Wednesday, January 4, 2012

ලෝකේ උතුම් රට ලංකාවයි..... සිරි ලංකාවයි........

ලැබුවා වූ නව වසර සියළුම දෙනාට කරදර බාධක වලින් තොර වූ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨවන, අයහපත් සිතුවිලි බැහැරවෙන නිරෝගී, ප්‍රීතිමත් වසරක් වේවා !!! කියලම ඔන්න පටන් ගන්නවා මේ අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක ලියන්න.

මේ අවුරුද්ද හැමෝටම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරද්දි මට හිතුනා ඊට කලින් රටට යහපත්, සුභ කලදසාවක් උදාවෙන්න ඕනෙ නේද කියලා.සමහරවිට කෙනෙක්ට කියන්න පුළුවන් රට හදන්න නම් මිනිස්සු හැදිලා ඉන්න ඕනේ කියලා. මිනිස්සුද රටද මුලින් හදන්නේ කියලා තර්ක කර කර ඉඳලා නම් වැඩක් නෑ. කොහොමවුනත් මෙච්චර කාලෙකට කොටපු නැති විදිහේ පෝස්ට් එකක් කොටන්න හිතුනා අළුත් අවුරුද්දේ.



දැන් අවුරුදු 4 කටත් වැඩි කාලයක් මම ජීවත් වෙන්නේ ලංකාවෙන් පිට. ඉතින් ඔය කාලය ඇතුළත අපේ රට ගැන අනිත්  රටවල් වල මිනිස්සු අහපු ප්‍රශ්න වලට උත්තර බැඳීම, ඒ වගේම ඒ මිනිස්සු අපේ රට ගැන දරපු ආකල්ප අහගෙන සිටීම වගේ දේවල් නිසා අපේ රට ගැන පිට ඉඳන් බලන මිනිහෙක්ට පේන ආකාරය ගැන මගේ හිතේ හැමදාමත් තිබ්බේ වේදනාවක්. හැමදාමත් මට පුළුවන් විදිහට ඒ ආකල්ප වෙනස් කරන්න උත්සහ කලා. යුද්ධය තිබුන කාලේ මේ රටේ මිනිස්සු හිතාගෙන හිටියේ අපි දමිල ජනතාව ප්‍රසිද්ධියේ මරලා දාන, ඒ වගේම ඒ අයට තියන සියළුම වරප්‍රසාද අහිමි කරපු ජාතියක් විදිහට. ඒ විතරක් නෙවෙයි මෙහෙ පාසල් වල සමාජ අධ්‍යනය විශයට අදාල ලිපියක තියන දේවල් දැක්කහම දුක වගේම කේන්තිත් යනවා. එකේ බොහොම ලස්සනට උළුප්පලා තියනවා දෙමළ මිනිස්සු දුක්විඳිනකොට සිංහල මිනිස්සු සුර සැප විඳිනවා කියලා. සල්ලි තියනවා නම් සුර සැප විඳින්න ජාතිය ආගම ප්‍රශ්නයක් නෑ කියලා දන්නේ අපි විතරනේ.මේවට ඉතින් අපේ උත්තරීතර ආයතනයට සේවය සලසන අය වගකියන්න ඕනේ.

කොහොමහරි ඔය අතරේ යුද්ධය නිමාවීමත් එක්ක පිට මිනිස්සුන්ට බොහොම ආඩම්බරෙන් මට කියන්න පුළුවන් වුනා " දැන් ලංකාවේ තත්වය බොහෝම සාමකාමී. ඉතින් ගිහින් බලලා එන්න මගේ රටේ ලස්සන" කියලා. දවස් 10ක 12ක සංචාරයකට ලංකාව තරම් හොඳ වෙන රටක් නම් නැතුව ඇති. මොකද කෙටි කාලයක් තුළ වෙනස් දේශගුණික කලාප, මන බඳින වෙරළ තීරු, වනෝද්‍යාන, පුරාතන නටබුන් ඔය වගේ මොනතරම් දේවල් බලන්න පුළුවන්ද?   අපේ රට ආසියාවේ ආශ්චර්යය කරන්න කියලා අමුතුවෙන් දෙයක් තියනවද කියලත් හිතෙනවා. ඇත්තටම මට මුණගැහුණු ගොඩ දෙනෙක් ලංකාවට නිවාඩුවකට යන්න ආසාවෙන් හිටපු ඒත් යුද්ධය සහ ඒ වටා අපේ මිනිස්සු ගැන ඇහුනු කතා යන්න බයෙන් හිටපු අය.

