මේ ලියන්න යන්නේ මගේ ජිවිතේ මම මුහුණ දුන්න දුක්බරම සිද්ධිය ගැන... මම අවුරුදුත් ඉවරයි පොස්ට් එකේ කිවනේ මම අවුරුද්දට අවුරුදු 3 කින් ලංකාවේ හිටියේ නෑ කියල. මට පහුගිය අවුරුදු තුනේ අවුරුද්දට ඉන්න නිවාඩු තිබිලත් වුවමනාවෙන්ම තමයි මම හිටියේ නැත්තේ.... හේතුව තමයි මේ කියන්නේ යන්නේ.....
කසුන් අයියා කියන්නේ අපේ මහප්පාගේ පුතා. අපි පොඩි කාලෙදිම මහප්පා නැතිවුනා. මහප්පාට හිටියේ එකම එක දරුවයි. ඒ අපේ අයියා විතරයි. අපේ බාප්පාගේ පුතයි, දුවයි, කසුන් අයියයි, මමයි, නංගියි පොඩි කාලේ ඉඳන්ම එකට හැදුනේ. අපේ ගෙවල් තියෙන්නේ එක ළඟ. ඉතින් හැම වෙලාවේම උඩහට දුවන එක තමයි වැඩේ. කසුන් අයියත් නිතරම බාප්පලාගේ ගෙදර. අපිත් කොච්චරවත් දුවන්නේ එහෙට. මමයි නංගියි එයාලත් එක්ක බලද්දී ගොඩාක් පොඩියි. ඒ 3 දෙනාම අපි දෙන්නට වඩා අවුරුදු 10 ක් විතර වැඩිමල්. කසුන් අයියට සහෝදර සහෝදරයින් නැති නිසා මල්ලියි, නංගියි විදිහට සැලකුවේ මටයි නංගිටයි. බාප්පාගේ පුතත් කසුන් අයියගේ වයසම වගේ නිසා බාප්පාගේ පුතා සහෝදරයෙක්ට වඩා මචං විදිහට තමයි අයියා ආශ්‍රය කලේ. හැබැයි පොඩි කාලේ නම් අයියලාගේ වැඩේ මාව අන්දවන එක. මම ඉතින් පොඩි එකානේ. කොච්චරවත් මාව බයිට් එකට ගන්නවා. වෙලාවකට යකා නැඟලා මූණත් අකුලන් ගෙදර එන්නේ ආයේ උන් දෙන්නගේ මූණවත් බලන්නේ නෑ කියලා හිතාගෙන. එත් විනාඩි 10යෙන් ඔක්කොම අමතකයි. ආයෙත් ලජ්ජා නැතුව පස්සෙන් යනවා. ඒ කාලේ මතක් වෙද්දි පුදුම දුකක් දැනෙනවා.
