Sunday, July 24, 2011

ජිවිතයේ ඉඩ කඩ...............

අන්තර්ජාලයේ සැරිසරද්දී හම්බවෙන කතා අතරේ ජීවිතේට වැදගත් වෙන, වටින දේවල් ඉඳලා හිටලා අපිට හම්බවෙනවා... වටිනවා කිවේ සමහරවිට ඒ ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් අපිට අපේ ජිවිතේ ලේසි කරගන්න ඉඩ තියනවා. මේ ලියන්න යන සිද්ධියත් එහෙම එකක්. ගොඩක් අය අහලා ඇති කියලත් හිතනවා. ඒත් කමක් නෑ දන්න සිංහලෙන් ලියනවා.

ඔන්න දවසක් දර්ශන විද්‍යාව උගන්නන මහාචාර්යවරයෙක් ආවා පන්තියට ජිවිතය ගැන දේශනයක් දෙන්න. මහාචාර්යවරයාගේ මේසේ උඩ ලොකු හිස්  භාජනයක් තියලා තියනවා. මහාචාර්යවරයා කිසිම කතා බහක්  නැතුව ලොකු ටෙනිස් බෝල පෙට්ටියක් හැලුවා අර ලොකු භාජනේට. දැන් අර ලොකු භාජනය පිරෙන්න ටෙනිස් බෝල. ඊට පස්සේ තමන්ගේ ශිෂ්‍යයන්ගෙන් ඇහුවා " මේ හිස්ව තිබ්බ භාජනය පිරිලද නැද්ද ?? " කියලා. ශිෂ්‍යයෝ සියලුම දෙනාම භාජනය පිරිලා තියෙන්නේ කියලා කිවා.... " හොඳයි " කෙටි පිළිතුරක් දුන්න මහාචාර්යවරයා නැවත තවත් පෙට්ටියක් ගත්තා. ඒ පෙට්ටිය පිරිලා තිබ්බේ පබළු වලින්. මහාචාර්යවරයා නිහඩවම ඒ පබළු පෙට්ටියත් අර ලොකු භාජනයට හැලුවා....  ලොකු ටෙනිස් බෝල අතරේ තිබ්බ හිදැස් අතරින් ඉඩ කඩ හොයාගෙන ඒ පබළු ඔක්කොමත් අර භාජනයට පිරුනා. නැවතත් මහාචාර්යවරයා අර පළමු ප්‍රශ්නයම ශිෂ්‍යයන්ගෙන් ඇහුවා. ඒ පාරත් ශිෂ්‍යයන් මහාචාර්යතුමා සමඟ එකඟවුනා. ඒ භාජනය පිරිලා තියෙන්නේ කියලා. නැවතත් නිහඬවුන මහාචාර්යවරයා තවත් පෙට්ටියක් ගත්තා. මේ වතාවේ ඒ පෙට්ටිය පිරිලා තිබුනේ වැලි වලින්. එතුමා නිහඬවම වැලි ටිකත් භාජනයට හැලුවා. අර ටෙනිස් බෝල, ලොකු පබළු අතර තිබුන පුංචි ඉඩ කඩ හොයාගෙන ඒ වැලි ටිකත් රිංගුවා. වැලි ටික හලලා ඇහුවා " දැන් මේ භාජනය පිරිලද? " කියලා. ශිෂ්‍යයන් සියලුම දෙනා මේ වතාවෙත්  ඒකමතිකව එකඟවුනා භාජනය පිරිලා කියලා.  හීන් හිනාවක්‌ මුණේ රදවා ගත්තා මහාචාර්යවරයා මේසේ යට තිබ්බ වයින් විදුරු දෙකක් අරන් ඒ විදුරු දෙකත් හැලුවා  අර ලොකු භාජනයට. කොච්චර පිරුනා කිවත් කිසිම කරදරයක් නැතුව අර වයින් විදුරු දෙකත් භාජනයට රිංගුවා.....   මහාචාර්යතුමාගේ පුරුදු ප්‍රශ්නය ඇහුවා ආයෙත්. " දැන් මොකද කියන්නේ ?  මේ භාජනය පිරිලද නැද්ද ?"  මුහුණේ සිනා රදවාගත්ත ශිෂ්‍යයන්ගේ පිළිතුර වුනේ "ඔව්. භාජනය පිරිලා" කියලා...........

මේ වතාවේ මහාචාර්යතුමා තමන්ගේ කටහඩ අවදිකලා. " මේ ලොකු භාජනය කියන්නේ අපේ ජිවිතේ කියලා හිතන්න. මේක මුලින්ම හිස්. හැබැයි ඒකට පිරුන ටෙනිස් බෝල කියන්නේ අපේ ජිවිතේ වඩාත් වැදගත් දේවල්. අපේ පවුල, දරුවෝ, සෞඛ්‍යය වගේ දේවල්. අනිත් මොනවා නැති උනත් අපේ ජිවිතේ ඉතුරුවෙන දේවල්. ඒ දේවල් නැතිව ජ්විතේ අරමුණක්  නැතුව යනවා. ඒ නිසයි ඒවා වඩාත් වැදගත් වෙන්නේ. දෙවනියට දාපු පබළු වලින් කියන්නේ ජිවිතේ හම්බවෙන අනිත් ප්‍රශ්න..  රස්සාව, ගෙවල් දොරවල්, යාන වාහන. මේවට ලැබෙන්න අපේ ජිවිතේ දෙවැනි තැන.... වැලි වලින් කියන්නේ ඔය දේවල් වලට අමතරව අපේ ජිවිතේ හම්බවෙන සියලුම දේවල්..... ඉතින් අපි මුලින්ම වැලි පිරෙව්වා නම් අපේ ජීවිතේට අපට ටෙනිස් බෝලවත් පබළුවත් දාන්න ඉඩක් ලැබෙන්නේ නෑ....  ඒ දේම සමාන වෙනවා අපේ ජිවිත වලටත්.ජිවිතේ අපිට ලැබෙන පොඩි පොඩි දේවල් මත්තේ අපේ ශක්තිය, කාලය, ධනය වැය කරන්න ගියොත් අපේ ජිවිතේ වැදගත් වෙන දේවල් වලට ඉඩක් නැතිවෙනවා. සමහරවිට අපිට ඒක තේරෙනකොට අපි ගොඩක් පරක්කු වෙන්න පුළුවන්.  ඒ නිසා ජිවිතේ වැදගත් දේවල් වලට වැඩි අවධානයක් යොමු කරන්න... දෙමව්පියෝ ගැන, පවුල ගැන, ළමයි ගැන බලන්න, සෞඛ්‍යය ගැන බලන්න, ඒ වෙනුවෙන් කාලය වැය කරන්න ලෝබ වෙන්න එපා. මොකද ජිවිතේ වැදගත්ම දේවල් වලට ඉඩ තියනවා කියන්නේ දෙවැනියට තුන් වෙනියට වැදගත් වෙන දේවල් වලටත් අනිවාර්යයෙන් ජීවිතෙන් ඉඩක් ලැබෙනවා කියන එකයි. හරියට ටෙනිස් බෝල පුරවපු භාජනයට පබළු, වැලි පුරවන්න ඉඩ තිබ්බා වගේ... " මුළු විස්තරේම කියලා ඉවර වුන මහාචාර්යතුමා නිහඬ වුනා......

ඒත් එක ශිෂ්‍යයෙක් අත උස්සගෙන ඉන්නවා ප්‍රශ්නයක් අහන්න බලාගෙන. මහාචාර්යවරයා තම ශිෂ්‍යයාට අවස්ථාව ලබා දුන්නා. " ඔබතුමා  සියලුම දේවල් ගැන පැහැදිලි කළා. ඒත් අර අන්තිමට භාජනට හලපු වයින් විදුරු දෙක ගැන සඳහන් කලේ නෑ... මොකක්ද ඒ වයින් විදුරු දෙකෙන් කියන්නේ ? ".  බොහොම හයියෙන් හිනාවුන මහාචාර්යවරයා " බොහොම සතුටුයි ඒ ප්‍රශ්නේ අහපු එක ගැන. අනිත් අයට ඒක මඟ අරුනා. ඒ වයින් විදුරු දෙකෙන් කියන්නේ මේ හැමදේකින්ම අපේ ජිවිතේ පිරිලා තිබ්බත්, අපට මොනතරම් ප්‍රශ්න තිබ්බත් ඕනෙම වෙලාවක යාලුවොත් එක්ක වයින් විදුරු දෙකක් බොන්න ඉඩ අපේ ජිවිත වල තියනවා කියන එකයි." කියලා දේශනය හමාර කලා.  මේක කියෙව්වහම මටත් හිතුනා සමහර වෙලාවට වැදගත් නොවන දේවල් වලින් අපි ජිවිතේ පුරවාගෙන කරදර වෙනවා කියලා.... හොඳයි කියලා හිතුන නිසා ලීවා. අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න....   

Tuesday, July 12, 2011

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද..............................


මේ මිනිස් සමාජය තුල මිනිසත්කමින් පිරුණු මිනිසුන් බොහෝ හිඟ වුවද තිරිසනුන්ගෙන් නම් කිසිම අඩුවක් පාඩුවක් නැත. තිරිසන් යන වචනය මිනිසුන්ට හරියටම ගැලපෙන බවයි මගේ හැඟීම.  බුදුහාමුදුරුවන් දේශනා කල ආකාරයට තෘෂ්ණාව සියලුම සත්වයන්ට පොදුය. ඒත් මිනිසුන් වන අපට ලැබී ඇති බුද්ධියේ මහිමෙන් අප කල යුත්තේ මේ ආසාවන්, තෘෂ්ණාවන් වලින් හැකිතාක් දුරට ඈත් වී සිටීමයි. ඒත් බැලූ බැලූ අත අපේ සමාජය තිරිසන් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ඇත. බුද්ධියට ඉඩක් නැත. මේ ලියන්න යන්නේද තවත් තිරිසනෙක් පිළිබඳවයි. තිරිසනුන් පිළිබඳව ඕනෑ තරම් කතාන්දර, උදාහරණ, විස්තර ඇති බව දනිමි. නමුත් මේ කතාව ඇසුන වෙලේම ලියනවා කියා සිතුවේ අනේ අපොයි කියා මට කියවුන නිසාමයි. ඉතින් මේ කතාවත් ඒ තිරිසන් කතා ගොඩට එක් වන තවත් එකකි.

මේ කතාව මට කිවේ මගේ හිත මිත්‍රයෙකි. මිත්‍රයෙක් කියනවට වඩා ඔහු මාගේ වැඩිමල් සොහොයුරෙක් වැනිය. ඔහුගේ අනුදැනුම සහ අවසරය ඇතුව කතාව මම මෙසේ ලියමි.......    මේ කතාවේ කතා නායිකාව  වෛද්‍ය ශිෂ්‍යාවකි. වෛද්‍ය පීඨයේත් ඇගේ අධ්‍යාපන කටයුතු බොහෝ සාර්ථකව කෙරීගෙන ගිය අතර හදිස්සියේ ඇයට අසනීප තත්වයක් ඇතිවිය.  මෙය ශාරීරික අසනීප තත්වයක් නොව මානසික අසනීප තත්වයකි. පොඩි දේටත් සියදිවි හානි කරගැනීමට තැත් කරන, මානසිකව වැටීමට හැකි පතුලටම වැටුන, දවසේ පැය 24ම උපරිම මානසික පීඩනයෙන් ඇය කල් ගෙවන්නට විය. වාසනාවට ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් විය. ඇය වටා නිරන්තරයෙන් වෛද්‍යවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ, ආචාර්යවරු, මහාචාර්යවරු ගැවසුන බැවින් මේ සම්බන්ධව ඒ සියළුදෙනාගේ නිරන්තර අවධානය නිසා මේ රෝගී තත්වයට හේතු කාරණා එලි පෙහෙළි විය. නමුත් ඒ ඇත්ත බොහෝ තිත්තයි.

ඇයගේ මේ රෝගී ලක්ෂණ වලට හේතුව වුයේ  මීට අවුරුදු දහයකට දොළහකට උඩදී ඈ ලැබූ අමිහිරි කටුක අත්දැකීමකි.  මේ සොයුරියට වයස අවුරුදු 13දී ඇයගේ ඥාති සොයුරෙකුයැයි කියන තිරිසනෙකු විසින් ඇයව දුෂණය කර ඇත. ඇය මේ පිළිබඳව කිසිවෙකුට නොකියා ඒ කම්පනය, වේදනාව, නීරස සියළුම දේ හිතේ තද කරගෙන මෙතුවක් දුර ආවාය. ඈ ආ දුර එසේ මෙසේ දුරක් නොවෙයි. අවුරුදු දහතුනේ සිට මෙවැනි මානසික තත්වයක් යටතේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ,සියළුම කඩයිම් ජයගැනීම ලේසි පහසු කර්තව්‍යයක් නොවේ.  නමුත් අන්තිමේ කොහොදෝ සිටි පව්කාරයක්ගේ පව් ඈ පසු පසු ඇවිදින්ය. මෙතුවක් දුර මේ සියලු දුක් වේදනා ඈ දරාගත්තේ කෙලෙසදැයි මට සිතාගත නොහැකිය. නමුත් තව දුරටත් ඇගේ සිතට දරාගැනීමේ හැකියාවක් නොමැත. අවුරුදු ගණනාවක් තිස්සේ පීඩිතව සිටි සිතේ ශක්තිය දිය වී ගොස්ය.... ඒ හේතුවෙන් ඈ මානසික රෝගියෙක් බවට පත් වී හමාරය. මේ සිද්ධියෙන් පසු අනාවරණය වී ඇත්තේ මේ සොයුරිය කෙලසූ තිරිසනා විසින්ම ඔහුගේ ඥාති සොහොයුරියන් කීපදෙනක් කුඩා කාලයේදී කෙලෙසා ඇති බවයි. මෙවැනි පිරිමින් දුටුවිට පිරිමිකම ගැන මටම ලැජ්ජා සිතෙයි. මුන් පිරිමිද ?  අවුරුදු හිරිමල් යෞවනය යනු කෙතරම් සුන්දර කාලයක්ද ? පිපෙන්න ලං වූ මලක් තලන්න තරම් මිනිසුන්ගේ සිත් රුදුරුය. අනාගතයේදී සමාජයට වැඩදායි යහපත් පරපුරක්  බිහිකරන්නට අපේ ලොකු පුටුවල උදවිය සම්මන්ත්‍රණ, සාකච්චා, වැඩමුළු පවත්වති. නමුත් වර්තමානයේ දුර්ගන්ධය පතුරවන කුණු සොදන්නේ නැතිව අනාගතයක කෙලෙස පවිත්‍ර කරන්නද ??  නොමිනිස්සුන්ගේ වැරදි වලට දුක් විඳින්නේ කිසිවක් නොදන්නා අහිංසකයින් නොවේද ??

