Sunday, November 27, 2011

පණහයි..... පණහයි....... පණහයි.........


පණහයි. මේ බ්ලොග් අවකාශේ කරක් ගහන්න අරගෙන දැනට මාස 9යි. පෝස්ට් 50යි. සයිබර් අවකාශයට රිංගාගෙන ගත කරපු  මේ මාස 9ට මොන තරම් දේවල් සිද්ධ වුනාද? පොඩ්ඩක් ආපු ගමන ගැන හැරිලා බලන්න හිතුණා. මුලින්ම මේ බ්ලොග් අවකාශයට ඔළුව දාන්න ලැබුනේ කස්සා හින්දා. ඌ අන්තිම පේලිය පටන්ගත්ත කාලේ බුකියේ පණිවුඩයක් එවලා තිබ්බා අන්තිම පේලිය ගැන. ඒ කාලේ අන්තිම පේලියට ලීවේ ඌ විතරයි. පෝස්ට් එකක් දෙකක් කියවද්දි මටත් වැඩේ අල්ලලා ගියා. දිගටම කියෙව්වා. ඊට පස්සේ අන්තිම පේලිය කියවන අයටත් ලියන්න අවස්ථාව ලැබුණා. ඒ දවස් වල මමත් කාමරයට වෙලා රස්සාවක් හොය හොයා වේලි වේලි හිටපු කාලේ. කරන්න කියලා වැඩක් තිබුනෙත් නෑ. එලියට බහින්නවත් අතේ සතේ නැති කාලේ. ඒ නිසා කරන්න වැඩකුත් නැතිව ඉන්න එකේ මමත් මගේ පළවෙනි පෝස්ට් එක අන්තිම පේලියට ලිවා 2010.11.12. කෙටියෙන් කියනවා නම් 10.11.12 තමයි සයිබරේ පලවෙනි පෝස්ට් එක ලීවේ. ඒ පෝස්ට් එක ලීවේ හිතේ තිබුන ආසවට මිසක් හැකියාවකට නම් නෙවෙයි. මට එච්චර දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. ඒක පබ්ලිශ් වෙනකම් පැයෙන් පැයට බැලුවා. මොකද ඒක පබ්ලිශ් කරයි කියලා කිසිම විශ්වාසයක් තිබුනේ නෑ. අන්තිම පේලියේ ඇඩ්මින්තුමා ඒක පබ්ලිශ් කරලා තිබ්බා. මට මතක විදිහට ඒකට ගුලියා තමයි කොමෙන්ට් කරලා තිබ්බේ. හැබැයි රේටින්ස් තිබ්බා. ඉතින් වැඩේ අත අරින්න හිතුනේ නෑ. තව එකක් ලීවා. ඒකට කලින් එකට වඩා හොඳ ප්‍රතිචාර ලැබුනා. කොමෙන්ට් 4ක් තිබුනා.  ඔය ප්‍රතිචාර නිසා මට දිගටම ලියන්න හිතුණා. ඔන්න ඔහොමලු ගොඩයා මේ සයිබරයට ගොඩ වුනේ.........

ඊට පස්සේ ඔහොම කාලයක් යද්දි අන්තිම පේලිය කියවන මගේ යාළුවෝ දැම්මා බ්ලොග් අදහස. ඒ වෙද්දී  ලියන්න බෑ කියලා  හිතාගෙන හිටපු මට මොනවාහරි කොටාගන්න පුළුවන් කියලා හිතුණා. අනිත කාරණය ගොඩක් වෙලාවට අන්තිම පේලියේ දොර ඇරුනේ විහිලුවට. ඒ නිසා නිදහසේ මට ලියන්න හිතෙන දේවල් ලියන්න බෑ අන්තිම පේලියේ. ඔය අතරේ ඇන්ඩයියගෙයි, ජයියගෙයි බ්ලොග් වලට ගොඩ වෙන්න ගත්තා. ඔය බ්ලොග් දෙක දිගේ මේ සයිබර් අවකාශේ රවුම් ගහන්න පටන් ගත්තා. ඔය විදිහට රවුම් ගහ ගහ හිටපු මස්ත දවසක මට හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න. මස්ත දවසක කීවේ මෙලෝ දෙයක් කරන්න හිතුනේ නැති මහම මහා කම්මැලි දවසක. ඉතින් හිතට ආපු නම තමයි වංහුං. දැම්මා නම ගොඩයාගේ වංහුං කියලා. ගැහුවා තඩි බෝඩ් ලෑල්ලක්. ගහලා එහෙම වැඩේ පටන්ගත්තා. මෙන්න මේකයි මගේ පළවෙනි පෝස්ට් එක. ඇත්තටම බ්ලොග් එක පටන් ගන්න හේතුව තමයි ඒ. ඒ පෝස්ට් එකට ගොඩක් කොමෙන්ට් දාලා මට තල්ලුව දුන්නේ මගේ යාළුවෝ. මොකද ඒ වෙද්දි සයිබර් යාළුවෝ මාව දන්නේ නෑ. දැනගත්තා නම් ඒ කීපම කීප දෙනයි. සයිබර් යාළුවෝ අතරින් මුළින්ම කටහඬක් හරි ඇහුනේ ඇන්ඩයියගේ. කොහොමහරි මගේ යාළුවන්ට අමතරව සයිබර් අවකාසයෙන් කියලා කොමෙන්ට් දාලා තිබ්බේ නිම්ශා, බුද්ධි, සොඳුරු සිත සහ මල් සුවඳක්. මල් සුවඳක් නැත්නම් පැතුම් අයියා කොහොමත් මගේ සහෝදරයෙක් වගේ. ඒත් ඒ වෙනකම් මම දැනගෙන හිටියේ නෑ පැතුම් අයියා සයිබර් අවකාශේ ඉන්න විත්තියක්.  මගේ යාළුවන්ගේ නම් ගම් සඳහන් කරන්න මගේ කිසිම අදහසක් නෑ. මොකද ඒ වැඩේ ලෙසි නෑ. ගොඩක් අය මට මුලදී අඩු පාඩු පෙන්නලා දුන්නා. සයිබරේ යාළුවන්ගෙත් නම් ගම් ලියන්න කල්පනාවක් නෑ. එහෙම කරලා මට පොඩි හරි වැරදීමක් උනොත් කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන්.හැබැයි ඇන්ඩයියගේ සහ ලංකාප්‍රිය අයියාගේ බ්ලොග් එකත්, ඒ දෙන්නාගේ තල්ලුව ගැන මතක් නොකර බෑ. මොකද ඒ බ්ලොග් දෙක තමයි මට මුලින්ම සයිබරේ ඇහැගැටුනේ. ඒකත් අන්තිම පේලිය හරහා. ඊට අමතරම ඔබා මාමාත් අන්තිම පේලියේ ඉන්න කාලේ ඉඳං තල්ලුව දීපු කෙනෙක්. ඉතින් ඒ තුන් දෙනාව මතක් කලේ මට මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න දැන හෝ නොදැන ඒ දුන්න සහයෝගය නිසායි. පහුවෙද්දි නම් බ්ලොග් අවකාශයේ ගොඩක් අයගෙන් තල්ලුව ලැබුනා. මේ සයිබරේට ගොඩක් සීනියර් අයගෙන් පවා අදහස්, ගුණ දොස් ලැබුණා. ඒත් නම් වශයෙන් ඔක්කොම ලියන්නනම් අමාරුයි. අනේ නම ලීවේ නෑ කියලා හිත රිද්දගන්න එහෙම එපා කවුරුවත්.  එදා මට කොමෙන්ට් වලින් සහය දක්වපු සහ කොමෙන්ට් නොදැම්මත් කතා කරලා "වැඩේ හොඳයි ගොඩයෝ කරගෙන පලයන්, අපි දෙන්නම් තල්ලුව" කියපු හැමෝටම මගේ ගෞරවපූර්වක ස්තූතිය. එදා උඹලා දුන්න වචනයේ හයිය නිසා අද මම 50වෙනි පෝස්ට් එක ලියනවා. උඹලාට බොහොමත්ම ස්තූතියි... ( මුකුත් හිතන්න එපා උඹලා කීවේ තියන හිතවත්කමට )

 පනස්වෙනි පෝස්ට් එක මේ වෙලාව වෙද්දී මේ බ්ලොග් එකෙන් මේ සයිබර් අවකාශයෙන් මට ගොඩක් දේවල් ලැබිලා තියනවා. මුණ නොගැහුනට, නොදැක්කට, කට හඬ ඇහුනේ නැති උනාට මට අදහස් වලින් ළඟ ඉන්න මිත්‍රයෝ ලැබුනා. වැරදි මතයක්, අදහසක් නිවැරදි කරන්න, අඩු පාඩුවක් පෙන්නන පුළුවන් පිරිසක් ලැබුනා. මම දකින සිද්ධියම මට වඩා වෙනස් කෝණයකින් පෙන්නන්න පුළුවන් පිරිසක් ලැබුනා. ඒ දේවල් පොඩි වුනත් මගේ ජිවිතේ යම් යම් වෙනස්කම් ඇති කරන්න පුලුවන් වුන දේවල් තියනවා. ඉතින් මෙච්චර කල් මාත් එක්ක හිටපු මගේ සයිබර් යාළුවන්ටත් මගේ යාළුවන්ට සහ සියළුම හිත මිත්‍රාදීන්ට මාගේ ප්‍රණාමය සහ ස්තූතිය. ඉදිරියටත් හැමෝම මාත් එක්ක දිගටම ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා. මා වෙනුවෙන් කාලය වැය කරලා ඒ ලබාදෙන වචනය, සහය මට ගොඩක් වටිනවා. ඒ වටිනා කාලයට බොහෝම ස්තූතියි.

 මේ බ්ලොග් අවකාශයෙන් මට සතුටක්, සැනසුමක්, අස්වැසිල්ලක් වගේම, දුක, වේදනාව, කඳුලත් හිමිවුනා. ආදරය වගේම විරහ වේදනාවත් විඳින්න මේ අවකාශය මට ඉඩ ප්‍රස්තාව හදලා දුන්නා. ජිවිතේ මෙතෙක් කල් නොවිඳපු ආදරයත් ඒ පස්සෙන්ම ආපු විරහ වේදනාවත් විඳින්න ඉඩ කඩ හදාදුන්නේ මේ බ්ලොග් පිටුව. කලින් පෝස්ට් එකක මම කීව මේ සයිබරය හරහා මගේ ආදරය මට ලැබුන හැටි. ඒත් නොසිතු විදිහට අපි දෙන්නාගේ උපන් වෙලාව අපේ ආදරයට හරහට හිටියා. මම දන්නේ නෑ ජොතිශ්‍ය විද්‍යාව ගැන. ඒත් දෙමව්පියන් ඒ ගැන හොයලා බලලා දුන්න තීන්දුව තමයි ඒ. කොතෙකුත් උත්සහ කරත් ඒ ගැන කතා කිරීමෙන් වැඩක් නොවෙන නිසාත්, දෙමාපියන් දරුවන්ට විපතක්, හානියක් වෙන්න ඉඩ නොතියන නිසාත් අන්තිමට අපි තීරණයකට ආවා. හැබැයි ඒ ආදරේ කිසිම වෙනසක් නෑ. වෙනසකට තියෙන්නේ ඒ ආදරේ මාළඟ තියාගන්න බැරිවීම විතරයි. ඒ ආදරේ මා ළඟ තියාගන්න එකෙන් වෙන්නේ  මම ආදරේ කරන කෙනාට හානියක් කියලා කියනවා නම් මට හිතෙනවා දුරින් වුනත් හානියක්, උපද්‍රවයක් නැතුව ඒ කෙනා ඉන්න එක හොඳයි කියලා. ඒ ආදරේට හැමදාටමත් මම ආදරේයි. ඒ ගතවුන කාලය හැමදාටමත් සුන්දර මතකයක් වේවි. ඊට වඩා ඒ ගැන කතා කරන්න මගේ කැමැත්තක් නෑ. ඒ වගේම ජොතිශ්‍ය ඇත්තද බොරුද කියලා තර්ක කරන්න වුවමනාවකුත් නෑ. මගේ සහ මා අවට සිටි පුද්ගලයන්ගේ ජිවිත ගැන බලද්දි මට ඒ ගැන අභියෝග කරන්න ශක්තිය අඩුයි.

මේ සිද්ධි, හැල හැප්පීම්, කම්කටොලු එක්ක මට සතුට, සිනහව, සැනසුම, අස්වැසිල්ල, ආදරය, ඒ වගේම කඳුල, දුක, වේදනාව ගෙනත් දුන්න, මගේ පාළුවට, තනිකමට  මගේ ළඟ හිටිය මේ බ්ලොග් පිටුව දැන් මගේ ජිවිතයේ කොටසක් වෙලා අවසානයි.ඉතින් ඉදිරියටත් මම අත්විඳපු අත්දැකීම්, දැකපු දේවල්, අහපු හෝ කියවපු දේවල්, වල්පල් මේ හැමදෙයක්ම මේ ගොඩයාගේ වංහුං පිටුව පුරා ලියවේවි. දවසින් දවස ජීවිතයට එකතුවෙන අත්දැකීම් එක්ක ලියන්න දේවල් එකතු වේවි. ඒ දේවල් අද ඊයේ වගේම හෙටත් වෙලාව තියන විදිහට සහ මට පුලුවන් විදිහට මේ පිටුව පුරවාවි. එදාටත් අද වගේම උඹලා මාත් එක්ක ඉඳීවියි කියා හිතනවා. ඒ කතන්දර එක්ක මෙච්චර දුරක් එන්න මට හයිය දුන්න හැමෝටම මගේ ගෞරව ප්‍රණාමය සමඟ මාගේ හදපිරි ස්තූතිය !!!!!
ඒ වගේම මේ කාලය ඇතුලත මගේ පෝස්ට් එකක් හෝ කොමෙන්ට් එකක් නිසා කාගේ හරි හිත් රිදවීමක් වුනා නම් අනේක වාරයක් සමාවෙන්න මට. හිතා මතා කාගේවත් හිත් රිද්දන්න නම් ලීවේ නෑ මම.
හැමෝටම බොහෝමත්ම ස්තූතියි !!!!
ඉදිරියටත් සහය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා හැමදාටම..............
සැමට ජයෙන් ජය!!!!!

