Sunday, January 29, 2012

බෞද්ධයෝ...........

බ්ලොග් එක ලියන්න පටන් ගත්ත කාලේ ලියන්න තිබ්බ උනන්දුව දැන් දැන් ටික ටික අඩුවෙලා ගිහින්. ඒවාගෙම බ්ලොග් අවකාශය දිහා දැක්කහම ලියන්න තියන උනන්දුව තවත් අඩුවෙනවා. මෙහෙම කීවට කවුරුත් අහිතක් හිතන්න එපා. ඒත් මට හිතෙන විදිහට නම් දැන් බ්ලොග් අවකාශයත් තම තමන්ගේ කුහකකම් ප්‍රදර්ශනය කරන්න පාවිච්චියට ගන්න තැනක් වෙලා වගේ.එක අතකට ඒ ගැන පුදුම වෙන්න දේකුත් නෑ. බ්ලොග් ලියන්නෙත් අපේ සමාජයේම කොටසක්නේ. මගේ බ්ලොග් එකේ උඩින්ම ලියලා තියනවා වගේ මේ ලියන්නේ මට හිතෙන, මට දැනෙන දේවල්. හොඳද ? නරකද ?  හරිද ? වැරදිද කියලා තීරණය කිරීම කියවන උදවිය සතුයි. ඒ පිළිබඳව අදහස් දැක්වීමටත් හැමෝටම අයිතියක් තියනවා. ඒත් තව කෙනෙක්ට ප්‍රතිවිරුද්ධ අදහසක් තිබ්බා කියලා ඒ අදහසකට දිගට හරහට පන්න පන්න පහර ගහන එකේ නම් තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. වැරැද්දක් හෝ අඩු පාඩුවක් දකිනවා නම් පෙන්නලා දෙන එක යුතුකමක්. අනිත් කෙනා ඒක පිළිගන්නවාද නැද්ද කියන එක ඒ වැරැද්ද පෙන්නලා දෙන කෙනාට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒ නිසා එවගේ වාදවලින් පස්සෙත් පුද්ගලිකව කපා කොටාගන්න එක නම් මහා අප්‍රසන්නයි.  මේ ගැන නෙවෙයි අද ලියන්න හිතුවේ. ඒත් බ්ලොග් අවකාශයේ වසරකට ආසන්න කාලයක් ගත කරපු මට ආපහු හැරිලා බැලුවහම පොඩි කලකිරීමකුත් දැනෙනවා. ඒ නිසයි මේ ටික ලියන්න හිතුනේ. ඒ කතාව ඉවරයි. දැන් හැරෙමු අද ලියන්න හිතුවේ මොකක්ද කියන එක පැත්තට.



මාතෘකාව දැක්කහම හැමෝටම තේරෙනවා ඇති ලියන්න හදන්නේ ආගම සම්බන්ධ දෙයක් විත්තිය. මේක ලියන්න හිතුනේ මේ ටිකේම මූණු පොතේ බෞද්ධ විරෝධී පුද්ගලයන් ගැන බෞද්ධයන් පළකරලා තිබුණ දේවල් දැකලා. බෞද්ධ විරෝධී කීවේ බුදුරජාණන් වහන්සේට අගෞරව වෙන විදිහට යම් යම් ප්‍රකාශ කරන, විකෘති රූප පලකරන උදවිය. ඒ අය පිළිබඳව අපේ බෞද්ධයන් විසින් නිකුත් කරපු ප්‍රකාශ බොහොමයක තිබුනේ වෛරයය.  " සාප වේවා" "භංග වේවා" සමහර ප්‍රකාශ පට්ට පල් කුණුහරුප. මේවා දැක්කහම මට කල්පනාවුනේ මේ ඇත්තටම බෞද්ධයෝද කියලා.  බෞද්ධයෝ නම් බුදු රජාණන්වහන්සේ දේශනා කරපු දර්ශනය අනුගමනය කරන ඈයෝ වියයුතුයිනේ. මම මේ කියන්න යන්නේ පෘතග්ජන අපිට තේරුම් අමාරු අභිධර්මය ගැන නෙවෙයි. මට මේවා දැක්කහම කල්පනාවට ආවේ බොහොම සරල අපේ බෞද්ධයන්ගේ අත්පොත විදිහට සැලකෙන ධම්ම පදයේ ගාථාවක්.


