Tuesday, March 22, 2011

මනුස්සකමයි අපේ මිනිස්සුයි...........

මට අපේ මිනිස්සුන්ගේ අගේ වැඩියෙන්ම දැනුනේ මේ නන්නාඳුනන සංකර රටවල් වල කරක් ගහන්න වුනාට පස්සෙයි. කරුමෙ කියන්නේ අපේ රටේ එවුන් හදන්නෙත් මෙහෙ ඉන්න ආතක් පාතක් නැති උන් දිහා බලාගෙන උන් පස්සේ යන්නනෙ. අපේ මිනිස්සුන් ගැන ගොඩයට දැනුනු දේවල් වලින් ටිකක් හරි ලියන්න තමයි අද මේ උත්සහය.

මම මෙහෙට පාත් වුනාට පස්සේ තේරුණ දෙයක් තමයි මෙහෙට ලංකාවෙන් ආපු අපේ කොල්ලො කෙල්ලො වැඩිදෙනෙක් කොළඹ අවට.ඒ නිසාද මන්ද මට මගෙයි උන්ගෙයි අතර වෙනසක් තේරුණා. එහෙම මාත් එක්ක හිටපු එකෙක් මගෙන් දවසක් පුදුම ප්‍රශ්නයක් ඇහුවා. මම ඉතින් කතාව එකෙන්ම පටන් ගන්නවා. හැබැයි කොලුවා මේ කතාව ඇහුවේ වැරදි අදහසකින් නෙවෙයි.

" මචං කොහොමද උඹලගේ ගම? කොහොමද මිනිස්සු එහෙම? "

මම මොන ලෝකෙ මොන රටේ කරක් ගැහුවත් මගේ රට, මගේ ගම, මගේ ගෙදර වගේ තැනක් තවත් කොහෙන්ද?  මම ඉතින් මගේ ගම ගැන බොහොම වර්ණනා සහිතව විස්තරේ කීවා.

" ඒ උනාට මචං ගම් වල මිනිස්සු හරියට ඕපා දූප හොයනවා නේද? "

ඔන්න දැම්ම ටිකක් විතර අනවශ්‍ය ප්‍රශ්නයක්. මිනිහට ඉතින් හොඳ උත්තරයක් දුන්නා.  එහෙනම් ඒ උත්තරෙන්ම මමත් කතාව පටන් ගන්නවා.
ඇයි දෙයියනේ ගමේ මිනිස්සු විතරද ඕපා දූප හොයන්නේ?දැන් ඔය නගරයෙන් ආව කියලා කියන උඹ කරෙත් ඕපා දූප හොයන එක නෙවෙයිද ගමේ මිනිස්සු ගැන ?   නගරේ අය ඉතින් හොයන්නේ ගොසිප්. ගමේ අපි හොයන්නේ ඕපා දූප. හැබැයි උදේට ගෙදරින් එලියට බහිද්දි ගමේ මිනිහෙක් හම්බවුනහම කට පුරා හිනාවෙලා " දැන්ද යන්නේ? " " අද පරක්කු වෙලාද? " එහෙම නැත්නම්  " කොහෙද යන්නේ? " කියලා අහන්නේ ඒ මිනිස්සුන්ට ඕප දූප හොයන්න තියන උවමනාවටත් වඩා තියන මනුස්සකමටයි කියලා මට හිතෙන්නේ. අනික උදේම මූණේ හිනා පොදක් නැති , මූසල පෙනුමක් තියන එකෙක් මුලිච්චි වෙනවට වඩා මම නම් දස දහස්වතාවක් කැමතියි අර වගේ ප්‍රශ්නයක් එක්ක සිරියාවන්ත හිනා මූණක් දකින්න. මුළු දවසම සන්තෝසෙන් පටන් ගන්න පුළුවන්.ඒත් ඉතින් මේ කරුම රටේ මට එහෙම අවස්ථාවක් නැත. උදේත්, හවසත් කිසිම හැඟීමක් නැති, මූණේ හිනා තියා ලේ කඳුලක් නැති මූණු තමයි දකින්නේ. එහෙම දකින ගානේ මට මතක් වෙන්නේ මගේ ගමේ අහිංසක මිනිස්සුන්ගේ මූණේ පිරිනු හිනාව. මොනාවා නැතත් ඒ මිනිස්සු ගාව මනුස්සකම තිබුනා. ඒත් මගේ නගරයේ යාළුවාගෙන් දැන ගත්තා නගරයේ ඒ සම්බන්ධතා සීමිතයි කියලා. අනික අපේ මිනිස්සු ගාව පුදුමාකාර ගති ගුණ තිබුනා.

ඉස්සර අපේ ගම් වල මලගෙයක් උනහම ඒ ගෙදර මිනිස්සුන්ට එන අයට කෑම බීමෙන් සංග්‍රහ කරනවා තියා ඒ ගැන හිතන්නවත් උවමනා වුනේ නෑ. ඒ වැඩ ටික ඉබේම කෙරුන. නිකන් ඉබේ කෙරුනා නෙවෙයි. අහල පහල උදවිය, ගමේ මරණාධාර සමිතිය, පන්සලේ හාමුදුරුවෝ, මේ අයගේ මුල් වීමෙන් තමයි ඒ සියළු දේවල් කෙරුනේ. ඒත් දැන් නම් කේටරින් සර්විස් වලින් තමයි ඒ කටයුතු කෙරෙන්නේ කියලා ආරංචියක් ආවා. අරුමයක් නෙවෙයි. දැන් මිනිස්සුන්ට තව කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න කාලයක් නෑ. එහෙම කාලය අනිත් අය වෙනුවෙන් වියදම් කරොත් රේස් එක පරාදයි. අනේ දෙයියනේ මුන්ට අමතක වෙලානේ ඔය රේස් එක දිව්වට අන්තිමට වෙන්නේ මැරෙන එක කියලා. අනේ ඉතින් එදාට ඔය දුවලා ගොඩ ගහපු දේවල් ඔක්කොම දාලා යන්න වෙනවා කියලා හැමෝටම අමතකයි. අන්න එදාට කවුද උඹලාගේ මල කඳවල් ළඟ තනිරකින්න ඉන්නේ??  එහෙම මිනිස්සු ළඟ තනිරකින්නවත් මිනිස්සු ඉතුරු නෑ. මේක මගේ තාත්තගේ යාළුවෙක් කියපු කතාවක්. මේ මෑතකදී ඒ අන්කල්ලා වැඩ එහෙම ඇරිලා ඇවිල්ලා මල ගෙදරක ගිහින් රෑ 11ට විතර. යද්දි මිනියත් ගේ ඇතුලේ තියාගෙන කට්ටියම දොරත් වහගෙන නිදිලු. ගෙදර උදවිය විතරයි මලගෙදර. අපේ ගම් වල නම් මම ගමේ හිටිය කාලේ එහෙම දේවල් උනේ නෑ. හැබැයි දැන් දැන් සිද්ධ වෙනවද දන්නේත් නෑ.


