Tuesday, November 13, 2012

රට රස්සා

සැහෙන කාලෙකින් මුකුත්ම ලිවේ නැති නිසා බ්ලොග් එකත් පාලුවටම ගිහින්. පොඩ්ඩක් මකුළු දැල් එහෙම කඩලා පොස්ට් එකක් දාන්න හිතුනා. ඇත්තටම නොලියා ඉන්නේ ලියන්න කරුණු නැතිවටත් වඩා වෙලාව අඩු නිසා. එහෙම නැතුව දවස ගානේ අපේ ජීවිතේට එකතු වෙන අත්දැකීම් එක්ක ලියන්න දෙයක් හොයාගන්න බැරි වෙන්නේ කොහොමද ?  හරි වටේ යන එක නවත්තලා අදාල මාතෘකාවට එමුකො. රට රස්සා. මමත් කරන්නේ රට රස්සාවක් සහ අපේ රටේ දේශපාලුවන්ට පිං සිද්ධ වෙන්න ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් දවසින් දවස සක්තිමත් වෙන නිසා  මගේ යාලුවන්ගෙන් රට රස්සා ගැන විමසීම දැන් ටික කාලෙක ඉඳන් ඉහල ගිහින් තියනවා. ඒ නිසයි අද ඒ ගැන පොඩ්ඩක් ලියන්න හිතුවේ.....

මම උසස් පෙළ කරන කාලේ මමත් මගේ යාලුවොත් හිතුවේ කොහොම හරි ලංකාව ඇතුලේ රුපියල් හැටදාහක හැත්තෑ දාහක විතර වැටුපක් තියන රැකියාවක් හොයාගන්න ඕනේ කියලා. මොකද ඒ කාලේ හැටියට අපිට තේරුනා ඒ මුදලින් හොඳට කාලා බීලා වාහනයක් එහෙම පාවිච්චි කරගෙන උජාරුවට ඉන්න පුළුවන් කියන එක. අනික අපි හැමෝම හීන බලන්නේ පිළිවෙලකට ඉන්නනෙ. ( කාටවත් ලොකුකම් දාන්න නෙවෙයි. ඒත් ඕනෙම එකක් ආසයිනේ තමන්ට කියලා ගෙයක් දොරක්, වාහනයක් තියාගෙන ලස්සනට ඉන්න. ) හැබැයි වාසනාවටද අවාසනාවටද මන්ද මට නිදහස් අධ්‍යාපනයේ දොර උසස් පෙලින් පස්සේ වැහුනා. ඊට පස්සේ ඉතින් රටින් පිටවෙලා උසස් අධ්‍යාපනය හොයාගෙන ආපු පාර තමයි තාමත් මෙහෙට වෙලා ඉන්නේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ දොරගුළු මට විවෘත නොවුන එක ගැන ඒ දවස් වල මම දුක් වුනත් ආපහු හැරිලා බලනකොට හිතෙනවා එහෙම වෙච්ච එකත් හොඳයි කියලා. ඒකයි වාසනාවාටද අවාසනාවටද දන්නේ නෑ කියලා කිවේ. කොහොම හරි මම මෙහෙ ඉගෙන ගෙන රස්සාවක් හොයාගෙන පිළිවෙල වෙනවත් එක්කම ලංකාවේ ඉගෙන ගත්ත මගේ සඟයෝ ටිකත් රස්සාවල් හොයාගෙන ජිවිතේ දුවන අදියරට ආවා. රස්සාවක් හොයාගෙන සමාජයට එනවා කියන්නේ අපි ඔහේ දුවනවා කියන එකයි. මේ රේස් එක මොකක්ද කියලවත් නොදැන අපි දුවනවා. හැබැයි නවතින්න නම් බෑ. එහෙම උනොත් බඩගින්නේ මැරෙන්නේ නිකම්ම නෙවෙයි අපිව යට කරන් දුවන සමාජයට පෑගිලා. හැබැයි දුවලා අනිත් පැත්ත හැරිලා බැලුවහම අපිට ඉතුරු වෙන්නේ හති විතරයි. ඒ විතරක් නෙවෙයි ඒ වෙද්දී අපිට ජීවිතෙත් මඟ ඇරිලා. අපි ජිවිතේ විඳලත් නෑ.

කොහොම හරි කාලයාගේ පිහිටෙන් මමත් මගේ සමවයස් යාලුවොත් මේ රේස් එකට එකතු උනා. මුල් අවුරුද්ද හැමෝම තමන්ට ලැබුන රස්සාව බොහොම සතුටින් ආඩම්බරයෙන් කරා. නමුත් අවුරුද්ද දෙක වෙලා අත්දැකීම් වැඩිවෙනකොට ඔන්න මගේ යාළුවො එක්කෙනා දෙන්නා පිට රට රස්සා ගැන උනන්දු වෙන්න ගත්තා. මාව හොයාගෙන ඇවිත් විස්තර ඇහුවා. මමත් දන්නා විදිහට විස්තර දුන්නා. හැබැයි දැන් දැන් ඒ ඉල්ලීම් එන්න එන්නම වැඩිවෙනවා. ඒ වගේම මම ඉන්න රටේ වගේම අනිත් බහුතරයක් දියුණු රටවල් විදේශ ශ්‍රමිකයන්ට විවෘත කරලා තිබුන දොරවල් ටික ටික වහන්න පටන් අරගෙන තියෙන්නේ.  මම දැනට ජිවත් වෙන්නේ සිංගප්පුරුවේ. කාලයක් මෙහෙ උපාධියක් තියන කෙනෙකුට රස්සාවක් හොයාගැනීම සඳහා එන්න අවුරුද්දක රැදී සිටීමේ බලපත්‍රයක් නැත්නම් විසා ලබා දුන්නා. ඒ අවුරුද්දද ඇතුලත මෙහෙට ඇවිල්ලා රස්සාවක් හොයාගනිමේ පහසුකම තිබුනා. නමුත් දැන් ඒ සියලුම දේවල් අත්හිටුවලා තියෙන්නේ. හැබැයි ඊට පස්සෙත් මාසෙක සංචාරක විසා ලබාගෙන ආපු මිත්රයෙක්ට උදව් කරා රස්සාවක් හොයාගන්න. සැහෙන දුක් විඳලා මාසෙන් බැරිව ආයෙත් ලංකාවට ගිහින් ඇවිත් රස්සාවක් හොයාගත්තා. හැබැයි සැහෙන මහන්සි වෙලා.  දැනටත් මගේ යාළුවො ගොඩ දෙනක් විස්තර අහනකොට මම කියන්නේ " මෙහෙ තත්වය හොඳ නෑ. ඉතින් ඇවිල්ලා මාසයක් ඉන්න ලක්ෂයක් දෙකක් වියදම් කරලා රස්සාවක් නැති උනොත් මොකද කරන්නේ ??" කියන එකයි. ඒත් සමහරු හිතනවා ඇති මම ඉරිසියාවට එහෙම කියනවා ඇති කියලා. කෙනෙක් වෙන රටක ඉන්න කෙනෙක්ගෙන් විස්තර අහන්නේ ඒ රටේ ඇත්ත තත්වය දැන ගන්න. ඉතින් ඒ ගැන නිවැරදි විස්තරයක් නොදී බොරුවට වරෙන් කියන්නේ කොහොමද ? එහෙම කියලා ලංකාවේ රස්සාව දාලා ඇවිල්ලා මෙහෙ රස්සාවක් නැති උනොත් මොකද කරන්නේ ?



ලංකාවේ බොහොම බුද්ධිමත් දේශපාලුවන්ට ස්තුති වෙන්න මිනිස්සුන්ට ජිවත් වෙන්න එන්න එන්නම අමාරු වෙනවා. හැට හැත්තෑ  දාහක් නෙවෙයි ලක්ෂයක් ගත්තත් කොල්ලෙක්ට තමන්ගේ කියල ගෙයක් හදන්න, වහනයක් ගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒ නිසා ගොඩ දෙනෙක් රට රස්සා ගැන හීන මවනවා. ඒ නිසාම ලංකාවේ ඉන්නා විදේශ රැකියා නියෝජිතයෝ ගොඩ දෙනක් තමන්ගේ හොද්ද බොර කරගන්නවා. විශේෂයෙන් ගොඩක් කම්කරු රැකියා සඳහා යන පිරිසට කියන්න තියෙන්නේ පිට රට ගිහින් හම්බවෙන සොච්චමට වඩා ඒ ප්‍රමාණයටම ලංකාවේ වැඩ කරනවා නම් ඒ මුදලටත් වඩා මුදලක් හොයාගන්න පුළුවන් කියලයි. ලොකු ගානක් හොයන්න පුළුවන් කම්කරු රැකියා තියනවා. හැබැයි රැකියා අවස්ථා ටිකයි. ඔය ගොඩක් විදේශ රැකියා නියෝජිතයෝ ළඟ තියෙන්නේ එහෙම රැකියා නෙවෙයි. ඒ අය කරන්නේ වහල් වෙළදාම. අනික කම්කරු රැකියාවලට කියලා සමහරු සිංගප්පුරුවට එක්කගෙන ඇවිල්ලා අතරමං කරනවා. හේතුව ලාංකිකයන්ට සිංගප්පුරුවට ඇතුල් වෙන්න අවසර ගුවන් තොටුපලින් ලබාගන්න පුළුවන්. වලංගු ගමන් බලපත්‍රයක් තිබ්බා නම් ගුවන් ටිකට් පත ප්‍රමාණවත් සිංගප්පුරුවට එන්න.  ඉතින් එහෙම එක්කන් ඇවිල්ලා ඔහේ අතරමං කරලා යන තරුණයොත් මෙහෙ ඉන්නවා. නීති විරෝධිව රැඳී ඉඳලා රැකියා කරන අයත් ඉන්නවා. හැබැයි මේ අය විඳින දුක් කම්කටොලු නම් එමටයි. මොකද අනවසරයෙන් ඉන්න නිසා කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්න වෙනවා. සමහර වෙලාවට 6 දෙනෙක් ඉන්න පුළුවන් ගෙදරක මේ වගේ අය 30ක් විතර ඉන්නවා. මේ ඉතින් මම දන්නා සහ දැකලා තියන දේවල් ටිකක්. 

මේ ටික කියන්න හිතුනේ රටේ ආර්ථිකය දිනෙන් දින මිය යාම නිසා රටින් පිටවෙන්න  වැර දරන තරුණ පරම්පරාවේ ඒ සඳහා ඕනෙම අභියෝගයක් භාර ගන්න සුදානමින් දුරදිග නොබලා වැඩ කරන පිරිසක් අනිවාර්යයෙන් ඉන්නවා කියලා දන්න නිසා.  රටේ තියන තත්වයත් එක්ක ජිවිත් වෙන්න ඔට්ටු අල්ලද්දී ඒ තරගේ දිනන්න වෙන රටකට යන එකේ ගැටළුවක් නෑ. හැබැයි කවදාවත් ජිවිතේ එක්ක ඔට්ටු අල්ලන්න එපා. මොකද තමන්ගේ ජිවිතේ උගසට තියලා රටකට පය ගැහුවා වගේ නෙවෙයි ඊට පස්සේ එන ප්‍රශ්න වලදී ලංකාවේ වගේ වචනයකින්වත් උදව් කරන්න කිසිම කෙනෙක් නෑ. දැන් නම් එහෙම උදව් ලංකාවෙ ජිවත් වෙන පිරිසගෙන් ලැබෙන්නෙත් අඩුවෙන් මං හිතන්නේ. අඩුම ගානේ මෙහෙම කියන මම උනත් කෙනෙක් නීති විරෝධිව සංක්‍රමණය වෙලා මොකක් හරි උදව්වක් ඉල්ලුවොත් බෑ කියනවා. ඒ තියා නිත්‍යානුකුලව ඉඳලා ප්‍රශ්නයක් ඇති කරගත්තත් උදව් කිරීමේ අවස්තාව හරිම අඩුයි. එකක් අපිත් ඉන්නේ අනුන්ගේ රටක වීම, අනිත් එක ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්නට ගිහින් අපි අමාරුවේ වැටෙන්නට ගිය අවස්ථා වලින් ඉගෙන ගත්ත පාඩම්. 
 කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ අපේ රටේ වගේම ගොඩක් රටවල ආර්ථික තත්වය හොඳ නැති නිසා ඒ රටවල් වල පුරවැසියන්ට අවස්තාව ලබාදීමේ අරමුණින් ඒ ඒ රටවල් විදේශිකයන් සඳහා රැකියා අවස්ථා වසා දමන නිසා එන්න එන්නම විදේශ රැකියා අවස්ථා අඩු වෙනවා.. ඉතින් විදේශ රැකියා හීනය දකින හැමෝටම කියන්න තියෙන්නේ රටකට යම් ක්‍රමයකින් ඇතුළු වී රැකියාවක් සොයා ගැනීමේ අරමුණක් හෝ රැකියා අවස්තාවක් ලැබී රටකට යාමේ අරමුණක් ඇති නම්  ඒ පිළිබඳව හරියටම තොරතුරු දැනගෙන නොරටකට පය ගහන්න කියලයි. විශේෂයෙන් නීතියට පිටින් වෙනත් රටකට ඇතුල් වෙන්න උත්සහ කිරීමේදී මුණ දෙන්න වෙන දුක් කරදර වලදී ඔබ පිළිබඳව කිසිම වගකීමක් ඔබට හැර වෙනත් කාටවත් නෑ. අනිත් එක ඔබේ මිත්‍රයෙක් වෙන රටක සේවය කරා කියලා ඒ කෙනාට ලංකාවේ ඉන්නා කෙනෙක්ට රැකියාවක් සොයාදීමට ඇති ඉඩ ප්‍රස්තාව බොහොම අඩුයි. හේතුව ඒ පුද්ගලයත් සේවය කරන්නේ තමන්ට අයිති නොවන සමාගම නිසා තමන් අයිති නොවන රටක වීම සහ " මචං ඔහෙන් රස්සාවක් හොයලා දීපන්කො" කියලා කියනවා තරම් ඒ වැඩේ සරල වැඩක් නොවන නිසා. එසේ ඇසීමෙන් සිද්ධ වෙන්නේ රට සිටින මිතුරා අසරණ වීම සහ නිරුත්තර වීමයි.

 ඒ කෙසේවෙතත් දැනටමත් මගේ යාලුවන්ගෙන් අඩකට වඩා ප්‍රමාණයක් රැකියා කරන්නේ ලංකාවෙන් පිට. ඒ අය අතර බහුතරය ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිහිටෙන් උපාධි ලබාගත් අය. මේ පිටට ගලා යන්නේ අපේ රටට වැඩ කරන්න තිබුන අපේ රටේ තරුණ ජවය. ඒත්  සම්පත් වලින් වැඩක් නොගන්න, ඒ සම්පත්වලට හරි හමන් තක්සේරුවක් නොදෙන රටකට සම්පත් තිබුනයි කියලා වැඩක් වෙයිද ?


