Sunday, March 27, 2011

ඇහින්දාස් ගමන.........(පලවෙනි කොටස)

කට්ටියම අහලා ඇතිනේ ඇවිද්ද පය දහස් වටී කියලා කතාවක්. හැබැයි මට නම් හිතෙන්නේ ඇවිද්ද පය කෝටියක් විතර වටිනවා කියලා. ඇයි දෙයියනේ දැන් කාලේ දාහට කොහෙද වටිනාකමක්. මමත් ඉතින් ඔය කියමන දොහොත් මුදුනින් පිලිගන්න කැමති මනුස්සයෙක්. මිනිහෙක්ට ඇවිදලා කරලා රටේ ලෝකේ දේවල් බලන්න පුළුවන් නම් මොනතරම් දේවල් ඉගෙන ගන්න පුළුවන්ද? ඒවා ඉතින් පොතෙන් පතෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් නොවෙයිනේ. මේ කියන්න යන්නෙත් එහෙම පාඩමක් ගැන තමයි. මමත් ඉතින් මට පුළුවන් හැම වෙලාවෙම ඇවිදින්න කැමති මිනිහෙක්. අකුරටම ඔය කියමන පිළිපදින්න මනාපයි. කොටින්ම කීවොත් එක තැනක ඉන්න පුලුවන් එකෙක් නෙවෙයි.අපිට ඉතින් ඔය උ.පෙ ඉවර වුනාට පස්සේ  මාස 4ක් 5ක් නිකන් ඉන්න කාලයක් හම්බවුනානේ. මට නම් අපරාදේ කියන්න බෑ අවුරුදු 2ක් විතර  නිකන් ඉන්න හම්බ වුනා. මම ඔය කාලේ පුළුවන් තරම් ඇවිද්දා. අඩුම ගානේ සති 2කට සැරයක්වත් කොහේ හරි ගියා. කොහේ හරි කීවේ කන්දක්, වනාන්තරයක්, ඇළක් දොළක්, දිය ඇල්ලක්, සිද්ධස්ථානයක්, අපේ මුතුන් මිත්තන් කොරපු වැඩ වල නටබුන්, ඔය වගේ තැනක්. හැබැයි අනිත් තැන් වලට වඩා කැළෑ, කඳු, දිය ඇලි නම් පේන්න බෑ. ගියපු ගමන් ගැන විස්තර මම හිතන්නේ වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන්.

මම ඒ කාලේ දෙවනි පාර උ.පෙ ලියලා .මම දෙවනි පාර ලියද්දි මාත් එක්ක පන්ති ගිය පලවෙනි පාර උ.පෙ ලියපු මල්ලිලා සෙට් එකක් හිටියා. අපරාදේ කියන්න බෑ රත්තරං කොල්ලො සෙට් එකක්. ඔය සෙට් එකේ තුන් හතර දෙනෙක් දැම්මා යෝජනාවක් දුන්හිඳ ඇල්ල එහෙම බලාගෙන බදුල්ල, බණ්ඩාරවෙල, නුවර එළියේ පැත්තේ රවුමක් ගහමු කියලා. ගමන දවස් 2ක්. මටත් ඉතින් ආයේ ඇවිදිනවා තරම් දෙයක් නෑනේ. මමත් යෝජනාව සම්මත කරා. කට්ටියට කතා කරාට පස්සේ 26ක් සෙට් උනා. මම ඉතින් බය නැතුව අර බාග බස් ( බේබි රෝසා ) එකක් කතා කලා. 26ක් ඉන්න එකේ 3ක් 4ක් ආවේ නැතත් අවුලක් නෑ 20 වඩා ඒත් ඉන්නවානේ.මමයි මිථිලයයි තමයි දෙවනි පාර උ.පෙ කරපු උන් දෙන්නෙක්ට හිටියේ. අනිත් සෙට් එකම අපි දෙන්නට වඩා අවුරුද්දක් බාල උන්.යන්න කලින් බජට් එකත් හැදුවා, මොකද සල්ලි කීයක් විතර යයිද කියලත් හැමෝටම කියන්න ඕනෙනේ. අනික ඉතින් ඒ කාලේ ගොඩක් උන් ගෙදරින් දෙන කීයකින් හරි මාටියා ගහලා තමයි ඔය වගේ ගමනක් යන්න එන්නේ. කාටවත් එහෙමයි කියන්න යහමින් සල්ලි තිබුනේ නෑ. ඔන්න බජට් එක හැදුවාහම එකෙක් දාහක්, එක්දාස් පන්සීයක් ගෙනාවහම ඇති කියලා තීරණය වුනා. 25ක් ආවොත් විසි පන්දාහක්. මතක විදිහට බස් එකට දහ තුන් දාහයි. ඉතිරි දොලොස්දාහෙන් 25කට කෑමට සහ ඉන්න යන වියදම ගොඩදාගන්න පුළුවන්. බීමට යන වියදම් වෙනම. මොකද බොන්නේ නැති උන් එහෙමත් ඉන්නවානේ.


