කලින් පෝස්ට් එකේ ලීවනේ මට ඕලෙවල් ලියන්න ඉන්නකොට වෙච්ච ඇබැද්දිය. මම කිවනේ මට මාසෙකට ආසන්න කාලයක් ඉස්පිරිතාලේ ඉන්න වුනා කියලා. අද ලියන්න හිතුනා ඉස්පිරිතාලෙදි මට ලැබුන අමතක නොවෙන අත්දැකීම් ටික ගැන.
මගේ ඇඳ එහා පැත්තේ හිටියා ලංගම වැඩ කරපු අන්කල් කෙනෙක්. විශ්‍රාම ගියපු රියැදුරු මහත්තයෙක්. මේ මනුස්සයා ඉස්පිරිතාලේ කියලා නෑ කොහොමහරි කාට හරි කියලා ගෙන්නගෙන සිගරට් බීවා. දවසක් මගේ ඇඳ ළඟට ඇවිල්ලා කතා කරද්දි සිගරට් ගඳ ආපු නිසා මම ඇහුවා සිගරට් බීවා නේද? කොහොමද ඉස්පිරිතාලේ ඉන්නකොට සිගරට් බීවේ කියලා. ඒවට ක්‍රම තියනවලු කීවා. එහෙම කියලා කියනවා දොස්තරලා කොච්චර බැන්නත් සිගරට් එක නැතුව ඉන්න බෑලු. ඊට වඩා හොඳයිලු මැරිලා යන එක. අනික සිගරට් නොබීවා කියලා මම තව අවුරුදු 10ක් 15ක් ජිවත් වෙන්නේ නැති වෙයිලු. කොහොමත් අවුරුද්දයි දෙකයිලු. කාටද ඉතින් කියන්නේ? මොනවා වුනත් මම හිටිය ටිකේ ඒ අන්කල් මට හරියට උදවු කලා.
දවසක් මහ රෑ වාට්ටුවේ ලොකු කලබලයක් ඇහිලා මට ඇහැරුනා. ගුටි කාපු ලෙඩෙක් අරන් ඇවිල්ලා. ඔය දේසපාලන ලොක්කෙක්ගේ හෙන්චයියෙක්. ඒ යකත් එක්ක 20ක් විතර වාට්ටුව අස්සට ඇවිත් සද්ද දානවා. අනේ වාට්ටුවේ ඉන්නේ ලෙඩ්ඩු නේද කියලා කල්පනා කරන්න අර මැට්ටන්ට මොලයක් කියලා කලඳක්වත් නෑ. වාට්ටුවම වගේ ඇහැරවලා උන්ගේ ලොක්කගේ ඌෂ්ණෙ පෙන්නලා ගියා. අනේ අසරණ ලෙඩ්ඩු. තව දවසක් පොලගෙක් කාපු ලෙඩෙක් ගෙනවා. කවුරුත් දන්නේ නෑ කාගේ කවුද කොහෙද කියලා. සිහි නැතුව හිටියා දවස් 10ක් විතර. සිහි ආවට පස්සේ තමයි විස්තර දැනගත්තේ. බැලින්නම් කොලුවා අම්පාරේ. ඒත් සිහි එනකොට කෑගල්ලේ. මොකක්ද වුනේ කියලා මිනිහටත් නිච්චි නෑ.
තව දවසක් මහ දවාලේ ලෙඩෙක් වාට්ටුව පුරා දුවනවා. මිනිහගේ පස්සෙන් සාත්තු සේවකයොයි, හෙදියොයි, දොස්තරලයි පන්නනවා. විනාඩි 5ක් 10ක් වාට්ටුව පෙරලපු මනුස්සයා එක පාරටම ජනේලයකින් එලියට පැන්නා. මම හිටිය වාට්ටුව තිබ්බේ 4 වෙනි තට්ටුවේ. අපි හිතුවේ මිනිහා ජනේලෙන් පැන්නට පස්සේ අඬු දෙකක් තුනක් ඉවරයි කියලා. මොන එතනින් පැනලා තිබ්බේ තවත් වහලෙකට. මයේ හිතේ පැයක විතර මෙහෙයුමකින් පස්සේ මිනිහව අල්ලගෙන ඇවිල්ලා ඇඳක ගැට ගැහුවා. පවු කියලත් හිතුනා ගැට ගහලා තිබ්බ විදිහට. ඒත් වාට්ටුවේ වැඩ කරපු අය විඳපු දුකේ හැටියට වෙන කරන්න දෙයකුත් නෑ.