වාසනාවකට මේ සොයුරියට වෛද්‍ය පිඨය තුලින්ම වචනයේ පරිසමාප්තයෙන් යුතු මනුස්සයෙක් මුණගැසී ඇත. මගේ හිතවතා කී ආකාරයට ඔහු ඇයව හොඳින් තේරුම් ගෙන ඇයට ජිවිතෙට අවශ්‍ය සවිය, අත්වැල නිබඳව සපයමින් සිටී. එම නිසා ඒ සොයුරියට ජිවත්වීමේ වාසනාව ලැබී ඇත. මා එසේ කිවේ ඈ කීපවරක් සිය දිවි හානි කරගැනීමට තැත් කර ඇති නිසාය. ඔහුත් වෛද්‍යවරයෙකු නිසා ඇයව තේරුම් අරන් ඈයට සවියක් වීමට හැකියාව ඇත. නමුත් අසරණ වූ සැමටම මෙවැනි පිළිසරණක්  නොලැබෙයි. අපේ සමාජය කරන්නේ අසරණ වූ කෙනෙක් තවත් අසරණ කිරීමය. අපේ මිනිසුන් " පට්ට බැල්ලි " කියා හඳුන්වන ගැහැණිය මේ ආකාරයෙන් කාගේ හෝ අතවරයට ලක් වී අසරණ වූ කෙනෙක් විය හැක. කකුලක් නැති මිනිහෙක්ට " අබ්බගාතයා " කියා කීවද ඒ මනුස්සයාගේ කකුල රට වෙනුවෙන් කල යුද්ධයේදී  අහිමි වූවා විය හැක. තරබාරු කෙනෙකුට " තඩියා" කියා උපහාස නැගුවද ඒ මනුස්සයා කිනම් හෝ අසනීපයකින් පෙලනෙවා විය හැක. එම නිසා අසරණ වූ කෙනෙක් උපහාසයට ලක් කරද්දී අවමයෙන් දෙපාරක් සිතා බලමු.  මෙවැනි තත්වයන්ට පත් වූ අසරණයින් කොතෙක්දැයි අපි නොදනිමු. ඒත් හැමදාමත් පත්තරයක මෙවැනි සිදුවීම් වාර්තා වෙයි. ඒ සමාජයට හෙළිදරව්වන සිද්ධීන් පමණයි. මෙවන් තිරිසනුන්ටදඬුවම්ද නැත. දඬුවම් විඳින්නේ අසරනයින්ය. කෙසේවතත් මෙවැනි තිරිසනුන් ඉපදුනේ මවකගේ කුසින්මදැයි සැක මතුවේ.... සියළුම දෙනාට සොහොයුරියන් නැතත් අම්මාලා සිටී. නමුත් කාන්තාව සෙල්ලම් බඩුවක් යැයි සිතන පිරිමින් දුටුවිට මට නම් මගේ පිරිමිකම ගැන ලැජ්ජා සිතේ. එනමුත් බහුතර තිරිසනුන් මැද ඉඳ හිට හෝ මිනිසුන් හමුවීම සතුටට කරුණකි. මේ සිද්ධිය ලිවේ මගේ හිතට දැනුන කම්පනය හේතුවෙනි. මෙතුවක් කල් දුක් ගැහැට විඳගෙන තම ජිවිතේ මුහුණ දුන් නීරස, කටුක සිද්ධියෙන් පසුබට නොවී  ජිවිතේ සාර්ථක කරගැනීමට ඒ සොයුරිය ගත් උත්සාහය පිබඳව මගේ ඇත්තේ අප්‍රමාණ ප්‍රීතියකි. ඇය මෙතුවක් දුර ආවේ නැත්නම් ඇයට සිදුවන්නේ සිය දිවිහානි කර ගැනීමටයි.  නමුත් ඇය මේ පිළිබඳව හෙළිදරව් කළා නම් සමහරවිට ඇයට ඇයගේ අනිකුත් ඥාති සොහොයුරියන් බේරාගැනීමට ඉඩ ප්‍රස්තාව තිබුණි. ඒත් ඒසේ වූවා නම් ඇයට ජිවිතේ ජයගැනීමට ඉඩක් අපේ කුරිරු සමාජය ඉතුරු කරන්නේ නැති බව මට විශ්වාසයි. මම බුදු දහම විශ්වාස කරමි. ඒ නිසා උසාවියෙන් දඩුවම් නොලැබුනද මෙවැනි තිරිසනුන්ට කර්මය කෙදින හෝ පලදේ යැයි විශ්වාස කරමි.........

මේ සිද්ධිය මගේ කන වැටුන සැනින් එක්තරා ගීතයක් මගේ මතකයට එබිනි.......


වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්

පුද දෙමු දෙවොලට කැඳවා 

Sunday, July 10, 2011

ලෝකාන්තයට තව පොඩ්ඩයි - 2 කොටස ( වෙරි සමඟ ක්‍රිකට් )

2 කොටස කියලා ලියන්න පටන් ගත්තට ඇත්තටම මේක තමයි අන්තිම කොටස. තවත් කොටසක් ලියන්න තියාගන්න බලාපොරොත්තුවක් නෑ. කලින් පොස්ට් එක 1 කොටස  කියලා දාපු නිසා මේකට 2 කොටස කියලා දානවා. අනිත් කාරණය ඔය ඔබා මාමා, ඕනයා වගේ ඇල්කොහොල් ඇලජික් උපාසක මහත්තුරු ඉන්නවා නම් කරුණාකර මෙතනින් එහාට කියවන්න එපා....  ලොල්.........

කලින් පොස්ට් එක නැවතුනේ ලොරියා කරගත්ත වින්නැහිය ගැන කියලනේ... අනේ ඔන්න ඉතින් ලොරියගේ  කබරයා පාර යන අතරේ අපි නුවරඑලියට කිට්ටු කරා....  ආතල් අතරේ ලොරියාවත් බලා කියාගන්න ස්වේච්චාවෙන්ම යහපත් මානසික මට්ටමෙන් හිටපු අපේ උන් දෙන්නෙක් ඉදිරිපත්වුනා. අනිත් අයත් අතරින් පතර ඌ ගැන හොයාබලමින් නුවරඑලිය නගරයට සේන්දු උනා. මතක හැටියට ඒ වෙද්දී දවල් 12ට විතර. වාහනය නැවැත්තුවා රේස් කෝස් පිට්ටනිය කිට්ටුව පාර්ක්‌ එකෙන්. කොහේ යන්නත් කලින් ලොරියව කෙලින් කොරගන්න එපායැ.... නැතුව ඉතින් මූ කොහෙද ලොකාන්තේ යන්නේ.... කට්ටියම එතන නැවැත්තුවේ ඌට උවමනා බෙහෙත් ගන්න සහ කෑම ගන්න. උදේම දවසටම ඇති වෙන්න බීම ගත්තට කෑම ගැන වගක් තිබුනේ නෑනේ....  දැන් කන්න ගන්නේ මොනවද කියලා කට්ටිය සාකච්චාව. ඔය අතරේ අපේ කීපදෙනක් එලියට බැහැලා නුවරඑළියේ සුවය විඳිනවා. නුවරඑලිය පැත්තේ කරක් ගහපු උදවිය දන්නවා ඔය රේස් කෝස් පිට්ටනිය කිට්ටුවමයි නගර සභාවයි, නගර සභා පිට්ටනියයි තියෙන්නේ. අර එලියට බැහැලා නුවරඑලි හුලං වැදි වැදී හිටපු අපේ අයගේ ඇහැ ගියා ඔය නගර සභා පිට්ටනියට.  අපේ ගුරයි අපියි කන්න ගන්න දේවල් ගැන කතා කර කර ඉන්න අතරේ අරුන් ටික ආවා. " අයියේ මේ ග්‍රවුන්ඩ් එක පට්ට. මෙතන ගහමු ක්‍රිකට්. මොන ලොකාන්තේද ? මෙහෙම ආතල් එකක් ගන්න වෙන්න නෑ. ගිහින් බලන්නකෝ ග්‍රවුන්ඩ් එක කොහොමද කියලා ? "  අපේ ගුරත් ක්‍රිකට් පිස්සෙක්. ආයේ මොනවත් කතා නෑ " එහෙනම් ක්‍රිකට් ගහමු.  මල්ලි කෑම ගන්න දැන් යන්න ඕනේ නෑනේ. තව බෝතල් දෙකකුත් තියනවා, වෙරි පිටම ක්‍රිකට් ගහමු. ඒකත් පට්ටම ආතල්නේ". ඔන්න දැන් සෙට් එක තීරණය කරලා ඉවරයි ක්‍රිකට් ගහන්න. ඔන්න දැන් ලොරියාගේ ප්‍රතිකර්ම ගැන මතක නෑ...  අනික ලොරියත් වීරයා වගේ කිවා අවුලක් නෑ, ලොකාන්තේ යන්නේ නැත්නම් ඌත් ක්‍රිකට් ගහන්න එනවයි කියලා... උගේ ආසාවනේ.. අපිත් මුකුත් කිවේ නෑ.

එතන හිටපු උන් ගොඩදෙනෙක් මාත් ඇතුළුව ලොකාන්තේ කීප පාරක්ම ගිහින් තියනවා. ඉතින් ආයෙත් ඔතනට ගියා කියලා අමුතු ආතල් එකක් අපිට නෑ... ඒ නිසා අපි ඔක්කොම ක්‍රිකට් ගැහිල්ලට මනාපෙ දැම්මා. ඒ අස්සේ දෙන්නෙක් නහයෙන් අඬනවා " අඩේ මොකක්ද බං.. ලොකාන්තෙට තව පොඩ්ඩයි...  ඒ ටිකත් යමංකො... අපි දෙන්නා ගිහින් නෑ බං". ඒත් දෙන්නා තේරුම් ගත්තා කියලා තේරුමක් නෑ කියලා. අනිත් සෙට් එකම ක්‍රිකට් ගහන්න ලැහැස්තිය... ලොරියා විතරක් කිසි සද්ද බද්දයක් නැතිව පාඩුවේ.....   අපේ පුරුද්ද තමයි කොයි ලෝකේ ගියත් බැට් දෙකකුයි, විකට් කණු 3යි දාගෙන යන එක.. බෝලයක් නම් මගින් ඕනේ වෙලාවක ගන්න බැරියෑ...  ඔන්න දැන් කස්ටියම ක්‍රිකට් ගහන්න සූදානම. කෑම ගන්න එක පැත්තකින් තියලා තුන් හතර දෙනෙක් ගියා බෝලයක් ගේන්න. අපි කට්ටිය  අවශ්‍ය අඩුම කුඩුම අරන් ග්‍රවුන්ඩ් එකට ගියා. ලොරියත් ක්‍රිකට් ගහන්න එනවා කියපු ලැජ්ජාව නිසා අමාරුවෙන් අමාරුවෙන්  අපේ පස්සෙන් ග්‍රවුන්ඩ් එකට ආවා. ඔන්න විකට් කණු හිටවලා කට්ටියම බොලේ එනකම් බලාගෙන ඉන්නවා. ඒ අස්සේ නගර සභාවේ මනුස්සයෙක් ඇවිත් කොක්කක් දැම්මා... බුක් කරන්නේ නැතුව ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න බෑ කියලා. පස්සේ අපේ ගුරු අයියා ගිහින් ගානක් ගෙවලා හවස 5.30 වෙනකම් පිට්ටනිය අපිට අයිතිකරගෙන ආවා.  ඔය අස්සේ ඈත තියන ඉවුරකට හේත්තු වෙලා මොකක්ද එකෙක් අත උස්සගෙන ඉන්නවා.... අර පන්තියේ නම් ලකුණු කරන කොට අත උස්සනවා වගේ. ටිකක් අපේ ලොරියා වගේ.. ඌත් අමාරුවෙන් අපි පස්සෙන් ආවනේ.. බැලින්නම් ඌ තමයි... වෙරි මරගාතේ කොහේහරි යන්න ගිහින් යන එන මං නැතුව මිනිහා ඉන්නවා. අතක්  වනන්නවත් පණ නැතුවද කොහෙද අත උස්සගෙන. අපේ හදිසි විහිදුම් බලකායේ දෙන්නෙක් යැව්වා මිනිහට මොනවාහරි කරන්න කියලා. මොනවාද ඉතින් දෙන්නා ගිහින් ඌව බස් එකේ හොඳ වමනේ දාන්න එහෙම පහසු තැනක් බලලා සතපවලා ඇවිල්ලා. ලොරියාගේ ජවනිකාව එතැනින් නිමි....   
මෙන්න මේකයි ඔය කියපු ග්‍රවුන්ඩ් එක 

ඔන්න දැන් බෝලත් ගෙනාවා. කට්ටිය පිල් දෙකකටත් බෙදුනා. ක්‍රිකටුත් ගසා ඇත. ඒත් එදා තමයි නියම ක්‍රිකට් ගැහුවේ..  පන්දු යවන අන්තයේ කඩුල්ල ගාව බෝතලෙයි, කොකාකෝලා එකයි, බයිටුයි. මොකද ඕවර් එකක් දාපු ගමන් කට්ටියට වෙරි බහිනවා. ඉතින් ඕවර් එකක් දාපු එකා එතනින් යනකොට එකක් අරගෙන ඕවර් එක දාන්න කලින් හිටපු තත්වයට ඇවිල්ලා තමයි යන්නේ... අප්පා අන්න ක්‍රිකට්....  එකෙක් දෙනෙක් ඇරෙන්න අනිත් උන් ඔක්කොම වෙරි පිට. අර සිහියෙන් හිටපු උන්ගේ මොලේ අවුල් වෙලා වෙරි උන් කරන වැඩ දැකලා. ඒත් වෙරි පිට සෙල්ලම් කරපු උන් තමයි හොඳම ආතල් ගත්තේ...  එකෙක් ආවා බෝල් කරන්න. ඇවිල්ලා බෝල් කරන පැත්තේ විකට් එක ලඟට වෙලා කල්පනාව. ඉවසලා බැරිම තැන ඇහුවා මොකද කියලා. " අඩේ විකට් එකට කණු තුනයි නේද බං ? ඒත් මේ විකට් එක වැටක් වගේ පෙන්නේ මොකද ??? " ඔන්න ඌට තිබ්බ ප්‍රශ්නේ. තව එකෙක් බොලේ අරගෙන  " අඩේ මම කොයි කනුවටද බොලේ දාන්න ඕනේ " එක එකාට එක එක ප්‍රශ්න. අනිත් එක බුල් ලෝකයයි. ගහන උනුත් බුල් කෙලිනවා. බෝල් කරන එවුනුත් බුල ගහනවා, රකින උන් ඒ දෙගොල්ලන්ටම එහා...  හය හතර එහෙම යන්නේ හැකියාවට නෙවෙයි. වයිඩ්, නො බෝල් එක ඕවර් එකකට හයට වැඩියි. අපි ගහපු ක්‍රිකට් දිහා සිහියෙන් බලාගෙන හිටියනම් මොකක් හරි ආයේ ජීවිතේට ක්‍රිකට් බලන්නේ නෑ ෂුවර් එකටම.  රකින උන් වැනි වැනි බොලේ පස්සේ දුවද්දී අපිට පෙරලි පෙරලි හිනා... උන් අපිට හිනා වෙනවා, අපි උන්ට හිනා වෙනවා. කොහොම හරි උඩ පන්දු එහෙම ඔහේ අත අරිනවා... අපේ එකෙක් බැරිම තැන උඩින් එන බොලේ අල්ලන්න බැරි නිසා හතර යන එක නවත්තන්න හිතාගෙන බොලේ එන දිහා බලාගෙන බිම වාඩි උනා. මොකද උඩින් ආවට ඕක බම්ප් වෙලා බිම දිගේ යද්දී නවත්ත ගන්න පුළුවන්නේ...  අනේ උගේ කරුමෙට බොලේ ඌ හිටියට වඩා ගොඩාක් ඉස්සරහින් නැවතුනා. බොලේ එනකම් බලාහිටියට වැඩක්යැ... අයෙත් අමාරුවෙන් නැගිටලා බෝලෙට බැන බැන වැනි වැනි බොලේ ගන්න යද්දී අරුන් දෙන්නා හතරක් දුවලා ඉවරයි....  අම්මෝ එදා ඇඟම රිදුනේ ක්‍රිකට් ගැහුව අමාරුවට වඩා හිනා වෙච්ච අමාරුව නිසා... මිට කලින් වෙරි ක්‍රිකට් ගහලා නැත්නම් ට්‍රයි කොරලා බලන්න.... පට්ටම ආතල්.....  ඔන්න මම බොන්න කියලා එහෙම කියනවා නෙවෙයි...  ඔය අමද්‍යප මහත්තුරු එහෙම කොරන්න ඕනේ නෑ..  බොන උන් ඉන්නවා නම් බීලා ක්‍රිකට් ගහලා බලපල්ලා.....  අනිත් උන් බීපු උන් ක්‍රිකට් ගහනවා බලපල්ලා.... දෙකම ආතල්.......   වෙරි පිට ගහපු උන් දන්නවා රගේ...   කට්ටිය ක්‍රිකට් ගහල කනකොට හවස 6යි...  එතකොටත් ලොරියා කෙඳිරිගානවා. හැබැයි  ඒ බීම තමයි ලොරියාගේ පලවෙනි හා අන්තිම බීම... ඊට පස්සේ නම් ඌට " බො " ඇහෙද්දීත් මල පනිනවා....  අන්තිමට ඉතින් සියල්ලෝම සතුටින්  නුවරඑළියෙන් ශේප් එකේ පල්ලම් බැස්සා...