 යුද්ධය අහවර වුනාට පස්සේ ඔන්න මමත් ශ්‍රී ලාංකික පුරවැසියන් බහුතරයක් වගේම අපේ රට දියුණුවෙයි කියලා බොහොමත්ම ආසාවෙන් බලාගෙන හිටියා. 2009 මැයි මාසේ යුද්ධය ඉවර වෙද්දි අපේ රණවිරුවෝ දාස් ගාණකගේ ජීවිත, අත, පය අහිමිවෙලා. ඒ ලේ කඳුළු මැද්දෙන් ලැබුණු ජයග්‍රහණය දිහා හැමෝම බැලුවේ ආඩම්බරයෙන්, සතුටෙන්. ඒ කඳුළ, වේදනාව මැද්දෙන් අපේ මිනිස්සුන්ගේ මූණේ ඉක්මණින් හිනාවක් දකින්න පුළුවන් වෙයි කියලායි අපි කවුරුත් හිතුවේ.මේ වෙද්දි 2011ත් ඉවරවෙලා, හැරිලා බැලුවහම ගොඩක් දුක හිතෙනවා. රණවිරුවන් යුද්ධකරලා ලබාගත්ත ජයග්‍රහණය දේශපාලනයට සින්න වෙලා. ඒ සින්න වෙච්ච ජයග්‍රහණය තාමත් විකුණගෙන කනවා. මේ කිසිම දේශපාලන පක්ශයකට කඩේ යන්න සූදානම් වීමක් නෙවෙයි. යුද්ධයට නායකත්වය දුන්න නායකයා විදිහට මම අපේ රටේ ජනාධිපතිතුමාට ගොඩක් ගරු කරනවා. ඒත් හොඳ එක දෙයක් කරනවා කියන්නේ නරක ගොඩක් කරන්න අවසර ලැබෙනවා කියන එක නෙවෙයි. කිරි කළයට ගොම බින්දුවක් වැටුනත් ඇති ඒ කිරි කළයෙන් ප්‍රයෝජනයක් නැතිවෙනවා. ඒත් යුද්ධෙන් පස්සේ අපේ පාලකයෝ එකතු කරපු ගොමවල තරම කියන්නේ දැන් ඒ කිරිකළෙම ගොම පාටයි. තව ටික කාලයක් යද්දි කිරි තිබ්බද කියලාවත් හොයාගන්න බැරිවෙයි. කිරි කළෙට ගොම බින්දුවක් වැටුනට ප්‍රයොජනයක් ගන්න බැරිඋනත් අඩුම ගානේ ඒක කිරිකළයක් කියලා හරි පේන්න තියනවා. ඒත් ගොම කළේකට කිරි බින්දුවක් දැම්මට ඒක කිරි කළයක් කියලා නම් කාටවත් කියන්න බෑ.

