Sunday, May 15, 2011

රෝද තුනේ කතා

මම මීට සැහෙන කාලෙකට කලින් ත්‍රී වීලර්  එක ගැන විස්තරයක් ලීවා.  මේ ලියන්නේ ඒ රෝද තුන සම්බන්ධ සිද්ධි දෙක තුනක්.  ලංකාවේ අපිට ඔය රෝද තුනේ වාහනය හරිම සමිපයිනේ.

පලවෙනි සිද්ධිය
මට මතක විදිහට එදා වෙසක් පෝය හරි පොසොන් පෝය හරි දවසට පහුවදා දවසක්. මමයි මගේ යාළුවො කීප දෙනෙකුයි හවස් වරුවේ පාරට ආවා. පාර කිවේ කොළඹ නුවර පාරට. හවස් වීගෙන එනකොට ඉතින් වාහන පෝලිමේ එලියට බහිනවනේ එදාට. වෙසක් සැරසිලි බලන්න. පන්සල් යන්න. දන්සැල් කන්න. එදාට ඉතින් පාරට නිවනක් නෑනේ.  අපි තුන් හතර දෙනා පාරට අද්දරට ආවහම දැක්කා පොලිසියේ ඈයෝ දෙන්නෙකුත් පාරට වෙලා ඉන්නවා. ඉස්සර හැබැයි වෙසක් එකට එහෙම එච්චර පොලිසියෙන් පන්න පන්න වාහන ගැන බලන්නේ නෑනේ. මොකද එහෙම බලන්න වෙලාවක් නෑ.  මාර්ග තද බදය නිසා වාහන හසුරවන්න තියනවනේ. ඒත් අපිට තේරුණ විදිහට නම් දෙන්නා දඩ කොළ ලියනවා.  වැඩේ පොඩි ගතියක් තිබ්බා වගේ දැනුන නිසා අපිත් ඒ පැත්තට කිට්ටු කළා.

 ඔය අස්සේ මහා සද්දෙට සින්දුවක් එහෙම දාගෙන ආවා රෝද තුනක්. කොටින්ම කීවොත් ඒක දුවන  කැසට් එකක්. ඒකේ එලවන එකාගේ දෙපැත්තේත් දෙන්නෙක් එල්ලිලා පොල් පටවලා වගේ පිටිපස්සේත්. පොලිස් ලොක්කා දැම්මා අත. වාහනයත් නතර වුනා. දෙපැත්තේ හිටපු උන් දෙන්නා පැන්න එලියට. ඩ්‍රයිවර් කොලුවත් බැස්සා." ඔන්න ඔය කන්කරච්චලේ නතර කරනවා ඉස්සෙලා. ගන්නවා බලන්න ලයිසන්, ඉන්ෂුවරන්ස්. මේකේ කීදෙනෙක් ඉන්නවද ??? හා හා බහිනවා බහිනවා ඔක්කොමල්ලා." පොලිසියෙන් පුරුදු විදිහටම සද්දේ දැම්මා.  ඔන්න පිටිපස්සේ හිටපු උන් එකා එකා අමාරුවෙන් බහිනවා. එක පොලිස් උන්නැහේ කෙනෙක් ලයිසන් ඉන්ෂුවරන්ස් වලට සද්ද දාන අතරේ අනිත් මනුස්සයා ත්‍රි වීලර් එකෙන් බහින උන් ගනිනවා. ඒ අස්සේ වීල් එක එලවාගෙන ආපු ගැටයා " අනේ සර් ලයිසන් ඉන්ෂුවරන්ස් මුකුත් නෑ. මේක අයියගේ ත්‍රිවිල් එක. වෙසක් හින්දා පොඩ්ඩක් ඇවිදින්න ආවේ. අනේ සර් දඩ නම් ලියන්න එපා. අයියා මාව එල්ලයි." කියා කියා නහයෙන් අඬනවා.
මේ කියවන ඔයාලා විශ්වාස කරයිද මන්දා ඒ ත්‍රිවිල් එකේ පිටිපස්සේ ඉඳං කොල්ලෝ 6ක් බැස්සා. ත්‍රිවිල් එකෙන් බැස්ස කොල්ලෝ ගණන් කර කර හිටපු පොලිස් උන්නැහේ කතා කළා සගයට. " මේ මේකේ පිටිපස්සේ 6 යි. ඉස්සරහ දෙපැත්තේ එල්ලිලා ආපු උන් 2යි, එලවපු මනුස්සයයි ඔක්කොම 9යි. වෑන් එකකට හරියන සෙනග" කියලා කියද්දීම තවත් එකෙක් බැස්සා ත්‍රි වීල් එකෙන් එලියට. ඒක තමයි මේ සිද්ධියේ උණුසුම්ම ජවනිකාව. පොලිස් උන්නැහලාගේ කටවල් අරුනා, ඇස් දෙකක්ත් පැන්නා එලියට. අපිටත් හිනා අර කොලු ගැටයා හීන් සීරුවේ එලියට ආපු හැටි දැකලා.