රට රස්සා සොයා යන හැම දෙනාටම සුභ පතන අතර විදේශ ගත වී තම සේවය සැලසීමෙන් පසු සුරක්ෂිතව තමන්ගේ රටට ලඟා වීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!!!!!

Monday, May 14, 2012

ආදරණිය ඔබා මාමේ................

ඔබ ගැන බ්ලොග් අවකාශයට කියන්නට මගේ වචන අනවශ්‍යයි.....  බ්ලොග් අවකාශේ ඉන්න ඕනෑම කෙනෙක් ඔබ ගැන හොඳාකාරවම දන්නා බව මම දන්නවා. ඔබා මාමාව දැන අඳුර ගත්තේ අන්තිම පේලියෙන්. ඒත් මඩ ගැසීමේ ව්‍යාපාරය නිසයි. ඊළඟට මම සද්ද නැතුව මගේ බ්ලොග් ඒක ලියාගෙන යද්දී කුරුණෑගල සම්බන්ධව ලියපු පෝස්ට් එකකට මාමා ඇවිල්ලා පලවෙනි කොමෙන්ට් එක දැම්මා "මන් නොදන්න බූ ඇල, 75 ඉඳන් 89 විතර වෙනකන් කුරුණෑගල සහ ඒ අවට තමය් පුතා රස්සාව කලේ. මේ අර තව සයිට් එකකත් ලියන ගොඩයමද? කොහොම වුනත් කි.මි. 36 ක් දුර කොහේ ඉඳන්ද පුතා කුරුණෑගලට ඉස්කෝලෙ ආවෙ?" කියලා. එතැන් පටන් මගේ හැම පෝස්ට් එකකටම සැර මඩ, හාස්‍යය, උපහාසය මුසු කලේ ඔබයි මාමේ. පෝස්ට් එකක් දැම්මට පස්සේ ඔබා මාමාගේ කොමෙන්ට් එක එනකම් මග බලාගෙන ඉන්නේ මොන මඩක් වදීද ? කොහොම උත්තර දෙන්නද කියලා. හැමදාමත් වගේ මාමාගෙන් ඊමේල් එකක් බලාපොරොත්තු වුනා මාමේ. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ඒ හැමදෙයක්ම මගේ මුහුණට හිනා රැල්ලක් අරන් ආව නිසා. ලේසියෙන් කඳුලක් නොනගින මගේ ඇහැට  මාමාගේ වියෝව ආරංචි වුන වෙලේ කඳුලක් ආවේ මටත් හොරා. මුළු ජීවිතේටම හෝරා කීපයක් මුණගැසුන මිනිහෙක් වෙනුවෙන් මගේ ජීවිතේටම ඇහැට කඳුලක් නැගුනා නම් ඒ ඔබ වෙනුවෙන් පමණයි මාමේ......  ඒ වෙනකනුත් මට දැනෙන්න නැතිව ඇති ඔබා මාමා මගේ ජීවිතේට කොතරම් සමීපද කියලා. ඔබා මාමේ ඔබ අපේ මාමායි. බ්ලොග් අවකාශයටම ඔබ අපේ එකෙකි.

ආරංචියේ හැටියට ඔබා මාමා අපෙන් වෙන්වී ඇත්තේ හදිස්සියේම. මම හිතන්නේ ඒක බොහොම වාසනාවන්ත මරණයක්. හැමෝටම සතුට, හිනාව බෙදපු ඔබට දුකක්, කඳුලක් අයිතිවෙන්න කිසිම අවස්ථාවක් නෑ මාමේ....  මාමා අපිව දාලා ගිය එකෙන් පාලු අපිටයි මාමේ. පාඩුවත් අපිටයි. අපි කඳුළු සැලුවට  මාමා කොහේ හිටියත් හිනාවෙලා ඉන්නවාට සැක නෑ මාමේ. මාමාගේ මුණේ පිරිලා ඉතිරුණ හිනාව, මාමාගේ හදවතේ පිරිලා ඉතිරිලා ගිය මනුස්සකම කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ මාමේ. මාමා අපේ හිත්වල සදාකල් ජිවත්වෙනවා මාමේ. අපේ හිත් වල ඔබ අමරණීයයි මාමේ... අපිව හිනස්සපු, අපිට තිබුන ප්‍රශ්න, දුක් කරදර අමතක කරවපු පිනම ඇති යන තැනක හැමදාමත් හිනාවෙලා ඉන්න.  ආයෙත් මේ දුක පිරුණ සසරට එකතුවෙන්න කියන්න තරම් ආත්මාර්ථකාමී වෙන්නත් බෑ මාමේ. ඒත් මෙච්චර ඉක්මනට මාමා වගේ මිනිස්සුන්ට යන්න දෙන්න හිතදෙන්නෙත් නෑ මාමේ. නිවන් දකින්නට පෙර නැවත එක වතාවක් හරි අපි අතරට ඇවිල්ලා අපිව බලලා යන්න එන්න මාමේ...................

ආදරණිය ඔබා මාමේ,
ඔබට නිවන් සුව අත්වේවා !!!! 



යන්න කලින් ඔබා මාමා මගේ කැමරාවේ ඉතුරු කරලා ගිය මතක සටහන්.......
















Saturday, March 24, 2012

එදාට වඩා ඔබ අපට අවැසි අදයි මැතිදුනි........................

සැහෙන දවසකින් ,මුකුත් ලියන්න වෙලාවක් ලැබුනේ නෑ. ලියන්න දේවල් නැතුවමත් නෙවෙයි. ඒත් වෙලාව තමයි හොයාගන්න අමාරු. මේ දවස් වල ලංකාවේ වැඩිපුරම කතා වෙන මාතෘකාවනේ ජිනීවා. අනේ මන්දා ලංකාවේ ප්‍රධානා නගර ටිකවත් නොදන්නා ගමේ ගොඩේ සිදාදියේ ඈයෝ හැමෝම දන්නවා ජිනීවා ගැන. හැබැයි තියන්නේ කොයි ලෝකෙද කියලවත් දන්නේ නැතුව ඇති. ගිරව් වගේ කට්ටියම ජිනීවා, ජිනීවා, ජිනීවා...... කිය කියා ඉන්නවා. ජිනිවා යන්න කලින් කට්ටියක් ඇමරිකාව වර්ජනය කරා. දැන් ගිහින් ආවට පස්සේ ඉන්දියාව වර්ජනය කරනවා. මුණු පොතේ වීර වැකි, සටන් පාඨ පිරිලා.......  අනේ මන්දා........  
මම සාමාන්‍යයෙන් දේශපාලනය ගැන ලියන කතා කරන මිනිහෙක් නෙවෙයි. ඒත් කතා කරන්න ඕනේ තැනදී කටවහගෙන ඉඳලා වැඩකුත් නෑනේ. හැබැයි මේ ලියන්න යන්නේ ජිනීවා ගැන නෙවෙයි. ඒ සිද්ධිය එක්ක මට මතක් වුන සහ හිතුන දේවල්........

මේ කතන්දරේ එක්ක මට මතක් වුනේ අපේ රටට අහිමිවුන වචනයේ පරිසමාප්තයෙන්ම  අමිල මෙහෙවරක් කල ශ්‍රේෂ්ඨ නායකයෙක්.......   එතුමා තමයි දිවංගත ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා.  කටක්  ඇරලා කිසිම හිරිකිතක් නැතුව මැතිතුමා කියලා ආමාත්‍රණය කරන්න පුළුවන් නායකයෝ අපේ රටේ හිටියා නම් ඒ අතේ ඇඟිලි ගානටත් අඩු බව මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.  කාලකණ්නි යුද්ධය නිසා අපිට අහිමිවුන වටිනාකම නිමක් නැති ජනතා නායකයෙක්.  මේ ජිනීවා අලකලංචිය වෙලාවේ මගේ සිහියට ආවේ මෙතුමා. වෙන එකක් නිසා නොවෙයි 1994 වර්ෂය වෙනකම් කොටි විසින් ලෝකේ බලවත් රටවල් අතර ප්‍රචාරය කෙරුන අසත්‍ය වීඩියෝ සහ කරුණු හේතුවන් අපේ රට ගැන ලබා දී තිබු  වැරදි ප්‍රතිරූපය  තරමක හෝ වෙනසකට ලක්කලා නම් ඒ ක්‍රියාව සිද්ධ කලේ මෙතුමා නිසා.  ජිනීවා ගැටලුවේදීත් අපිට අවාසිවුනේ මියගිය කොටියා විසින් ගොඩනගපු ඒ ප්‍රතිරූපය නොවෙයිද ? කොටියා මියගියත් ඒ ප්‍රතිරූපය මරාදැමීමට නොහැකි තරම් ශක්තිමත්ද ???  මට නම් හිතෙන්නේ ඒ ප්‍රතිරූපය කඩා දැමීමට තරම් ශක්තිමත් මිනිසෙක් අද අපි අතර නැති බවයි. ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමනි, ඔබ මගේ මව්රට හැර ගියේ අපේ සහ අපේ රටේ අවසානාවටයි. ඔබ වැනි මිනිසෙක් රටට අවැසිම මොහොතකි....  ඔබ ඒ කල අමිල අමරණිය සේවය අති විශිෂ්ඨයි. අවාසනාවත්නම කාරණය නම්  අද වන තුරුත් ඒ සේවයට කිට්ටු සේවයක් සැපයීමට තරම්වත් මිනිසෙක් අප සතුව නැත....   අගාම්,ජාති භේදයකින් තොරව රට ගැන හිතන ඔබ වැනි නායකයින් මේ මොහොතේ රටට අත්‍යවශ්‍යයි මැතිතුමනි. ඒත් අපේ අසරණකමට අද සිටින නායකයින් යැයි කියාගන්නා බහුතරය ඔබතුමාගේ පයට පෑගුන දුවිල්ලක් තරම්වත් නොවටී. 2005 අගෝසතු මස 12 දිනයි සහාසික කොටි ත්‍රස්තවාදීන් විසින් ඔබතුමාව අපෙන් සහ දැයෙන්  උදුරාගත්තේ. අවුරුදු 7ක් ආසන්න කාලයක් ගතවුනත් ඒ උන් ලැබුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක්‌ බව අදටත් මට සිතේ. අපි එදා ලැබූ පරාජය අදත් එලසින්මයි... 
මැතිදුනි, ඔබේ සේවයට ආදේශකයක් තවමත් අපට නැත. ඒ සේවය එතරම් ඉහලයි, විශිෂ්ඨයි, අමිලයි, අමරණීයයි.....  ඔබ අප හැරගියත් ඒ මතකය කෙදිනකවත් අපව අතහැර නොයයි. මන්ද ඒ හිඩැස පිරවීමට තවකෙකුට නොහැකි හෙයිනි. ඔබතුමාට නිවන් සුව ලැබේවා !!! 

මේ ජිනීවා සමුළුව සම්බන්ධව අපේ රටේ කිසිම නායකයෙක් ජනතාව හරිහැටි දැනුවත් කලාද කියා නම් මට සැකයි. ජනතාව දැනුවත් කිරීමට ප්‍රථම ඔය කියන නායකයින් ඒ ගැන දැනුවත්දැයි කියා ප්‍රශ්නයක් මගේ හිතට නැගේ. ජනතාව කුලප්පු කරමින් ඇමරිකාව වර්ජනය කරන්නට කෙනෙක් කෑගැසුවේය. අනිත අයත් උඩින් පල්ලෙන් මොනවා හරි කියනවා විනා හරිහමන් දෙයක් කීමට කෙනක් නොමැත. හැබැයි ඔය කාගේ කාගේත් කෑගැසිලි රට ඇතුලට සිමාවෙලා. එක අතකට එහෙම වෙලා තියන එකත් ලොකු දෙයක්. එහෙම නොවේ නම් ඔය වගේ ගොන් කතා අන්තර්ජාතිකව ප්‍රකාශ කිරීමෙන් වෙන්න අපිට කබලෙන් ලිපට වැටෙන්නයි. මට නම් එක දෙයක් පැහැදිලියි. රටකට ගිහින් කට ඇරලා අනිත් රටවල මිනිස්සුන්ට තෙරෙන විදිහට ඇත්ත කියා ගන්න තරම් කොන්ද පණ ඇති එකෙක් අද අපේ රටේ නැත. මානව හිමිකම් ප්‍රශ්නයේදීත් මට හිතෙන්නේ ඒ අඩුව අපිට ගොඩක් බලපෑවා.  කොහොමන් කොහොම හරි දැන් ඉතින් ඒ නාඩගමත් ඉවරයි. දැන් ඉතින් ඉන්දියාවයි, අර රටයි, මේ රටයි වර්ජනය කරන්න කතා කර කර කාලේ කන්නේ නැතුව මේ වැටිලා තියන වලෙන් ගොඩ එන්නට උත්සහ කරොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.  රටවල් වලට පාඩම් උගන්නන්න කලින් වෙච්ච වැඩෙන් අපි පාඩමක් ඉගෙන ගෙනඉමු. 
ජනාධිපතිතුමනි, තව දුරටත් ඔබතුමාගේ හෙන්චයියලාට සියලුම තනතුරු පුජා කරනු මැනවි. මෙලෝ හසරක් බැරි ඔබතුමාට ගොට්ට අල්ලපු සියලුම ඈයන්ව තානාපතිවරු කර රට රටවල් වලට යවන්න. ඔබතුමා වෙනුවෙන් ජන්දෙට කඩේ ගිය,  කුඩු විකුණන අඩු ගානේ සාමාන්‍ය පෙළවත් සමත් නැති ඔල මොට්ටල මැරයන්ට අමාත්‍යංශ භාර දෙන්න. සුදුසුකම් එහෙම තියන වෙන අය ඉන්නවද කියලා හොයන්නවත් එපා. ඔබතුමා බලයට ආපු ගමන් ඒ කොරපු ගොන් පත්වීම් වල ප්‍රතිපල අපිට නම් දැන් හොඳට පේනවා. ඒත් ජනාධිපතිතුමනි මොනවත් වෙනස් කරන්න එපා. ඔය විදිහටම ඔය ගොන් හැත්ත එක්ක මේ වල කපන්න . මොකද ඔය වලට වැටෙන්නේ ඔබතුමාවත් ඔබතුමා වටේ ඉන්න ඔය ගොන් රැලවත් නෙවෙයි. අහිංසක අපියි.......... 

මේවා ලීවා කියලා ජනාධිපතිතුමාට පෙන්නේ නෑ කියලා දැන දැනත් ලියන්නේ හිතේ අමාරුවටයි........

Thursday, February 23, 2012

අහස සිසාරා නැගී නුඹ..........