ඔක්කොම හරි. ඔන්න හෙට උදේ තමයි ගමන යන්නේ. මෙන්න රෑ එනවා පණිවුඩ. එක එකාට යන්න බෑ කියලා.  දැන් යන්න ඉන්න ගාන 20ටත් අඩු වෙලා. මොන දේ උනත් දැන් ලැහැස්ති වෙච්ච ගමන නවත්තනේ නෑ කියලා හිතාගෙන හිටියේ. කට්ටියටම පාන්දර 5.30 වෙද්දි එන්න කියලා තිබුනේ. සමහර උන් මහ පාන්දරත් කෙටි පණිවුඩ එවනවා එන්න විදිහක් නෑ කියලා. උදේ වෙද්දි කීයක් එනවද මටම ෂුවර් නෑ. මොනවා වුනත් ඉසුරු මල්ලි නම් කුකුලත් වඩාගෙනම අපේ ගෙදර  ආවා.  ඕන අධෝ මුඛයක් සත 10යි කියලා මමයි ඉසුරුවයි ආවා පාරට. බස් එක ඇවිල්ලද බලන්න. මෙන්න ටිකක් වෙලාවකින් බස් එක එනවා.බස් එකට ගොඩ වුනා විතරයි මට ඇඬුනා.  බස් එකටම හෙන්රියා විතරයි.

" මල හත් ඉලව්වේ...ඈ බං දැන් මේ බස් එකේ යන්නේ අපි තුන් දෙනා විතරද?කෝ දැන් එනවා කීව අනිත් උන්. මේ විදිහට ඉතින් උඹටයි මටයි බදුල්ලට යනකම් බස් එක ලෝඩ් කරන්න තමයි වෙන්නේ.  "

" නෑ නෑ වරුණ අයියේ, නාරදයි, හලයි, දෙලයි, මිථිලයයි ඉන්නවා. උන් සෙට් එක කල්පයාගේ ගෙදරින් බස්සලා ආවේ. කල්පයාගේ ගෙදරින් බර බරේ. ඌව ගෙදරින් මුදවා ගැනීමේ මහා මෙහෙයුමට ෆෝ මෑන් ටීම් එක හලලා ආවේ. කොහොම හරි කල්පයාව ඇදගෙන එන්නම් කීවා. අපිට මෙතන්ට වෙලා උන් එනකම් ඉන්න කීවා. "