අනික ගම් වල අපි කවදාවත් කෑම ගෙදර ඉන්න අයගේ ගානටම උයන්නේ නෑ. හැමදාමත් පොඩ්ඩක් හරි වැඩියෙන් උයනවා. ඒ මොකද කෑම කන වෙලාවට කෙනෙක් ආවොත් කෑම ටිකක් නොදී යවන සිරිතක් අපි ළඟ නැති නිසා. ඒ වෙලාවට ආපු කෙනෙක්ට කන බත්පත හරි දෙන්න ගමේ මිනිස්සු පුරුදු වෙලා තිබුනා. ඒ විතරක් නෙවෙයි තව කෙනෙක් ඉන්න තැන කවදාවත් අපි මොනම කෑමක් වත් තනියම කෑවේ නෑ. පුළුවන් විදිහට බෙදාගෙන කෑවා. අල්ලපු ගෙදර විශේෂ කෑමක් හැදුවනම් එකෙන් කොටසක් අපිටත්, අපි මොනවා හරි හැදුවනම් ඒ කෑමෙන් කොටසක් අනිත් ගෙදරටත් ලැබුනා. අම්මට අසනීප වුනා කියලා කඩෙන් කෑම ගෙන්න ඕන වුනේ නෑ අපිට. එවගේ වේලාවට කෑම බීම විතරක් නෙවෙයි අනිත් උදව් පදව් පවා අඩුවක් නැතුව ලැබුනා.මේ ඔක්කොම අපේ මිනිස්සුන්ගේ තිබුනු මනුස්සකම නිසා නෙවෙයිද? ලියනවානම් මොනතරම් දේවල් තියනවද? එක ලිපියකින් නම් ඒවා ඔක්කොම ලියන්න බෑ. නවතින්න කලින් අපේ ගමේ මිනිස්සුන්ගේ තිබුන තවත් අපූරු සිරිතක් ලියන්නම්. ඉස්සර  වෙල් යායක් ළඟින් යද්දි වෙලේ කවුරුහරි වැඩ කරනවා නම් මොන තරම් අව්වක උනත් වැස්සක උනත් ඒ මනුස්සයාට පෙනි පෙනී කුඩයක් හරි තොප්පියක් හරි දාගෙන කවුරුවත් යන්නේ නෑ. මොන ගිනිමද්දහනක, මොන ජගතෙක්  උනත් අර වෙලේ වැඩ කරන මනුස්සයා නොපෙනී යනකම් කුඩේ දිග අරින්නේවත් එහෙම නැත්නම් තොප්පියක් දාගන්නේවත් නෑ. මොකද ඒ? අපි කන බත අපට ලබාදෙන්න අර මනුස්සයා දහදුක් විඳිනකොට අපි සුවසේ යන එක අපේ මිනිස්සු පිළිකුල් කලා. ඒ මනුස්සයාට ගරු කිරීමක් විදිහට අපේ මිනිස්සුත් අව්වේම එහෙම නැත්නම් වැස්සෙම ගියා. අපේ මිනිස්සු හිතුවා ඒ මනුස්සයා ඉස්සරහ සුව පහසු ඇතුව යන එක මනුස්සකමට කරන නින්දාවක් කියලා. බලන්න අපේ මිනිස්සු කොච්චර සංවේදීද කියලා ඒ කාලේ. අද නම් කවුරුත් එහෙම කරනවා තියා එහෙම දෙයක් ගැන අහලාවත් නැතුව ඇති. ඒ තරම් වටින ගතිගුණ තමයි අපි මේ නැති කරගන්න හදන්නේ.

මනුස්සයාත් තිරිසනාත් අතර තියන එකම පරතරය තමයි මනුස්සකම. මනුස්සකම නැතිවුන දාට මිනිස්සුයි තිරිසනුන් අතරයි පරතරයක් නැති වෙනවා. ඒ කියන්නේ මිනිස්සුත් තිරිසන්නු වෙනවා කියන එක. ප්‍රවෘත්ති එහෙම බැලුවහම ඒ දේ සිද්ධවෙන බව හොඳට තේරුම් ගන්න පුළුවන්. මොකද අපිට වැඩිපුර අහන්න වෙන්නේ තිරිසන් වැඩ නිසා. සමහර දේවල් තිරිසන් සතෙක්වත් නොකරන වැඩ. මේ දේවල් ලීවේ අපේ මිනිස්සුන්ගේ තිබ්බ ලස්සන, අව්‍යාජ, සංවේදි ගති ගුණ විනාශ වෙනවා බලන්න ඉන්න තියන අමාරුවට සහ නොමිනිසුන් බහුතරයක් ජීවත් වෙන රටක ජීවිතේ ගෙවද්දී දැනෙන අපහසුව නිසා. කියවපු කෙනෙක්ට අපේ මනුස්සකම ගැන දෙපාරක් හිතන්න හිතුනා නම් ගොඩයාට ඒ හොඳටම ඇති. මනුස්සකමට ජය වේවා !!!

