Sunday, April 3, 2011

අවසාන මහා තරඟය............


මේ ලියන්න යන්නේ ඊයේ මැච් එක ගැන විචාරයක් එහෙම නෙවෙයි.  කොහොමත් එහෙම ඒවා ලියන්න තරම් මම පොරක් නෙවෙයි. මැච් එක පැරදුනාට පස්සේ මොන විචාර දුන්නත් වැඩක් නෑනේ. මේ ලියන්න හදන්නේ මැච් එක බලන්න ගියපු මට ඇහුන, දැකපු දේවල් සහ මට හිතුන ඒවා. අනිතිම ලාස්ට් ෆයිනල් මැච් එක හින්දා මගේ යාළුවෝ සෙට් එකම කතා කලා එලියට ගිහින් මැච් එක බලන්න. ලංකාවේ ඉන්නවා වගේ නෙවෙයිනේ පිට ඉන්නකොට. කාමරේට වෙලා ඉන්ටර්නෙට් එකෙන් ඕක බලන එකේ කිසිම ගතියක් නෑනේ. ඉතින් කට්ටියම කතා කලා කොහේ හරි පබ් එකකට හරි රෙස්ටුවරන්ට් එකකට හරි ගිහින් මැච් එක බලමු කියලා. ගාණකට තට්ටු වුනත් කට්ටිය සෙට් වෙලා බියර් එකක්  එක්ක තරඟය බලන එකේ ෆන් එක වැඩි නිසා මමත් හා කීවා.ඊයේ දවල් වෙනකම්ම යන්න තැනක් හෙව්වා. මෙහෙ ක්‍රිකට් පෙන්නන්නේ ගොඩක් වෙලාවට ඉන්දියන් පබ් වල. මොකද මෙහෙ ක්‍රිකට් ජනප්‍රිය නෑ.  ගොඩක් තැන් වලට කතා කරහම ඒවා බුක් කරලා. අනික ඉන්දියන් පබ් වල ඉන්දියන් උන් පිරිලා. අපිට එහෙම තැනකට යන්න ඕන වුනෙ නෑ.

හවස් වෙද්දි එක එකා අදහස වෙනස් කරගෙන ඉතුරු වුන අපි පස් දෙනා ගියා රෙස්ටුවරන්ට් එකකට. මගේ ඉන්දියන් යාළුවෝ දෙන්නෙකුත් ආවා. හොඳ තැනක් ඕන නිසා කලින්ම ගියා.වැඩි කලබලයක් නෑ. අපි හිතුවා අවුලක් නැතිවෙයි කියලා. මෙන්න බොලේ ටිකකින් කඩාපාත් වුනේ නැත්ද ඉන්දියන් උන් 20ක් 30ක්. ලංකාවෙන් අපි පස් දෙනයි. ටිකකින් බලද්දි ඉන්දියන් උන් ඉන්නවා 40ක් විතර." අයියෙ සෙට් එකම ඉන්දියාවෙන් වගේ, අපි විතරයි ලංකාවෙන්, මාර ගේම නේද? කෑවොත් නම් ඇපත් නෑ. අනේ කොහොමහරි ගහපල්ලා." ඒ මාත් එක්ක ගියපු උන්. අනිත් කාරණය අපියි ඉන්දියන් උනුයි පෙනුමන් එක වගේ නිසා වාඩි වෙලා ඉන්න උන් ඔක්කොම ඉන්දියන්මද කියලා ෂුවර් නෑ. ඔන්න මැච් එක පටන් ගත්තා.