ඔය වගේ සිද්ධි බර ගාණක් වුනා. ඔක්කොම ලියන්නත් බෑ ඉතින්. කොහොම වුනත් මනුස්ස ජිවිතෙත් එපා වෙනවා සමහර අසනීප සහ මිනිස්සු විඳවන හැටි දැක්කහම. බොහොම සොචනීයයි. අනිත් එක තමයි සමහර ලෙඩ්ඩු තමන්ගේ කෙනෙක් දකින කම් ලෙඩ්ඩු බලන වෙලාවට බලාඉන්න හැටි. සමහර ලෙඩ්ඩුන්ගේ දූදරුවන්,ඥාතීන්,හිතවතුන් කවුරුත්ම බලන්න එන්නෙ නැති අවස්ථා එමටයි. ලෙඩ්ඩු බලන පැයම ඉවර වෙනකම් වාට්ටුවට ඇතුල් වෙන හැමකෙනාගෙම මූණ පරික්ෂා කරන්නේ දන්න අඳුනන කෙනෙක්ගේ මූණක් දකීවිද? අදවත් මගේ පුතා ඒවිද? අදවත් කවුරුහරි මාව බලන්න ඒවිද? කියලා. එහෙම පැයම බලා ඉඳලා බලාපොරොත්තු කඩවුනාට පස්සේ ඒ ඉච්චාභංගත්වයට පත්වුන ඇස්වලට කඳුළු උනපු හැටි මම දැක්කා. තනිව අසනීපයක් හැදිලා එකතැන් වෙලා ඉන්න මනුස්සයෙක්ට තමන්ගේ නෑදෑයෙක්, හිතවතෙක් දකින එකේ සතුට කොච්චරද කියලා මට හොඳටම දැණුනා. අසරණ වෙච්ච වෙලාවට ඒක පුදුම සහනයක්. මොකක්දො මන්දා පිනකට මගේ ඇඳ වටේට හැමදාමත් 10ක් 15ක් වටවෙලා හිටියා. එදා මාව බලන්න ආපු හැමෝටම අදටත් මගේ ආදර ස්තූතිය. ඒක බොහොම ලොකු පිනක්.
මට සිහි ආවට පස්සේ මගේ ළඟ හිටියේ අපේ පුංචි අම්මගේ පුතා. අසංක අයියා. මරු මනුස්සයා. මාව බලන්න එන කට්ටිය හිස් අතින් එන්නේ නෑනේ. මට කන්න බැරිවුනත් ඇපල්, දොඩම්, මිදි, බිස්කට්, චීස්, ආප්ප, සුප් ඔය වගේ නානාප්‍රකාර කෑම බීම හම්බ වෙනවානේ. මට කන්න බැරි වුනාට මොකද අරූට ඉහෙන් බහින අමාරුවක් නෑනේ. මගේ අසනීපෙත් නරකම නෑ කීව මනුස්සයාගෙ බරත් කිලෝ 2ක් විතර වැඩිවුනා සතියට. හැබැයි ඒ හම්බවුන ගොඩක් කෑම ජාති අපි වාට්ටුවේ හිටිය ලෙඩ්ඩුන්ට බෙදුවා. ඒ ටිකේ අපි දෙන්නා වාට්ටුවේ හෙනම ප්‍රසිද්ධයි. වාට්ටුවේ නැවතිලා හිටපු කොල්ලෝ සෙට් එකම එලිවුන ගමන් මගේ ඇඳ ළඟ. මොකද හැමදාම උදේට අසංක අයියා ගිහින් පත්තර දෙක තුනක් අරන් එනවා. ඊට අමතරව පොඩි රේඩියෝ කට්ටක් තිබ්බා. ඕවා නිසා ඒ ටිකේ කොල්ලො 5,6 උදේට එනවා. ටික වෙලාවක් යද්දි නර්ස් ඇවිල්ලා කට්ටියව පන්නනවා. ආයෙත් ටිකකින් කට්ටිය එනවා. දවසක් අපි දෙන්නම අර පොඩි ඇඳ දෙකට බෙදාගෙන නිදි. මොනව වුනත් මගේ තනියට ඉන්න එකානේ. අර බංකුව උඩ නිදාගන්න බැරි නිසා ඇඳේම මුක්කුවක් ගහ ගන්න ඉඩ දුන්නා. මහ රෑ නර්ස් කෙනෙන් ඇවිත් අරූව ඇහැරවලා බෙහෙත් පොවන්න හදලා. නර්ස්ට ලෙඩා මාරුවෙලා.