Monday, November 14, 2011

මඟුල් ගෙවල්........


ඕනේ මඟුලක් කියලා ඔන්න කියන්න හදන්නේ මඟුල් ගැන. මම ලියපු අයියා අපේ නෑදෑයෙක්ද? පෝස්ට් එකෙත් මම කීවනේ උසස් පෙල ඉවර වෙලා මම එක එක ජාතියේ රස්සා කරපු විත්තිය. ඔය රස්සා අතරේ හරිහමන් ගානක් අතට ලැබෙන වැඩකට කලේ විවිධ උත්සව අවස්ථා රූ ගත කරන එක. වැඩියෙන්ම ලැබුනේ විවාහ මංගල්‍ය රූගත කිරීම් තමයි. ඒ දවස්වල ඉතින් නිතරම මඟුල්. මඟුල් දැකලම එපා වෙලා හිටියේ. ඔය වැඩ වලට ගියහම හරි හරි වැඩ වෙනවා. මතක් වෙද්දි හිනා කාලා මැරෙන ඒවා වගේම දුක හිතෙන සිද්ධිත් තියනවා. ඒ වගේ සිද්ධි දෙක තුනක් ලියන්න හිතුනා අද. මීට කලින් මම සිද්ධි දෙකක් අන්තිම පේලියට ලීවා.
1. මාර මඟුල්
2.කෙල්ලොද කොල්ලොද ???
වෙලා තියන සිද්ධි නම් අනන්තයි අප්‍රමාණයි. මතක් වෙන වෙලාවට ලියන්න වෙලාවක් නෑ. ලියන්න වෙලාවක් තියනකොට  මතක් වෙන්නේ නෑ. අද ඔය දෙකම එකට පත්තු වුන නිසා ලියනවා.

ඔන්න දවසක් මමයි ගැමුණු අයියයි ( ගැමුණු අයියා තමයි මට ඉස්සෙල්ලාම කැමරාවක් අතට දීලා වැඩ ඉගෙන ගනින් කියපු මනුස්සයා. මිනිහත් එක්ක තමයි වැඩ කරේ. ) ගියා වෙඩිමකට. උදේ අන්දන ඒවා, නෑදෑයින්ට කතා කරන ඒවා, ඕවා මේවා ඉවර වෙලා ආවා  මඟුල් ගෙදර වැදගත්ම අවස්ථාවට. පෝරුවේ චාරිත්‍ර කියන්නේ වැදගත්ම අවස්ථාවනේ. ඔන්න දැන් මනමාලියි, මනමාලයයි දෙන්නා පෝරුව දෙපැත්තට වෙලා නැකත් වෙලාව එනකම් බලාගෙන ඉන්නවා පෝරුවට ගොඩවෙන්න. අපි දෙන්නට පොඩි ප්‍රශ්නයක් ඒ වුනාට. මොකද සාමාන්‍යයෙන්  අපි පෝරුවේ ඉස්සරහ ඉඳන් බලනකොට මනමාලි පෝරුවට ගොඩ වෙන්නේ දකුණු පැත්තෙන්, මනමාලයා වම් පැත්තෙන්. ඔය කරුණු කාරණා කියලා දෙන්න ඕනේ අර පෝරුවේ චාරිත්‍ර කරන්න එන මනුස්සයා. එහෙම මනුස්සයෙක් ඇවිල්ලත් ඉන්නවා. අපි ඔය පෝරුවේ වැඩ කරන්න එන ඈයොත් එක්ක ගනු දෙනු කරන්නේ හරිම පරිස්සමින්. මොකද ඒ අය අපිත් එක්ක හරහටමයි. විඩියෝ කරන්න දෙන්න නැතුව එහෙට මෙහෙට වෙනවා. කොහොම හරි පොඩ්ඩක් හරි අපේ වැඩේට බාධා කරනවා. ඒ වෙලාවට ඉතින් එයානේ ලොක්කා.  ඒත් අපි දෙන්නට හරිම ප්‍රශ්නේ? මේ මනුස්සයා ඇයි මේ වැරැද්ද හදන්නේ නැත්තේ කියලා. කොකටත් ජායාරූප ශිල්පියාගෙනුත් ඇහුවහම මිනිහා කීවෙත් දෙන්නා මාරු වෙන්න ඕනේ කියලා.

මොනවා වුනත් හරි නෑනේ. ඒ නිසා මම ළඟට ගිහින් " මහත්තයා, පෝරුවට නගිද්දි මනමාල මහත්තයයි මනාල මහත්මියයි නගින්න ඕනේ අනිත් පැත්තෙන් නේද ?" කියලා බොහොම ගරු සරු ඇතුව ඇහුවා. මේ මනුස්සයා මගේ දිහා බලලා " ආ එහෙමද මල්ලි? හරි හරි එහෙනම් එහෙම කරමු" කියලා " ඔය මනාල මහත්තයා මේ පැත්තට ඇවිල්ලා මනාල මහත්මිය අනිත් පැත්තට යන්න. ගොඩ වෙන්න ඕනේ අනිත් පැත්තෙන්" කියලා අර ජෝඩුවේ ටැපලිල්ල හරි ගැස්සුවා. ඔන්න දැන් කට්ටිය අර මනුස්සයාට වෙලාව මතක් කරද්දි ඒ මනුස්සයත් ඕනේවට එපාවට වැඩේ කරගෙන යනවා. අපිට කිසිම සද්දයක් දැම්මේත් නෑ. අපේ වැඩේට කිසිම කරදරයකුත් නෑ. ඔහොම  ගිහින් ස්ත්‍රෝත්‍ර කියන තැනට ආවා. ඔය ස්ත්‍රෝත්‍ර කියන වැඩේ බොහොම ගරු සරුවට සද්දේට කියන දෙයක්නේ. ඔන්න මේ මනුස්සයා කලිසම් සාක්කුවෙන් දෙකට තුනට නවපු කෑලි ගිය පොතක් ඇදලා ගත්තා. අර හෝල් එකේ තිබ්බ ක්‍රොන්ක්‍රීට් කණුවකට හේත්තු වුනා. දැන් අර පොත දිග ඇරගෙන ඔහේ කියාගෙන යනවා. අපිට හොල්මන්. මගේ ජිවිතේටම එහෙම  සිද්ධියක් දැක්කමයි. මඟුල් ගෙදර ආපු හැමෝගෙම මූණු දෙක වුනා. මනමාලිගේ සහ මනමාලයාගේ මූණුත් හතරැස් වෙලා. ඇත්තටම ඒ දෙන්නගේ ජිවිතේ වැදගත්ම දවසේ ඒ දෙන්නට ආශිර්වාද කිරීමේ අරමුණෙන් කරන්න ඕනේ දේ උඹලට ඕනේ නම් අහගනින්, නැත්නම් පලයන්  වගේ හැඟීමක් එන්න කීවහම ඒ මිනිස්සු දෙන්නට මොනවා හිතෙන්න  ඇත්ද? කොහොම හරි මේ කෝලම ටිකක් වෙලා බලාහිටපු නෑදෑයෝ අර මනුස්සයට කොක්ක ඇදලා වැඩේ නවත්තලා දැම්මා. මොකද ඒ කියාගෙන ගිය විදිහ බලා ඉන්න බැරි තරම් අශෝභනයි.  කොහොමහරි පෝරුවෙන් බහින තැනට එද්දි හැමෝගෙම සතුටු මූණු මැල වෙලා.

තව දවසක් මඟුල් ගෙදරක ගියා. උදේම ගියාට අර මල් පොකුරු මාරු කරගන්න සිද්ධි එහෙම වීඩියෝ කරගන්න වෙලාවක් උදේ තිබුනේ  නෑ. ඒ නිසා ඒ අවස්ථා ටික දවල් කෑමෙන් පස්සේ ගන්න කතා කරගත්තා. ඔය මඟුල් ගෙවල්වල නැකැත් ප්‍රශ්නේ නිසා අපි නිතරම ඔය වැඩේ කරනවා. මොකද ඔය නැකත් කලබල අස්සේ ඕවා කරන්න ගියහම අපිට බැනුම් කෝටියයි. සමහර වෙලාවට පස්සේ ඔය සිද්ධි ගන්න ගියහමත් හරියට ලෙඩ. අර මල් කුමාරියන්ට කුමාරයන්ට ඉන්න උන්ට දවල් වෙද්දි එපා උනහම සුකුරුත්තන් ඇඳුම් ගලවලා හතර අතේ දුවනවා. සමහරවෙලාවට දෙවනි මනමාලයෝ හොයාගන්න නෑ. එදා තිබ්බ මඟුල් ගෙදර අමද්‍යප එකක්. ඒ නිසා වැඩි අවුලක් නෑ කියලා හිතාගත්ත. කෝකටත් අපි දෙවනි මනමාලයෝ දෙන්නට කීවා දවල් කෑමෙන් පස්සෙ ඒ දෙන්නව වීඩියෝ වැඩේට ඕනේ කියලා. ඔන්න ඉතින් කලබල අස්සේ දවල් කෑම වෙලාවටත් ආවා. ඒ සිද්ධියත් ඉවර වෙලා ඔන්න දැන් ජෝඩුවයි, අර පොඩි පැන්චොයි, පැන්චියොයි, දෙවන මනමාලියොයි, ඔක්කොමත් එක්ක ගියා කාමරේකට අවශ්‍ය දර්ශන ටික රූ ගත කරන්න. ඒත් මනමාලිට මල් පොකුර දෙන්නවත් දෙවනි මනමාලයෝ නෑ. උන් දෙන්නම අතුරුදහන්. කට්ටියම මඟුල් ගේ පෙරලගෙන මුන් දෙන්නව හොයනවා. කිසිම හෝඩුවාවක් නෑ. අපිටත් ඉතින් එන්න එන්නම මල උපරිම වෙනවා. ඔහොම පැය භාගයක් විතර යද්දි දෙන්නා වෑන් එකකින් ආවා තව සෙට් එකක් එක්ක. ටයි නෑ. කෝට් නෑ. කොටින්ම කීවොත් ඇඩ්‍රස් නෑ. දෙන්නා කොල්ලො සෙට් එකත් එක්ක ගිහින් කන සාක්කුවට වැටෙනකම්ම ගහලා. දෙන්නගෙන් එකෙක්ටවත් කෙලින් ඉන්න පණ නෑ. වෙරි එකෙත් හොඳම එක. මුන් දෙන්නට පොල් පෙති දෙකක් ගැට ගහලවත් කෙලින් කරගන්න බෑ. මොනව කරන්නද ඉතින්? මනමාලිගේ දුක් සෝ සුසුම් මැද ඒ ජවනිකාව අවලංගු කරන්න වුනා.

මම මේ සිද්ධි දෙකම කීවේ වෙන මොකවත් නිසා නෙවෙයි. අපේ ජිවිත වල වැදගත්ම අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කරද්දි පොඩ්ඩක් දෙතුන් පාරක් හිතලා වැඩක් භාර දෙන්න පුළුවන්, වගකීමක් ගන්න පුලුවන් අයට ඒ වගේ වගකීම් භාර දෙනවා නම් හොඳයි. එහෙම නැතුව ආවට ගියාට තව කෙනෙක් කීවට කිසිම වැඩක්  භාර දෙන්න එපා. ඔය අන්දන කරන වැඩ, පෝරුවේ වැඩ, සැරසිලි, එතකොට ඔය දෙවනි මනමාල මහත්තුරු, නෝනලා. ඡායාරූප කටයුතු, ඔය මෙකී නොකී හැම පොඩි වැඩක්ම  භාර දෙනකොට හොඳට හිතලා මතලා පුද්ගලයෝ තෝරගන්න ඕනේ. මොකද අන්තිමට පොඩි අවුලක් ගියත් ඒකෙන් ලොකු මානසික පීඩනයක් ඒ වෙලාවට ඇති වෙනවා. ඒ වගේම අන්ත අසරණ වෙනවා. ජිවිතේ ලස්සනම දවසක් ඒ විදිහට ගත කරන්න කවුරුත් කැමති නෑනේ. ඒ නිසා ඔය පොඩි පොඩි දේවල් පවා හොඳට පිලිවෙලකට සැලසුම් කරන එක තමයි හොඳ. සමහර වෙලාවට ජෝඩුව පෝරුවට නග්ගලා තමයි සමහරු අවශ්‍ය කරන දේවල් හොයන්නේ. ඔය වගේ පොඩි පොඩි අඩු පාඩු අනන්තයි .ඒ නිසා කවුරුහරි තමන්ගේ ජිවිතේ ලස්සන දවසකට ලැහැස්ති වෙනවා නම්  ඒ දවස සහ ඒ කටයුතු හොඳ සැලසුමකට පිලියෙල කරන්න. හැම දෙයක් ගැනම දෙතුන් පාරක් හොයලා බලන්න. වගකීමක් ගන්න පුලුවන් අය ඒ කටයුතුවලට යොදාගන්න. එහෙම කරොත් ඒ ලස්සන දවස බොහෝම සතුටින් ගත කරන්න පුලුවන් වේවි.


Tuesday, November 8, 2011

රෝහල් ගතවීමි


කලින් පෝස්ට් එකේ ලීවනේ මට ඕලෙවල් ලියන්න ඉන්නකොට වෙච්ච ඇබැද්දිය. මම කිවනේ මට මාසෙකට ආසන්න කාලයක් ඉස්පිරිතාලේ ඉන්න වුනා කියලා. අද ලියන්න හිතුනා ඉස්පිරිතාලෙදි මට ලැබුන අමතක නොවෙන අත්දැකීම් ටික ගැන.

