Tuesday, December 20, 2011

අලි වංගුව

අලි කෙලි පෝස්ට් එකේ ඉතුරු කෑල්ල තමයි මේ ලියන්න හදන්නේ... සෑහෙන දවසකින් මුකුත්ම ලියන්න බැරිවුනා. අලි වංගුව කීවට මේක අර මයියංගණයේ දහ අට වංගුවේ වගේ වංගු ගැන නෙවෙයි. මේ ලියන්න යන්නේ අලි මාරු වෙන වංගුවක් ගැන. අලි කෙලි පෝස්ට් එකේ කීවනේ අම්පාරේ කාලයක් කරක් ගැහුවා කියලා. අපි ගියේ අපේ යාළුවෙක්ගේ ගෙයක් හදන එකකට උදව්වක් දෙන්න. අපි නැවතිලා හිටියේ අම්පාරේ වුනාට අපේ යාළුවාගේ ගෙවල් තිබ්බේ මධ්‍යම කඳවුර කිට්ටුව. ඔහොම කීවට කීදෙනෙක් දන්නවද දන්නේ නෑ. මයියංගණේ අම්පාර පාරේ අම්පාරට කිලොමීටර් 10ක් විතර තියෙද්දී හම්බවෙනවා උහන හංදිය. අන්න ඒ හන්දියෙන් හැරිලා තමයි ඔය මධ්‍යම කඳවුරට යන්නේ. සඳරු මල්ලි නම් ඉස්සව්ව දන්නවා තක්කෙටම.


දවසක් වැඩ ඉවර වෙලා එහෙම අපි නැවතිලා ඉන්න තැනට එන්න ලැහැස්ති වෙද්දි අපිත් එක්ක වැඩ කරන්න බැහැලා හිටපු ගමේ කොල්ලො ටික පොඩි සාජ්ජයක් දාන්න සූදානම. ගෙපොල එහෙම කපලා අහවර වෙච්ච දවස. අපිටත් වැඩේට සහභාගි වෙන්න කියලා බේරෙන්න බෑ. දිගටම වැඩ කරලා මහන්සි එකේ පොඩි ආතල් එකක් ගන්නයි කට්ටිය ලැහැස්තිය. ගමේ සෙට් එකම එකතු වෙන එකේ අපිට බෑ කියන්නත් බෑ. ඒත් දාඩිය පෙරාගෙන මොන සාජ්ජද? අපි ටවුං එකට ගිහින් නාගෙන පොඩ්ඩක් මහන්සිය එහෙ මෙහෙ කරගෙන එන්නම් කියලා ආවා අපි හිටපු තැනට. අර මම කලින් පෝස්ට් එකේ කීවේ ලාන්සර් බොක්ස් එකක් ගැන. ඔය රෝද හතර තමයි තිබ්බේ එහෙට මෙහෙට දුවන්න. කට්ටියම ඇවිල්ලා නාකියාගෙන බොක්ස් රථෙම නැගලා ඔන්න ගියා හත හමාර විතර වෙද්දි ගමට. යද්දි වැඩේ නැගලා යනවා. බෝතලුත් 5ක් 6ක්. කාර් එක එළවගෙන ගිය අයියයි මමයි වැඩේට සම්මාදන් වෙන එක ප්‍රතික්ෂේප කරා. මොනවා වුනත් නොදන්න පළාතක මොන අවුලක් ගියත් එකෙක් දෙන්නෙක් හරි සිහියෙන් ඉන්න එපැයි පොලිසියටවත් ගිහින් කියන්න. මොකද ඒ දවස් වල කොටි කලබලත් තිබුනා.