හෙන්රියාගේ ඒ උත්තරෙන් නම් මට පොඩි සැනසීමක් ලැබුනා.හලා කියන්නේ අපේ හල්වල මල්ලි. දෙලා කියන්නේ දෙල්ගොල්ල මල්ලි. කල්පයා කියන්නේ ඉපදෙච්ච දවසේ ඉඳන් මාත් එක්ක ඉන්න එකෙක්. මොකද ඒකා අපේ තාත්තාගේ හොඳම යාළුවාගේ පුතා. මගේම මල්ලි හා සමානයි.  ගියපු සෙට් එක ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න තිබ්බනම් හොඳයි. ඒත් විස්තරේ තවත් දිග වෙනවා එහෙම වුනොත්. ඔන්න දැන්  යාන්තම් 8ක් ඉන්නවා. දුෂන්ත මල්ලිත් හංදියට එන්නම් කීවා. ඔන්න 9යි. ඇල්බා පාරට වෙලා ඉන්නවා කීවා. දැන් 10යි. අප්පා 25ක් එනවා කීව ගමනට දැන් ඉන්නේ 10යි. දාහ ගානේ එකතු කරලා බස් එකේ ගාණවත් ගෙවන්න බෑ. ඔන්න ටික වෙලාවකින් කල්පයාවත් අරගෙන අපේ ෆෝ මෑන් ටීම් එකත් හන්දියට කිට්ටු කලා. දුෂා මල්ලිත් ආවා. තවත් එකෙක් හරි දෙන්නෙක් හරි එකතු කරගන්න තමයි දැන් කට්ටියගේ ප්ලෑන් එක.කොළඹ නුවර පාරේ ටික දුරක් යද්දි හම්බ වෙනවා අපේ දිගාගේ ගෙදර. ඌට දිගා කියන්නේ උගේ දිග වැඩි නිසා. මිටි එකෙක් එහෙම උගේ මූණ දිහා බලාගෙන ටික වෙලාවක් කතා කලොත් අනිවා අර මිටි එකාගේ බෙල්ල උළුක් වෙනවා. කොහොමහරි ඔන්න දිගාගේ නොහොත් අපේ ගන්කේවල මල්ලිගේ ගෙදරට කිට්ටු වුනා. ආයෙත් ඔන්න බැස්සුවා අපේ ටීම් එකක්. මම බස් එකට වෙලා තවත් කවුරු හරි හොයාගන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. කට්ටිය යද්දි ගන්කෙ මල්ලි නිදිලු. උන්ගේ අම්මවයි තාත්තවයි ශේප් කරලා ඌව ඇහැරවගෙන, ලැහැස්ති කොරගෙන කට්ටියට දිගාව බස් එකට කැන්දගෙන එන්න විනාඩි 20ක් විතර ගියා. ඔන්න දැන් 11ක් ඉන්නවා.

ඊළඟට ගන්න තියෙන්නේ බබුලාව. ඌ නම් ගමන යන්න එනවා කියලා තිබ්බේ. ඒත් අන්තිමට උගෙන් කිසිම ආරංචියක් නැති වුනා.  ඌත් ඉන්නේ කොළඹ නුවර පාරේ. හැබැයි ගන්කේ මල්ලිලාගේ ගෙවල් වගේ පාර අද්දර නෙවෙයි. පාරෙන් හැරිලා ගම ඇතුලට සෑහෙන දුරක් යන්න ඕන. ඔන්න කට්ටිම ආවා උගේ වැයික්කියට. මිනිහා පේන්න නෑ. මමයි, තවත් එකෙකුයි බැස්සා. අපි දන්නෙත් නෑ උගේ ගෙවල් වලට යන්න. ගිහිල්ලා කතා කරා හන්දියේ හිටපු ත්‍රී වීලර් අයියට. පොරට විස්තරේ කීවහම පොර ගෙදර දන්නවා. එතන්ට රුපියල් 100ක් ඕනේ කීවා. ආයෙත් කල්පනා කරනවා. රුපියල් 100ක් වියදම් කරගෙන ගෙදර ගිහිල්ලත් ඌ හිටියේ නැත්නම් සල්ලිත් නෑ ඌත් නෑ.  වෙලාවෙ හැටියට වෙන කරන්න දේකුත් නෑ. ඔන්න ඔහේ ඕනෙ දෙයක් කියලා අපි ගියා.