මැච් එක පටන් අරන් විනාඩි 3ක් 4ක් යද්දි තේරුනා වටේම ඉන්නේ ඉන්දියන් උන් කියලා. ඩිල්ශානුයි, තරංගයි දෙන්නම හිර වෙන්න වෙන්න උන් දෙවනත් වෙන්න කෑ ගහනවා.  බෝලෙන් බෝලෙට චීයර් කරනවා. අපි 5 දෙනා හරියට හනුමන්තාගේ සේනාවට කොටු වෙච්ච රාවනාගේ කොල්ලො වගේ. කට ඇරගන්න චාන්ස් එකක්  එනකම් බලාගෙන ඉන්නවා. අනික අපේ උන් ලංකාවේ ටී ෂර්ට් ඇඳගෙන ආවේ. ඉතින් උන් ඔක්කොම දන්නවා අපි ලංකාවෙන් කියලා. බෝලෙන් බෝලෙට අපි දිහා බලනවා, කෑ ගහනවා. අම්මෝ ඒ කෑ ගැහිල්ලෙන්, බැලිල්ලෙන් දැනෙන ප්‍රේෂර් එක විස්තර කරගන්න මට බෑ. මැච් ගහන උන්ට වඩා එතන බලන්න ගිය අපිට ප්‍රෙෂර්. උඹලට කියන්න මට එවෙලේ මතක් උනේ පිට්ටනිය මැද්දේ සෙල්ලක් කරන අපේ කොල්ලන්ට මොනතරම් පීඩනයක් ඇත්ද කියලා. අපිට මෙතන 40ක් 50ක් ඉඳලා මෙහෙම ඒක දැනෙනවා නම් දාස් ගානක් මැද්දේ ඉන්න අපේ කොල්ලන්ට කොහොමඇත්ද? අනිත් රටක එකෙක් දෙන චියර් එකක් වගේ නෙවෙයි මුන්ගේ චියර්. මුන් ඉතින් ෆිල්ම් එකක් බලලා අන්තිමට වීරයා මැරුනොත් ෆිල්ම් හෝල් එක ගිනිතියන ජාතියක්නේ. අපි 5 දෙනා හිතින් අනේ හතරක් ගහපන්, අනේ හතරක් ගහපන් කිය කිය හිටියා. 4 ගහපු ගමන් අපි 5 දෙනා කෑ ගහනවා. ඒත් කරුමෙට ඊයේ උන් හොඳට ෆීල්ඩ් කරා. ඉන්දියන් උන්ටත් පුදුමයි ඊයේ උන් ෆීල්ඩ් කරපු හැටි.මම හිතන්නේ ඉන්දියන් ටීම් එකේ උන් දන්නවා මැච් එක කෑවොත් කොහොමත් රටේ උන් උන්ගේ අඬු කඩනවා කියලා. ඉතින් නිකන්ම අඬු කඩාගන්නවට වඩා බෝලෙකට පැනලා අතක්, පයක් ගැලවුනත් දුක නෑ කියලා හිතාගෙනද කොහෙද උන් ඊයේ සෙල්ලම් කලේ.  ඔහොම ඔහොම වෙලාව යද්දි ඔන්න මහේල ටික ටික නෙලන්න ගත්තා. අපිට මාර ආතල්. දැන් මොකෙක්වත් සද්ද නෑ. අපිට අමුතු විදිහේ කෝචොක් බැල්මවල් දාන්නෙත් නෑ.