" තමුසෙත් මෙකෙද ආවේ?? කොහෙද ඔයි මේකේ තමුසෙට එන්න ඉඩ තිබ්බේ ??? " ඔන්න පොලිසියේ ප්‍රශ්නේ. "අනේ සෑර් මම ආවේ බක්කියේ " කොලුවා බය පක්ෂපාතිව උත්තර දුන්නා. " මොන බක්කියක්ද අයිසේ ? " නැවතත් පොලිසියේ අවස්ථාව. ඒ පාර කොලුවා අර පිටිපස්සේ සීට් එකට පිටිපස්සේ තියන පොඩි ඉඩ පෙන්නුවා.
" තමුසෙලා මේ ආපු විදිහට තමුසෙලට තෑග්ගක් දෙන්න ඕනේ. බලනවා දැන් වැරදි කීයක්ද ? දඩ කියලත් කීයකට ගහන්නද ??? " පොලිසියෙන් යනවා දේසනාව. අපිටත් හිතුනා දඩ ගණන් බලලා ගැටයෝ සෙට් එකට හොඳ තෑග්ගක් දෙයි කියලා.  ගැටයෝ කිවේ උන් අවුරුදු 16, 18 වගේ කොලු ගැටව් ටිකක්. කොහොම හරි පැය බාගෙක විතර දේසනාවකින් පස්සේ කට්ටියව හරවා යැව්වා. එතනින් එහාට යන්න දුන්නේ නෑ. දඩ ගැහුවෙත් නෑ. කොල්ලෝ ටිකත් දේසනාව අහලා සාධු කාරයක් එහෙම දීලා වෙසක් බැලිල්ල පැත්තකින් තියලා ගියා. ඔන්න වෙසක් ළඟ හින්දා කියන්නේ වෙසක් කියලා මාර්ග නීති වෙනස් වෙන්නේ නෑනේ. පාරවල් පුරා  සෙනග නිසා කවුරු කවුරුත් පරිස්සමින්.