හැමදාමත් ප්‍රවෘත්ති ඇහුවොත් බැලුවොත් දූෂණ, වංචා, හොරකම්, මැරකම් කලකිරීමක් ඇරෙන්න සතුටක්, ආඩම්බරයක් හිතෙන දෙයක් නම් කවදාවත් ඇහෙන්නේ නෑ. රටේ දූවා දරුවන්ගේ අනාගතය තීරණය කරන  විභාගයට වෙලා තියන අභාගයක්. වැරැද්දක් කරලත් කිසිම වගක් නැතුව මුන් රෙදි ඇඳන් කතා කරන ලස්සන. ඒ අතර ලංකාවට විදේශ සංචාරකයෝ ගෙන්න ගන්න දගලන ආණ්ඩුවට ඒ එන මිනිස්සුන්ට හරි හැටි ආරක්ශාව දෙන්න බෑ. ආණ්ඩුවේම මැරයෝ ඒ එන සංචාරකයන්ව දූෂණය කරලා මරලා දාන්නේ වගේ වගක් නැතුව. ඒ විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතේදි මිනිස්සුන්ට මූණදෙන්න වෙන කම්කටොළු, දුක් ගැහැට ගැන වගේ වගක් නැතිව ආණ්ඩුවට අවශ්‍යකරන දේවල් හරි අපූරුවට කරන ලස්සන. මේ ලිස්ට් එක ගැන කියන්න ගියොත් ඉතින් පෝස්ට් කියක් ලියලා ඉවර කරන්න කියලද ? මහරජතුමෝ, ඔබතුමාගේ රටවැසියන් නැවත වතාවක් ඔබතුමාට චන්දය දුන්නේ යුද්ධය ඉවරකරා වගේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳලා මිනිස්සුන්ගේ ජිවන යුද්ධය නිමාකරන්න මිසක් ඔබතුමාගෙවත් ඔබතුමාගේ වටේ ඉන්න ඈයන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න නෙවෙයි. එහෙම කරත් කමක් නෑ ඒත් රටවැසියන්ගේ ප්‍රශ්න විසඳලා අහවර වෙලා.



2009 අවුරුද්දේ මහරජ ගැන තිබ්බ පැහැදීම, ආඩම්බරය දැන් නම් කොහෙද මන්ද? කොන්දක් නැති විපක්ෂයක් හිටිය පළියට තමන්ට රිසිලෙස ඩෙගා නැටීම නම් ඒ හැටි හොඳ ක්‍රියාවක් නෙවෙයි. අපේ රටේ මිනිස්සුන්ගේ අභාගයට හරි හමන් විපක්ෂයකුත් නෑ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. අද රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඇටි කෙහෙල් කාපු ගුඩුවෝ වගේ ආණ්ඩුව කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්න. මහජනතාව කට්ටියට චන්දේ දීලා කට්ටිය රඟපාන කොමඩිය දිහා බලා ඉන්නවා. ඒ මදිවට මෙලෝ රහක් නැතුව ඒ අයට අත්පුඩි ගහන කට්ටියකුත් ඉන්නවා. මට හිතෙන්නේ මේ විදිහට දිගටම ගියොත් මේ විගඩම්, කරදර, දුක් දරාගෙන ඇතිවුන දවසක මිනිස්සු පාරට බහීවි. හැබැයි රජතුමෝ එදාට නම් ඔබතුමාට හැඟෙන්න ගුල් හොයන්නවෙයි. එහෙම වුනොත් ආයෙත් ලේ ගංගාවක් ගලන්න බැරි නෑ. අනේ එහෙම දෙයක් නොවෙන්න වැඩ කටයුතු සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොටි ප්‍රශ්නය නිසා නැතිවෙච්ච ජීවිතය සහ දේපල ප්‍රමාණය වැඩිත් එක්ක. දෙමළ වේවා සිංහල වේවා ඒ නැති වුනේ අපේ රටේ මිනිස්සු. ඒ නිසා ආයෙත් එහෙම යුගයක් නම් එපා.