සති දෙකක් මම ඉස්පිරිතාලේ හිටියට හරියට සිහියක් තිබුනේ නෑ. මගේ ලඟ තනියට හිටපු කාගේ හරි පිහිටෙන් තමයි ඒ සති දෙක ගෙවුනේ. ඊළඟ සතියේ ඉඳන් මගේ අවට සිද්ධ වෙන දේවල් ගැන පොඩ්ඩක් අවධානය යොමුකරන්න තරමේ හයියක්, කල්පනාවක් තිබ්බා. "ආරෝග්‍යා පරමා ලාභා" කියන කියමනේ අර්ථය තේරුම් යන්නේ ආරෝග්‍යය නැතිවුනහම. එතකල් කොච්චර කීවත් ඔය ගැන කල්පනා වෙන්නේ නෑනේ.කොහොම හරි ලෙඩ නිසා මිනිස්සු විඳින දුක් ඇස් දෙකෙන්ම දකින්න කන් දෙකෙන් අහන්න ලැබුනා මට ඒ සති 2 ඇතුලත. මට එහා පැත්තේ ඇඳක හිටියා වයසක අන්කල් කෙනෙක්. කෙඳිරි ගානවා එලිවෙනකම්. දවස් 2යි මයෙ හිතේ හිටියේ. ඒ දවස් දෙකට පුදුම විදිහට දුක් වින්දා. තුන්වෙනි දවසේ රෑ කෙඳිරිය නැවතුනා. මම උදේ බලද්දි සුදු රෙද්දකින් වහලා. කෙඳිරිය නැවතුන හේතුව දැනගත්තේ එතකොට. ඒත් මිනිය මෝචරියට අරන් ගියෙත් ටිකක් දවල් වෙලා. මම ඉස්පිරිතාලේ ඉන්නකොට දහ පහලොස් දෙනෙක්ම නැතිවුනා. ඒ හැමෝගෙම මෘත දේහ වාට්ටුවේ සෑහෙන වෙලාවක් තිබ්බා. කාගෙන් හරි ඇහුවහම කීවා එහෙම මැරුණ ගමන්ම මෘත ශරීර මෝචරියට අරන් යන්න බෑ පැය කීපයක් වාට්ටුවේ තියන්න ඕනේ කියලා. මට හොඳට මතකයි මගේ ඇඳට එහා පැත්තේ සහ ඉස්සරහ ඇඳේ මිනී දෙකක් තිබ්බා රෑ එලිවෙනකම්.

මගේ ඇඳ එහා පැත්තේ හිටියා ලංගම වැඩ කරපු අන්කල් කෙනෙක්. විශ්‍රාම ගියපු රියැදුරු මහත්තයෙක්. මේ මනුස්සයා ඉස්පිරිතාලේ කියලා නෑ කොහොමහරි කාට හරි කියලා ගෙන්නගෙන සිගරට් බීවා. දවසක් මගේ ඇඳ ළඟට ඇවිල්ලා කතා කරද්දි සිගරට් ගඳ ආපු නිසා මම ඇහුවා සිගරට් බීවා නේද? කොහොමද ඉස්පිරිතාලේ ඉන්නකොට සිගරට් බීවේ කියලා. ඒවට ක්‍රම තියනවලු කීවා. එහෙම කියලා කියනවා  දොස්තරලා කොච්චර බැන්නත් සිගරට් එක නැතුව ඉන්න බෑලු. ඊට වඩා හොඳයිලු මැරිලා යන එක. අනික සිගරට් නොබීවා කියලා මම තව අවුරුදු 10ක් 15ක් ජිවත් වෙන්නේ නැති වෙයිලු. කොහොමත් අවුරුද්දයි දෙකයිලු. කාටද ඉතින් කියන්නේ? මොනවා වුනත් මම හිටිය ටිකේ ඒ අන්කල් මට හරියට උදවු කලා.

දවසක් මහ රෑ වාට්ටුවේ ලොකු කලබලයක් ඇහිලා මට ඇහැරුනා. ගුටි කාපු ලෙඩෙක් අරන් ඇවිල්ලා. ඔය දේසපාලන ලොක්කෙක්ගේ හෙන්චයියෙක්. ඒ යකත් එක්ක 20ක් විතර වාට්ටුව අස්සට ඇවිත් සද්ද දානවා. අනේ වාට්ටුවේ ඉන්නේ ලෙඩ්ඩු නේද කියලා කල්පනා කරන්න අර මැට්ටන්ට මොලයක් කියලා කලඳක්වත් නෑ. වාට්ටුවම වගේ ඇහැරවලා උන්ගේ ලොක්කගේ ඌෂ්ණෙ පෙන්නලා ගියා. අනේ අසරණ ලෙඩ්ඩු.  තව දවසක් පොලගෙක් කාපු ලෙඩෙක් ගෙනවා. කවුරුත් දන්නේ නෑ කාගේ කවුද කොහෙද කියලා. සිහි නැතුව හිටියා දවස් 10ක් විතර. සිහි ආවට පස්සේ තමයි විස්තර දැනගත්තේ. බැලින්නම් කොලුවා අම්පාරේ. ඒත් සිහි එනකොට කෑගල්ලේ. මොකක්ද වුනේ කියලා මිනිහටත් නිච්චි නෑ.

තව දවසක් මහ දවාලේ ලෙඩෙක් වාට්ටුව පුරා දුවනවා. මිනිහගේ පස්සෙන් සාත්තු සේවකයොයි, හෙදියොයි, දොස්තරලයි පන්නනවා. විනාඩි 5ක් 10ක් වාට්ටුව පෙරලපු මනුස්සයා එක පාරටම ජනේලයකින් එලියට පැන්නා. මම හිටිය වාට්ටුව තිබ්බේ 4 වෙනි තට්ටුවේ. අපි හිතුවේ මිනිහා ජනේලෙන් පැන්නට පස්සේ අඬු දෙකක් තුනක් ඉවරයි කියලා. මොන එතනින් පැනලා තිබ්බේ තවත් වහලෙකට. මයේ හිතේ පැයක විතර මෙහෙයුමකින් පස්සේ මිනිහව අල්ලගෙන ඇවිල්ලා ඇඳක ගැට ගැහුවා. පවු කියලත් හිතුනා ගැට ගහලා තිබ්බ විදිහට. ඒත් වාට්ටුවේ වැඩ කරපු අය විඳපු දුකේ හැටියට වෙන කරන්න දෙයකුත් නෑ.

ඔය වගේ සිද්ධි බර ගාණක් වුනා. ඔක්කොම ලියන්නත් බෑ ඉතින්. කොහොම වුනත් මනුස්ස ජිවිතෙත් එපා වෙනවා සමහර අසනීප සහ මිනිස්සු විඳවන හැටි දැක්කහම. බොහොම සොචනීයයි. අනිත් එක තමයි සමහර ලෙඩ්ඩු තමන්ගේ කෙනෙක් දකින කම් ලෙඩ්ඩු බලන වෙලාවට බලාඉන්න හැටි. සමහර ලෙඩ්ඩුන්ගේ දූදරුවන්,ඥාතීන්,හිතවතුන් කවුරුත්ම බලන්න එන්නෙ නැති අවස්ථා එමටයි. ලෙඩ්ඩු බලන පැයම ඉවර වෙනකම් වාට්ටුවට ඇතුල් වෙන හැමකෙනාගෙම මූණ පරික්ෂා කරන්නේ දන්න අඳුනන කෙනෙක්ගේ මූණක් දකීවිද? අදවත් මගේ පුතා ඒවිද? අදවත් කවුරුහරි මාව බලන්න ඒවිද? කියලා. එහෙම පැයම බලා ඉඳලා බලාපොරොත්තු කඩවුනාට පස්සේ ඒ ඉච්චාභංගත්වයට පත්වුන ඇස්වලට කඳුළු උනපු හැටි මම දැක්කා. තනිව අසනීපයක් හැදිලා එකතැන් වෙලා ඉන්න මනුස්සයෙක්ට තමන්ගේ නෑදෑයෙක්, හිතවතෙක් දකින එකේ සතුට කොච්චරද කියලා මට හොඳටම දැණුනා. අසරණ වෙච්ච වෙලාවට ඒක පුදුම සහනයක්. මොකක්දො මන්දා පිනකට මගේ ඇඳ වටේට හැමදාමත් 10ක් 15ක් වටවෙලා හිටියා. එදා මාව බලන්න ආපු හැමෝටම අදටත් මගේ ආදර ස්තූතිය. ඒක බොහොම ලොකු පිනක්.

මට සිහි ආවට පස්සේ මගේ ළඟ හිටියේ අපේ පුංචි අම්මගේ පුතා. අසංක අයියා. මරු මනුස්සයා. මාව බලන්න එන කට්ටිය හිස් අතින් එන්නේ නෑනේ. මට කන්න බැරිවුනත් ඇපල්, දොඩම්, මිදි, බිස්කට්, චීස්, ආප්ප, සුප් ඔය වගේ නානාප්‍රකාර කෑම බීම හම්බ වෙනවානේ. මට කන්න බැරි වුනාට මොකද අරූට ඉහෙන් බහින අමාරුවක් නෑනේ. මගේ අසනීපෙත් නරකම නෑ කීව මනුස්සයාගෙ බරත් කිලෝ 2ක් විතර වැඩිවුනා සතියට. හැබැයි ඒ හම්බවුන ගොඩක් කෑම ජාති අපි වාට්ටුවේ හිටිය ලෙඩ්ඩුන්ට බෙදුවා. ඒ ටිකේ අපි දෙන්නා වාට්ටුවේ හෙනම ප්‍රසිද්ධයි. වාට්ටුවේ නැවතිලා හිටපු කොල්ලෝ සෙට් එකම එලිවුන ගමන් මගේ ඇඳ ළඟ. මොකද හැමදාම උදේට අසංක අයියා ගිහින් පත්තර දෙක තුනක් අරන් එනවා. ඊට අමතරව පොඩි රේඩියෝ කට්ටක් තිබ්බා. ඕවා නිසා ඒ ටිකේ කොල්ලො 5,6 උදේට එනවා. ටික වෙලාවක් යද්දි නර්ස් ඇවිල්ලා කට්ටියව පන්නනවා. ආයෙත් ටිකකින් කට්ටිය එනවා. දවසක් අපි දෙන්නම අර පොඩි ඇඳ දෙකට බෙදාගෙන නිදි. මොනව වුනත් මගේ තනියට ඉන්න එකානේ. අර බංකුව උඩ නිදාගන්න බැරි නිසා ඇඳේම මුක්කුවක් ගහ ගන්න ඉඩ දුන්නා. මහ රෑ නර්ස් කෙනෙන් ඇවිත් අරූව ඇහැරවලා බෙහෙත් පොවන්න හදලා. නර්ස්ට ලෙඩා මාරුවෙලා.

කොහොමෙන් හරි මාසයක් විතර තැපලා ගොඩයා ගෙදර ආවා. අම්මෝ ගෙදර යනකම් ඇඟිලි ගැන ගැන හිටියේ. ඉස්පිරිතාලෙක ඉන්නවා කියන්නේ අපායේ ඉන්නවා වගේ. හතර අතේ පේන්නෙත් ඇහෙන්නෙත් දුක. ජීවිතේ යථාර්තය ඒක වුනත් කව්ද කැමති එහෙම පරිසරයකට. 24 පැයේම අඳෝනාවල්, කෙඳිරිලි හඬවල්, ප්‍රාණය ගිලිහෙනවට බයේ කෑ මොර දීම්. ඊට අමතරව මෘත ශරීර. හතර අතේම දුක. හැමදාම සේවය කරන හෙදියන්ට, සාත්තු සේවකයන්ට, වෛද්‍යවරුන්ට නම් මේ දේවල් හුරුවෙලා ඇති කියලත් හිතුණා. මොනවා වුනත් ඒ දේවල් ඉවසාගෙන කරන සේවය අගයන්න, ස්තූති කරන්න වචන මදි. ඒ හැමෝටම බොහොමත්ම පින්. අපට ඇති ලොකුම ලාභය සෞඛ‍ය සම්පන්නකම නිසා සියළුම දෙනා නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා.

Sunday, October 30, 2011

උණ විකාර

උණ හැදිලා, සෙම වැඩිවෙලා, කන්, නහය ඔක්කොම හිරවෙලා මම අංඤකොරොස් වෙලා ඉන්නේ. දවස් දෙකක් වැඩට ගියෙත් නෑ. කොච්චර උණ තිබ්බත් අමාරුවෙන් හරි කෑම ගේන්න එලියට බහින්න වෙනවා. නැත්නම් බෙහෙත් බොන්න විදිහක්වත් නෑනේ. ඔක්කොමත් හරි අමාරුවෙන් ගිහින් ගෙනාව කෑම එක කන්න කිසිම පිරියක් නෑ. මොකද ලංකාවේ ඉන්නකොට උණ ගැනුනහම අම්මා හදලා දෙනවා වගේ මිරිසට, සැරට කඩවල් වල ඉන්න උන් කෑම හදනවා කියලද? තනියම ඉන්නකොට පට්ටම අසරණ වෙන්නේ ලෙඩ හැදුනහම. මේ ටිකේ මගේ කාමරේ හිටපු එකත් නිවාඩු ගිහින්. පෙරේදා නම් ඕනෙම නෑ. අදනම් පොඩ්ඩක් ඔළුව උස්සගෙන ඉන්නවා. ඔය උණ අමාරු අස්සේ මට මතක් වුනා මම ඕලෙවල් ලියපු හැටි. කට්ටිය බලයි මම උණ විකාරෙන්ද කියලා. ඇයි යකඩෝ උණ ගැනුනහම මිනිස්සුන්ට කොහෙද විභාග මතක් වෙන්නේ.සමහරුන්ට නම් විභාග මතක් වෙද්දි උණ ගැනෙනවා. ඔන්න එහෙනම් අද ලියනවා මට උණ ගැනුනහම ඕ ලෙවෙල් මතක් වෙන්න හේතුව.