Wednesday, July 6, 2011

ලෝකාන්තයට තව පොඩ්ඩයි - 1 කොටස ( ලොරියා )

මම අර කලින් ඇහින්දාස් ගමනේ  විස්තර කියද්දීත් කීවනේ ගොඩයා කියන්නේ රට වටේ රස්තියාදු ගහන්න කැමති එකෙක් කියලා. විනෝදාංශය තමයි ඇවිදීම....   ඇවිද්ද පය කෝටි ගණන් වටිනවා කියනවනේ...   මේ කියන්න යන්නෙත් අපි ගියපු ගමනක් ගැන...
උසස් පෙළ දෙවැනි පාර කරන්න ලොකුම හේතුවක් වුනා අපට උගන්නපු අයියා කෙනෙක්. ගුරුවරයෙක් වෙන්න කලින්ම අපි අයියාව දන්නවා. අපේ ගෙවල් කිට්ටුව. මිනිහා කැම්පස් යන කාලේ ළඟ පාත ගෙවල් වලට ගිහින්  පන්ති කීපයක් කළා. අපිත් ඒ විදිහට අපේ ගෙවල් ළඟ තිබ්බ පන්තියකට ගියා. අපි අදටත් ඒ ගුරුවරයාට බොහෝ සෙයින් ගරු කරනවා. ඒත් ගුරුවරයාට වඩා අපේ තිබ්බා සහෝදරකමක්, හිතවත් කමක්.  ඒ නිසාම ඉස්සර හවසට අපි කට්ටිය එකතු වෙනවා. පන්තිය වෙලාවට ගුරු අනිත් වෙලාවට බුදු බොක්ක....  නටන පිස්සුවක් මිනිහත් නැටුවේ අපිත් එක්ක. එළියේ කොච්චර පිස්සු නැටුවත් පන්තියේදී ෆුල් සීරියස්... ගුරුවරයා කියන එක කවදාවත් අමතක වුනේ නෑ... අපේ උන් ගොඩ දෙනෙක් අද මිනිස්සු වෙලා ඉන්නේ අයියා නිසා. නමුත් මේ කියන අයියගේ නම නම් කියන්නේ නෑ... හේතුව අද වෙනකොට ඒ මනුස්සයා ටියුෂන් ක්ෂේත්‍රයේ බොහොම ජනප්‍රිය ගුරුවරයෙක්..  අදටත් ලංකාවට ගියහම දුවගෙන ගිහින් බලලා එනවා. ඒත් දැන් නම් ඉස්සර වගේ පිස්සු නටන්න නිදහස නෑ අපිට. කොහොමහරි මේ ගමන ගියේ අයියයි අයියගේ ක්ලාස් එකට ගිය අපි මල්ලිලා ටිකයි.... 

අපි ගියේ නුවරඑළියේ....  කට්ටියට ලෝකාන්තේ යන්න තමයි වුවමනා වුනේ... ඒ ගමන නම් ජීවිතේට අමතක නොවන ගමනක්... ඔන්න දැන් ගුරයි, ගෝලයෝ රොත්තයි ගමන යනවා...  ගුරු ගෝලකම් ඉතින් පන්තියේ විතරනේ......  ඉතින් පන්තියෙන් එළියේදී අර පරණ හිතවත්කම මිසක් ගුරු ගෝල සම්බන්ධකම නෑ... ඔන්න ගම්පොල කිට්ටුවට ආවහම කට්ටියට තෙල් ඕනේ වුනා.... ඔව් ඔව්.. තෙල් කිවේ නැටුම් තෙල් තමයි..... මොකද ඒ වෙද්දී උදේ 10 පහුවෙලා... ගම්පොල වටේම කැරකිලා තරමක් හොඳ ඒවායින් බෝතල් 3ක් 4ක් පටවගත්තා... යන ගමන් බස් එක ඇතුලේ ඕක කඩලා චොරකර ගන්න ඕනේ නැති නිසා පාරේ අයිනේ අර තියන පොඩි දිය ඇල්ලක් ළඟ ටිකක් ඇතුලට වෙන්න තියන ගල් පොත්තක් උඩ වාඩිවෙලා  දැන් කට්ටිය වැඩ අල්ලන්නයි ලැහැස්තිය. වැඩේ යන්නේ  වැඩිහිටි පිළිවෙලටනේ. ඔන්න අයියා නමෝ විත්තියෙන් වැඩේ ඇල්ලුවා.. දැන් අනිත අයත් සම්මාදන් වෙනවා.

ඔය අස්සේ අපේ ***** කිට්ටු කරා එතනට. කට්ටිය ඇහුවා මිනිහගෙනුත් ගන්නවද කියලා. ඔලුව වනලා මිනිහත් ආවා කරලියට. අපේ පුරුද්දක් තමයි බොන්නේ නෑ, කලින් බීලා නෑ කියන උන්ට බොන්න නොදෙන එක. ඉතින් පුරුදු ප්‍රශ්නේ අපි ඇහුවා මිනිහගෙන්....    " මචන් උඹ කලින් බීලා තියනවද ? "    "ඔව් බං කිසි අවුලක් නෑ. කෝ දියන්කෝ කෝප්පේ " කියලා මිනිහත් ගත්තා අර ප්ලාස්ටික් කෝප්පයක්. අපිත් ඔන්න කෝප්පෙත් එක්කම දුන්නා බෝතලෙත්. ගත්තා මනුස්සයා බෝතලේ අතට දාගත්තේ නැතෑ  අර අමුම අමුම සැරම සැර අරිෂ්ට කෝප්පේ පුරෝලම.  අපි ඔක්කොමල්ලා ඇස් දෙක කටේ දාගෙන බලා ඉන්නවා සීන් එක ? දැන් පොරට කලවම් කරන ඒවා දාගන්න ඉඩ නෑ. ඔන්න අමාරුවෙන් කොකා කෝලා බෝතලෙන් ඇබිත්තක් අර කෝප්පෙට වක්කර ගත්තා.  වටේ හිටපු අපි කට්ටිය ආයෙත් මුගෙන් අහනවා " අඩෝ උඹට ෂුවර්ද ඔහොම බොන්න පුළුවන් කියලා ?  උඹ කලින් බීලා තියනවා නේද ෂුවර් එකටම ?? ". මූ කෝප්පෙට වක් කරපු විදිහ ගැන සැක නිසා  අර දාගත්ත එක බොන්න නොදී ආයෙත් ප්‍රශ්න අහනවා. අරූ මල පිටම " ඔව් යකෝ, එක පාරක් කිවනේ " කියලා ගත්තා කෝප්පේ අතට. දැන් ප්‍රේක්ෂකාගාරය නිහඩයි. කස්ටියම මූ ඒක බොන හැටි නරඹනවා. ඒ අස්සේ කට පියාගෙන ඉන්න බැරි එකෙක් " උඹත් ගහන්නේ යමර ෂොට්නේ... යකෝ අපේ වයසේ එකෙක් ලොරි ෂොට් ගහනවා දැක්කමයි " කියපි. හිනා සද්දය අස්සෙන් කට්ටියම දෑස් අයාගෙන ඉන්නේ මූ ලොරි ෂොට් එක ගහනකං. මොකද ඒ කාලේ ඔහොම බොනවා කියන්නේ හෙනම හපන් කමක්... අපිත් එක්ක හිටපු වැඩිහිටියටත් ඒ කිවේ අර අයියටත් හෙනම අවුල් මුගේ වීරක්‍රියාව.

සෙට් එකම බලා ඉන්න අතරේ මූ විරියා වගේ ඇස් දෙකත් වහගෙන එක හුස්මට බී ගෙන බී ගෙන ගියා.....  බීලා ඉවර වෙලා බයිට් එකෙන් ටිකක් කටට හලාගෙන අර අරිෂ්ටේ තියන මිහිරි රසය පොඩ්ඩක් අඩු කරගෙන එහෙම
" අඩෝ බියර් වගේ නෙවෙයිනේ. මම මෙච්චර දවසක් බීවේ බියර්. යකෝ අද තමයි මේ සැර ජාතියක් ගත්තේ. ශික්...  මොනවා උනත් බියර් මෙච්චර අවුලක් නෑ. මේක පට්ට සැරයිනේ.." කියපි...  අපි සැට් එකටම කට උත්තර නෑ... වෙලා තියන දේ දැන් හොඳටම තේරෙනවා. මේ යකා බියර් වක්කරගෙන තියන පුරුද්දටනේ මේ බෝතෙලෙන් කට කපලා වක් කරගෙන තියෙන්නේ. මෙච්චර වෙලා කට්ටිය හිතාගෙන හිටියේ වක් කරගත්ත විදිහට ඌ හෙන බෙබා කියලා. මොකද හොඳට බීපු එකෙක්ට විතරයිනේ අමු අමුවේ එහෙම බොන්න පුළුවන්. මුගේ තියන පැහි කමට ඒක කලින් කිවේ නෑනේ.  දැන් අපි දන්නවා මූට නුදුරු අනාගතයේම අඳුරු වලාවක් පාත් වෙනවා කියලා. නුදුරු කියන්නේ ළඟ ළඟම.. මොකද ජීවිතේට බීපු නැති එකෙක් දෙයියනේ කියලා පලවෙනි පාරටම කෝප්පේ කට කපලා ගැහුවට පස්සේ ඌව උස්සගෙන යන්න වෙන්නේ කියලා අපේ අය අත්දැකීමෙන් දන්නවනේ...කස්ටියට අඩිය ඉක්මන් කරලා අඩි ගහලා ඉවර කරා. වැඩේ යන ගමනුත් අරූගෙන් අහනවා " මචං අවුලක් නෑ නේද ??  කැරකෙනවා වගේද ? " කියලා. අරුත් " නෑ බොල... ********  *******  මට එහෙම අවුලක් නෑ" කිය කිය අහන උන්ට බලු බැනුම් බනිනවා. ( ****වලින් කියවෙන්න අසභ්‍ය වචනයි ) කොහොම හරි කඩපු බෝතල් ඉවර කොරගෙන අර අපේ ලොරි ෂොට් ගහපු එකාවත් දක්කාගෙන අර දියඇල්ල ළඟින් පාරට ගොඩවුනා... ඊට පස්සේ තමයි කට්ටියගේ ඇඟට ලේ චුන්ඩක් ඉනුවේ. ඇයි හත්වලාමේ අර යකා ගල් පොත්ත උඩ ෆ්ලැට්වුනා නම් අපිටනේ කරගහගෙන ඇල්ලෙන් උඩට ගන්න වෙන්නේ.... එහෙම වුනානම් ඌ විතරක් නෙවෙයි තවත් උන් දෙතුන් දෙනෙක්  දියඇල්ල පල්ලේ නවතින්නත් ඉඩ තියනවනේ.....  ඔන්න කට්ටියම යහතින් බස් එකට ගොඩවුනා...  කෝකටත් ලොරි ෂොට් මල්ලිව දැම්මා අන්තිම පේලියේ ජනේලේ ගාවට... බස් එකේ ගමන පටන් ගන්නවත් එක්කම සිංදුවකුත් පටන් ගත්තා... අනේ බස් එක අඩි 10ක් ගියේ නෑ...
" ඕඕඕඕක්ක්ක්ක්...... " ලොරි ෂොට් මල්ලි පටන් ගත්තා කබරයා පාර......  නුවරඑලියට ගියාට පස්සෙයි හොඳම හොඳ රස දෙන්න පටන්ගත්තේ..... ඒ ටික ලබන සතියට..... ඔය ලොරි ෂොට් කතාව නැවතුනේ අන්තිමේදී  මිනිහට " ලොරියා " කියන ගෞරව නාමය පිරිනැමීමෙන් පස්සේ......

Sunday, July 3, 2011

බල්ලෝ...............



කලින් පොස්ට් එකේ කිවනේ මේ පාර වෙනස් පොස්ට් එකක් ලියනවා කියල. ඉතින් වෙනසකට එක්ක ලියන්න හිතුනා බල්ලෝ ගැන.  බල්ලෝ මතක් වෙන්න එක හේතුවක් නම් අපේ ලංකාප්‍රිය අයියා ලියපු  බලු කතාව. අනිත් හේතුව නම් පොඩි කාලේ ඉඳං මාත් බල්ලන් ඇති කරාට දැන් ඒ සඳහා අවස්ථාවක් නොමැති වීමේ ශෝකය හා  නිතරම බලු වැඩ ගැන අපේ අය කතා කිරීම......  බල්ලා යනු ක්ෂීරපායී සිව්පා සතෙකි. පුරාතණයේ සිට මිනිසාගේ සමිපතම මිතුරෙකි. එම නිසා බල්ලන් ගැන කතා කිරීමට එක පොස්ට් එකක් ප්‍රමාණවත් නොවේවි කියා මම සිතමි.