මේ ලීවේ කිසිම දේශපාලනික අරමුණකින් නෙවෙයි. ඒත් ආපහු හැරිලා බලද්දි ඇතිවෙච්ච වේදනාව සහ කළකිරීම නිසයි ලියන්න හිතුනේ. මේක ලීවා කියලා ඇතිවෙන සෙතක් නෑ කියලත් මම දන්නවා. මොකෝ ජනාධිපති මගේ බ්ලොග් එක කියවලා මේ අවුරුද්දෙවත් වෙනස් වෙන්න ඕනේ කියලා හිතාගනි කියලද ? ඒ කෙසේවෙතත් තියන මාධ්‍ය නිදහසට අනුව සුදු වෑන් එකක් ගෙදරට එන්න ඉඩතියනවා. පිට මිනිස්සුත් එක්ක රටින් පිට ඉඳං ඒ දිහා බලාඉන්නකොට හිතට එන වේදනාව නිසයි ලීවේ. මහරජතුමනි, මීට අවුරුදු දෙකකට කලින් ඔබතුමා පිළිබඳ තිබුන ගෞරවය, ආඩම්බරය දැන් නම් කොහෙද මන්දා? දවසින් දවස කළකිරෙනවා, දුක හිතෙනවා, කේන්ති යනවා මිසක් කිසිම ඔය කරන වැඩගැන පැහැදීමක් නම් නෑ. හොඳ වැඩක් කරලා ඊට හත්කූරු ගොන් වැඩ 5ක් 6ක් කරලා අර හොඳ වැඩේ ගැන පම්පෝරි ගැහුවට වැඩක් වෙන්නේ නෑ. මේ තියන තත්වය අනුව අපේ රටට සහ රටේ පුරවැසියන්ට ඉතින් අර ඉන්නවයි කියන තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ පිහිට විතරයි. ඒත් මහරජතුමා හොරෙන්ම ඒ කට්ටියත් එයාගෙ පක්ෂෙට අරන්ද දන්නේ නෑ.....  එහෙම නම් ඉතින් අපිට සොරි ඩොට් කොම් තමයි.

ලංකාව අමුතුවෙන් ආසියාවේ ආශ්චර්යය කරන්න දෙයක් නෑ මහරජතුමනි. අපිට ලැබිලා තියන දේවල් දිහා හොඳට ඇස් ඇරලා බැලුවොත් පෙනෙවි අපි ඉන්නේ ආශ්චර්යමත් රටක විත්තිය. අනේ ඉතින් එහෙව් රටක නායකයා වශයෙන් ඔබතුමාට පුළුවන් නම් මේ ආශ්චර්යමත් රටට කොරන හානිය නවත්තලා ලැබිලා තියන සම්පත්වලින් හරියට ප්‍රයොජනය ගන්න ඒ හොඳටම ඇති කියලයි මගේ මේ පුංචි මොලේට තේරෙන්නේ. ඉතින් මේ අවුරුද්දෙවත් අපිට ආශ්චර්යය පෙන්නනවා වෙනුවට ඔබතුමාගේ වැහිලා තියන ඇස් ඇරිලා,ඔබතුමා වටේ ඉන්න මෝඩයෝ රැළත් එක්ක අර දොවාගත් කිරිකළේට ගොම එකතුකරන එක නවතීවා කියලා ප්‍රාර්ථනා කරනවා...........
ඔබ තුමාට කෙසේවෙතත් රටේ ජනතාව වෙච්ච අපිට සියළු දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි, ආරක්ශාවයි !!!!

22 comments:

  1. ඔක්කොම සීතාම්බරපට ඇඳගෙන ඉන්නවා. මිනිස්සුන්ට හෙළුව පෙනෙන්නෙත් නැහැ.. වටේට ඉඳන් ප්‍රශස්ති ගායනා කරන්නන් වැඩිවෙන හින්දා හෙළුව පෙනෙන්නෙත් නැහැ.. වැලිකඩ හිරගෙදර ලඟින් යනකොට ඇස් වලට කඳුළු එනවා..

    ReplyDelete
  2. මේ...මේ...ගොඩයා....ආශ්චර්යට පල් පාට දාන්න එපා හරිද ?

    ReplyDelete
  3. නව වසර සුභ වේවා!

    ReplyDelete
  4. අනේ මන්ද බං ඔව්වා~

    ReplyDelete
  5. අපි ඔක්කෝම එක බෝට්ටුවේ මල්ලී . . .
    රට ඇතුලේ ඉන්න උන්ගේ සංවේදී අවයව ටීවී වලින් රේඩියෝ වලින් කපලා දාලා නිසා උන්ට වගේ වගක් නෑ . . අපිට තමා මේ ඔක්කෝම හිතෙන්නේ . . .
    රට ගැන හිතනකොටත් දුකයි . . ඒත් මක්කා කොරන්නද බන් . .

    ReplyDelete
  6. මේවා ගැනනම් මොනා කියන්නද මන්දා..

    ReplyDelete
  7. අනේ මන්දා...මේ රටේ මිනිස්සූ..........