ඔය විදිහට තත්පරෙන් තප්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස, සතියෙන් සතිය, අවුරුද්දෙන් අවුරුද්ද, ගෙවිලා ගියා. ගොඩාක් දේවල් වෙනස් වුනා. මම ටික ටික ලොකු වෙනකොට වැඩිහිටියෙක් බවට පත්වෙන කාලය වෙද්දී අපි තව තවත් ලං වුනා. අයියලා දෙන්න ඒ වගේම අක්කත් විවහා වුනා. මොන දේ වෙනස් උනත් අපි වෙනස් වුනේ නෑ. හැමදාම හැමදේකටම අපි එකට හිටියා. අපි හැම අවුරුද්දෙම අවුරුදු කෑවේ එකට, නෑගම් ගියේ එකට, මඟුල් ගෙදරක, මල ගෙදරක ගියේ එකට. දානයක්, පින්කමක් තිබ්බහම නිදි මරාගෙන වැඩ කලේ එකට, වෙසක් එකට දන්සල් දුන්නේ, වෙසක් කුඩු හැදුවේ එකට. හිටපු ගමන් සෙට් වෙලා පිස්සු නැටුවේ එකට. ට්‍රිප් ගියේ එකට, ඒ විතරක් නෙවෙයි අසනිපයක් උනහම එකෙක්ට අනිත් උන් පන කඩාගෙන දිවා, අපි පස් දෙනාගෙන් කාට ප්‍රශ්නයක් උනත් අපේ වැඩ ඔක්කොම දාලා අපි වලේ වැටිච්ච එකා ගොඩ දාන්න දැගලුවා. වලියක් සෙට් වුනත් ළඟ හිටියේ අයියලා තමයි. වලියකදි නම් කසුන් අයියා තමයි මුලටම. අයියලා දෙන්න බැන්දට පස්සේ දෙන්නම කාර්යබහුල වුනා. ඉතින් ඒ දෙන්නට දෙන්නා හම්බවෙන්න වෙලාව අඩු වෙද්දී දෙන්නගෙම දේවල් වලට උදව් කරන්න මට වෙලාව ඉතුරු වුනා. විශේෂයෙන් කසුන් අයියට තනියම කොහේ හරි යන්න උනහම, එයාගේ ව්‍යාපාර වැඩ වලට උදවුවක් ඕනේ වුනහම, එයාගේ ප්‍රශ්න කියන්න කෙනෙක් උවමනා වුනහම මට තමයි කතා කලේ. මොකද මට ඒ දවස් වල විශේෂ වැඩක තිබුනේ නෑ. ඕනේ තරම් වෙලාව තිබ්බා. ඉතින් මම උ.පෙ කරලා ඉන්න කාලේ අයියා මට ගොඩක් සමීප වුනා.
මම ලංකාවෙන් හා හා පුරා පිටත් වෙන්න තියන දවසට කලින් දවසේ රෑ අයියා කෑම හදාගෙන ඇවිල්ලා කන්න දීලා " උඹ ගිහින් වරෙන් මල්ලි. බය නැතුව ගිහින් තියන වැඩ ටික හරියට කරපන්. අම්මයි නංගියි බලාගන්න අපි ඉන්නවනේ. ඕනේ දෙයකට මම ඉන්නවා. ඒ නිසා මෙහෙ දේවල් ගැන උඹ කරදර වෙන්න එපා. පරිස්සමට ගිහින් වරෙන් " කියලා තමයි මාව පිටත් කරේ. මම මෙහෙට පය ගහලා තුන් මාසයයි ගියේ..... දවසක් උදේ වරුවක දනි පනි ගාලා නැගිටගෙන ලෙක්චර්ස් යන්න ලැහැස්ති වෙනවා. පරක්කු වෙලත් තිබුනේ. ඔය අස්සේ ෆෝන් එක අතට ගත්තහම දැක්ක කෙටි පණිවිඩයක් ඇවිල්ලා තියනවා. මොන හදිස්සියේ වුනත් ඒක බැලුවා. ලංකාවේ මගේ යාලුවෙක්ගෙන්. " මල්ලි මම මේ කියන දේට කලබල වෙන්න එපා. ඊයේ රෑ කසුන් අයියා ඇක්සිඩන්ට් එකකින් නැතිවුනා. ගෙදර අය කියනකම් ගෙදරට කෝල් කරන්න එපා. මට මේක උබට කියන්නේ නැතුව ඉන්න බෑ. ඒකයි කිවේ. කලබල වෙන්න එපා. " මගේ ඇඟම පණ නැතිවුනා. වචනත් එන්නේ නෑ. කරන්න ඕනේ මොකක්ද කොහොමද කියලා තේරුම් ගන්නත් බැරි උනා. ඒ විතරක් නෙවෙයි මම හිතුවෙම මේක විහිළුවක් කියලා. මම විශ්වාස කලේ නෑ පොඩ්ඩක්වත්. එහෙම්මම ඇඳේ වාඩිවෙලා ගත්තා කෝල් එකක් ඒ මනුස්සයාට විස්තර දැනගන්න. අනේ ඒ පණිවිඩය විහිළුවක් එහෙම නැත්නම් බොරුවක් වුනා නම් කොච්චර හොඳද?? ඒත් සිද්ධිය ඇත්ත. ඒවෙලාවේ මගේ යාලුවත් ඉස්පිරිතාලේ. ( මෙන්න අනතුර ගැන පොඩි විස්තරයක් උවමනා නම් .) ගෙදරින් කතා කරනකම් මම හිටියේ කොහොමද කියලා නිච්චියක් නෑ. ගෙදරින් කෝල් එකක් ආවත් අම්මටවත් නංගිටවත් වචනයක් කියාගන්න බැරි වුනා. අඬනවා ඉවරයක් නෑ. මෙහෙ ඉන්න මටත් ඇඬෙනවා. මොකද මට ගෙදරින් නොකීවට මම දැනගෙන හිටියනේ.... ටිකකින් තාත්තා කතා කලා. එතකොටත් තාත්තා ලංකාවට යන්න යන ගමන්. මටත් යන්න උවමනාව තිබ්බත් තාත්තා කැමති වුනේ නෑ. තාත්තා තේරුම් කරලා දුන්නා ගොඩක් දේවල්.