අපේ වෙලාව හොඳයි. ගිහින් බලද්දි කොල්ලා ගෙදර. අපිව දැක්කා විතරයි බබුලා " ආ අයියේ ඇයි මේ හද්දිසියේ ?? "  කියලා අහපි. අපිට ඇපත් නැත. " ඇයි බං උඹට පණිවිඩයක් එව්වා නේද අද අපි ට්‍රිප් එකක් යනවා කියලා. හම්බුනේ නැත්ද? " මම එහෙම ඇහුවාහම මූ කියනවා " ආ........   ඒ අදද??  මම හිතාගෙන හිටියේ හෙට කියලා. මල කෙලියයි. මම අද ගිහින් කොණ්ඩේ එහෙම කපාගෙන හෙට යන්න ලැහැස්ති වෙන්න හිටියේ. "   ඒ උත්තරේට අපි දෙන්නාට අඬන්නද? හිනා වෙන්නද වත් තේරුනේ නැති උනාට ඌ එහෙම කියපු ගමන් හිනා ගියා. " හරි හරි දැන් යමන්, ආයේ කොණ්ඩ කපන්න ඕනේ නෑ. මඟුල් ගෙදර නෙවෙයිනේ යන්නේ."

"එහෙනම් අයියේ මට පැය බාගයක් ඕනේ. මුකුත්ම ලැහැස්ති කරලා නෑ. මම මූණ හොදලත් නෑ. දැන් කට්ටියම ඇවිල්ලද? මල කෙලියයි මං හින්දා පරක්කු උනා කියලා පලු යන්න බැනුම් අහගන්න වෙනවා.  කී දෙනෙක් ඉන්නවද? " මුගෙන් ප්‍රශ්න පත්තරයක්ම හම්බ උනා.


" කට්ටියම ඉන්නවා. 20ක් විතර ඉන්නව නේද බං? " උදේම පත බේගලක් බෑවා. තනියම බොරුවට කර ගහන්න බැරි හින්දා අනිත් එකාවත් සම්මාදන් කරගත්තා.
 " කමක් නෑ පොඩ්ඩක් පරක්කු උනාට උඹ ලැහැස්තිවෙයන්. ඇල්බත් බලාගෙන ඉන්නවා මඟ. පුළුවන් ඉක්මණට ලැහැස්ති වෙයන්කො "එහෙම කියලා බබුලට ගන්න ඕන දේවල් ලිස්ට් එකත් මතක් කලා.. බබුලාගේ අක්කත් දඩ බඩ ගාලා ඌට අවශ්‍ය කලමනා ලැහැස්ති කරලා දුන්නා. ඌව ත්‍රී වීල් එකට දාගෙන මඟක් ආවට පස්සෙයි අපිට වෙලා තියන සන්තෑසිය ඌට කීවේ.


ඔය වෙද්දි වෙලාව 8ත් පහු වෙලා. අනේ අපේ ඇල්බා පාන්දර 5.30 ඉඳන් හංදියේ. හංදියේ හිටපු උන්ගේ ගමේ සෙට් එක ටික ටික මූව බයිට් එකටත් ගන්න සූදානම අපි ඒ හරියට කිට්ටු වෙද්දි.  ඇයි හත් දෙයියනේ ලේසි පාසු කට්ටක්ද පාන්දර ඉඳන් උදේ 8.30 විතර වෙනකම් පාරට වෙලා බලා ඉන්නවා කියන එක. අනේ ඔන්න එතනට කිට්ටු වෙද්දි ඇල්බා මල්ලි ඉන්නවා. අච්චර කට්ටක් කාලත් උගේ මූණේ නෙවෙයි තරහා ලකුණක් වත් තිබුනේ. හැමදාම වගේ උගේ  ලස්සන පනාව දාගෙන නැග්ගා ඌත් බස් එකට. ඔන්න දැන් 12යි.යාන්තමට සූ ගාලා 12ක් ඉන්නවා මුළු බස් එකටම. ඔන්න ඔහොමයි අපි කට්ටියම ඇහින්දේ ගමනට. ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම් විසි පන්දාහක් වියදම් කරන්න ප්ලෑන් කරපු ගමන කොහොමද දහතුන් දාහකින් ගියේ කියලා. මොනවා වුනත් ඒ ගමන අපි පුදුම විදිහට විනෝද වුනා. කොල්ලන්ගේ පපු හොඳ නිසා මිසක් නැත්නම් කවදාවත් එහෙම ගමනක් නම් යන්න වෙන්නෙ නෑ. කතාව මතු සම්බන්ධයි.............