දෙවැනි සිද්ධිය 
 තව දවසක් මම හවස ටවුන් එකට යන්න බස් එකක් එනකම් ඉන්නවා හන්දියේ... ඒ වෙලාවට හන්දියේ කට කපලා සෙනග. වැඩ ඇරිලා යන උදවිය, පන්ති ඇරිලා යන ගෑනු ළමයි, වැඩ ඇරිලා යන ගෑනු ළමයි.... ජනගහනය බොහොම වැඩියි. ඔය වගේ වෙලාවට වැඩ පෙන්නන්න කැමති ඈයෝ ඉන්නවනේ. මම ඉන්නකොට එහෙම ඈයෙක් රෝද තුනක පිඹගෙන ආවා. ආපු ගැම්මටම වැඩ කාරයා වගේ හැරෙව්වා හන්දියෙන්. ගෙම්බා පොලේ ගැහුවා වගේ පාර මැද්දෙම පෙරලුනා ත්‍රි වීලර් එක. මොකෝ ත්‍රී වීල් එක කියන්නේ ජෙට් එක වගේ උඩින් යන්න තියන වාහනයක් නෙවෙයිනේ. වේග සීමාවත් 40යි. ඒ තත්පරේට ත්‍රි වීලර් හාදයා ඔලුව දාලා " මට කිසිම අවුලක් නෑ. කවුරුත් කලබල වෙන්න එපා. " කියලා හන්දියටම ඇහෙන්න කෑගහලා අපි දුවගෙන යන ටිකට ත්‍රි වීලර් එක කෙලින් කරගෙනත් ඉවරයි. විලි ලැජ්ජාව සහ වටේ ඉන්න අයගෙන් බැනුම් අහන්න වෙන නිසා මිනිහා තත්පරෙන් මාරු. කව්දෝ එකෙක් කිවා " මිනිහට නිතරම වැඩ පෙන්නන්න ගිහින් ඔහොම ඒවා වෙනවා. ඌට ඕවා හොඳට පුරුදුයි " කියලා. ඌට විතරක් නෙවෙයි ත්‍රී වීල් එකටත් ඒවා හොඳට පුරුදුයි කියලා හිතුනා කිසිම හාවක් හූවක් නැතුව ගිය විදිහ දැක්කහම.  ඔන්න වැඩ පෙන්නන්න යන අයට වෙන දේවල්. ආදර්ශෙට ගන්නවා හොඳයි.

තුන්වැනි සිද්ධිය
මේක අපේ ගෙවල් පැත්තේ කොල්ලෙක්ට හයර් එකක් ගිහිල්ලා වෙච්ච වැඩක්. මනුස්සයා රෑ මල ගෙදරක ගිහින් හයර් එකක්. ගිහින් තියෙන්නේ මිරීගමට. වරකාපොල ඉඳං මීරිගමට යන්න තියන පාර මහා අහීමාන පාරක්. කොල්ලා හයර් එක ගිහින් රෑ 2ට විතර එනවලු. හයර් එක ගියපු අයියයි මූ දෙන්නා විතරයි ත්‍රි වීල් එකේ. ඔහොම එනකොට එක පාරම මුන් දෙන්නා දැකලා කෙල්ලෙක් ඉන්නවා පාර අයිනේ.... මළගෙදරක ගිහින් මහා රෑ 2ට විතර පාලු පාරක එනකොට ගෑනු පරානයක් දක්කහම මතක් වෙන්නේ කව්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.  ඔව් ඔව්... මෝහිනී අක්කා තමයි මතක් වෙලා තියෙන්නේ දෙන්නටම. එක පාරටම දෙන්නා ගැස්සුනත් කව්ද දන්නේ හදිසි ලෙඩෙක්, එහෙම නැත්නම් කරදරයක්ද කියලා කෝකටත් පොඩ්ඩක් බලමු කියලා ටික දුරක් ගිහින් නැවත්තුවලු. මෙන්න අර හිටපු කෙල්ල ලොකු බෑග් එකකුත් උස්සගෙන දුවගෙන ඇවිත් වීල් එකට නැග්ගලු. අරුන් දෙන්නා හොඳටම බය වෙලා. බෑග් එක තිබ්බට පස්සෙයි කෙල්ල ත්‍රිවිල් එකේ හිටපු එකාගේ මුණ දැකලා තියෙන්නේ. ඒ පාර කෙල්ල කෑගහගෙන ත්‍රිවිල් එකෙන් පැනලා. පිටිපස්සේ හිටිය එකා බෑග් එකත් එතනම බිමින් තියලා දෙන්නම පිඹගෙන ඇවිල්ලා ගෙදරම. කොහොමහරි 3දෙනාම බය වෙලා. පහුවදා ආරංචි කරලා බලද්දී අනේ ඒ පැත්තේ කෙල්ලෙක් රෑ පැනලා ගිහිල්ලලු. මුන් දෙන්නට හම්බ වෙලා තියෙන්නේ ඒ කෙල්ල. ඒකි හිතලා තියෙන්නේ ත්‍රි වීල් එකේ ආවේ කෙල්ලගේ කොල්ල කියලා. වැරදි ත්‍රි වීල් එකට නැගලා.