    ReplyDelete
  8. කියෙව්වෙමි. නමුත් දේශපාලන ලිපි කියෙව්වත් හිත හිතා ලේ පුච්චා ගැනීමට අකමැති නිසා කමෙන්ට් එකක් නැත. මෙය මගේ පුද්ගලික අදහස බැවින් ..ඕකෙ ඉන්න ඔවුන් සේරම ඔහොම තමයි, ඒකනෙ ගොඩ යන්න බැරි... කියා අනිත් අයට බනින්න එපාය !

    ReplyDelete
  9. @ සරත් ලංකාප්‍රිය - අනේ මන්ද සරත් අයියේ මේවා කතා කරලා වැඩක් නෑ. එහෙම එකෙත් හිතට ආපු දුකට, ලැජ්ජාවට, කේන්තියට ලීවේ.

    @ ඔබ්සවර් - අනේ ඔබා මාමේ අපි නෙවෙයි පාට් දාන්නේ. අපිටනේ කට්ටිය පාට් දාන්නේ?

    ReplyDelete
  10. @ පූසා - එසේම වේවා සහෝදරයා

    @ සබිත් - ඔව් මචං, කියන්න දේකුත් නෑ. කියලා වැඩකුත් නෑ.

    ReplyDelete
  11. @ දුකා - අනේ මන්ද අයියේ අපි රටෙන් එලියේ ඉන්න හින්දද මේ වෙන වැඩ ගැන දුක හිතෙන්නේ, කේන්ති යන්නේ, ලැජ්ජා හිතෙන්නේ? නැත්නම් රටේ ජීවත් වෙන මිනිස්සුන්ටත් අපිට වගේම දැනෙද්දි මුකුත් කරගියා ගන්න බැරුව අසරණ වෙලාද? කියලා මට තේරෙන්නේ නෑ. හැබැයි හැමදාමත් වගේ අපේ මිනිස්සු කරන්නේ ඒ පැත්ත එපාවෙද්දි මේ පැත්තට මාරු කරනවා. මේ පැත්ත ඇති උනහම ඒ පැත්තට. ගොනා මාරු කරාට කරත්තේ තාම එක තැන. විසඳුමක් නම් පේනතෙක් මානයක නෑ වගේ.

    ReplyDelete
  12. @ දිනේශ් - මොනවා කියන්නද? කියන්න දේවල් නම් ඕනේ තරම්. ඒත් මොනවා කීවත් වැඩක් වෙයිද? කියන කට්ටිය හිටියට කරන්න මනුස්සයෙක් නැති එකේ පාඩුව. අනේ මන්ද?

    @ ඔබ නොදුටු ලොවක් - මිනිස්සු ගැන තමයි ගොඩක් දුක.

    ReplyDelete
  13. @ වෙනි - වෙනි අයියේ මම දේශපාලනික ලිපියක්වත් කාටවත් බනින්න ලියපු දෙයක් නම් නෙවෙයි. මේ ලීවේ රටෙන් එලියේ ඉන්නකොට අපේ රට නොදැක්ක මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඇතිවුන දුක, වේදනාව, ලැජ්ජාව නිසා. මට පුළුවන් විදිහට මෙහෙන් උන් එකා දෙන්නා හරි ලංකාවට එව්වා. ඒ එව්වේ කීයක් හරි අපේ රටට ලැබෙනවානේ කියලා. කාටවත් බනින්නෙ නැතුව මට පුලුවන් විදිහට රටට මොනවා හරි දෙන්න උත්සහ කරනවා. අනික අපි අපේ පවුල් වලින් ඈත්වෙලා තට්ට තනියම කට්ට කකා හම්බකරන තුට්ටු දෙකත් එවන්නේ අපේ රටට. ඒ තුට්ටුවෙනුත් සැප විඳින්නෙ අහිංසක මිනිස්සුනම් නෙවෙයි. මොකද ඒ මිනිස්සු විදේශ විනිමය පාවිච්චි කරලා සැප වාහන එහෙම ගේනවා කියලද? ඒත් මේ විදිහට ගියොත් අපි මොනවා කරත් වැඩක් නෑ. ලංකාවට යන්න කියලා මම නම් ආයේ කිසිම සංචාරකයෙක්ට කියන්නේ නෑ. කියන්න බෑ මේ තියන තත්වය එක්ක.