" පුතේ අනේ අර ඔයාට වෙච්ච බාරය ඔප්පු කරන්නේ නැද්ද ? කී දවසක් නම් ඔයාට කීවද බෝධියට ගිහින් භාර වෙච්ච පුජාව තියලා එන්න කියලා" ඒ සතියක දෙකක ඉඳං අපේ අම්මා කරන ඉල්ලීමක්.  " අනේ අම්මේ ගමේ පන්සලේ බෝධියට වගේ නෙවෙයිනේ. ඔය කියන පන්සලට කුරුණැගලිනුත් එහාට යන්න ඕනේ. අනික පුජාව තියනවා කීවෙත් උදේ 6ටද 7ටද නේද ?  ටිකක් පාන්දර යන්නත් එපැයි. වෙලාවක් ලැබුන හැටියේ කා එක්ක හරි ගිහින් ඒ වැඩේ කරන්නම් " කියලා උත්තර දුන්නේ නිකම්මම නෙවෙයි. හැකි ඉක්මනින් ගිහින් ඒ බාරයෙන් නිදහස් වෙන්න හිතාගෙන.අම්මා මා වෙනුවෙන් මාස්පොත බෝධියට භාරයක් වෙලා තිබ්බා. මම ගිහින් ඒක ඔප්පු කරනකම් ඒක අපේ අම්මගේ ඔලුවට ලොකු බරක්. ඔය කතාවෙන් දවස් දෙකතුනකට පස්සේ ඔන්න බදාදා දවසක උදේ අම්මා කියපු බෝධියට යන්න ලැහැස්තිවුනා. මගේ තනියට අපේ ගෙවල් ළඟ අයියා කෙනෙකුත් එකතු කරගත්ත. පින් අතේ වැඩකටනේ යන්නේ. ඔන්න ඉතින් මම මගේ සහයට පුෂ්පේ අයියත්  එකතු කරගෙන බදාදා දවසක පාන්දරම ගියා මාස්පොත බෝධියට.



මට මතක විදිහට ඒ ඕලෙවල් හරි ඒලෙවෙල් හරි කිට්ටු කාලයක්. උදේ බෝධි පුජාවට විශාල සෙනගක් හිටියා. විභාගෙට ආශිර්වාද ලබාගන්න අම්මලා තාත්තලා එක්ක ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමයි වැඩිපුර හිටියේ.  පුජාවට අවශ්‍ය කළමනා ලැහැස්තිකරගෙන අපි දෙන්නත් සෙනග අතරෙන් හාමුදුරුවන්ට කිට්ටුවෙලා භාරයක් ඔප්පු කරන්න ආපු බව කීවහම උන්වන්සේ ඒ අවශ්‍ය දේවල් කල යුතු ආකාරය පැහැදිලි කරලා දුන්නා. තදබදයේ උනත් ඒ කළමනා, දැහැත්, මල්, පහන්  එහෙම පුජා කරලා, අවශ්‍ය කටයුතු එකලාසයක් කරලා අපි දෙන්නා විහාර ගෙයින් පිටමං වෙලා බෝධි මළුවට පියමැන්නා. පන්සලේ සෙනග හිටියත් බෝ මළුව බොහොම නිස්කලංකයි. ලා හිරු රැස් පතිත වුන බෝ මලුව පුරාම ශාන්ත බවක් පැතිරුනා. ඒ ශාන්තබවට, සැනසිල්ලට හිත ඇදිලා ගිය නිසා මාත් අයියත් බෝ මළුවේ සුදු වැලිතලාවේ වාඩිවුනේ වන්දනාකරනවාටත් වඩා බෝ පත් සෙවනේ දැනුන සැනසිල්ල, සිසිලස, ශාන්තබව රිසිසේ හිතට ගලාගෙන යන්න ඉඩදෙන්නයි.

අපි දෙන්නා බෝ මළුවේ වාඩිවෙලා දන්නා විදිහට ගාථා කියමින් වැන්දා. ඊට පස්සෙත් නැගිටලා එන්න හිතක් නොතිබුන නිසා උන් තැනම වාඩිවෙලා බෝ මලුවේ ඒ මේ අත ඇස යවද්දී මම දැක්ක මගේ අම්මාගේ වයසම ඇති අම්මා කෙනෙක්. ඒ අම්මව මම දැක්කේ පන්සලට ආපු වෙලාවෙයි. ඒත් ඒ වෙලාවේ අවධානය යොමුවුනේ නැතත්  එක පාරටම මගේ අවධානය ඈ වෙත යොමුවුනා. මිට පෙර කොහේදී හෝ ඈ හමුවී ඇති බව හිතුනත් ඒ ගැන හරි හමන් නිනව්වක් මගේ හිතේ තිබුනේ නෑ. " නෑ මම දන්නා කෙනෙක් වෙන්න බෑ " මටම කියාගත් මම නැවතත් ඈ වෙත ඇස යොමුකළා.  ඈ ඉතා වුවමනාවෙන් සැහෙන වෙලාවක ඉඳං වතාවත්වල යෙදුන බව මට පැහැදිලියි. ඒ වගේම මට හිතුනා  මේ අම්මගේ වතාවත් සියල්ලම ඇයගේ දරුවෙකු වෙනුවෙන් කියලත්. ටික වෙලාවක් මම මගේ මනෝ ලෝකේ තනිවෙලා හිටියේ කිසිම අරමුණක් නැතුව. ආයෙත් මේ ලෝකෙට ඇවිල්ලා වටපිට බලද්දී මම දැක්කා අර අම්මා වතාවත් කටයුතු ඉවර කරලා බෝ මළුවට වෙලා ඉන්නවා. ඒ එක්කම ඇයගේ ඇස් මා වෙත යොමුවුනා. මද සිනහවකින් සංග්‍රහ කරපු ඇයට මමත් මඳ සිනහවකින් සංග්‍රහ කරා. ඇගේ දෙනෙත් වල බොහෝ වෙහෙසකාරී බවක්, පිඩාවක ලකුණු මම දැක්ක. ඊටත් විනාඩි 5කට විතර පස්සේ අපි පන්සලෙන් පිටත් වෙන්න ලැහැස්ති වෙද්දී අර මෑණියන්ව මගේ ඉදිරියටම මුණගැහුනා.

"පුතාලා යන්නද ? " මඳ සිනහවක් ආයාසයෙන් මුහුණේ ඇඳගනිමින් ඇය මගෙන් ඇසුවා. " ඔව් අම්මා. අම්මා භාර වෙච්ච බාරයක් ඔප්පු කරන්න ආවා. බෝ මළුවේදි පුදුම සැනසීමක් දැනෙනවා. ඉතින් පොඩ්ඩක් වාඩිවෙලා හිටියා." මමත් උත්තර දුන්නා. "මගෙත් ඉන්නවා පුතාගේ වයසේම වගේ පුතෙක්. මම මේ එයා වෙනුවෙන් පුජාවක් කරන්න ආවේ. පුතා දැක්කහම මට මගේ පුතාව මතක් උනේ "  ඇගේ ඒ වචනය පන්සලෙන් පිටත්වෙන්න සුදානම් වුන මාව මොහොතකට නතර කළා. මට හිතුනා පොඩ්ඩක් ඒ අම්මත් එක්ක කතා කරන්න. මොකක් නමුත් දරුවෙක් නිසා ලොකු බරක් දරාගෙන ඉන්න බව මට හිතුන නිසා මම පොඩ්ඩක් නැවතුනා. " පුතා මොකද කරන්නේ ? " ඇය නැවතත් මගෙන් ඇහුවා. " මම වැඩිදුර අධ්‍යාපනයට රට යන්න කියලා. ඒ වැඩේට තමයි අම්මා හාරවෙලා තිබ්බේ. ඉතින් වැඩේ හරි. ඒ නිසා යන්න කලින් බාරය ඔප්පු කරන්න ආවේ.  අම්මගේ පුතා මොකද කරන්නේ ?" මගේ හිතේ කැකෑරි තිබ්බ ප්‍රශ්නය එලියට දැම්මා.

"මගේ පුතා එයාර් ෆෝස් එකේ පයිලට් කෙනෙක්. තාම ට්‍රේනින්. අද උදේ එයාට පරීක්ෂණයක් තිබ්බා. එකෙන් පාස් වුනොත් තමයි ජෙට් වලට යන්න පුළුවන්. එයාට නිතර කතා කරන්නත් බෑ. ඒත් කතා කරපු වෙලාවක කිවා හරිම අමාරුයි. ෆේල් වෙයි කියලා බයයි කියලා. ඒ නිසා එයාගේ පරීක්ෂණය ඉවරවෙනකම් තමයි මම මේ පුජාව තිබ්බේ. මට පුළුවන් එකම දේ තමයි ඉතින් මේ. තුරුණුවන්ගේ ආශිර්වාදය ඉල්ලන එක එයා වෙනුවන්." හදවතේ ලොකු බරක් එක්ක ඇය විසින් ඒ වචන ටික ගැලපුවේ තරමක ආයාසයෙන්. " පුතා කොහෙටද ස්කොලේ ගියේ ?" ඇය නැවතත් ප්‍රශ්නයක් ඇසුවා. " මම මලියදේව බෝයිස්‌ එකට ගියේ." මගේ ඒ පිළිතුරත් එක්ක ඇගේ මුහුණට සිනහවක් නැගුනා. ඉතින් පුතේ මගේ පුතා ගියෙත් බෝයිස්‌.. මොන අවුරුද්දේද ඒ ලෙවෙල් කලේ ? මොනවද කලේ ? " තව ප්‍රශ්න කීපයක්ම ඈ ඇසුවා. " මම 2004. මැත්ස් කලේ. හැබැයි 2005ත් එක්සැම් ලියන්න උනා." එවර ඇගේ දෙනෙත් දිලිසෙන්න වුනා. " අනේ පුතේ මගේ පුතාත් මැත්ස් කලේ 2004. එයත් දෙවැනි පාර කළා. නම තරිඳු." ඒ වාක්‍යයත් එක්ක තරිඳු නමින් ඉන්නා මගේ යාළුවන්ගේ මුණු අතර හිතින් සැරිසැරුවා. ඒත් එයාර් ෆෝස් ඉන්න එකෙක් නම් මගේ හිතට ආවේ නෑ. " අම්මා, සර් නේම් එක මොකක්ද පුතාගේ ? තරින්දුලා ගොඩක් ඉන්නවා." තරින්දුලාගේ පැටලිල්ල ලිහාගන්න හිතාගෙන මම ඇහුවා.        " සර් නේම් එක හේරත්. ආ.... එයාට ස්කොලේ හැමෝම කියන්නේ ටී.කේ කියලා." ඒ වාක්‍යයයේ අවසන් අකුරු දෙක කනට වැටෙද්දීම දැනුන සතුට නිම් හිම් නැතිවුනා. හරියට මගේ මනස තත්පර ගානකට ගල් ගැසුනා වගේ උනා. " අම්මා ටී.කේගේ අම්මාද ? අනේ අම්මා ටී.කේ එයාර් ෆෝස් ගියාට පස්සේ ආරංචියක් ගන්න මොනතරම් අපි දැඟලුවද ? අම්මා මම ටී.කේගේ පන්තියේ හිටියේ. අම්මා උයලා එවන බත් එක අපි හැමදාම පොර කකා එකට කෑවේ. මගේ නම නම් අහලා ඇති මම ගොඩමුණේ. ටී.කේලා නම් කියන්නේ ගොඩයා " කියලා.  මගේ වචන පෙළත් එක්ක ඒ මෑණියන්ගේ දෑසට කඳුලක් උනනවා මා දැක්කා. " අනේ පුතේ අහලා  තියනවා, දවසක් දෙකක් දැක්කට මට මතක නෑ. කොල්ලෝ ඔක්කොම එක වගේනේ. මගේ පුතා දැක්ක වගේ සතුටුයි." ඒ විදිහට තමයි මට ටී.කේගේ අම්මා අහම්බෙන් මුණගැහුනේ. ඒ 2006දි....  එදා මම ටී.කේ අම්මත් එක්ක ගොඩක් වෙලා කතා කළා. අපිත් එක්ක හිටපු කොල්ලෝ ගැන විස්තර ඇහුවා. ඔක්කොටම වඩා ගොඩක් වටිනා දෙයක් මට ලැබුනා. ඒ තමයි ටී.කේගේ දුරකථන අංකය. සම්බන්ධ කරගන්න අසීරු උනත් ලංකාවෙන් එන්න කලින් කොහොම හරි මම ටීකේට කතා කළා.

ටී.කේ කියන්නේ මගේ මිත්‍රයෙක්. නිකම්ම නිකම් මිත්‍රයෙක් නෙවයි අන්තිම පේලියේ මාත් එක්ක දුක සැප බෙදාගත්තු, එක බත් එක බෙදාගෙන කාපු, ජය පැරදුම එකට බෙදාගත්ත මගේ සහෝදරයෙක්. ටීකේටයි මටයි උසස්පෙළ දෙපාරක් කරන්න වෙච්ච එකට අපේ මිත්‍රකමත් ප්‍රධාන හේතුවක් මයේ හිතේ. කොලුකමට කරන්න තියන නොසන්ඩාල වැඩ කරපු  අපිට බොහොම සුන්දර මතකයක් තියනවා. පලවෙනි වතාවේ විභාගේ ඇනගත්ත අපි දෙන්නම දෙවැනි පාර ගොඩ. ටී.කේට ඒ දවස්වල වුවමනා වුනේ නාවික ඉන්ජිනේරුවක් වෙන්න. ඒත් දෙවැනි පාර ප්‍රතිපල ඇවිල්ලා ටික දවසක් යද්දී මෙන්න මූ කියපි එයාර් ෆෝස් යනවා කියලා. අහස මොකද සයුර මොකද ? එහෙම කියපු අපේ සහෝදරයා අහස ජයගන්න ගුවන් හමුදාවට සම්බන්ධවුනා. හැබැයි පුහුනුවීම් තියන කාලේ නම් කිසිම ආරංචියක් ලැබුනේ නෑ. නිලධාරියෙක් විදිහට ස්ථිර වුනාට පස්සේ නම් ඔන්න ටී.කේ එක්ක කතා බහ කරන්න, සම්බන්දකම් පවත්වන්න  අවස්තාව ලැබුනා. ගිය පාර ලංකාවට ගිය වෙලාවෙත් ටී.කේව හම්බවෙලා ආවේ. ටීකේ කියන්න ඒ වෙද්දී ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා ගුවන් නියමුවෙක්.