ත්‍රි වීලර් ගැන නම් තව කතා ගොඩක් තියනවා. ඒත් මෙහෙම එක පෝලිමට මාගල වගේ ලියන්න බෑ. අයෙ නිවාඩු වෙලාවක දාන්න බැරියෑ..........

11 comments:

  1. අන්තිම එක තමා පට්ට :D

    ReplyDelete
  2. සිරා කතා ටික.
    අන්තිම එක තමයි සිරාම.

    ReplyDelete
  3. පලවෙනි සිද්ධිය,
    මං හිතාගෙන හිටියේ අපි රෙකෝඩ් එකක් තිබ්බ කියල බග් ෆියට් එකක 13 දෙනෙක් ගිහිල්ල ගම්පහ ඉඳල මීරිගමට සහ ආපසු. මේ ආට කාරය අපේ රෙකෝඩ් එක කඩල ඇඟට නොදැනි

    දෙවෙනි සිද්ධිය,
    මේකත් දැක්කෙ නුවර පාරෙ, අපි ඉස්කෝලෙ යන කාලෙ. බයිසිකල් රේස් පදින්න පුරුදු වෙන එකෙක් මොන වෙඩිමක් වෙලාද මන්ද පෙරේතය පොලොවෙ ගැහුවා වගෙ බයිසිකලෙත් එක්ක ඇදගෙන වැටුන. මෑන් වැටෙන්නත් ඉස්සෙල්ල වගෙ නැගිට්ට, නැගිටල ඔලුවෙන් පෙරෙන ලේ පිහ දදා කියනවා "වැඩ දන්න හින්ද බේරුනා" කියල.

    තුන්වෙනි සිද්ධිය,
    ඒ ගැන නං එක්ස්පීරියන්ස් නැහැ, මං දන්න පොරක් ඉන්නවා ෂුවර් එකටම ත්‍රී වීල් ගැන දන්න, උගෙ නම "ඕනය" පොර කියය් ඒ ගැන.

    ReplyDelete
  4. @ පිසාචයා සහ චන්දික - ඇත්ත ඇත්ත..... අන්තිම එක තමා පට්ටම. පලවෙනි එක කිවට බෑ..... අරූ හුම්බහෙන් ඇදලා දාපු එකා වගේ එලියට ආපු හැටි දකින්නම ඕනේ. කීවට එච්චර රහක් නෑ....
    තව සිද්ධි නම් බර ගානක් තියනවා. වෙලාව තියන විදිහට ලියන්න බලන්නම්.

    @ ඔබා මාමා - හේ හේ හේ.... ඔය වගේ ගමනක් ගියා අපිත්. ලාන්සර් බොක්ස් එකක. කාර් එකේ 11ක් ගියා. ආ.. මරුටියක 8 දෙනෙක් ගිහිල්ලත් තියනවා. හැබැයි වැඩි දුරකට නෙවෙයි. බරු ගහ ගන්න උන් ලැජ්ජාවට වෙන මොනවා කියලා කියන්නද ???