අන්තිම බෝලටත් තිසර මල්ලි 6ක් ගැහුවා විතරයි අපිට පුදුම ආතල් එකක්. එතන හෙලවෙන්න කෑ ගහලා වටපිට බැලුවා. කලින් කෑගහපු උන්ගේ මූණු මැලවිලා. ඉන්දියන් සෙට් එකෙම තිබුන බලාපොරොත්තු හේදිලා තිබුනා. එ වගේම බලාපොරොත්තු අත ඇරගෙන තිබුන අපිට බලාපොරොත්තුවක් ලැබුනා. දැන් ඉතින් දෙවනි ඉනිම තමයි වැඩේ. ඔය අතරේ ඉන්දියන් එකෙක් අපිට ඉඳන් කියනවා " ඕක දිනුවේ නැත්නම් ටීම් එකට එලියට යන්න හම්බ වෙන්නේ නෑ. අනිවාර්යයෙන් කුඩු කරනවා ඔක්කොම.  ඕක සචීන්ගේ ටවුන් එක. ඒ නිසා මේක කොහොමහරි දිනන්න ඕනේ. " කියලා. අපිට වඩා ඉතින් උන් දන්නවානේ උන්ගේ උන් ගැන. අනික අපිට මතකයි 96 සෙමි ෆයිනල් වෙලාවේ ඉන්දියන් උන් හැසිරුන විදිහ. කතාව බොරු වෙන්නත් බෑ. කොහොමත් අපිට දැන් දිනුවත් පැරදුනත් දුක නෑ. චාටර් ලකුණු ගානකට අපේ කට්ටියම අවුට් වෙලා චාටර් උනා නම් මොනවා උනත් හිතට දුකයිනේ.

ඔන්න දෙවනි ඉනිමත් පටන් ගත්තා. මාලිංගගේ පලවෙනි ඕවරෙන්ම එකෙක් ගියා. පට්ට ආතල්. ෆුල් සද්දයක් දාලා වටපිට බැලුවා. ඉන්දියන් උන්ගේ මූණු ඔක්කොම මල ගෙයක් වගේ කරගෙන. එහෙම ඉඳලා ඉඳලා හතරක් වැදුන ගමන් උන් කෑගහනවා මැච් එකම ගැහුවා වගේ. මොනවා උනත් ඉන්දියන් උන් මාලිංගට පට්ට බයයි. මාලිංග බෝල් කරද්දි කට්ටියම කට ඇරගෙන බලාගෙන ඉන්නේ. ඔහොම ඔහොම ඕවර් 30ක් විතර වෙනකම් ගියා. කට්ටියම දැන් සද්ද නෑ. මීයට පිම්බා වගේ. අපිවත් ඉන්දියන් උන්වත් කෑගහන්නේ නෑ. කාටවත් ෂුවර් නෑ මොනවා වෙයිද කියලා. මොනවා උනත් ඕවර් 45 ට විතර එනකම් මාරම ආතල්. අපි අනේ විකට් එකක්, අනේ විකට් එකක් කිය කිය ඉන්නවා. ඉන්දියන් උන් අනේ 4ක් අනේ 4ක් කිය කිය ඉන්නවා. මැච් එකේ හතලිස් පස්වෙනි ඕවරේට ආවට පස්සේ " මල්ලී මට නම් පේන විදිහට අද ඉන්දියන් උන්ට රෑ කෑමට සිංහ මස් වගේ. අපි පස් දෙනාවත් කන සීන් එකක් තියෙන්නේ. ලකුණු 274ක් ගහපු නිසා අපේ උන් මෙතනින් රෙදි ඇඳගෙන යන්න පුලුවන්. එහෙම නොවුනානම් යන්න වෙන්නේ කලිසම ගලවලා ඒකෙන් ඔලුව වහගෙන තමයි" එහෙම කියලා මම පරදින එක ගැන හිත හදාගත්තා. " නෑ ,නෑ බං අපි අද දිනනවා. දිනනවාමයි. තව ඕවර් 5ක් තියනවානේ. අනිවා ඊළඟ එකේ විකට් 2ක් යනවා. එතනින් එහාට ගේමම ගොඩ. " අපේ එකෙක් පරදින්න යනවා කියලා පිලිගන්න කැමතිම නෑ. ඒකත් එක අතකට හොඳයි. හොඳ හයියක්.

