Sunday, April 10, 2011

තනියට තනිකම.....................



තනිකම ඇවිදින් තනියට මා ළඟ හිඳ            ඉකිබිඳිනවා
පාළු රැයේ හමන සුළං මූසලකම                 මුසු කරනවා
කුටියක සිරවුනු මාගේ හදවත හඬනව            ඇහෙනවා
නොරටක තනිවු මාහට මගෙ අසරණකම      දැනෙනවා


තනිකම සැපයි මිහිරියි කියලා සිතුනත් මට          විටෙක
ඒ තනිකමම හැඬවූවා මා රඳවා                     සිර ගෙයක
හුදකලාව අතරින් සිහිවන නටබුන් වූ                    මතක
කඳුලැලි ගෙනාවේ දෙනෙතට බොඳකර දෙනුවන් හනික


පෙරදා ගෙවූ කාලය  සමඟින් මාගේ මිතුරු         කැළ
නෑදෑ පිරිවරයි, පවුලේ උදවිය මට දුන්               රුකුල
තනිවූ විටදි සිහිවීලා හදවත පිරුණා                   කඳුල
සඟවා ගතිමි කඳුලට හිමිකරදි  මගෙ හද             පතුල


බන්ධන වැඩි විටදි නිතරම  ජීවිතයට                දුක ඒවී
වෙන්වූ විටදි ප්‍රියයන්ගෙන් දුක් ගිනි හද          ඇවිලේවි
බුදු හිමි දෙසූ ඒ  බණ පද මගෙ දෙසවන්           පුරවාවි
ඒ මෘදු වචන තරමක හෝ මාහට            සැනසුම දේවි



10 comments:

  1. හිතට ඔබ කියන්න අයියේ ඉවසන්න කියා
    නෙතට ඔබ කියන්න අයියේ නාඩන්න කියා
    වැතිරී මොහොතකට පොළොවේ දෙනෙත පියා
    මනසින් එන්න පියබා කය ඔහේ තියා

    ReplyDelete
  2. ඉවසා සිටිමි මල්ලියෙ මම සිතට කියා
    ඉනු කඳුලැලිත් සඟවමි හදපතුලෙ තියා
    වෙන් වූ අපේ උන්ගේ ඒ සුවඳ සොයා
    කය මෙහි තබා සිත හැමදා ගමට ගියා

    ReplyDelete
  3. උපන්නෙත් අඬාගෙන හෙලුවැල්ලෙන්
    නිදන්නේත් තනිව අවසන් ඇසිල්ලෙන්
    නො සිට තනිකමින් සැම දා ඇඩිල්ලෙන්
    හොයාගෙන කිරිල්ලියකුත් ඉගිල්ලෙන්

    ReplyDelete
  4. අයියේ Jayya අයියා කිවූ විලසින්ම
    කීමට සිත ඇති සියලු දේ එලෙසින්ම
    ගන්නකො සොයා කෙල්ලෙක් ඔබ විසින්ම
    දුක් දොම්නස් පාවී යයි විගසින්ම

    ReplyDelete
  5. මෙය කියවනා තනි නංගිලා මෙහි එන්න
    කියවා මේ පිටුවේ ඇති දුක දැන ගන්න
    ගොඩයා අපේ හොඳ කොල්ලෙකි හිත ගන්න
    වෙකන්සියක් ඇත ඔබලට පුරවන්න

    ReplyDelete
  6. අයියා මලෝ දෙන්නා මේ එකතු වෙලා
    දුන්නත් මෙලෙස ලස්සන උපදෙස් මාලා
    දුටුවෙමි මඟුල් කරගත් උන් වැරදීලා
    දාගන්නට බයයි උරචක්කර මාලා

    වටයක් එලවලා වාහන ගත්තාට
    වගකීමක් සමඟ විකුණන බඩු ගත්තාට
    කෙල්ලෙක් එපා මට නම් දවසට දෙකට
    අවැසියි කෙනෙකු මුළු ජීවිත කාලයට

    සිංහල රටෙන් පිට වී මම කල් ගෙවනා
    ගන්නේ කොහෙන් සොයලා යුවතියක් මනා
    කබලෙන් ලිපට වැටුනොත් නැතිවේවි සිනා
    නැතුවට කෙල්ලො සුපුරුදු තනිකම අගනා

    ReplyDelete
  7. දැලි පිහියක්ය අයියේ මේ පවුල් වැඩේ
    නුවණ යෙදිමෙන් නොම දේ කිසිදු ලෙඩේ
    යන්නට යටින් අයියට සෙනෙහසේ කුඩේ
    මැවිලා පෙනෙන් කෙල්ලෙක් හන්දියේ කඩේ

    ReplyDelete
  8. ඔය ගැන සිතා කාලය වැය නොකරන්නේ
    කොල්ලෙක් නොමැති කෙල්ලන් කළුනික වැන්නේ
    හිමිනම් කෙනෙකු කෙදිනක හෝ හමුවන්නේ
    නැත්නම් මෙලෙස තනිකඩවම මිය යන්නේ

    ReplyDelete
  9. අනේ පවු අසරන කොල්ල . . . . දුක් වෙන්න එපා මලේ . . . . උඹට අනිත් පලුව ඉක්මනට ලැබෙයි . . . . ඉවසපං.
    කෝකටත් හොයාබැලුවනං . . . . සිංගප්පූරුවෙ ඉන්න්න හොන්ඳ හැදිච්ච සිංහල කෙල්ලෙක් හොයාගන්න බැරිවෙන එකකුත් නෑ

    ReplyDelete
  10. ඇයි බං ඇන්ඩිඅයියේ උඹලට එහෙම හිතෙන්නේ ??? මේක ලිවේ සිරාවට මම පට්ටම තනියම හිටපු දවසක. ගිය සතියට කලින් සතියේ, ගෙදර එකෙක්වත් නෑ. චැට් එකට අල්ලගන්න එකෙක් හෙව්වා ඒත් හිටියෙ නෑ. බලන්න කියලා පොතක් පතක්, ෆිල්ම් එකක් හෙව්වා. ඒත් තිබුනෙ නෑ. ඒ වෙලාවේ නම් සිරාවටම පට්ටම පාළුවක් දැනුනේ බං..... ඒ පාර තමයි මේක ලිවේ. අපොයි මම කරගත්ත ගොන් කමක් මේක බ්ලොග් එකේ දාලා...... $#%^^*%^%#$%%^*#%

    ReplyDelete