ඕලෙවල් කරද්දිවත් ඒ ලෙවෙල් පලවෙනි පාර කරද්දිත් ලේසියකට පොතක් අතින් අල්ලපු එකෙක් නෙවෙයි මම. ඕ ලෙවෙල් කරන කාලේ නිතරම ස්කෝලේ බාහිර වැඩ. 10 වසරෙදි හැමදාම උදේ ඉඳන් බෑන්ඩ් ප්‍රැක්ටිස්. අම්මා කෑගද්දි කියන්නේ " හරි හරි ලබන අවුරුද්දෙනේ එක්සෑම්. 11වසර පටන් ගත්තහම පාඩම් කරන්න පටන් ගන්නම්. අනික ස්කොලෙන් අවුට් වෙලා මේවා කරන්න බෑනේ." ඔය වගේ ලොකු ටෝක්, ලොකු පාර්ට් දාලා ශේප් වෙනවා. කොහොමහරි 10 වසරත් ඉවරයි. කොල්ලා 11ටත් ආවා. ඒත් කිසිම වෙනසක් නෑ. සුපුරුදු දින චරියාව. මට මතක විදිහට 11 වසරේ පලවෙන වාරයේ භාගයක් යනකොට අපේ අම්මා ස්කෝලෙට ඇවිල්ලා මාව බෑන්ඩ් වැඩෙනුත් නවත්ත ගත්තා. හරිම ශෝක්. දැන් පාඩම් කරන්නෙත් නෑ. බෑන්ඩ් ගහන්නෙත් නෑ. අනිත් බාහිර වැඩ ටික ලෙසටම කරගෙන යනවා. අම්මා ඉඳලා හිටලා සද්ද දානවා. මම මට නෙවෙයි වගේ ඉන්නවා. අවුරුදු කාලෙට අවුරුදු උත්සව ලැහැස්ති කිරිලිද? වෙසක් කාලෙට කැරකෙන කූඩු ගහන ඒවද? මළගෙවල්, දානේ ගෙවල්, පිරිත් ගෙවල්, මඟුල් ගෙවල්, ඔය මෙකී නොකී සියළුම සමාජ සේවාද අකුරටම කරනවා. කෙරෙන්නෙ නැති එකම දේ තමයි පාඩම.

ඔය විදිහට ගිහින් දෙවනි වාරෙත් ඉවර වුනා. දැන් ඉතින් අන්තිම ලාස්ට් ෆයිනල් වාරේ. වෙනසක් නෑ. පන්ති නම් යනවා. ඒ ඇරෙන්න පාඩමක් නෑ. සැප්තම්බර් විතර වෙනකොට අම්මා කෑගද්දි කියනවා " හරි හරි මම නොවැම්බර් මාසෙම පාඩම් කරනවා. දෙසැම්බර්නේ එක්සෑම්. නොවැම්බර් මාසේ ඇති මට එක්සෑම් ගොඩ දාගන්න". එහෙම කීවට මොකද මට ඔක්තොම්බර් මාසේ සැරෙන් සැරේ උණ ගත්තා. ඔහොම ගිහින් නොවැම්බර් මාසේ පටන් අරන් සතියක් යද්දි දවසක් හවස් වරුවේ සහලෝලා උණ ගත්තා. දොස්තර ගාවට ගියහම වහාම මාව ඉස්පිරිතාලේ නවත්තන්න කීවා. ඔන්න ඉතින් එදා හවස මාව වරකපොල ඉස්පිරිතාලේ නැවැත්තුවා.රෑ ආවා ඩ්‍රැක්‍යුලා කෙනෙක්. ඇවිත් ඇද්දා මගේ ලේ කුප්පි දෙක තුනක්. කොහොමහරි කරන්න තිබ්බ ඔක්කොම පරීක්ෂණ ඉවර වෙලා පහුවදා දවල් තමයි ඒ පරීක්ෂණ වාර්තා හම්බවුනේ. මෙන්න බොලේ රීපොට් ටික අතේ තියාගෙන ආපු දොස්තර කීවා මාව කෑගල්ලට මාරු කරන්න කියලා. කෑගල්ලට මාරු කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අමාරු ලෙඩ්ඩු. මට උණ විකාරේ අස්සෙ තවත් උණ ගැනුනා. කතා බතා මුකුත් නෑ. කට්ටිය මාව දැම්මා ඇම්බියුලන්ස් එකේ. ඒකට පටවද්දී අපේ ගෙවල් ළඟ ත්‍රීවිල් පාර්ක් එකේ අයියා කෙනෙක් මාව දැකලා ගෙදරට කියලා තිබ්බා පණිවුඩේ. පණිවිඩේ ගෙදරට ලැබිලා තිබ්බා කෝල් එකකටත් වඩා වේගෙන්. පණිවිඩේ ගිය වේගය දැන ගත්තේ මම ඇම්බියුලන්ස් එකේ කෑගල්ලට යන ටිකට කසුන් අයියා කෑගල්ල ඉස්පිරිතාලෙට ඇවිල්ලා ඉන්නවා දැක්කහම. කොහොමහරි කසුන් අයියව දැක්කහම පොඩ්ඩක් හිතට සැහැල්ලුවක් දැනුනා. මට ඒ වෙනකොටත් සහලෝලා උණ. ඔන්න කෑගල්ල ඉස්පිරිතාලෙට කොල්ලව ඇතුල් කරා. ඇඳකටත් දැම්මා. ඊට පස්සේ තමයි  තත්වය දරුණු වුනේ. සැරෙන් සැරෙට මට සිහි නැතිවෙන්න ගත්තා. මට මතක විදිහට සති දෙකක් විතර සැරෙන් සැරෙට සිහි එනවා යනවා. සේලයින්ම තමයි දිගටම. උණ අඩු වෙනකොට සිහි එනවා. ආයෙත් උණ වැඩි වෙච්ච ගමන් සිහි නෑ. කොහොමහරි ඔය සිහි එන වෙලාවට ඇහෙනවා කට්ටිය කතා වෙනවා මට ඩෙංගු කියලා. උණ විකාරෙන්ම මට මතක් වුනේ ඕලෙවෙල්. හත් ඉල්ලව්වේ මදැයි අන්තිමට පාඩම් කරන්න හිටියා. අනික ඒ දවස් වල ඩෙංගු හැදිලා මැරුණ අය ගැනත් නිතරම කනේ වැටුනා. මට හිතුනා මමත් මැරෙයි කියලා. ඕලෙවල් නොකරම එලොව යන්න ටිකට් එක එයි කියලා හිතුනා. බොරු කියන්නේ මොකටද මට හිතුනා පාඩම් කරනවට වඩා මැරිලා යන එකත් එක අතකට හොඳයි කියලා. කනක් ඇහෙන්න වෙන්නේ නෑනේ නැත්නම්...  හික්ස්....

මම මාසයක් විතර ඉස්පිරිතාලේ හිටියා. පලවෙනි සති දෙක නම් සිහි නෑ. වුනේ මොනවද කියලා කිසිම නිච්චියක් නෑ. අනික දිගටම සේලයින්. එපාම කරපු වැඩේ ලේ ගන්න එක. දවසට තුන් පාරක් ලේ ගත්තා. ඒ ලේ ගත්ත තැන කටු ඇනලම කොස් කට්ටක් වගේ අන්තිමට. හැමදාම බ්ලඩ් ප්ලෙට් කවුන්ට් එක බැලුවා. ඒක අම්බානෙකම බැහලලු තිබ්බේ. මට මෙතුවක් කාලෙකට හැදිච්ච උණ වලින් හොඳම උණේ තමයි ඒක. ඉතින් මේ උණ මරගාතේ වැටිලා ඉන්නකොට ඕ ලෙවල් මතක් වුනේ  ඒ නිසයි. මට මතක විදිහට මම ටිකට් කපාගෙන ගෙදර ආවේ ඕ ලෙවෙල් පටන් ගන්න තිබ්බ දවසේ. ඒත් වෙලාවට චන්ද කලබල නිසා එක්සෑම් කල් ගියා. ඒ නිසා ගොඩයට එක්සෑම් කරන්න සිද්ධවුනා. හැබැයි පාඩම් කරන්න, මහන්සි වෙන්න ඕනෙවුනේ නෑ. මොකද දොස්තරලා විශේෂෙන්ම කීවේ මහන්සි වෙන්න එපා කියලා. මටත් ඉතින් හොඳ පල්ලම. ඉස්පිරිතාලේ ඉන්නකොට ලැබුන අත්දැකීම් නම් අද ඊයේ වුනා වගේ මතකයි. ඒ ගැන ලියන්නත් ඕනේ. ඒත් ඔක්කොම ඔහේ දිගට ලියන්න ගියොත් කියවන්නත් එපා වෙනවනේ. ඒ නිසා ඒ ටික ඊළඟ පෝස්ට් එකට ලියනවා. කොහොම කොහොම හරි ගොඩයා ඕලෙවෙල් හොඳට පාස් හොඳේ......

Sunday, October 23, 2011

අපි කොතැනද ???

මේ ලියන්න යන්නේ රස කතාවක්වත් හිනා යන කොමඩියක්වත් නෙවෙයි. තිත්තම තිත්ත පෝස්ට් එකක්. මහා විස්තරයක් ලියන්න හදනවා නෙවෙයි. ඒත් පහුගිය ටිකේ මූණු පොතේ හැමෝම වගේ බෙදා ගත්ත වීඩියෝ එකක් දැකලයි මේක ලියන්න හිතුනේ.  මේ විඩියෝ එක දැක්ක අයත් ඇති. නොදැකපු කෙනෙක් ඉන්නවා නම් ඔන්න බලන්න. හැබැයි ගොඩාක් සංවේදී කෙනෙක් නම් පරිස්සමින්....... 



මේක ගොඩ දෙනෙක් මූණු පොතේ දැම්මා නොයෙක් විදිහේ වාක්‍යත් එක්ක. සමහරු චීනුන්ට බැනලා දැම්මා. මම මේ ලියන්න යන්නේ මට හිතුන දෙයක්. මෑත වකවානුවේ ලොකයේ බල තණ්හාවෙන් සීඝගාමී ගමනක් යන රටක් තමයි චීනය. චීන නායකයා තමයි මේ වෙද්දි ලෝකේ බලවත්ම නායකයා බවට පත්වෙලා තියෙන්නේ. බොහොම වේගයෙන් උඩට ආපු රටක්. කොහොමද මෙහෙම වුනේ ???  අපි ගොඩ දෙනෙක් දන්නවා කැපකිරීමක් නැතුව කිසිම දෙයක් ලබාගන්න අමාරු බව. ඉතින් ලෝකයේ වැඩිම ජනගහනය ඉන්න රට හැටියට චීනය මේ තැනට එන්න මොනවගේ දේවල් කැප කරන්න ඇතිද ??? මාත් එක්ක ඉගෙන ගත්ත, මාත් එක්ක වැඩ කරන චීනය ජාතිකයන්ගෙන් මම දැකපු දෙයක් තමයි ඒ මිනිස්සු ගොඩක් යාන්ත්‍රිකයි කියන එක. මට හිතුන විදිහට චීනය මෙහෙම දියුණුවීම පිණිස බිල්ලට දීලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ මනුස්සකම. කැපකරලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ මානුෂික හැඟීම්. ඒකට මිනිස්සුන්ට වඩා වග කියන්න ඕනේ පාලකයයෝ......

චීනයේ ඇතුලේ සිද්ධවෙන ගොඩක් දේවල් ලෝකේන් වසන් කරන්න ඒ උදවිය මහන්සි ගන්න බව. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. චීනයට ගිය කෙනෙක් දන්නවා අන්තර්ජාලයේ කොච්චර නම් සීමා පනවලා තියනවාද කියන එක. මම මේ විස්තරේ කීවේ චීනයට දොස් කියලා හෙලා දකින්න නෙවෙයි.  ඒත් චිනය දිහා බැලුවහම හිතුනා දියුණුව පස්සේ මිනිස්සු දුවනකොට ඒ මිනිස්සුන්ට තමන් මිනිස්සු කියලා අමතක වෙනවා කියන එකට උදාහරණයක් නේද කියලා....   කොහොමත් මිනිස්සු දියුණුව කියලා හිතන්නේ බලය ලබා ගන්න එකනේ. වැඩියෙන්ම දියුණුවුන එකා තමයි බලවත්ම වෙන්නේ. බලන් ගියහම දියුණුව කියලා කීවට දුවන්නේ බලය පස්සේ. බලය පස්සේ මිනිස්සු දුවනවා කියන්නේ මිනිස්සු තිරිසන්නුන්ටත් අන්ත වෙනවා කියන එක.  මම කියන්නේ බොරු නම් බලන්නකෝ පල්ලෙහා තියන විඩියෝ එක. තිරිසනෙක් අමාරුවේ වැටුනහම උන් කොහොමද වැඩ කරන්නේ කියලා.


අනික ඉතින් ඔය බලය නිසා මිනිස්සු බල්ලො බලල්ලූ වෙනවා කියන එකට උදාහරණ නම් ඕන තරම් අපේ රටෙන් හොයාගන්න පුලුවන්. ඒකට වැඩි ඈතකට යන්න ඕනේ නෑ.මේ ළඟදී වෙච්ච සිදුවීම් හොඳටම ප්‍රමාණවත්. කතාව තව තවත් දිග් කරන්න ඕනේ නෑ. චීනය මනුස්සකම විනාශය කරගනිමින් දියුණු වෙනවා. හදවත් නැති මිනිස්සු බිහිකරමින් යනවා. කොහොමහරි චීනය දැන් ලෝකයේ බලවතා කියන තැනට ඇවිල්ලා. චීනය නැත්නම් ලොකේ අනිත් රටවල් වලට අඳින්න යට ඇඳුමක්වත් නැතිවෙන තැනට ඇවිල්ලා ඉවරයිනේ දැන්.