ඔන්න දෙයියනේ කියලා නුවන් කුලසේකරගේ ඕවරේට හතරේ දෙකක් නෙලුවා. පලාතම හෙලවෙන්න අරුන් කෑගහනවා. අපිට නම් ඇපත් නැත. ඊළඟ ඕවර් එකෙන් මැච් එක අපි පැරදුනා.  කවුරුහරි දිනන්න තවත් කෙනෙක් පරදින්න ඕනේ. ඒත් පැරදුනත් මට දුකක් හිතුනේ නෑ. මොකද ඊට විනාඩි 15 කට කලින් ඉන්දියන් උන්ගේ මූණු දැක්කාහම අපි උන්ට හෙන ගේමක් දීලා පැරදුනේ කියලා පෙනුන නිසා. අනික අපිට උන්ට වගේ නෙවෙයි ජය පරාජය දෙකම දරාගන්න කොන්දක් තියනවා. සමහරවිට අපි දිනුවනම් අර කලින් ඉන්දියන් එකා කීවා වගේ උන්ගේ ටීම් එකටත් ගහලා අපේ කොල්ලන්ටත් ගහලා මොකක් හරි මෝඩ ආතල් එකක් ගන්න ඉඩ තිබ්බා. ඔක්කොම වෙන්නේ හොඳටයි කියලා හිත හදාගන්නයි තියෙන්නේ. අපරාදේ කියන්න බෑ දිනලා, කෑ ගහලා ටික වෙලාවක් ගියාට පස්සේ සෙට් එක අපි ලඟට ඇවිත් " hey are you guys ok ? don't worry man. it was an amazing battle. your team did well. " කීවා. මොනවා උනත් ලඟට ඇවිත් කතා කරානේ. අපිත් ඉතින් හිතින් බැන බැන  කට්ටියටම සුභ පතලා ආවා.

ඇත්තටම මට හිතෙන විදිහට නම්  අපේ කොල්ලන්ට බනින්න දෙයක් නෑ. අළුත් මූණු කීපයක් එක්ක සංගයි, මහේලයි යම් කිසි දෙයක් කෙරුවා. උන්ගේ රටේ උන්ගේ මිනිස්සු මැද්දේ සෙල්ලම් කරද්දි තියන පීඩනය ගැන පොඩිහරි අදහසක් මට ආපු නිසයි මේ කියන්නේ, එහෙම පීඩනයක් එක්ක සෙල්ලම් කරන එක ලේසි නෑ. කොහොම උනත් දැන් ඉතින් ඔය ගැන කතා කරලා වැඩක් නෑ. මේක ලීවේ මගේ ජීවිතේ මෙහෙම අත්දැකීමක් ලැබුනේ ඊයේ නිසා. අනිත් හැම පාරම ලංකාවේ උන් එක්ක මැච් බැලුවේ. ඒ විස්තරේ නම් ඉවරයි. මම අද උදේ දැක්කා මැච් එක ඉවර වෙද්දිම ලංකාවේ ඉන්ධන මිල නැග්ගා කියලා ප්‍රවෘත්තියක්. මැච් පැරදුන හින්දා තමයි ඔය ගානෙන් වැඩි වුනේ දිනුවානම් අනිවා තවත් රුපියල්5ක් 10ක් එකතු කරනවා වැඩි කරපු ගානට. මොකද මැච් එකේ ජයග්‍රහනය සතියක් විතර යනකම් භුක්ති විඳිනකොට අපේ මිනිස්සුන්ට ඔය ගනන් හිලව් අමතක වෙනවානේ. දැන් ඉතින් වර්ල්ඩ් කප් එක ඉවරයි. පටි තද කරගෙන කප් එක ගහනකම් ජිවිත ක්‍රිකට් මැච් එක ගහන හැටි කල්පනා කරපල්ලා. මේ තියන පීඩනයත් එක්ක හයේ , හතරේ ඒවා නම් අපිට ජීවිතෙට ගහන්න බෑ. ඒ උනාට අඩුගානේ විකට් එක බේරගන්න උත්සහයක් ගමු................

7 comments:

  1. ඒත් මටනම් හිතා ගන්න බැ අන්තිමට ඇයි කුලසේකරට ඕවර් 1ක් දුන්නෙ කියල, අනිත් අයගේ ඕවර් ඉතුරු වෙලා තියෙද්දි.