6 comments:

  1. ‍මේක නම් කියවන්න වටිනම කතාවක්.

    ReplyDelete
  2. ට්‍රිප් ගැන කියනකොට මට වෙච්ච දෙයක් මතක් උනා.. එතකොට මම රස්සාවට ගිය අලුත. ඔන්න අපේ සෙට් එක ට්‍රිප් එකක් ලෑස්ති කලා. මම ඉතින් ඕකට අඳින්න ඒ කලේ පැෂන් එකා වෙලා තිබ්බ කොඩ්රෝයි කලිසමක් මහන්න දුන්න. ට්‍රිප් ඒක යන දවසට ඉස්සෙල්ල දවසේ රෑ තමයි කලිසම හම්බ වෙන්නේ. ඔන්න එදා ගිහින් බැලුවම මු තාම මහනවා ! හොඳ එකා ඉතින් මුකුත් කියන්නත් බෑ.. පාන්දරට එන්න කිවුව මහල තියන්නම් කියල. මමත් පාන්දර ගිහින් එකත් ඇඳගෙන පරණ කලිසම බැග් එකේ දාගෙන ඉතින් ගියා කියමුකෝ ජොලියේ.. කට්ට කරුවලේ නිසා පෙනුනේ නැතුවට මු කලිසම කපල තියෙන්නේ රෙදි ඉතුරුවෙන්න . ඒ කියන්නේ 69 වගේ කපල. කකුල් පැත්ත පස්ස පැත්ත දෙපැත්තට දැම්මම රෙදි ඉතුරුයිනේ .. හැබැයි කොඩ්රෝයි රෙද්ද එහම මැහුවම පෙනෙන්නේ පාට දෙකක් ව‍ගේ.. අය්යෝ එලිය වැටෙන කොට කොල්ලෝ පටන් ගත්ත වදේ.. එතකොටයි මමත් දැක්කේ. අන්තිමට පරණ කලිසම ඇඳගෙන ගමන ගියා.. හැබැයි ටෙලරයට දුන්න බඩ පිරෙන්න. මාස දෙකකට පස්සේ ඌ මට හදල දුන්න. තව එකෙකුට කලිසමේ බාගේ දාල හදල දෙන්න ඇති ! ඌ ල පාටට ඇඳගෙන යන ගමන් කල්පනා කරන්න ඇති තද දුඹුරු පාට කලිසම් රෙද්ද මැහුවම ලාපාට උනේ කොහොමද කියල ..

    ReplyDelete
  3. හෙහ්..කිව්වත් වගේ කියවන්න වටින වැඩේ... මරු ට්‍රිප් එක නේ ඕක...

    ReplyDelete
  4. @ ජයියා..... අප්පටසිරි ඒ තරම්ම පාට වෙනස් වෙනවද? මල කෙලියයි. හොඳ වෙලාවට පරණ කලිසම හරි තිබ්බේ නැත්නම් වස ජංජාලයක් වෙන්නේ.

    @ නිම්ශා සහ තාරක - ඉවරයි කීවට ඉවරම නෑ තව තියනවා. මේ පලවෙනි සීන් එක. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කීවලු.

    ReplyDelete
  5. ඒක තමා මන් ජිවිතේට ගිය හොදම ට්‍රිප් එක...අමතක වෙන්න නෑ මෑරෙනකන්..අතේ සතේ නෑතුව අපි පාන් කාපු හෑටි මතක් උනාම අපි කොයි තරම් අහින්සක කොල්ලොද කියලා හිතෙනවා ....එහෙම කාලයක්.....

    ReplyDelete
  6. . ඔය කොඩ්රෝයි රෙද්දක් අරන් උඩ යට මාරු කරලා බලන්නකෝ ! එක පැත්තක් මැට් ෆිනිෂ් අනිත් පැත්ත ග්ලොස් !

    ReplyDelete