අනිත් තුන් දෙනා ඔන්න වැඩේට අත ගැහුවා. අපි දෙන්නත් ඉන්නවා දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා. ආතල් ගත්තා වගෙ නෙවෙයි සිහියෙන් ඉන්න අපි දෙන්නට මතක් වෙනවා ඉන්න පලාතේ තියන අවදානම. කොහොම හරි රෑ 9.30 විතර වෙද්දි අරුන් තුන්දෙනාව ගලවගෙන අපි ආවා. උහන හන්දියටත් ඇවිල්ලා ඔන්න දැම්මා අම්පාර මයියංගණය පාරට. ඔය පාරේ අම්පාර කිට්ටුවෙද්දි කැලෑවක් තියනවා. ඔන්න දැන් ඒ හරියටත් ආවා. කිසිම ආබාධයක් අතුරු ආන්තරාවක් නෑ. අරුන් 3 දෙනා පිටිපස්සෙ ඉඳං බයිලා ගහ ගහ එනවා. අපි දෙන්නා ඉක්මණට ටවුං එකට එන්න දඟලනවා. ඒ කාලේ ඔය පාර හවසට වහනවා. ඕවා මේවා ඔක්කොම අපි දෙන්නගෙ ඔළුවේ. අරූන්ට ගාණක්වත් නෑ.අනේ දෙයියනේ කියලා කැලෑව මැදට වෙද්දි මෙන්න මේ මඟුල හුචක් හුචක් ගාලා දෙපාරක් තුන් පාරක් ගස්සලා හිටියේ නැතෑ.....  අපි දෙන්නට තරු පිට තරු.....    හැබැයි වාහනේ ලංකාවේ වටේ ගියත් ලෙඩ දුන්න භාණ්ඩයක් නෙවෙයි. එහෙව් එකේ මෙහෙම වෙලාවක වෙච්ච නස්පැත්තිය. කාර් එක එලවගෙන ආපු එකා ඔළුවේ අතගහගෙන " හුටා පෙට්‍රොල්" කියපි. මම දන්න විදිහට වාහනේ දීවේ වායුවෙන්. අර ඇල්.පී ගෑස් ටැංකියක් බැඳගෙන. එහෙව් එකේ මොන පෙට්‍රොල්ද?
 "ඇයි අයියේ ගෑස් වලට මොකද වුනේ? "
" අනේ මල්ලියේ හවස යද්දි ගෑස් ඉවරවුනා. පෙට්‍රොල් වලට මාරු කරගෙන දීවේ. යද්දි පෙට්‍රොල් ගහගන්නම් කියලා ගියේ. ඒත් අමතක වුනා"
ඔන්න වෙලා තියන සන්තෑසිය. හරිම ශෝක්. කාට කියන්නද මේවා ? කාලා වරෙන්කො. මේ මහ රෑ කැලෑව ඇතුලේ මොන පැට්‍රොල්ද? කෝකටත් අපි දෙන්නා බැහැලා ඩිකියේ තියන හිස් කෑන් එක ගත්තා. මොකක් හරි යන වාහනයක් නවත්තයිනේ, අඩු ගානේ ආමි එකෙන් නැත්නම් එස්.ටී.එෆ් එකෙන්වත්. ඔන්න විනාඩි 10ක් විතර යද්දි වාහන එලියක් එනවා.අත පය ඔක්කොම දාලා නවත්තන්න කීවත් මොන ඇරලා තියලා යනවා. ආයෙත් ඉන්නවා මොකක් හරි එයි කියලා. මොකද ගාලු පාරේ වගේ වාහන යනවා කියලද? ඔහොම පැය භාගයක් විතර ඉන්නකොට (ඔය පැය භාගෙටම වාහන තුනක් නැත්නම් හතරක් යන්න ඇති) ත්‍රී විල් අයියෙක් ඇවිත් නවත්තලා මොකද කියලා ඇහුවා. විස්තරේ කියන්නත් කලින් බූලියයි අර අයියවයි දාගෙන ත්‍රී විල් එක ඉගිලුනා. මම කෝකටත් නැවතුනා මොනවා හරි වුවමනාවකට කතා කරන්නවත් එකෙක් ඉන්න එපැයි අරුන් තුන් දෙනා ළඟ.වෙරි මරගාතේ මොනවා කරයිද කවුද දන්නේ?