    හැබැයි ලංකාව දින්නම් ඉන්දියන් ටීම් එකේ සෙට් එකට ඇපේ කට්ටිය ආපු ෆ්ලයිට් එකේම එන්න වෙනවා..

    ReplyDelete
  2. @ Hitchins - thanks.

    @ තාරක - අනේ මන්දා සහෝදරයා. ඇන්ජලෝ නැතිවුන එක අපිට සෑහෙන්න අවාසි උනා. කොහොමත් ක්‍රීඩාව ඉතින් ඔහොම තමයි. අපේ උන් පැරදිලා කරගත්තෙ පිනක්. නැත්නම් ඉන්දියාවේ උන්ගේ පවුල් ඔක්කොම අනාතයි. ගෙවල් ඔක්කොම ෆ්ලැට් මේ වෙද්දි. එහෙම උනානම් ෆ්ලයිට් එකේ අපිත් එක්ක එනවා තියා ඉන්දියාවේ ටීම් එකටවත් අපෙ කොල්ලන්ටවත් පිට්ටනියෙන් එලියට එන්න බැරි වෙන්නත් ඉඩ තිබ්බා.

    ReplyDelete
  3. ශ්‍රී ලාංකිකයෙක් විදියට මට හෙනම දුකයි අපි මැච් එක පැරදුන එකට . . . ඒත් දේශපාලනික වශයෙන් . . . . . සිද්දිය ටිකක් විතර වෙනස් . . .

    ReplyDelete
  4. @ ඕනයා - සිරා සිරා ඇන්ඩායියේ... අපිට දුක විතරක් නෙවෙයි එවෙලේ ෆුල්ම මලත් එක්ක. අර ඉන්දියන් උන් රෙස්ටුවරන්ට් එක දෙවනත් වෙන්න කෑ ගහද්දී දුක වගේම හීනියට කේන්තියක් වගේ එකකුත් ආවා. අනේ මන්දා එවෙලේ දැනුන දේවල් වචන වලට හරවන්න බෑ. මොනවාවුනත් අපේ උන් සෙල්ලම් කරපු විදිහට උන් බය වෙලා හිටියේ. මම ඒකයි කීවේ උන්ගේ මූණු දැක්කහම මගේ දුක අඩුවුනා කියලා...... සාධාරණව සිද්ධිය දිහා බැලුවහම අපේ කොල්ලන්ට දොසක් කියන්න බෑ ඇත්තටම ....

    ReplyDelete
  5. අනිවා අයියේ..අපේ එවුන් නියමෙටම කලා.පොඩි පොඩි වැරදි වුනා තමයි.ඒත් අපිට ආඩම්බර වෙන්න පුළුවන්.මුරලිට,මාලිංගට උන් බය බව උන්ගේ පත්තර,ටීවී වල හිටන් කියල තිබුන.

    ඇත්තද දන්නේ නැ අයියේ,එළකිරි එකේ දාල තිබුන සඟට මැච් එක පරදින්න කියල බලපෑම් තිබුන කියල.හැබැයි මැච් එකේ තිබුන උණුසුම එක්ක බැලුවම මට නම් ඒක විශ්වාස කරන්න අමාරුයි.

    ReplyDelete
  6. @ පිසාචයා - අනේ මන්ද මල්ලී.... පැරදුනාට පස්සේ ඉතින් එක එකා රටේ නැති ඒවා කියනවා. කොල්ලෝ දිනුවානම් පලාතේවත් නැති උන් ලකුණු දාගන්න හදනවා. හැමදාමත් ඉතින් ඕක ඔහොමනේ. කොහොම වුනත් හැමදාමත් අපේ ක්‍රීඩකයන්ට දේශපාලන බලපෑම් නම් තියනවා.

    ReplyDelete