුරු ගිහින් ලේ වැක්කෙරෙනකම් මමත් නෙළුවා. අන්තිමට ගේට්ටුවේ මුරට ඉන්න අන්කලුයි තවත් අන්කල් කෙනෙකුයි, තව අයියාලා දෙන්නෙකුයි ඇවිල්ලා තමයි ගෝරිය නවත්ත ගත්තේ. ඒ වෙද්දී ස්කූල් බස් එකත් ඇවිල්ලා මම එනකම් බලා ඉන්නවා. මම දඩබඩ ගාලා නැග්ගා බස් එකට ගෙදර ආවා.නැත්නම් ඉතින් මුර අන්කල්ටයි අහල පහල හිටපු සර්ලටයි උත්තර බඳින්න වෙනවනේ.
ඒ සිද්ධිය එතනින් ඉවරයි. ඔන්න දැන් කොල්ලා පහුවදා ස්කොලේ යනවා. එදා අපිට විද්‍යාවටද කොහෙද ශාක පත්‍ර වින්‍යාසයේ අනුරුවක් හදාගෙන එන්න කියලා තිබ්බේ. ඉතින් ලොකු බෝඩ් එකක මම ඔය වින්‍යාසය එහෙම හදාගෙන අත්දෙකෙන්ම බෝඩ් එකත් අරගෙන පන්තියට අඩිය තිබ්බා විතරයි. කිව්වහම මොකද මට අර බෝඩ් එක කොහෙන්වත් තියාගන්නවත් ලැබුනේ නෑ. මූණ හරහා හොඳ පන්ච් එකක් ලැබුනා තරු පෝලිමක් එක්ක. ඒ එක්කම මගේ අතේ තිබ්බ බෝඩ් එක කව්දෝ එකෙක් උදුරලා අරන් පැත්තකින් තිබ්බා. ලාවට වගේ දැක්ක 10 දෙනෙක් විතර වටවෙලා ඉන්නවා. කැරැව්වා සහ උගේ ගැන්සිය. කලබලෙන් මම වටපිට බැලුවා. පන්තියේ එකෙක්වත් නෑ. මගේ ගැන්සියේ එවුන් ඒ වෙද්දී ස්කෝලෙට ඇවිල්ලත් නෑ. අනික කැරැව්වා ස්කොලේ කිට්ටු නිසා උගේ ගැන්සිය ටිකක් ප්‍රභලයි. අයියලා එහෙමත් ඉන්නවා. කිසිම සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා එදානම් හොඳටම තේරුම් ගියා. සියලුම බලාපොරොත්තු අත ඇරගෙන ඇස් දෙක වහගත්තා. දහ දෙනෙක් විතර වටවෙලා උදේම නෙලද්දී තියන ආතල් එක ගැන නම් වචනයෙන් කියන්න බෑ. එදා උදේ කෑමට ලැබුනේ ගුටි. ගුටි කීවට හොඳම එකෙන්. විනාඩි 5ක් 6ක් ගුටි කෑවට පස්සේ තමයි අපේ එකෙක් ඇවිල්ලා යාන්තම් වැඩේ නවත්ත ගත්තේ. එහෙම නොවුනානම් ගොඩයා කනවා ඇප නැතිවෙන්නම. ඇත්තටම කිවොත් ඒ විනාඩි 5ට 6ට ඇප නැතිවෙන්නම කාලා තිබ්බේ.
ගුටි මුරය ඉවර වෙලා නැගිටලා බලදී මම හිටියේ පන්තියේ අන්තිම කෙලවරේ. හැබැයි මතක හැටියට මම පන්තියට අඩිය තිබ්බා විතරයි. කොනට විසිවුනේ කොහොමද කියලා දෙයියෝ තමයි දන්නේ... ආ... නෑ නෑ කැරැව්වාගේ ගැන්සිය තමයි දන්නේ. එවෙලේ නම් ශේප් එකේ පන්තියේ එකෙක් ගාව තිබ්බ සිද්ධාලේප එකක් උලාගෙන මුකුත් වුනේ නැති ගානට හිටියා. ඒත් තැලුම් වේදනාව දවසක් දෙකක්ම තිබ්බා. විලි ලැජ්ජාව නිසා ගෙදරට කිවේ නෑ.වේදනාව අමතක කරලා හිටියා. මොනවා වුනත් මගේ අත පය තියාගෙන ඉන්න බැරි අමාරුව නිසා කරපු දෙයක්නේ. අනික ස්කොලේ ඇතුලේ ගුටි කෑවට කෙල්ලන්ට පේන එකක්යැ.. ඒ වගේද මම කැරැව්වට දුන්න පෝරියල් එක. කීදාහක් ඉස්සරහද මහ පාරේ ඌ මගෙන් කෑවේ. ඒ නිසා මම රිටන් දෙන්න උවමනාවක් තිබුනේ නෑ. මොකද ගුටි කෑවත් මම දුන්න පෝරියල් එක ගැන මට සැටිස්. කැරැව්වාගෙයි මගෙයි ඔය අවුල දවස් කීපයකින් සමථයකට පත්වුනා. උගේ ගැන්සියත් ඒ වගේම සාමදාන වුනා.
ඔය වගේ සිද්ධි කීපයකට පස්සේ ලැබුනු බෙහෙත් වල පවර් එකට මගේ අර තිබ්බ අමාරුව ඒ කිවේ කැසිල්ල, අන්න ඒ කැසිල්ල පොඩ්ඩක් විතර අඩුවුනා. හැබැයි නිට්ටාවට හොඳ කරන්න බැරිද මන්ද? මොනවා කොරන්නද උවමනා නැති විහිළු කරන්න ගියහම ඔහොම තමයි. ඊට පස්සේ නම් පොඩ්ඩක් විතර පරිස්සම් වුනා කාට හරි විහිළු කරන්න යද්දී. පරිස්සම් වුනා කිවටම එහෙමමත් නැද්ද මන්දා.... මොකද ඔය සිද්ධියෙන් පස්සෙත් කීප අවස්ථාවකදීම ගොඩයට ඔය වගේ බෙහෙත් හම්බවුනා. ඒවට වෙන්න ඇති මයේ හිතේ කියන්නේ විලි ලජ්ජා නැතිකම කියලා..... හික්ස්....