16 comments:

  1. සම්පුර්ණ ඇත්ත මල්ලි.. ඉස්සර මට මතකයි අපි ජීවත් උන ගමේ.. පාරට බැස්සොත් සියයක් එක්ක කතා කරන්න ඕන.. ඉතින් අපි තාත්තත් එක්ක හරි අම්මත් එක්ක හරි ගමනක් යනවනම් වලි තමයි. තෙල් බෙදනවා ගමන යන්නේ නැතුව කියල.. හා.. කොහොමද ? නාන්න යනවද ? කියල බාල්දියකුයි තුවායයි අරන් යන කෙනාගෙන අහන්නේ මොකටද කියල අපිත් හිනාවෙනවා.. . එහෙම අහන එක හරියටම සුද්දෝ Hello ! how are you ? කියල අහන එකට සමානයි.. ඒ යන එන කතා වලින් අපේ මිනිස්සු එකිනකා සමග තියෙන සම්බන්දකම පවත්වා ගන්නවා. හැබැයි ඉතින් හොරෙන් ගමනක් යනවා නම් බොරු !! මේ රටවල්වල අල්ලපු ගෙදර මනුස්සය දැක්කත් කතාකරන සිරිතක් නෑ !

    ReplyDelete
  2. කාලෙන් කාලෙට හැමදේම වෙනස් වෙනව ඒක හරිද වැරදිද කියල හොයන එක ටිකක් අමාරු වැඩක් , මොකද ඒ දේවල් එකිනෙකාට සාපේක්ෂ නිසා , හිතන්න මෙහෙම සාමාන්‍යයෙන් ගම්වල ගැහැණු ලමයින්ගේ චර්යාව ගැන සැහෙන්න හොයනව . අතපසුවීමකින් හරි ගැහැනු ලමයෙක් අතින් ගමේ සමාජයේ වැරදි කියල සම්මත දෙයක් සිද්ධවෙනව

    ඒ වගේම ඒ දේ ගම පුරා ප්‍රචාරය වෙනව ඒතකොට මොකද වෙන්නේ ?? සමහර විට අර ලමයගේ අනාගතයම අඳුරුයි , එහෙම නැත්නම් ගම දාල යන්න වෙනව . නමුත් නූතන සමාජයේදී ඔය කාරණා ඔය විදිහට සිද්ධවෙන්නෙ නැහැ , ඉතින් කෙනෙකුට නූතන සමාජයේ ක්‍රම වඩා හිතකරයි කියල හිතෙන්න පුලුවන් තවකෙනෙකුට ගමේ ක්‍රමය හොඳයි කියල හිතෙන්නෙ පුලුවන් ඒ නිසා ගම හොඳයි නගරෙ වැරදියි කියල එකපාරටම නිගමන දෙන්න බැ කියලයි මම හිතන්නෙ

    ReplyDelete
  3. හරියට හරි ලංකාප්‍රිය අයියා..... නියම වචනේ තෙල් බෙදිල්ල. නිවාඩුවකට ගියහම වෙලාවකට ගෙදර ඉඳන් පාරට එන්නත් විනාඩි 20ක් විතර යන වෙලාවල් තියනවා ඔය තෙල් බෙදිල්ල නිසා...... හැබැයි ගෙදර ඉදන් පාරට මීටර් 50ක් වත් නෑ.

    ReplyDelete
  4. බුවා සහෝදරයා කියන කතාව හරියටම හරි..... වෙනස් වෙන දේවල් හරිද වැරදිද කියලා හොයන එක අමාරු දෙයක්. අනේ මම එහෙම හරිවැරැද්දක් හොයන්න නෙවෙයි හැදුවේ. කියන්න හැදුව දේ තේරුම් අරන් තියෙන්නේ වැරදියට. මම කීවේ අපේ තිබ්බ හොඳ ගති ගුණ නැති වෙන එක ගැන. හරි, වැරදි ගැන නෙවෙයි හොඳ, නරක ගැන.
    ගමයි නගරයයි සන්සන්දනය කලාත් නෙවෙයි. ගමේ මිනිහෙක් මනුස්සකමට කතා කරලා අහන ප්‍රශ්නයත් ඕපා දූප හෙවිල්ලක් කියලා සමහරු හිතන නිසයි මම ඒ කතාව කීවේ. අනික අද නගරයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ මුල් තියෙන්නේ ගම් වල. ඒත් ගමෙන් එද්දිම අර හොඳ ගති ගුණ අඩු වෙලා යන එක ගැනයි කීවේ. මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. ඒත් ඒ අපි ළඟ තියන හොඳ ටික විසි කරලා නරක දේවල් බදා ගෙන නෙවෙයි නේද???

    අනිත් දේ ගමේ ගෑණු ලමයෙක්ට ඇත්තටම එහෙම අතවරයක්, කරදරයක් වුනහම ගමේ මිනිස්සු කතා හදනවාට වඩා අනේ අපොයි කියන්න පුරුදු වෙලා තිබුනා. කොහොම උනත් එහෙම කතා හැදෙන එක නිසා මිනිස්සු වැරදි කරන්නත් බය වුනා. ඒ නිසා කතා හැදෙන දේ ඇතුලේ නරක වගේම හොඳ දෙයකුත් නොතිබුනා නෙවෙයි, හැබැයි ඒ දේ හරියි කියලා මම කියන්නෙ නෑ.

    ReplyDelete
  5. මම කියන්නේ ඔයා ඔය කියන විදිහට හොඳ නරක ඔයා දකින විදිහත් වෙන කෙනෙක් දකින් විදිහත් අනුව එකිනෙකට වෙනස් වෙන්න පුලුවන් , ඒක නිසා ඉරක් ගහල වෙන් කරන්න බැ . ඔය කියන විදිහට මගදිදැක්කාම යන්නෙ කොහෙද මල්ලියේ කියල අහන ගමේ ගතිය කෙනෙකුට ප්‍රිය මනාප වෙනව වගේම තව කෙනෙකුට ඒක තමන්ගෙ පෞදගලිකත්වයට වෙන හානියක් විදිහට දකින්න පුලුවන් .ඒ නිසා ඔය වගෙ කාරනා අදාල පුද්ගලයා මත හෝ අදාල සමාජ රාමුව මත රඳ පවතින දෙයක් . ඒ නිසා හොඳය නරකය කියල කියන්න බැහැ කියලයි මම කියන්නෙ . (මම හොඳ නරක කියල හිතන්නෙ මුලු මිනිස් වර්ගයාටම සාපෙක්ෂව ඇතිඋන සම්මතයන් ) .