බල්ලන් යැයි ගත් කල නානාප්‍රකාර බල්ලන් ඇත. බල්ලන් නොයෙකුත් අරමුණු වලින් ඇති කරයි. රාජකාරිය අනුව, දක්ෂතා අනුව, කරන වැඩ අනුව, පෙනුම අනුව බල්ලන් විවිධාකාරයෙන් බෙදාවෙන් කරයි.  දඩ බල්ලන්, මුර බල්ලන්, හුරතල් බල්ලන්, වංසක්කාර  බල්ලන්, වල් බල්ලන්. දඩාවතේ යන බල්ලන් ආදී නොයෙකුත් බල්ලන් සිටී.  ඊට අමතරව බල්ලන්ගේ වංසය අනුවත් බල්ලන් බෙදා ඇත. හැබැයි ඒ බෙදිල්ලත් මිනිස්සුන්ගේ බෙදිල්ලක් මිස බල්ලන් බෙදා ගත් බෙදිල්ලක් නම් නොවෙයි. මට නම් බල්ලා කිවහම කොයි එකත් බල්ලෙක්ය. ඒත් වංසක්කාර බල්ලන් මිනිස්සුන්ට වඩා සැපෙන් කල් ගෙවයි. මිනිසුන්ගේ  වංසය කොච්චර හොඳ උනත් අතමිට නැති දාට සිද්ධ වෙන්නේ ඒ වංසය කබල් ගාන්නටයි. නමුත් බල්ලන්ට එහෙම නැත. එහෙම බැලුවහම දුප්පත් වී වංසක්කාර පවුලක මිනිහෙක් ඉපදෙනවාට වඩා වංසක්කාර බල්ලෙක් වී ඉපදීම සැපකි. ළඟදී දවසක ඇහුන විදිහට ලෝකේ මිල අධිකම බල්ලාගේ වටිනාකම ඩොලර් මිලියන 1.5කි. ඌට වියදම් කරන සල්ලි වලින් කුසගින්න නිසා මේ ලෝකේ මියැදෙන මිනිස්සු කී දෙනෙක් නම් ජිවත් කරන්න තිබ්බාදැයි මට සිතුනි. සමහරවිට එහෙම සිතුනේ මට එතරම් මුදලක් නැති නිසා වියයුතුයි. බල්ලන්ට බෙහෙත් හේත් කිරීමට වෛද්‍ය මද්‍යස්ථාන වලට අමතරව සැලුන්, සම්බාහන මධ්‍යස්ථාන, හෝටල් ආදී නොයෙකුත් පහසුකම් සලසන ආයතන ඇත. ඒ සියලුම පහසුකම් විවෘත වන්නේ සුරතලේට ඇති කරන වංසක්කාර බල්ලන්ට පමණි. දඩාවතේ යන වල් බල්ලන්ට හිමිවන්නේ ගල් පාරක්, ඉදල් පාරක් පමණි එහෙමත් නැත්නම් වෙඩි උණ්ඩයක් හෝ මාරාන්තික එන්නතක් පමණි. දඩාවතේ යන බල්ලන් මරන්නේ ජල භීතිකාව තුරන් කිරීමේ අරමුණින් වුනත් උන්ව මරණ ආකාරය නම් ශෝචනීයයි. කෙසේ වෙතත් හැම වල් බල්ලෙක්ම දඩාවතේ නොයයි. සුරතල් වෙමින් ගෙවල් වල බොහොම හොඳට හැදුනු වල් බල්ලන්ද ඇත. උන් වල් වී ඇත්තේ වංසයක් නැති හෙයිනි. අපි ඉස්සර වල් බල්ලන්ව හැදින්වූයේ හැලි වලන් ක්‍රොස් නමිනි. ලොකු ලොකු පොෂ් බල්ලන් එක එක වංස වලින් ක්‍රොස් වෙද්දී වල් බල්ලන්ට පොෂ් නමක් නොදීම අසාධාරණ බැවින් අප ඒ නම වල් බල්ලන් වෙනුවෙන් භාවිතා කලමු....

වංසේ හොඳ බල්ලෝ 

බල්ලා යනු දඩයම යුගයේ සිට මිනිසාට බොහෝ උදව් උපකාර කල සතෙකි. දඩයමෙන් පටන් ගත්  බල්ලාගේ උදව් පදව් අද වනවිට නොයෙකුත් ක්ෂේත්‍ර වලට විහිදී පැතිරී ගොස්ය. මේ මිහි මතින් මුලින්ම අභ්‍යවකාශ ගත වුවේද ලයිකා නැමති රුසියානු බැල්ලියයි. අද වන විට ආරක්ෂක අංශවල රාජකාරියේ නියතු බල්ලන්ට බොහෝ වගකීම් ඇත. ඒ ඒ අංශ වල ඉන්න මිනිසුන්ට වඩා හොඳින් බල්ලන් ඒ රාජකාරි ඉටුකරන බව නම් මම විශ්වාසය කරමි. බල්ලන් රඟපෑමටද දක්ෂය. අවංකම කිවොත් බලු රඟපෑම් සමහර නළු රඟපෑම් වලට වඩා තාත්විකය.  ඒ වාගේම බල්ලන් වීර වික්‍රමයන් දක්වපු අවස්ථා නිතරම ලෝකේ නොයෙක් අහු මුළු වලින් ඇසේ. නොයෙකුත් හපන්කම් පෙන්නවන බල්ලන්  ගැනත් නිරන්තරයෙන් ඇසෙන දකින අතර මිනිස්සු ඒ දස්කම් විකුණාගෙන ජිවත්වෙති. බලු රේස්, බලු ෆයිට්, බලු සංදර්ශන මේ හැමදෙයක්ම මිනිසුන්ගේ ජීවිකාව සඳහා වෙයි. මේකි නොකී හේතුන් මත ලෝකයේ අනිත් සතුන්ට වඩා හොඳ ස්ථානයක්  මේ මිනිස් සමාජය තුල බල්ලාට හිමි බව  නොරහසකි.

බල්ලන් නොයෙකුත් බලු වැඩ කලාට කම් නැත. ඌ බලු වැඩ කරන්නේ බල්ලෙක් බැවිනි. ඉස්සර බල්ලෙක් උඩු බුරලන විට අපේ අම්මා කලබල වන්නීය. එවැනි අවස්ථාවලදී මා ඇයට කිවේ  බල්ලන් බුරනවා, උඩු බුරලනවා විනා උන්ට සිංහල හෝ වෙනත් භාෂා ගීත ගායනය කල නොහැකි බවයි. බල්ලන් වටා ගෙතුන විවිධාකාර කියමන් සහ යෙදුම් අපේ සමාජයේ පවතී.
  " බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ "  
" උන පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇද ඇරෙන්නේ නැත"  
" බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ"
 " බුරන බල්ලා හපා නොකයි "  
" බල්ලොත් එක්ක නිදාගත්තහම නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක" 
"නගුට විසින් බල්ලා වැනිම"   
" බල්ලන්ට ලෙලි පොල් දුන්නා වගේ "  

ඔය මට මතක් වූ කියමන් පමණි. මේ කියමන් යෙදෙන අවස්ථා ගැන විග්‍රහ කිරීම අවශ්‍ය නැත. මේවා යෙදෙන්නේ මිනිසා සම්බන්ධයෙනි. බල්ලා යනු කෙළෙහි ගුණ හොඳට අඳුරන සත්වයෙකි. මිනිසාගේ ආදීතම මිතුරෙකි. නමුත් මිනිසා යනු ඊට වඩා බොහෝ දරුණු, කෙළෙහි ගුණ නොදත්, අමානුෂීය සත්වයෙකි. මේ කියමන් ඒ පිළිබඳව මනාව කියා පානවා නොසැකයි. මන්ද යත් මිනිසුන් අතින් සිදුවන අඩු පාඩු, වැරදි, අසත්පුරුෂකම්, අමුනුස්සකම් මිනිසාගේ පරම මිතුරා වූ  බල්ලාගේ ගිණුමට බැරවන බැවිනි. එතනදීම මිනිසා තමාගේ ගතිගුණ ප්‍රදර්ශනය කර හමාරය. තමාගේ අඩු පාඩු තම මිතුරාගේ නමට බැර කරන්නේ මිත්‍ර ද්‍රෝහින්ය. ඒ අයුරුන් බලන කල මිනිසා මිත්‍ර ද්‍රෝහියෙකි. කෙසේවෙතත් මිනිසාගේ අධම ගති සඳහා බල්ලන්ගේ නම භාවිතයට මම නම් බලවත් විරෝධය ප්‍රකාශ කරමි. ඒ එයින් බල්ලාට වන නිගරුව මෙතකැයි කිව නොහැකි නිසාය. ඕනෑම අසමජ්ජාති වැඩක් දුටු තැන මිනිසුන් එය " බලු වැඩක් " ලෙස හැඳින්විමට පුරුදුව ඇත. නමුත් බල්ලන් කරන්නේ මිනිසුන්ට ආදරය කිරීම, ආදරය කරන මිනිසුන් ආරක්ෂා කිරීම, කන්න බොන්න දෙන මනුස්සයාට කෙළෙහි ගුණ දැක්වීමයි. ඒ ගති ගුණ කිට්ටුවෙන්වත් නැති මිනිසුන්ට බල්ලා යැයි කීම නොහොබිනා කමකි. මිනිසුන් බලු වැඩ නොකරයි. කරන්නේ අසමජ්ජාති අවලං වැඩයි.එවැනි දෑ බල්ලන් නොකරයි. එම  නිසා බල්ලන් මේ පිළිබඳව මිනිසුන්ට විරුද්ධව අපහාස නඩුවක් ගොනු කිරීමට පවා අයිතියක් ඇත. පුළුවන් අයෙක් වේ නම් බල්ලන්ට උදව්වක් වශයෙන් නඩුවක් ගොනු කල හැක. මගේ නම් නඩු හබ වලට පැටලීමට මනාපයක් නොමැත.

කෙසේ වෙතත් මිනිසුන් බලු වැඩ කියා හඳුන්වන සමාජ අසම්මත, අමානුෂීය, ගුණමකු වැඩ සහ බල්ලෝ කියා හඳුන්වන අසමජ්ජාතින් ප්‍රතිශතය අපේ සමාජය තුල වැඩිය. නමුත් ඉඳහිට හෝ හොඳ එකෙක් දෙන්නෙක් ඇතුවාට සැක නැත.  සමාජය තුල ඉන්නා අසමජ්ජාතීන් ගැන කතා කිරීමෙන් පලක්ද නැත. නමුත් උන් වෙනුවෙන් බල්ලාගේ නාමය භාවිතා කර අහිංසක අසරණ තිරිසනාට අපහාස නොකරන්නට අපි වග බලා ගනිමු..............

Monday, June 27, 2011

ඇතුවත් බැරි නැතුවත් බැරි විශ්වාසය

" අනේ මන්ද මචං කිසිම එකෙක් විස්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයි බං මේ "

" අම්මා තාත්තවත් විශ්වාස නැති කාලයක් "

" උඹට හොඳටම විශ්වාසද ඌව, මට නම් සත පහකට විශ්වාස නෑ බං " 



කාත් එක්ක කතා කලත් නිතරම මේ වගේ දේවල් ඇහෙන නිසා අද විශ්වාසය ගැන ලියන්න හිතුනා. කවුරු කොහොම කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ කිවත් මිනිස්සු ඉපදිලා මැරෙනකම්ම කුමන හෝ විශ්වාසයක් මත ජිවත් වෙන බව නම් මට විශ්වාසයි.  අපි පුංචි උන් සන්දියේ ඉඳලා අපේ වටේ ඉන්න අයව විශ්වාස කරන්න පෙළඹෙනවා. පොඩි කාලේ අපි නොදන්නා දෙයක් දැක්කාහම දැනුනහම අපි ක්ෂණිකව අහන්නේ අපේ ළඟ ඉන්න දෙමාපියන්ගෙන්. මොකද අපිට ඒ අයව විශ්වාසයි. ඒ කාලේ සමහර දේවල් අපිට තේරුම්  ගන්න අමාරුයි කියලා අම්මට තාත්තට තේරුනහම  ඒ අය අපට බොරු කිවා. ඒත් අපිට තේරෙන කාලේදී ඒ අය බොරු කිවා කියලා අපිට අම්මලා තාත්තලා ගැන තිබ්බ විශ්වාසය අඩු වුනේ නෑ. මොකද අපිට තේරුනා ඒ මොහොතේ ඒ දේවල් තේරුම් ගන්න තරම් ශක්තියක් නැති නිසයි අම්මලා අපිට ඒ විදිහේ උත්තරයක්‌ දුන්නේ කියලා. ඒ නිසා ඒ විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වුනේ නෑ. ඒත් අද කාලේ නිවුස් එහෙම ඇහෙද්දී හිතෙනවා අම්මලා තාත්තලා උනත් විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයි නේද කියලා..  හැමෝම නම් නෙවෙයි.

අපි අම්මලා තාත්තලා ගෙන් ඈත් වෙලා ස්කෝලෙට එතකොට ගෙදරින් එළියේ සමාජයට ගියාට පස්සේ අපිට සෙට් වුනා යාළුවො. අපි සමහර යාළුවන්ව විශ්වාස කරා. සමහර එවුන් නම් සත පහකට ෂුවර් නෑ. යාළුවො අතර  විශ්වාසය ගොඩ නැගුන විදිහ නම් හරි අපූරුයි.  අපි ඔක්කොමල්ලා විවිධාකාර පවුල් පසුබිම් වල ඉඳලා තමයි එකට වැටුනේ. ඉතින් එක එකා හිතන පතන විදිහ හරිම වෙනස්. ඒ අස්සේ මම වගේම නැතත් මට ටිකක් කිට්ටුවෙන් හිතන එකෙක් සෙට් වුනහම පොඩ්ඩක් හිතවත් වෙනවා. ඒත් සත පහකට විශ්වාස නෑ. ඊට පස්සේ ටික ටික ඌව අධ්‍යනය කරනවා. එක එකාගේ හැටියට ඔය අධ්‍යනය කරන කාල පරාසය වෙනස් වෙනවා.  ඔය විදිහට කාලයක්  යනකොට අපිටම ඒත්තු යනවා මූ  නම් විශ්වාස කරන්න පුළුවන් ගොබිලෙක් කියලා. ඊටත් පස්සේ අපි මූණ දෙන්න දේවල් වලට ඒ මනුස්සයා දක්වන ප්‍රතිචාර එක්ක අපිට හිතෙනවා මේ යකා නම් විශ්වාස කරන්න පුළුවන් කියලා. ඔය විදිහට ඇති වෙච්ච යාළුකම් විශ්වාසවන්තකම් සමහරවිට කැඩිලා බිඳිලා යනවා. හේතුව අපි අර මනුස්සයව අඳුරගෙන තියෙන්නේ වැරදියට. හැබැයි මගේ පොඩි කාලේ ඉඳං ආශ්‍රය කරන, විශ්වාස කරන උන් මට නම් තාමත් විශ්වාසයි. මොකද ඒ අය තාමත් ඒ විශ්වාසය පළුදු වෙන වැඩ කරලා නැති නිසා.