ඒත් ඔය විදිහට මනුස්සකම නැතිකරගත්ත මිනිස්සු ඉන්නේ චීනේ විතරද?? දියුණුවයි කියලා කොහෙවත් යන කසල ගොඩවල් ඔළුවට දාගෙන මනුස්සකම බල්ලට දාපු මිනිස්සු වෙන නැත්ද?? මට හිතුණ දෙයක් තමයි අපේ මිනිස්සු ඔය ගැන චීනයට දොස් කියලා ස්ටේටස් දැම්මට, චීනයේ වැරදි දැක්කලා උන්ට බැන්නට, අපේ මිනිස්සුත් ඒ මිනිස්සුන්ගේ මට්ටමටම කිට්ටු වෙලා නේද කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න උදේට වැඩට යන ලොකු මහත්තුරු ඇක්සිඩන්ට් එකක් උනහම ඒ ගමන නවත්තලා එයාගේ කාර් එකෙන් හැප්පුන මනුස්සයා ඉස්පිරිතාලයට ගෙනියන්න ඉදිරිපත් වෙනවද කියලා. මම අත්දැකීමෙන් දන්නවා බොහොම අතලොස්සක් තමයි එහෙම කරොත් කරන්නේ. ත්‍රීවිල් එකක් පාරේ තියාගෙන කීයක් හරි හොයාගන්න සහොදරයෙක් ඔය වැඩේට ඉදිරිපත්  වුනොත් ඇරෙන්න අනිත් අය නම් එයාලගේ ගමනට වෙන පමාව ගැන හිතලා බනිනවා ඇරෙන්න හැපුන මිනිහා ගැන බලනවා අඩුයි. එහෙම අපිට වෙලා තියෙන්නේ අපිත් දියුණුවක් පස්සේ දුවන නිසා නෙවෙයිද?? අපිටත් මනුස්සකම අමතක වෙලා නැද්ද? බස් එකකට බඩ දරු අම්මේක්, වයසක මනුස්සයෙක් නැග්ගහම හිනාවෙලා සංතෝසයෙන් සීට් එක දෙන මිනිස්සු කීදෙනක් දැන් අපි අතර ඉන්නවාද??? ඉස්සර නම් අනිත් මනුස්සයා ගැන හොයලා බැලුවට දැන් අපිට තව කෙනෙක් ගැන හොයලා බලන්න වෙලාව තියනවාද? අනිත අයට ඇඟිල්ල දික් කරන්න කලින් පොඩ්ඩක් අපිත් හිතලා බැලුවොත් නරකද අපි යන්නේ හරිම පාරෙද කියලා.... චීනය නම් මනුස්සකම නැතිකරගෙන ලෝක බලවතාවෙයි. ඒත් අපි ????  අපි මනුස්සකම අමතක කරලා දුවන්නේ ලෝකේ අල්ලන්නද ???

හුදෙක් මාගේ හිතට නැඟුනු අදහසක් පමණි.

Tuesday, October 4, 2011

දන්නවාද මේ ගැන ????

අද මට හිතුනා වෙනස් විදිහේ පෝස්ට් එකක් ලියන්න. මම නිතරම මුහුණදෙන ගැටලුවක් තියනවා. ඒ තමයි  කවුරු හරි ඇහුවහම මගේ රස්සාව මොකක්ද කියලා ඒ අහන කෙනාට මගේ රස්සාවේ ස්වරූපය පැහැදිලි කරන එක. ඒ ගැන පැහැදිලි කරන්න  යන එකෙන් වෙන්නේ මට විනාඩි 10, 15ක ලොකු විස්තරයක් කරන්න. හොඳම හරිය තමයි අන්තිමට දන්න සෙල්ලම් ඔක්කොම දාලා විස්තර කරාට පස්සෙත් ඔය ගැන අහන කාටවත් හරිහමන් අවබෝධයක් ලැබෙන්නේ නෑ. ගොඩක් වෙලාවට මම ඒ විස්තරේ කියන්නත් ඔය කොම්පියුටර් කෑලි ගැන අවබෝධයක් හරි එහෙම නැත්නම් ඒ ලෙවෙල් science කරපු එහෙමත් නැත්නම් ඒ වගේ දෙයක් තේරුම් ගන්න පුළුවන් පසුබිමක් තියන කෙනෙක්ට.  අනිත් අයට ඔය මොකක් හරි කියලා ශේප් වෙනවා. වෙන මොකවත් නිසා නෙවෙයි කියලා තේරුමක් නැති නිසා. ඒත් අපේ කස්ටිය ඉන්නවානේ නොතේරුනත්, තේරුනත්, ඔනේ වුනත්, එපා වුනත් ඔය විස්තර හොයන්න අහන්න ආසා අය. එහෙම අය හම්බවුනහම නම් සොරි ඩොට් කොම්.  හැබැයි මම රැකියාව කරන ක්ෂේස්ත්‍රය ගැන දන්නේ නැති වුනාට මේ කර්මාන්තයෙන් නිපදවෙන නිෂ්පාදන අපි හැමෝගෙම එදිනෙදා ජිවිතේට බොහෝම සමීපයි. අපි හැමෝම නිතර දෙවේලේ භාවිතා කරනවා. දැන් මේ මම ලියන පෝස්ට් එක කියවන කාට හරි හිතිලා තියනවාද මේක කියවන්න පාවිච්චි කරන කොම්පුටරේ ඇතුලේ තියන කෑලි බෑලි හදන්නේ කොහොමද කියලා. සමහරවිට හිතිලත් ඇති. කොහොමෙන් කොහොම හරි ඕවා මේවා නිසා අද මට හිතුනා මම වැඩ කරන මේ ක්ෂේස්ත්‍රය ගැන පොඩ්ඩක් ලියන්න.හැබැයි මේ පොස්ට් එක සමහර අයට මෙලෝ රහක් නැතිවෙන්නත් ඉඩ තියනවා. ඕන එකක් කියලා ඔන්න ඔහේ ලියනවා

Semi Conductor Industry එහෙම නැත්නම් අර්ධසන්නායක කර්මාන්තය. මේ කර්මාන්තය ගැන  අහපු අයත් ඇති. මට තේරුණ දෙයක් නම් ලංකාවේ ගොඩක් දෙනෙක් මේ ගැන අහලා නෑ. ඒ නිසයි මේක ලියන්න හිතුනේ. අපි පාවිච්චි කරන ජංගම දුරකථනය, පරිඝනකයේ ඉඳලා කැමරා, රූපවාහිනි මෙකී නොකී සියලුම ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර සූත්‍ර, යාන වාහන, ගුවන් යානා,  වෛද්‍ය උපකරණ, යුධෝපකරණ මෙකී, නොකී හැම නිෂ්පාදනයකටම වැදගත් වන ඉලෙක්ට්‍රොනික් චිප් (Chip) නිශ්පාදනය කිරීම තමයි මේ අර්ධසන්නායක කර්මාන්තයෙන් කෙරෙන්නේ. ඔය පල්ලෙහා තියෙනේ මම වැඩ කරන සමාගම පිළිබඳ කෙටි විඩියෝ පටයක්. ඒක බැලුවහම මම කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා පොඩි අදහසක් ඒවි.



මේ කර්මාන්තය කෙරෙන්නේ සීමිත රටවල් ගණනක.මේ කර්මාන්තයට අවශ්‍ය උපකරණ, පරිසර තත්ව, අනිකුත් පහසුකම් බොහෝ මිල අධිකයි.  ඒ නිසයි මේ කර්මාන්තය සීමා සහිත රටවල් ගණනක සිද්ධවෙන්නේ. ඇමරිකාව, කොරියාව, ඉතාලිය, ජපානය,සිංගප්පූරුව, චීනය, ජර්මනිය, තායිවානය වගේ රටවල් කීපයක තමයි මේ කර්මාන්තය සිද්ධවෙන්නේ.
කර්මාන්තයේ ඉතිහාසය ගත්තොතින් ට්‍රාන්සිස්ටර් එක තමයි මේ තාක්ෂණයේ මුල්ම පුරුක.ඉලෙක්ට්‍රොනික් ලෝකයේ විප්ලවය තමයි ට්‍රාන්සිස්ටරය. වර්තමානයේ අපි පාවිච්චි කරන සියලුම ඉලෙක්ට්‍රොනික් උපකරණ බිහිවෙන්න හේතුව ට්‍රාන්සිස්ටර් එක.  ඔය පල්ලෙහා තියෙන්නේ ලෝකයේ පළමුවෙනි ට්‍රාන්සිස්ටර් එක.


ට්‍රාන්සිස්ටර් එකක් කියන්නේ අර්ධසන්නායක උපාංග වල පාදම, එහෙම නැත්නම් අත්තිවාරම කීවොතින් මම වැරදි නෑ කියලා හිතනවා. එක පරිපථයක මේ කියන ට්‍රාන්සිස්ටර් බිලියන ගානක් තියනවා. ඒ හේතුවෙන් උපකරණයේ ප්‍රමාණය බොහෝ විශාල වෙනවා. ඒකනේ ලෝකයේ පලවෙනි පරිඝනකය කාමරයක් තරම් විශාල වුනේ. ඉතින් ඔය පරිපථවල සහ උපකරණවල ප්‍රමාණය කුඩා කරගැනීමේ අරමුණින් ඔය ට්‍රාන්සිස්ටර් කීපයක් එක් කරලා සංගෘහිත පරිපථ එහෙම නැත්නම් I.C ( Integrated Circuit ) හදන්න ගොඩක් සමාගම් පෙලඹුනා. ඒත් දැන් යුගයත් හමාරයි. කට්ටියට මතක ඇතිනේ ඉස්සර අපි පාවිච්චි කරපු ජංගම දුරකථන. ගඩොල් භාගයක් විතර ඇතිනේ.  ඉතින් ඔය ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි  චිප් (Chip) නිශ්පාදනය පටන් ගත්තේ. චිප් (Chip) කියන්නෙත් සගෘහිත පරිපථයක්ම තමයි. ඒත් ප්‍රමාණය කුඩා සහ අන්තර්ගතය වැඩියි. 

මේ කතන්දර ඔක්කොම කිවේ පොඩි හැඳින්වීමක් දෙන්න මේ කර්මාන්තය ගැන. මේ ඔක්කොම වැඩ කෑලි දාන්නේ සිලිකන් වල පිහිටෙන්. සිලිකන් කියන්නේ හොඳ අර්ධ සන්නායකයක්. ඔය ජංගම දුරකථන, එතකොට කොම්පියුටර්, අනිකුත් ඉලෙක්ට්‍රොනික් උපකරණ පාවිච්චි කරන අපිට හිතිලා තියනවද ඔය හැටි මෙව්වා ගණන් ඇයි කියලා. ඇත්තටම කීවොත් ඔය චිප් (Chip)එකක් හදන්න වියදම් කරන කාලය හා මුදල් ප්‍රමාණය බැලුවහම ඒක ඒ හැටි දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් චිප් එකක් එකලස් කරන්න කලින් මූලික ක්‍රියාවලිය අවසාන වෙන්න මාසයකට අධික කාලයක් වැය වෙනවා. අපේ සමාගමේ වට්ටොරුවට අනුව නම් මාස 2ක් යනවා. ඔන්න බලන්නකෝ කොහොමද සිලිකන් (Silicon), චිප් (Chip)එකක් වෙන්නේ කියලා.



ඔය මුලු ක්‍රියාවලියම නොකඩවා සිද්ධවෙන්න ඕනේ. ඉතින් ඔය අර්ධසන්නායක නිපදවන සියලුම සමාගම් මුලු අවුරුද්දෙම දවස් 365ම පැය 24ම වැඩ. ඔය සිලිකන් රවුම් තහඩුවට කියන්නේ වෙෆර්(Wafers) එකක් කියලා.   චිප් (Chip) එකක් වෙන්න කලින් වේෆර්(Wafers) එකේ තියනකොට එක ඒකකයක් හඳුන්වන්නේ ඩයි ( Die ) එකක් කියලා. අඩියක් විශ්කම්භය තියන වේෆර් එකක් උඩ සමාන්‍යයෙන් ඩයි ( Die ) 750ක් 1000ක් වගේ ගණනක් නිපදවෙනවා. චිප් (Chip)750 - 1000ක් අතර ගාණක් හදන්න පුලුවන් වේෆර් එකකින්.
මේ තියන්නේ ඔය කීව වේෆර්(Wafers) එකක්. ඔය කොටු කොටු තියෙන්නේ මම කීව ඩයි ( Die ).

ඒ වගේම ඔය කර්මාන්තය කෙරෙන්නේ වෙනස් පරිසර තත්වය යටතේ. Clean Room Environment  එකක තමයි ඔය නිශ්පාදන කටයුතු කෙරෙන්නේ. Clean Room එකක් ඇතුලේ අංශු ප්‍රමාණය ඉතාම අඩු අගයක තියාගන්න උත්සහ කරනවා. ඉතින් අත,පය, මූණ කට ඔක්කොම වහගෙන තමයි වැඩ කරන්න ඕනේ. ඒකට හේතුව ඔය පොඩි අණුවක් හොඳටම ප්‍රමාණවත් චිප් (Chip) එකක් විනාශ කරලා දාන්න.

මේ clean room එකක පින්තූරයක්.
මෙන්න මේ විදිහටයි clean room එක ඇතුලේ වායූන් සංසරණය වෙන්නේ. මේ හැමවෙලේම ( air filters) පෙරෙහන් මඟින් වායූන් පිරිපහදු කරලයි මුදා හරින්නේ. මේ ඔක්කොම වද විදින්නේ පරිසරයේ අංශු  
( particles ) අඩු කරන්න සහ අපවිත්‍රනය ( contamination  ) වලක්වන්න.

අනිත් කාරණය ඔය වේෆර් එක නිශ්පාදනයේදි සමහර පියවරවල් සිද්ධවෙන්න අඩු පීඩන සහ අධික උෂ්ණ පරිසර තත්ව යටතේ. ගොඩක් වෙලාවට පීඩනය මිලි ටොර් 5,10 වගේ අගයකත්, උෂ්ණත්වය සෙල්සියස් 400-500 වගේ අගයකත් ඒ වගේ සමහර පියවර අඩු උෂ්ණත්ව යටතෙත් සිද්ධවෙනවා.අඩු පීඩනයක් හෙවත් රික්තකයක් ඇතුලේ තියන අණු ගණන ඉතාමත් අල්ප නිසා තමයි ඒ වගේ පරිසර තත්වයක් යටතේ ඔය නිශ්පාදන සිද්ධකරන්නේ. වේෆර්(Wafers) එකක් සම්පූර්ණ නිශ්පාදන ක්‍රියාවලිය ඉවර වෙන්නේ  විවිධාකාර පියවර 800ක අධික ප්‍රමාණයකට මුහුණ දීලා. මූලික පියවරවල් මම සඳහන් කරන්නම්. හැබැයි මම සිංහල වචන නම් දන්නේ නෑ මේවට. 