“නහී වේරේන වේරානී - සම්මන්තිධ කුදාචනං
    අවේරේනව සම්මන්තී – එස ධම්මෝ සනන්තනෝ”      



මේ තියෙන්නේ අපි පොඩි කාලේ කට පාඩම් කරපු ධම්ම පදයේ සඳහන් සරල ගාථාවක්. ගථාවේ තේරුම ගත්තොත් "මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයයෙන්ම වෛරය සන්සිඳෙයි. එය පෙරසිට පවතින සනාථනික ධර්මයක් බව බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළසේක" . අපි බෞද්ධයෝ විදිහට වෛරයෙන් වෛරය නොසන්සිඳෙයි කියලා  ඉගෙන ගත්තේ බොහොම පුංචි සන්ධියේ ඉඳලා. ඒත් ඇත්තටම බෞද්ධයෝ ඒ දේවල් ක්‍රියාත්මක කරනවද?  බුද්ධ ධර්මයට නිග්‍රහ කරනවා කියලා වෙනත් ආගමක් අදහන කෙනෙක්ට ද්වේශයෙන්, වෛරයෙන් කෑ ගැහුව පලියට බුද්ධාගම විනාශ නොවී පවතිනවද? මේ ලෝකේ මිනිස්සුන්ට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තියනවා. ඒත් කිසිම ආගමක් හෙලා දැකීමේ අයිතියක් නෑ. එහෙම වුනත් යම් යම් පටු අරමුණු නිසා එහෙම කරන කොඨ්ඨාශයක් අපි අතරේ ඉන්නවා. ඒ ගැන මේ හැටි කලබල වෙලා වෛරය, ක්‍රෝධය පුරවගෙන යුද්ධ ප්‍රකාශ කරන්න බෞද්ධයන් විදිහට අපිට යුතුකමක් තියනවද?  බුදුරජාණන් වහන්සේ වැඩහිටිය යුගයෙත් දේවදත්තලා, චිංචිමානවිකාවන් එහෙම හිටියා කියලා අමතක වුනාද ? බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩහිටි සමයේ උන්වහන්සේට කෙනෙහෙලිකම් කරපු විරුද්ධ වුන මිනිස්සු හිටපු එකේ බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදහස් පන්සිය පණහකට පස්සේ ඔය වගේ දේවදත්තලා, චිංචිමානවිකාවන් ඉන්න එක පුදුම වෙන්නවත්, කිපෙන්නවත් කාරණයක් නෙවෙයි. එහෙම උදවියට ගහන්න, බනින්න, වෛරකරන්න සැබෑ බෞද්ධයෙක්ට පුළුවන් කමක් නෑ කියලයි මගේ නම් අදහස. 