සමහර  වෙලාවට අපේ යාලුවෙක් කරන වැඩ නිසා  අපිට හිතෙනවා මූව නම් සත පහකට විශ්වාස නෑ කියලා. ඒත් කාලයක් යද්දී වැටෙහෙනවා ඌ ඒ දේ කරේ අපේම හොඳට නේද කියලා. සමහර වෙලාවට අපි පරක්කුයි. කොහොමත් විශ්වාසය කියන දේ එක පාරක් පළුදු උනහම ආයෙත් යථා තත්වයට ගන්න අමාරුයි. හරියට වටිනා කරන වීදුරු භාණ්ඩයක් වගේ. බොහොම දුර්ලභ චීන මැටි භාජනයක් වගේ. එක පාරක් කැඩුනොත් ආයේ ඉතින් එක මොනවා කරලවත් යථා තත්වයට ගන්න බෑ......

කොහෙවත් ඉන්න කවදාවත් දැකලා නැති කෙනෙක් ඇවිල්ලා තවත් කෙනෙක්ට කිවොත් " මාව විශ්වාස කරන්න " කියලා  අර මනුස්සයා කියයි " තමුසෙට පිස්සුද ? කවදාවත් දැකලා නැති, දන්නේ නැති කෙනෙක්ව විශ්වාස කරන්න කියන්නේ කියලා "     විශ්වාසය කියන දේ ඇති වෙන්නේ අපි තව කෙනෙක් ගැන දැනගෙන, මැනගෙන ඒ මනුස්සයා අපි බලාපොරොත්තු වෙන සීමාවට ආවට පස්සෙයි. එහෙම නැතුව නිකම්ම දැක්ක පලියට කිව පලියට මිනිහෙක් විශ්වාස කරනවා නම් ඒ ඉතින් නොම්මර එකේ මෝඩයෙක්. මම එහෙම කීවට මොකද මේ ලෝකේ සමහරු ඉන්නවා මිනිස්සු මෝඩයාට අන්දන්න උපන් හපන්කම් තියන මිනිස්සු. උදාහරණයකට ගමුකො සක්විති. විශ්වාසය සහ තන්හාව නිසයිනේ මිනිස්සු තමන් හම්බකරපු සන්තකේම මිනිහට දුන්නේ. ඒ නිසා කෙනෙක් විශ්වාස කරද්දී පුදුම විදිහට පරිස්සම් වෙන්න සිද්ධවෙනවා. එතකොට සමහරු කියයි  " අපෝ ඊට වඩා හොඳයි කිසිම කෙනෙක් විශ්වාස නොකර ඉන්න එක " කියලා. ඔව් ඒකත් හොඳයි. හැබැයි ඒ විදිහට වටේ ඉන්න හැමෝම ගැන සැකෙන් බල බල ජිවත් වෙන එක කොච්චර දුරට සාර්ථකද කියන එකයි ප්‍රශ්නේ. මොකද මට උදව්වක් ඕනේ වෙලාවට මම ඒ උදව්ව ඉලන්නේ මගේ විශ්වාසවන්ත කෙනෙක්ගෙන්. එහෙම නැතුව විශ්වාස නොකරන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න පෙළඹෙන්නේ නෑනේ. අනික මාව විශ්වාස නොකරන කෙනෙක්ට උදව්වක් දෙන්න මම බයයි. අවිශ්වාසයෙන් උදව්වක් ගන්න එක සහ දෙන එක දෙගොල්ලන්ගේම සැක මතු වෙන්න හේතුවක් වෙනවා. කොහොමත් අවිශ්වාසය තියන තැනට සැකය එනවා. එතනට නිකම්ම බයත් එනවා. ඒ නිසා අපිට හැම තිස්සෙම කාව හරි මොකක්හරි විශ්වාස කරන්න සිද්ධවෙලා තියනවා. හැබැයි මොනවා විශ්වාස කරන්නත් කලින් විශ්වාස කරන්න ඕනේ ලොකුම දේ තමයි තමන්ව. තමන්ට තමන්ව විශ්වාස නැති උන්ගෙන් උන්ටත් සමාජයටත් වෙන්න තියන හානිය වැඩියි. මොනවා කරත් කරන්න ගියත් තමන් ගැන විශ්වාසය තියෙන්නේ ඕනේ.
මිනිස්සු අදහන ආගම් ගත්තොත් වැඩි ආගම් ප්‍රමාණයක් දෙවියන් මූලික කරගෙන බිහිවුන ආගම්. දෙවියන් දැකලා නැති උනත් මිනිස්සු දෙවියන්ව විශ්වාස කරනවා.  දෙවියෝ ගැන භක්තියෙන්, විශ්වාසයෙන් ආගම අදහන කෙනෙක්ගෙන් ඇහුවොත් " උඹ මොකටද දැකලාවත් නැති, කටහඬවත් ඇහිලාවත් නැති දෙවියෙක්ව විශ්වාස කරන්නේ ?? " කියලා,  ඒ ප්‍රශ්නේ අහපු එකාට හොඳ කනේ පාරක් නම් ලැබෙන්න ඉඩ තියනවා. මිනිස්සු ඉපදුන දවසේ ඉඳං ඒ දෙවියන්ට ගරු කරනවා, විශ්වාස කරනවා, අදහනවා.  මොකද මිනිස්සු වෙච්ච අපිට විශ්වාසය කියන දේ වැදගත්. විශ්වාසය උඩ දෙයක් පටන් ගත්තොත් මිසක් කිසිම විශ්වාසයකින් තොරව පටන් ගන්න දෙයක් සාර්ථක වෙන්න තියන ඉඩ කඩ අඩුයි.  ඒ නිසයි ලෝකේ මිනිස්සු බහුතරයක් දෙවියන්ව විශ්වාස කරන්නේ සහ ඒ විශ්වාසය මත ඒ මිනිස්සු කරන දේවල් සාර්ථක වෙනවා කියලා විශ්වාස කරන්නේ. මම මේ කිවේ දෙවියන්ව විශ්වාස කරනවාද නොකරනවාද කියලා නෙවෙයි. ඒත් මිනිස්සුන්ට විශ්වාසය වැදගත් කියලයි. මිනිස්සු කොච්චර කිවත් මම කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ කියලා මිනිස්සු වෙච්ච අපිට විශ්වාසය වැදගත්. මොකද විශ්වාසය නැති තැනට සැකය එන නිසා. සැකයත් එක්ක බය එන නිසා. මම කියන්නේ නෑ ලෝකේ ඉන්න හැමෝම එහෙම නැත්නම් ලෝකේ තියන හැමදේම  විශ්වාස කරන්න කියලා. නමුත් යම් යම් අවස්ථාවලදී අපිට යම් යම් දේවල් විශ්වාස කරන්න වෙනවා. 
සමාජයේ කිනම් හෝ පිරිසක් කෙනෙක්ව විශ්වාස කරනවා නම් ඒ පුද්ගලයාගේ යුතුකම තමයි ඒ විශ්වාසය පළුදු නොකර තියාගන්න එක. ඒත් කවදා හරි ඒ විශ්වාසය බිඳුණු දවසට ඒ මනුස්සයට සමාජයට එන්න අපහසු වෙනවා. ඒ වගේම අර මිනිහව විශ්වාස කරපු පිරිසටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ මිනිස්සුන්ටත් ලෝකෙට මූණ දෙන්න අපහසු වෙනවා. ඒ මිනිස්සුත් දුක් වෙනවා. මොන විදිහෙන් හරි අර මනුස්සයා සමාජයට නැවත ආවත් ඔලුව උස්සගෙන ඉන්න නම් වෙන්නේ නෑ.  සමහර විටදී ඒ මනුස්සයා අතින් විශ්වාසය බිඳුනේ සාධාරණ හේතුවක් මත නම් දෙවැනි අවස්ථාවක් ලැබේවි. කොහොම උනත් කෙනෙක්ගේ විශ්වාසයක් දිනාගත්තා නම් ඒ විශ්වාසය රැකගන්න එකත් විශ්වාසය දිනා ගත්තා වගේම වැදගත්....  ඒ නිසා හැමෝගෙම යහපත ගැන හිතලා තවකෙනේක්ගේ විශ්වාසය දිනා ගන්න කලින් ඒ විශ්වාසය රදවාගන්න පුලුවන්ද කියලා දෙපාරක් හිතන්න........

( මේ දවස් ටිකේම පොඩ්ඩක් එකම විදිහේ පොස්ට් සෙට් එකක් යන්නේ. මේකත් ලියලා ඉවර වුනාට පස්සෙයි හිතුනේ දිගටම ලිවේ එක වගේ ඒවා කියලා. ලබන සතියේ වෙනස් එකක් ලියනවා ලියනවාමයි..... )

Tuesday, June 21, 2011

පශ්චාත්තාපය නොහොත් පසුතැවිල්ල



ටික දවසක් සද්ද නැතුව ඉඳලා ඔන්න අද මොකක් හරි ලියන්න ඕනේ කියලා හිතුනා....   අද ලියන්න යන්නේ නම් මට සිද්ධවෙච්ච ඇබැද්දියක් නෙවෙයි.  ඊමේල් කඩදහියකින් ලැබුන එකක්. මේ ඇබැද්දිය කාට සිද්ධ වුනත් මේ වගේ සිද්ධි අපිටත් ඉඳලා හිටලා සිද්ධ නොවෙනවාමත් නෙවෙයි නිසා ලියන්න හිතුනා. මොකද මේකෙන් කාට කාටත් යමක් ඉගෙන ගන්න තියනවා. මෙතන ඉඳං කතාව ලූ වලින් තමයි කියන්න වෙන්නේ. මේ කතාවේ කතා නායිකාව සුදු නෝනා කෙනෙක්. මේ නෝනා ඔන්න දවසක් තමන්ගේ රටේ ඉඳං වෙන රටකට පියාඹනවලු. අතරමඟ ගුවන්තොටුපලකින් නෝනාට වෙනත් ගුවන් යානයකට මාරුවෙන්නත් තියනවලු. ඒ කිවේ ට්‍රාන්සිට් කේස් එකක්.. ඔය ට්‍රාන්සිට් ගැන කට්ට කාපු උදවිය දන්නවා. කොහොමහරි ඔය ගුවන්යානා මාරුව තිබ්බ ගුවන් තොටුපලට ඇවිල්ලා බැලුවහම ඊළඟ ගමනට පැය 6ක් විතර බලාගෙන ඉන්න වෙනවලු. මොනවා කියල කරන්නද ? නෝනාත් ඉතින් මේ පැය 6 කොහොමහරි ගෙවාගන්න හිතාගෙන පොතකුයි, බඩගින්නට ඉස්සතරම්ම වර්ගයේ කුකීස්  පැකට් එකකුයි අරන් හොඳ සැප පුටුවක වාඩි වුනාලු. දන්නවනේ සුදු නෝනලා හොයන්නේ ඉස්තරම්ම දේවල්නේ.......

ඔන්න ටික වෙලාවක් යද්දී කොහේදෝ යන මහත්තයෙක්  ඇවිල්ලා මේ නෝනා වාඩිවෙලා හිටිය පුටු පේලියේම වාඩිවුනාලු. දෙන්නා අතරේ එක හිස් පුටුවක් තියනවා. මහත්තයත් ඔන්න පොතක් දිග ඇරගෙන කියවන්න ගත්තලු. ඔය අතරේ නෝනට මතක් උනාලු ගත්ත කුකීස් පැකට් එක. බලද්දී මේ නෝනායි මහත්තයයි අතර තියන හිස් පුටුව උඩලු කූකීස් පැකට් එක. ඒ විතරක් නම් මදෑ.... අර මහත්තයා පොත කියවන ගමන් ඒකෙන් එකක් අරගෙන කනවලු. දැන් මේකට නෝනට ඌරු ජුවල්. ඇයි යකඩෝ පැය 6ක් තිස්සේ කන්න ගෙනාපු එක වෙන එකක් කද්දී යකා නගිනවනේ.... අනික කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව. මොනවා උනත් මේ සමාජයේ තියනවනේ ආචාර ධර්ම. දැන් නෝනට පොත කියවන්න තරම් ඉස්පාසුවක් නෑලු. හිතින් අර මහත්තයාගේ පරම්පරාවටම පින් අනුමෝදන් කර කර ඉන්නවලු. අනික ඉතින් ඔය කුකීස් එකක් ගැන කට ඇරලා අහන්නත් ලැජ්ජයිනේ. ඔන්න ඔහේ ඕනේ එකක් කියලා නෝනත් ගත්තලු කුකියක්‌ අතට. තරහින් පැලෙන ගමන් නෝනත් කුකීස් කනවලු. නෝනා පුපුර පුපුරා ඉන්න අතරේ අර මහත්තයා නිවිහැනහිල්ලේ පොත කියවනලු. ඒක දකිනකොට නෝනට මල් පොකුරු පිටින් පනිනවලු. ඔය විදිහට වෙලාව යද්දී දෙන්නගෙම පිහිටෙන් කුකීස් පැකට් එකේ අවසානෙට ආවලු. දැන් තියෙන්නේ කුකීස් එකයි. නෝනා මෙහෙම කල්පනා කරනවලු " බලමුකෝ දැන් මේ යකා මොකද කරන්නේ කියලා. කිසිම හැදියාවක් නැති එකෙක්නෙ.  අනිතිම එකත් උගේ වගේ පැනලා ගනී." ඔය විදිහට හිතින් බැන බැන ඉන්නකොට අර මනුස්සයා ඉතුරු වෙච්ච කුකීස් එක දෙකට කඩලා කෑල්ලක් නෝනට තියලා ඉතුරු බාගේ කෑවලු...  හිතාගන්න පුළුවන්නේ නෝනට මොකක් හිතෙන්න ඇතිද කියලා. තමන්ගේ කුකීස් පැකට් එකම  අහන්නෙවත් නැතුව කාලා ඒ මදිවට ඉතුරු වෙච්ච එකත් තමන්ගේ වගේ දෙකට කඩලා කෑවහම කොහොමද?