Wet cleans
Photolithography
Ion implantation
Dry etching
Wet etching
Plasma ashing
Chemical vapor deposition (CVD) 
Physical vapor deposition (PVD)
Electroplating
Chemical-mechanical planarization (CMP) 
Wafer testing
මේ එකෙන් එක විස්තර කරන්න ගියොත් මට තව පොස්ට් 10ක් විතර ලියන්න වෙනවා. අනික ඒකෙන් ලොකු වැඩක් කාටවත් වෙන්නේ නැතිවෙයි.  මට ඕනෙ වුනේ මෙහෙම කර්මාන්තයක් ලෝකේ තියන විත්තිය ලියන්නයි. ඒ නිසා වැඩිපුර විස්තර ලියන්නෙ නෑ. විස්තර ඕනේ නම් මෙතන ඔබන්න. 

අනික මේ පියවරවල් ටික ලිවේ තව දෙයක් කියන්න.කට්ටියටම පේනවනේ මේකේ ටෙස්ටින් ( Wafer Testing ) තියෙන්නේ අන්තිමට. ඔය මාස දෙකක් තිස්සේ කරන මහන්සියේ ප්‍රථිපලය දැනගන්න වෙන්නේ අන්තිමට. මොකක් හරි තැනක  වැරැද්දක් වුනහම ඒක දැනගන්න කොට තවත් වේෆර්ස් (Wafers) සිය දහස් ගාණක් ඒ විදිහටම සවුත්තු වෙලා තියෙන්න පුළුවන්. එහෙම දේකදී පාඩුව ඩොලර් මිලියන හෝ බිලියන වලින් නවතින්නේ. මොකද ඔය වේෆර්(Wafers) එකක් සම්පූර්ණ වුනහම මිල ඩොලර් 3000-4000ත් අතර ගාණක් වෙනවා. එක පාරට ඔය වගේ වේෆර්(Wafers) 25ක් මැශින් එකක් ඇතුලට ගන්නවා. ඒ වගේ ලොට් (lot) ( වේෆර් 25ට කියන්නේ ලොට් එකක් ) සිය ගණනක් දවසට දුවනවා. හිතාගන්න පුලුවන්නේ එතකොට මාසයක් හෝ සතියක් ඔහොම වැරද්දක්  තියාගෙන වැඩකරොත් මොකද වෙන්නේ කියලා.
මේ තියෙන්නේ ඔය පියවර 800ක් විතර සිද්ධවෙන ක්‍රියාපටිපාටියේ එක ක්‍රියාවලියකට දායක වෙන උපකරණයක්. මේ වගේ උපකරණ විශාල ගාණක් මැදින් ඇවිල්ලයි චිප් එකක් අපේ අතට එන්නේ.
මෙන්න මේවාගේ කුටීරයක් ඇතුලේ තමයි වේෆර්(Wafers) එක process වෙන්න අවශ්‍ය පරිසර තත්ව ඇති කරන්නේ.

මේ ගැන සියළුම විස්තර කියන්න අමාරුයි. ඒත් මෙහෙම දෙයක් වෙනවා කියලා නොදැන හිටිය කෙනෙක් දැනගත්තා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. මම වැඩකරන සමාගමින් නිපදවන්නේ පරිඝනක මතකයන්. එහෙම නැත්නම්  memory cards and DRAMs. ඒකෙනුත් අපේ ෆැබ් ( FAB ) එකේ නිශ්පාදනය කරන්නේ DRAM. ඔය අපේ පරිඝණක වලට පාවිච්චි කරන RAM වලට අමතරව තවත් නොයේකුත් උපකරණවලට RAM අවශ්‍ය වෙනවා. ඒ අතරින් මිල අධිකම RAM භාවිතා වෙන්නේ යුධායුද , වෛද්‍ය උපකරණ, වාහන, ගුවන් යානා වගේ මිනිස් ජීවිත ඍජුව සම්බන්ධ වන උපකරණ වලට. මේ මිල අධික වෙන්නේ නිශ්පාදනයේ සුපිරි තත්වය නිසයි. සුපිරි මට්ටමේ එහෙමත් නැත්නම් නොම්බර 1 RAM එකක් අපි පරඝණක සඳහා පාවිච්චි කරන RAM එකකට වඩා පස් හය ගුණයක් මිලයි. නොම්බර 2 එහෙමත් නැත්නම් දෙවැනි තත්වයේ RAM පාවිච්චි වෙන්නේ Sat-elite servers  වගේ දේවල් වලට. පරිඝණක සහ එදිනෙදා ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට පාවිච්චි වෙන්නේ 3 වෙනි ශ්‍රේණියේ RAM. 

මේක ඇත්තටම  බොහොම අසීරු කාර්යයක්. හැබැයි අසීරුයි සහ වියදම අධිකයි වගේම ලාභයත් අධිකයි. මම දන්න විදිහට මේ කර්මාන්ත ශාලාවක් පටන් අරගෙන අවුරුදු 5ක් විතර වැඩ කරාට පස්සේ තමයි ලාභ ලබන්න පුලුවන්. එතකම් වියදම් කල ගණන හොයන්න වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි එදිනෙදා පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික් උපකරණ කොටස් නිපදවෙන්නේ. ඔන්න තවත් විඩියෝ එකක් තියනවා. බලන්නකෝ වැඩේ කොහොමද කියලා. අනේ මෙලෝ රහක් නැති වුනා නම් සමාවෙන්න ඕනේ. දන්න කියන දෙයක් බෙදාගන්නයි පොඩි උත්සහයක් කලේ.





Tuesday, September 27, 2011

දැක්කද ??? ( කොට සාය )

කස්ටිය බලයිද දන්නේ නෑ පහුගිය ටිකේ සද්ද වහලා ඉඳලා, හදිස්සියේ ගොඩයා හෝ ගාලා ලියන්න පටන් අරන් මොකෝ කියලා? ඇයි යකඩෝ සද්දේ වහලා හිටිය කාලේ ලියන්න හිටිය ටිකත් කොහොම කොහොම හරි ලියන්න එපැයි.... අනික මේ දවස් දෙක නිවාඩු. එලියට බහින්න කම්මැලිකමේ ඉන්න එකේ තවත් පෝස්ට් එකක් ලියන්න හිතුනා. අහපු කතාවක්. කීවේ අපේ හිතවත් අන්කල් කෙනෙක්.

මේ අන්කල්ගේ පවුල ටිකක් විතර බටහිර පන්නයට හැසිරෙන, අඳින, පළදින උදවිය.සිංහලෙන් කීවොත් වෙස්ටනයිස් වෙලා.  පවුල කීවට ඉතින් පුන්චි පවුල රත්තරං කියලා හිටියේ අන්කල්, අන්කල්ගේ භාර්යාව සහ අයියයි, අක්කයි.  අයියගේ නම් ඔය සෝබන සීන්, වෙස්ටන් සීන් මුකුත් නෑ ඒ කාලේ. අපේ කොල්ලොත් එක්ක ඔය කොහෙ හරි බඩ ගාලා රා කට්ටක් කාරිය ගහලා හිටපු කොල්ලා. ඇන්ටිත් ඩිංගක් වෙන්න සොබනේ වුනාට ශේප්. ඒත් අක්කනම් හරිම ගණන් කියල කස්ටිය ඒ කාලේ කියනවා. පොඩ්ඩක් විතර පොත්ත සුදු හින්දද මන්දා. මට වැඩක් නෑනේ කොහොමත්. මම ඒ කාලේ හීන් එකා. ඒ නිසා මට ඔය කාගේවත්  උලවු ගණන් වලින් වැඩක් නෑ.  අන්කල්ගේ තව්සන්ඩ් ටෝක්. හිටපු ගමන් වනන්නේ කඩුවෙන්. පම්පෝරියත් අඩුවක් නෑ. ඒත් හිත හොඳ මනුස්සයා. අන්කල් එක්ක කතා කරද්දි මාර ආතල් කතන්දර අහගන්න පුළුවන්. අතින් එහෙමත් දාලා දෙනවා ඇට්ටි හැලෙන්න.....

ඒ දවස් වල අපි වෙසක් එකට කූඩුවක් ගහනවා කොළඹ-නුවර පාරේ අයිනේ. ඉතින් අන්කල් වැඩ ඇරිලා යනගමන් නැවත්තුවා වාහනය අපේ කූඩුව හදන හට් එක ළඟ. ඔහොම කයිය ගහ ගහ ඉන්නකොට පොර කීව කතාවක් තමයි මේ. සිද්ධිය වෙලා තියෙන්නේ මිනිහගෙම පවුලේ උදවියට. කොහෙන්දො මන්දා පන්සල් කතාවක් ඇවිල්ලයි මේ සිද්ධිය ප්‍රචාරය වුනේ. වෙසක් කාලෙට ඉතින් පන්සල්, දන්සල් ගැන වැඩිපුර කතා යනවනේ. මම මේ කියපු පවුලේ කස්ටිය ගිහිල්ලා දවසක් පෝයට කොහෙද ඔය ඈත පන්සලකට. මට පන්සල නම් මතක නෑ. හැබැයි පඩිපෙල් නැගලා නැගලා කන්දක් උඩටද, ගලක් උඩටද යන්න ඕනේලු. පුරාණ රජමහා විහාරයක්. හරිම ලස්සන පන්සලක් කියපු හින්දා සෙට් එකම ගිහින් පෝයට පන්සල්.

දැන් ඉතින් පවුලේ කස්ටිය තරණය කරනවලු පඩිපෙල්. අන්කල් වාහනය එහෙම පාර්ක් කරලා හිමින් සීරුවේ කට්ටිය පස්සෙන් යනවලු. කොල්ලො තුන් දෙනක් අන්කල්ගේ දුව පස්සෙන් යනවලු. අන්කල් උන් තුන්දෙනා පස්සෙන් යනවලු. අර කට්ටියව අඳුරන්නේ නෑ වගේ. මම කීවනේ අර අක්කා හෙන වෙස්ටර්නයිස් කියලා. අන්කල් එපා කියද්දි මෙයා ඇඳගෙන ගිහින් තියෙන්නේ කොට සායක්ලු. අර කොල්ලො තුන් දෙනා පිටිපස්සෙන් ගිහින් දෙකට තුනට නැවි නැවි බල බල යනවලු. නිකන් පෙන්නන ෂෝ එකක් අත ඇරලා කොහොමද පෝය දවසේ ?  අන්කල්ට විතරක් නෙවෙයි  දැන් වටේ ඉන්න අයටත් සීන් එක මීටර් වෙලා එක එක ඒවා කියනවලු අක්කට. මොනවා උනත් තාත්තෙක්ට අහන් ඉන්න පුළුවන්ද ඒවා. එහෙම කියලා වෙලා තියන වැඩේ හැටියට විලි සංගේ තියාගෙන ගිහින් පොරට කියන්නත් බෑ ඒ මගේ දුව කියලා. මොකද අහල පහල උන් බනින්නේ දෙමාපියන්ටනේ හදලා තියන විදිහ කියලා. මොනවා හරි කරලා මේ හතර විලි ලැජ්ජාවෙන් ගැලවෙන්නත් එපෑයි...

අන්කල් කිට්ටු කරාලු කොල්ලො තුන් දෙනා ගාවට. එකක්ට තට්ටුවක් එහෙම දාලා
 "  දැක්කද ?  කොහොමද ? "
කියලා අර කොල්ලො තුන්දෙනාගෙන් ඇහුවලු. මයේ හිතේ අක්කට වඩා විලිලැජ්ජාව තියන උන් තුන්දෙනක් ඒ කොල්ලෝ තුන් දෙනා. දැක්කද අහපු ගමන් වැඩේ නොන්ඩිනේ. තුන් දෙනා මාරු වෙලා. එදා මොන පන්සල්ද? පොර කට්ටියත් එක්ක එහෙම්මම ආපහු හැරිලා ඇවිල්ලා තිබ්බේ මාරාවෙශයෙන්. අක්කට දෙසන්න ඇති හොඳම එකෙන්. අන්කල් හැබැයි සාධාරණ මනුස්සයා. අපේ සමහරු නම්  ඔය වගේ එකක් දැක්කහම කොල්ලන්ටනේ වලි දාන්නේ. අන්කල් ඉඳන් කියනවා " අනේ පුතාලා ඒ කොල්ලන්ට බැනලා හරි ගහලා හරි වැඩක් නෑනේ. උන් කොල්ලොනේ. අපේ එළදෙන දැනගන්න ඕනේනේ තැනට සුදුසු විදිහට අඳින්න. අපේ එකීට එහෙම ඇඳගෙන පෙන්න පෙන්න ගියාට පස්සේ මම රෙද්දක් ඇඳගෙන ඒ කොල්ලන්ට වචනයක් කියන්නද ?  ඒක ඇඳගන යන්න එපා කියලා කට කැඩෙනකම් කීවා. මුන් අපි කියන දේවල් අහන එකක්යෑ... මම දුන්නා ඕකිට එදා නම් කනේ ඇඟිලි ගහගන්න ". අනේ අපොයි. සිද්ධිය කෙසේවෙතත් අන්කල් ඕක කියපු විදිහට නම් අපි බඩවල් අල්ලගෙන හිනා උනා.



 ඔය සිද්ධියට එවෙලේ හිනාවුනාට අපිට පස්සේ හිතුනා අන්කල්ට එවෙලේ මොනවා හිතෙන්න ඇත්ද කියලා. තමන්ගේ දුවගේ පිටිපස්සෙන් ගිහින් මොකෙක් හරි එබිලා බලද්දි මොන තරම් අපහසුවක්, අසරණකමක් දැනෙන්න ඇත්ද ? අනේ ඔය කවුරු කවුරුත් ලස්සනට ඇන්දට කමක් නෑ. ඒත් තැන නොතැන නොබලා ෆැෂන් කරන්න ගියහම අමාරුවේ වැටෙන්නේ අහක ඉන්න මිනිස්සු. අර කොල්ලො තුන්දෙනා වුනත් අසරණ වුන නිසානේ අමාරුවෙන් එබි එබී බලන්න ගියේ. එහෙම ඇන්දහම ඉතින් කොල්ලෙක්ට වුනත් පන්සල කියලා අමතක වෙනවා. මනුස්සයොනේ. කවුරුත් රහත් වෙලා නෑනේ. මේක ලීවේ කාටවත් කොටට අඳින්න එපා කියන්නවත්, ෆැෂන් කරන්න එපා කියන්නවත් නෙවෙයි. තැනට සුදුසු විදිහට රටේ සංස්කෘතියට, සමාජයට ගැලපෙන විදිහට ෆැෂන් කරන්න. කෙල්ලො විතරක් නෙවෙයි අපේ කොල්ලො වුනත් නොගැලපෙන විලාසිතා නොගැලපෙන  තැන්වලට පාවිච්චි කරහම අපහසුතාවයට පත්වෙන්නේ අහක ඉන්න මිනිස්සුනේ. එහෙම නැතුව විලාසිතාවලට අමනාපයක්, බටහිර පන්නෙට අඳින එක ගැන කිසිම අමාරුවක් මට නෑ. තැන නොතැන බලලා ඕනෑම විලාසිතාවක්....  කවුද අකමැති ලස්සනට ඉන්න......

Monday, September 26, 2011

සාර්ථකව පාසලෙන් පැන තව නූලෙන් ගස් යෑම

නිවාඩු ගිය කතාම ලියලා මටම එපා වෙලා. මතක් වුනා ස්කෝලේ කාලේ සිද්ධියක්. මේක මතක් වුනේ පිණිබිඳු ලියපු පන්ති පිටින් පන්ති කට් කිරීම සහ ක්සැන්ඩරයාගේ පොස්ට් එක නිසා. ඔය පෝස්ට් දෙක නිසා මාත් ස්කෝලේ කාලෙට දීවා තප්පරෙට 120 වේගෙට. මතක් උන කතා රෝලම එක පාර දිග අරින්න අමාරුයි. පොඩ්ඩක් කොටයි කියලා හිතෙන එකක් ලියන්නයි තනන්නේ....



මම එතකොට 10 වසරේ. දෙයියනේ කියලා දිස් කලිසමට බැහපු කාලේ. ඒ කාලේ ඉතින් හෙනම උණ. දිස් කලිසම් අඳින අයියලානේ. ඔය ස්කෝලෙන් පනින උණ, ගැන්සි බහින උණ, බඩු බහින උණ, පොර වෙන උණ වගේ රටේ නැති උණ ජාති හැදෙනවා. එක එකාට එක එක ජාතියේ උණ. මම අර විහිළු සහ ගුටි කෑම සීන් එකෙත් කිවනෙ ඔය උණ ජාති ගැන නම්. ඔන්න ඔය කාලේ දවසක මටයි සිම්බටයි ( උගෙ නම සියඹලාපිටිය කෙටියෙන් සිම්බා ) හිතුණා දවසක් කලින් ගෙදර යන්න ඕනේ කියලා.  හාෆ් ඩේ දාන්න තියනවා ක්‍රම දෙක තුනක්. ඒ කිවේ පනින්න තියනවා පාරවල් දෙක තුනක්ම. එවා ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන දායද වගේ තමයි. එදා අපි දෙන්නා තෝර ගත්තෙ දෙවනි පිට්ටනිය හරහා යන රූට් එක. අපේ ස්කොලෙට පිට්ටනි දෙකක් තිබ්බා. එක පිට්ටනියක් ස්කොලේ ඇතුලෙම තිබ්බා. අනික ස්කෝලෙට අල්ලපු වත්ත වගේ පැත්තකට වෙන්න තිබ්බේ. ඒකට තමයි දෙවනි පිට්ටනිය කියන්නේ. ඒකට එහා පැත්තෙ තමයි ශාන්ත ආනා විද්‍යාලයේ පිට්ටනිය. ඔය දෙවනි පිට්ටනිය දිගේ ශේප් එකේ ආවහම මොකෙක්ටවත් මාට්ටු වුනේ නැත්නම්  කොළඹ කුරුණෑගල පාරට පැනගන්න පුළුවන්.

අපි ඒ වෙද්දි පනින්නේ පුරුදු වෙන්න නෙවෙයි.  ඉතින් පුරුදු කාරයෝ දෙන්නා බෑග් මලු දෙකත් උස්සගෙන ෆුල්ම සර්ච් එකක් දාගෙන පිට්ටනිය පැත්තට කිට්ටු කරා. මොනවා උනත් බොක්කේ බිත්තර තම්බ තම්බ තමයි අපි පිට්ටනිය කෙලවරට වෙනකම් ආවේ. යාන්තම් තාප්පෙන් පැනගත්තට පස්සේ පොඩ්ඩක් වෙන්න ලේ ටිකක් ඉනුවා. ඒත් හිටපු ගමන් ටවුන් එකටත් එක එක හෙනුහුරො පාත් වෙනවා. අපි දෙන්නා ගෙදර යන්න බස් එක ගන්න හිතාගෙන ආවා ටවුන් එක පැත්තට. ඔන්න ඒ අස්සේ සිම්බට මතක් වුනා උගේ තැපැල් හැඳුනුම්පත හදන්න දුන්නට ඒක ගත්තෙ නෑ කියලා. ඉතින් ඔන්න මනුස්සයට ඕනේවුනා ඒකත් යනගමන් අරගෙන යන්න. දෙන්නම ගියා තැපැල් කන්තෝරුවට.

අපේ තැපැල් සේවය පට්ටම කාර්යක්ශමයිනේ. ගොඩවෙන්නත් කලින් වැඩේ ගොඩනේ. ඉතින් අපි දෙන්නත් ඉන්නවා තැපගෙන එතනට වෙලා. ඔහොම විනාඩි 5ක් 10ක් ඉන්න කොට ආවේ නැතැයි පපන්. පපන් කියන්නේ අපේ ස්කෝලේ ගුරුවරයෙක්. ඒ කාලේ අංශප්‍රධානිද කොහෙද? මේ ළඟදිනම් උප විදුහල්පති වෙලා කියලා ආරංචියක් ආවා. කොහොමහරි ඔය මනුස්සයටත් ඕනේ නැති කජු පුහුලමක් නෑ. පන්තියක් ලඟින් පොර යද්දි සද්දයක් ඇහුනත් පොඩි උන්ගේ පන්තියක් නම් සද්දේ දාලා යන්නේ. ඒ ලෙවෙල් ක්ලාස් වලට වැඩිය පාර්ට් දාන්නේ නෑ. ඒත් අපි ඒ ලෙවෙල් කරන්න හිතලවත් නෑනේ. පොරට මාට්ටු උනා කියන්නේ අනිවා මිනිහගෙම වාහනයෙන් ෆී ට්‍රාන්ස්පොර්ට් ස්කෝලෙටම. ඉර හඳ වගේ ඒක සුවර්. අනික බැජ් එකත් සාක්කුවටම තියලා මහගෙනනේ. මූණ ඇඳුරුවේ නැතත් බඩුම තමයි. කල්පනා කර කර ඉන්න තරම් වෙලාවක් නැති බව තේරුනා අපි දෙන්නටම. දීවා කඩාගෙන බිඳගෙන තැපැල් කන්තොරුව ඇතුලට.

ඇතුලේ ලියුම් මලු ගොඩවල්, ඒ අස්සේ වැඩකොරන ජනතාවගේ මේස පුටු ඔය ඔක්කොම අස්සේ අපි දෙන්නා දුවලා නැවතුනේ කන්තොරුව අස්සෙම. ඉන්නෙ කොහෙද කියලාවත් නිච්චියක් නෑ. අනික හොඳටම සුවර් ඒ කලාපයට පිටස්තරයන් ඇතුල් කොරගන්නේ නෑ කියලා. ඒ වගේද පපන්ට මාට්ටු වුනොත් කන්න වෙන කෑම. පපන් ගියාද කියලා රබර් ඇහැ දාලා බල බල පොඩ්ඩක් හති අරිද්දි ආවේ නැතෑ පියන් මහතැන් කෙනෙක්. ඔය කන්තෝරුව වල ලොකුම පුටුවේ ඉන්නේ පියන්ලනේ. ආපු ගමන් දැම්මා සද්දයක්

 " ඔය ළමයි මොකද මේක ඇතුලේ කරන්නේ ???  මේක ඇතුලට එන්න බෑ පිට අයට? කාගෙන් අහලද ආවේ?"

කල්පනා කර කර ඉන්න වෙලාවක් නෑ. මම කටට ආව උත්තරෙ කියලා දැම්මා.

" මගේ චුටි මාමා වැඩ කරන්නේ මෙහේ. එයාව අපේ ස්කෝලේ පොඩි උවමනාවකට එක්ක යන්නයි ආවේ. කාටද මන්දා කියලා එන්නම් කියලා අපිට මෙතන ඉන්න කීවා."
 කියලා ගොත නොගහා ආපු ගැම්මටම මම කීවා.

" කව්ද චූටි මාමා? නම මොකක්ද? "  ඔන්න ඇහුවා ප්‍රශ්නයක්. දැන් දීපන්කෝ උත්තර.

 " අනේ අන්කල් නම නම් මට ගානක් නෑ. පොඩි කාලේ ඉඳලම චූටි මාමා කියනවා මිසක් නම මතක නෑ. දැන් එයි හැබැයි. මෙතන ඉන්න එක ප්‍රශ්නයක් නම් අපි එලියට යන්නම්." කිවා.

 " හ්ම්ම්.... අනේ මන්දා ... එලියට යන්න ඕනේ නෑ එහෙනම්. ඔය ඔතන තියන පුටු දෙකෙන් වාඩි වෙලා ඉන්නවලා, මෙතන හිටගෙන හිටියහම කරදරයි." කියලා ඔරවගෙන පොර මාරුවුනා.

අපි දෙන්නත් ගැහි ගැහි වාඩි වෙලා පපන් යනකම්ම හිටියා. කොහොමත් එලියට ගියොත් පපන්ගෙන් පෝරියල්. ඇතුලේ ඉඳලා මාට්ටු උනත් පෝරියල්. ඒත් ඇතුලේ හිටියොත් මොනවාහරි ශේප් එකක් දාගන්න පුලුවන්නේ.අපි දෙන්නටම පුදුමයි අපි දුවන් එද්දි කාටවත් මීටර් නොවුනු එක. කොහොමහරි පපන් විනාඩි 20කට වඩා එතන මොකක්දෝ උලව්වක් කරා.  අපි දෙන්නට ඌත් එක්ක බුදුම මල. දැන් යයි කිය කිය හොරෙන් බල බල හිටියා. හොරෙන් බලන්නත් බයයි. අර පියන් ලොක්කා දැක්කොත් ආයෙත් ඇවිල්ලා පුරස්ස්න කොරනවනේ. කොහොම කොහොම හරි පපන් ගිය ගමන් අපි දෙන්නා බැස්සා පාරට  තත්පර දෙකෙන් තුනෙන් දෙන්නම වාශ්ප වුනා. ආයෙත් අරූගේ තැ.හැඳුනුම්පත ගන්න ගියානම් අර පියන් ලොක්කට මාට්ටු වෙලා චාටර් කන්න වෙනවනේ. සිම්බා ඒක ගත්ත සති 2කට 3කට පස්සෙ ගිහින් මයේ හිතේ.ඉස්කෝලෙන් පැන්න නම් ටවුන් එකේ නොඉඳ කොහෙට හරි මාරු වෙන්නේ නැතිව පණ්ඩිත වැඩ කොරන්න ගියහම ඔහොම වෙනවා කාට කාටත්...........

සයිබර් අවකාශේ මිතුරන් දෑසින් දුටුවෙමි

ලංකාවට නිවාඩු ආව කාලේ සිද්ධි තමයි දිගටම ලිවේ.... තවත් ලියන්න ඒවා නැතුවමත් නෙවෙයි. ඒත් දිගටම ඒ ගැනම ලියමත් බෑ...  නොලියා බැරි තවත් සිද්ධියක් තියනවා. ඒ තමයි මෙච්චර කාලයක් බ්ලොග් එකෙන් දුක සැප බෙදා ගත්තු, මඩ ගහගත්තු දෑහින් නොදැකපු කස්ටිය සෙට්වුන සිද්ධිය. ඒකත් ලියලම නිවාඩුව ගැන ලිවිල්ල නතර කරනවා කියලා හිතුවා.

මම ලංකාවට එනවා කියලා තක්කෙටම තීරණය කලාට පස්සේ අපේ ඇන්ඩයියට කීවා මම එන විත්තිය. මෙච්චර කාලයක් සයිබර් ලෝකේ දැක්ක උන්ගේ සූකිරි මූණු ඇත්තටම බලාගන්න, පොඩ්ඩක් සෙට් වෙන්න ලොකු උවමනාවක් තිබුනා. ලංකාවේ ඉන්න කස්ටිය නම් කොහොම කොහොම හරි එකතුවෙනවා. ඒත් අපිට කොහෙද එහෙම චෑන්ස්? ඔය සයිබර් සැනකෙලි පින්තූර එහෙම බලද්දි පපුව වාවන්නේ නෑ. අනේ මුන් ආතල් ගන්නවා නේදෝ අපි නැතුවට කියලා හිතෙනවා.
කොහොමෙන් කොහොමෙන් හරි ආව දවසට පහුවදාම අපේ ඇන්ඩයියා නොහොත් ඕනයාව ඇමතුවා.
 " හරි හරි ගොඩයෝ, යන්න කලින් කොහොමහරි සෙට් වෙමු. මම කස්ටියව සෙට් කරන්නම්. උඹට කවද්ද පුලුවන් ?"
ඔන්න ඉතින් මමත් තෝරලා බේරලා දවස් ටික දුන්නා කියමුකො. දාගත්ත දවස ඊළඟ සතියකට කල් ගියා. කොහොමෙන් කොහොමහරි ඔන්න ඒ දවස ආවා. ඕනයා තමයි සංවිධායක.