එතකොට කෙනෙක් අහයි "මේවා බලාගෙන අපිට අතපය බැඳගෙන ඔහේ ඉන්නද කියන්නේ " කියලා.  බෞද්ධයෙක් විදිහට මේවා ගැන කතා නොකර ඉන්න කියනවා නෙවෙයි. ඒත් වෛරයක් ඇතිකරගෙන මේ ගැන කටයුතු කරන එකේ තේරුමක් නෑ.  මම නොයෙකුත් ආගම් අදහන මිත්‍රයෝ ආශ්‍රය කරනවා.  ලංකාවෙන් පිට ඉන්න නිසා නොයෙකුත් ආගම් අදහන, නොයෙකුත් ජාතීන් එක්ක වැඩ කටයුතු කරන්න වෙනවා. ඒ අය අදහන ආගම ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ ආගම ගැන වැරදි ප්‍රකාශයක් කරොත් එතනදි ඒක මම නිවැරදි කරනවා. කට වහගෙන ඉන්නේ නෑ. ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමේ හැටියට ඒ ඒ දේවල් තේරුම් ගන්නවා. තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති පුද්ගලයෙක් නම් මම ඒ ගැන දිගින් දිගට කතා කරන්න යන්නේ නෑ. ඒ වගේම ඒ මනුස්සයට වෛර කරන්නේත් නෑ. ඒ ඉතින් මගේ පෞද්ගලික ක්‍රියා පටිපාටිය. අපි හිතමු ඔය අන්තවාදී ආගමික කණ්ඩායමක් මුල් කරගෙන ඒ කණ්ඩායමට විරුද්ධව වෛරී සිතින් මොනවා හරි ප්‍රතික්‍රියාවක් ආරම්භ කරා කියලා. ඒ සිද්ධිය හොඳටම ප්‍රමාණවත් වේවි ආගමික ගැටුමක් රට තුළ ඇතිවෙන්න. අතීතයෙන් අපිට හොඳ පාඩම් ලැබුනා මතක ඇතිනේ. කාළකණ්නි ජාතිවාදී යුද්ධයක් තිබුනා සහ ඒ දේවල් වලට හේතු තාම අපේ අයට මතක ඇති කියලා හිතෙනවා. ඒ නිසා මේ ආගමික ප්‍රශ්න වලට වෛරයෙන් යුතුව පිළිතුරු හොයන එක නම් බෞද්ධයන්ට සුදුසු නෑ. පහුගිය ටිකේම මම දැක්කා බෞද්ධ සිද්ධස්ථාන වෙනත් ආගම් වලින් අත්පත් කරගෙන, බෞද්ධයන්ට නොයෙකුත් ආකාරයේ තර්ජන, ගර්ජන. මේ සම්බන්ධ දේවල් වලට කතා නොකර ඉන්න කියනවා නෙවෙයි. කතා කරාට ගැටළුවක් නෑ, හැබැයි වෛරයය කියන ගිනිගොඩ පැත්තකින් තියලා. බුදුරජාණන්වහන්සේ කිසිම තැනක දේශනා කරලා නෑ කිසිම සත්වයෙක්ට වෛරයය කරන්න කියලා. බෞද්ධයන් විදිහට සියලුම සත්වයන්ට මෛත්‍රිය පතුරන්න හුරුකලා මිසක්. 


බෞද්ධයන්ට ඔය කියන අන්‍යාගමිකයන්ට බනිනවට, ගහනවට, වෛර කරනවට වඩා වැදගත් යමක් තියනවා කරනවා නම් කරන්න. ඒ තමයි වචනයේ පරිසමාප්තයෙන්ම බෞද්ධයෙක් වෙන්න උත්සහ කරන එක. අනිත් ආගම්වලට ඇඟිලි දික් කරන්න කලින් බෞද්ධයන් විදිහට අපි ළඟ තියන අඩු පාඩු, වැරදි හදාගන්න එක. එහෙම නැතිව කරන්න තියන කඩප්පුලි වැඩ ඔක්කොම කරන ගමන් වෙන ආගමක මනුස්සයෙක් පටු අරමුණක් වෙනුවෙන් කරන දේකට ඒ මනුස්සයට වෛර බැන්දා කියලා බෞද්ධාගම පිරිහෙන එක නවතින්නේ නෑ. මුලින්ම බෞද්ධයන්ට පුළුවන් නම් බෞද්ධ සංස්කෘතියට සදාචාරයට අනුව ජීවත් වෙන්න උත්සහ කරන්න මම හිතනවා ඒක තමයි බෞද්ධ ධර්මය පිරිහෙනවට බෞද්ධයන් වශයෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ. ඒ නිසා තවත් මනුස්සයෙක්ට බෞද්ධ ධර්මයේ නාමයෙන් වෛර කරන්න කලින් හිතලා බලන්න ඒ දේ බෞද්ධයෙකුට ගැලපෙනවද කියන දේ. එවගේම නියම බෞද්ධයෙක් විදිහට තමන් ජීවත් වෙනවද කියන දේ. 