කොහොමෙන් හරි මාසයක් විතර තැපලා ගොඩයා ගෙදර ආවා. අම්මෝ ගෙදර යනකම් ඇඟිලි ගැන ගැන හිටියේ. ඉස්පිරිතාලෙක ඉන්නවා කියන්නේ අපායේ ඉන්නවා වගේ. හතර අතේ පේන්නෙත් ඇහෙන්නෙත් දුක. ජීවිතේ යථාර්තය ඒක වුනත් කව්ද කැමති එහෙම පරිසරයකට. 24 පැයේම අඳෝනාවල්, කෙඳිරිලි හඬවල්, ප්‍රාණය ගිලිහෙනවට බයේ කෑ මොර දීම්. ඊට අමතරව මෘත ශරීර. හතර අතේම දුක. හැමදාම සේවය කරන හෙදියන්ට, සාත්තු සේවකයන්ට, වෛද්‍යවරුන්ට නම් මේ දේවල් හුරුවෙලා ඇති කියලත් හිතුණා. මොනවා වුනත් ඒ දේවල් ඉවසාගෙන කරන සේවය අගයන්න, ස්තූති කරන්න වචන මදි. ඒ හැමෝටම බොහොමත්ම පින්. අපට ඇති ලොකුම ලාභය සෞඛය සම්පන්නකම නිසා සියළුම දෙනා නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා.
මමත් ඩෙංගු හැදුන යාලුවෙක් ලඟ උදවුවට නැවතිලා හිටිය . . . ඉස්පිරිතාලෙන් කිවුවෙ මිත්‍රයට බීට් රූට්, රතු මිදි වගේ රතු පාට කිසිම දෙයක් කන්න දෙන්න එපා කියල. ඉතිං මම කැම්පස් එකට පනිවිඩේ ඇරිය රතු මිදි ගේන්න එපා . . මූට හොඳ නෑ . . කොල පාට මිදි විතරක් ගේන්න කියල . . . කම්පස් එකේ කතාව ගිහිං තියෙන්නෙ "ඕනයා කන්නෙ කොල මිදි විතරයි ඒක නිසා ලෙඩා පිටිං දාල කොල මිදි ගේන්න කියනව" කියල . . . කොල්ලො කෙල්ලො ඔක්කොම මට හොඳ පාඩමක් උගන්නන්න "රතු මිදි" ගෙනාව . . . .
ReplyDeleteමම පවු . . !!!
ඉස්පිරිතාලේ ගැන මම නම් හොඳට දන්නවා. මගේ නෝනා ICU එකේ හෙදියක්. ඉතින් මට අත්දැකීම් තියන තැනක් ඔය. ඒ අතින් අවංක දොස්තර මහත්තුරුන්ටත් හොඳ නර්ස් නෝනලාටත් මම බුදුසරණ පතනවා. ඒ අය මහා පින් කන්දක් කරගන්නේ.
ReplyDeleteඅසංක අය්යගෙ ජොබ් එක කීප වතාවක් කරල තියෙනව. ඔබීගේ තාත්ත මෙලොව ගත කල අන්තිම රාත්‍රියේ බලාගත්තෙ මම. ජනවාරි පළවෙනිදාවක පාන්දර ඉස්පිරිතාලේ අවට හෝටල් වලින් සද්දෙට දාල තිබුන රේඩියෝ වලින් පිරිත් ඇහෙනකොට, මගෙන් ඇහුව, ළඟ පාත පිරිත් ගෙයක්ද කියලත්.
ReplyDeleteකොහොම හරි පිරිත් අහමින් තමා අවසන් හුස්ම හෙලුවෙ. බලන කොට අන්තිමටම දොඩම් තේ හැඳි කීපයක් පොවල තියෙන්නෙත් මම.
අපෝ ඉස්පිරිතාල වල නැවතීම ගැන නම් කතා කරන්න එපා මමත් ඩෙංගු හැදිලා ඉද්දි මාර දුකක් වින්දා ඒ කෙහෙම්මල් ඇඳ උඩට වෙලා ඉන්නයි වටේ පිටේ මිනිස්සු දිහා බලන් ඉන්නයි ගියාම.නර්ස්ලා වෙලාවකට මිනිස්සුන්ට බල්ලො බළලුන්ට වගේ කතා කරන්නේ මට නම් පොඩි හරි සහනයක් තිබ්බේ මගේ පුංචි ඒ ඉස්පිරිතාලේ සිස්ටර් කෙනෙක් නිසා.
ReplyDelete@ ඕනයා - හේ හේ හේ හේ.......... ගෙනාව මිදි ටික අපරාධේ නේද ඇන්ඩයියේ ????
ReplyDelete@ ක්සැන්ඩර් - ඔව් සහෝ, හරියට රාජකාරිය නොකරන ඈයොත් නැතුව නෙවෙයි. ඒත් ඒක ලෙහෙසි පහසු රාජකාරියක් නෙවෙයි. ඒ අය කරන්නේ ලොකු කැපවීමක්....
ඔබා මාමා - ඒ ජොබ් එක බොහොම පින් අයිති වෙන ජොබ් එකක් ඔබා මාමේ.... ලේසි පහසු වැඩක් නෙවෙයි.
ReplyDeleteශානු - ඇත්ත ශානු කියන කතාව. වෙලාවකට නර්ස්ලා මිනිස්සුන්ට කතා කරන්නේ කෑගහන්නේ සත්තු ගාණට දාලා. ඒත් හැමෝම නම් එහෙම නෑ. කීප දෙනෙක් එහෙම උනාට බොහොම කරුණාවන්ත, තමන්ගේ රැකියාව සේවයක් විදිහට සලකන කට්ටියත් ඉන්නවා.
මමත් අපේ තාත්තා ලඟ හිටියා ඉස්පිරිතාලෙ තාත්තා නැතිවෙනකල්ම. මට ඒ දවස් වල දැනිච්ච කම්පනය අවුරුදු 15කට පස්සෙ අදත් දැනෙනවා. ඒ දවස් ටිකෙන් පස්සෙ මම ජීවිතය ගැන මම දරපු ආකල්ප වෙනස්කලා. ප්‍රමුඛතා ලැයිස්තුව ආයෙ ලිව්වා. අදත් ෆලෝ කරන්නෙ ඒක.
ReplyDeletehenryblogwalker the Dude
අපේ අක්කගෙ පොඩි එකා පොඩි බැට්රි දෙකක් ගිලලා ලඟදි රිච්වේ ආර්යා එකේ දවස් දෙකක් නවත්තන් ඉඳියා.
ReplyDeleteපොඩි එවුන්ගෙ දුකයි..ඒ දිහා බලාගෙන අම්මලා අඬන විදියයි දැකලා මටත් හෙන අප්සට්......
8000 වෙනියට බැලුවෙ මමයි ඔන්න....
ReplyDeleteතමන්ව බලන්න කෙනෙක් ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්නවා දකිද්දි දැනෙන දේ විස්තර කරන්න අමාරුයි...
ReplyDeleteඉක්මන් සුව පතනවා..
@ Dude - ඇත්ත. ඉස්පිරිතාලයක සතියක් දෙකක් ගත කරනවා කියන්නේ හිත කම්පාකරවන දෙයක්. මමත් ඒක හොඳටම දන්නවා. මොනවා වුනත් එහෙම පරිසරයක ලෙඩෙක් වෙනුවෙන් කැපවෙනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ගොඩක් පින් ඒ කැපකිරීමට.
ReplyDeleteපිසාචයා - ඇයි මල්ලි පොඩි එකාට කන්න දෙන්නේ නැත්ද? හික්ස්.... ගණන් ගන්න එපා මෝඩ ජෝක් එකක් දැම්මට. පොඩි උන්ගෙ තත්වය ගොඩක් සෝචනීයයි. මොකද උන්ට අමාරුවක් කියන්න තෙරෙන්නේත් නෑනේ. කරන එකම දේ නන්ස්ටොප් අඬන එක.
@ පිසාචයා - 8000ට නෙවෙයි මේක පටන් ගත්ත දවසේ ඉඳන් බලන මනුස්සයෙක්නේ මලේ උඹ.
ReplyDelete@ තාරක - ඔව් මචන්, ඒක ලොකු හයියක්. මේක වුනේ 2001. දැන් නම් මම යහතින් ඉන්නවා. බොහොම ස්තූතියි සහෝ.
මම ඉස්පිරිතාලෙක ඉදලා තියෙන්නේ දවස් 2 යි. ඒ දවස් දෙකට හොඳටම එපා වුණා. ගෙදර ඉන්න එකේ සැප හොඳට තේරුණා
ReplyDelete