    ඔය ප්‍රශ්නෙට මම දකින් හොඳම විසඳුම තම්න්ට ගැලපෙන පරිසර තත්වය පදිංචියට තෝර ගැනීම , මොකද ලංකාවෙ ගමත් නගරයත් කියන්නෙ මහා දැවැන්ත දුරකින් වෙන් උන දේවල් නෙවෙයි .ඒ නිසා නගරයක රැකියාව කරත් තමන් ප්‍රිය කරන ගැමි පරිසරයක් ජිවත් වෙන්න බැරි කමක් නැහැ ලංකාවෙ ඉන්න කෙනෙකුට නම්

    ReplyDelete
  6. අද තමා මම උඹේ බ්ලොග් එකට ඉස්සෙල්ලම ආවෙ. ඒ ඇවිල්ල කියවන්න ලැබුන පලවෙනි පෝස්ට් එක මම ගොඩක්ම ආසකරන මාතෘකාවක් උන එකත් එක අතකට නියමයි.
    ඕපදූප හෙවිල්ල ගැන කියනව නං. . . මචෝ . . . ඒකට ගමේ නගරයේ කියල වෙනසක් නෑ . . හොයන එකා ලොවෙත් හොයනව. හැබැයි අනික ගැන අවධානයෙං ඉඳීම අතිං නං නගරබද මිනිස්සු අන්තිමයි. උංට ඕවට වෙලාවක් නෑ . . . . තිබුනත් හොයන්නෙ මිනිහෙක් පාච්චල් කරන්න පුලුවං දෙයක් විතරයි. හැබැයි නගරබද මිනිස්සු හැමෝමමත් එහෙම නෑ. ඔය කතාවෙම අනිත් පැත්ත තමයි ගමට යද්දි තියෙන්නෙ.
    මම මගෙ උපං ගමට දැං අවුරුදු 8කිං විතර ගිහිං නෑ. ඒ ඇයි දන්නවද ??? මම 91දි කොළඹට එද්දි තිබුන ගම නෙමේ 99දි යද්දි තිබුනෙ. ගමේ තිබුන ලස්සන එහෙමමයි . . . හැබැයි අපේ අම්මගෙ පරම්පරාවෙන් පස්සෙ ඒ කියන්නෙ මම අයිති වෙන පරම්පරාව . . . . හෙනම පොෂ් වෙලා . . . . සරලව කිවුවොත් අපි පොඩි කාලෙ කිවුව වගේ "කැලෑ ඩිස්කෝ" තමයි හැම තැනම දකින්න තියෙන්නෙ. නිකං හිතපං . . . මම අවුරුදු ගානකට පස්සෙ ගමට ගිහිං අපෙ ගම් පලාතෙ ලාක්ෂනික ආමන්ත්‍රනයක් වෙච්චි "අඩේ" කියල පරන යාලුවංට කතා කරද්දි . . . එකෙක් මගෙං අහනව "වට්ස් අප් බ්‍රෝ ?" කියල . . .
    හැබැයි මොනව උනත් ගමේ නැන්දල මාමල . . . සීයල ආච්චිල සෙට් එක නං පොඩියක් වත් වෙනස් වෙලා නෑ . . . .
    ගමේ ගිය හැටියෙ මම දුවනව අපේ මහගෙදරට මගෙ නෑන පොඩ්ඩ (සන්ද්්‍යා මේඝ වලාවෝ මනෝහරී . . . මරු නම) බලන්න. අනේ අපරාදෙ කියන්න බෑ ඒ ගෙදර නං . . . . ලොකු නැනයි (කුමාරි අක්ක), පොඩි නෑනයි (මනෝහරී), මස්සිනයි(මනෝහර අයිය), නැන්දයි . . . කට පුරෝල පනාව දාල "හෑයි අප්පේ . . . . දුලිප් දැක්ක කල් . . . " කියල මීටර් 150ක් විතර ඇදල කියනව.

    ReplyDelete
  7. බුවාට - මිත්‍රයා මම මේ උඹේ අදහස වැරදියි කියලා කියන්න උත්සහා කරනවා නෙවෙයි. අනික මම කාගෙවත් අදහස් වැරදියි කියලා දකින්න තරම් අත්දැකීම් තියන ලොකු පොරක් නෙවෙයි. ඒත් මට හිතෙන විදිහට සහෝදරයා අදහස දාලා තියෙන්නේ වැරදි පෝස්ට් එකට. එක්කෝ මම මේ කියපු කතාව ඔයා තේරුම් අරගෙන තියෙන්නේ වැරදියට එහෙම නැත්නම් මම මේක ලියපු එකේ වැරැද්දක්. එහෙම මගේ ලියපු දේ අඩු පාඩුවක් තියනවා නම් කරුණාකරලා ඒක පෙන්නලා දීපන් මචං. මට ඒ අඩු පාඩුව හදාගන්න ඒක ලොකු උදව්වක් වේවි.
    මිත්‍රයා කියන විදිහට හොඳ නරක වගේම අපි හැමෝගෙම අදහසුත් සාපේක්ෂයි කියලා මම විශ්වාස කරනවා. මොකද අදහස් ලැබෙන්නෙත් අපේ අත්දැකීම් අනුව. මට හිතාගන බෑ ඇයි මේ ගමයි, නගරයි, පදිංචි වෙන්න ඕන තැනයි මේකට ගෑවුනේ කියලා. මේකේ මාතෘකාව වගේම මේකෙන් කියන්න හැදුවේ ගමේ, නගරයේ මිනිස්සු ගැන නෙවෙයි. අපේ රටේ මිනිස්සු ගැනයි, ඒ මිනිස්සු ලඟ තිබුන මනුස්ස කමයි ගැන. මම ගමෙන් උදාහරණ ගත්තේ මගේ ජිවිතේ අවුරුදු 20ක් විතරම ගෙව්නේ ගමේ නිසා. මම නගරයේ ජීවන රටාවට සමීප නැති නිසා නගරයෙන් උදාහරණ ගන්න ගියොත් නගරයේ ජීවත් වන අපේ මිනිස්සුන්ට මගේ නොදැනුවත් කමින් අසාධාරණයක් වෙන්න ඉඩකඩ වැඩි නිසා.
    ඕප දූප කතන්දරේ දැම්මේ අර ඕනයා කීව කතාවට තමයි. ඕප දූප වලට ගම, නගරය, රට කියලා වෙනසක් නෑ කියන එකට. කොහොමත් ජිවිතේට ලංකාවේ නගරබද ජීවිතයක් ගත නොකල මම කොහොමද මිත්‍රයා ඔය දෙක සන්සන්දනය කරන්නේ? එහෙම දෙයක් කරන්න මට අත්දැකීම් ඕන. මම මේ කලේ මගේ රටින් පිටවෙලා ගෙවන නගරබද ජීවිතයයි මම ලංකාවේ ගෙවපු ගමේ ජිවිතයයි සංසන්දනය කරපු එක. ඒ වගෙම අවුරුද්දකට සැරයක් ගමට එද්දි අර ඕනයා කීවා වගේ ගමේ මිනිස්සු රොක් වෙලා, පොෂ් වෙලා, කැළෑ ඩිස්කෝ සීන් දකිද්දි අපේ අතීතය මතක් වෙලා නැගෙන දුකට තමයි මේක ලීවේ. අනේ එහෙම නැතුව නගරයේ ඈයෝ හෑල්ලු කලා නෙවෙයි. මම කීවේ අපේ ගමේ මිනිස්සුන්ගේ තිබ්බ වටිනා ගතිගුණ අත අරිනවා දකිද්දි දුකයි කියලා. ඒක තේරෙන්නේ කාළකණ්නි ගොඩක් මැද තට්ට තනි වුනහම.