වෛරයයෙන්, ද්වේශයෙන් අනිත් ආගම් හෙලා දැකීමෙන් බුද්ධ ධර්මයේ පුනර්ජීවනයක් ඇතිවෙනවද ???  අනිත් ආගමකට දෝෂයක්, චෝදනාවක් කරන්න කලින්, වෛරය බැඳගන්න කලින් අපි ඇත්තටම බෞද්ධයෝද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් මොකද? අනිත් ආගමකට ඇඟිලි දික් කරන්න කලින් කරන්න වැඩගොඩක් අපිට තියනවා. පෘථග්ජන අපිට 100% නිවැරදි වෙන්න පුලුවන් කමක් නෑ. ඒත් අපි අඩුම තරමේ නියම බෞද්ධයෙක් විදිහට ජීවත් වෙන්න පොඩි හරි උත්සහයක් කරන්න ඕනේ. 365 දවසෙම පන්සල් ගියා කියලවත් උදේ හවස පන්සිල් ගත්ත පමණින්ම කිසිම කෙනෙක් බෞද්ධයෙක් වෙන්න නෑනේ. ප්‍රතිපත්තියටයි මුල් තැන. බෞද්ධයන් විදිහට තමන්ට අවංකව ප්‍රතිපත්ති ගරුක වීමයි අවශ්‍යය. වෙනත් ආගම් වල වගේ නීති පිළිපැදිය යුතුයි කියලා දෙයක් නෑ.   බෞද්ධ දර්ශනය යනු අන්ධ භක්තියෙන් පිළිගතයුතු දහමක් නොවේ. එය අවබෝධ කර ගත යුතු හා නිරතුරැ විමසීමට ලක් කළ යුතු දහමකි. “මාගේ වචනය පරීක්ෂාක කොට පිළිගත යුතුය. හුදෙක් මා කෙරෙහි ඇති ගෞරවය නිසා ඒවා නොපිළිගත යුතු” බවයි බුදුන් වහන්සේ  දේශනා කොට වදාළේ.


එපමණක් නොවෙයි බෞද්ධ දර්ශන යනු යාතාර්ථවාදී දර්ශනයක්. යම් යම් පිරිස් එය විනාශ කොතෙකුත් උත්සහ කරත් යථාර්තය කවදාවත් වෙනස් නොවෙයි. බෞද්ධයන් වන අපිට බෞද්ධ ධර්මය රැක ගැනීමට ගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ගය නම් එම දර්ශනය අනුගමනය කරන්න උත්සහා කිරීම, එහෙමත් නැත්නම් වචනයේ පරිසමාප්ත අයුරින්ම බෞද්ධයෙක් වීමට උත්සහ කිරීම. ආගම රැකගැනීමේ අරමුණින්, වෛරය පතුරවමින් ගත කරන කාලය නියම බෞද්ධයෙක් වීමට උත්සහයකට යෙදවීමෙන්, සියළු සත්වයින්ට හිතකර ආකාරයෙන්, බෞද්ධ දර්ශනය රැකගැනීමට හැකියාවක් බෞද්ධයන්ට තිබේ යැයි මගේ හැඟීම. ඉතින් බෞද්ධ ධර්මය කෙරෙහි ඇත්තටම තමන්ට ඇල්මක් තිබේ නම් තවකෙකුට වෛරකරනවා වෙනුවට නියම බෞද්ධයෙක් වන්න උත්සහ කරන්න. ප්‍රදර්ශනාත්මක බෞද්ධයන්ගෙන්, පාරම්පරික බෞද්ධයන්ගෙන් හෝ නාමික බෞද්ධයන්ගෙන් බුද්ධ ධර්මයට සිදුවෙන හානිය අන්‍යාගමිකයින් බෞද්ධ දර්ශනයට කරන හානියට වඩා බොහෝ දරුණු යැයි මගේ හැඟීම. ඒ නිසා බෞද්ධයන් වන අපි බෞද්ධ දර්ශනයට කරන  හානිය අඩු කරොත් අපිට අන්‍යාගම් සමඟ වෛර බැඳීමට හේතුවක් නැතිවේවි. බුදුරජාණන් වහන්සේගේ අන්තිම වචනය බෞද්ධයෝ වශයෙන් අපි සිහියේ තබා ගන්නවා නම් බොහොම වටියි. “ සියළු සංස්කාරයෝ ( හේතුවෙන් හටගත් දේවල්) නැසෙන සුළුය අප්‍රමාදව කටයුතු කරන්න”  මට නම් හිතෙන්නේ මේ තියන දේවල් බදාගෙන බෞද්ධයෝ වෙච්ච අපි ප්‍රමාද වෙවී ඉන්නවා කියලයි. සියළු දෙනාට තෙරුවන් සරණයි !!!!