මේ ඉන්නේ අපේ වීරයා 

හැබැයි මම ඉහතින් සඳහන් කරපු සිද්ධිය මට එක පාරටම මතක්වෙන්න හේතු වුනේ ඉතා මෑතකදී සිදුවුන ආන්දෝලනාත්මක සිද්ධියක්. ඒ තමයි පෙබරවාරි 13 වෙනිදා හදිසියේම පුහුණුවේ යෙදුන මිග්27 ප්‍රහාරක යානාවේ කඩා වැටීම.... ප්‍රවෘත්තිය අන්තර්ජාලය හරහා දැක්ක ගමන්ම මට මතක් වුනේ ටී.කේව. දන්නා කියන උන්ට කියලා අහලා බැලුවා. ඒවගේම ටී.කේගේ ජංගම දුරකතනයට කතා කරන්න උත්සහ කරා. ඒත් ප්‍රතිචාරයක් නෑ.  ඒ අතරේ අපේ සහෝදර කොඩිකාර මට කෙටි පණිවුඩයක් එව්වා. " මචන්, ටී.කේ තමයි ෆ්ලයිට් එකේ ඉඳලා තියෙන්නේ. හැබැයි කොල්ලට අවුලක් නෑලු" කියලා. බොරු කියන්නේ මොකටද ඒ පණිවුඩයත් එක්ක මගේ බොක්ක කූල් වුනා සෙල්සියස් රින ගණන්වලටම.  මෙච්චර වෙලා මූද දන්නේ නෑ ගියේ කියලා කල්පනා කර කර හිටිය එකේ දැන් ඒක ස්ථිරයිනේ. අපිත් එක්ක අන්තිම පේලියේ හිටපු තවත් බොක්කක් තමයි සුගත්. ඌත් මැසේජ් එකක් එව්වා කොඩිකාර කියපු එකම කියලා. මට ඉතින් ලංකාවේ වගේ එසැනින් පුවත් එන්නේ නෑනේ. ඉතින් එවෙලේ ඉඳං ටී.කේගේ ජංගම දුරකතනයට කතා කරන්න උත්සහකරපු එකයි කරේ. යාන්තම් මෙහෙ වේලාවෙන් රෑ නවයට දහයට වගේ දුරකථනය අනිත් පැත්තෙන් ඒ සුපුරුදු හඬ ඇහුනා. " මචන් ගොඩේ, මට අවුලක් නෑ."  ඒ වචන ටික තමයි මාත් බලාපොරොත්තු උනේ. එතනින එහාට කිසිත් කතා කරන්න  අවශ්‍ය නැති නිසා " හරි මචං. පරිස්සමින් හිටපන්. බුදු සරණයි." කියලා මම මගේ දුරකථනය පැත්තකට කරා. ඒත් එක්කම තමයි ඔය උඩින් මම සඳහන් කරපු සිද්ධිය මගේ හිතේ මැවුනේ. ඒ විතරක් නෙවෙයි. මගේ හිත පාසැල් කාලයට පියඹලා ගියා..... මොනතරම් සැහැල්ලුවෙන්ද අපි හිටියේ.... අද මොනතරම් වගකීමක් දරන මිනිස්සුද ???

මචං ටී.කේ, උඹ එදා ඔය වගේ අනතුරකට මුහුණ දීලත් තත්පර දශම එක්ක උඹේ ජීවිතය ඔට්ටු අල්ලලා, කිසිම ජිවිතෙකට හානි නොවෙන්න, උඹේ ජීවිතෙත් ගලවාගත්තේ උඹේ තියන දක්ෂකමට....  අපිට උඹ ගැන පට්ටම ආඩම්බරයි කොල්ලෝ..... උඹ අපිට වීරයෙක්.....  තීරණයක් ගන්න එක නෙවෙයි වැදගත්. ඒ තීරණය ගන්න කොච්චර වෙලාවක් තියනවද කියන එක. තත්පර 4ක් 5ක් ඇතුලත හරි තීරණයක්‌ ගන්න එක කවුරු කොහොම කිවත් ලේසි නෑ.....    ඒ විතරක් නෙවෙයි උඹ වගේම අපිත් ගොඩක් වාසනාවන්තයි.....  අපේ උන් නම් අන්න උඹට මඩ ගහන්න පටන් අරන්. පෙට්රෝල් වැඩිකරා කියල අමතක වෙලා වෙනදා ගානට පෙර්ටල් ගැහුවලු. හේ හේ හේ හේ........  අන්තිම පේලියේ හිටපු අපිට උඹට මඩ නම් මොනවද ? අපේ උන් ඒ මොනවා කිවත් උන් ඔක්කොම හදවතින් උඹ එක්ක......   උඹේ අම්මා එදා බෝධිය ඉස්සරහා ඉඳගෙන උඹට සෙත් පැතුවා වගේම අපිත් හැමදාමත් උඹට සෙත් පතනවා....  ආශීර්වාද කරනවා......  උඹේ සේවය අපේ රටට තව දිගු කාලයක් ලබාදෙන්න උඹට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා !!!  තුරුණුවන්ගේ පිහිට, ආරක්ෂාව, ආශිර්වාදය ලැබේවා!!!  සොයුර නුඹට සදා ජය !!!!!!


ප.ලි - මේක සිද්ධිය වුන ගමන් ලියන්න හදලත් ඒක සතියකට කල් දැම්මේ අපේ කට්ටිය ඕනෙම සිද්ධියක් සතියෙන් අමතක කරන නිසා. ඉතින් ඒ සිද්ධිය අමතක වීගෙන යද්දී ආයෙත් පොඩ්ඩක් මතක් කරහම හොඳයි කියලා හිතුනා.........

Tuesday, February 21, 2012

ගිනි.....

උදේ ඉඳං තොර තෝංචියක් නැතුව වහිනවා. සති දෙකක ඉඳං එක සීරුවට වැටෙන වැස්ස. ඒ වැස්සත් එක්ක පොර බදන්න තරම් හයියක් පොල් අතු වහලෙට නැති බව කියාපාන්නේ වහලය අතරින් රූරා වැටිලා ගෙබිම සිපගන්න වතුර බින්දුයි. ඒ වෑහෙන වතුර බින්දු ගොම ඇතිරුව ගෙබිමත් මඩ කරලා දාලා. දිය සීරාව ගෙපැල ඇතුලේ සීතල තව තවත් වැඩි කරනවා. හාවක් හුවක් නැති ගෙපැල හතර අතේම මුස්පේන්තුකම රජවෙලා. බුරු ඇඳේ උන්ඩිවෙලා මුළු සරුවාන්ගෙම සරම ඇතුලේ හංගාගෙන හිටපු සිරිපාල හිමින් සැරේ ඔලුව එලියට දැම්මේ හරියට ගොලුබෙල්ලෙක් කටුවෙන් එලියට එනවා වගේ. හිමින් සීරුවේ කකුල් දෙකත් සරමෙන් එලියට ගත්තු සිරිපාල ඈලි මෑලි කමින්ම ඇඳ උඩ එරමිණියා ගොතාගෙන වාඩිවුනා. කිසිම බලාපොරොත්තුවක් නොමැති වූ ඔහුගේ හිස් ඇස් ගෙපැල ඇතුලේ එහෙට මෙහෙට ගියේ පුරුද්දට වගේ. ඒ ඇස් නැවතුනේ කවුළුව අසල. මෙච්චර කාලයක් කවුළුව වහන්න පාවිච්චි කරපු කාඩ් බෝර්ඩ් කෑල්ල වැස්සටම දියවෙලා ගොහින්. පොල් අතු වහලෙන් බේරෙන වතුර බින්දු මදිවට කවුළුවෙන් ඇතුල්වෙන සිරිපොදත් ගෙපැලට සීතල එකතු කරා.  ඉබේම ඔහුගේ දෑස් කවුළුවෙන් එළියේ වහින මහා වැස්සට දිහාට යොමුවුනේ කිසිම අරමුණක් නැතුව.  වැහි බින්දු අතර ඔහුගේ ඇස් තනිකරලා ඔහුගේ හිත ඔහේ පියාඹලා ගියේ ඔහුටත් හොරෙන්.



' සති දෙකකින් කුලී වැඩක් නෑ. කිරි කපන්නත් නෑ. පොඩි උන්ව ස්කොලේ යවන්න තියා උන්ට කන්න දෙන්නවත් දෙයක් ගේ හරියේ නෑ. අමාරුවෙන් ඉතිරි කරලා තියාගත්තු සල්ලි ටිකත් වැස්සටම දිය වෙලා ගිහින්. ඉතුරු වෙච්ච අන්තිම සියේ කොලෙයි ඊයේ පියසිලිගේ අතට දුන්නේ. පුදුම කාලකන්නි වැස්සක්' ඒ සිතුවිලි පෙරහැරත් එක්ක තමන්ගේ ලෝකේ තනිවුන සිරිපාල හුල්ලන්න උනා. හිස් වෙලා තිබ්බ ඇස් දෙකට දුක මුසුවුනේ ඉබේම. දුප්පත් කමත් එක්ක පොරකමින් සිරිපාල  වීරිය කරන්නේ ජිවිතේ ජයගන්න නෙවෙයි. ජිවත් වෙන්නයි. ඒ සටනේදී මේ අසරණයට වැස්ස මරු පහරක්. කවුළුවෙන් එළියේ වහින වැස්ස සිරිපාලට පෙනුනේ තමන්ගේ අසරණකමට මහ හඬින්  නගන හිනාවක් වගේ. බර හුස්මක් පිටකරලා බුරු ඇඳෙන් බිමට බැස්ස සිරිපාල ගේ පිටිපස්සට කිට්ටු කරා. දුක පිරිච්ච ඔහුගේ ඇස් යොමුවුනේ ගිනි මොලවන්න උත්සහකරමින් සිටි පියසීලි වෙතයි. පියසීලිගේ වැයම දිහා බලාගෙනම සිරිපාල නැවතත් සිතුවිලි අතර තනිවුනා. ' අනේ මේ ගෑණි මම නිසා විඳින දුකක්. මොන තරම් කරදර බාධක කම්කටොලු වලට මුහුණ දුන්නා කියලද ?  තාමත් කෙළවරක් නෑ. මොන තරම් කරදර උනත් නොසැලී, ඉවසීමෙන් වැඩ කරන හැටි.' ඒ සිතුවිලි පෙළත් සමගම තමන්ගේ බිරිය ගැන ඇතිවූ අප්‍රමාණ වූ සෙනෙහස ඔහුගේ දුක් මුසු දෑස් වලින් දොරේ ගලන්න වුනා. ඒ සෙනෙහස දෑසේ තිබුන දුක වගේම හදවතේ වේදනාවද හෝදගෙන ගියා. 

" මොනවා තම්බන්නද උඹ ඔය ලිප ගිනි මොලවන්නේ ? " වැස්සේ හඬ පරයා සිරිපාල තම කටහඬ අවදි කළා. ඒ හඬට ගැස්සුණු පියසීලි ඔලුව ඉස්සුවා. " ඔහේ නැගිට්ටද ???   තම්බන්න කියලා දෙයක් නම් ගේ හරියේ නෑ. සීතලට කහට උගුරක්‌ බොන්න කියලයි ලිප මෙලෙව්වේ. පැටව් දෙන්නත් තාම නිදි. ඊයේ රෑත් බඩගින්නෙනේ උන් දෙන්නා නිදාගත්තේ. මම ඇහැරවන්න ගියෙත් නෑ. ස්කොලේ යවන්න කියලැයි. වතුර නටනකං ඩිංගිත්තක්  උන්නේ, කහට උගුරක්‌ වක්කරලම ඔහේට කතා කොරන්න" පිළිතුරු දෙන අතරේම වතුර ටිකක් ලිපේ තියපු පියසීලි සිරිපාලට කිට්ටු වුනා.  සිරිපාලගේ මුවින් " හ්ම්ම්ම් " යැයි පිටවුනේ ඇහෙන නොහැනෙන ගානටයි. උළුවස්සට හේත්තු වුන සිරිපාල නැවතත් තමන්ගේ කල්පනා ලෝකයේ තනිවුනා. සිරිපාල අභිමුවේ ඉතා විශාල ගැටළුවක් ඇත. මේ ලෝකේ විවිධාකාර මිනිසුන්ට විවිධාකාර ගැටළු ඇත. සමහර ගැටළු අති සංකීර්ණය. ඒ සංකීර්ණ ගැටළු මිනිසාට ඇති කරනු ලබන්නේ මේ සංකීර්ණ වූ මිනිස් සමාජය විසිනි. ඒවා මිනිසා විසින්ම නිර්මාණය කරගත් ගැටළුවෙයි. මේ සංකීර්ණ සමාජය තුල මිනිසුන්ට අනවශ්‍ය අවශ්‍යතා බොහොමයි. ඒ අනවශ්‍ය අවශ්‍යතා නිසා පැන නැගෙන ගැටළුද අති විශාලයි. ඒ ගැටළු හමුවේ දියුණු වූ මිනිසුන්ට කෙතරම් මිල මුදල් තිබුනත් සැනසෙන්නට නොහැක. අවශ්‍යතාවන් ඊට වඩා අති විශාලය. එහෙත් මේ අසරණයාගේ ගැටලුව අනවශ්‍ය අවශ්‍යතා නොවෙයි. මිනිසාගේ පමණක් නොව මෙලොව වසන සියලුම සතුන්ගේ මුලික අවශ්‍යතාවය වන්නේ ආහාරයි.  ඒ මුලික අවශ්‍යතාවය සපුරාගත නොහැකිවූ මේ අසරණයා බලාගත් අත බලාගෙන කල්පනා කරන්නට විය. 

' වැස්ස පොඩ්ඩක් තුරල්වුන ගමන් එලියට බහින්න ඕනේ. වැස්ස නිසා මේ දවස් වල ඇළ පිරිලා. ඇළ අයිනට වෙලා හිටියොත් පාවෙලා එන පොල් ගෙඩියක් දෙකක් අහුලගන්න බැරි වෙන එකක් නෑ. ඒත් පොල් ගෙඩියක් දෙකක් අහුලාගෙන මොනවා කරන්නද ?  ගෙදර හරියේ හාල් ඇටයක් නැතුව. චැක්... වැස්ස නිසා ගස්වල දිය සීරාව. කොස් ගෙඩියක් කඩා ගන්නවත් විදිහක් නැති හැටි. අනේ මෙහෙමත් කාලකන්ණි වැස්සක්. අනේ දෙයියනේ හෙටවත් පෑව්වේ නැත්නම්. මහා වැස්සේ හරි කමක් නෑ කුලී වැඩක් ලැබෙනවා නම්. කරුමෙට එහෙම දෙයක්වත් නෑනේ. එක අතකට මේ කාලකණ්නිකම වැස්සේ නෙවෙයි අපෙයි කාලකන්ණිකම. වැස්ස කියලා හැමෝටම අපිට වගේ බඩගින්නේ ඉන්න වෙන්නේ නෑනේ. සොබාදරුමේට දෙස් දෙවල් තියලා වැඩකුත් නෑ කරුමේ ගෙවනවා මිසක්'       " ආ මෙන්න, මේක බීලා හිටියා නම්"     පියසිලිගේ කටහඬින් කල්පනා ලෝකෙන් මේ ලෝකෙට කඩාවැටුන සිරිපාල පියසීලි දික් කරගෙන හිටිය තේ කෝප්පේ අතට ගත්තා. " ඔහේ ඔය හැටි කල්පනා කරා කියලා වැඩක් නෑ. මේක ඔහේගේ වැරද්දක් නෙවෙයි. අපේ කරුමේ. මට නම් බඩගිනි උහුලන එක පුරුදුයි. ඒත් පොඩි උන් දෙන්නට පුළුවනැයි ඔය හැටි ගිනි උහුලන්න. පපුව හෝස් ගාලා ඇවිලෙනවා උන් බඩගිනියි කියද්දී". පියසීලි ඒ පිළිතුර දුන්නේ සිරිපාල කල්පනා කරමින් තැවෙන කාරණය හොඳින්ම දන්න නිසා.   "හ්ම්ම්.... ඒක තමයි බං මම මේ කල්පනා කලේ."  කෙටි පිළිතුරක් දුන්න සිරිපාල නැවතත් කල්පනා ලෝකෙට හිමින්ම කිට්ටු වුනා. 