    අනිත් කාරණය මම මේකේ ලියලා තියන, කන්න තියන දෙයක් බෙදා හදාගෙන කන එක, බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම ටිකක් දෙන එක, මිනිහෙක්ට කරදරයක්, අසනීපයක්, මලගෙයක් වෙලා අසරණ වුනහම පිහිට වෙන එක, මිනිහෙක්ට ගරු කරන එක, අනිත් මිනිස්සු හෙලන දාඩිය, කඳුළු වලට සංවේදී වෙන එක වගේ දේවල් අපි පොඩි කාලේ ඉඳන් ඉගන ගත්තේ හොඳ දේවල් හැටියට. අනේ මන්දා මල්ලියේ උඹට සාපේක්ෂව ඒවා වැරදියි කියලා හිතෙනවද කියන්න මට තේරෙන්නේ නෑ. ඒත් මම දන්න විදිහට මෙවගේ සරල, මූලික දේවල් හොඳ දේවල් හැටියට ගොඩක් ආගම් වලත් උගන්නනවා. මොකද මේවා මම දැක්කේ සහ ඉගන ගත්තේ අපේ මිනිස්සුන්ගෙන්. මේවත් හොඳ ගතිගුණ කියලා දකින්න බැරිනම් මිත්‍රයා මට කියපන් මිනිස්සු ලඟ තියෙන්න ඕන ඔය සාපේක්ෂව හොඳ මොනවද කියලා ?? කොහොමත් මම මෙතන කියන්න හදපු මනුස්සකම ඉරි ගහලා බෙදන්න, මනින්න බෑ සහෝදරයා.
    අන්තිමටම කියන්න තියෙන්නේ මම කියන්න හැදුවේ අපේ මිනිස්සුන්ගේ තිබුන සහ දැනටත් අතරින් පතර හරි තියන මනුස්සකම ගැන. මොකද එහෙම මනුස්සකමක් නැති උන්ගෙන් පිරිච්ච රටක තනිවුනහම ඒ අඩුව පුදුම විදිහට දැනෙනවා. ඒ මනුස්ස සුවඳ හොයාගෙන ආපහු දුවගෙන ආවහම ඒ මනුස්සකම අඩුවෙනවා දැනෙද්දි හිතට පුදුම දුකයි සහෝදරයා. උඹට වැරැදියට තේරුම් ගත්තත් මම හිතනවා අනිත් කොමෙන්ට් දෙක දිහා දැක්කහම උන් දෙන්නට මම කියන්න හදපු දේ තේරුණා කියලා. මොනවා වුනත් අදහසට ස්තූතියි. මම මේ විස්තරේ ලීවේ මිත්‍රයා මම කියපු දේ වැරදියට වටහාගෙන වගේ කියලා තේරුණ නිසයි. බුවාගේ අදහස් ඉදිරියටත් මට ඕනේ. ඒ අදහස් මට පොඩ්ඩක් වෙනස් විදිහකට මම ලියපු එක දිගේ කල්පනා කරලා බලන්න අවස්තාවක් සැලැස්සුවා. ජය වේවා !!!!!

    ReplyDelete
  8. ඕනයාට - අප්පේ මචං උඹලාව දකින්නත් සතුටුයි. ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා මචෝ මගේ සයිබර් පැලට... බොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිල්ලා අපිව බැලුවට. මම නම් වෙලාව තියන හැටියට උඹලා ලියන දේවල් කියවනවා.සහතික ඇත්ත මචෝ. මම ඔය අවුරුද්දකට පාරක් ලංකාවට ආවහම සමහර වෙලාවට කලකිරෙනවා. අපි ඉතින් බලාපොරොත්තු වෙන්නේ අපි ලංකාව දාලා යද්දී අපේ මිනිස්සු ළඟ තිබ්බ රත්තරං පපු තාම ඇති කියලා. ඒත් ඒවා ටික ටික පිත්තල වෙනවා වගේ දැනෙනවා බං.... පුදුම දුකයි. ඒ දුකටමයි මේක ලීවේ..........

    ReplyDelete
  9. ඔයා කියන විදිහට ඔයාගේ සංසන්දනය ශ්‍රි ලාංකිකයින් හා ඔයා ඉන්න රටේ අය එතකොට ඔයාගෙ ලිපියෙ තියන මේ කොටස් කියවන කෙනෙකුට එහෙමද හිතෙන්නෙ ?