    ReplyDelete
  14. කතා කරලා වැඩක් නෑ සහෝදරයා.. මේ දේශපාලුවෝ ටික ඉන්නකම් අයෙත් අපි අපේ රටට යනවා බොරු. මෙහෙ තෙල් වලින් රටේ උන් සැප විඳිනවා දැක්කම අපේ එවුන් කථාවෙනවා අපිටත් දවසක හඳ පයයි නේ කියල. මොන.. මුන් හිටියොත් ඉතින් ආයේ පුර හඳ කළුවර තමයි ඉතින්,.. නැත්තන් ඉතින් තව අවුරුදු 5 -6 කින් අපිට ලෙබනීස් උං ගෙන්න තිබ්බා අපේ රටේ ගෙවල් අතුගාන්න.

    ReplyDelete
  15. ඔවා වැඩිය හිතන්න එපා බන්....
    සුභ අලුත් අවුරුද්දක් වේවා,,!!

    ReplyDelete
  16. ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට ලැජ්ජයි මගේ රටට සුද්දෝ එනවට!!.... ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ඇඩ්වල නම් පෙන්නවා ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සු කට පුරා හිනාව කිසි භේදයක් නෑ අරකද මේකද හොඳට උලුප්පලා පෙන්නවා... නමුත් සුද්දෝ ලංකාවට ආවට පස්සේ අපේ සිංහලයා ඒ මිනිස්සු දිහා බලන ආකාරය දැක්කහම මටම ලැජ්ජයි. අර කිව්වා හිනාවල් මොකුත් නෑ ඒ මිනිස්සු දිහා බලන්නේ "මේ මොකාද මේ" බැල්මෙන්. සමහරක් උත්සාහ කරන්නේ සුද්දෝ රවට්ටලා කීයක් හරි කඩා ගන්න නැත්නම් හෙමින් සීරුවේ මොනා හරි උස්සලා මාරු වෙන්න. එතකොට අර සුද්දොන්ට ලංකාවේ මිනිස්සු ගැන ඇති වෙන හැඟීම!!!

    කොහොම හරි කමක් නෑ සුභ අලුත් අවුරුද්දක් වේවා :)

    ReplyDelete
  17. කතා කරන්න අකමැතිම මාතෘකාවක්.

    උඹට සුභ අළුත් අවුරුද්දක් වේවා . . .!!!

    ReplyDelete
  18. @ ක්සැන්ඩර් - වැඩක් නෑ කියලා නම්. ඒත් ඉතින් දුක නිසා ඔහේ ලියවුනා. අපිත් යුද්ධේ ඉවරවුනහම හිතුවේ අපිටත් ලංකාවට එන්න පුළුවන් වෙයි කියලා ජීවත් වෙන්න. ඒත් මේ ඇහෙන කතා එක්ක නම් ඉතින් ඒ අදහස ඉබේම දියවෙලා යනවා. අපිට ඉතින් කවදා හඳ පායයිද දන්නේ නෑ.

    ReplyDelete
  19. රහස් පරික්ෂකයා - අපෝ ඔව්. හිතන්න ගියොත් නම් අපේ ඔළු නරක් වෙනවා. ඒත් ඉතින් ඇහෙනකොට ලේ රත් වෙනවනේ.
    සුභ අළුත් අවුරුද්දක් වේවා සහෝදරයා !!!

    අඹයා - ඔව් මල්ලී, කතා කරලා වැඩකුත් නෑ ඕවා ගැන. ඒත් ඉතින් කරුමෙට ඇහෙනවනේ මෙවා.
    සුභ අළුත් අවුරුද්දක් වේවා මල්ලි !!!

    ReplyDelete
  20. ඕනයා - ඇන්ඩයියා මෙච්චර කාලයක් දැක්කේ නෑනේ මම මේ මාතෘකාව ගැන කතා කරනවා. මේ ලිවේ ඒවා මෙවා ඇහෙද්දි ඉන්න බැරිම තැන. කතා කරන්න නම් කිසිම කැමැත්තක් නෑ.
    සුභ අළුත් අවුරුද්දක් වේවා ඇන්ඩයියේ !!!