කල්පනා ලෝකය අතරේ සිරිපාලට එකපාරටම සිහිවුනේ චුට්ටේ. මිට කලින් දවසකත් චුට්ටේ සිරිපාලට කතා කරේ අඩු මහන්සියකින් වැඩි ගානක් හොයාගන්න පුළුවන් වැඩකටයි. සිරිපාල කර ඇරියේ හිතට අවංකව කරන්න බැරි වැඩක් නිසයි. චුට්ටේ කියන්නේ පළාතේම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරය වුනේ නීතිවිරෝධී මත්පැන්. එහෙමත් නැත්නම් කසිප්පු. කසිප්පු චුට්ටේ කියපුවහම පලාතම හොඳින් හඳුනනවා. සිරිපාලට කතා කලේ කසිප්පු බෙදාහරින්නයි. කවදත් පවට, නීතියට බය වෙච්ච, සාධාරණ මනුස්සයෙක් වුන සිරිපාලට හිතට එකඟව කරන්න බැරි දෙයක් නිසා මග ඇරලා හිටියා. සිරිපාල අනිත් උන්ට ගිනිවතුර පොවලා තමන්ගේ ගිනි නිවාගන්න ලැහැස්ති නොවීය. ඒත් ඒ නීතිගරුක බවෙන්වත් පින් පව් වලින්වත් දරු පැටවුන්ගේ, බිරිඳගේ බඩේ ගින්දර නිවන්න බැරිබව සිරිපාල හොඳාකාරවම දන්නා කාරණයයි. තීරණයක්‌ ගන්න බැරිව සිරිපාලගේ හිත  දෙලොවක් අතර දෝලනය වන්නට පටන්ගත්තා. තමන්ගේ හෘදසාක්ෂිය තමන්ට කෑගහන බව ඔහුට තේරුනා. ඒත් ඉක්මනින් යමක් කලයුතුයි. සිරිපාලගේ මැලවුන දෙනෙත් දිලිසෙන්න පටන්ගත්තා.  උගුරට දෙකට තේ කෝප්පය හිස් කල ඔහු හිස් කෝප්පය බිරිඳ අතට දී කඩිමුඩියේ  කලයෙන් දිය දෝතක් ගෙන මූණ තෙමාගත්තේ අලුත් පණක් ලද එකෙක් මෙනි. ඇද සිටි සරම උනා වෙනත් සරමක් පටලවා ගත්තා. දිරාගිය කමිසයක්ද ඇඟට දාගත්තා. තම ස්වාමිපුරුෂයා මහා වැස්සේම එලියට බහින්න සුදානම් වනවා දුටු පියසීලි " මේ මහා වැස්සේ කොහෙද යන්න හදන්නේ ? " යැයි විමසිය. " ගිහින් එන්නම්" යැයි පවසමින් ඔහු ගෙපැලෙන් එලියට බැස්සේ කොතෙකුත් කෑගැසුවත් තමන්ගේ හෘදසාක්ෂිය මරාදමන බවට තමාට ප්‍රතිඥා දෙමින්...............


පොඩි උත්සහයක් කලේ..... පලවෙනි එක. අසාර්ථක ඇති. අඩු පාඩු පෙන්නනවා නම් බොහොම කැමතියි......

Thursday, February 16, 2012

දන්නෙම නැතුව අවුරුද්දක් ගෙවිලා...............

      
     අවුරුද්දක්......   
සයිබර් ලෝකෙට එකතු වෙලා නම් අවුරුද්දකට වැඩියි. ඒත් ගොඩයාගේ වංහුං ලියන්න පටන් අරන් හරියටම ඊයෙට අවුරුද්දක්. අවුරුද්දයි, පොස්ට් 56යි, පිරිවර 97දෙනයි, හිට්ස් 11050. නරකම නෑ......   
ආපු ගමන ගැන හැරිලා බැලුවොත් සයිබර් ලෝකේ ගැනවත්, මේ බ්ලොග් ගැනවත් මෙලෝ හසරක් නොදැන හිටපු මට සයිබර් ලෝකේට එන්න පාර පෙන්නුවේ අන්තිම පේලියේ ඇඩ්මින්තුමා. අන්තිම පේලියට ලියන්න පටන් ගත්තට පස්සේ තමයි මගේම බ්ලොග් එකක් පටන් ගන්න හිතුනේ.  ඒ දවස් වල අන්තිම පේලිය විවෘතවුනේ හාස්‍යයට විතරයි. ඒ නිසයි මගේම බ්ලොග් එකක් පටන් ගත්තේ. පාලුවට, තනිකමට, ලියන්න පටන් ගත්තට මොකද මේ බ්ලොග් එකෙන් ලැබුන දේවල් බොහොමයි. නොදැක්කට, මුණ නොගැහුනාට තනිකම, දුක, සැප බෙදාගන්න සහෝදර සහෝදරියෝ පිරිසක් ලැබුනා. ඒ අතර අහිමිවුන දේකුත් තියනවා. ගොඩක් වටිනාකරන දෙයක්. හිමි වීම, අහිමි වීම ඉතින් ලෝක ස්වාභාවයනේ...... ඔන්න ඔය විදිහට අවුරුද්දක් තිස්සේ මේක ලියාගෙන එනවා. විවේකය තියන විදිහට ඉදිරියටත් දිගටම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ....... 

මෙන්න මගේ බ්ලොග් එකේ දාපු පලවෙනි පොස්ට් එක. ඒකට කොමෙන්ට් කරලා තිබ්බ ගොඩ දෙනෙක් මගේ පෞද්ගලික යාළුවො. සයිබර් ලෝකේ යාලුවන්ගෙන් නිම්ශා, බුද්ධි, සොඳුරු සිත, මල් සුවඳක් කොමෙන්ට් කරලා තිබ්බා. ඊට පස්සේ ඉතින් සයිබර් ලෝකේ ගොඩාක් යාළුවො එකතුවුනා.ඊට පස්සේ මගේ පෞද්ගලික යාලුවන්ට වඩා අදහස් දැක්වුවේ සයිබර් යාළුවෝ. බ්ලොග් එකේ අදහස් නොදක්වුවාට මගේ යාලුවොත් නිතරම හොඳ නරක, අඩුපාඩු පෙන්නලා දුන්නා.  මගේ යාළුවෝ අරුනාහම පෞද්ගලිකව කතා කරලා මාව ධෛර්යයමත් කරන සයිබර් යාළුවෝ කීපදෙනෙකුත් ඉන්නවා. නම් වශයෙන් සඳහන් කරන්නේ නැත්තේ මට පොඩි හරි අතපසු වීමක් වෙලා එක නමක් හරි සඳහන් නොවුනොත් ඒක ලොකු අසාධාරණයක් නිසා. මගේ යාලුවන්ගේත්, මගේ සයිබර් යාළුවන්ගෙත් තල්ලුව නිසයි මෙච්චර දුරක් මම ආවේ. මේ අවුරුද්ද පුරාවටම මාව දිරිමත් කරපු, මගේ දුක සැප බෙදාගත්තු, අදහස්, දැනුම බෙදාගත්තු සියලුම දෙනාට මගේ ගෞර්වපුරක ස්තුතිය.....
ඒ වගේම ඉස්සරහටත් ඒ තල්ලු ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා........  


 තමන්ගේ වටිනා කාලය වියදම් කරගෙන අවුරුද්දක් පුරා ගොඩයාගේ වංහුං කියවපු, කියවන ඔබ සියලු දෙනාටයි මාගේ මේ ආචාරය...........

Wednesday, February 8, 2012

මගේ තෙවැනි ඇස ගැටනු රූ.........

මුලින්ම කියන්න ඕනේ මම ඡායාරූප ශිල්පියෙක් නම් නෙවෙයි. ඒත් නිවාඩු වෙලාවට කරන්නේ මගේ කැමරාවත් කරේ එල්ලගෙන කොහේ හරි ගිහිල්ලා පින්තූරයක් දෙකක් ගන්න එක. ඒ ගත්තු පින්තූර ටිකක් වෙනසකටත් එක්ක අද බ්ලොග් එකේ දාන්න හිතුනා. හොඳ නරක, අඩු පාඩු, ගුණ දොස් වලට විවෘතයි. මම තාම වැඩේට අලුත්.


මේ තියෙන්නේ සිංගප්පූරුවේ තියන හේඩර්සන් වේව් නමින් හැඳින්වෙන මගී පාලමේ පින්තූරයක්....   හවස මගී පාලම ආලෝකමත් කලාට පස්සේ මට පෙනුනේ ඔන්න ඔහොමයි....
මේක තමයි සිංගප්පූරුවේ තියන උසම මගී පාලම




දවසක් දා හැන්දෑවක සිංගපූරුවේ ඉඳන් මැලේසියාවේ ජොහාර් බාරු නගරය මට පෙනුනේ මෙන්න මෙහෙම.....




මේ පින්තූරය මගේ කැමරා කාචයට අහු වුනෙත් ඊට උඩ පින්තූරේ ගත්ත හවස් වරුවෙමයි. දවසක් අවසානයේ ජොහර් බාරු නගරයේ ගොඩනැගිලි අතරෙන් ගිලී යන රත් පැහැ හිරු.....




දවසක් නිමා වී සයුරේ ගිලෙන හිරු
කැන්දන් ඒවි අහසට මිණි සදිසි තරු
එනමුත් තරු මදිය මැකුමට ලොව අඳුරු
දැල්වෙමි මමත් එනිසා එලිවනා තුරු




තවත් දවසක හැන්දෑවක මරිනා බේ සැන්ඩ්ස් හෝටලයේ උඩ තියන අහස් උද්‍යානයට නැග ගත්ත මට අවට නගරය පෙනුනේ මෙහෙමයි.




මෙන්න මරිනා බේ සැන්ඩ්ස්  හෝටලය. මේකේ උඩ ඉඳං තමයි ඔය උඩ තියන රූපේ ගත්තේ.




සිංගප්පුරුවේ උද්භිත උද්‍යානයේ දර්ශනයක්.




මොනවද මනුස්සයෝ කරන්නේ ? කාගෙන් අවසර අරන්ද පින්තූර ගන්නේ ?  පින්තුරය ගන්න හදද්දී මෙයා බලපු විදිහට මට හිතුනේ එහෙමයි.




මෙයාව නම් දැක්කේ අහම්බෙන්. කිසිම වගක් නැතුව එයාගේ පාඩුවේ දෙසා බාන ගමන් හිටියේ.




රස දන්නා අය නම් ටක් ගාලා අඳුර ගන්න ඇති. අපොයි අපොයි අකුසල් සිත් පහල කරගන්න එපා. මේ කට්ටියත් මට අහම්බෙන් හම්බවුනේ. මට හිතා ගන්නත් බැරි වුනා මෙච්චර ජනාකීර්ණ සිංගප්පුරුවේ ජනාකීර්ණ නගරයකට බොහොම කිට්ටුවෙන් වල් ඌරෝ රෑනක් දකින්න පුළුවන්වෙයි  කියලා.




මෙයා නම් බෙල්ලත් දික් කරගෙන කවුරුහරි හොයනවා.




හුදකලා වූ හැන්දෑවක..........




මේක දිගේ ගිහින් කැරකි කැරකි එලියට යන්නේ නම් මහා ලොකු විනාසයක් කරන්න තමයි.



මෙයාව දැක්කෙ නම් පින්නවලදී. පුදුම දාංගලයක් තිබ්බේ.




පුංචි පවුල රත්තරන්




1. මෙන්න මෙයා පොටෝ ගහනවා.දාගන්න ඔනෙ මුණ.
2. නියපොතු වල හැටි විතරක්. කලින් කීවා නම් එනවා කියල නියපොතු එහෙම කපලා ලස්සනට ඉන්නවනේ.
3. අපොයි දෙයියනේ. මුණ හේදුවෙත් නෑ අද. හංග ගන්න ඕනේ මුණ.

වෙනසකටත් එක්ක රූප ටික දැම්මේ. මට හොඳයි කියලා හිතුන ටිකක් තමයි මේ දැම්මේ. තවත් පින්තුර ටිකක් තියනවා මූණු පොතේ. කැමති කෙනෙක්ට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 

Sunday, February 5, 2012

හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද ???


මේ කවියත් අන්තිම පේලියට ගොඩාක් ඉස්සර ලියපු එකක්. මට මතක විදිහට අන්තිම පේලියේ කවි වැඩේ නැගලා ගියේ මේ කවියෙන් පස්සේ. ලස්සන සිද්ධියක් හින්දත්, මීට කලින් මගේ බ්ලොග් එකේ දාලා නැති නිසාත් ආයේ දාන්න හිතුනා. නොබලපු එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉඳීවිනේ. බලන්නකො කොහොමද වැඩේ කියලා.....