ඔය සිද්ධි පේලිය අවසාන වෙද්දී නෝනට ඊළඟ ගුවන් යානයට යන්න වෙලාවත් හරි. කඩිමුඩියේ ලට්ට පට්ටත් අරගෙන නැග්ගලු ඊළඟ ගුවන් යානයට.නැගලා හරි බරි ගැහිලා වාඩිවෙලා එහෙම ඉන්න අතරේ මොකක්දෝ වුවමනාවකට නෝනගේ අත් බෑග් එක විවෘත කරාලු. මෙන්න බොලේ අර කාපු කුකීස් පැකට් එක බෑග් එක ඇතුලෙලු....  නෝනට තරු පොකුරු පොකුරු විසිවුනාලු.  ඒ මදිවට අසීමිතව  ලැජ්ජා හිතුනලු තමන් ගැන. මොකද මෙච්චර වෙලා අර මනුස්සට බැන බැන කාලා තියෙන්නේ ඒ මනුස්සයා ගෙනාපු කුකීස් පැකට් එක.. අනික තමන්ගේ එකෙන් අහන්නේ නැතුව කනවා කියලා මේ නෝනා මොනතරම් නම් විස්සෝප වුනාද? එහෙම එකේ අර මනුස්සයා කිසිම වචනයක් නොකියා සද්ද නොකර ඒ මහත්තයාගේ කුකීස් පැකට් එක බෙදාගෙන කාපු ලස්සන.... ඒ මදිවට අන්තිමට ඉතුරු වෙච්ච එකෙන් බාගයක් මේ නෝනාට දෙන්න තරම් කාරුණික වුනා. එච්චර කාරුණික වුන මනුස්සයට ස්තුතියි නොකියා හිතින් කොච්චර නම් බැන්නද?  දුවගෙන ගිහින් අර මනුස්සයාගෙන්   සමාව අරගෙන ස්තුතියි කියලා එන්න හිතුනත් දැන් ප්‍රමාදයි.... දැන් ඉතින් කොහේන් කියලා හොයන්නද ඒ මනුස්සයව. නොනාමහත්තයාට සිද්ධවුනේ තමන් කරපු ජරා වැඩේ ගැන හිතින් දුක් වෙන්න. අඩු ගානේ අර මනුස්සයට ඒ ගැන කියලා හිත සැහැල්ලු කරගන්නවත් අවස්ථාවක් නැතිවුනා.

මේ සිද්ධිය හරි සරල සිද්ධියක්. ඒත් ඉගෙන ගන්න දෙයක් තියනවා කියලා හිතුන නිසයි ලිවේ. අපිටත් ඔහොම දේවල් මේ ජිවිත කාලේ ඇතුලත සිද්ධවෙලා තියනවනේ. සමහර වෙලාවට සමහර දේවල් අපිට තේරුම් යද්දී අපි ගොඩක් ප්‍රමාදයි. සමහර වෙලාවට අම්මලා තාත්තලා, එතකොට වැඩිහිටියෝ, එවගේම යාළුවො කරන වැඩ ගැන අපිට කේන්ති යනවා. ඒත් ටික දවසකින් තේරෙනවා ඇයි ඒ අය එහෙම කලේ කියලා.  තේරෙන කාලේ වෙද්දී වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි. අන්තිමේදී ඉතුරු වෙන්නේ පසුතැවිල්ල විතරයි. අපි ජිවත් වෙන්නේ කෙටි කාලයයිනේ...  ඔය කාලයේ අපි අතින් වැරදි වෙනවා. සමහර ඒවා හදාගන්න පුළුවන්. සමහර ඒවා ඉක්මන් වුනොත් බේරගන්න පුළුවන්. ඒත් සමහර දේවල් මොනවා කරලවත් ආයේ යථා තත්වයට ගන්න බෑ...   බොහෝවිට එහෙම වෙන්නේ කාලය කියන දේ පස්සට ගන්න බැරි නිසා.......  ඒ නිසා අපිට හිතෙනවා නම් කරපු දේ වැරදියි කියලා, එහෙම නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක් වැරදියට වටහාගත්තා කියලා අදම ඒ ගැන හිතලා අදම ඒ ගැන කතා කරලා සමාව ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ විතරක් නෙවෙයි, සමහරවිට කෙනෙක් ගැන සැකයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තරහක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ කෙනෙක් ගැන හිතේ තිබ්බ ලෙන්ගතු කමක්,  එහෙමත් නැත්නම් ආදරයක් වෙන්න පුළුවන්..... මොන දේ හිතුනත් ඒ දේ අදම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් සමහරවිට පසුතැවීම් අඩු වෙන්නත් පුළුවන්. මොකද ඒ දේ හෙට කියන්න හිටියොත්, හෙට කියන දවස ගොඩක් ප්‍රමාද වෙන්න පුළුවන්....

ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ...........
(ඒත් ඉතින් ප්‍රමාද වුනාට පස්සේ පසුතැවිලා වැඩක් නෑ. ඊට පස්සේ ඒ දේ නොකරන ඉන්න උත්සහ ගන්න එකයි වැදගත්.)

Sunday, June 12, 2011

මම කරපු ගොංකම්.........

පහුගිය ටිකේම දිගටම ලිවේ ලනු දුන්න ඒවයි, එතකොට ගුටි කාපුවා එහෙමනේ. අද වෙනස් විදිහක පොස්ට් එකක් ලියන්න හිතුණා. අපි හැමෝම ඉතින් ජිවිතේ හැමදාම හරියට හරිම දේ කරන්නේ නෑනේ. හරි වගේම වැරදි දේවලුත් අපේ අතින් සිද්ද වෙනවා. හැබැයි මම හිතනවා නොදැන එක පාරක් කරපු වැරැද්ද දැන දැන ආයේ කරනවා නම් එක තමයි කරන ලොකුම ගොන්කම. මොකද කරේ වැරැද්දක් කියලා තේරුණාට පස්සේ ඒ වැරැද්ද හදාගන්න බැරිවුණොත් අපේ ජිවිතවල දියුණුවක් දකින්න අමාරුයි කියල මම හිතනවා.  මේවා ඔක්කොම ඉතින් මට හිතෙන දේවල්. අද ලියන්න යන්නේ මම හොඳ පාඩමක් ඉගෙන ගත්ත සිද්ධියක්. මම අර විහිළු සහ ගුටි කෑම  පෝස්ට් එකේ කිවා වගේ මේ කියන්නේ දිග කලිසම එහෙම ඇඳලා අං තට්ටුව එහෙම තියාගත්ත කාලේ වෙච්ච සිද්ධියක්. ඒ වෙද්දී මට මතක විදිහට මම 11 වසර නැත්නම් 12 වසර. ඒ කාලේ ඉතින් ඔන්න එහෙං මෙහෙන් කොල්ලොත් සෙට් වෙනවා. කව්ද කොහොමද කොහෙද කියලා හෙවිල්ල බැලිල්ල නැතුවම නෙවෙයි. ඒත් එහෙම බලලා මනුස්සයෝ අඳුරගන්න ඒ වෙද්දී අපිට අත්දැකීම් බොහොම අඩුයි. ඒ කොහොම උනත් අම්මලා තාත්තලා කියන දේ අහන එකත් බොහොම අඩුයි. ඒ කාලේ අපිට හිතෙන්නේ ඉතින් අපි ඔක්කොම දන්නවා කියලනේ. වයසේ වැරැද්ද මිසක් අපේ වැරද්දක් එහෙම නෙවෙයි.

ඉස්සර දෙසැම්බර් 31 වෙනිදට අපේ කට්ටියම සෙට් වෙනවා. අපේ කට්ටිය කිවේ යාළුවො නෙවෙයි අපේ නෑදෑයෝ. කට්ටියම රෑ එළිවෙනකං පාර්ටි දාලා, සින්දු කියලා එහෙම තමයි පරණ අවුරුද්දට සමුදෙන්නේ. ඔය අතරේ අපේ පවුල් වල හිතවත් පොඩි සෙට් එකටත් මම ආරාධනා කරනවා. නිරෝධ අයියට සහ අපේ තාත්තට හොඳට සින්දු කියන්න පුලුවන්. තාත්තාගෙන් ඒ කාලේ සින්දුවයි, අයියගෙන් මේ කාලේ සින්දුවයි. ගොඩක් වෙලාවට තාත්තා දෙසැම්බර් වලට ලංකාවට ආවා.... ඔය විදිහට පැදුරු පාර්ටිය හැම පාරකම නැගලා ගියා. ඔය පාර්ටි එක ගොඩක් වෙලාවට තිබ්බේ බාප්පලාගේ ගෙදර. ඒත් එක පාරක් අවුරුද්දක මම පොඩි වෙනසක් කරන්න හිතුවා. ඒ අවුරුද්දේ පාර්ටිය තියන්න ලැහැස්ති කලේ අපේ ගෙදර. තාත්තාගේ පරණ යාළුවො සෙට් එකටත් කියලා, මගෙත් ළඟ පාත හිටපු යාළුවො සෙට් එකටමත් කියලා, පැදුර වෙනුවට පොඩ්ඩක් නව තාක්ෂණයේ සංගීතය උපයෝගී කරගන්න හිතලා පොඩ්ඩක් නවීන විදිහට මම වැඩේ ලැහැස්ති කළා.

දෙසැම්බර් 31ත් වුනා. කට්ටියම ගෙදරටත් ආවා. මට මතක විදිහට ඔක්කොමල්ල 100 වඩා එකතු වුනා. සින්දු කිවිල්ලත් නැගලා ගියා. ඔය අතරේ කෑමද ඒ එක්කම තාත්තාගේ යාලුවන්ට බීම සංග්‍රහයට පොඩි මේසයක් තාත්තා ගෙවත්තේ කෙලවරට වෙන්න ලැහැස්ති කරලා තිබ්බා. අන්කල්ලා සෙට් එකම අවුරුදු ගානකට පස්සේ හම්බවෙලා එතන පැය ගානක් එතන කයිය ගහ ඉඳලා ඇවිල්ලා සින්දු කියන්න සෙට් වුනා. කොහොමහරි ඔක්කොම හොඳට සිද්ධවුනා. කට්ටිය හොඳට විනෝදවුනා. කෑවා, බීවා, සින්දු කීවා, නැටුවා. වැඩේ නැගලා ගියා.පාන්දර 2,3 වෙලා තමයි කට්ටිය විසිරිලා ගියේ. ඔය විදිහට පරණ අවුරුද්ද ඉවර වෙලා අලුත් අවුරුද්ද ලැබුවා කියමුකො. ඒ වුනාට ඒ අලුත් අවුරුද්ද හිතුව තරම් හොඳ වුනේ නෑ. හේතුව මේකයි. පාර්ට් එකට ආපු  අන්කල් කෙනෙක් එයාගේ ජංගම දුරකථනය අර වත්ත කෙලවරේ තිබ්බ මෙසේ ලඟ තියල කන්න ගිහින්. ඇවිල්ලා බලද්දී ෆෝන් එක තිබිලා නෑ. ඉතින් අන්කල් අපේ තාත්තට කියලා " මචන් පාර්ටි එකට ආපු කට්ටිය ගැන පොඩ්ඩක් කල්පනාවෙන්. මම කීයටවත් හිතුවේ නෑ උඹලා ගෙදරට එන මිනිහෙක් මෙහෙම කරයි කියලා. කොහොමත් ලොකු අය ගැන නම් ප්‍රශ්නයක් නෑ. ඒත් පුතාගේ යාළුවො ගැන පොඩ්ඩක් හොයලා බලන්න. එතන හිටය වෙන කාටවත් ඔය වගේ දේවල් කරන්න උවමනාවක්  නෑනේ ". ඔහොම කීවට පස්සේ ඉතින් අපේ තාත්තාට ඇතිවෙන තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.  පොලව පලාගෙන යන්නනේ හිතෙන්නේ. ඒ ටිකම මට කීවහම මට හිතුනෙත් පොලව පලාගෙන යන්න තමයි. දැන් ඊළඟ ප්‍රශ්නේ කවුද ඕක කරේ කියන එක. 

මම ඒ පාර අලුත් යාළුවො කීපදෙනෙක් එක්කං ආවා. ඊට අමතරව සංගීතය භාණ්ඩ සහ ශබ්ද සපයන්න ආවෙත් අලුත් කට්ටිය. දැන් සැකේ වාසිය අලුතෙන් මේ වැඩේට එකතු වෙච්ච අයටයි. අයියෝ මම කොරගත්ත ගොන් කමක්. අර කලින් වගේ පරණ පුරුදු විදිහට නොකර නවීන වෙන්න ගියානේ. දැන් මට තමයි තොප්පිය. මම හිතාගත්තා කොහොමහරි මේක හොයනවා කියලා. දැන් ඔන්න අග මුල හොයනවා. එක එකාගෙන් අහනවා. අපිත් එක්ක ලඟදි එකතු වෙච්ච මල්ලි කෙනෙකුත් මේ වැඩේට ආවා. කීපදෙනක්ගෙන් ඇහුවහම කීවා මිනිහා බයිට් කන්න කියලා ගිහින් අර ටේබල් එක වටේ කැරකෙනවා දැක්කා කියලා. ඔය වගේ දෙයක් ඇහුනහම සැකේ වාසියත් තියෙද්දී මම දෙපාරක් නොහිතාම තීරණය කළා මිනිහා තමයි ඔය වැඩේ කරේ කියලා. දන්නවනේ ඒ කාලේ මොලේ අඩුවෙන් පාවිච්චි වෙන්නේ කියලා. අත පය තමයි වැඩිපුර පාවිච්චි කරන්න හිතෙන්නේ. අනික තාත්තාත් අම්මත් දෙන්නම මම ආශ්‍රය කරන කට්ටියගෙන් පරිස්සම් වෙන්න කිය කියා ඒ දවස් වල නිතරම දේශනා තියනවා. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඔහොම උනහම ලකුණු කැපෙන්නේ කොහොමද කියලා. අනික ඊට වඩා ලොකුයි මට වෙච්ච ලැජ්ජාව. ඇයි මම හොරු ආශ්‍රය කරනවා වගේ කෙස් එකක්නේ. ඔය නිසා ඒ දවස්ටිකේ මට හරියට නින්දකුත් නෑ. මාර අප්සට්. 

දවසක් හවසක මගේ යාළුවො දෙතුන් දෙනෙක් ආවා. මම තීරණය කරා අරුන්ගේ ගෙදරටම ගිහින් ප්‍රශ්නේ විසදන්න. ඒ කාලේ හරිම ආසයි ගෙදරටම ගිහින් දෙකක් නෙලලා එහෙම එන්න. ඔන්න කට්ටියම ගියා. අර මල්ලිට කතා කළා.  "කෝ ෆෝන් එක ?" දැම්ම කොල්ලට ප්‍රශ්නේ. " මොන ෆෝන් එකද වරුණ අයියේ ?" අගක් මුලක් නොදන්නා කොල්ලා අහිංසක විදිහට උත්තර දුන්නා.    " මොන ෆෝන් එකද ?  ඇයි උඹ පාර්ටි එක වෙලාවේදී අපේ ගෙදරදී උස්සපු එක....  හරියට දන්නේ නැති උන් ගෙට ගත්තට අපිට හොඳ පාඩම්. හොරකම් කරන උන් කවුරුත් අපේ සෙට් වල හිටියේ නෑ කලින්. තාත්තටත් එක්ක ලැජ්ජාව. ඇයි මට ? දැන් කොහොමද කියහන් කොල්ලෙක් එක්ක යන්නේ අපේ ගෙදරකට බය නැතුව......  බ්ලා බ්ලා බ්ලා......  "  මම සතියක් තිස්සේ අපේ අම්මගෙනුයි තාත්තාගෙනුයි අහගත්ත දේවල් නිසා තිබ්බ පීඩනය, වෙච්ච ලැජ්ජාව, තරහව ඔක්කොම යනකම් ඌට බැන්නා. අනේ කොල්ලා අඬන්න පටන් ගත්තා. මොන මට ඒත් නවත්තන්න හිතුනේ නෑ. අන්තිමට අපේ ගෙවල් පැත්ත පළාතේ එන්න එපා කියලා තර්ජන පාරක් දාලා මම ආවා. ෆෝන් එක නම් ලැබුනේ නෑ. අඩු ගානේ මගේ හිතේ තිබ්බ තරහවවත් අඩු උනානේ. අනිත් එක මට ජීවිතේට කවුරු ගැන වුනත් සැකයක් හෝ තරහවක් හිතේ තියාගෙන ඉන්න බෑ. කියන්න අමතක උනානේ. ඔය මල්ලි කොළඹ හොඳ ලොකු ස්කොලෙක ඉගෙන ගත්ත එකෙක්. 

ඔක්කොම සිද්ධිය වෙලා ටික කාලයක් යද්දී මටම කල්පනා උනා කට්ටිය කියපු දේ අහලා අරූට චෝදනා කලාට තව කීදෙනෙක්ට ඔය හොරකම කරන්න අවස්ථාව තියෙන්නේ ඇතිද කියලා. මොකද අපේ ගෙවත්ත අයින නිසා සද්දෙට තාප්පෙන් කවුරුහරි එබිලා බැලුවනම් ඕක දැකල අරන් යන්න ඉඩ තියනවනේ. අනික අර සවුන්ඩ්ස් ගෙනාපු දෙන්නා. ඒ අස්සේ මේ කොල්ලා තවත් කෙනෙක් එක්ක කියලා අඬලා. ඌට හොරා කිවා කියලා. කවදාවත් මම එහෙම කරයි කියලා හිතුවේ නෑ කියලා. මටත් එතකොට කරපු ගොන්කම ගැන පුදුම විදිහේ ලැජ්ජාවක් හිතුනේ. මොකද කට්ටිය කීවට ඒ පැත්තේ කැරකුනා කියලා ගන්නවා දැක්ක කෙනෙක් හිටියේ නෑනේ. මම දැක්කෙත් නෑනේ. මිනිහෙක්ට ඔය වගේ චෝදනාවක් කරද්දී මීට වඩා හිතන්න තිබ්බා නේද හිත හිතා මම සෑහෙන්න තැවුනා. එතකොට මට අවුරුදු 16ක් හෝ 17ක්. ඒ කාලේ කොහෙද එහෙම දේවල් තේරුම් ගන්න මොලයක් තිබ්බේ. මට ඊට පස්සේ නම් ඒ මල්ලිගේ මූණ බලන්නවත් බැරුව හිටියේ ලැජ්ජාවට. ඒත් කොහොමහරි දවසක් මම ඌව හම්බවෙච්ච වෙලාවක කරපු ගොන් කමට සමාව ඉල්ලුවා. හැබැයි ඉතින් කරේ නම්   සමාව දෙන්න වටිනා වැඩක් නෙවෙයි. ඒත් උගේ හොඳකමට සමාව ලැබුනා. අනේ කොල්ලා තාමත් අපේ ගෙවල් වල යනවා එනවා.  

පෝස්ට් එක නම් ටිකක් දිග වැඩිවුනා. ජිවිතේ කරපු ගොන්කම් සහ ඒ ගොන්කම් වලින් ඉගෙන ගත්ත පාඩම් ගැනත් ලියන්න හිතුන නිසයි ලිවේ. දැනට ඔය සිද්ධිය වෙලා අවුරුදු 10ක් විතර. හැබැයි මම ඉගෙන ගත්ත පාඩම නම් ජීවිතේටම මතක තියනවා. ඔය සිද්ධියෙන් පස්සේ කවුරු කොහොම කිවත් මමම දකිනකම් ඔය වගේ දේවල් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා මම හිතන්නේ නිරපරාදේ මිනිහෙක්ගේ හිතක් තලන පෙලන එක නැවතුනා. මිනිහෙක්ට නිරපරාදේ චෝදනා කරන එකනම් මහම මහා බලු වැඩක්. මොනවා කරන්නද ? මම ඒ වැරැද්ද එක පාරක් කරා. ආයේ නම් කරේ නෑ. කරන්නෙත් නෑ. අපි ඉතින් මිනිස්සුනේ.....  වැරදි අපේ අතින් සිද්ධවෙනවා.  හැබැයි ඒ ලැබෙන පාඩම් මතකනම්, ඒ මතකය නිසා ඒ වැරැද්ද ආයේ කෙරෙන්නේ නැත්නම් ඉදිරියේ අපිට අහිමිවෙන්න තියන ගොඩක් දේවල් බේරගන්න පුළුවන් වේවි..........................

Sunday, June 5, 2011

අයියා අපේ නෑදෑයද ?????


මම උසස් පෙළ කරලා ගෙදරට වෙලා පිස්සු නටපු කාලේ එක එක විදිහේ රස්සා කරා. ගොඩක් රස්සා කරේ පඩියකට නෙවෙයි. කෑම පිඟානටයි, තේ කොප්පෙටයි තමයි.  හික්ස්....  ඇත්තටම ඒවා රස්සා කීවට මගේ හිතවත් අයට උදව්වක් විදිහට කරපු දේවල්. ඒත් උදව් නෙවෙයි ඒවා රස්සා. හරිහමන් ගාණක් ලැබෙන රස්සාවක් කියලා කලේ උත්සව අවස්ථා වීඩියෝ කරන එකයි, වීඩියෝ සංස්කරණයයි. ඊට අමතර නිවාඩු දවස්වලට යනවා එක එක වැඩ වලට. කාලයක් සතියට දවසක් ඩ්‍රයිවින් වැඩක් කළා. අපේ හිතවත් අයියා කෙනෙක් ටියුෂන් කරන්න අනුරාධපුරේ යනවා. ඒත් ඩ්‍රයිවින් කරද්දී නින්ද යන නිසා මගෙන් ඇහුවා යමුද කියලා. ඉතින් ඔන්න ඒ දවසට මම පොරගේ ඩ්‍රයිවර්. තව යාලුවෙක් හිටියා ඌට සර්විස් ස්ටේෂන් එකක් තිබ්බේ. උගේ ගෝලයෝ නිවාඩු දවසට මම උගේ ගෝලයා. තව මිනිහට ලොරියකුත් තිබ්බා. ඩ්‍රයිවර් නැති දවසට මම එක්කෝ ලොරියේ ගෝලයා ඌ ඩ්‍රයිවර්. එහෙම නැත්නම් මම ඩ්‍රයිවර්. මම මේ යාලුවෝ කීවට මේ අය මට වඩා වැඩිමල් උදවිය. ඒ කිවේ ඔක්කොමල්ලා වගේ අයියලා. කුඹුරු තියන උන් කුඹුරු වැඩ කාලෙට ඒවටත් කතා කරලා තියනවා. ආ.... තව අපේ එවුන්ගේ කොම්පියුටර් කැඩුනහමත් කොන්ත්‍රාත් හම්බ වෙනවා. හෝටල් තියන උන්ගේ ගෝලයෝ නැති දාට මම වේටර්. කොහොමත් ඉගෙන ගන්න කාලේ වේටර් රස්සාවෙන් තමයි මම මෙහෙ ජිවත් උනේ. ඔය විදිහට එක එක ජොබ් කරලා තියනවා. මට නම් ඒ ගැන අප්‍රමාණ සන්තෝසයි. මොකද එක එක ජොබ්වල තියන අමාරුකම, වගකීම එහෙම අත්දැකීමෙන් දන්නවා. අනික මම ජීවිතේට විවිධාකාර අත්දැකීම් එකතු කරගන්න කැමති මනුස්සයෙක්. ඉතින් මේ ලැබුන අත්දැකීම් වලින් මම ඉගනගත්ත දේවල් මෙච්චරයි කියන්න බෑ...

ඇති ඇති....  ඒ විස්තරේ හොඳටම ඇති. කතාවට එමුකො. ඔන්න දවසක් මගේ සර්විස් සෙන්ටර් එකේ යාලුවා කතා කළා. " වරුණ මල්ලි අද උඹට සර්විස් එක පැත්තේ එන්න පුලුවන්ද ? කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් අද එන්නේ නෑ කිවා. ඒ මදිවට ලොරියත් කොට උඩ. අනේ මල්ලි උඹ වැඩක්  නැත්නම් මේ පැත්තේ වරෙන්කෝ"  පණිවිඩේ කියලා ඉවර වෙන්න කලින්ම " හරි හරි අයියා මම එන්නම්. පැය බාගෙන් ඔතන". 

පැය බාගයක්  යන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි. අපේ ගෙවල් වරකාපොල තිබ්බට මිනිහගේ ගෙවල් තියෙන්නේ යක්කල. සර්විස් එකත් යක්කල. දන්න අඳුරන එවුන් ඒ පැත්තේ නෑනේ. බය නැතුව ගිහින් ඔය වගේ ජොබක් කරන්න පුළුවන්. අපේ ගෙවල් ළඟ තැනක ඔය වගේ වැඩක් කරන එක ගැන මගේ නම් අවුලක් නෑ, ඒත් අපේ අම්මයි තාත්තයි පව්නේ.  ඒ මිනිස්සුන්ට ගමේ මිනිස්සුන්ගෙන් ලැබෙන ගෞරවය, ආදරය, පිළිගැනීම මම විනාස කරන්නේ මොකටද ?  අද වෙනකම් මම එහෙම කරලත් නෑ. ඉදිරියට කරන්නෙත් නෑ. මගේ යාලුවා යක්කල නිසා හිතේ බයක් නැතුව ඌට සපෝර්ට් එකක් දෙන්න පුළුවන්. කොල්ලත් ගත්තා මොටෝ බයිසිකලේ ඉගිල්ලුනා යක්කලට.  ගිහින් බලද්දී මිනිහගේ ලොරියේ සර්වලෝක පූට්ටුවේ ලොකු අවුලක් කියලා උගේ සර්විස් ස්ටේෂන් එකේම පැත්තක ලොරිය ගලවලා. ආ සර්වලෝක පූට්ටුව දන්නේ නැති අය ඉන්නවා නම් අහලා ඇතිනේ universal joint එක. සර්විස් එක කරන අයියගේම යාලුවෙක් තමයි ලොරිය හදන්නේ. ඉතින් මට කිවා බාස්ගේ ගෝලයා වෙයන් කියලා. මටත් ඔය වාහනයක් අස්සේ රිංගගෙන යකඩ කෑල්ලක් අත  ගාන්න තියනවා නම් ඊට වඩා දෙයක් නෑ.

කොල්ලත්  දාගත්තා මජං කිට් එකක්. හැමතනම මජං ගෑවිච්ච ඕවරෝල් එකක්. ඔන්න ගෝලයයි බාසුයි වැඩ. ඔය අතරේ  ලොරියට වුවමනා කරපු අමතර කොටස් ටිකක් ගේන්න ටවුන් එකට යන්න කෙනෙක් ඕනේ වුනා. ලොරිය හදන්න ආපු අයියගේ තිබ්බේ ට්‍රේල් බයික් එකක්. ඒකත් 250.  මිනිහා බයික් එක පෙන්නලා කිවා " මල්ලි මෙන්න යතුර මගේ බයික් එකේ යන්න. ඒ කඩේ උන් මගේ බයික් එක අඳුරනවා. උඹ එව්වේ මම කියලා දැනගත්තහම උන් උඹව අන්දන්නේ නෑ. මම කිවා කියලා බඩු ටික අරන් වරෙන්" කියල. මජං ඇඳුම පිටින් ටවුන් එකට යන්න පොඩ්ඩක් ලජ්ජා හිතුනත් 250යක ටවුම වටේ රවුමක් ගහන්න ලැබෙන චාන්ස් එක අතාරින්නෙ කොහොමද ? අනික මේ ටවුමේ මාව අඳුරන කව්ද ඉන්නේ ? කොල්ලා ගත්තා දඬු මොනරේ. ඇරියා තියලා යක්කල ටවුමට. ඔන්න දැන් බයිසිකලේ නවත්තලා මජං පිටින්ම කොල්ලා ගියා කඩේට. එතනින් ඕනේ කරන දේවල් අරගෙන බයික් එකත් එතන තියලා ඒ ළඟ වෙන කඩේකට මම පයින්ම ගියා.  ඔය යන අතරේ මට මූණට මූණ හම්බවුනා අපේ දුරින් නෑදෑවෙන මල්ලි කෙනෙක්. මිනිහා මට හම්බවුනේ අවුරුදු පහකට හයකට පස්සේ. මාව දැක්ක පාර මිනිහගේ ඇස් උඩ ගිහින්, නළල රැලි වැටිලා, මූණ කළු වෙලා. ෆුල්ම අප්සට් වෙලා. මේ යකා තත්පර 30ක් විතර මා දිහා බලා ඉන්නකොට මට තේරුනා සීන් එක. උගේ ජීවිතේට ඌ බලාපොරොත්තු වෙන්නේ නෑ මේ ගොඩයා ගරාජ් එකක වැඩ කරයි කියලවත්,  මජං ඇඳුමක් ගහගෙන පාරක ඇවිදියි කියලාවත්. මමත් ඇඳගෙන ඉන්නේ මජං ඇඳුමක් කියලා මට පත්තු වුනොත් ටිකක් වෙලා ගිහින්. මටත් පොඩ්ඩක් අවුල් ගියා ඇඳගෙන ඉන්න කඩමාල්ල ගැන මතක් වුනහම.  

මා දිහා  කන්න වගේ බලාහිටපු පොඩි එකා 
" අයියේ ඔයා වගේ කෙනෙක් ඉන්නවා අපේ නෑදෑයෙක්. ඔයා වගේමයි. ඒත් ඔයා වෙන්නත් බෑ. අනේ තරහ වෙන්න එපා. මේ වරුණ අයියද ? අයියා අපේ නෑදෑයෙක්ද ? "  පුදුම වෙච්ච මාර්ක් එක මූණේ තියාගෙන මූ මගෙන් එහෙම ඇහුවා. මට හිනායන්නත් ඔන්න මෙන්න .  
" ඔව් මල්ලි, මම වරුණ අයියා තමයි. අනේ උඹ මාව මෙහෙම දැක්කා කියලා කාටවත් කියන්න එපා. එක්සෑම් කෙලවුනානේ බං. දැන් ඉතින් කොරන්න දෙයක් නෑ. මම ශේප් එකේ ගරාජ් එකක වැඩ ඉගෙන ගන්නවා. අනේ මල්ලි කාටවත් කියන්න එපා මාව මේ විදිහට හම්බවුනා කියලා. ගෙදර අය දන්නෙත් නෑ" මමත් ෆුල්ම ෆුල් ශෝක මූඩ් එක දාලා අඬන්න කිට්ටු ගානේ වොයිස් එකකින් මගේ දුක කීවා. මටත් ඉතින් මොකෙක් හරි අන්දන්න ලැබෙනවා කියන්නේ රෑට හොඳට නින්ද යනවා කියන එකනේ. ඇන්දුවා කොල්ලා නියමෙටම.  