    ReplyDelete
  5. ගොඩය මල්ලිට ත්‍රී වීල් නැතුවම බැරි පාරටයි.. අර කෙල්ලට පස්සේ බග් එක ගෙනිහින් දෙන්න ඇති.. මට උන වදෙඅක් කියන්නම්.. මන් ඒ කාලේ මගේ දෙවෙනි බයික් එක (CM125 අර හැන්ඩ්ල් නමපු එක.. මට ඕක ගන්න සැහෙන උණක් තිබ්බේ ) අරගෙන මං ඉතින් අය්ය වගේ යනවා ආමර් වීදියේ. සිග්නල් එක වැටුනාම මං ඉතින් නමල කරලා රුන් ගාල තමයි වැඩ දාල වංගුව අරන් මරදාන පැත්තෙන් ජේතවනාරාම පැත්තට දාන්නේ . ඊට පස්සේ රිංගල ඊගහ වගේ යන්නේ. පන පිටින් තාම ඉන්න එක පුදුමයි. ඔන්න එදා මම ඔහොම එනවා. හිටිගමන් ත්‍රී වීල් එකක් පාර බෙදෙන දුපත් දෙක අතරේ ඉඩෙන් මේ පැත්තට දැම්ම. මට රිංගන්න ඉඩක් වත් බ්රේක් ගහන්න කාලයක්වත් නැහැ.. කෙලින්ම ගිහින් ත්‍රී වීල් එකේ පැසෙන්ජර ඉඩෙන් උඩට නැගල නැවතුනේ.. තුවාල නෑ. ඌ කියනවා " මහත්තය පුදුම විදිහට නේ එලවන්නේ ?... ඔයත් මහා මෝඩ විදිහටනේ යන ට්‍රැෆික් එකට හොම්බ දැම්මේ ? මන් කිවුව.. ඌත් වරද කාරය මාත් වරද කරය.. ඉතින් හිනාවෙලා කතාව වැහුව..මගේ කෙල්ල මං බැඳපු ගමන්ම මට කෙඳිරි ගාල බයික් එක විකුනවවුව.. අපරාදේ මට තාමත් බයික් උන බැහැල නෑ .. හොඳ එකෙක් දැක්කම අතගාල බලනවා.. යන උන් දිහාත් කෑදර කමට බලනවා.. කාර් එක එලවන්නෙත් අර විදිහටම තමයි.. ඒ මොකද දන්නවද ? හෙමින් ගියාම අනතුරුදායකයි..

    ReplyDelete
  6. @ සුළගිල්ල - තෑන්ක්ස්......

    @ ලංකාප්‍රිය - අනිවාර්යයෙන්..... ඉස්සර හැමදාම හවසට ත්‍රිවීලර් පාර්ක්‌ එක පැත්තේ එන පුරුද්දක් තිබ්බා.. ඇවිල්ල ඉන්න උන් එක්ක කයිය ගහලා රස කතා ටිකක් අහලා ලේ පිරිසිදු කරගෙන තමයි ගෙදර යන්නේ. කොටින්ම කිවොත් තාර පාර දැක්කේ නැත්නම් රෑට නින්ද යන්නෙත් නෑ... ඇයි දෙයියනේ මම කිවේ බෑග් එක එහෙම්මම පාරේ බිමින් තියලා උන් දෙන්නා ඇවිල්ලා තිබ්බේ කියලා.
    බයිසිකල් ගැන කතා කරනවා නම් මගේ අන්ඩ යාන්තම් ගාවන්න පුළුවන් කාලේ ඉඳං මමත් බයිසිකල් පදිනවා. මුලින්ම පැද්දේ තාත්තගේ 125 එක. අන්තිමට තිබ්බේ බජාජ් පල්සර් 180ක්. ලංකාවෙන් එද්දී ඒක් වික්කා. ඔය බයිසිකල් දෙක අතරට ඔය අවුරුදු 7,8ට මම බයිසිකල් බර ගානක් මාරු කරා. දෙපාරක් පොඩි අනතුරු වෙලා තියනවා. මමත් හිමින් යන්න දන්නේ නෑ.... රෙකෝඩ් කීපයක් තියනවා. අපේ තාත්තයි, අම්මයි කියවන නිසා මෙතන ඒ රෙකෝඩ් ගැන නම් කියන්නේ නෑ. තාමත් මගේ ප්‍රියතම වාහනය මෝටර් සයිකලය.....

    ReplyDelete
  7. අන්තිම කෑල්ල කියවලා මට තාම මැරෙන ගානට හිනාව නවත්තගන්න බැරිව ඉන්නවා මලේ . . හෆොයි . . .අද ඔෆීසියේ කවුරුත් නැති හින්දා හොඳා . . ඒ ටික මැවිලා පේනවා පේනවා වගේ බන් . . .