ප.ලි - මේ ටික ලීවේ අනිත් ආගම් වලට ඇඟිලි දික් කරන්න ගොඩක් බෞද්ධයෝ පුරුදු වෙලා වගේ දැනුන නිසයි. අනික මේ පෝස්ට් එක කියවලා සමහරු අහයි " උඹ හෙන බෞද්ධයාද අනිත් උන්ට බණ කියන්න " කියලා. මම කියන්නේ නෑ මම බොහොම හොඳ බෞද්ධයෙක් කියලා. මම කොහොම මනුස්සයෙක්ද කියන එක මගේ බ්ලොග් පොස්ට් එකක් දෙකක් කියවපු, මාව මාස කීපයක් සමහරවිට අවුරුදු කීපයක් මාව දන්න කෙනෙක්වත් හරියට නොදන්නවා වෙන්න පුළුවනි. ඒ නිසා මගේ බෞද්ධකම ගැන තර්ක කරන්න යන්න වුවමනාවක් මට නෑ.   කියන්න තියෙන්නේ මාව හරියට දන්නෝ දනිති කියලයි. ඊට අමතරම මේ කියලා තියන කාරණාව ගැන කියන්න තියෙන්නේ  මම අනිත් ආගම්වලට දොස් කියන්නෙවත්, බුද්ධර්මයට නිගා කරන උන්ට කෙලවෙලා පල කියලා සාප කරන්නවත් යන ජාතියේ මිනිහෙක් නෙවෙයි කියලා. කොහොමත් මම වෛර කරන මනුස්සයෙක් නෙවෙයි. ඒ ගැන මීට කලින් ලීවා. ඔන්න ඒකත් ගිහින් බලන්න පුලුවන් මෙතැනින්.

21 comments:

  1. කාලීන මාතෘකාවක් කියන්න ඕනේ ටික පෙරලා පදමට කියල තියෙනවා ගොඩයා මහත්තයෝ... මම කතෝලිකයෙක්... ක්‍රිස්තියානි අපිටත් ඕන තරම් ඔය වගේ දේවල් නැතුවා නෙමෙයි... ඕවට දෙව්ෂ සහගතව ප්‍රතිචාර දැක්වීමෙන් වෙන්නේ එහෙම කරන මිනිස්සු තව තවත් ඒ දේවල් හරහා ප්‍රති ප්‍රතිචාර දක්කවන්න...

    විශේෂයෙන් මේ පහුගිය දොහේ facebook හරහා මොකද්ද හොඳම ආගම, කව්ද හොඳම ආගමීක නායකයා වගේ මන්ද බුද්ධික ප්‍රශ්නවලට අපේ උන් දෙන උත්තර... තව එක එක ආගමික වතාවත් වලට සතුන් මරණ ඒවා වගේ පදනම් කරගෙන ඒවාට සාප කරන හෙන ඉල්ලන අපේ මිනිස්සු...

    ඒවාට නිහතමානීව විරුද්ධ වෙන්න පුළුවන් කම තියෙනකොට අපේ අය උත්සහ කරන්නේ ටිකක් සැර වචන දාල Internet වීරයෝ වෙන්න... ඇත්තටම මට නම් ඒ වගේ අය Internet ජෝකර් ලා... මේ ටික කියවන ඔබත් එහෙම කෙනෙක් නම් සමාවෙන්න කිව්වේ ඔබටත් එක්ක තමයි..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කතාව නම් ඇත්ත, ඒ වුනත් ඔය විදියට ඉන්න එක අමාරුයි හරිම! ඒත් යහපත් ජීවිතයක් ගත කරන එක තමයි ලොකුම අභියෝගය! හොඳ සටහනක්!

    ප. ලි: මම හිතන්නේ ධර්ම චක්‍රය ගැන හිතලා වෙන්නෝන උඩ රූපය දාලා තියෙන්නේ. ඒත් නිවැරදි චක්‍රයේ එළියට පනින ගරාදි නැහැ...

    ReplyDelete
  4. ඔය අපේ රටේ බහුතර බෞදයාගේ හැටි.නිකං නෙවෙයි සිංහල බෞධයගේ.බෞද්ධ කමත් බෙධාගේනනේ ඉන්නේ සිංහල කියලා.බහුතරය කටින් විතරයි බෞද්ධ.මෙ‍ා හතර පොඋඅට සිල්ගන්න මිනිස්සුත් අනේ ඔය දෙමලු,මුස්ලිම් මරන්න ඕනේ කියනවා මම අහලා තියනවා.ප්‍රභාකරන් මරුනාම කිරිබත් කාපු මිනිස්සු ඉන්න රටක ඕක අරුමයක් නෙවෙයි.(මේ කිව්වේ ප්‍රභාකරන් හොදයි කියලා නෙවෙයි,එත මිනිහෙක් මැරුණම කිරිබත් කම මම පෞද්ගලිකව අනුමත කරන්නේ නැති නිසා)

    බෞදධාගම රැක ගන්න පුළුවන් බෞද්ධයෙක් විධියට හැසිරීමෙන් ,නැතුව ප්‍රකාශ නිකුත් කිරීමෙන් නෙවෙයි.එක මේ රටේ මිනිස්සු තේරුම ගත්ත දවසට බුද්ධාගම රැකේවී.

    ReplyDelete
  5. ගොඩක් බෞද්ධයෝ ආගමක් හැටිය, බුද්ධ ධර්මය වටහාගැනීම තමයි මේක මුලික හේතුව! හරය දන්නෙත් නැති 'නමට බෞද්ධ'යෝ තමයි දැන් වැඩි හරියක් ඉන්නේ!

    ඒ කෙසේ වෙතත්, අන්‍ය ආගමිකයින් වෙත කුණුහර්ප එල්ල කරලා නම් ලබා ගන්නේ දිනුමක් නෙවෙයි! හැම දේම හිතට එන එන හැටියට වචනවලින් ක්‍රියාත්මක නොකර, ටිකක් කල්පනා කරලා,මොලේ පාවිච්චි කරලා, මනුස්සකම් රැකගෙන,ඉදිරිපත් වෙන්න පුලුවන්නම්, මම හිතන්නේ මේ හැම ප්‍රශ්නෙකටම, විසදුම් ඉක්මන් කියලයි!

    ReplyDelete
  6. ගුලියා - අනිවාර්යයෙන් මචං. වීරයෝ වෙන්න විතරක් නෙවෙයි, තමන් ඉතාමත් හොඳ ආගම් භක්තිකයෙක් කියලා පෙන්නන්නත් ඔය වැඩේ කරනවා. ඒත් තමන්ගේ ආගම හරියට අදහන්න දන්නේ නෑ. පටු වාසි සඳහා මොනම ආගමක් උනත් යොදාගන්න එක නම් මහ ජූජ්ප්සාජනක දෙයක්. ඒකට බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් කියලා වෙනසක් නෑ. තම තමන්ගේ පටු අරමුණුවලට ආගම් පලි නෑ.

    ඔබ්සවර්- ඔබා මාමාට දෙන්න උත්තර මා ළඟ නැත.

    ReplyDelete
  7. ලහිරු - ඇත්ත සහොදරයා, හොඳ දෙයක් කරන එක, යහපත් විදිහට ඉන්න එක බොහොම අමාරු වැඩක්. නරක, අයහපත වපුරන්න හරිම ලේසියෙනේ. ඒත් එහෙම ඉන්න උත්සහ හරි කරන එකයි මනුස්සයෝ විදිහට අපිට වටින්නේ. එහෙම නැතුව තිරිසන්නු වගේ වැඩ කරන එක නෙවෙයිනේ. බොහෝම ස්තූතියි...
    ඔව්. එහෙම හිතලා තමයි දැම්මේ. ලියපු වෙලාවේ අන්තර්ජාලයෙන් ලැබුන එක දැම්මා. ඒ ගැන අවධානය යොමුවුනේ නෑ. බොහොම ස්තූතියි වැරැද්ද පෙන්නුවට.

    ReplyDelete
  8. මාල්යා - ඔව් නංගි, මටත් හතර පෝයට සිල් ගන්න මිනිස්සු එහෙම කියනවා ඇහිලා තියනවා. එවාගේම ද්වේශ සහගත ප්‍රකාශ ප්‍රසිද්ධියේ දාලා තියනවා දැකලා තමයි මේ ටික ලියන්න හිතුනේ. ප්‍රභාකරන් මැරුණ වෙලේ කිරිබත් කෑවේ රටට වෙලා තිබ්බ නස්පැත්තිය ඉවර වෙලා සාමකාමී වාතාවරණයක් ලැබුන එකේ සතුටට නම් ඒකේ වැරැද්දක් නෑ. ඒත් මනුස්සයා මැරුණ එකට නම් ඒකත් බෞද්ධයෙක්ට ගැලපෙන්නේ නෑ. කොහොමත් එතනදි වැදගත් වෙන්නේ චේතනාව. ඒ නිසා ඒ ගැන මුකුත් කියන්නේ නෑ මමනම්.
    මට පේන විදිහට නම් රටේ බහුතරයකට ඒවා තේරුම් ගන්න වෙලාවක් නෑ. හැබැයි අනිත් ආගම් එක්ක ගහ මරාගන්න නම් වෙලාවල් හොයාගනීවි.

    ReplyDelete
  9. නෙළුම් - හරියටම හරි. අද ගොඩක් ඉන්නේ පාරම්පරික බෞද්ධයෝ, ප්‍රදර්ශනාත්මක බෞද්ධයෝ සහ නාමික බෞද්ධයෝ. හරය ගැන කිසිම අවබෝධයක් නෑ. ඔහේ කෑගහන්න විතරයි දන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ බෞද්ධයන්ගේ විනයත් අන්තෙටම පිරිහෙන්න පටන් අරන් තියෙන්නේ. කාටවත් තේරෙන්නේ නෑ මේ පිරිහෙන්නේ බෞද්ධයෝ මිසක් බෞද්ධ දර්ශනය නෙවෙයි කියන එක. හිතට ඒතරම්ම ආගම ගැන දුක නම් ඇයි ඒ අයට බැරි බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න උත්සහ කරන්න. හේතුව අර ලහිරු කීවා වගේ ඒක අමාරු වැඩක් නිසා. මොකද එහෙම දේකට විනයක්, ශික්ෂනයක් තියෙන්නේ ඕනේ මිනිස්සුන්ට.

    ReplyDelete
  10. කතාව හරි... අපි අරහේ මෙහෙ අපේ ආගමට නිගා කරන අයට බැනලා කරලා එයාලගේ ආගමටත් නිගා කරලා විවිධ දේවල් කරහම එයාලා ඒවා නතර කරයිද?? නෑ නෑ එහෙමනම් වෙන්නේ නෑ තමුන්ගේ ආගමනේ කාටත් ලොකු හැමෝම හදන්නේ තමන්ගේ ආගම මුදුන් කරලා පෙන්නන්නනේ. ඉතින් අර අනිත් ආගම්වල අය කරන්නේ තව තවත් බුද්ධාගමට නිගා කරන්න ගන්න එක. ඔයිං මෙයින් හොඳයි අර කිව්වත් වගේ අපේ ආගම හරි විදිහට අපි අදහාගෙන ඒ විදිහට පාඩුවේ හිටියා නම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් ඒ විදිහට බුද්ධාගමට නිගා කරලා පොටෝ ගැහුවත් වීඩියෝ දැම්මත් ඔය මොන දේ කරත් ඉතින් ඒ අයට අන්තිමට ඒ ඒ විදිහට කර්මය පල දෙවි!! හැබැයි දැන් ලෝකය පවතින විදිහට බෞද්ධයන්ට වුනත් 100% බෞද්ධ විදිහට ජිවත් වෙන්න බෑ ඒක තමා ඇත්ත!

    ReplyDelete
  11. වටින වැදගත් පෝස්ට් එකක්..... මුලින්ම කියලා තියන දේය මමත් එකඟයි

    ReplyDelete
  12. ගෝනවෙල සුනිල්ව දැක්කා එක පාරක්...පවුං පහයි බෙල්ලේ තියෙන ධර්ම චක්කරේ......

    ReplyDelete
  13. මොනවා කරන්නද වැටත් නියරත් ගොයම් කනකොට ? වයිරය ක්‍රෝධය පලිගැනීම දේශනාකරන ගනින්නාන්සේලා ඉන්නකොට පෘතග්ජන මිනිස්සු කොහොම හැදෙන්නද ? දේවාලේ කපුවා මිදුලේ චු කරනවා දැක්ක කපුවාගේ පුතා දේවාලේ ඇතුලේ. චු කලාලු.. සියලුම ආගම් අද මිනිස්සුන්ගේ ආභරණ බවට පත්වෙලා. ඒ ආභරණ පැළඳගෙන එවුවා පෙන්න පෙන්නා එකිනෙකා මරාගන්නවා.