    "මෙහෙට ලංකාවෙන් ආපු අපේ කොල්ලො කෙල්ලො වැඩිදෙනෙක් කොළඹ අවට.ඒ නිසාද මන්ද මට මගෙයි උන්ගෙයි අතර වෙනසක් තේරුණා. එහෙම මාත් එක්ක හිටපු එකෙක් මගෙන් දවසක් පුදුම ප්‍රශ්නයක් ඇහුවා"

    " මචං කොහොමද උඹලගේ ගම? කොහොමද මිනිස්සු එහෙම? "

    මම මොන ලෝකෙ මොන රටේ කරක් ගැහුවත් මගේ රට, මගේ ගම, මගේ ගෙදර වගේ තැනක් තවත් කොහෙන්ද? මම ඉතින් මගේ ගම ගැන බොහොම වර්ණනා සහිතව විස්තරේ කීවා.

    " ඒ උනාට මචං ගම් වල මිනිස්සු හරියට ඕපා දූප හොයනවා නේද? "

    ඔන්න දැම්ම ටිකක් විතර අනවශ්‍ය ප්‍රශ්නයක්. මිනිහට ඉතින් හොඳ උත්තරයක් දුන්නා. එහෙනම් ඒ උත්තරෙන්ම මමත් කතාව පටන් ගන්නවා.


    "ඇයි දෙයියනේ ගමේ මිනිස්සු විතරද ඕපා දූප හොයන්නේ?දැන් ඔය නගරයෙන් ආව කියලා කියන උඹ කරෙත් ඕපා දූප හොයන එක නෙවෙයිද ගමේ මිනිස්සු ගැන ? නගරේ අය ඉතින් හොයන්නේ ගොසිප්. ගමේ අපි හොයන්නේ ඕපා දූප. හැබැයි උදේට ගෙදරින් එලියට බහිද්දි ගමේ මිනිහෙක් හම්බවුනහම කට පුරා හිනාවෙලා " දැන්ද යන්නේ? " " අද පරක්කු වෙලාද? " එහෙම නැත්නම් " කොහෙද යන්නේ? "


    ඔයා තර්කය ගොඩ නගන්නෙ කාට විරුද්ධවද ? ඔයා ඉන්න රටේ එකෙකුටද? කොලඹින් ඔය රටට ගිය එකෙකුටද ?


    ---------------------------------------------
    ජීවත්වෙන තැන කියන එක මෙතනට ආවෙ ලංකාවෙ ඉන්න කෙනෙකුට ඔය ගමෙ ජීතය ගත කරන්න බාධාවක් නැහැ කියන්න , ඒ කියන්නෙ ඔයා ඔය කියන මනුස්සකම විඳින්න බාධාවක් නැහැ කියන එක , ඒ වගේම නගරෙට කැමති කෙනෙකුට එහෙම ඉන්න බාධාවක් නැහැ කියන එක .

    මිනිස්සුන්ගෙ ගතිගුන ගැන ඔයා බොහොම මතුපිට තැනක ඉඳන් කතා කරන්නෙ , මම ඉන්නෙ එතන නෙවෙයි ඒක නිසා තවත් ඒ ගැන කතා කරල වැඩක් නැ වගෙ මම එක උදාහරනයක් කියන්නම් - ත්‍රිරෝද රතේකින් කාන්තාවක් ගෙදරට බඩු මුට්ටු ගේනව , ගමේදි නම් ත්‍රිවීල් මල්ලි බඩු ටික වීල් එකෙන් බලා ගෙදරටම අරන් දෙනව , ඒ කාන්තාවත් "මල්ලි තේ ටිකක් බීල යන්න " කියල කියයි සම්හර විට ආගිය තොරතුරු ටිකක් කතා කර කර තේ ටිකක් බීල යයි.නමුත් නඟරෙදි ඔය ත්‍රිවීල් මල්ලිම බඩු ටික ගෙට දැම්මොත් කාන්තාව ඌ ගැන සැකෙන් බලන්න ඉඩ තියනව , ඒ වගේම පිට කෙනෙකුට සංග්‍රහයක් කරන්න කලින් නගරෙදි කාරන ගොඩක් හිතන්න වෙනව . අන්න ඒකයි මම කිවෙ රමුව වෙනස් වෙන කොට එකම් පුද්ගලය්ගෙ උනත් චර්යාවන් වෙනස් වෙනව , එකම චර්යාවට ලැබෙන අර්ථය වෙනස් වෙනව

    ReplyDelete
  10. දැන් මට තේරෙනවා මොකක්ද වෙලා තියෙනේ කියලා. සමහරවිට මම මතුපිට ඉඳන් වෙන්න ඇති කතා කරන්නේ. සහෝදරයාට වගේ ජීවිතේ, මිනිස්සු විනිවිද දකින්න තරම් මට අත්දැකීම් නැතුව ඇති. අපි කාටවත් සමාජය ගැන, මිනිස්සු ගැන පොතෙන් ඉගෙන ගන්න බෑ කියලා මම හිතනවා. මේ ලීවේ මගේ ජිවිතේ මගේ මිනිස්සුන් තුලින් මම දැක්ක මනුස්සකම් පිරිච්ච ගති ගුණ වලින් කොටසක්. මම කලින් කොමෙන්ට් එකෙනුත් කිවනේ මම කාගෙවත් අදහස් හෙලා දකින්න කැමති නෑ කියලා. ඒකට හේතුව අදහස් සාපේක්ෂ නිසා. ඔයාට මගේ අදහස වැරැදි කියා හිතෙනවා නම් හෙලා දැක්කාට කිසිම ගැටලුවක් නෑ. නමුත් මම ඒ වැරැද්ද කරන්නේ නෑ.මොකද මම විශ්වාස කරනවා මට නොලැබුන විදිහේ අත් දැකීම් ඕනෑ තරම් අනිත් අයට ලැබිලා තියන බව.