" ඔයා ගියා කියලා අයියට ලැබෙන අමුතු දෙයක් නෑ. දැන් කවුරු හරි ඉන්න ඕනේ මළගෙදර වැඩ ටික කරන්න. ඉතින් මම යනවා. ඔයා තුන් මාසෙට ගිහින් ඒ වැඩ ටික කරන්න. ඔයා ඔහෙට ආපු ගමන්ම තියන වැඩ දාලා ඇවිල්ලා හරියන්නේ නෑ. අනික අපි දෙන්නගෙන් කවුරුහරි ඉන්න ඕනේ තුන් මාසෙටත් "
ඉතින් අමාරුවෙන් හරි එවෙලේ මම හිත හදාගෙන මෙහෙ හිටියා. හැබැයි ඒ දවස් ටිකේ හිටියේ කොහොමද කියලවත් හරියට ගානක් නෑ.
හිත හදාගෙන විභාග ඉවර වෙනකම් අමාරුවෙන් හිටියා. විභාගේ ඉවර වෙච්ච ගමන් ලංකාවට ගියා. මම ලංකාවෙන් එද්දී මට කන්න දීලා අපේ අම්මවයි නංගිවයි බලාගන්නම් කිව මනුස්සයා අද කොහෙද ? මම කොහොමද විශ්වාස කරන්නේ ? අයියෝ මම අයියලාගේ ගෙදරට ගොඩ වුනහම මට පුදුමාකාර හිස් හැඟීමක් ආවේ. ජීවිතේට සමීප කෙනෙක් අකාලයේ අපි අතරින් වෙන් වුනහම දරාගන්න තියා ඒ දේ විශ්වාස කරන්නත් අමාරුයි. ඒ අස්සේ අයියගේ ලොකු පුතා ඇවිත් " බාප්පේ, බාප්පේ, ඇයි තාත්තා ආවේ නැත්තේ ?? ඔයාට තාත්තා හම්බ වුනේ නැත්ද ? තාත්තාත් රට ගියා " කියල මගේ ඇඟේ එල්ලුනා. මම මොකක්ද දෙන උත්තරේ ?? මටම හිතාගන්න බැරි උනා. අයියාගේ පැන්චිට එතකොට මාස 4යි. අක්කා පොඩි උන් 3දෙනා වට කරගෙන ඔහේ කල්පනා කර කර ඉන්නවා. ජිවිතේ හැටි... අයියා අපිව දාලා ගියේ 2008 ජනවාරි 15 වෙනිදා . තුන් මාසේ තිබුනේ හරියටම 2008 අලුත් අවුරුදු පහුවුන ගමන්ම වගේ.. 2008 අලුත් අවුරුද්දේ මම ලංකාවේ හිටියා. ඒ අයියගේ දානෙට. අවුරුද්ද ගෙවුනේ අයියාගේ පොඩි උන් එක්ක. මට අවුරුද්ද එපා වුනේ අපේ නෑදෑයෝ කියන සමහරක් අයියාගේ තුන් මාසේ ඉවර වෙන්නත් කලින් රතිඤ්ඤා එහෙම පත්තු කරලා ලිප පත්තු කරලා කියලා ආරංචි උනහම. අයියා ඉන්නකම් පණ යනකම් උගෙන් උදව් එහෙම ගත්ත මිනිස්සු. ඒ විතරක් නෙවෙයි කැවුමක්, කොකිසක් අරන් නෑගම් එහෙමත් ගියා. මට තාමත් එහෙම නෑදෑයොත් එක්ක අවුරුදු කන්න යන්න හිත හදාගන්න අමාරුයි. ඒ නිසයි මම ඊට පස්සේ හැම අවුරුද්දක්ම මඟ ඇරියේ.......