"අනේ ඔහොම තමයි අයියේ. කව්ද දන්නේ අපිටත් මොනවා වෙයිද කියලා. ඕවා ගණන් ගන්න එපා අයියා, මම කාටවත් කියන්නේ නෑ......  බ්ලා බ්ලා බ්ලා......." මූ මාව සනසවනවා, පොරොන්දු දෙනවා, ආයෙත් සනසවන්න හදනවා, විභාග කොමසාරිස්ට බනිනවා, ආයෙත් පොරොන්දු දෙනවා. එවෙලේ  මගේ දුක් සීන් එක අහලා උගේ මොලේ කොලොප්පං වෙලා හොඳටම. 
" මල්ලි දැන් මේ කොහෙද යන්නේ ? " මම ඇහුවා. " ආ මම මේ පන්ති ඉවර වෙලා ගෙදර යනවා. ආ නෑ නෑ මම පන්ති ඉවර වෙලා ගෙදර යන්න බෑ අද තව ක්ලාස් එකක් තියනවා, ඒකට යන්න කියලා. මේ මම යන්නද අයියේ?"   

මගේ දුක් අඳොනාව අහලා මූට ආපු ගියපු තැනුත් අමතක වෙලා.  ඒ විදිහට ඉතින් ඌ ක්ලාස් ගියානම් සත පහක වැඩක් නෑ. ඔලුවේ තියෙන්නේ මට වෙච්ච සංගදියනේ. අනික ඕකා ක්ලාස් ඇරෙනකම් බලාගෙන ඉඳීවි මේ  සීන් එක ගෙදර ඇවිල්ලා කියන්න. ඉතින් සිහි කල්පනාවෙන් ඉගෙන ගන්න බෑනේ.  ඒ නිසා මම ඌට ඇත්ත සීන් එක කිවා. ඊට පස්සේ තමයි උගේ කළු වෙච්ච මූණට පොඩි තරු එළියක්‌ වැටුනේ. මට නම් කොල්ලගේ මූණ මතක් වෙද්දී තාමත් හිනා......     

Tuesday, May 31, 2011

විහිළු සහ ගුටි කෑම



ඔක්කොටම කලින් මගේ "තාමත් කෙල්ලෙක් නැද්ද" පොස්ට් එකට ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි. මේ බ්ලොග් එක ලියන්න අරගෙන දැන් මාස 4ක් විතර වෙනවා. ඔය මාස 4ට එක එක ජාති ලීවා. ඒත් ගිය සතියේ ලියපු ඔය පෝස්ට් එකට තමයි වැඩිම ප්‍රතිචාර ලැබුනේ. බලාගෙන යද්දී හොඳ කාලීන මාතෘකාවක් ගැනනේ මම ලියලා තියෙන්නේ. හික්ස්.....   දැන් දවස් තුන හතරකට කලින් අපේ ඇන්ඩයියා ලියපු " ගුටි " විස්තරේ කියවද්දී මටත් වෙච්ච සිද්ධියක් මතක් වුනා. කොමෙන්ට් එකක් විදිහට එතන දාන්න හදලත් දිග වැඩි නිසා අද ඒ විස්තරේ ලියන්න හිතුනා.

මම එතකොට 9 වසරේ. දිග කලිසමට බහින්න මාස කීපයයි. කොල්ලෙක්  දිග කලිසමට බහිනවා කියන්නේ වහු පැටියෙක්ට  අං ලැබෙනවා වගේ වැඩක්. 9 වසරේ ඉන්නකොටම කට්ටියටම ඔය රස්නේ වදිනවා. ඒ රස්නෙත් එක්කම ගැන්සි හදාගැනීම, බොක්කවල් හොයාගැනීම, වලි දාගැනීම, සෙට් වීම, ගුටි කෑම ආදී නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. මමත් ඒ වෙද්දී අනිත් උන් වගේම ඔය සංක්‍රාන්ති සමයේ හිටපු ගැටයෙක්. හැබැයි ඒ වෙද්දීත් මම ස්කොලේ ආවේ පාසල් සේවයේ පිහිටෙන්.  ඔන්න දවසක් ස්කොලේ ඉවර වෙලා අපේ ස්කුල් බස් එක එනකම් මමයි අපේ ස්කූල් බස් එකේ යන උන් සෙට් එකයි ස්කොලේ ගේට්ටුවෙන් එළියේ පාර අයිනට වෙලා ඉන්නවා. දන්නවනේ ඉතින් ස්කොල අරුනහම කට්ටියට හරියට වැඩනේ. ස්කොලේ වෙච්ච දේවල් ගැන සාකච්චා කරන්න, එක එකාට ලනු දෙන ඒවා ගැන කතා කරන්න,  ස්කුල් වෑන් වල ඉන්න කෙල්ලෝ බලන්න, එතකොට අපේ උන් ට්‍රයි කරපු කෙල්ලන් ගැන ඔත්තු බලන්න, කඩ චෝරු හොයන්න, මුද්දර, ස්ටිකර්, රූප ආදී දේවල් හුවමාරු කරන්න.....  ඔය වගේ නානාප්‍රකාර වැඩ එක එකාට තිබ්බා. 

මමත් ඔන්න ස්කොලේ ඇරිලා ගජබින්නාලන්කාරය දිග ඇරගෙන තව කොල්ලෝ දෙන්නක් එක්ක අපේ බස් එක එනකම් ඉන්නවා. ඒ අතරේ අපේ පන්තියේ කැරැව්වා  ජැන්ඩියට කැප් එකක් එහෙම දාගෙන පොරගේ මවුන්ටන් බයික් එකේ වටේ ඉන්න කෙල්ලන්ට එහෙම ඇඩ් එකක් දීගෙන එනවා. මටත් ඉතින් අතපය එක විදිහකට තියාගෙන ඉන්න බැරි අමාරුවක් තියනවනේ.  ඒ අමාරුවට කිවේ කැසිල්ල කියලා. ඉතින් ඔය කැසිල්ල නිසා මම ශේප් එකේ කැරැව්වාගේ පුටාර් එක පස්සෙන් දුවගෙන ගිහින් ඌ උජාරුවෙන් දාගෙන ගිය කැප් එක ගලවගෙන ගේට්ටුව ලඟට ආවා. කැරැව්වා ශේප් එකේ බයිසිකලේ පාරේ අයිනේ නවත්තලා මුණේ හිනා පොදක්වත් නැතුව එනවා. මොනවා වුනත් වෑන් වල යන කෙල්ලෝ එතකොට ස්කොලේ අයියලා මල්ලිලා  ඔක්කොමල්ලා ඉස්සර වෙච්ච වැඩේට පොරට පොඩ්ඩක් අවුල් වගේ. 

මමත් ඉතින් හිනාව දාගෙන ගියා ඌ එන පෙර මඟට කැප් එකත් උගේ පැත්තට දික් කරගෙන. මෙන්න ලඟට ආපු එකා කිසි කතාවක් නැතුව කැප් එක ඇදලා අරගෙන ඒ එක්කම දුන්නේ නැත්ද හොඳ කනේ පාරක්. කොහොමවත් මම බලාපොරොත්තු නොවුන පාරක් ඒක. කවුද දන්නේ මූ මල අතට වඩම්මාගෙන ආවේ කියලා. අනික එවෙලේ ගුටි කාපු අමාරුවට  වඩා වස ලැජ්ජාව. අර කෙල්ලෝ, කොල්ලෝ, අම්මලා,  තාත්තලා,  ටීචර්ලා ඔක්කොම බලාඉන්නවා. මමත් මගේ තියන කැසිල්ලට කරේ වුවමනා නැති වැඩක්නේ. ඒ නිසා පලවෙනි ප්‍රහාරය ඉවසාගෙන " මචං කැරැව් විහිළුවක් කලේ බං " කියද්දීම මූ ආයෙත් අත ඉස්සුවා. ඒ පාර මම උගේ අත් දෙකෙන් අල්ලාගෙන " විහිළුවක් බං. සිරා ගන්න දෙයක්ද ඕක. එකක් ගැහුවනෙ. ඇතිනේ. යමන් දැන්" කියද්දී මූ කකුලෙනුත් ගැහුවා. අන්න ඒ අවස්ථාවේදී නම් මගේ ඉවසීම කියන එක කොහෙන්ද මන්ද අන්තර්ධාන වුනා. ඇයි හත් දෙයියනේ මම වැරද්දක් කරාම කියමුකෝ. ඒත් අර ස්කොලේ ඇරිලා යන කෙල්ලෝ ඉස්සරහා මහ පාරේ ඔහොමත් ගුටි කන්න පුලුවන්ද ?  මගෙත් පුෂ්පය වැඩියා අතට. දීලා ඇද්දා අරූට. කොල්ලව අර තාර පාරේ බිම දාගෙන ගැහුවා. උගේ අතපය හීරිලා දණහිස පතුරු ගිහින් ලේ වැක්කෙරෙනකම් මමත් නෙළුවා. අන්තිමට ගේට්ටුවේ මුරට ඉන්න අන්කලුයි තවත් අන්කල් කෙනෙකුයි, තව අයියාලා දෙන්නෙකුයි ඇවිල්ලා තමයි ගෝරිය නවත්ත ගත්තේ. ඒ වෙද්දී ස්කූල් බස් එකත් ඇවිල්ලා මම එනකම් බලා ඉන්නවා. මම දඩබඩ ගාලා නැග්ගා බස් එකට ගෙදර ආවා.නැත්නම් ඉතින් මුර අන්කල්ටයි අහල පහල හිටපු සර්ලටයි උත්තර බඳින්න වෙනවනේ. 

ඒ සිද්ධිය එතනින් ඉවරයි. ඔන්න දැන් කොල්ලා පහුවදා ස්කොලේ යනවා. එදා අපිට විද්‍යාවටද කොහෙද ශාක පත්‍ර වින්‍යාසයේ අනුරුවක් හදාගෙන එන්න කියලා තිබ්බේ. ඉතින් ලොකු බෝඩ් එකක මම ඔය වින්‍යාසය එහෙම හදාගෙන අත්දෙකෙන්ම බෝඩ් එකත් අරගෙන පන්තියට අඩිය තිබ්බා විතරයි. කිව්වහම මොකද මට අර බෝඩ් එක කොහෙන්වත් තියාගන්නවත් ලැබුනේ නෑ. මූණ හරහා හොඳ පන්ච් එකක් ලැබුනා තරු පෝලිමක් එක්ක. ඒ එක්කම මගේ අතේ තිබ්බ බෝඩ් එක කව්දෝ එකෙක් උදුරලා අරන් පැත්තකින් තිබ්බා. ලාවට වගේ දැක්ක 10 දෙනෙක් විතර වටවෙලා ඉන්නවා. කැරැව්වා සහ උගේ ගැන්සිය. කලබලෙන් මම වටපිට බැලුවා. පන්තියේ එකෙක්වත් නෑ.  මගේ ගැන්සියේ එවුන් ඒ වෙද්දී ස්කෝලෙට ඇවිල්ලත් නෑ. අනික කැරැව්වා ස්කොලේ කිට්ටු නිසා උගේ ගැන්සිය ටිකක් ප්‍රභලයි. අයියලා එහෙමත් ඉන්නවා. කිසිම සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා එදානම් හොඳටම තේරුම් ගියා. සියලුම බලාපොරොත්තු අත ඇරගෙන ඇස් දෙක වහගත්තා. දහ දෙනෙක් විතර වටවෙලා උදේම නෙලද්දී තියන ආතල් එක ගැන නම් වචනයෙන් කියන්න බෑ. එදා උදේ කෑමට ලැබුනේ ගුටි. ගුටි කීවට හොඳම එකෙන්. විනාඩි 5ක් 6ක් ගුටි කෑවට පස්සේ තමයි අපේ එකෙක් ඇවිල්ලා යාන්තම් වැඩේ නවත්ත ගත්තේ. එහෙම නොවුනානම් ගොඩයා කනවා ඇප නැතිවෙන්නම. ඇත්තටම කිවොත් ඒ විනාඩි 5ට 6ට ඇප නැතිවෙන්නම කාලා තිබ්බේ. 

ගුටි මුරය ඉවර වෙලා නැගිටලා බලදී මම හිටියේ පන්තියේ අන්තිම කෙලවරේ. හැබැයි මතක හැටියට මම පන්තියට අඩිය තිබ්බා විතරයි. කොනට විසිවුනේ කොහොමද කියලා දෙයියෝ තමයි දන්නේ... ආ... නෑ නෑ කැරැව්වාගේ ගැන්සිය තමයි දන්නේ. එවෙලේ නම් ශේප් එකේ පන්තියේ එකෙක් ගාව තිබ්බ සිද්ධාලේප එකක් උලාගෙන මුකුත් වුනේ නැති ගානට හිටියා. ඒත් තැලුම් වේදනාව දවසක් දෙකක්ම තිබ්බා.  විලි ලැජ්ජාව නිසා ගෙදරට කිවේ නෑ.වේදනාව අමතක කරලා හිටියා. මොනවා වුනත් මගේ අත පය තියාගෙන ඉන්න බැරි අමාරුව නිසා කරපු දෙයක්නේ. අනික ස්කොලේ ඇතුලේ ගුටි කෑවට කෙල්ලන්ට පේන එකක්යැ.. ඒ වගේද මම කැරැව්වට දුන්න පෝරියල් එක. කීදාහක් ඉස්සරහද මහ පාරේ ඌ මගෙන් කෑවේ. ඒ නිසා මම රිටන් දෙන්න උවමනාවක් තිබුනේ නෑ. මොකද ගුටි කෑවත් මම දුන්න පෝරියල් එක ගැන මට සැටිස්. කැරැව්වාගෙයි මගෙයි ඔය අවුල දවස් කීපයකින් සමථයකට පත්වුනා. උගේ ගැන්සියත් ඒ වගේම සාමදාන වුනා.

 ඔය වගේ සිද්ධි කීපයකට පස්සේ ලැබුනු බෙහෙත් වල පවර් එකට මගේ අර තිබ්බ අමාරුව ඒ කිවේ කැසිල්ල, අන්න ඒ කැසිල්ල පොඩ්ඩක් විතර අඩුවුනා. හැබැයි නිට්ටාවට හොඳ කරන්න බැරිද මන්ද? මොනවා කොරන්නද උවමනා නැති විහිළු කරන්න ගියහම ඔහොම තමයි. ඊට පස්සේ නම් පොඩ්ඩක් විතර පරිස්සම් වුනා කාට හරි විහිළු කරන්න යද්දී. පරිස්සම් වුනා කිවටම එහෙමමත් නැද්ද මන්දා....  මොකද ඔය සිද්ධියෙන් පස්සෙත් කීප අවස්ථාවකදීම ගොඩයට ඔය වගේ බෙහෙත් හම්බවුනා. ඒවට වෙන්න ඇති මයේ හිතේ කියන්නේ විලි ලජ්ජා නැතිකම කියලා.....  හික්ස්....