    කොහොම වුනත් මමත් වැරැද්දක් කරලා තියනවා. මගේ හිතේ තියන දේ ලියන්න ගියහම වෙන වෙන කතන්දර නිසා කියවන අයට මට කියන්න ඕන වුන දේ තේරිලා නැති බව මට තේරෙනවා. ඒ සම්බන්ධව මම සමාව ඉල්ලනවා. ඊළඟ පෝස්ට් එකේ ඉඳන් වත් ඒ වැරැද්ද නොකර ඉන්න උත්සහා කරන්නනම්. බොහෝමත්ම ස්තූතියි වැරැද්ද පෙන්නුවට. පෝස්ට් එකෙන් නොතේරුනත් මම හිතන්නේ මම කියන්න හදපු දේ කලින් කොමෙන්ට් එකෙන් තේරෙන්න ඇති කියලා හිතෙනවා. ඔයා එක දෙයක් හිතේ තියාගෙන තර්ක කරනවා, මම වෙන දෙයක් ගැන කියන්න හදනවා. මම ආයෙත් කියනවා, මම කියන්න හැදුවේ ලංකාවේ මිනිස්සු වගේ මනුස්සකම් දන්න මිනිස්සු අනිත් රටවල් වලින් හොයාගන්න අමාරුයි සහ අපේ මිනිස්සු ලඟ තියන හොඳ ගති ගුණ ගැන කියලා.එහෙම නැතුව ලංකාවේ නාගරික ජීවිතේ වත් ග්‍රාමීය ජිවිතේ ගැනවත් නෙවෙයි. නැවතත් සමාව ඉල්ලනවා මේ පෝස්ට් එක ලියද්දි මගෙන් වෙච්ච වැරැද්දට.

    ReplyDelete
  11. ගොඩයෝ උඹේ අදහස නම් මසුරන් වටිනවා. අපේ මිනිස්සු කවදවත් තේරුම් ගත්තේ නැත්තෙත් ඕකම තමා. තමන්ගේ වටිනා සංස්කෘතික උරුමය පිටරටින් ආනයනය කරපු පාදඩ සංස්කෘතියට උගස් කරපු උන්ට නම් මෙවා වැදි බණ වෙන්න පුලුවන්. ඒත් තාම සිංහල විදියට හිතන, අපේ කම රකින උන්ට උඹේ වචන ටික ලොකු හයියක්!

    ReplyDelete
  12. බොහොම දුර යන වාදයක් වගෙයි.. ඒ කියන්නේ ගොඩය මල්ලි ලිවුවේ හොඳ මාතෘකාවක් කියන එකයි.. මම නම් නගරේ ගමේ දෙකේම ජීවත් වෙලා තියෙනවා. ඉතින් මට ඔය දෙන්නම (බුවත් ඔයත්) කියන දේ වල දෙපැත්තම පෙනෙනවා.. හොඳට කියෙවුවම තේරෙනවා ඒක ගම උස්සල නගරය පහත කරන්න ලියපු එකක් නෙවෙයි නැතිවෙලා යන මනුස්සකම් ගැන සංවේදී සටහනක් කියල..
    ගොඩය මල්ලිගේ මේ ටික කියෙවුවම තේරෙනවා එයා ගම උසස් කරලා නගරේ පහත දාල ලියල නැහැ නමුත් සමස්තයක් වසයෙන් තරඟයට කොටුවුණ සමාජයේ මනුස්සකම් වල පිරිහීම ගැනයි ලියල තියෙනවා කියල...

    ඉස්සර අපේ ගම් වල මලගෙයක් උනහම ඒ ගෙදර මිනිස්සුන්ට එන අයට කෑම බීමෙන් සංග්‍රහ කරනවා තියා ඒ ගැන හිතන්නවත් උවමනා වුනේ නෑ. ඒ වැඩ ටික ඉබේම කෙරුන. නිකන් ඉබේ කෙරුනා නෙවෙයි. අහල පහල උදවිය, ගමේ මරණාධාර සමිතිය, පන්සලේ හාමුදුරුවෝ, මේ අයගේ මුල් වීමෙන් තමයි ඒ සියළු දේවල් කෙරුනේ. ඒත් දැන් නම් කේටරින් සර්විස් වලින් තමයි ඒ කටයුතු කෙරෙන්නේ කියලා ආරංචියක් ආවා. අරුමයක් නෙවෙයි. දැන් මිනිස්සුන්ට තව කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න කාලයක් නෑ. එහෙම කාලය අනිත් අය වෙනුවෙන් වියදම් කරොත් රේස් එක පරාදයි.
    දැන් ඉහතින් උපුටා ගත්ත තැන එයා ගම වෙනස් වෙලා ඇති හැටි
    විස්තර කරනවා.. එකට හේතුවත් ලියනවා.. ඊට පස්සේ එයා ගමේ තිබුන හොඳ දේවල් ටිකක් සඳහන් කරනවා.. එක සමාව ඉල්ලන්න තරම් වරදක් කියල මට නම් පෙනෙන්නේ නෑ... කොහොමටත් බ්ලොගක් ලියන්නේ සීමාවක් මායිමක් නැතුව තමුන්ගේ මතේ ලියන්න නෙව .. ඔන්න ඔය වැඩෙන් මට බුවාගේ බ්ලොගත් ඇරුන.. එබිලා බැලුව..හොඳ එකක් ..කාලේ තිබුනම බලන්න ඕන.
    ගමේ ඉපදුනු මම නගරේ තමයි මගේ ජීවිතෙන් වැඩි හරියක් ගත කලේ (කොළඹ) ඊට පස්සේ පිට රට. ගමේ තිබුන හොඳ ගති ගුණ කිට්ටුවන්තකම වගේ දේවල් නගරයට ඇවිත් ඒ විදිහටම ජීවත් කරන්න බැරි වුණා කියලයි මට හිතෙන්නේ. දැන් නගරය බැලුවොත් පදිංචිවෙලා ඉන්න බහුතරය ගමෙන් ආ අයනේ..
    ගම අපි පුංචි කාලේ දැක්ක විදිහට හරිම සෙමින් ගමන් කරන තැනක්.. නගරය එහෙම නොවෙයි.. නගරයේ ඉන්න අය තරඟයට වැඩියෙන් මුහුණ දෙනවා. මේ තරඟය කොච්චර තියුනුද කිවුවොත් එකිනෙකා අතර සමාජ සම්බන්දකම් වලටත් වෙලාවක් නැති තත්වයට තරඟයේ ගිලිලා ඉන්නයි වෙලා තියෙන්නේ.,. ටික ටික මේ තරඟය අත්මාර්තකාමය ඉදිරියට ගෙනෙනවා.. මේකේ හොඳ නරක කියන්න අමාරුයි .
    දැන් මේ තරඟය ගමටත් පොදුයි හරියට ගොඩය මල්ලි උඩින් කියල තියෙනවා වගේ.. ගමේ මගුලටත් මරණෙටත් කේටරින් සේවය ඇවිත්..
    සමස්තයක් හැටියට ගත්තම අපේ රටේ මිනිස්සු එක්ක මේ දියුණුයි කියන රටවල මිනිස්සු සමාන කරලා බැලුවම තවමත් අපේ මිනිස්සු ළඟ මනුස්සකම් තියෙනවා ගොඩය කියනවා වගේ. මම ලංකාවෙන් පිටවෙලා රටවල් පහක රස්සාව කල නිසා මට එක ප්‍රත්‍යක්ෂයි.