සෑහෙන කාලෙකින් ලැබුනා           වෙලාවක්
ලියනෙමි කවියකින් මම පොඩි        කතාවක්
බ්ලොග් ලියනා එකත් අමුතුම          කලාවක්
තිබ්බොත් අඩු පාඩු දෙනවද               සමාවක්

දවසක් යද්දි මම ගමනක් හනි               හනික
මම ගිය පාරේ හමු වූ එක්                   හංදියක
සිදුවූ සිද්ධියකි තවමත් මට                    මතක
ලියනෙමි මගේ බ්ලොග් පිටුවේ පොඩි   ඉඩක

සෙනඟත් පිරී සිටි හැන්දෑ                  කාලයක
පසුකර යද්දි හංදියෙ ඇති                 කහ ඉරක
හිටියා පොලිස් මහතෙක් පාරේ          කොනක
වේගය අඩුකලා ඉදිරියේ ගිය                   රියක

රාලහාමි ඇවිදින් පාරේ                          මැදට
සංඥා කලා වාහන නවතන                 ලෙසට
නවතා මමත් ඉඩ දුන්නා                    කහඉරට
කහඉර හරහා පැන්නා මගියන්             පෙලට

පාර පැනපු අය අතරේ සිටි                   කෝල
දැක්කා කතක් සිහිකරවන               ජම්බෝල
කාගෙත් දෑස් ඈ වෙත යොමුවුන              ලීල
කවුරුත් ඇයට මොහොතින් පෑවා            ආල

යන්නට ගිය ගමන මේ සුන්දර          ලලනාව
යනවා පාර පැනලා නෑ                        බාධාව
කවුරුත් නොමැත පනිනට කහඉර           ගාව
තාමත් එහෙමමයි පොලිසියේ              සංඥාව

දානව සද්ද කවුරුත් රිය පෙලේ                සිටි
රාලහාමි බලනව සිහිනයක්                   කෙටි
අර යන ගෑණු රුව ඔහුගේ නෙතේ           ගැටි
උන්හිටි තැනත් අමතකවි හිටිය                හැටි

නොපෙනීගිය පසුව අර සුන්දර               දසුන
ආවා පොලිස් ලොක්කත් මෙලොවට    ඔන්න
සිහිවුනි රාජකාරිය සහ තැන                  ඉන්න
ලිපිනත් නැතිවුනා මිනිහට මල             පැන්න

වටපිට හිටපු කොල්ලන් දුන් හූ               සද්ද
අතරින් නැගුනි දිගටම  සිනහා                සද්ද
පොලිසියටත් ඉතින් විලි ලැජ්ජා            නැද්ද
ගැලවුනි අහෝ ඔහු ඇඳගෙන සිටි          රෙද්ද

දෙවනත් කර එතන සද්දත්                දමාගෙන
යන්නට අපට අණකල දත්               විකාගෙන
ඉන්නට බෑනේ  හන්දියේ රෙදි       ගලොගෙන
යන්නට වුනා මිනිහට පු*                 හපාගෙන

Wednesday, February 1, 2012

ගහපන් අරගෙන වීරිය කුඩුවෙන්නට මගෙ හිත

ජිවිතයේ කවදාවත් සැප දුක නෑ සමබර
සැපට වඩා දුක් කරදර බුරුතු පිටින් හමුවන
පැතූ පැතුම් සිතූ සිතුම් නිමේෂයෙන් සුන්වන
ලෝකෙක වෙනසක් පමණයි ස්තීරෙට පවතින
කවදාවත් පැතූ සියලු දේ එලසින් නොමවෙන
නොපැතු නොසිතු දුක් කරදර හැමවේලෙම දස අත
ආදරයෙන් සිත බැඳුනත් මේ දිවියේ කුමකට
ලබා ගන්න බෑ ඒ හැම අපි හිතුවට පැතුවට
අපිට අවැසි දේ ලබාන සැනෙසෙන්නට බැරිතැන
ලැබෙන දෙයින් සැනසෙන්නට වෙනවා අපි සැමටම
ආපු දාට අප සොයාන අපි අකමැති විසඳුම
අසරණවී වේදනාව හිරිවට්ටයි හදවත
අනෙකුත් විසඳුම් සමඟින් ඇති කරදර බාධක
වනසයි නම් මා හද බැඳි මට වටිනා ජීවිත
අකමැති මුත් මම ගන්නෙමි ඒ දුෂ්කර මාවත
අද හැඬුවත් ඒ සැමටම සුභ වේවා හෙටදින
දරාගනිමි වේදනාව සඟවා හිත තදකර
හිනාවෙලා හිටියත් මා හඬනවා මගෙ හදවත
අසරණකම, වේදනාව, තනිකම තව තනියට
දරාගන්නේ කෙලසද මම ගලක් නෙවෙයි හදවත
අසරණකම නිසා නිහඬ වී හඬනෙමි තනියම
මගේ හද කලුගලක් නෙවෙයි කිසිවිටෙකත් නොසැලෙන
එය  කලු ගල් ලෙස පෙනිලද නුඹ ගත්තේ කුලුගල
වැරෙන් ගසන පහර දරාගන්නට විය මා හට
තැලෙන යකඩමලු තලන්නේ සමහරු උඩ පැන පැන
අමතකයිද යකඩ නෙවෙයි මගේ උණුවෙන හදවත
වැරෙන් ගසන ඔය පහරෙන් තුටුවෙයි නම් නුඹෙ සිත
ගහපන් අරගෙන වීරිය කුඩුවෙන්නට මගෙ හිත /////



ඊයේ පෙරේදා දවස් දෙකේ මහ පුදුමාකර අසරණකමක් මට දැනුනා. වේදනාව, අසරණකම ඒ මදිවට තනිකම. ඒ අසරණකම කියාගන්න කෙනෙක්, විදිහක් නැතුව තව තවත් අසරණ වුනා. අන්තිමේදී වේදනාව නිසාම කොලයක ඔහේ කුරුටු ගාපු කවි ටිකක්. ලස්සනකටවත්, තාලෙකටවත් ලියපුවා නෙවෙයි. වේදනාවට ලියපුවා. පලනොකරන්නත් හදලා වේදනාව පිටකරන්නත් එක්ක ඔන්න ඔහේ දාන්න හිතුනා. අපිට සමහරවෙලාවට අමාරු, අකමැති තීරණ ගන්න වෙනවා. ඒ අපේ තියන අසරණකමට. හැමෝටම හොඳක් වෙන බලාපොරොත්තුවෙන්. දැන දැනම එහෙම වෙලාවක තවත් කෙනෙක් අපිව අසරණකරද්දි දැනෙන වේදනාව වචන වලට ගලපන්න මට තේරෙන්නේ නෑ. කවුරු කොහොම මොනවා කොමෙන්ට් කරත් අදාළ පාර්ශ්ව යථාර්තය තේරුම් අරන් ජීවිතේට මූණදෙනකම් ඒ වේදනාව එහෙම්මම තියේවී. හැමෝටම සුභ හෙටක් ලැබේවා කියලයි මගේ ප්‍රාර්ථනාව. 

ත්‍රී විල් පටලැවිල්ල

මේ කවිය මීට කලින් අන්තිම පේලියට මම ලියපු කවියක්. මගේ කවි ලියපු බ්ලොග් එකේ පළකරපු කවියක්. ඒත් තියන කාර්යබහුලකම නිසා ඉදිරියට බ්ලොග් දෙකක් තියා එකක්වත් ලියාගන්න බැරිවේවි වගේ. ඒ නිසා මේකේම කවිත් ලියනවා කියලා හිතුනා. ඒකට පොඩි ආරම්භයක් ගන්න හිතාගෙන ඔන්න මේ කවිය දානවා මේ පිටුවට.....






සිදුවූ සිද්ධියකි මෙය මගේ                මිතුරෙකුට
හැඩ වැඩ දමා ගොතනෙමි එය           කවියකට
ඔහුගේ රෝද තුන යොමුකර                මාවතට
සෙව්වා මුදල් ගොස් ගමනක්             කුලියකට


ත්‍රී විල් රියදුරෙකි ඔහු පෙර කී               ලෙසට
හිත හොඳ නිසා නිතරම ගමනේ              යසට
හිතවත් කෙනෙක් ඇවිදින් දවසක්            ඔහුට
ඇසුවා යන්න දුර ඇති                  අවමඟුලකට


රෑ බෝවෙලයි වෙන්නෙ අපහට              යන්ට
අවුලක් නෑ නේද මල්ලියේ එය               උඹට
හිතවත් මිතුර කීවා පහදා                     මොහුට
නෑ බෑ බසක් කවදත් නැතිවිය                 ඔහුට


දෙදෙනා ගියා රෑ බෝවී                     මළගමට
මහා රෑ යාමේ පිටවුනි ආපසු                   එන්ට
ආවත් දෙදෙනා මහා රෑ වීරයෝ            ලෙසට
පාලුයි පාර ඇත ජරමර මඟ                     දිගට


හදවත දෙගිඩියාවෙන් පිරුණත්              බයට
අතහැර දමා බිය දෙදෙනා එන               කලට
දුටුවා ලියක් ඉන්නා බැස මහ                 මඟට
සිහිවුනි දෙවියෝ අසුවූ විට මෙය            ඇසට


මෝහිනි නමැති හොල්මන සිහිවිය         මුන්ට
දෙදෙනා බියවෙලා සැරසෙයි පැන         යන්ට
මොනවා වුනත් හරි නෑ දෙදෙනාගේ       හිතට
කෙල්ලෙක් නිසා හිත නෑ මඟහැර          යන්ට


මහා රෑ ලෙඩක් හෝ කරදරයක්               කාට
විය හැක මිතුර හොඳ නෑ කර ඇර           යන්ට
හිතුවා දෙදෙන රිය නවතා                  විමසන්ට
හනිකට බ්රේක් ගැසුවා මිතුරා                  තදට


ඔහුගේ රථය නවතන ඒ                    ඇසිල්ලට
දිවවිත් කෙල්ල නැවතූ මේ රිය               දෙසට
ගොඩවූවාලු  සමඟින් මල්ලක්                 බරට
බිය වී ඩා බිඳුත් නැගුනලු                  දෙදෙනාට


ත්‍රී විල් මිතුරා සමගින් ගිය                    අනිකාට
ආවේ නැතිලු වචනත් එවෙලේ              හොඳට
වෙහෙසක් දරා දිරි ගෙන දෙදෙනා            හිතට
හිතුවලු මොකක්දෝ මේ වෙන්නේ           අපට


දිව ආ අඟන තබලා මල්ලත්                    හැඩට
උස්සා ඔලුව වටපිට බලනා                      කලට
බියවුන දෙදෙන සැනෙකින් නෙත     ගැටුනවිට
බෙරිහන් දෙමින් පැන්නලු රථයෙන්         බිමට


බය දෙදෙනාගේ දෙපිටින් ගියේ මර         හඬට
දමලා ඇගේ බෑගය විගසින්                      බිමට
ආවලු පාගලා අපේ මිතුරා                       හැටට
නැවතුනේ ආව පසුවලු දෙදෙනම            ගමට


අවදිව ඊට පසු දින උදයම                     මොහුට
ඕනෑ වුනා සිදුවුන දේ දැන                       ගන්ට
ගත්තා ඇමතුමක් ඔහුගේ                   මිතුරෙකුට
මිතුරා සිටියේ කිට්ටුව ඒ                        මාවතට


හලෝ මචං කොහොමද කොල්ලෝ          උඹට
මාර වැඩක් සිදුවුනි ඊයේ                         මෙමට
එනවිට උඹේ ගේ අසලින් රෑ                   දෙකට
දුටුවෙමි ගෑනියක් හිටියා බැස                    මගට


නැවතූ විටදි ඇය කවුදැයි                     විමසන්ට
දුවගෙන ඇවිත් ඈ ගොඩ විය මගේ             රියට
බයවුනු අපිත් ඇරලා ආවා                        හැටට
සිදුවුනු දෙයක් ඇත්නම් කියපන්               මෙමට


සිනහා නගා මිතුරගේ මිතුරා                       තදට
උණු උණුවේම ලැබුනා පුවතක්                   අපට 
නෑ කිසි දෙයක් උඹලට නම් බය               වෙන්ට
කීවා පහදලා වුන දේ රෑ                           දෙකට


අපගේ අසල්වැසි ඇසිලින්                     අක්කාට
හිටියා දුවක් තරමක් පෙනුමයි                   ඇහැට
ඊයේ රැයේ ඈ පැන ගොස් ඇති                   බවට
පැතිරී ගියා රාවය ගම හැම                        තැනට


උඹලා එද්දී ඊයේ ඈ දුටු                              බවට
මට සහතිකයි බිය වන්නේ තොපි               කුමට
ඈ දිව ඇවිත් නැග්ගේ උඹගේ                     රියට
ඈගේ පෙම්වතා යැයි වැරදිලා                    ඇයට

Sunday, January 29, 2012

බෞද්ධයෝ...........

බ්ලොග් එක ලියන්න පටන් ගත්ත කාලේ ලියන්න තිබ්බ උනන්දුව දැන් දැන් ටික ටික අඩුවෙලා ගිහින්. ඒවාගෙම බ්ලොග් අවකාශය දිහා දැක්කහම ලියන්න තියන උනන්දුව තවත් අඩුවෙනවා. මෙහෙම කීවට කවුරුත් අහිතක් හිතන්න එපා. ඒත් මට හිතෙන විදිහට නම් දැන් බ්ලොග් අවකාශයත් තම තමන්ගේ කුහකකම් ප්‍රදර්ශනය කරන්න පාවිච්චියට ගන්න තැනක් වෙලා වගේ.එක අතකට ඒ ගැන පුදුම වෙන්න දේකුත් නෑ. බ්ලොග් ලියන්නෙත් අපේ සමාජයේම කොටසක්නේ. මගේ බ්ලොග් එකේ උඩින්ම ලියලා තියනවා වගේ මේ ලියන්නේ මට හිතෙන, මට දැනෙන දේවල්. හොඳද ? නරකද ?  හරිද ? වැරදිද කියලා තීරණය කිරීම කියවන උදවිය සතුයි. ඒ පිළිබඳව අදහස් දැක්වීමටත් හැමෝටම අයිතියක් තියනවා. ඒත් තව කෙනෙක්ට ප්‍රතිවිරුද්ධ අදහසක් තිබ්බා කියලා ඒ අදහසකට දිගට හරහට පන්න පන්න පහර ගහන එකේ නම් තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. වැරැද්දක් හෝ අඩු පාඩුවක් දකිනවා නම් පෙන්නලා දෙන එක යුතුකමක්. අනිත් කෙනා ඒක පිළිගන්නවාද නැද්ද කියන එක ඒ වැරැද්ද පෙන්නලා දෙන කෙනාට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒ නිසා එවගේ වාදවලින් පස්සෙත් පුද්ගලිකව කපා කොටාගන්න එක නම් මහා අප්‍රසන්නයි.  මේ ගැන නෙවෙයි අද ලියන්න හිතුවේ. ඒත් බ්ලොග් අවකාශයේ වසරකට ආසන්න කාලයක් ගත කරපු මට ආපහු හැරිලා බැලුවහම පොඩි කලකිරීමකුත් දැනෙනවා. ඒ නිසයි මේ ටික ලියන්න හිතුනේ. ඒ කතාව ඉවරයි. දැන් හැරෙමු අද ලියන්න හිතුවේ මොකක්ද කියන එක පැත්තට.



මාතෘකාව දැක්කහම හැමෝටම තේරෙනවා ඇති ලියන්න හදන්නේ ආගම සම්බන්ධ දෙයක් විත්තිය. මේක ලියන්න හිතුනේ මේ ටිකේම මූණු පොතේ බෞද්ධ විරෝධී පුද්ගලයන් ගැන බෞද්ධයන් පළකරලා තිබුණ දේවල් දැකලා. බෞද්ධ විරෝධී කීවේ බුදුරජාණන් වහන්සේට අගෞරව වෙන විදිහට යම් යම් ප්‍රකාශ කරන, විකෘති රූප පලකරන උදවිය. ඒ අය පිළිබඳව අපේ බෞද්ධයන් විසින් නිකුත් කරපු ප්‍රකාශ බොහොමයක තිබුනේ වෛරයය.  " සාප වේවා" "භංග වේවා" සමහර ප්‍රකාශ පට්ට පල් කුණුහරුප. මේවා දැක්කහම මට කල්පනාවුනේ මේ ඇත්තටම බෞද්ධයෝද කියලා.  බෞද්ධයෝ නම් බුදු රජාණන්වහන්සේ දේශනා කරපු දර්ශනය අනුගමනය කරන ඈයෝ වියයුතුයිනේ. මම මේ කියන්න යන්නේ පෘතග්ජන අපිට තේරුම් අමාරු අභිධර්මය ගැන නෙවෙයි. මට මේවා දැක්කහම කල්පනාවට ආවේ බොහොම සරල අපේ බෞද්ධයන්ගේ අත්පොත විදිහට සැලකෙන ධම්ම පදයේ ගාථාවක්.


“නහී වේරේන වේරානී - සම්මන්තිධ කුදාචනං
    අවේරේනව සම්මන්තී – එස ධම්මෝ සනන්තනෝ”      



මේ තියෙන්නේ අපි පොඩි කාලේ කට පාඩම් කරපු ධම්ම පදයේ සඳහන් සරල ගාථාවක්. ගථාවේ තේරුම ගත්තොත් "මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයයෙන්ම වෛරය සන්සිඳෙයි. එය පෙරසිට පවතින සනාථනික ධර්මයක් බව බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළසේක" . අපි බෞද්ධයෝ විදිහට වෛරයෙන් වෛරය නොසන්සිඳෙයි කියලා  ඉගෙන ගත්තේ බොහොම පුංචි සන්ධියේ ඉඳලා. ඒත් ඇත්තටම බෞද්ධයෝ ඒ දේවල් ක්‍රියාත්මක කරනවද?  බුද්ධ ධර්මයට නිග්‍රහ කරනවා කියලා වෙනත් ආගමක් අදහන කෙනෙක්ට ද්වේශයෙන්, වෛරයෙන් කෑ ගැහුව පලියට බුද්ධාගම විනාශ නොවී පවතිනවද? මේ ලෝකේ මිනිස්සුන්ට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තියනවා. ඒත් කිසිම ආගමක් හෙලා දැකීමේ අයිතියක් නෑ. එහෙම වුනත් යම් යම් පටු අරමුණු නිසා එහෙම කරන කොඨ්ඨාශයක් අපි අතරේ ඉන්නවා. ඒ ගැන මේ හැටි කලබල වෙලා වෛරය, ක්‍රෝධය පුරවගෙන යුද්ධ ප්‍රකාශ කරන්න බෞද්ධයන් විදිහට අපිට යුතුකමක් තියනවද?  බුදුරජාණන් වහන්සේ වැඩහිටිය යුගයෙත් දේවදත්තලා, චිංචිමානවිකාවන් එහෙම හිටියා කියලා අමතක වුනාද ? බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩහිටි සමයේ උන්වහන්සේට කෙනෙහෙලිකම් කරපු විරුද්ධ වුන මිනිස්සු හිටපු එකේ බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදහස් පන්සිය පණහකට පස්සේ ඔය වගේ දේවදත්තලා, චිංචිමානවිකාවන් ඉන්න එක පුදුම වෙන්නවත්, කිපෙන්නවත් කාරණයක් නෙවෙයි. එහෙම උදවියට ගහන්න, බනින්න, වෛරකරන්න සැබෑ බෞද්ධයෙක්ට පුළුවන් කමක් නෑ කියලයි මගේ නම් අදහස. 


එතකොට කෙනෙක් අහයි "මේවා බලාගෙන අපිට අතපය බැඳගෙන ඔහේ ඉන්නද කියන්නේ " කියලා.  බෞද්ධයෙක් විදිහට මේවා ගැන කතා නොකර ඉන්න කියනවා නෙවෙයි. ඒත් වෛරයක් ඇතිකරගෙන මේ ගැන කටයුතු කරන එකේ තේරුමක් නෑ.  මම නොයෙකුත් ආගම් අදහන මිත්‍රයෝ ආශ්‍රය කරනවා.  ලංකාවෙන් පිට ඉන්න නිසා නොයෙකුත් ආගම් අදහන, නොයෙකුත් ජාතීන් එක්ක වැඩ කටයුතු කරන්න වෙනවා. ඒ අය අදහන ආගම ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ ආගම ගැන වැරදි ප්‍රකාශයක් කරොත් එතනදි ඒක මම නිවැරදි කරනවා. කට වහගෙන ඉන්නේ නෑ. ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමේ හැටියට ඒ ඒ දේවල් තේරුම් ගන්නවා. තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති පුද්ගලයෙක් නම් මම ඒ ගැන දිගින් දිගට කතා කරන්න යන්නේ නෑ. ඒ වගේම ඒ මනුස්සයට වෛර කරන්නේත් නෑ. ඒ ඉතින් මගේ පෞද්ගලික ක්‍රියා පටිපාටිය. අපි හිතමු ඔය අන්තවාදී ආගමික කණ්ඩායමක් මුල් කරගෙන ඒ කණ්ඩායමට විරුද්ධව වෛරී සිතින් මොනවා හරි ප්‍රතික්‍රියාවක් ආරම්භ කරා කියලා. ඒ සිද්ධිය හොඳටම ප්‍රමාණවත් වේවි ආගමික ගැටුමක් රට තුළ ඇතිවෙන්න. අතීතයෙන් අපිට හොඳ පාඩම් ලැබුනා මතක ඇතිනේ. කාළකණ්නි ජාතිවාදී යුද්ධයක් තිබුනා සහ ඒ දේවල් වලට හේතු තාම අපේ අයට මතක ඇති කියලා හිතෙනවා. ඒ නිසා මේ ආගමික ප්‍රශ්න වලට වෛරයෙන් යුතුව පිළිතුරු හොයන එක නම් බෞද්ධයන්ට සුදුසු නෑ. පහුගිය ටිකේම මම දැක්කා බෞද්ධ සිද්ධස්ථාන වෙනත් ආගම් වලින් අත්පත් කරගෙන, බෞද්ධයන්ට නොයෙකුත් ආකාරයේ තර්ජන, ගර්ජන. මේ සම්බන්ධ දේවල් වලට කතා නොකර ඉන්න කියනවා නෙවෙයි. කතා කරාට ගැටළුවක් නෑ, හැබැයි වෛරයය කියන ගිනිගොඩ පැත්තකින් තියලා. බුදුරජාණන්වහන්සේ කිසිම තැනක දේශනා කරලා නෑ කිසිම සත්වයෙක්ට වෛරයය කරන්න කියලා. බෞද්ධයන් විදිහට සියලුම සත්වයන්ට මෛත්‍රිය පතුරන්න හුරුකලා මිසක්. 


බෞද්ධයන්ට ඔය කියන අන්‍යාගමිකයන්ට බනිනවට, ගහනවට, වෛර කරනවට වඩා වැදගත් යමක් තියනවා කරනවා නම් කරන්න. ඒ තමයි වචනයේ පරිසමාප්තයෙන්ම බෞද්ධයෙක් වෙන්න උත්සහ කරන එක. අනිත් ආගම්වලට ඇඟිලි දික් කරන්න කලින් බෞද්ධයන් විදිහට අපි ළඟ තියන අඩු පාඩු, වැරදි හදාගන්න එක. එහෙම නැතිව කරන්න තියන කඩප්පුලි වැඩ ඔක්කොම කරන ගමන් වෙන ආගමක මනුස්සයෙක් පටු අරමුණක් වෙනුවෙන් කරන දේකට ඒ මනුස්සයට වෛර බැන්දා කියලා බෞද්ධාගම පිරිහෙන එක නවතින්නේ නෑ. මුලින්ම බෞද්ධයන්ට පුළුවන් නම් බෞද්ධ සංස්කෘතියට සදාචාරයට අනුව ජීවත් වෙන්න උත්සහ කරන්න මම හිතනවා ඒක තමයි බෞද්ධ ධර්මය පිරිහෙනවට බෞද්ධයන් වශයෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ. ඒ නිසා තවත් මනුස්සයෙක්ට බෞද්ධ ධර්මයේ නාමයෙන් වෛර කරන්න කලින් හිතලා බලන්න ඒ දේ බෞද්ධයෙකුට ගැලපෙනවද කියන දේ. එවගේම නියම බෞද්ධයෙක් විදිහට තමන් ජීවත් වෙනවද කියන දේ. 


වෛරයයෙන්, ද්වේශයෙන් අනිත් ආගම් හෙලා දැකීමෙන් බුද්ධ ධර්මයේ පුනර්ජීවනයක් ඇතිවෙනවද ???  අනිත් ආගමකට දෝෂයක්, චෝදනාවක් කරන්න කලින්, වෛරය බැඳගන්න කලින් අපි ඇත්තටම බෞද්ධයෝද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් මොකද? අනිත් ආගමකට ඇඟිලි දික් කරන්න කලින් කරන්න වැඩගොඩක් අපිට තියනවා. පෘථග්ජන අපිට 100% නිවැරදි වෙන්න පුලුවන් කමක් නෑ. ඒත් අපි අඩුම තරමේ නියම බෞද්ධයෙක් විදිහට ජීවත් වෙන්න පොඩි හරි උත්සහයක් කරන්න ඕනේ. 365 දවසෙම පන්සල් ගියා කියලවත් උදේ හවස පන්සිල් ගත්ත පමණින්ම කිසිම කෙනෙක් බෞද්ධයෙක් වෙන්න නෑනේ. ප්‍රතිපත්තියටයි මුල් තැන. බෞද්ධයන් විදිහට තමන්ට අවංකව ප්‍රතිපත්ති ගරුක වීමයි අවශ්‍යය. වෙනත් ආගම් වල වගේ නීති පිළිපැදිය යුතුයි කියලා දෙයක් නෑ.   බෞද්ධ දර්ශනය යනු අන්ධ භක්තියෙන් පිළිගතයුතු දහමක් නොවේ. එය අවබෝධ කර ගත යුතු හා නිරතුරැ විමසීමට ලක් කළ යුතු දහමකි. “මාගේ වචනය පරීක්ෂාක කොට පිළිගත යුතුය. හුදෙක් මා කෙරෙහි ඇති ගෞරවය නිසා ඒවා නොපිළිගත යුතු” බවයි බුදුන් වහන්සේ  දේශනා කොට වදාළේ.


එපමණක් නොවෙයි බෞද්ධ දර්ශන යනු යාතාර්ථවාදී දර්ශනයක්. යම් යම් පිරිස් එය විනාශ කොතෙකුත් උත්සහ කරත් යථාර්තය කවදාවත් වෙනස් නොවෙයි. බෞද්ධයන් වන අපිට බෞද්ධ ධර්මය රැක ගැනීමට ගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ගය නම් එම දර්ශනය අනුගමනය කරන්න උත්සහා කිරීම, එහෙමත් නැත්නම් වචනයේ පරිසමාප්ත අයුරින්ම බෞද්ධයෙක් වීමට උත්සහ කිරීම. ආගම රැකගැනීමේ අරමුණින්, වෛරය පතුරවමින් ගත කරන කාලය නියම බෞද්ධයෙක් වීමට උත්සහයකට යෙදවීමෙන්, සියළු සත්වයින්ට හිතකර ආකාරයෙන්, බෞද්ධ දර්ශනය රැකගැනීමට හැකියාවක් බෞද්ධයන්ට තිබේ යැයි මගේ හැඟීම. ඉතින් බෞද්ධ ධර්මය කෙරෙහි ඇත්තටම තමන්ට ඇල්මක් තිබේ නම් තවකෙකුට වෛරකරනවා වෙනුවට නියම බෞද්ධයෙක් වන්න උත්සහ කරන්න. ප්‍රදර්ශනාත්මක බෞද්ධයන්ගෙන්, පාරම්පරික බෞද්ධයන්ගෙන් හෝ නාමික බෞද්ධයන්ගෙන් බුද්ධ ධර්මයට සිදුවෙන හානිය අන්‍යාගමිකයින් බෞද්ධ දර්ශනයට කරන හානියට වඩා බොහෝ දරුණු යැයි මගේ හැඟීම. ඒ නිසා බෞද්ධයන් වන අපි බෞද්ධ දර්ශනයට කරන  හානිය අඩු කරොත් අපිට අන්‍යාගම් සමඟ වෛර බැඳීමට හේතුවක් නැතිවේවි. බුදුරජාණන් වහන්සේගේ අන්තිම වචනය බෞද්ධයෝ වශයෙන් අපි සිහියේ තබා ගන්නවා නම් බොහොම වටියි. “ සියළු සංස්කාරයෝ ( හේතුවෙන් හටගත් දේවල්) නැසෙන සුළුය අප්‍රමාදව කටයුතු කරන්න”  මට නම් හිතෙන්නේ මේ තියන දේවල් බදාගෙන බෞද්ධයෝ වෙච්ච අපි ප්‍රමාද වෙවී ඉන්නවා කියලයි. සියළු දෙනාට තෙරුවන් සරණයි !!!!


ප.ලි - මේ ටික ලීවේ අනිත් ආගම් වලට ඇඟිලි දික් කරන්න ගොඩක් බෞද්ධයෝ පුරුදු වෙලා වගේ දැනුන නිසයි. අනික මේ පෝස්ට් එක කියවලා සමහරු අහයි " උඹ හෙන බෞද්ධයාද අනිත් උන්ට බණ කියන්න " කියලා. මම කියන්නේ නෑ මම බොහොම හොඳ බෞද්ධයෙක් කියලා. මම කොහොම මනුස්සයෙක්ද කියන එක මගේ බ්ලොග් පොස්ට් එකක් දෙකක් කියවපු, මාව මාස කීපයක් සමහරවිට අවුරුදු කීපයක් මාව දන්න කෙනෙක්වත් හරියට නොදන්නවා වෙන්න පුළුවනි. ඒ නිසා මගේ බෞද්ධකම ගැන තර්ක කරන්න යන්න වුවමනාවක් මට නෑ.   කියන්න තියෙන්නේ මාව හරියට දන්නෝ දනිති කියලයි. ඊට අමතරම මේ කියලා තියන කාරණාව ගැන කියන්න තියෙන්නේ  මම අනිත් ආගම්වලට දොස් කියන්නෙවත්, බුද්ධර්මයට නිගා කරන උන්ට කෙලවෙලා පල කියලා සාප කරන්නවත් යන ජාතියේ මිනිහෙක් නෙවෙයි කියලා. කොහොමත් මම වෛර කරන මනුස්සයෙක් නෙවෙයි. ඒ ගැන මීට කලින් ලීවා. ඔන්න ඒකත් ගිහින් බලන්න පුලුවන් මෙතැනින්.

Wednesday, January 4, 2012

ලෝකේ උතුම් රට ලංකාවයි..... සිරි ලංකාවයි........

ලැබුවා වූ නව වසර සියළුම දෙනාට කරදර බාධක වලින් තොර වූ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨවන, අයහපත් සිතුවිලි බැහැරවෙන නිරෝගී, ප්‍රීතිමත් වසරක් වේවා !!! කියලම ඔන්න පටන් ගන්නවා මේ අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක ලියන්න.

මේ අවුරුද්ද හැමෝටම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරද්දි මට හිතුනා ඊට කලින් රටට යහපත්, සුභ කලදසාවක් උදාවෙන්න ඕනෙ නේද කියලා.සමහරවිට කෙනෙක්ට කියන්න පුළුවන් රට හදන්න නම් මිනිස්සු හැදිලා ඉන්න ඕනේ කියලා. මිනිස්සුද රටද මුලින් හදන්නේ කියලා තර්ක කර කර ඉඳලා නම් වැඩක් නෑ. කොහොමවුනත් මෙච්චර කාලෙකට කොටපු නැති විදිහේ පෝස්ට් එකක් කොටන්න හිතුනා අළුත් අවුරුද්දේ.



දැන් අවුරුදු 4 කටත් වැඩි කාලයක් මම ජීවත් වෙන්නේ ලංකාවෙන් පිට. ඉතින් ඔය කාලය ඇතුළත අපේ රට ගැන අනිත්  රටවල් වල මිනිස්සු අහපු ප්‍රශ්න වලට උත්තර බැඳීම, ඒ වගේම ඒ මිනිස්සු අපේ රට ගැන දරපු ආකල්ප අහගෙන සිටීම වගේ දේවල් නිසා අපේ රට ගැන පිට ඉඳන් බලන මිනිහෙක්ට පේන ආකාරය ගැන මගේ හිතේ හැමදාමත් තිබ්බේ වේදනාවක්. හැමදාමත් මට පුළුවන් විදිහට ඒ ආකල්ප වෙනස් කරන්න උත්සහ කලා. යුද්ධය තිබුන කාලේ මේ රටේ මිනිස්සු හිතාගෙන හිටියේ අපි දමිල ජනතාව ප්‍රසිද්ධියේ මරලා දාන, ඒ වගේම ඒ අයට තියන සියළුම වරප්‍රසාද අහිමි කරපු ජාතියක් විදිහට. ඒ විතරක් නෙවෙයි මෙහෙ පාසල් වල සමාජ අධ්‍යනය විශයට අදාල ලිපියක තියන දේවල් දැක්කහම දුක වගේම කේන්තිත් යනවා. එකේ බොහොම ලස්සනට උළුප්පලා තියනවා දෙමළ මිනිස්සු දුක්විඳිනකොට සිංහල මිනිස්සු සුර සැප විඳිනවා කියලා. සල්ලි තියනවා නම් සුර සැප විඳින්න ජාතිය ආගම ප්‍රශ්නයක් නෑ කියලා දන්නේ අපි විතරනේ.මේවට ඉතින් අපේ උත්තරීතර ආයතනයට සේවය සලසන අය වගකියන්න ඕනේ.

කොහොමහරි ඔය අතරේ යුද්ධය නිමාවීමත් එක්ක පිට මිනිස්සුන්ට බොහොම ආඩම්බරෙන් මට කියන්න පුළුවන් වුනා " දැන් ලංකාවේ තත්වය බොහෝම සාමකාමී. ඉතින් ගිහින් බලලා එන්න මගේ රටේ ලස්සන" කියලා. දවස් 10ක 12ක සංචාරයකට ලංකාව තරම් හොඳ වෙන රටක් නම් නැතුව ඇති. මොකද කෙටි කාලයක් තුළ වෙනස් දේශගුණික කලාප, මන බඳින වෙරළ තීරු, වනෝද්‍යාන, පුරාතන නටබුන් ඔය වගේ මොනතරම් දේවල් බලන්න පුළුවන්ද?   අපේ රට ආසියාවේ ආශ්චර්යය කරන්න කියලා අමුතුවෙන් දෙයක් තියනවද කියලත් හිතෙනවා. ඇත්තටම මට මුණගැහුණු ගොඩ දෙනෙක් ලංකාවට නිවාඩුවකට යන්න ආසාවෙන් හිටපු ඒත් යුද්ධය සහ ඒ වටා අපේ මිනිස්සු ගැන ඇහුනු කතා යන්න බයෙන් හිටපු අය.

 යුද්ධය අහවර වුනාට පස්සේ ඔන්න මමත් ශ්‍රී ලාංකික පුරවැසියන් බහුතරයක් වගේම අපේ රට දියුණුවෙයි කියලා බොහොමත්ම ආසාවෙන් බලාගෙන හිටියා. 2009 මැයි මාසේ යුද්ධය ඉවර වෙද්දි අපේ රණවිරුවෝ දාස් ගාණකගේ ජීවිත, අත, පය අහිමිවෙලා. ඒ ලේ කඳුළු මැද්දෙන් ලැබුණු ජයග්‍රහණය දිහා හැමෝම බැලුවේ ආඩම්බරයෙන්, සතුටෙන්. ඒ කඳුළ, වේදනාව මැද්දෙන් අපේ මිනිස්සුන්ගේ මූණේ ඉක්මණින් හිනාවක් දකින්න පුළුවන් වෙයි කියලායි අපි කවුරුත් හිතුවේ.මේ වෙද්දි 2011ත් ඉවරවෙලා, හැරිලා බැලුවහම ගොඩක් දුක හිතෙනවා. රණවිරුවන් යුද්ධකරලා ලබාගත්ත ජයග්‍රහණය දේශපාලනයට සින්න වෙලා. ඒ සින්න වෙච්ච ජයග්‍රහණය තාමත් විකුණගෙන කනවා. මේ කිසිම දේශපාලන පක්ශයකට කඩේ යන්න සූදානම් වීමක් නෙවෙයි. යුද්ධයට නායකත්වය දුන්න නායකයා විදිහට මම අපේ රටේ ජනාධිපතිතුමාට ගොඩක් ගරු කරනවා. ඒත් හොඳ එක දෙයක් කරනවා කියන්නේ නරක ගොඩක් කරන්න අවසර ලැබෙනවා කියන එක නෙවෙයි. කිරි කළයට ගොම බින්දුවක් වැටුනත් ඇති ඒ කිරි කළයෙන් ප්‍රයෝජනයක් නැතිවෙනවා. ඒත් යුද්ධෙන් පස්සේ අපේ පාලකයෝ එකතු කරපු ගොමවල තරම කියන්නේ දැන් ඒ කිරිකළෙම ගොම පාටයි. තව ටික කාලයක් යද්දි කිරි තිබ්බද කියලාවත් හොයාගන්න බැරිවෙයි. කිරි කළෙට ගොම බින්දුවක් වැටුනට ප්‍රයොජනයක් ගන්න බැරිඋනත් අඩුම ගානේ ඒක කිරිකළයක් කියලා හරි පේන්න තියනවා. ඒත් ගොම කළේකට කිරි බින්දුවක් දැම්මට ඒක කිරි කළයක් කියලා නම් කාටවත් කියන්න බෑ.

හැමදාමත් ප්‍රවෘත්ති ඇහුවොත් බැලුවොත් දූෂණ, වංචා, හොරකම්, මැරකම් කලකිරීමක් ඇරෙන්න සතුටක්, ආඩම්බරයක් හිතෙන දෙයක් නම් කවදාවත් ඇහෙන්නේ නෑ. රටේ දූවා දරුවන්ගේ අනාගතය තීරණය කරන  විභාගයට වෙලා තියන අභාගයක්. වැරැද්දක් කරලත් කිසිම වගක් නැතුව මුන් රෙදි ඇඳන් කතා කරන ලස්සන. ඒ අතර ලංකාවට විදේශ සංචාරකයෝ ගෙන්න ගන්න දගලන ආණ්ඩුවට ඒ එන මිනිස්සුන්ට හරි හැටි ආරක්ශාව දෙන්න බෑ. ආණ්ඩුවේම මැරයෝ ඒ එන සංචාරකයන්ව දූෂණය කරලා මරලා දාන්නේ වගේ වගක් නැතුව. ඒ විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතේදි මිනිස්සුන්ට මූණදෙන්න වෙන කම්කටොළු, දුක් ගැහැට ගැන වගේ වගක් නැතිව ආණ්ඩුවට අවශ්‍යකරන දේවල් හරි අපූරුවට කරන ලස්සන. මේ ලිස්ට් එක ගැන කියන්න ගියොත් ඉතින් පෝස්ට් කියක් ලියලා ඉවර කරන්න කියලද ? මහරජතුමෝ, ඔබතුමාගේ රටවැසියන් නැවත වතාවක් ඔබතුමාට චන්දය දුන්නේ යුද්ධය ඉවරකරා වගේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳලා මිනිස්සුන්ගේ ජිවන යුද්ධය නිමාකරන්න මිසක් ඔබතුමාගෙවත් ඔබතුමාගේ වටේ ඉන්න ඈයන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න නෙවෙයි. එහෙම කරත් කමක් නෑ ඒත් රටවැසියන්ගේ ප්‍රශ්න විසඳලා අහවර වෙලා.



2009 අවුරුද්දේ මහරජ ගැන තිබ්බ පැහැදීම, ආඩම්බරය දැන් නම් කොහෙද මන්ද? කොන්දක් නැති විපක්ෂයක් හිටිය පළියට තමන්ට රිසිලෙස ඩෙගා නැටීම නම් ඒ හැටි හොඳ ක්‍රියාවක් නෙවෙයි. අපේ රටේ මිනිස්සුන්ගේ අභාගයට හරි හමන් විපක්ෂයකුත් නෑ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. අද රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඇටි කෙහෙල් කාපු ගුඩුවෝ වගේ ආණ්ඩුව කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්න. මහජනතාව කට්ටියට චන්දේ දීලා කට්ටිය රඟපාන කොමඩිය දිහා බලා ඉන්නවා. ඒ මදිවට මෙලෝ රහක් නැතුව ඒ අයට අත්පුඩි ගහන කට්ටියකුත් ඉන්නවා. මට හිතෙන්නේ මේ විදිහට දිගටම ගියොත් මේ විගඩම්, කරදර, දුක් දරාගෙන ඇතිවුන දවසක මිනිස්සු පාරට බහීවි. හැබැයි රජතුමෝ එදාට නම් ඔබතුමාට හැඟෙන්න ගුල් හොයන්නවෙයි. එහෙම වුනොත් ආයෙත් ලේ ගංගාවක් ගලන්න බැරි නෑ. අනේ එහෙම දෙයක් නොවෙන්න වැඩ කටයුතු සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොටි ප්‍රශ්නය නිසා නැතිවෙච්ච ජීවිතය සහ දේපල ප්‍රමාණය වැඩිත් එක්ක. දෙමළ වේවා සිංහල වේවා ඒ නැති වුනේ අපේ රටේ මිනිස්සු. ඒ නිසා ආයෙත් එහෙම යුගයක් නම් එපා.

මේ ලීවේ කිසිම දේශපාලනික අරමුණකින් නෙවෙයි. ඒත් ආපහු හැරිලා බලද්දි ඇතිවෙච්ච වේදනාව සහ කළකිරීම නිසයි ලියන්න හිතුනේ. මේක ලීවා කියලා ඇතිවෙන සෙතක් නෑ කියලත් මම දන්නවා. මොකෝ ජනාධිපති මගේ බ්ලොග් එක කියවලා මේ අවුරුද්දෙවත් වෙනස් වෙන්න ඕනේ කියලා හිතාගනි කියලද ? ඒ කෙසේවෙතත් තියන මාධ්‍ය නිදහසට අනුව සුදු වෑන් එකක් ගෙදරට එන්න ඉඩතියනවා. පිට මිනිස්සුත් එක්ක රටින් පිට ඉඳං ඒ දිහා බලාඉන්නකොට හිතට එන වේදනාව නිසයි ලීවේ. මහරජතුමනි, මීට අවුරුදු දෙකකට කලින් ඔබතුමා පිළිබඳ තිබුන ගෞරවය, ආඩම්බරය දැන් නම් කොහෙද මන්දා? දවසින් දවස කළකිරෙනවා, දුක හිතෙනවා, කේන්ති යනවා මිසක් කිසිම ඔය කරන වැඩගැන පැහැදීමක් නම් නෑ. හොඳ වැඩක් කරලා ඊට හත්කූරු ගොන් වැඩ 5ක් 6ක් කරලා අර හොඳ වැඩේ ගැන පම්පෝරි ගැහුවට වැඩක් වෙන්නේ නෑ. මේ තියන තත්වය අනුව අපේ රටට සහ රටේ පුරවැසියන්ට ඉතින් අර ඉන්නවයි කියන තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ පිහිට විතරයි. ඒත් මහරජතුමා හොරෙන්ම ඒ කට්ටියත් එයාගෙ පක්ෂෙට අරන්ද දන්නේ නෑ.....  එහෙම නම් ඉතින් අපිට සොරි ඩොට් කොම් තමයි.

ලංකාව අමුතුවෙන් ආසියාවේ ආශ්චර්යය කරන්න දෙයක් නෑ මහරජතුමනි. අපිට ලැබිලා තියන දේවල් දිහා හොඳට ඇස් ඇරලා බැලුවොත් පෙනෙවි අපි ඉන්නේ ආශ්චර්යමත් රටක විත්තිය. අනේ ඉතින් එහෙව් රටක නායකයා වශයෙන් ඔබතුමාට පුළුවන් නම් මේ ආශ්චර්යමත් රටට කොරන හානිය නවත්තලා ලැබිලා තියන සම්පත්වලින් හරියට ප්‍රයොජනය ගන්න ඒ හොඳටම ඇති කියලයි මගේ මේ පුංචි මොලේට තේරෙන්නේ. ඉතින් මේ අවුරුද්දෙවත් අපිට ආශ්චර්යය පෙන්නනවා වෙනුවට ඔබතුමාගේ වැහිලා තියන ඇස් ඇරිලා,ඔබතුමා වටේ ඉන්න මෝඩයෝ රැළත් එක්ක අර දොවාගත් කිරිකළේට ගොම එකතුකරන එක නවතීවා කියලා ප්‍රාර්ථනා කරනවා...........
ඔබ තුමාට කෙසේවෙතත් රටේ ජනතාව වෙච්ච අපිට සියළු දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි, ආරක්ශාවයි !!!!