නැකතට රතිඤ්ඤා පත්තු වෙනවා ඇහුනම මට ඇඬුම් ආවේ අයියයි මමයි හැම අවුරුද්දෙම තරඟෙට රතිඤ්ඤා පත්තු කරන හැටි, පාරවල් දිගේ අහස් කූරු ඇරපු හැටි මතක් වෙලා. හැමදාම නෑගම් ගිය හැටි මතක වෙලා. මට හොඳට මතකයි අවුරුදු ගානකට පස්සේ මම සැහෙන වෙලා ඇඬුවා. ඉපදුන දවසේ ඉඳං හැම අවුරුද්දකම අපිත් එක්ක හිටපු අයියා නැතිව අපිට ගතකරන්න වුන පලවෙනි අවුරුද්ද. මට වගේම අයියගේ වියෝව බාප්පාගේ පුතාටයි, දුවටයි දරා ගන්න බොහෝම අමාරුවුනා. තව අදටත් මට හැම දවසෙම අයියාව දවසට කීප වතාවක් මතක් වෙනවා. මොනවා දැක්කත්, මොනවා ඇහුනත් ඒ දේවල් අතීතයේ අපි දෙන්නටම සම්බන්ධ වෙලා තියනවා... ඒ නිසාම හැමවෙලේම ඒ මතකය මාත් එක්ක ජිවත් වෙනවා. ඒ පාර නිවාඩුව ඉවරවෙලා ලංකාවෙන් ආවත් ඒ දුක, ඒ වියෝව, ඒ අඩු පාඩුව තාමත් හිතේ එහෙමමයි.....
අයියා වෙනුවෙන් මට කරන්න තියන එකම දේ අර පොඩි උන් 3 දෙනාගේ අනාගතය ලස්සන කරන එක. අයියාගේ පැටව් 3දෙනා යහපත් මිනිස්සු විදිහට මේ සමාජයට එකතු කරාට පස්සේ තමයි මම අයියා වෙනුවෙන් යුතුකම් ඉෂ්ටකලා වෙන්නේ. එදාට නම් මට අවුරුදු වගේ තියෙයි. අයියා අපි අතරින් වෙන් වෙලා අද වෙද්දී අවුරුදු 3යි මාස 3 කුත් ගෙවිලා. දැන් අපේ පොඩ්ඩි ඇවිදිනවා, පණ්ඩිත කතා කියනවා, එක එක කෝලං ගොඩයි. ලොකු පුතා ඉස්කෝලේ යනවා. අනේ මේ දේවල් දකින්න අයියාට ඉන්න වාසනාව නැතිවුනා. ඒත් අයියා කොහේ හරි ඉඳං මේ දේවල් බලාගෙන ඇති කියලා විශ්වාසයි...... මමත් මේ රටක හිර වුන නිසා මටත් උන් එක්ක ගෙවන්න තියන කාලය සීමිත වෙලා..... නැවත ඉපදෙන ආත්මයක මගේම අයියා වෙලා ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතුනත් එහෙම ආත්මාර්ථකාමී ප්‍රාර්ථනාවක් කරන්න මට හිත දෙන්නේ නෑ.... ඒ නිසා අයියාට මේ සසර ගමනේ තවත් ඇලී ඇලී දුක නොවිඳ මේ සසරෙන් එතර වෙන්න මාර්ගයක් විවෘත වේවා!!!