    ReplyDelete
  8. @ දුකා අයියා - එහෙනම් එච්චරයි.....අම්මෝ කවුරුහරි හිනස්සවනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද ???? මට හෙනම සතුටුයි... ඔය සීන් එක ඌ අපිට කියපු විදිහට අපි විනාඩි 10ක් විතර හිනා වුනා....

    ReplyDelete
  9. ත්‍රී වීල් ගැන කියනවනං මචෝ . . . . මගෙ අතිජාත මිත්‍රය වෙච්චි සුදුවට තිබුන 11ශ්‍රී බාන්ඩයක්. ඩ්‍රයිවිං සීට් එක යට ඇංජිම තියන චේන් දෙකකින් දුවන අයිටම් එකක්. එක කාලෙක ඔය වාහනේ ඇංජිමේ දිගට හරහට ගෑස්කට් යන්න පටං ගත්ත. ඒ නිසා ඕනෙම වෙලාවක රෙක්සින් එක අස්සෙ ගහල තිබුන අමතර ගෑස්කට් කීපයක්. කරන්න ඕනෙ ගෑස්කට් එක අවුල් උන ගමන්ම වාහනේ නවත්තල ඇංජිමේ හෙඩ් එක ගලවල වෙන ගෑස්කට් එකක් තියල හෙඩ් එක වහන එක විතරයි . . . අන්තිමට අපිට ඕය වැඩේ කොච්චර ටොයිස් උනාද කිවුවොත් . . . වාහනේ යන ගමන් හිටි ගමන් සුදුව කෑගහනව "ගෑස්කට් ගියෝ" කියල. එහෙම කෑගහගෙන ඌ ඇංජිම නවත්තල හිටගන්නව. අපි පිටිපස්සෙං හරස් බාර් එක උඩිං නැමිල ගැස්කට් එක මාරු කරනව . . . . ඊට පස්සෙ අරූ ටක් ගාල වාඩි වෙලා ගියර් එක දානව . . . වාහනේ හෙනම ස්ලෝ වෙලා තිබුනොත් පස්සෙ එවුං ඩෙන්න බැහැල සු‍ටුස් ගාල තල්ලුවක් දාල වාහනේට පනිනව . . . ඔය සම්පූර්න සිද්දිය වෙන්නෙ ආට එක නවත්තන්නෙ නැතුව යන ගමන්මයි . . . .
    ඔය සීන් එක 96, 97, 98 කාලෙ කෝට්ටෙ නාගවිහාරෙ හරියෙ, රජමහ විහාර පාරෙ සුලබ දර්ශනයක්.

    ReplyDelete
  10. @ ඕනයා - අනේ අම්මෝ.... 11 ශ්‍රී කාර් නම් දැකලා තියනවා. හැබැයි ත්‍රි වීලර් ගැන නම් මතක නෑ. මතක විදිහට 15 ශ්‍රී එකක් නම් දැකලා තියනවා. එන්ජිම ඉස්සරහා හින්දා හොඳා.. එන්ජිම පස්සේ තියන අලුත් මොඩල් එක උනා නම් සොරිම තමයි..... මගෙත් තිබ්බා ඉස්සර හොන්ඩා 125 ටුවින් එකක්. එන්ජිම ගෙවිලා හැම වෙලේම ප්ලග් වලට තෙල් ගහනවා. ඉතින් කොල්ලා දුර යනවනම් සාක්කුවේ ප්ලග් 3ක් 4ක්. ඒ විතරක් නෙවෙයි එන්ජිම හදනකම් බයිසකලේ ගහන්න පුළුවන් හැම අස්සක මුල්ලකම ප්ලග් හොයාගන්න තිබ්බා. ඕනේ තැනක නැවතිච්ච ගමන් විනාඩියෙන් මාරුකරනවා ප්ලග් එක.

    ReplyDelete