දැන් මෙන්න මෙහෙමයි සිද්ධිය. රෑක මහ කැළෑවක් මැද්දේ වෙරි කාරයෝ තුන්දෙනෙක්ගේ සහ අර වන්ඩියේ මුරට මම ඉන්නවා. ඒ අස්සේ අරුන් තුන්දෙනා කාර් එකෙන් බැහැගෙන විකාර කරනවා. පාර මැද්දෙ සින්දු කියන්න හදනවයි, සුළු දිය පහකොරන්න හදනවයි, රටේ නැති පිස්සු. ඒ අස්සේ එක එක මාතෘකා. දැන් කොටි ගැහුවොත් මොකෝ කරන්නේ? අලි ගැහුවොත් මොකෝ කරන්නේ? හොරු ආවොත් මොකෝ කරන්නේ? එක එක විකාර.ඒ අස්සේ මට හිතෙනවා පැට්‍රොල් හොයන්න යං කියලා  මූ ඉස්සුවාවත්ද කියලා.  ඇයි යකඩෝ පැට්‍රෝලුත් නැති එකේ අරූව උස්සලා තියන ඒවා හූරගෙන කැලෑවට තල්ලු කරත් කව්ද දන්නේ? ඒත් උගෙන් හූරන්න දෙයක් නම් තිබුනේ නෑ. ඒ වෙද්දි හොඳටම හිඳිලා හිටියේ. පැට්‍රොල් ගහන්න අමතක වෙන්න ඇත්තෙත් ඒ නිසා. ඔය ඔක්කොම අස්සේ මම සියළු දෙවි දේවතාවුන් සිහිකරගෙන අනේ අර ගිය එකාට ඉක්මණට පැට්‍රෝල් ලැබේවා කිය කිය හිතින් මතුර මතුර ඉන්නවා. තවත් විනාඩි විස්සක් පැය භාගයක් ගිය තැන අර රෝද තුන ගියාටත් වඩා වේගෙන් ආවා.
ඇවිල්ලා අපේ එකාවත් බස්සලා
 "මල්ලිලා ඉක්මණට තෙල් ටික දාගෙන ගහලා බලන්න. වෙන ලෙඩක්ද දන්නෙ නෑනේ. ස්ටාර්ට් නොවුනොත් එහෙම" කියලා ත්‍රීවිල් අයියත් ස්ටාර්ට් එකේම ඉන්නවා.
අපි දෙන්නත් පැට්‍රෝල් ටික දඩ බඩ ගාලා හලාගෙන ගහලා බැලුවා. සියළු දෙවි දේවතා ආරක්ෂාවෙන් වෙන කරදරයක් නෑ. ගහපු ගමන් ස්ටාර්ට්. කට්ටියවත් තප්පරේට නග්ගගත්තට පස්සේ අර ත්‍රී විල් අයියා කියනවා " මල්ලි ඔයාලාගෙත් වෙලාව. මේ හරියේ ජිවිතේට දන්න මිනිහෙක් රෑට වාහනයක් නවත්තන්නේ නෑ. ඔන්න ඔය පේන වංගුවෙන් තමයි අලි මාරු වෙන්නේ. ඒකයි වාහන කීයක් ගියත් නවත්තන්න අකමැති. ඔය කතන්දරේ දන්න නිසයි නැවැත්තුවේ මම. දැන් ඉතින් දෙයියන්ගේ පිහිටෙන් ඉක්මණට යන්න" කියලා මිනිහත් ඉගිල්ලුනා. ඔය කතාව අහපු ගමන් අපේ වෙරි තුන්දෙනාගේ වෙරිත් හිඳුනා. එදා නිදාගන්නකම්ම තුන්දෙනා කලේ " අඩේ අපි අරහෙම පාරේ ඇවිද්දා, මෙහෙම කරා, ඒ වෙලාවේ අලි ආවා නම් කිය කිය" කොරපු මෝඩකම් මෙනෙහි කරපු එක.
ඒ වෙලාවේ අනේ අපේ පිහිටට ආපු ඒ ත්‍රී විල් අයියට නම් සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි. ඒ වෙලාවේ දුන්න උදව්වේ වටිනාකමට ස්තූති කරන්න වචන නෑ. කවුරු කොහොම කීවත් පාර තොටකදී වෙන හදිස්සියකදි, කරදරයකදී ඕනෑම ලෙඩක් දාගෙන උදව්වක් දෙන්න ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ඔය ත්‍රී විල් අයියලා, මල්ලිලා. දාන තරම් ලෙඩත් මිනිස්සුන්ට දානවා තමයි, ඒත් හොඳක් තියේ නම් ඒකත් කියන්න ඕනෙනේ. ලොකු ලොකු ඈයන්ගේ කාර් අසරණයෙක්ගේ දුකකට නවතින්නේ එහෙමත් වෙලාවකට. අලි වංගුවේ මහ රෑ පැයක් විතර ඉඳලත් යහතින් අපි ආවා. හැබැයි එක අලියෙක් හරි දැක්කා නම් අපිව අද මට බ්ලොග් ලියන්න වෙන්නේ නැති බව නම් ඒකාන්තයි.