කසුන් අයියාට නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!
හොඳ මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ ටික කාලයයි..මොනවා උනත් මල්ලි වගේ හිතන මිනිස්සු අද දවසේ බොහොම හිඟයි.. තාත්ත නැති පාඩුව ටිකක් හරි නැතිවෙනවා ඒ ආදරය නිසා. එකම ඇති උඹට නිවන් දකින්න මල්ලි.
ReplyDeleteනෑ අයියා..... මම උන් 3දෙනා වෙනුවෙන් මොනවා කරත් ඒ කරන්නේ නිවන් දකින්න හෝ වෙනත් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. කවදා හරි කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් වෙන්න පොඩ්ඩෝ තුන්දෙනා හැදුනොත් විතරයි අපිට සතුටින් ඇස් පියාගන්න පුළුවන් වෙන්නේ... නැතිවුන මගේ අයියටත් කවදාවත් පොඩ්ඩෝ නිසා මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න ඉඩ තියන්න බෑ... උන් සමාජයට බරක් නොවෙන්න හැදුන දවසක අයියත් කොහේ හරි ඉඳං බලන් ඉඳලා සතුටුවෙයි.....
ReplyDeleteමට මේ ගැන කියන්න වචන එන්නෙ නෑ අයියේ.
ReplyDeleteඔයා ඔය කරන දේ ගැන ඔයාටම පැත්තකට වෙලා සතුටු වෙන්න පුලුවන් දවසත් එයි...
කසුන් අයියට නිවන් සුව ලැබේවා...
ඔය නෑදෑයො කියන අමයගෙන් බහුතරය ඉන්නෙ අපි කන්න දෙනකන් විතරයි
එහෙම තමයි ඉතින් ජිවිතේ හැටි. අපිට ඕනේ විදිහට ගලාගෙන යන්නේ නෑනේ.... බලමු මල්ලි. කවදා හරි මගේ අතින් වෙන්න තියන දේවල් වුන දවසට එහෙම සතුටු වෙන්න පුළුවන් වෙයි.....
ReplyDeleteඅපේ ජීවිත වලට හුඟක් ළඟ කවුරු උනත් අපිව දාලා යන එක දරා ගන්න හරි අමාරුයි තමයි අයියා..කසුන් අයියා වගේ හදිස්සියෙ නෙමෙයිනෙ මගෙ ආච්චි අම්මා නැති වුනේ.
ReplyDeleteවැඩක් නැතුව මමත් ගෙදරට වෙලා හිටිය අවුරුදු දෙකේ ආච්චි අම්මට මමයි මට ආච්චි අම්මයි හැම දේටම.අපි දෙන්න එකතු වෙලා පිරිත් කියනව, කවි කියනව, ඇත්තටම කිව්වොත් මුලු දවසෙම පිස්සු නටනවා. මටත් තාම ඒ මතකෙන් ඈත් වෙන්න බෑ අයියා.දවසෙ දහ දොලොස් පාරක් ආච්චි අම්මා මතක් වෙනවා.මේ ලෝකෙ වෙන කාටවත්ම දැනෙන්නෙ නැති තරම් ආච්චි අම්මා නැති පාලුව මට දැනෙනවා..
අයියා කියනව වගේ කවද හරි දවසක පොඩ්ඩො තුන්දෙනා රටේ හොඳ මිනිස්සු වුනහම කසුන් අයියා ඒ තුන්දෙනා ගැන වගේම ඔයා වගේ මල්ලි කෙනෙක් එයාට හිටපු එක ගැනත් ගොඩක් සතුටු වෙයි...කසුන් අයියට නිවන් සුව ලැබේවා!!