Tuesday, February 21, 2012

ගිනි.....

උදේ ඉඳං තොර තෝංචියක් නැතුව වහිනවා. සති දෙකක ඉඳං එක සීරුවට වැටෙන වැස්ස. ඒ වැස්සත් එක්ක පොර බදන්න තරම් හයියක් පොල් අතු වහලෙට නැති බව කියාපාන්නේ වහලය අතරින් රූරා වැටිලා ගෙබිම සිපගන්න වතුර බින්දුයි. ඒ වෑහෙන වතුර බින්දු ගොම ඇතිරුව ගෙබිමත් මඩ කරලා දාලා. දිය සීරාව ගෙපැල ඇතුලේ සීතල තව තවත් වැඩි කරනවා. හාවක් හුවක් නැති ගෙපැල හතර අතේම මුස්පේන්තුකම රජවෙලා. බුරු ඇඳේ උන්ඩිවෙලා මුළු සරුවාන්ගෙම සරම ඇතුලේ හංගාගෙන හිටපු සිරිපාල හිමින් සැරේ ඔලුව එලියට දැම්මේ හරියට ගොලුබෙල්ලෙක් කටුවෙන් එලියට එනවා වගේ. හිමින් සීරුවේ කකුල් දෙකත් සරමෙන් එලියට ගත්තු සිරිපාල ඈලි මෑලි කමින්ම ඇඳ උඩ එරමිණියා ගොතාගෙන වාඩිවුනා. කිසිම බලාපොරොත්තුවක් නොමැති වූ ඔහුගේ හිස් ඇස් ගෙපැල ඇතුලේ එහෙට මෙහෙට ගියේ පුරුද්දට වගේ. ඒ ඇස් නැවතුනේ කවුළුව අසල. මෙච්චර කාලයක් කවුළුව වහන්න පාවිච්චි කරපු කාඩ් බෝර්ඩ් කෑල්ල වැස්සටම දියවෙලා ගොහින්. පොල් අතු වහලෙන් බේරෙන වතුර බින්දු මදිවට කවුළුවෙන් ඇතුල්වෙන සිරිපොදත් ගෙපැලට සීතල එකතු කරා.  ඉබේම ඔහුගේ දෑස් කවුළුවෙන් එළියේ වහින මහා වැස්සට දිහාට යොමුවුනේ කිසිම අරමුණක් නැතුව.  වැහි බින්දු අතර ඔහුගේ ඇස් තනිකරලා ඔහුගේ හිත ඔහේ පියාඹලා ගියේ ඔහුටත් හොරෙන්.



' සති දෙකකින් කුලී වැඩක් නෑ. කිරි කපන්නත් නෑ. පොඩි උන්ව ස්කොලේ යවන්න තියා උන්ට කන්න දෙන්නවත් දෙයක් ගේ හරියේ නෑ. අමාරුවෙන් ඉතිරි කරලා තියාගත්තු සල්ලි ටිකත් වැස්සටම දිය වෙලා ගිහින්. ඉතුරු වෙච්ච අන්තිම සියේ කොලෙයි ඊයේ පියසිලිගේ අතට දුන්නේ. පුදුම කාලකන්නි වැස්සක්' ඒ සිතුවිලි පෙරහැරත් එක්ක තමන්ගේ ලෝකේ තනිවුන සිරිපාල හුල්ලන්න උනා. හිස් වෙලා තිබ්බ ඇස් දෙකට දුක මුසුවුනේ ඉබේම. දුප්පත් කමත් එක්ක පොරකමින් සිරිපාල  වීරිය කරන්නේ ජිවිතේ ජයගන්න නෙවෙයි. ජිවත් වෙන්නයි. ඒ සටනේදී මේ අසරණයට වැස්ස මරු පහරක්. කවුළුවෙන් එළියේ වහින වැස්ස සිරිපාලට පෙනුනේ තමන්ගේ අසරණකමට මහ හඬින්  නගන හිනාවක් වගේ. බර හුස්මක් පිටකරලා බුරු ඇඳෙන් බිමට බැස්ස සිරිපාල ගේ පිටිපස්සට කිට්ටු කරා. දුක පිරිච්ච ඔහුගේ ඇස් යොමුවුනේ ගිනි මොලවන්න උත්සහකරමින් සිටි පියසීලි වෙතයි. පියසීලිගේ වැයම දිහා බලාගෙනම සිරිපාල නැවතත් සිතුවිලි අතර තනිවුනා. ' අනේ මේ ගෑණි මම නිසා විඳින දුකක්. මොන තරම් කරදර බාධක කම්කටොලු වලට මුහුණ දුන්නා කියලද ?  තාමත් කෙළවරක් නෑ. මොන තරම් කරදර උනත් නොසැලී, ඉවසීමෙන් වැඩ කරන හැටි.' ඒ සිතුවිලි පෙළත් සමගම තමන්ගේ බිරිය ගැන ඇතිවූ අප්‍රමාණ වූ සෙනෙහස ඔහුගේ දුක් මුසු දෑස් වලින් දොරේ ගලන්න වුනා. ඒ සෙනෙහස දෑසේ තිබුන දුක වගේම හදවතේ වේදනාවද හෝදගෙන ගියා. 

" මොනවා තම්බන්නද උඹ ඔය ලිප ගිනි මොලවන්නේ ? " වැස්සේ හඬ පරයා සිරිපාල තම කටහඬ අවදි කළා. ඒ හඬට ගැස්සුණු පියසීලි ඔලුව ඉස්සුවා. " ඔහේ නැගිට්ටද ???   තම්බන්න කියලා දෙයක් නම් ගේ හරියේ නෑ. සීතලට කහට උගුරක්‌ බොන්න කියලයි ලිප මෙලෙව්වේ. පැටව් දෙන්නත් තාම නිදි. ඊයේ රෑත් බඩගින්නෙනේ උන් දෙන්නා නිදාගත්තේ. මම ඇහැරවන්න ගියෙත් නෑ. ස්කොලේ යවන්න කියලැයි. වතුර නටනකං ඩිංගිත්තක්  උන්නේ, කහට උගුරක්‌ වක්කරලම ඔහේට කතා කොරන්න" පිළිතුරු දෙන අතරේම වතුර ටිකක් ලිපේ තියපු පියසීලි සිරිපාලට කිට්ටු වුනා.  සිරිපාලගේ මුවින් " හ්ම්ම්ම් " යැයි පිටවුනේ ඇහෙන නොහැනෙන ගානටයි. උළුවස්සට හේත්තු වුන සිරිපාල නැවතත් තමන්ගේ කල්පනා ලෝකයේ තනිවුනා. සිරිපාල අභිමුවේ ඉතා විශාල ගැටළුවක් ඇත. මේ ලෝකේ විවිධාකාර මිනිසුන්ට විවිධාකාර ගැටළු ඇත. සමහර ගැටළු අති සංකීර්ණය. ඒ සංකීර්ණ ගැටළු මිනිසාට ඇති කරනු ලබන්නේ මේ සංකීර්ණ වූ මිනිස් සමාජය විසිනි. ඒවා මිනිසා විසින්ම නිර්මාණය කරගත් ගැටළුවෙයි. මේ සංකීර්ණ සමාජය තුල මිනිසුන්ට අනවශ්‍ය අවශ්‍යතා බොහොමයි. ඒ අනවශ්‍ය අවශ්‍යතා නිසා පැන නැගෙන ගැටළුද අති විශාලයි. ඒ ගැටළු හමුවේ දියුණු වූ මිනිසුන්ට කෙතරම් මිල මුදල් තිබුනත් සැනසෙන්නට නොහැක. අවශ්‍යතාවන් ඊට වඩා අති විශාලය. එහෙත් මේ අසරණයාගේ ගැටලුව අනවශ්‍ය අවශ්‍යතා නොවෙයි. මිනිසාගේ පමණක් නොව මෙලොව වසන සියලුම සතුන්ගේ මුලික අවශ්‍යතාවය වන්නේ ආහාරයි.  ඒ මුලික අවශ්‍යතාවය සපුරාගත නොහැකිවූ මේ අසරණයා බලාගත් අත බලාගෙන කල්පනා කරන්නට විය. 

' වැස්ස පොඩ්ඩක් තුරල්වුන ගමන් එලියට බහින්න ඕනේ. වැස්ස නිසා මේ දවස් වල ඇළ පිරිලා. ඇළ අයිනට වෙලා හිටියොත් පාවෙලා එන පොල් ගෙඩියක් දෙකක් අහුලගන්න බැරි වෙන එකක් නෑ. ඒත් පොල් ගෙඩියක් දෙකක් අහුලාගෙන මොනවා කරන්නද ?  ගෙදර හරියේ හාල් ඇටයක් නැතුව. චැක්... වැස්ස නිසා ගස්වල දිය සීරාව. කොස් ගෙඩියක් කඩා ගන්නවත් විදිහක් නැති හැටි. අනේ මෙහෙමත් කාලකන්ණි වැස්සක්. අනේ දෙයියනේ හෙටවත් පෑව්වේ නැත්නම්. මහා වැස්සේ හරි කමක් නෑ කුලී වැඩක් ලැබෙනවා නම්. කරුමෙට එහෙම දෙයක්වත් නෑනේ. එක අතකට මේ කාලකණ්නිකම වැස්සේ නෙවෙයි අපෙයි කාලකන්ණිකම. වැස්ස කියලා හැමෝටම අපිට වගේ බඩගින්නේ ඉන්න වෙන්නේ නෑනේ. සොබාදරුමේට දෙස් දෙවල් තියලා වැඩකුත් නෑ කරුමේ ගෙවනවා මිසක්'       " ආ මෙන්න, මේක බීලා හිටියා නම්"     පියසිලිගේ කටහඬින් කල්පනා ලෝකෙන් මේ ලෝකෙට කඩාවැටුන සිරිපාල පියසීලි දික් කරගෙන හිටිය තේ කෝප්පේ අතට ගත්තා. " ඔහේ ඔය හැටි කල්පනා කරා කියලා වැඩක් නෑ. මේක ඔහේගේ වැරද්දක් නෙවෙයි. අපේ කරුමේ. මට නම් බඩගිනි උහුලන එක පුරුදුයි. ඒත් පොඩි උන් දෙන්නට පුළුවනැයි ඔය හැටි ගිනි උහුලන්න. පපුව හෝස් ගාලා ඇවිලෙනවා උන් බඩගිනියි කියද්දී". පියසීලි ඒ පිළිතුර දුන්නේ සිරිපාල කල්පනා කරමින් තැවෙන කාරණය හොඳින්ම දන්න නිසා.   "හ්ම්ම්.... ඒක තමයි බං මම මේ කල්පනා කලේ."  කෙටි පිළිතුරක් දුන්න සිරිපාල නැවතත් කල්පනා ලෝකෙට හිමින්ම කිට්ටු වුනා. 