9 comments:

  1. මොනවා වුනත් නියම අත්දැකීමක්! මිනිස්සුන්ගේ මනුස්සකම ඕන වෙන්නෙ ඔය වෙලාවට තමයි

    ReplyDelete
  2. වන සිවුපාවුන් ඉන්නා අඩවිවල යද්දී උදව්වට දෙවි දේවතාවුන් වගේ මිනිස්සු එනවා

    ReplyDelete
  3. හොඳ නරක මිශ්‍රව සම සමව ඉන්නවා උනත් බොහෝ වෙලාවට පිහිටට එන්නෙ සමාජයෙන්ම තරමක් හරි දුරට හෑල්ලුවෙලා ඉන්න ඔය වගේ පොඩි මිනිස්සුම තමයි.. උන්ගෙ බොක්ක හොඳයි !

    ReplyDelete
  4. ත්‍රී වීල් රියදුරන්ට ජයවේවා...!!!

    [රහසෙන්.....මං නං දන්නව, උඹයි, ඕනයයි, ත්‍රී වීල් ඩ්‍රයිවර්ලට පැනල දෙන්නෙ ඇයි කියල]

    ReplyDelete
  5. ඔය ත්‍රීවීල් බුවාලා ළඟ හොඳ වගේම නරකත් තියනවා. ඉතින් ඔය ඔක්කොම මිනිස්සු එහෙමනේ.. ලෝකේ හොඳ නරක දෙකම තිබ්බේ නැතිනම් ඉතින් මහා බෝරිං තැනක් වෙයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  6. මීට පස්සෙනම් තෙල් අමතක වෙන එකක් නෑ නේද ?

    ReplyDelete
  7. අපූරු අත්දැකීමක් වගේ...

    ReplyDelete
  8. අර අයියටත් මාර දේවල්නේ අමතක වෙන්නේ...
    උඹල ටික පණකෙන්ද බේරගෙන ආපු එකම ලොකු දෙයක්

    කොහොමටත් කරදරේ වැටිච්ච මිනිහෙකුට උදව් කරන්නේ සමාජයේ ඉන්න පොඩි මිනිස්සු මිසක් ලොකු ලොකු මිනිස්සු නෙමෙයි
    ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන්මනේ ත්‍රිවිල් රියදුරෝ හැදිලා ඉන්නෙත්
    අනිත් මිනිස්සු අතරේ වගේම උන් අතරෙත් හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා
    ප්‍රතිශතයක් විදිහට ගත්තත් ඔවුන් අතරේ ඉන්න නරක මිනිස්සු ප්‍රමාණය සමාජයේ වෙනත් තලවල ඉන්න නරක මිනිස්සු ප්‍රතිශතයට වඩා වැඩි වෙන්න හේතුවක් නැහැ කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  9. මම බීල ඉන්න වෙලාවක ඔය වගේ ටොපියක්සෙට් උනා නං . . වාහනේටම වෙලා හොඳට නිදාගන්නව.

    @ඔබා:
    අපි පුංචි නිසාද ඔය ආඩම්බර ???

    ReplyDelete