    ReplyDelete
  14. අඹයා - 100% බෞද්ධයෝ විදිහට ජීවත් වෙනවා කියන එක අර්ථදක්වන්න අමාරුයි මලයෝ. ඒත් මම කීවේ ලේසියට, කම්මැලිකම නිසා බෞද්ධයන්ට කරන්න පුළුවන් සුළු දේවල් පවා නොකර ඉන්න එක ගැන. කරන්න බෑ කියලා අත අරින එක ගැන තමයි මාත් කීවේ මලේ. කරන්න බැරීමමත් නෑ කොහොම වුනත් කරන්න උත්සහ කරන එකයි වැදගත්.

    ReplyDelete
  15. බීටා - බොහෝම ස්තූතියි.

    ඔබ නොදුටු ලොවක් - ඔය ඉන්නේ නියම බෞද්ධයෝ. ඕක බෙල්ලේ තිබ්බහම ඔක්කොම හරි.

    ReplyDelete
  16. ලංකාප්‍රිය අයියා- එක නම් එහෙම තමයි අයියා. ඒත් වැටත් නියරත් ගොයම් කන බව ඇත්ත. හැබැයි අයියා අර වගේ ගනින්නාන්සේලා අතරේ එහෙම නැති උදවියත් නැතුවම නෙවෙයි. ඒත් අපේ අයත් හොඳ දේවල් දැක දැකත් තමන්ගේ වාසිය සහ පහසුව තකා නොදැක්කා වගේ යන්න පුරුදුවෙලා කියලා හිතුනා.

    ReplyDelete
  17. @ මාල්යා කෘස් : මමත් ප්‍රභාකරන් මරුනාම කිරිබත් කාල, නටල රතිඥ්ඥ පත්තු කරලා සිංහ කොඩි දාල ගොඩක් සන්තෝස වෙච්ච මිනිහෙක්. ඒ වෙන මොනවටවත් නෙවෙයි. ඒ වගේ තිරිසනෙක්ගෙන් මේ ලෝකේ ගැලවුන සතුටට. එක බස් එකේ ගෙදර දෙන්නෙක් නොගිය, පාරේ ගියොත් අම්මලාගේ පපුව ගැහෙන කාලයක් තිබ්බා. ඒ ඔය අමන මිනිහ කරපු වැඩ හින්ද. අහිංසක දරුවෝ කපල කොටලා මරල දාපු හින්ද. ඉතින් නංගි එහෙම මිනිහෙක් මැරුණාම මිනිස්සු සන්තෝස වෙනවා. තමුන් වගේම තමුන්ගේ ඊළඟ පරම්පරාව ඒ තිරිසනාගෙන් ගැලවුන එකට. ඒ මිනිස්සුන්ගේ හැටි. ඒක මේකට අදාල වෙන්නේ නෑ නේද?

    ReplyDelete
  18. සරත් ලංකාප්‍රිය අය්යා සමග එකඟය.. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අවනඩුව? එත් සිද්ධවෙන දේවල් දිහා බැලුවම ඇස් තෙමෙන්නේ ඉබේටම.

    ReplyDelete
  19. ක්සැන්ඩර් - අනිවාර්යයෙන්, ප්‍රභාකරන් මැරුන වෙලාවේ කිරිබත් කාපු හේතුව රටේ තිබ්බ කාළකණ්ණි යුගය අවසන් වෙච්ච එක නම් ඒ ගැන මුකුත් කියන්න බෑ. අර කීවත් වගේ වෙන දේවල් දැක්කහම ඇස් නම් තෙමෙනවා තමයි. ගොඩක්ම දුක හිතෙන්නේ අපේම අය අපේ අයටම වල කපද්දි තමයි....

    ReplyDelete
  20. ඔබ නොදු‍ටු ලොවක් said...

    ගෝනවෙල සුනිල්ව දැක්කා එක පාරක්...පවුං පහයි බෙල්ලේ තියෙන ධර්ම චක්කරේ......


    මේකෙන් සෑහෙන දෙයක් කියවෙනවා...

    ReplyDelete
  21. මිනිසුන් තමන්ගේ ආගම වෙනුවෙන් වාද කරති, සටන් කරති, ඝාතන පවා කරති. එහෙත් නොකරන්නේ ආගමට අනුව ජීවත්වීම පමණි

    ReplyDelete