කල්පනා ලෝකය අතරේ සිරිපාලට එකපාරටම සිහිවුනේ චුට්ටේ. මිට කලින් දවසකත් චුට්ටේ සිරිපාලට කතා කරේ අඩු මහන්සියකින් වැඩි ගානක් හොයාගන්න පුළුවන් වැඩකටයි. සිරිපාල කර ඇරියේ හිතට අවංකව කරන්න බැරි වැඩක් නිසයි. චුට්ටේ කියන්නේ පළාතේම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරය වුනේ නීතිවිරෝධී මත්පැන්. එහෙමත් නැත්නම් කසිප්පු. කසිප්පු චුට්ටේ කියපුවහම පලාතම හොඳින් හඳුනනවා. සිරිපාලට කතා කලේ කසිප්පු බෙදාහරින්නයි. කවදත් පවට, නීතියට බය වෙච්ච, සාධාරණ මනුස්සයෙක් වුන සිරිපාලට හිතට එකඟව කරන්න බැරි දෙයක් නිසා මග ඇරලා හිටියා. සිරිපාල අනිත් උන්ට ගිනිවතුර පොවලා තමන්ගේ ගිනි නිවාගන්න ලැහැස්ති නොවීය. ඒත් ඒ නීතිගරුක බවෙන්වත් පින් පව් වලින්වත් දරු පැටවුන්ගේ, බිරිඳගේ බඩේ ගින්දර නිවන්න බැරිබව සිරිපාල හොඳාකාරවම දන්නා කාරණයයි. තීරණයක්‌ ගන්න බැරිව සිරිපාලගේ හිත  දෙලොවක් අතර දෝලනය වන්නට පටන්ගත්තා. තමන්ගේ හෘදසාක්ෂිය තමන්ට කෑගහන බව ඔහුට තේරුනා. ඒත් ඉක්මනින් යමක් කලයුතුයි. සිරිපාලගේ මැලවුන දෙනෙත් දිලිසෙන්න පටන්ගත්තා.  උගුරට දෙකට තේ කෝප්පය හිස් කල ඔහු හිස් කෝප්පය බිරිඳ අතට දී කඩිමුඩියේ  කලයෙන් දිය දෝතක් ගෙන මූණ තෙමාගත්තේ අලුත් පණක් ලද එකෙක් මෙනි. ඇද සිටි සරම උනා වෙනත් සරමක් පටලවා ගත්තා. දිරාගිය කමිසයක්ද ඇඟට දාගත්තා. තම ස්වාමිපුරුෂයා මහා වැස්සේම එලියට බහින්න සුදානම් වනවා දුටු පියසීලි " මේ මහා වැස්සේ කොහෙද යන්න හදන්නේ ? " යැයි විමසිය. " ගිහින් එන්නම්" යැයි පවසමින් ඔහු ගෙපැලෙන් එලියට බැස්සේ කොතෙකුත් කෑගැසුවත් තමන්ගේ හෘදසාක්ෂිය මරාදමන බවට තමාට ප්‍රතිඥා දෙමින්...............


පොඩි උත්සහයක් කලේ..... පලවෙනි එක. අසාර්ථක ඇති. අඩු පාඩු පෙන්නනවා නම් බොහොම කැමතියි......

Thursday, February 16, 2012

දන්නෙම නැතුව අවුරුද්දක් ගෙවිලා...............

      
     අවුරුද්දක්......   
සයිබර් ලෝකෙට එකතු වෙලා නම් අවුරුද්දකට වැඩියි. ඒත් ගොඩයාගේ වංහුං ලියන්න පටන් අරන් හරියටම ඊයෙට අවුරුද්දක්. අවුරුද්දයි, පොස්ට් 56යි, පිරිවර 97දෙනයි, හිට්ස් 11050. නරකම නෑ......   
ආපු ගමන ගැන හැරිලා බැලුවොත් සයිබර් ලෝකේ ගැනවත්, මේ බ්ලොග් ගැනවත් මෙලෝ හසරක් නොදැන හිටපු මට සයිබර් ලෝකේට එන්න පාර පෙන්නුවේ අන්තිම පේලියේ ඇඩ්මින්තුමා. අන්තිම පේලියට ලියන්න පටන් ගත්තට පස්සේ තමයි මගේම බ්ලොග් එකක් පටන් ගන්න හිතුනේ.  ඒ දවස් වල අන්තිම පේලිය විවෘතවුනේ හාස්‍යයට විතරයි. ඒ නිසයි මගේම බ්ලොග් එකක් පටන් ගත්තේ. පාලුවට, තනිකමට, ලියන්න පටන් ගත්තට මොකද මේ බ්ලොග් එකෙන් ලැබුන දේවල් බොහොමයි. නොදැක්කට, මුණ නොගැහුනාට තනිකම, දුක, සැප බෙදාගන්න සහෝදර සහෝදරියෝ පිරිසක් ලැබුනා. ඒ අතර අහිමිවුන දේකුත් තියනවා. ගොඩක් වටිනාකරන දෙයක්. හිමි වීම, අහිමි වීම ඉතින් ලෝක ස්වාභාවයනේ...... ඔන්න ඔය විදිහට අවුරුද්දක් තිස්සේ මේක ලියාගෙන එනවා. විවේකය තියන විදිහට ඉදිරියටත් දිගටම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ....... 

මෙන්න මගේ බ්ලොග් එකේ දාපු පලවෙනි පොස්ට් එක. ඒකට කොමෙන්ට් කරලා තිබ්බ ගොඩ දෙනෙක් මගේ පෞද්ගලික යාළුවො. සයිබර් ලෝකේ යාලුවන්ගෙන් නිම්ශා, බුද්ධි, සොඳුරු සිත, මල් සුවඳක් කොමෙන්ට් කරලා තිබ්බා. ඊට පස්සේ ඉතින් සයිබර් ලෝකේ ගොඩාක් යාළුවො එකතුවුනා.ඊට පස්සේ මගේ පෞද්ගලික යාලුවන්ට වඩා අදහස් දැක්වුවේ සයිබර් යාළුවෝ. බ්ලොග් එකේ අදහස් නොදක්වුවාට මගේ යාලුවොත් නිතරම හොඳ නරක, අඩුපාඩු පෙන්නලා දුන්නා.  මගේ යාළුවෝ අරුනාහම පෞද්ගලිකව කතා කරලා මාව ධෛර්යයමත් කරන සයිබර් යාළුවෝ කීපදෙනෙකුත් ඉන්නවා. නම් වශයෙන් සඳහන් කරන්නේ නැත්තේ මට පොඩි හරි අතපසු වීමක් වෙලා එක නමක් හරි සඳහන් නොවුනොත් ඒක ලොකු අසාධාරණයක් නිසා. මගේ යාලුවන්ගේත්, මගේ සයිබර් යාළුවන්ගෙත් තල්ලුව නිසයි මෙච්චර දුරක් මම ආවේ. මේ අවුරුද්ද පුරාවටම මාව දිරිමත් කරපු, මගේ දුක සැප බෙදාගත්තු, අදහස්, දැනුම බෙදාගත්තු සියලුම දෙනාට මගේ ගෞර්වපුරක ස්තුතිය.....
ඒ වගේම ඉස්සරහටත් ඒ තල්ලු ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා........  


 තමන්ගේ වටිනා කාලය වියදම් කරගෙන අවුරුද්දක් පුරා ගොඩයාගේ වංහුං කියවපු, කියවන ඔබ සියලු දෙනාටයි මාගේ මේ ආචාරය...........

Wednesday, February 8, 2012

මගේ තෙවැනි ඇස ගැටනු රූ.........

මුලින්ම කියන්න ඕනේ මම ඡායාරූප ශිල්පියෙක් නම් නෙවෙයි. ඒත් නිවාඩු වෙලාවට කරන්නේ මගේ කැමරාවත් කරේ එල්ලගෙන කොහේ හරි ගිහිල්ලා පින්තූරයක් දෙකක් ගන්න එක. ඒ ගත්තු පින්තූර ටිකක් වෙනසකටත් එක්ක අද බ්ලොග් එකේ දාන්න හිතුනා. හොඳ නරක, අඩු පාඩු, ගුණ දොස් වලට විවෘතයි. මම තාම වැඩේට අලුත්.


මේ තියෙන්නේ සිංගප්පූරුවේ තියන හේඩර්සන් වේව් නමින් හැඳින්වෙන මගී පාලමේ පින්තූරයක්....   හවස මගී පාලම ආලෝකමත් කලාට පස්සේ මට පෙනුනේ ඔන්න ඔහොමයි....
මේක තමයි සිංගප්පූරුවේ තියන උසම මගී පාලම




දවසක් දා හැන්දෑවක සිංගපූරුවේ ඉඳන් මැලේසියාවේ ජොහාර් බාරු නගරය මට පෙනුනේ මෙන්න මෙහෙම.....




මේ පින්තූරය මගේ කැමරා කාචයට අහු වුනෙත් ඊට උඩ පින්තූරේ ගත්ත හවස් වරුවෙමයි. දවසක් අවසානයේ ජොහර් බාරු නගරයේ ගොඩනැගිලි අතරෙන් ගිලී යන රත් පැහැ හිරු.....




දවසක් නිමා වී සයුරේ ගිලෙන හිරු
කැන්දන් ඒවි අහසට මිණි සදිසි තරු
එනමුත් තරු මදිය මැකුමට ලොව අඳුරු
දැල්වෙමි මමත් එනිසා එලිවනා තුරු




තවත් දවසක හැන්දෑවක මරිනා බේ සැන්ඩ්ස් හෝටලයේ උඩ තියන අහස් උද්‍යානයට නැග ගත්ත මට අවට නගරය පෙනුනේ මෙහෙමයි.




මෙන්න මරිනා බේ සැන්ඩ්ස්  හෝටලය. මේකේ උඩ ඉඳං තමයි ඔය උඩ තියන රූපේ ගත්තේ.




සිංගප්පුරුවේ උද්භිත උද්‍යානයේ දර්ශනයක්.




මොනවද මනුස්සයෝ කරන්නේ ? කාගෙන් අවසර අරන්ද පින්තූර ගන්නේ ?  පින්තුරය ගන්න හදද්දී මෙයා බලපු විදිහට මට හිතුනේ එහෙමයි.




මෙයාව නම් දැක්කේ අහම්බෙන්. කිසිම වගක් නැතුව එයාගේ පාඩුවේ දෙසා බාන ගමන් හිටියේ.




රස දන්නා අය නම් ටක් ගාලා අඳුර ගන්න ඇති. අපොයි අපොයි අකුසල් සිත් පහල කරගන්න එපා. මේ කට්ටියත් මට අහම්බෙන් හම්බවුනේ. මට හිතා ගන්නත් බැරි වුනා මෙච්චර ජනාකීර්ණ සිංගප්පුරුවේ ජනාකීර්ණ නගරයකට බොහොම කිට්ටුවෙන් වල් ඌරෝ රෑනක් දකින්න පුළුවන්වෙයි  කියලා.




මෙයා නම් බෙල්ලත් දික් කරගෙන කවුරුහරි හොයනවා.




හුදකලා වූ හැන්දෑවක..........




මේක දිගේ ගිහින් කැරකි කැරකි එලියට යන්නේ නම් මහා ලොකු විනාසයක් කරන්න තමයි.



මෙයාව දැක්කෙ නම් පින්නවලදී. පුදුම දාංගලයක් තිබ්බේ.




පුංචි පවුල රත්තරන්




1. මෙන්න මෙයා පොටෝ ගහනවා.දාගන්න ඔනෙ මුණ.
2. නියපොතු වල හැටි විතරක්. කලින් කීවා නම් එනවා කියල නියපොතු එහෙම කපලා ලස්සනට ඉන්නවනේ.
3. අපොයි දෙයියනේ. මුණ හේදුවෙත් නෑ අද. හංග ගන්න ඕනේ මුණ.

වෙනසකටත් එක්ක රූප ටික දැම්මේ. මට හොඳයි කියලා හිතුන ටිකක් තමයි මේ දැම්මේ. තවත් පින්තුර ටිකක් තියනවා මූණු පොතේ. කැමති කෙනෙක්ට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 

Sunday, February 5, 2012

හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද ???


මේ කවියත් අන්තිම පේලියට ගොඩාක් ඉස්සර ලියපු එකක්. මට මතක විදිහට අන්තිම පේලියේ කවි වැඩේ නැගලා ගියේ මේ කවියෙන් පස්සේ. ලස්සන සිද්ධියක් හින්දත්, මීට කලින් මගේ බ්ලොග් එකේ දාලා නැති නිසාත් ආයේ දාන්න හිතුනා. නොබලපු එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉඳීවිනේ. බලන්නකො කොහොමද වැඩේ කියලා.....



සෑහෙන කාලෙකින් ලැබුනා           වෙලාවක්
ලියනෙමි කවියකින් මම පොඩි        කතාවක්
බ්ලොග් ලියනා එකත් අමුතුම          කලාවක්
තිබ්බොත් අඩු පාඩු දෙනවද               සමාවක්

දවසක් යද්දි මම ගමනක් හනි               හනික
මම ගිය පාරේ හමු වූ එක්                   හංදියක
සිදුවූ සිද්ධියකි තවමත් මට                    මතක
ලියනෙමි මගේ බ්ලොග් පිටුවේ පොඩි   ඉඩක

සෙනඟත් පිරී සිටි හැන්දෑ                  කාලයක
පසුකර යද්දි හංදියෙ ඇති                 කහ ඉරක
හිටියා පොලිස් මහතෙක් පාරේ          කොනක
වේගය අඩුකලා ඉදිරියේ ගිය                   රියක

රාලහාමි ඇවිදින් පාරේ                          මැදට
සංඥා කලා වාහන නවතන                 ලෙසට
නවතා මමත් ඉඩ දුන්නා                    කහඉරට
කහඉර හරහා පැන්නා මගියන්             පෙලට

පාර පැනපු අය අතරේ සිටි                   කෝල
දැක්කා කතක් සිහිකරවන               ජම්බෝල
කාගෙත් දෑස් ඈ වෙත යොමුවුන              ලීල
කවුරුත් ඇයට මොහොතින් පෑවා            ආල

යන්නට ගිය ගමන මේ සුන්දර          ලලනාව
යනවා පාර පැනලා නෑ                        බාධාව
කවුරුත් නොමැත පනිනට කහඉර           ගාව
තාමත් එහෙමමයි පොලිසියේ              සංඥාව

දානව සද්ද කවුරුත් රිය පෙලේ                සිටි
රාලහාමි බලනව සිහිනයක්                   කෙටි
අර යන ගෑණු රුව ඔහුගේ නෙතේ           ගැටි
උන්හිටි තැනත් අමතකවි හිටිය                හැටි

නොපෙනීගිය පසුව අර සුන්දර               දසුන
ආවා පොලිස් ලොක්කත් මෙලොවට    ඔන්න
සිහිවුනි රාජකාරිය සහ තැන                  ඉන්න
ලිපිනත් නැතිවුනා මිනිහට මල             පැන්න

වටපිට හිටපු කොල්ලන් දුන් හූ               සද්ද
අතරින් නැගුනි දිගටම  සිනහා                සද්ද
පොලිසියටත් ඉතින් විලි ලැජ්ජා            නැද්ද
ගැලවුනි අහෝ ඔහු ඇඳගෙන සිටි          රෙද්ද

දෙවනත් කර එතන සද්දත්                දමාගෙන
යන්නට අපට අණකල දත්               විකාගෙන
ඉන්නට බෑනේ  හන්දියේ රෙදි       ගලොගෙන
යන්නට වුනා මිනිහට පු*                 හපාගෙන

Wednesday, February 1, 2012

ගහපන් අරගෙන වීරිය කුඩුවෙන්නට මගෙ හිත

ජිවිතයේ කවදාවත් සැප දුක නෑ සමබර
සැපට වඩා දුක් කරදර බුරුතු පිටින් හමුවන
පැතූ පැතුම් සිතූ සිතුම් නිමේෂයෙන් සුන්වන
ලෝකෙක වෙනසක් පමණයි ස්තීරෙට පවතින
කවදාවත් පැතූ සියලු දේ එලසින් නොමවෙන
නොපැතු නොසිතු දුක් කරදර හැමවේලෙම දස අත
ආදරයෙන් සිත බැඳුනත් මේ දිවියේ කුමකට
ලබා ගන්න බෑ ඒ හැම අපි හිතුවට පැතුවට
අපිට අවැසි දේ ලබාන සැනෙසෙන්නට බැරිතැන
ලැබෙන දෙයින් සැනසෙන්නට වෙනවා අපි සැමටම
ආපු දාට අප සොයාන අපි අකමැති විසඳුම
අසරණවී වේදනාව හිරිවට්ටයි හදවත
අනෙකුත් විසඳුම් සමඟින් ඇති කරදර බාධක
වනසයි නම් මා හද බැඳි මට වටිනා ජීවිත
අකමැති මුත් මම ගන්නෙමි ඒ දුෂ්කර මාවත
අද හැඬුවත් ඒ සැමටම සුභ වේවා හෙටදින
දරාගනිමි වේදනාව සඟවා හිත තදකර
හිනාවෙලා හිටියත් මා හඬනවා මගෙ හදවත
අසරණකම, වේදනාව, තනිකම තව තනියට
දරාගන්නේ කෙලසද මම ගලක් නෙවෙයි හදවත
අසරණකම නිසා නිහඬ වී හඬනෙමි තනියම
මගේ හද කලුගලක් නෙවෙයි කිසිවිටෙකත් නොසැලෙන
එය  කලු ගල් ලෙස පෙනිලද නුඹ ගත්තේ කුලුගල
වැරෙන් ගසන පහර දරාගන්නට විය මා හට
තැලෙන යකඩමලු තලන්නේ සමහරු උඩ පැන පැන
අමතකයිද යකඩ නෙවෙයි මගේ උණුවෙන හදවත
වැරෙන් ගසන ඔය පහරෙන් තුටුවෙයි නම් නුඹෙ සිත
ගහපන් අරගෙන වීරිය කුඩුවෙන්නට මගෙ හිත /////



ඊයේ පෙරේදා දවස් දෙකේ මහ පුදුමාකර අසරණකමක් මට දැනුනා. වේදනාව, අසරණකම ඒ මදිවට තනිකම. ඒ අසරණකම කියාගන්න කෙනෙක්, විදිහක් නැතුව තව තවත් අසරණ වුනා. අන්තිමේදී වේදනාව නිසාම කොලයක ඔහේ කුරුටු ගාපු කවි ටිකක්. ලස්සනකටවත්, තාලෙකටවත් ලියපුවා නෙවෙයි. වේදනාවට ලියපුවා. පලනොකරන්නත් හදලා වේදනාව පිටකරන්නත් එක්ක ඔන්න ඔහේ දාන්න හිතුනා. අපිට සමහරවෙලාවට අමාරු, අකමැති තීරණ ගන්න වෙනවා. ඒ අපේ තියන අසරණකමට. හැමෝටම හොඳක් වෙන බලාපොරොත්තුවෙන්. දැන දැනම එහෙම වෙලාවක තවත් කෙනෙක් අපිව අසරණකරද්දි දැනෙන වේදනාව වචන වලට ගලපන්න මට තේරෙන්නේ නෑ. කවුරු කොහොම මොනවා කොමෙන්ට් කරත් අදාළ පාර්ශ්ව යථාර්තය තේරුම් අරන් ජීවිතේට මූණදෙනකම් ඒ වේදනාව එහෙම්මම තියේවී. හැමෝටම සුභ හෙටක් ලැබේවා කියලයි මගේ ප්‍රාර්ථනාව. 

ත්‍රී විල් පටලැවිල්ල

මේ කවිය මීට කලින් අන්තිම පේලියට මම ලියපු කවියක්. මගේ කවි ලියපු බ්ලොග් එකේ පළකරපු කවියක්. ඒත් තියන කාර්යබහුලකම නිසා ඉදිරියට බ්ලොග් දෙකක් තියා එකක්වත් ලියාගන්න බැරිවේවි වගේ. ඒ නිසා මේකේම කවිත් ලියනවා කියලා හිතුනා. ඒකට පොඩි ආරම්භයක් ගන්න හිතාගෙන ඔන්න මේ කවිය දානවා මේ පිටුවට.....






සිදුවූ සිද්ධියකි මෙය මගේ                මිතුරෙකුට
හැඩ වැඩ දමා ගොතනෙමි එය           කවියකට
ඔහුගේ රෝද තුන යොමුකර                මාවතට
සෙව්වා මුදල් ගොස් ගමනක්             කුලියකට


ත්‍රී විල් රියදුරෙකි ඔහු පෙර කී               ලෙසට
හිත හොඳ නිසා නිතරම ගමනේ              යසට
හිතවත් කෙනෙක් ඇවිදින් දවසක්            ඔහුට
ඇසුවා යන්න දුර ඇති                  අවමඟුලකට


රෑ බෝවෙලයි වෙන්නෙ අපහට              යන්ට
අවුලක් නෑ නේද මල්ලියේ එය               උඹට
හිතවත් මිතුර කීවා පහදා                     මොහුට
නෑ බෑ බසක් කවදත් නැතිවිය                 ඔහුට


දෙදෙනා ගියා රෑ බෝවී                     මළගමට
මහා රෑ යාමේ පිටවුනි ආපසු                   එන්ට
ආවත් දෙදෙනා මහා රෑ වීරයෝ            ලෙසට
පාලුයි පාර ඇත ජරමර මඟ                     දිගට


හදවත දෙගිඩියාවෙන් පිරුණත්              බයට
අතහැර දමා බිය දෙදෙනා එන               කලට
දුටුවා ලියක් ඉන්නා බැස මහ                 මඟට
සිහිවුනි දෙවියෝ අසුවූ විට මෙය            ඇසට


මෝහිනි නමැති හොල්මන සිහිවිය         මුන්ට
දෙදෙනා බියවෙලා සැරසෙයි පැන         යන්ට
මොනවා වුනත් හරි නෑ දෙදෙනාගේ       හිතට
කෙල්ලෙක් නිසා හිත නෑ මඟහැර          යන්ට


මහා රෑ ලෙඩක් හෝ කරදරයක්               කාට
විය හැක මිතුර හොඳ නෑ කර ඇර           යන්ට
හිතුවා දෙදෙන රිය නවතා                  විමසන්ට
හනිකට බ්රේක් ගැසුවා මිතුරා                  තදට


ඔහුගේ රථය නවතන ඒ                    ඇසිල්ලට
දිවවිත් කෙල්ල නැවතූ මේ රිය               දෙසට
ගොඩවූවාලු  සමඟින් මල්ලක්                 බරට
බිය වී ඩා බිඳුත් නැගුනලු                  දෙදෙනාට


ත්‍රී විල් මිතුරා සමගින් ගිය                    අනිකාට
ආවේ නැතිලු වචනත් එවෙලේ              හොඳට
වෙහෙසක් දරා දිරි ගෙන දෙදෙනා            හිතට
හිතුවලු මොකක්දෝ මේ වෙන්නේ           අපට


දිව ආ අඟන තබලා මල්ලත්                    හැඩට
උස්සා ඔලුව වටපිට බලනා                      කලට
බියවුන දෙදෙන සැනෙකින් නෙත     ගැටුනවිට
බෙරිහන් දෙමින් පැන්නලු රථයෙන්         බිමට


බය දෙදෙනාගේ දෙපිටින් ගියේ මර         හඬට
දමලා ඇගේ බෑගය විගසින්                      බිමට
ආවලු පාගලා අපේ මිතුරා                       හැටට
නැවතුනේ ආව පසුවලු දෙදෙනම            ගමට


අවදිව ඊට පසු දින උදයම                     මොහුට
ඕනෑ වුනා සිදුවුන දේ දැන                       ගන්ට
ගත්තා ඇමතුමක් ඔහුගේ                   මිතුරෙකුට
මිතුරා සිටියේ කිට්ටුව ඒ                        මාවතට


හලෝ මචං කොහොමද කොල්ලෝ          උඹට
මාර වැඩක් සිදුවුනි ඊයේ                         මෙමට
එනවිට උඹේ ගේ අසලින් රෑ                   දෙකට
දුටුවෙමි ගෑනියක් හිටියා බැස                    මගට


නැවතූ විටදි ඇය කවුදැයි                     විමසන්ට
දුවගෙන ඇවිත් ඈ ගොඩ විය මගේ             රියට
බයවුනු අපිත් ඇරලා ආවා                        හැටට
සිදුවුනු දෙයක් ඇත්නම් කියපන්               මෙමට


සිනහා නගා මිතුරගේ මිතුරා                       තදට
උණු උණුවේම ලැබුනා පුවතක්                   අපට 
නෑ කිසි දෙයක් උඹලට නම් බය               වෙන්ට
කීවා පහදලා වුන දේ රෑ                           දෙකට


අපගේ අසල්වැසි ඇසිලින්                     අක්කාට
හිටියා දුවක් තරමක් පෙනුමයි                   ඇහැට
ඊයේ රැයේ ඈ පැන ගොස් ඇති                   බවට
පැතිරී ගියා රාවය ගම හැම                        තැනට


උඹලා එද්දී ඊයේ ඈ දුටු                              බවට
මට සහතිකයි බිය වන්නේ තොපි               කුමට
ඈ දිව ඇවිත් නැග්ගේ උඹගේ                     රියට
ඈගේ පෙම්වතා යැයි වැරදිලා                    ඇයට

Sunday, January 29, 2012

බෞද්ධයෝ...........

බ්ලොග් එක ලියන්න පටන් ගත්ත කාලේ ලියන්න තිබ්බ උනන්දුව දැන් දැන් ටික ටික අඩුවෙලා ගිහින්. ඒවාගෙම බ්ලොග් අවකාශය දිහා දැක්කහම ලියන්න තියන උනන්දුව තවත් අඩුවෙනවා. මෙහෙම කීවට කවුරුත් අහිතක් හිතන්න එපා. ඒත් මට හිතෙන විදිහට නම් දැන් බ්ලොග් අවකාශයත් තම තමන්ගේ කුහකකම් ප්‍රදර්ශනය කරන්න පාවිච්චියට ගන්න තැනක් වෙලා වගේ.එක අතකට ඒ ගැන පුදුම වෙන්න දේකුත් නෑ. බ්ලොග් ලියන්නෙත් අපේ සමාජයේම කොටසක්නේ. මගේ බ්ලොග් එකේ උඩින්ම ලියලා තියනවා වගේ මේ ලියන්නේ මට හිතෙන, මට දැනෙන දේවල්. හොඳද ? නරකද ?  හරිද ? වැරදිද කියලා තීරණය කිරීම කියවන උදවිය සතුයි. ඒ පිළිබඳව අදහස් දැක්වීමටත් හැමෝටම අයිතියක් තියනවා. ඒත් තව කෙනෙක්ට ප්‍රතිවිරුද්ධ අදහසක් තිබ්බා කියලා ඒ අදහසකට දිගට හරහට පන්න පන්න පහර ගහන එකේ නම් තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. වැරැද්දක් හෝ අඩු පාඩුවක් දකිනවා නම් පෙන්නලා දෙන එක යුතුකමක්. අනිත් කෙනා ඒක පිළිගන්නවාද නැද්ද කියන එක ඒ වැරැද්ද පෙන්නලා දෙන කෙනාට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒ නිසා එවගේ වාදවලින් පස්සෙත් පුද්ගලිකව කපා කොටාගන්න එක නම් මහා අප්‍රසන්නයි.  මේ ගැන නෙවෙයි අද ලියන්න හිතුවේ. ඒත් බ්ලොග් අවකාශයේ වසරකට ආසන්න කාලයක් ගත කරපු මට ආපහු හැරිලා බැලුවහම පොඩි කලකිරීමකුත් දැනෙනවා. ඒ නිසයි මේ ටික ලියන්න හිතුනේ. ඒ කතාව ඉවරයි. දැන් හැරෙමු අද ලියන්න හිතුවේ මොකක්ද කියන එක පැත්තට.



මාතෘකාව දැක්කහම හැමෝටම තේරෙනවා ඇති ලියන්න හදන්නේ ආගම සම්බන්ධ දෙයක් විත්තිය. මේක ලියන්න හිතුනේ මේ ටිකේම මූණු පොතේ බෞද්ධ විරෝධී පුද්ගලයන් ගැන බෞද්ධයන් පළකරලා තිබුණ දේවල් දැකලා. බෞද්ධ විරෝධී කීවේ බුදුරජාණන් වහන්සේට අගෞරව වෙන විදිහට යම් යම් ප්‍රකාශ කරන, විකෘති රූප පලකරන උදවිය. ඒ අය පිළිබඳව අපේ බෞද්ධයන් විසින් නිකුත් කරපු ප්‍රකාශ බොහොමයක තිබුනේ වෛරයය.  " සාප වේවා" "භංග වේවා" සමහර ප්‍රකාශ පට්ට පල් කුණුහරුප. මේවා දැක්කහම මට කල්පනාවුනේ මේ ඇත්තටම බෞද්ධයෝද කියලා.  බෞද්ධයෝ නම් බුදු රජාණන්වහන්සේ දේශනා කරපු දර්ශනය අනුගමනය කරන ඈයෝ වියයුතුයිනේ. මම මේ කියන්න යන්නේ පෘතග්ජන අපිට තේරුම් අමාරු අභිධර්මය ගැන නෙවෙයි. මට මේවා දැක්කහම කල්පනාවට ආවේ බොහොම සරල අපේ බෞද්ධයන්ගේ අත්පොත විදිහට සැලකෙන ධම්ම පදයේ ගාථාවක්.


“නහී වේරේන වේරානී - සම්මන්තිධ කුදාචනං
    අවේරේනව සම්මන්තී – එස ධම්මෝ සනන්තනෝ”      



මේ තියෙන්නේ අපි පොඩි කාලේ කට පාඩම් කරපු ධම්ම පදයේ සඳහන් සරල ගාථාවක්. ගථාවේ තේරුම ගත්තොත් "මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයයෙන්ම වෛරය සන්සිඳෙයි. එය පෙරසිට පවතින සනාථනික ධර්මයක් බව බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළසේක" . අපි බෞද්ධයෝ විදිහට වෛරයෙන් වෛරය නොසන්සිඳෙයි කියලා  ඉගෙන ගත්තේ බොහොම පුංචි සන්ධියේ ඉඳලා. ඒත් ඇත්තටම බෞද්ධයෝ ඒ දේවල් ක්‍රියාත්මක කරනවද?  බුද්ධ ධර්මයට නිග්‍රහ කරනවා කියලා වෙනත් ආගමක් අදහන කෙනෙක්ට ද්වේශයෙන්, වෛරයෙන් කෑ ගැහුව පලියට බුද්ධාගම විනාශ නොවී පවතිනවද? මේ ලෝකේ මිනිස්සුන්ට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තියනවා. ඒත් කිසිම ආගමක් හෙලා දැකීමේ අයිතියක් නෑ. එහෙම වුනත් යම් යම් පටු අරමුණු නිසා එහෙම කරන කොඨ්ඨාශයක් අපි අතරේ ඉන්නවා. ඒ ගැන මේ හැටි කලබල වෙලා වෛරය, ක්‍රෝධය පුරවගෙන යුද්ධ ප්‍රකාශ කරන්න බෞද්ධයන් විදිහට අපිට යුතුකමක් තියනවද?  බුදුරජාණන් වහන්සේ වැඩහිටිය යුගයෙත් දේවදත්තලා, චිංචිමානවිකාවන් එහෙම හිටියා කියලා අමතක වුනාද ? බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩහිටි සමයේ උන්වහන්සේට කෙනෙහෙලිකම් කරපු විරුද්ධ වුන මිනිස්සු හිටපු එකේ බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදහස් පන්සිය පණහකට පස්සේ ඔය වගේ දේවදත්තලා, චිංචිමානවිකාවන් ඉන්න එක පුදුම වෙන්නවත්, කිපෙන්නවත් කාරණයක් නෙවෙයි. එහෙම උදවියට ගහන්න, බනින්න, වෛරකරන්න සැබෑ බෞද්ධයෙක්ට පුළුවන් කමක් නෑ කියලයි මගේ නම් අදහස. 


එතකොට කෙනෙක් අහයි "මේවා බලාගෙන අපිට අතපය බැඳගෙන ඔහේ ඉන්නද කියන්නේ " කියලා.  බෞද්ධයෙක් විදිහට මේවා ගැන කතා නොකර ඉන්න කියනවා නෙවෙයි. ඒත් වෛරයක් ඇතිකරගෙන මේ ගැන කටයුතු කරන එකේ තේරුමක් නෑ.  මම නොයෙකුත් ආගම් අදහන මිත්‍රයෝ ආශ්‍රය කරනවා.  ලංකාවෙන් පිට ඉන්න නිසා නොයෙකුත් ආගම් අදහන, නොයෙකුත් ජාතීන් එක්ක වැඩ කටයුතු කරන්න වෙනවා. ඒ අය අදහන ආගම ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ ආගම ගැන වැරදි ප්‍රකාශයක් කරොත් එතනදි ඒක මම නිවැරදි කරනවා. කට වහගෙන ඉන්නේ නෑ. ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමේ හැටියට ඒ ඒ දේවල් තේරුම් ගන්නවා. තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති පුද්ගලයෙක් නම් මම ඒ ගැන දිගින් දිගට කතා කරන්න යන්නේ නෑ. ඒ වගේම ඒ මනුස්සයට වෛර කරන්නේත් නෑ. ඒ ඉතින් මගේ පෞද්ගලික ක්‍රියා පටිපාටිය. අපි හිතමු ඔය අන්තවාදී ආගමික කණ්ඩායමක් මුල් කරගෙන ඒ කණ්ඩායමට විරුද්ධව වෛරී සිතින් මොනවා හරි ප්‍රතික්‍රියාවක් ආරම්භ කරා කියලා. ඒ සිද්ධිය හොඳටම ප්‍රමාණවත් වේවි ආගමික ගැටුමක් රට තුළ ඇතිවෙන්න. අතීතයෙන් අපිට හොඳ පාඩම් ලැබුනා මතක ඇතිනේ. කාළකණ්නි ජාතිවාදී යුද්ධයක් තිබුනා සහ ඒ දේවල් වලට හේතු තාම අපේ අයට මතක ඇති කියලා හිතෙනවා. ඒ නිසා මේ ආගමික ප්‍රශ්න වලට වෛරයෙන් යුතුව පිළිතුරු හොයන එක නම් බෞද්ධයන්ට සුදුසු නෑ. පහුගිය ටිකේම මම දැක්කා බෞද්ධ සිද්ධස්ථාන වෙනත් ආගම් වලින් අත්පත් කරගෙන, බෞද්ධයන්ට නොයෙකුත් ආකාරයේ තර්ජන, ගර්ජන. මේ සම්බන්ධ දේවල් වලට කතා නොකර ඉන්න කියනවා නෙවෙයි. කතා කරාට ගැටළුවක් නෑ, හැබැයි වෛරයය කියන ගිනිගොඩ පැත්තකින් තියලා. බුදුරජාණන්වහන්සේ කිසිම තැනක දේශනා කරලා නෑ කිසිම සත්වයෙක්ට වෛරයය කරන්න කියලා. බෞද්ධයන් විදිහට සියලුම සත්වයන්ට මෛත්‍රිය පතුරන්න හුරුකලා මිසක්. 


බෞද්ධයන්ට ඔය කියන අන්‍යාගමිකයන්ට බනිනවට, ගහනවට, වෛර කරනවට වඩා වැදගත් යමක් තියනවා කරනවා නම් කරන්න. ඒ තමයි වචනයේ පරිසමාප්තයෙන්ම බෞද්ධයෙක් වෙන්න උත්සහ කරන එක. අනිත් ආගම්වලට ඇඟිලි දික් කරන්න කලින් බෞද්ධයන් විදිහට අපි ළඟ තියන අඩු පාඩු, වැරදි හදාගන්න එක. එහෙම නැතිව කරන්න තියන කඩප්පුලි වැඩ ඔක්කොම කරන ගමන් වෙන ආගමක මනුස්සයෙක් පටු අරමුණක් වෙනුවෙන් කරන දේකට ඒ මනුස්සයට වෛර බැන්දා කියලා බෞද්ධාගම පිරිහෙන එක නවතින්නේ නෑ. මුලින්ම බෞද්ධයන්ට පුළුවන් නම් බෞද්ධ සංස්කෘතියට සදාචාරයට අනුව ජීවත් වෙන්න උත්සහ කරන්න මම හිතනවා ඒක තමයි බෞද්ධ ධර්මය පිරිහෙනවට බෞද්ධයන් වශයෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ. ඒ නිසා තවත් මනුස්සයෙක්ට බෞද්ධ ධර්මයේ නාමයෙන් වෛර කරන්න කලින් හිතලා බලන්න ඒ දේ බෞද්ධයෙකුට ගැලපෙනවද කියන දේ. එවගේම නියම බෞද්ධයෙක් විදිහට තමන් ජීවත් වෙනවද කියන දේ. 