 " දැන් කොහෙද ඇන්ඩයියේ අපි සෙට් වෙන්නේ? " තැන් තැන් වල ගිහින් සෙට් වෙන්න ඕනේ නෑ බං. අපි සෙට් වෙමු අංගොඩ.( හික්ස්... අපිටම කියාපු පැත්ත. අනේ කවුරුත් මුකුත් හිතන්න එපා. අපි සෙට් වුනේ ඇන්ඩයියලගේ ගෙදර ) "
ඇන්ඩයියගේ උපදෙස් මාලාව අනුව  මමත් සෙට් උනා හවස් වෙද්දි පිටකොටුවට. ඌට කෝල් කරහම මොන බස් එකේද නඟින්න ඕනේ කියලා අහන්න මනුස්සයා කියපි සුචරිතය ගාවට එන්න කියලා. සුචරිතය කිට්ටුවට ගිහින් මනුස්සයත් හොයාගත්තා කියමුකො. දැන් අපි දෙන්නා ඉන්නවා පිසාචයා මල්ලි එනකම්. ඌ ගාල්ලෙන් එනවා කියපු වෙලාවට ආව නම් කොටුවට දෙපාරක් එන්න වෙලාව. පිසාට කතා කරහම
 " හරි අයියේ මේ දැන් පිටකොටුවට දැම්මා බස් එක කීවා. මූට ඉතින් සුචරිතය හොයාගන්න එක කචල් නිසා අපි කීවා ගුණසිංහපුර කුරුණෑගල බස් ගහන ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක හොයාගන්න පුලුවන් නම් හොයාගෙන වරෙන්"  කියලා.
දන්නේ නැත්නම් බස් ඩ්‍රැවාගෙන් අහපන් කියලත් ඇන්ඩයියා කියනවා ඇහුනා. එතනට ඇවිල්ලා කෝල් එකක් දීපන් කියලා අපිත් බලාගෙන හිටියා කියමුකෝ. විනාඩි 20ක් 30ක් ගියත් කොල්ලගෙන් නෙවෙයි කිසිම ආරංචියක්. කව්ද දන්නේ පොඩි එකාට මොන විපැත්තියක් වුනාද කියලා. ආයෙත් ගහලා බැලුවා කෝල් පණිවිඩයක්.
" මල්ලි කොහෙද ඉන්නේ?  "
" ඉන්නේ කොහෙද නම් හරියට දන්නේ නෑ අයියේ. හැබැයි මැනින් මාර්කට් එක නම් පේනවා "ඔන්න කොල්ලගේ උත්තරේ.
 " යකෝ දන්න එකෙක්ගෙන් ඇහුවේ නැද්ද කුරුණෑගල බස් ගහන්නේ කොහෙද කියලා? අනේ අම්මපා උඹ වගේම එකෙක්. අහපන් කාගෙන් හරි අහගෙන වරෙන්. එද්දි උඹට පෙනෙයි මිටියක් තියාගෙන ඉන්න පොරක්. ඒ හරියට ආවහම කෝල් එකක් දීපන් " කියලා උපදේස් දීලත් කොකටත් කියලා අපි දෙන්නම ගියා ගුණසිංහපුර පැත්තට. අනේ කොල්ලා අපිව දැක්ක ගමන් සතුටට ඇඹරුණා ඇඹරිල්ලක් තව නූලෙන්..... නෑ නෑ... එක්කොත් ඒ ටික ඕනේ නෑ....   ඒ ටික දන්නෝ දනිති. කොහොමෙන් හරි පිසාව ත්‍රී රෝද රථයක පටවලා මමයි ඇන්ඩයියයි ගොඩවුනා උගේ දඬු මොනරේ. ඔන්න ඉතින් ඇන්ඩයියලගේ ගෙදරට ගොඩවුනාට පස්සේ ඇන්ඩයියලගේ ගෙදර බැල්කනි කෑල්ල සුද්ධ පවිත්‍ර කොරලා ( අපිම එනකම් හිටියා ඕනයා ඔය බැල්කනි කෑල්ල සුද්ධ කොරගන්න ) ලැහැස්ති උනා රාජකාරියට. ටිකකින් ඔන්න අන්තිම පේලියේ හසා, අවංක පැට්ටා, මාමයිට් එහෙම ආවා. අභීත අයියා එනකම් තමයි සෑහෙන වෙලා බලා හිටියේ. මිනිහා ඉතින් හෙන බිසීනේ.

අමාරුවෙන් රෑ 9 විතර වෙද්දි ඔන්න අභීත අයියා ආවා. අභිත අයියා විතරක් නෙවේයි  අපේ සෝරෝ සහෝදරයා සහ තවත් කීපදෙනක් ආවා. මට සමහර නම් මතක නෑ. අනේ සොරි හොඳේ....  බෝතලේ විවෘත වෙද්දි 9ත් පහුවෙලා. කට්ටිය එක්කම ඇන්ඩයියා විවේකි සුවයෙන් පොත් කියවන බැල්කනියේ හරි බරි ගැහිලා වාඩිවුනා. බෝතලේට වග කියන ඈයෝ හිටියේ බොහොම ටිකයි. අනිත් ඈයෝ බයිට් එක සහ කෝක් එකට වග කියන අතරේ බයිට් වීමත් ඉඳ හිට සිද්ධ වුනා. අම්මෝ එදා රස කතා, කැත කතා, මඩ කතා, ඕනේ නැති කතා, ඕපා දූප, දුක කතා මෙකි නොකී කතා ගොඩක් සිද්ධවුනා.  මොනවා වුනත් ලංකාවේ ගත කරපු කාලයේ ලැබුන බොහෝ සුන්දර සැන්දෑවක්...........
 සයිබර් ලෝකේ දැක්කට කොමෙන්ට් කෑල්ලක් දැම්මට එදා තමයි ඔන්න කස්ටිය ෆේස් ටු ෆේස් සෙට් වුනේ. මොකෙක් හරි දන්නවද කියලා කාගෙන් හරි ඇහුවොත් ඇන්ඩයියා කීවේ " ඔන්න මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා හොයනවා  " කියලා. වැඩේ අහරවෙද්දි රෑ 12ට කිට්ටු වෙලා. මඩ එහෙමත් නොසෑහෙන්න වැදිලා. මොනවා උනත් රස සාගරේ. කස්ටිය කියපු කතා එහෙම ලියලා තේරුමක් නෑ. ඒවා එතන ඉඳං ඒ ඇක්ශන් එක්කම අහන්න ඕනේ. එදා වැඩේ සංවිධානය කරපු ඇන්ඩා අයියට සහ වැඩේට ලෙඩේ නොදැම්මට අක්කටයි විශේෂ ස්තූතිය. මොකද අපේ සද්දේට පොඩි ඒකිට නිදාගන පුලුවන් කියලද?  එහෙව් එකේ අංගොඩ පලාතේ සෙට් වෙන්න චෑන්ස් එකක් දුන්න එකත් ලොකු දෙයක්. ඒ විතරක් නෙවෙයි තම තමන්ගේ වැඩ කටයුතු අස්සේ දුවගෙන ආපු කට්ටියටම ස්තූතියි. හසා ආවට ඌ ආවේ අන්ඩක් කඩාගෙන කොර ගහ ගහා. මාමයිටත් හෙන කට්ටක් කාගෙන ආවා.  අවංකයත් වැඩ ඇරිලා නෝම්බි එහෙම ඇරලා පිම්මේ ආවා. එතකොට ගාල්ලේ ඉඳන් ගෙදරට බොරු කියලා ආපු පිසා මල්ලී, වැඩ අස්සේ රෑ 9ට හරි ආපු අභීත අයියා, සෝරො, මෙකී නොකී හැමොටම බොහොමත්ම ස්තූතියි. අනික ඒ රෑ ජාමේ මාව කොළඹ නුවර පාරට ගෙනත් දැම්මේ අභීත අයියා. පලයන් කියලා කීවට මාව බස් එකක නග්ගලා තමයි මාමයිටා ආපහු ගියේ. ඉතින් කස්ටියටම බොහොමත්ම ස්තූතියි....   ඊළඟ වතාවේ නිවාඩුවට ආවහම ආයෙත් සෙට් වෙන්න බැරියෑ....

Monday, September 5, 2011

නිවාඩු නැතිවුන නිවාඩුව.

ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ ලියන්න කියලයි සූදානම.....  ගිය මාසේ මම ලංකාවට ගියා. ඉතින් ලංකාවට ගියහම හුස්ම ගන්නවත් වෙලාවක් නෑනේ... අනිත් එක ගියේ සති 2කට....  බ්ලොග් එක ලියනවා තියා ජාලෙට එබුනෙත් එහෙ මෙහෙ දුවන ගමන්... ලංකාවෙන් ආපු ගමන් පෝස්ට් එකක් දාන්නම් කියලා හිතාගෙන හිටියත් ඇවිල්ලා බලද්දි මගේ කොම්පීතරේ ලෙඩ වෙලා....  ඕවා මේවා අස්සේ අද තමයි තිබ්බ ප්‍රශ්න විසඳගෙන ලියන්න සෙට් වෙන්නේ.....

මම ලංකාවට ගියේ මාස 9ට පස්සේ. යනවා කියලා හරියට තීරණය කරගෙනත් නෙවෙයි හිටියේ. ඒත් හදිස්සියේම වගේ යැවුනා. ඒ ගැන විස්තර පස්සේ පෝස්ට් එකක දාන්නම්. මේ පාර හදිස්සියේ ගිය නිසාත්, වැඩිය නිවාඩු නැති නිසාත් මගේ යාළු මිත්‍රයන්ට නොකියා හොරෙන්ම තමයි ගියේ. කොහොම ගියත් කස්ටියට ආරංචි වෙනවා. ඊට පස්සේ බැනුම් එහෙමත් අහගත්තා. මොනවා කරන්නද? කාලය සීමිත නිසයි එහෙම කරේ. එහෙම නැතුව යාළු මිත්‍රකම් අමතක කරලා නෙවෙයි. අනික මම නිවාඩුවට ආවට යාළුවන්ට නිවාඩු නෑනේ. ඒ නිසා ඒ අයටත් මාව මුණගැහෙන්න අමාරුයි. සමාවෙන්න ඕනේ කස්ටිය නොකියම ඇවිත්, නොකියම ගියාට. ඒ හිටපු දවස් 15 ගෙවුනේ හරියට දවස් දෙකක් වගේ. නිවාඩුවට ගියාට මොකද කිසිම නිවාඩුවක් නම් තිබුනේ නෑ. නිවාඩු ගත්ත නම් ගොඩක් දේවල් මඟ ඇරෙනවා. මාස ගාණකින් ගිය නිසාද මන්ද ලොකු වෙනසක් නම් දැනුනේ නෑ. හැබැයි මඟ තොට එහෙ මෙහෙ යද්දි ලංකාවට එන විදේශීය සංචාරකයෝ ප්‍රමාණය නම් ගොඩක් වැඩිවෙලා කියලා හිතුනා. බොරු කියන්නේ මොකටද ආසියාවේ ආශ්චර්යය නම් දැක්කේ නෑ ඕං... කවදා දකින්න වෙයිද දන්නෙ නෑ ඒක නම්.

මම ලංකාවට එනකම් මඟ බලාගෙන හිටපු අපේ කසුන් අයියගෙ පොඩි උන් ටිකට හැම පාරම වගේ මේ පාරත් බලාගෙන හිටියේ මාත් එක්ක කොහේ හරි රවුමක් ගහන්න. පොඩි උන්ට ඉතින් ඔය ස්වාභාවික සෞන්දර්යය, පෞරාණික නටබුන්, ඓතිහාසික සිද්ධස්ථාන බලන්න නෙවෙයිනෙ ඕනේ. උන්ට ඕනේ කොහේ හරි ගිහින් ඇති වෙනකම් දඟලන්න. ඒ නිසා සෙට් එකත් එක්ක ගියා පේරාදෙණිය උද්‍යානයට. ( අවුලෙන් වගෙ බලන්න දෙයක් නෑ. පොඩි උන් එක්ක යන්න පුලුවන් තත්වයක් තිබ්බා ) ලංකාවට ගියත් හරි විශේෂයෙන් කොහෙ හරි ගියා කියලා  ගියේ ඔය පොඩිඋන් එක්ක ගිය ගමන විතරයි. ඔය පල්ලෙහා ඉන්නේ කස්ටිය තමයි.



ඔය ගමනෙන් පටන් ගත්ත පටන් ගැනිල්ල ලංකාවෙන් එන්නේ හෙටයි කියන කම් දිව්වා. ඊළඟට විශේෂ වැඩකට තිබ්බේ මගේ බොහෝම හිතවත් මිත්‍රයෙක්, අසල් වැසියෙක් වන තාරක අයියගේ මඟුල. ඒකත් රස ආකරයක්.අනේ ඌ  පැණි හඳේ යන අතර මඟ කස්ටිය උගේ ඇඳුම් මල්ල උස්සලා ගිනිවිජ්ජුම්බරයයි එතන. අනික මනමාලිව කැන්දගෙන එන දවසෙත් කස්ටිය ඌට වද දීලා. ඒවා ගැන විස්තර වෙනම පෝස්ට් එකක ලියන්න ඕනේ.
ආපු දවසට පහුවදාම අපේ ඕනේ අයියා නොහොත් ඇන්ඩයියාට දන්වලා යැව්වා. කොහොම කොහොම හරි බ්ලොග් යාලුවොත් කීප දෙනෙක් සෙට්වුනා. ඇන්ඩයියලගේ ගෙදර තමයි සෙට්වුනේ. ඒකත් බොහොම වැදගත් ඉවෙන්ට් එකක්. බ්ලොග් වලින් හම්බවෙලා දුක සැප බෙදාගත්ත කස්ටිය සයිබර් අවකාශයෙන් එලියේ ඇත්තටම දැකලා හම්බවෙලා කතා කරන්න ලැබුන එක ගැන නම් අප්‍රමාණ සංතෝෂයි... ඇන්ඩයියට බොහොමත්ම ස්තූතියි ඒ වගේ අවස්ථාවක් සැලසීම සම්බන්ධයෙන්.  අපේ මේ සුහද හමුව ගැනත් වෙනම පොස්ට් එකක් ලියන්න ඕනේ. කොහොමහරි ඔය නිසා පහුගිය මාසෙම මුකුත් ලියාගන්න බැරිවුනා. මේ ලිවේ නම් පෝස්ට් එකක්ම නෙවෙයි. පහුගිය කාලේ බ්ලොග් එක පැත්තට එන්න බැරි වුන එකට නිදහසට කරුණු. කොම්පීතරෙත් ගොඩ නිසා ගොඩයා නැවතත් කරලියට....