    ඕක පැත්තකට දාමුකෝ. මන් අර desert rose සින්දුවට හරිම කැමතියි.. මගේ දුව ඇහුව ඇයි ඕකට ඔච්චර කැමති කියල..මගේ උත්තරේ මෙන්න :
    "එකේ අර ස්ටින්ග් එක්ක සහයට ගායනය කරන ඇල්ජිරියානු ජාතික චෙබ් මාමි ගේ අරාබි බාසාවෙන් යන කෑල්ල නිසයි. එක කියන කොට මට මගේ ළමාවිය මතක් වෙනවා. අපේ ගමේ ගොයම් කපන කාලෙට රැට කමත්වල මිනිස්සු හරක් එලවනකොට කියන ලස්සන සින්දුත් ඔය වගේ " කෙල්ල බිම පෙරලි පෙරලි හිනා වෙනවා.. ඔන්න ගමෙයි නගරයි වෙනස !! එයා අත් විඳලා නැති නිසා එයාට තේරෙන්නේ නෑ !! ලෝකේ කොයි කෙලවරේ හිටියත් ගමය ගමයමයි !!

    ReplyDelete
  13. ලංකාප්‍රිය අයියාට - අයියාට බොහෝම ස්තූතියි. ඇත්තම කීවොත් බුවාගේ කොමෙන්ට් කියවද්දි මට හිතුනේ මම ඔච්චර සරලව කියපු දේ කාටවත් තේරුම් ගන්න බැරි වුනාවත්ද කියලා.මම සමාවෙන්න කීවේ මම අපහැදිලි දෙයක් ලියලා කට්ටියටම වැරැදි අදහසක් දුන්නාවත්දෝ කියලා හිතුන නිසයි. හැබැයි අයියානම් හරියටම මගේ පෝස්ට් එක නෙවෙයි මගේ හිත කියෙව්වා වගේ තේරුම් අරන් තියනවා ලියපු දේ. මගේ හිතේ මා ගැන තිබ්බ සැකෙත් නැති වුනා අයියාගේ කොමෙන්ට් එක දැක්කහම. මේ කොමෙන්ට් එකට බොහොම පින්.


    බුවාට - උඹේ කොමෙන්ට් නිසා මම ඇත්තටම හිතුවා මම කියන දේවල් මිනිස්සුන්ට අපහැදිලියි කියලා. ඒත් බහුතරයක් දාලා තියන කොමෙන්ට් වලින් තේරුම් ගත්තා මේක මම ලියපු එකේ ප්‍රශ්නයකට වඩා උඹේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් කියලා. විශේෂයෙන් ලංකාප්‍රිය අයියාගේ කොමෙන්ට් එකෙන් මට ඒක හොඳට තේරුම් ගියා. සහෝදරයා හොද්දකට ලුණු, ඇඹුල්, තුන පහ දැම්මහම රස වෙනවා. ඒත් ලුණු හරි ඇඹුල් හරි වෙනම කෑවා කියලා හොද්දේ රස දැනෙන්නේ නෑ. එතකොට දැනෙන්නේ ලුණු රස හරි ඇඹුල් රස හරි. ඒ නිසා ලියලා තියන දේවල් කෑලි කරලා අදහස ගන්නේ නැතුව අන්තර්ගතය පොඩ්ඩක් බලන්න. මම ලියපු දේ මතුපිටින් බලලයි ඔබතුමා ඔය කොමෙන්ට් දාලා තියෙන්නේ. මට පුදුම මිනිස්සුන්ගේ ඇතුලාන්තය බලන්න හැකියාවක් තියනවා කිව කොල්ලෙක් වෙලත් ඇයි මේ සරල ලිපිය මතුපිටින් බලලා අදහස් දක්වන්නේ කියලා..............

    ReplyDelete
  14. එයි ගොඩය මල්ලි ස්ටින්ග් ගේ Desert Rose සින්දුවේ මම කිවුව කෑල්ල ඇස් දෙක පියාගෙන අහල බලපන්.. හරියටම ගමේ ගොයියෝ අන්දහර පානවා, වගේමයි.. මෙන්න ලින්ක් එක http://www.youtube.com/watch?v=MmS-FR7fAaY&feature=related

    ReplyDelete
  15. අයියාගෙ කලින් කොමෙන්ට් එක දැක්ක වෙලේම අහල බැලුවා. අම්මෝ අවුරුදු ගාණකින් ඒ සින්දුව ඇහුවේ. අවුරුදු ගාණකට කලින් ඔය සින්දුව ඇහෙද්දි නම් එහෙම දෙයක් දැනුනේ නෑ. අම්මපා අයියා කීවා වගේ අඬහැර පානවා වගේ තමයි. අපේ ගමේදි නම් මට ඇහිලා නෑ අඬහැර. ඒත් මම අහලා තියනවා. කීවත් වගේ ඒක අඬහැරය වගේ තමා...

    ReplyDelete
  16. Wow...soooo true ayya...feel so lucky 2 be born in a village like ours...always i'm so proud abt that...

    ReplyDelete