වෛරයයෙන්, ද්වේශයෙන් අනිත් ආගම් හෙලා දැකීමෙන් බුද්ධ ධර්මයේ පුනර්ජීවනයක් ඇතිවෙනවද ???  අනිත් ආගමකට දෝෂයක්, චෝදනාවක් කරන්න කලින්, වෛරය බැඳගන්න කලින් අපි ඇත්තටම බෞද්ධයෝද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් මොකද? අනිත් ආගමකට ඇඟිලි දික් කරන්න කලින් කරන්න වැඩගොඩක් අපිට තියනවා. පෘථග්ජන අපිට 100% නිවැරදි වෙන්න පුලුවන් කමක් නෑ. ඒත් අපි අඩුම තරමේ නියම බෞද්ධයෙක් විදිහට ජීවත් වෙන්න පොඩි හරි උත්සහයක් කරන්න ඕනේ. 365 දවසෙම පන්සල් ගියා කියලවත් උදේ හවස පන්සිල් ගත්ත පමණින්ම කිසිම කෙනෙක් බෞද්ධයෙක් වෙන්න නෑනේ. ප්‍රතිපත්තියටයි මුල් තැන. බෞද්ධයන් විදිහට තමන්ට අවංකව ප්‍රතිපත්ති ගරුක වීමයි අවශ්‍යය. වෙනත් ආගම් වල වගේ නීති පිළිපැදිය යුතුයි කියලා දෙයක් නෑ.   බෞද්ධ දර්ශනය යනු අන්ධ භක්තියෙන් පිළිගතයුතු දහමක් නොවේ. එය අවබෝධ කර ගත යුතු හා නිරතුරැ විමසීමට ලක් කළ යුතු දහමකි. “මාගේ වචනය පරීක්ෂාක කොට පිළිගත යුතුය. හුදෙක් මා කෙරෙහි ඇති ගෞරවය නිසා ඒවා නොපිළිගත යුතු” බවයි බුදුන් වහන්සේ  දේශනා කොට වදාළේ.


එපමණක් නොවෙයි බෞද්ධ දර්ශන යනු යාතාර්ථවාදී දර්ශනයක්. යම් යම් පිරිස් එය විනාශ කොතෙකුත් උත්සහ කරත් යථාර්තය කවදාවත් වෙනස් නොවෙයි. බෞද්ධයන් වන අපිට බෞද්ධ ධර්මය රැක ගැනීමට ගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ගය නම් එම දර්ශනය අනුගමනය කරන්න උත්සහා කිරීම, එහෙමත් නැත්නම් වචනයේ පරිසමාප්ත අයුරින්ම බෞද්ධයෙක් වීමට උත්සහ කිරීම. ආගම රැකගැනීමේ අරමුණින්, වෛරය පතුරවමින් ගත කරන කාලය නියම බෞද්ධයෙක් වීමට උත්සහයකට යෙදවීමෙන්, සියළු සත්වයින්ට හිතකර ආකාරයෙන්, බෞද්ධ දර්ශනය රැකගැනීමට හැකියාවක් බෞද්ධයන්ට තිබේ යැයි මගේ හැඟීම. ඉතින් බෞද්ධ ධර්මය කෙරෙහි ඇත්තටම තමන්ට ඇල්මක් තිබේ නම් තවකෙකුට වෛරකරනවා වෙනුවට නියම බෞද්ධයෙක් වන්න උත්සහ කරන්න. ප්‍රදර්ශනාත්මක බෞද්ධයන්ගෙන්, පාරම්පරික බෞද්ධයන්ගෙන් හෝ නාමික බෞද්ධයන්ගෙන් බුද්ධ ධර්මයට සිදුවෙන හානිය අන්‍යාගමිකයින් බෞද්ධ දර්ශනයට කරන හානියට වඩා බොහෝ දරුණු යැයි මගේ හැඟීම. ඒ නිසා බෞද්ධයන් වන අපි බෞද්ධ දර්ශනයට කරන  හානිය අඩු කරොත් අපිට අන්‍යාගම් සමඟ වෛර බැඳීමට හේතුවක් නැතිවේවි. බුදුරජාණන් වහන්සේගේ අන්තිම වචනය බෞද්ධයෝ වශයෙන් අපි සිහියේ තබා ගන්නවා නම් බොහොම වටියි. “ සියළු සංස්කාරයෝ ( හේතුවෙන් හටගත් දේවල්) නැසෙන සුළුය අප්‍රමාදව කටයුතු කරන්න”  මට නම් හිතෙන්නේ මේ තියන දේවල් බදාගෙන බෞද්ධයෝ වෙච්ච අපි ප්‍රමාද වෙවී ඉන්නවා කියලයි. සියළු දෙනාට තෙරුවන් සරණයි !!!!


ප.ලි - මේ ටික ලීවේ අනිත් ආගම් වලට ඇඟිලි දික් කරන්න ගොඩක් බෞද්ධයෝ පුරුදු වෙලා වගේ දැනුන නිසයි. අනික මේ පෝස්ට් එක කියවලා සමහරු අහයි " උඹ හෙන බෞද්ධයාද අනිත් උන්ට බණ කියන්න " කියලා. මම කියන්නේ නෑ මම බොහොම හොඳ බෞද්ධයෙක් කියලා. මම කොහොම මනුස්සයෙක්ද කියන එක මගේ බ්ලොග් පොස්ට් එකක් දෙකක් කියවපු, මාව මාස කීපයක් සමහරවිට අවුරුදු කීපයක් මාව දන්න කෙනෙක්වත් හරියට නොදන්නවා වෙන්න පුළුවනි. ඒ නිසා මගේ බෞද්ධකම ගැන තර්ක කරන්න යන්න වුවමනාවක් මට නෑ.   කියන්න තියෙන්නේ මාව හරියට දන්නෝ දනිති කියලයි. ඊට අමතරම මේ කියලා තියන කාරණාව ගැන කියන්න තියෙන්නේ  මම අනිත් ආගම්වලට දොස් කියන්නෙවත්, බුද්ධර්මයට නිගා කරන උන්ට කෙලවෙලා පල කියලා සාප කරන්නවත් යන ජාතියේ මිනිහෙක් නෙවෙයි කියලා. කොහොමත් මම වෛර කරන මනුස්සයෙක් නෙවෙයි. ඒ ගැන මීට කලින් ලීවා. ඔන්න ඒකත් ගිහින් බලන්න පුලුවන් මෙතැනින්.

Wednesday, January 4, 2012

ලෝකේ උතුම් රට ලංකාවයි..... සිරි ලංකාවයි........

ලැබුවා වූ නව වසර සියළුම දෙනාට කරදර බාධක වලින් තොර වූ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨවන, අයහපත් සිතුවිලි බැහැරවෙන නිරෝගී, ප්‍රීතිමත් වසරක් වේවා !!! කියලම ඔන්න පටන් ගන්නවා මේ අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක ලියන්න.

මේ අවුරුද්ද හැමෝටම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරද්දි මට හිතුනා ඊට කලින් රටට යහපත්, සුභ කලදසාවක් උදාවෙන්න ඕනෙ නේද කියලා.සමහරවිට කෙනෙක්ට කියන්න පුළුවන් රට හදන්න නම් මිනිස්සු හැදිලා ඉන්න ඕනේ කියලා. මිනිස්සුද රටද මුලින් හදන්නේ කියලා තර්ක කර කර ඉඳලා නම් වැඩක් නෑ. කොහොමවුනත් මෙච්චර කාලෙකට කොටපු නැති විදිහේ පෝස්ට් එකක් කොටන්න හිතුනා අළුත් අවුරුද්දේ.



දැන් අවුරුදු 4 කටත් වැඩි කාලයක් මම ජීවත් වෙන්නේ ලංකාවෙන් පිට. ඉතින් ඔය කාලය ඇතුළත අපේ රට ගැන අනිත්  රටවල් වල මිනිස්සු අහපු ප්‍රශ්න වලට උත්තර බැඳීම, ඒ වගේම ඒ මිනිස්සු අපේ රට ගැන දරපු ආකල්ප අහගෙන සිටීම වගේ දේවල් නිසා අපේ රට ගැන පිට ඉඳන් බලන මිනිහෙක්ට පේන ආකාරය ගැන මගේ හිතේ හැමදාමත් තිබ්බේ වේදනාවක්. හැමදාමත් මට පුළුවන් විදිහට ඒ ආකල්ප වෙනස් කරන්න උත්සහ කලා. යුද්ධය තිබුන කාලේ මේ රටේ මිනිස්සු හිතාගෙන හිටියේ අපි දමිල ජනතාව ප්‍රසිද්ධියේ මරලා දාන, ඒ වගේම ඒ අයට තියන සියළුම වරප්‍රසාද අහිමි කරපු ජාතියක් විදිහට. ඒ විතරක් නෙවෙයි මෙහෙ පාසල් වල සමාජ අධ්‍යනය විශයට අදාල ලිපියක තියන දේවල් දැක්කහම දුක වගේම කේන්තිත් යනවා. එකේ බොහොම ලස්සනට උළුප්පලා තියනවා දෙමළ මිනිස්සු දුක්විඳිනකොට සිංහල මිනිස්සු සුර සැප විඳිනවා කියලා. සල්ලි තියනවා නම් සුර සැප විඳින්න ජාතිය ආගම ප්‍රශ්නයක් නෑ කියලා දන්නේ අපි විතරනේ.මේවට ඉතින් අපේ උත්තරීතර ආයතනයට සේවය සලසන අය වගකියන්න ඕනේ.

කොහොමහරි ඔය අතරේ යුද්ධය නිමාවීමත් එක්ක පිට මිනිස්සුන්ට බොහොම ආඩම්බරෙන් මට කියන්න පුළුවන් වුනා " දැන් ලංකාවේ තත්වය බොහෝම සාමකාමී. ඉතින් ගිහින් බලලා එන්න මගේ රටේ ලස්සන" කියලා. දවස් 10ක 12ක සංචාරයකට ලංකාව තරම් හොඳ වෙන රටක් නම් නැතුව ඇති. මොකද කෙටි කාලයක් තුළ වෙනස් දේශගුණික කලාප, මන බඳින වෙරළ තීරු, වනෝද්‍යාන, පුරාතන නටබුන් ඔය වගේ මොනතරම් දේවල් බලන්න පුළුවන්ද?   අපේ රට ආසියාවේ ආශ්චර්යය කරන්න කියලා අමුතුවෙන් දෙයක් තියනවද කියලත් හිතෙනවා. ඇත්තටම මට මුණගැහුණු ගොඩ දෙනෙක් ලංකාවට නිවාඩුවකට යන්න ආසාවෙන් හිටපු ඒත් යුද්ධය සහ ඒ වටා අපේ මිනිස්සු ගැන ඇහුනු කතා යන්න බයෙන් හිටපු අය.

 යුද්ධය අහවර වුනාට පස්සේ ඔන්න මමත් ශ්‍රී ලාංකික පුරවැසියන් බහුතරයක් වගේම අපේ රට දියුණුවෙයි කියලා බොහොමත්ම ආසාවෙන් බලාගෙන හිටියා. 2009 මැයි මාසේ යුද්ධය ඉවර වෙද්දි අපේ රණවිරුවෝ දාස් ගාණකගේ ජීවිත, අත, පය අහිමිවෙලා. ඒ ලේ කඳුළු මැද්දෙන් ලැබුණු ජයග්‍රහණය දිහා හැමෝම බැලුවේ ආඩම්බරයෙන්, සතුටෙන්. ඒ කඳුළ, වේදනාව මැද්දෙන් අපේ මිනිස්සුන්ගේ මූණේ ඉක්මණින් හිනාවක් දකින්න පුළුවන් වෙයි කියලායි අපි කවුරුත් හිතුවේ.මේ වෙද්දි 2011ත් ඉවරවෙලා, හැරිලා බැලුවහම ගොඩක් දුක හිතෙනවා. රණවිරුවන් යුද්ධකරලා ලබාගත්ත ජයග්‍රහණය දේශපාලනයට සින්න වෙලා. ඒ සින්න වෙච්ච ජයග්‍රහණය තාමත් විකුණගෙන කනවා. මේ කිසිම දේශපාලන පක්ශයකට කඩේ යන්න සූදානම් වීමක් නෙවෙයි. යුද්ධයට නායකත්වය දුන්න නායකයා විදිහට මම අපේ රටේ ජනාධිපතිතුමාට ගොඩක් ගරු කරනවා. ඒත් හොඳ එක දෙයක් කරනවා කියන්නේ නරක ගොඩක් කරන්න අවසර ලැබෙනවා කියන එක නෙවෙයි. කිරි කළයට ගොම බින්දුවක් වැටුනත් ඇති ඒ කිරි කළයෙන් ප්‍රයෝජනයක් නැතිවෙනවා. ඒත් යුද්ධෙන් පස්සේ අපේ පාලකයෝ එකතු කරපු ගොමවල තරම කියන්නේ දැන් ඒ කිරිකළෙම ගොම පාටයි. තව ටික කාලයක් යද්දි කිරි තිබ්බද කියලාවත් හොයාගන්න බැරිවෙයි. කිරි කළෙට ගොම බින්දුවක් වැටුනට ප්‍රයොජනයක් ගන්න බැරිඋනත් අඩුම ගානේ ඒක කිරිකළයක් කියලා හරි පේන්න තියනවා. ඒත් ගොම කළේකට කිරි බින්දුවක් දැම්මට ඒක කිරි කළයක් කියලා නම් කාටවත් කියන්න බෑ.

හැමදාමත් ප්‍රවෘත්ති ඇහුවොත් බැලුවොත් දූෂණ, වංචා, හොරකම්, මැරකම් කලකිරීමක් ඇරෙන්න සතුටක්, ආඩම්බරයක් හිතෙන දෙයක් නම් කවදාවත් ඇහෙන්නේ නෑ. රටේ දූවා දරුවන්ගේ අනාගතය තීරණය කරන  විභාගයට වෙලා තියන අභාගයක්. වැරැද්දක් කරලත් කිසිම වගක් නැතුව මුන් රෙදි ඇඳන් කතා කරන ලස්සන. ඒ අතර ලංකාවට විදේශ සංචාරකයෝ ගෙන්න ගන්න දගලන ආණ්ඩුවට ඒ එන මිනිස්සුන්ට හරි හැටි ආරක්ශාව දෙන්න බෑ. ආණ්ඩුවේම මැරයෝ ඒ එන සංචාරකයන්ව දූෂණය කරලා මරලා දාන්නේ වගේ වගක් නැතුව. ඒ විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතේදි මිනිස්සුන්ට මූණදෙන්න වෙන කම්කටොළු, දුක් ගැහැට ගැන වගේ වගක් නැතිව ආණ්ඩුවට අවශ්‍යකරන දේවල් හරි අපූරුවට කරන ලස්සන. මේ ලිස්ට් එක ගැන කියන්න ගියොත් ඉතින් පෝස්ට් කියක් ලියලා ඉවර කරන්න කියලද ? මහරජතුමෝ, ඔබතුමාගේ රටවැසියන් නැවත වතාවක් ඔබතුමාට චන්දය දුන්නේ යුද්ධය ඉවරකරා වගේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳලා මිනිස්සුන්ගේ ජිවන යුද්ධය නිමාකරන්න මිසක් ඔබතුමාගෙවත් ඔබතුමාගේ වටේ ඉන්න ඈයන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න නෙවෙයි. එහෙම කරත් කමක් නෑ ඒත් රටවැසියන්ගේ ප්‍රශ්න විසඳලා අහවර වෙලා.



2009 අවුරුද්දේ මහරජ ගැන තිබ්බ පැහැදීම, ආඩම්බරය දැන් නම් කොහෙද මන්ද? කොන්දක් නැති විපක්ෂයක් හිටිය පළියට තමන්ට රිසිලෙස ඩෙගා නැටීම නම් ඒ හැටි හොඳ ක්‍රියාවක් නෙවෙයි. අපේ රටේ මිනිස්සුන්ගේ අභාගයට හරි හමන් විපක්ෂයකුත් නෑ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. අද රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඇටි කෙහෙල් කාපු ගුඩුවෝ වගේ ආණ්ඩුව කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්න. මහජනතාව කට්ටියට චන්දේ දීලා කට්ටිය රඟපාන කොමඩිය දිහා බලා ඉන්නවා. ඒ මදිවට මෙලෝ රහක් නැතුව ඒ අයට අත්පුඩි ගහන කට්ටියකුත් ඉන්නවා. මට හිතෙන්නේ මේ විදිහට දිගටම ගියොත් මේ විගඩම්, කරදර, දුක් දරාගෙන ඇතිවුන දවසක මිනිස්සු පාරට බහීවි. හැබැයි රජතුමෝ එදාට නම් ඔබතුමාට හැඟෙන්න ගුල් හොයන්නවෙයි. එහෙම වුනොත් ආයෙත් ලේ ගංගාවක් ගලන්න බැරි නෑ. අනේ එහෙම දෙයක් නොවෙන්න වැඩ කටයුතු සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොටි ප්‍රශ්නය නිසා නැතිවෙච්ච ජීවිතය සහ දේපල ප්‍රමාණය වැඩිත් එක්ක. දෙමළ වේවා සිංහල වේවා ඒ නැති වුනේ අපේ රටේ මිනිස්සු. ඒ නිසා ආයෙත් එහෙම යුගයක් නම් එපා.

මේ ලීවේ කිසිම දේශපාලනික අරමුණකින් නෙවෙයි. ඒත් ආපහු හැරිලා බලද්දි ඇතිවෙච්ච වේදනාව සහ කළකිරීම නිසයි ලියන්න හිතුනේ. මේක ලීවා කියලා ඇතිවෙන සෙතක් නෑ කියලත් මම දන්නවා. මොකෝ ජනාධිපති මගේ බ්ලොග් එක කියවලා මේ අවුරුද්දෙවත් වෙනස් වෙන්න ඕනේ කියලා හිතාගනි කියලද ? ඒ කෙසේවෙතත් තියන මාධ්‍ය නිදහසට අනුව සුදු වෑන් එකක් ගෙදරට එන්න ඉඩතියනවා. පිට මිනිස්සුත් එක්ක රටින් පිට ඉඳං ඒ දිහා බලාඉන්නකොට හිතට එන වේදනාව නිසයි ලීවේ. මහරජතුමනි, මීට අවුරුදු දෙකකට කලින් ඔබතුමා පිළිබඳ තිබුන ගෞරවය, ආඩම්බරය දැන් නම් කොහෙද මන්දා? දවසින් දවස කළකිරෙනවා, දුක හිතෙනවා, කේන්ති යනවා මිසක් කිසිම ඔය කරන වැඩගැන පැහැදීමක් නම් නෑ. හොඳ වැඩක් කරලා ඊට හත්කූරු ගොන් වැඩ 5ක් 6ක් කරලා අර හොඳ වැඩේ ගැන පම්පෝරි ගැහුවට වැඩක් වෙන්නේ නෑ. මේ තියන තත්වය අනුව අපේ රටට සහ රටේ පුරවැසියන්ට ඉතින් අර ඉන්නවයි කියන තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ පිහිට විතරයි. ඒත් මහරජතුමා හොරෙන්ම ඒ කට්ටියත් එයාගෙ පක්ෂෙට අරන්ද දන්නේ නෑ.....  එහෙම නම් ඉතින් අපිට සොරි ඩොට් කොම් තමයි.

ලංකාව අමුතුවෙන් ආසියාවේ ආශ්චර්යය කරන්න දෙයක් නෑ මහරජතුමනි. අපිට ලැබිලා තියන දේවල් දිහා හොඳට ඇස් ඇරලා බැලුවොත් පෙනෙවි අපි ඉන්නේ ආශ්චර්යමත් රටක විත්තිය. අනේ ඉතින් එහෙව් රටක නායකයා වශයෙන් ඔබතුමාට පුළුවන් නම් මේ ආශ්චර්යමත් රටට කොරන හානිය නවත්තලා ලැබිලා තියන සම්පත්වලින් හරියට ප්‍රයොජනය ගන්න ඒ හොඳටම ඇති කියලයි මගේ මේ පුංචි මොලේට තේරෙන්නේ. ඉතින් මේ අවුරුද්දෙවත් අපිට ආශ්චර්යය පෙන්නනවා වෙනුවට ඔබතුමාගේ වැහිලා තියන ඇස් ඇරිලා,ඔබතුමා වටේ ඉන්න මෝඩයෝ රැළත් එක්ක අර දොවාගත් කිරිකළේට ගොම එකතුකරන එක නවතීවා කියලා ප්‍රාර්ථනා කරනවා...........
ඔබ තුමාට කෙසේවෙතත් රටේ ජනතාව වෙච්ච අපිට සියළු දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි, ආරක්ශාවයි !!!!

Tuesday, December 20, 2011

අලි වංගුව

අලි කෙලි පෝස්ට් එකේ ඉතුරු කෑල්ල තමයි මේ ලියන්න හදන්නේ... සෑහෙන දවසකින් මුකුත්ම ලියන්න බැරිවුනා. අලි වංගුව කීවට මේක අර මයියංගණයේ දහ අට වංගුවේ වගේ වංගු ගැන නෙවෙයි. මේ ලියන්න යන්නේ අලි මාරු වෙන වංගුවක් ගැන. අලි කෙලි පෝස්ට් එකේ කීවනේ අම්පාරේ කාලයක් කරක් ගැහුවා කියලා. අපි ගියේ අපේ යාළුවෙක්ගේ ගෙයක් හදන එකකට උදව්වක් දෙන්න. අපි නැවතිලා හිටියේ අම්පාරේ වුනාට අපේ යාළුවාගේ ගෙවල් තිබ්බේ මධ්‍යම කඳවුර කිට්ටුව. ඔහොම කීවට කීදෙනෙක් දන්නවද දන්නේ නෑ. මයියංගණේ අම්පාර පාරේ අම්පාරට කිලොමීටර් 10ක් විතර තියෙද්දී හම්බවෙනවා උහන හංදිය. අන්න ඒ හන්දියෙන් හැරිලා තමයි ඔය මධ්‍යම කඳවුරට යන්නේ. සඳරු මල්ලි නම් ඉස්සව්ව දන්නවා තක්කෙටම.


දවසක් වැඩ ඉවර වෙලා එහෙම අපි නැවතිලා ඉන්න තැනට එන්න ලැහැස්ති වෙද්දි අපිත් එක්ක වැඩ කරන්න බැහැලා හිටපු ගමේ කොල්ලො ටික පොඩි සාජ්ජයක් දාන්න සූදානම. ගෙපොල එහෙම කපලා අහවර වෙච්ච දවස. අපිටත් වැඩේට සහභාගි වෙන්න කියලා බේරෙන්න බෑ. දිගටම වැඩ කරලා මහන්සි එකේ පොඩි ආතල් එකක් ගන්නයි කට්ටිය ලැහැස්තිය. ගමේ සෙට් එකම එකතු වෙන එකේ අපිට බෑ කියන්නත් බෑ. ඒත් දාඩිය පෙරාගෙන මොන සාජ්ජද? අපි ටවුං එකට ගිහින් නාගෙන පොඩ්ඩක් මහන්සිය එහෙ මෙහෙ කරගෙන එන්නම් කියලා ආවා අපි හිටපු තැනට. අර මම කලින් පෝස්ට් එකේ කීවේ ලාන්සර් බොක්ස් එකක් ගැන. ඔය රෝද හතර තමයි තිබ්බේ එහෙට මෙහෙට දුවන්න. කට්ටියම ඇවිල්ලා නාකියාගෙන බොක්ස් රථෙම නැගලා ඔන්න ගියා හත හමාර විතර වෙද්දි ගමට. යද්දි වැඩේ නැගලා යනවා. බෝතලුත් 5ක් 6ක්. කාර් එක එළවගෙන ගිය අයියයි මමයි වැඩේට සම්මාදන් වෙන එක ප්‍රතික්ෂේප කරා. මොනවා වුනත් නොදන්න පළාතක මොන අවුලක් ගියත් එකෙක් දෙන්නෙක් හරි සිහියෙන් ඉන්න එපැයි පොලිසියටවත් ගිහින් කියන්න. මොකද ඒ දවස් වල කොටි කලබලත් තිබුනා.

අනිත් තුන් දෙනා ඔන්න වැඩේට අත ගැහුවා. අපි දෙන්නත් ඉන්නවා දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා. ආතල් ගත්තා වගෙ නෙවෙයි සිහියෙන් ඉන්න අපි දෙන්නට මතක් වෙනවා ඉන්න පලාතේ තියන අවදානම. කොහොම හරි රෑ 9.30 විතර වෙද්දි අරුන් තුන්දෙනාව ගලවගෙන අපි ආවා. උහන හන්දියටත් ඇවිල්ලා ඔන්න දැම්මා අම්පාර මයියංගණය පාරට. ඔය පාරේ අම්පාර කිට්ටුවෙද්දි කැලෑවක් තියනවා. ඔන්න දැන් ඒ හරියටත් ආවා. කිසිම ආබාධයක් අතුරු ආන්තරාවක් නෑ. අරුන් 3 දෙනා පිටිපස්සෙ ඉඳං බයිලා ගහ ගහ එනවා. අපි දෙන්නා ඉක්මණට ටවුං එකට එන්න දඟලනවා. ඒ කාලේ ඔය පාර හවසට වහනවා. ඕවා මේවා ඔක්කොම අපි දෙන්නගෙ ඔළුවේ. අරූන්ට ගාණක්වත් නෑ.අනේ දෙයියනේ කියලා කැලෑව මැදට වෙද්දි මෙන්න මේ මඟුල හුචක් හුචක් ගාලා දෙපාරක් තුන් පාරක් ගස්සලා හිටියේ නැතෑ.....  අපි දෙන්නට තරු පිට තරු.....    හැබැයි වාහනේ ලංකාවේ වටේ ගියත් ලෙඩ දුන්න භාණ්ඩයක් නෙවෙයි. එහෙව් එකේ මෙහෙම වෙලාවක වෙච්ච නස්පැත්තිය. කාර් එක එලවගෙන ආපු එකා ඔළුවේ අතගහගෙන " හුටා පෙට්‍රොල්" කියපි. මම දන්න විදිහට වාහනේ දීවේ වායුවෙන්. අර ඇල්.පී ගෑස් ටැංකියක් බැඳගෙන. එහෙව් එකේ මොන පෙට්‍රොල්ද?
 "ඇයි අයියේ ගෑස් වලට මොකද වුනේ? "
" අනේ මල්ලියේ හවස යද්දි ගෑස් ඉවරවුනා. පෙට්‍රොල් වලට මාරු කරගෙන දීවේ. යද්දි පෙට්‍රොල් ගහගන්නම් කියලා ගියේ. ඒත් අමතක වුනා"
ඔන්න වෙලා තියන සන්තෑසිය. හරිම ශෝක්. කාට කියන්නද මේවා ? කාලා වරෙන්කො. මේ මහ රෑ කැලෑව ඇතුලේ මොන පැට්‍රොල්ද? කෝකටත් අපි දෙන්නා බැහැලා ඩිකියේ තියන හිස් කෑන් එක ගත්තා. මොකක් හරි යන වාහනයක් නවත්තයිනේ, අඩු ගානේ ආමි එකෙන් නැත්නම් එස්.ටී.එෆ් එකෙන්වත්. ඔන්න විනාඩි 10ක් විතර යද්දි වාහන එලියක් එනවා.අත පය ඔක්කොම දාලා නවත්තන්න කීවත් මොන ඇරලා තියලා යනවා. ආයෙත් ඉන්නවා මොකක් හරි එයි කියලා. මොකද ගාලු පාරේ වගේ වාහන යනවා කියලද? ඔහොම පැය භාගයක් විතර ඉන්නකොට (ඔය පැය භාගෙටම වාහන තුනක් නැත්නම් හතරක් යන්න ඇති) ත්‍රී විල් අයියෙක් ඇවිත් නවත්තලා මොකද කියලා ඇහුවා. විස්තරේ කියන්නත් කලින් බූලියයි අර අයියවයි දාගෙන ත්‍රී විල් එක ඉගිලුනා. මම කෝකටත් නැවතුනා මොනවා හරි වුවමනාවකට කතා කරන්නවත් එකෙක් ඉන්න එපැයි අරුන් තුන් දෙනා ළඟ.වෙරි මරගාතේ මොනවා කරයිද කවුද දන්නේ?
දැන් මෙන්න මෙහෙමයි සිද්ධිය. රෑක මහ කැළෑවක් මැද්දේ වෙරි කාරයෝ තුන්දෙනෙක්ගේ සහ අර වන්ඩියේ මුරට මම ඉන්නවා. ඒ අස්සේ අරුන් තුන්දෙනා කාර් එකෙන් බැහැගෙන විකාර කරනවා. පාර මැද්දෙ සින්දු කියන්න හදනවයි, සුළු දිය පහකොරන්න හදනවයි, රටේ නැති පිස්සු. ඒ අස්සේ එක එක මාතෘකා. දැන් කොටි ගැහුවොත් මොකෝ කරන්නේ? අලි ගැහුවොත් මොකෝ කරන්නේ? හොරු ආවොත් මොකෝ කරන්නේ? එක එක විකාර.ඒ අස්සේ මට හිතෙනවා පැට්‍රොල් හොයන්න යං කියලා  මූ ඉස්සුවාවත්ද කියලා.  ඇයි යකඩෝ පැට්‍රෝලුත් නැති එකේ අරූව උස්සලා තියන ඒවා හූරගෙන කැලෑවට තල්ලු කරත් කව්ද දන්නේ? ඒත් උගෙන් හූරන්න දෙයක් නම් තිබුනේ නෑ. ඒ වෙද්දි හොඳටම හිඳිලා හිටියේ. පැට්‍රොල් ගහන්න අමතක වෙන්න ඇත්තෙත් ඒ නිසා. ඔය ඔක්කොම අස්සේ මම සියළු දෙවි දේවතාවුන් සිහිකරගෙන අනේ අර ගිය එකාට ඉක්මණට පැට්‍රෝල් ලැබේවා කිය කිය හිතින් මතුර මතුර ඉන්නවා. තවත් විනාඩි විස්සක් පැය භාගයක් ගිය තැන අර රෝද තුන ගියාටත් වඩා වේගෙන් ආවා.
ඇවිල්ලා අපේ එකාවත් බස්සලා
 "මල්ලිලා ඉක්මණට තෙල් ටික දාගෙන ගහලා බලන්න. වෙන ලෙඩක්ද දන්නෙ නෑනේ. ස්ටාර්ට් නොවුනොත් එහෙම" කියලා ත්‍රීවිල් අයියත් ස්ටාර්ට් එකේම ඉන්නවා.
අපි දෙන්නත් පැට්‍රෝල් ටික දඩ බඩ ගාලා හලාගෙන ගහලා බැලුවා. සියළු දෙවි දේවතා ආරක්ෂාවෙන් වෙන කරදරයක් නෑ. ගහපු ගමන් ස්ටාර්ට්. කට්ටියවත් තප්පරේට නග්ගගත්තට පස්සේ අර ත්‍රී විල් අයියා කියනවා " මල්ලි ඔයාලාගෙත් වෙලාව. මේ හරියේ ජිවිතේට දන්න මිනිහෙක් රෑට වාහනයක් නවත්තන්නේ නෑ. ඔන්න ඔය පේන වංගුවෙන් තමයි අලි මාරු වෙන්නේ. ඒකයි වාහන කීයක් ගියත් නවත්තන්න අකමැති. ඔය කතන්දරේ දන්න නිසයි නැවැත්තුවේ මම. දැන් ඉතින් දෙයියන්ගේ පිහිටෙන් ඉක්මණට යන්න" කියලා මිනිහත් ඉගිල්ලුනා. ඔය කතාව අහපු ගමන් අපේ වෙරි තුන්දෙනාගේ වෙරිත් හිඳුනා. එදා නිදාගන්නකම්ම තුන්දෙනා කලේ " අඩේ අපි අරහෙම පාරේ ඇවිද්දා, මෙහෙම කරා, ඒ වෙලාවේ අලි ආවා නම් කිය කිය" කොරපු මෝඩකම් මෙනෙහි කරපු එක.
ඒ වෙලාවේ අනේ අපේ පිහිටට ආපු ඒ ත්‍රී විල් අයියට නම් සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි. ඒ වෙලාවේ දුන්න උදව්වේ වටිනාකමට ස්තූති කරන්න වචන නෑ. කවුරු කොහොම කීවත් පාර තොටකදී වෙන හදිස්සියකදි, කරදරයකදී ඕනෑම ලෙඩක් දාගෙන උදව්වක් දෙන්න ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ඔය ත්‍රී විල් අයියලා, මල්ලිලා. දාන තරම් ලෙඩත් මිනිස්සුන්ට දානවා තමයි, ඒත් හොඳක් තියේ නම් ඒකත් කියන්න ඕනෙනේ. ලොකු ලොකු ඈයන්ගේ කාර් අසරණයෙක්ගේ දුකකට නවතින්නේ එහෙමත් වෙලාවකට. අලි වංගුවේ මහ රෑ පැයක් විතර ඉඳලත් යහතින් අපි ආවා. හැබැයි එක අලියෙක් හරි දැක්කා නම් අපිව අද මට බ්ලොග් ලියන්න වෙන්නේ නැති බව නම් ඒකාන්තයි.

Wednesday, December 7, 2011

අලි කෙලි..........


මම නිතරම කියනවා වගේ මගේ ජිවිතේ රස්තියාදු ගහපු කාලේ කොරපු දේකුත් නෑ නොකරපු දේකුත් නෑ. මේ කියන්න යන්නෙත් ඒ කාලේ සිද්ධියක් දෙකක්. මේ සයිබරේ නිතරම වල් අලි ගැන කතා ලියන්නේ සඳරුවානේ. මේ ලියන්න යන්නෙත් වල් අලි සීන් එකක්. මේක උනෙත් අපේ සඳරුවාගේ ගම් පලාතේ. මම 2006 අවුරුද්දේ ටික කාලයක් යාළුවො සෙට් එකකුත් එක්ක අම්පාරේ හිටියා යාළුවෙක්ගේ වැඩකට ගිහිල්ලා. අපි නැවතිලා හිටියේ පලාත් පාලන අමාත්‍යංශයට අයිති සංචාරක බංගලාවේ. ඒ දවස් වල අපේ පුරුද්දක් තිබ්බා හැමදාම හවසට ජපන් සාම චෛත්‍යය ළඟට  අලි බලන්න යන එක. එන ගමන් වැව් මාළුත් අරන් ඊළඟට ටවුං එකේ තිබ්බා පොඩි බයිට් කරත්තයක්, එකේන් ස්ටෙලා වෙන කොට හපන ඒවත් අරං ස්ටෙලා වෙන්න ඕනේ ඒවත් අරං  තමයි රෑට අපේ නැවතුම්පොලට ගොඩ වෙන්නේ. ආ..... කියන්න අමතක වුනානේ. දිගාමඩුල්ල වටේම රවුම් ගහන්න අපට තිබ්බේ 13 ශ්‍රී ලාන්සර් බොක්ස් එකක්. භාණ්ඩේ පරණ උනාට ලංකාවේ හතර අතේ දීවා ඒක ඒ කාලේ කිසිම කරදරයක් නැතුව. අපි වරකපොල ඉඳන් අම්පාරට ගියෙත් ඒ රථයෙම තමයි. ගෑස් ටැංකියෙන් තමයි ගමන. පෙට්‍රොල් තියෙන්නේ හදිස්සියකට. එතකොට ජපන් සාම චෛත්‍යය ගැන කියනවා නම් ජපන් සාම චෛත්‍යය තියෙන්නේ වැව අයිනේ. ඒකත් ටිකක් වැව ඇතුලට වෙන්න. ඔය චෛත්‍යයට මහ පාරේ ඉඳං යන්න තියන පාර මැද්දෙන් තමයි හවසට අලි රංචුව මාරු වෙන්නේ. මට මතක විදිහට අලි 50ක විතර රංචුවක් හිටියා ඒ කාලේ. හැබැයි අලියෙක් කුලප්පු වෙලා චෛත්‍යය පැත්තේ ඉඳං අලි බලන අපේ පැත්තට හැරිලා පැන්නුවොත් අබ සරණයි. මොකද දුවන්නවත් තැනක් නෑ. දුවන්න වෙන්න චෛත්‍යය වටේට තමයි. ඒ වගේ වෙලාවට ඉතින් ඒ චෛත්‍යයට අරක්ගත් දෙවියෙක් වගේ පිහිටවෙලා හෝ අලියට එපා වෙලා අත ඇරියොත් ඇරෙන්න ජිවතේ නම් ශුවර් නෑ. ආ වනජිවී මහත්තුරු දෙන්නෙකුයි, මට මතක විදිහට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දෙන්නෙක් තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නව මතකයි. ඒත් මට තේරුණ විදිහට නම් ඒ පොඩි ඉඩේ අලියෙක් කුළප්පු වෙන හදිස්සියට ඒ අයටත් ලොකු දෙයක් කරන්න අමාරුයි.

ඔන්න ඔහොම ඉන්න දවසක අපි සුපුරුදු විදිහට වැඩ ඉවරවෙලා ඉන්න තැනට ඇවිත් නාලා කරලා බැස්සා අපේ සුපුරුදු රවුම ගහන්න. අර කතාවටත් කියනවනේ අලි බැලිල්ලෙයි බලි බැලිල්ලෙයි ඉවරයක් නෑ කියලා. අපිටත් ඉතින් හැමදාම බැලුවත් එපා වුනේ නෑ. ඔන්න ඉතින් ගියා සාම චෛත්‍යය ළඟට. එදා හැබැයි ගොඩක් සෙනඟ හිටියා. පොඩි එවුන් එහෙමත් උස්සගේන් ට්‍රිප් ගිය කට්ටියකුත් හිටියා. අපි හැමදාම වගේ සෙට් වෙච්ච කොහොඹ ගහ යටට සෙට් වෙලා අලි ටික පාර පනිනකම් බලා ඉන්නවා. වැව් පිටියේ ඔහේ ඔනාවට එපාවට ඉඳලා උන් උන්ගෙ පාඩුවේ එකා දෙන්නා චෛත්‍යය පහුකරගෙන යනවා. ඉතින් ඔය අලින්ගේ ඒවා මේවා වැඩ කෑලි බල බල උන්ට එක එක ඒවා කිය කිය හිටියා  අපේ උන් දෙන්නක්. උන් දෙන්නගෙන් එකෙක් අනිකට උපදෙස් දෙනවා අලි කුලප්පු උනොත් හැසිරෙන විදිහ. අනේ උගේ උපදෙස්. ඌ ජීවිතේටම වල් අලියෙක් දැක්කමද කොහෙද?  අර වනජීවි ඩබලත් ඌ දිහා බලලා පොඩි නෝන්ඩි හිනාවක් දානවා මම බලාගෙන.එකෙක් අනිකට කියනවා " මචං අලියා කුලප්පු උනොත් කලබල වෙන්න හොඳ නෑ. දුවලා වැඩක් නෑ. අනික ඌ හැමෝම පස්සෙ පන්නනේ නෑ. ඌට මීටර් වුන එකා පස්සෙ විතරයි ඌ පන්නන්නේ. ඒ නිසා අපි දුවන්න ඕනේ නෑ. හැබැයි ඉතින් ඌට මීටර් වුනේ උඹ නම් උඹට දුවන්න වෙන්නේ සිග් සැග් ක්‍රමෙට තමයි". අරුත් බොහොම කල්පනාවෙන් අහගෙන ඉඳලා ප්‍රශ්න එහෙමත් අහනවා. කතාව ඇත්ත වෙන්නත් පුලුවන්. ඒත් මේ අලි ජිවිතේට දැකලා නැති එකා දෙන ටෝක් කොහොමද විශ්වාස කරන්නේ. මොකද ඕවා අපිත් අහලා තියනවා. ඒත් ඇත්තටම සීන් එකකට මූණ දීලා නෑනේ.

මමත් පාඩුවේ උන් දෙන්නගේ ආතල් ටෝක් වලට එක කනක් දාගෙන මාත් එක්ක ආපු අනිත් අයියත් එක්ක කයියක් දාගෙන ඉන්න අතරේ මම දැක්කා පණ්ඩිතයෙක් කැමරාවකුත් අරන් අර අලි මාරු වෙන පාරට කිට්ටු කරනවා. අරුන් දෙන්නගේ කතාව පැත්තකින් තියලා අපි දෙන්නා පොඩ්ඩක් මේ සීන් එකට ඇහැ දැම්මා. අර මනුස්සයාගේ පවුලේ අය කෑගහනවා පොරට කිට්ටුවට යන්න එපා කියලා. මොන පොර නෙවෙයි කනකට තියා කන් පෙත්තකටවත් ගන්නේ. ඔන්න දැන් අපේ නිර්භීත ඡායාරූප ශිල්පියා අලියාට ගොඩක් කිට්ටු වෙලා ගැහුවේ නැතෑ පොටෝවක්. පොටෝව ගහපු එක නම් අවුලක් නෑ. ඒත් මේ මැට්ටා ඒක ගැහුවේ අර ෆ්ලෑෂර් එහෙම දාගෙන. අනේ තත්පර 10ක් ගියේ නෑ. අලියා ගත්තා කරකවලා වලිගේ, උස්සගත්තා හොඬෙත් පටන්ගත්තේ නැතෑ අරූ පස්සෙ පන්නන්න. අර බලන් හිටපු ගෑණු මිනිස්සුන්ට ළමයි මතකත් නෑ. එක පාරටම පලාතම හෙලවෙන්න හූ සද්දේ. බොරු කියන්නේ මොකටද ඒ සීන් එක දැක්ක පාර මට නම් දුවන්න අමතක වුනා. චණ්ඩිකමට දුවන්නේ නැතුව හිටියා නෙවෙයි. දුවන්නවත් මතක නැතිවුනා. තත්පර දශම ගාණෙන් සිහිය එනකොට හිතාගත්තා  කොරන්නම දෙයක් නැතිවුනොත් චෛත්‍යය වටේ තියන වැටෙන් වැව් පිටියට පනිනවා කියලා. කොහොම හරි අලියා අරූ පස්සේ පැන්නුවා චෛත්‍යයේ පඩි ළඟටම. ඊට පස්සේ ඌටම එපා වෙලා හැරිලා ගියා. ඔය තමයි කතාවේ අතිශය බිහිසුණු අවස්ථාව.

ඊට පස්සේ තිබ්බේ හාස්‍ය ජනක අවස්ථාව. හාස්‍ය කීවට හාස්‍යමත් නෙවෙයි. ඔන්න අලියා ගියාට පස්සේ ඇවිල්ලා හිටිය අම්මලා තමන්ගේ ළමයි හොයන්න පටන්ගත්තා. තව සමහරුන්ගේ ළමයි මාරුවෙලා. ඔය වගේ ජරමර ගොඩයි. ඒ අස්සේ සමහරු අර ගොන් වැඩේ කරපු එකා හොයනවා. ඔය අලකලංචි අස්සේ අර අයියටයි මටයි මතක්වුනා අපේ අනිත් උන් දෙන්නව. අලි පන්නද්දි දුවන්න ඕනේ නෑ කියපු එකයි ඒ උපදෙස් ඉහ මුදුනින් පිළිගත්ත එකයි දෙන්නම හිටපු තැන නෑ. ඒ කිවේ දෙන්නම පණ කඩාගෙන දුවලා. සෙනග අස්සේ එහෙට මෙහෙට කැරකෙද්දි ඔන්න උපදෙස් අහගෙන හිටපු එකා හම්බ වුනා. උගෙන් ඇහුවා අනිකා කෝ කියලා. " අනේ මන්දා බං, ඌත් දීවා, මාත් දීවා. දැන් නම් ඌ කොහෙද දන්නේ නෑ " කියල කියපි මූ. මරු ගුරයි ගෝලයයි. ගෝලයා නම් සිටී. ඒත් ගුරා පේන්න නෑ. මූ එන පාටකුත් නෑ. ඔන්න දැන් කරුවලත් වැටීගෙන එනවා. පාර මාරු වෙන්න ආපු අලිත් මාරු වෙලා ඉවරයි. අලි බලන්න ආපු කට්ටියත් එකා දෙන්නා යනවා. ඒත් මූ නෑ. තවත් විනාඩි පහක් විතර ගියපු තැන මූ එනවා. "කොහෙද බං ගියේ ? " අපිට මල අතේ. " නෑ බං අලි කලබල අස්සේ පොඩ්ඩක් හැංගුනා. අලිනේ බං. ශුවර් නෑනේ. තත්වය සාමකාමී වෙනකම් ඉඳලයි මම එලියට බැස්සේ. අපි එහෙමයි." මූ අපිටත් ටෝක් දෙනවා. ඒත් හිටියේ කොහෙද ඇහුවට කියන්නේම නෑ. කොච්චර පෙරැත්ත කර කර ඇහුවත් මූ නෙවෙයි හිටිය තැන කියන්නේ. කොහොමහරි ඔය කලබල ඉවරවෙලා රෑට ඕනේ කරන අඩුම කුඩුමත් අරගෙන අපි හිටිය තැනට ආවා. ඊට පස්සේ ඔන්න ස්ටෙලා වෙන අවස්ථාව. අපේ අලි උපදේශකට පොඩ්ඩක් හරියාගෙන එනකොට අපි ආයෙත් අපේ පරණ ප්‍රශ්නේ දැම්මා. ඒත් අදිමදි කරනවා. ඔය විදිහට ටිකක් වෙලා ඇදගෙන ගියාට පස්සෙ මෙන්න පොර විස්තරේ කීවා.  " අනේ උඹලා ඉතින් ගිහින් මේවා කාටවත් කියන්න එපා. බොරු කියන්නේ මොකටද අලියා කුලප්පු වෙච්ච වෙලාවේ මගේ බඩ අවුල් වුනා. ඉතින් ශේප් එකේ ගියා ඒ වැඩේට, ඒකයි පරක්කු වුනේ. අඩේ සමාවක් දීපල්ලා බං. හදිස්සි අවශ්‍යතාවයක් හින්දනේ පරක්කු වුනේ.... " කියලා කතාව ඉවර කරද්දි කන පිරෙන්න එකම හූවයි.

කතාව නම් එච්චරයි. මිනිස්සු වෙච්ච අපිට තිරිසන්නුන්ට වඩා මොලේ තියනව කියනවනේ. ඒත් අපේ හරක් කරන වැඩ වලින් අහක ඉන්න සත්තු කුලප්පු වෙලා කරදර කරහම අපේ උන්ම උන්ට වෙඩිත් තියනවා. ඔය වගේ තැනකට ගිහින් සත්තුන්ට කරදර නොකර හිටියා නම් ඔය ප්‍රශණ කරදර මුකුත් නෑ. එහෙම ඉන්න දන්නේ නැති උන්ට කියන්න තියෙන්නේ  " අනේ වැඳලා කියන්නම් උඹලා නම් එන්න එපා" කියලා. මොකද උන් කොරන වැඩ වලින් අහක යන උන්ටත් පරිප්පු කන්න වෙනවා. එසේ මෙසේ ඒවා නෙවෙයි. අතක් පයක්, නැත්නම් ජීවිතේම ගහලා යන ඒවා.

තවත් සිද්ධියක් තියනවා. දිගාමඩුල්ලේම වෙච්ච අලි සම්බන්ධ එකක්.කාර් එක ගැන විස්තරේ කීවේත් ඒ කතාවත් ලියන්න බලාගෙන. ඒත් දිග වැඩිවෙන නිසා මතු සම්බන්ධ කරනවා. ඒක දාන්නම් ඊළඟ සතියේ.