    ReplyDelete
  21. මචන්, මම දැනගන්න කැමති උබ ඉන්න රට මොකක්ද කියල. මොකද උබ කියන විදිහට උබ ඉන්නේ රටේ මිනීමැරුම් නැහැ, කුඩු නැහැ, අවනීතිය නැහැ.

    මම වසර 2000 දී හිටියේ World's Most Liveable Cities වලින් 3 වෙනි තැන තිබුන නගරයේ. නමුත් දේශපාලනය නොව්නත් ඒ රටේ මිනිස්සුන්න්ට ඒ රටට අවේනික ප්‍රශ්න තිබුන. ලොකුම ප්‍රශ්නේ තමා ජාති වාදය , එහෙමත් නැත්නම් වර්ණ වාදය (racism). පහුගිය දවස්වල international Students ලට (Indian ) ගහල මරල ලොකු ප්‍රශ්න ඇති උනා. නමුත් ඒ රටේ මිනිස්සු ඊට අදාල වැරදිකරුවන් අත්අඩංගුවට අරගන ඒ සිද්දිය එතනින් ඉවර කල. මොකද ඒ රටට ලොකු අදායමක් එනවා international Students ගෙන්. ඊට අමතරව කුඩු ප්‍රශ්නයත් ඒ රටට ලොකු ප්‍රශ්නයක්.

    තවත් සිද්දියක් තමයි ගිය මාසේ UK වල ලංකාවේ එකෙක් මරපු සීන් එක http://bit.ly/u9EPyv . සතියක් දෙකක් ඔය news එක තිබුන. දැන් ඔක්කොටම ඔය news එක අමතකෛ. කව්රුත් ඔය සිද්දිය මුල් කරගන එංගලන්තේ රජයට බැන්නෙ නැහැ. වැරදිකරුවන් අත්අඩංගුවට ගත්ත. තංගල්ලේ වෙච්ච සිද්දිය මම හරි කියනවා නෙවි. නමුත් එකෙත් වැරදිකරුවන් අත්අඩංගුවට ගත්ත නේද. ඒ සිද්දිය පල් කර කර ඉන්නේ එකෙන් දේශපාලන වාසි ගන්න ඕනේ එවුන් මිසක් රටට ආදරයක් තියන එවුන් නෙවි.

    රටක් දියුණු කරන්න රටේ ජනදිපතිට තනියම බැහැ. එකට රටේ මිනිස්සුත් දායක වෙන්න ඕනේ. රටේ මිනිස්සු කිව්වම දේශපාලකයෝ, රජයේ නිලදාරීන්, දොස්තරලා, ගොවීන් , එළවලු වෙළෙන්දන් සහ විශ්ව විද්‍යාල සිසුන් ඔක්කොම ඇතුලත්. මේ මිනිස්සු පාරට බස්සල වාසි ලබා ගන්න මේ රටේම මිනිස්සු ටිඅකක් බලගන ඉන්නවා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ආණ්ඩුවට බනින්න බලගන ඉන්නවා. මේ සිංහල බ්ලොග් අවකාශය තනිකරම ආණ්ඩු විරෝදී. බස්සල , දුකාල වගේ විද්වත් උදවියත් දේශපාලනේ ගැන ලියන්නේ පල් හැලි.

    වෙන එකක් ඕනේ නැහැ, ගෝටා කියල තිබුන ආණ්ඩුව වෙනස් කරන්න ඕනනම් චන්දෙන් වෙනස් කරන්න රට දියුණුවට බාධා නොකර කියල. ඒ නිව්ස් එකට දුකා comment දාල තිබුන කොම්පුටර් ජිල්මර්ට් කතාවක්. කොම්පුටර් ජිල්මර්ට් කතාව කිසිම පදනමක් නැති පරණ කතාවක්. ආණ්ඩුවට බනින කොම්පුටර් කාපු ( මගේ ලෝකය ලියන රංගය වගේ ) එකෙකුගