ඊට පස්සේ ඔහොම කාලයක් යද්දි අන්තිම පේලිය කියවන මගේ යාළුවෝ දැම්මා බ්ලොග් අදහස. ඒ වෙද්දී ලියන්න බෑ කියලා හිතාගෙන හිටපු මට මොනවාහරි කොටාගන්න පුළුවන් කියලා හිතුණා. අනිත කාරණය ගොඩක් වෙලාවට අන්තිම පේලියේ දොර ඇරුනේ විහිලුවට. ඒ නිසා නිදහසේ මට ලියන්න හිතෙන දේවල් ලියන්න බෑ අන්තිම පේලියේ. ඔය අතරේ ඇන්ඩයියගෙයි, ජයියගෙයි බ්ලොග් වලට ගොඩ වෙන්න ගත්තා. ඔය බ්ලොග් දෙක දිගේ මේ සයිබර් අවකාශේ රවුම් ගහන්න පටන් ගත්තා. ඔය විදිහට රවුම් ගහ ගහ හිටපු මස්ත දවසක මට හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න. මස්ත දවසක කීවේ මෙලෝ දෙයක් කරන්න හිතුනේ නැති මහම මහා කම්මැලි දවසක. ඉතින් හිතට ආපු නම තමයි වංහුං. දැම්මා නම ගොඩයාගේ වංහුං කියලා. ගැහුවා තඩි බෝඩ් ලෑල්ලක්. ගහලා එහෙම වැඩේ පටන්ගත්තා. මෙන්න මේකයි මගේ පළවෙනි පෝස්ට් එක. ඇත්තටම බ්ලොග් එක පටන් ගන්න හේතුව තමයි ඒ. ඒ පෝස්ට් එකට ගොඩක් කොමෙන්ට් දාලා මට තල්ලුව දුන්නේ මගේ යාළුවෝ. මොකද ඒ වෙද්දි සයිබර් යාළුවෝ මාව දන්නේ නෑ. දැනගත්තා නම් ඒ කීපම කීප දෙනයි. සයිබර් යාළුවෝ අතරින් මුළින්ම කටහඬක් හරි ඇහුනේ ඇන්ඩයියගේ. කොහොමහරි මගේ යාළුවන්ට අමතරව සයිබර් අවකාසයෙන් කියලා කොමෙන්ට් දාලා තිබ්බේ නිම්ශා, බුද්ධි, සොඳුරු සිත සහ මල් සුවඳක්. මල් සුවඳක් නැත්නම් පැතුම් අයියා කොහොමත් මගේ සහෝදරයෙක් වගේ. ඒත් ඒ වෙනකම් මම දැනගෙන හිටියේ නෑ පැතුම් අයියා සයිබර් අවකාශේ ඉන්න විත්තියක්. මගේ යාළුවන්ගේ නම් ගම් සඳහන් කරන්න මගේ කිසිම අදහසක් නෑ. මොකද ඒ වැඩේ ලෙසි නෑ. ගොඩක් අය මට මුලදී අඩු පාඩු පෙන්නලා දුන්නා. සයිබරේ යාළුවන්ගෙත් නම් ගම් ලියන්න කල්පනාවක් නෑ. එහෙම කරලා මට පොඩි හරි වැරදීමක් උනොත් කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන්.හැබැයි ඇන්ඩයියගේ සහ ලංකාප්‍රිය අයියාගේ බ්ලොග් එකත්, ඒ දෙන්නාගේ තල්ලුව ගැන මතක් නොකර බෑ. මොකද ඒ බ්ලොග් දෙක තමයි මට මුලින්ම සයිබරේ ඇහැගැටුනේ. ඒකත් අන්තිම පේලිය හරහා. ඊට අමතරම ඔබා මාමාත් අන්තිම පේලියේ ඉන්න කාලේ ඉඳං තල්ලුව දීපු කෙනෙක්. ඉතින් ඒ තුන් දෙනාව මතක් කලේ මට මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න දැන හෝ නොදැන ඒ දුන්න සහයෝගය නිසායි. පහුවෙද්දි නම් බ්ලොග් අවකාශයේ ගොඩක් අයගෙන් තල්ලුව ලැබුනා. මේ සයිබරේට ගොඩක් සීනියර් අයගෙන් පවා අදහස්, ගුණ දොස් ලැබුණා. ඒත් නම් වශයෙන් ඔක්කොම ලියන්නනම් අමාරුයි. අනේ නම ලීවේ නෑ කියලා හිත රිද්දගන්න එහෙම එපා කවුරුවත්. එදා මට කොමෙන්ට් වලින් සහය දක්වපු සහ කොමෙන්ට් නොදැම්මත් කතා කරලා "වැඩේ හොඳයි ගොඩයෝ කරගෙන පලයන්, අපි දෙන්නම් තල්ලුව" කියපු හැමෝටම මගේ ගෞරවපූර්වක ස්තූතිය. එදා උඹලා දුන්න වචනයේ හයිය නිසා අද මම 50වෙනි පෝස්ට් එක ලියනවා. උඹලාට බොහොමත්ම ස්තූතියි... ( මුකුත් හිතන්න එපා උඹලා කීවේ තියන හිතවත්කමට )
පනස්වෙනි පෝස්ට් එක මේ වෙලාව වෙද්දී මේ බ්ලොග් එකෙන් මේ සයිබර් අවකාශයෙන් මට ගොඩක් දේවල් ලැබිලා තියනවා. මුණ නොගැහුනට, නොදැක්කට, කට හඬ ඇහුනේ නැති උනාට මට අදහස් වලින් ළඟ ඉන්න මිත්‍රයෝ ලැබුනා. වැරදි මතයක්, අදහසක් නිවැරදි කරන්න, අඩු පාඩුවක් පෙන්නන පුළුවන් පිරිසක් ලැබුනා. මම දකින සිද්ධියම මට වඩා වෙනස් කෝණයකින් පෙන්නන්න පුළුවන් පිරිසක් ලැබුනා. ඒ දේවල් පොඩි වුනත් මගේ ජිවිතේ යම් යම් වෙනස්කම් ඇති කරන්න පුලුවන් වුන දේවල් තියනවා. ඉතින් මෙච්චර කල් මාත් එක්ක හිටපු මගේ සයිබර් යාළුවන්ටත් මගේ යාළුවන්ට සහ සියළුම හිත මිත්‍රාදීන්ට මාගේ ප්‍රණාමය සහ ස්තූතිය. ඉදිරියටත් හැමෝම මාත් එක්ක දිගටම ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා. මා වෙනුවෙන් කාලය වැය කරලා ඒ ලබාදෙන වචනය, සහය මට ගොඩක් වටිනවා. ඒ වටිනා කාලයට බොහෝම ස්තූතියි.
මේ බ්ලොග් අවකාශයෙන් මට සතුටක්, සැනසුමක්, අස්වැසිල්ලක් වගේම, දුක, වේදනාව, කඳුලත් හිමිවුනා. ආදරය වගේම විරහ වේදනාවත් විඳින්න මේ අවකාශය මට ඉඩ ප්‍රස්තාව හදලා දුන්නා. ජිවිතේ මෙතෙක් කල් නොවිඳපු ආදරයත් ඒ පස්සෙන්ම ආපු විරහ වේදනාවත් විඳින්න ඉඩ කඩ හදාදුන්නේ මේ බ්ලොග් පිටුව. කලින් පෝස්ට් එකක මම කීව මේ සයිබරය හරහා මගේ ආදරය මට ලැබුන හැටි. ඒත් නොසිතු විදිහට අපි දෙන්නාගේ උපන් වෙලාව අපේ ආදරයට හරහට හිටියා. මම දන්නේ නෑ ජොතිශ්‍ය විද්‍යාව ගැන. ඒත් දෙමව්පියන් ඒ ගැන හොයලා බලලා දුන්න තීන්දුව තමයි ඒ. කොතෙකුත් උත්සහ කරත් ඒ ගැන කතා කිරීමෙන් වැඩක් නොවෙන නිසාත්, දෙමාපියන් දරුවන්ට විපතක්, හානියක් වෙන්න ඉඩ නොතියන නිසාත් අන්තිමට අපි තීරණයකට ආවා. හැබැයි ඒ ආදරේ කිසිම වෙනසක් නෑ. වෙනසකට තියෙන්නේ ඒ ආදරේ මාළඟ තියාගන්න බැරිවීම විතරයි. ඒ ආදරේ මා ළඟ තියාගන්න එකෙන් වෙන්නේ මම ආදරේ කරන කෙනාට හානියක් කියලා කියනවා නම් මට හිතෙනවා දුරින් වුනත් හානියක්, උපද්‍රවයක් නැතුව ඒ කෙනා ඉන්න එක හොඳයි කියලා. ඒ ආදරේට හැමදාටමත් මම ආදරේයි. ඒ ගතවුන කාලය හැමදාටමත් සුන්දර මතකයක් වේවි. ඊට වඩා ඒ ගැන කතා කරන්න මගේ කැමැත්තක් නෑ. ඒ වගේම ජොතිශ්‍ය ඇත්තද බොරුද කියලා තර්ක කරන්න වුවමනාවකුත් නෑ. මගේ සහ මා අවට සිටි පුද්ගලයන්ගේ ජිවිත ගැන බලද්දි මට ඒ ගැන අභියෝග කරන්න ශක්තිය අඩුයි.
මේ සිද්ධි, හැල හැප්පීම්, කම්කටොලු එක්ක මට සතුට, සිනහව, සැනසුම, අස්වැසිල්ල, ආදරය, ඒ වගේම කඳුල, දුක, වේදනාව ගෙනත් දුන්න, මගේ පාළුවට, තනිකමට මගේ ළඟ හිටිය මේ බ්ලොග් පිටුව දැන් මගේ ජිවිතයේ කොටසක් වෙලා අවසානයි.ඉතින් ඉදිරියටත් මම අත්විඳපු අත්දැකීම්, දැකපු දේවල්, අහපු හෝ කියවපු දේවල්, වල්පල් මේ හැමදෙයක්ම මේ ගොඩයාගේ වංහුං පිටුව පුරා ලියවේවි. දවසින් දවස ජීවිතයට එකතුවෙන අත්දැකීම් එක්ක ලියන්න දේවල් එකතු වේවි. ඒ දේවල් අද ඊයේ වගේම හෙටත් වෙලාව තියන විදිහට සහ මට පුලුවන් විදිහට මේ පිටුව පුරවාවි. එදාටත් අද වගේම උඹලා මාත් එක්ක ඉඳීවියි කියා හිතනවා. ඒ කතන්දර එක්ක මෙච්චර දුරක් එන්න මට හයිය දුන්න හැමෝටම මගේ ගෞරව ප්‍රණාමය සමඟ මාගේ හදපිරි ස්තූතිය !!!!!
ඒ වගේම මේ කාලය ඇතුලත මගේ පෝස්ට් එකක් හෝ කොමෙන්ට් එකක් නිසා කාගේ හරි හිත් රිදවීමක් වුනා නම් අනේක වාරයක් සමාවෙන්න මට. හිතා මතා කාගේවත් හිත් රිද්දන්න නම් ලීවේ නෑ මම.
හැමෝටම බොහෝමත්ම ස්තූතියි !!!!
ඉදිරියටත් සහය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා හැමදාටම..............
සැමට ජයෙන් ජය!!!!!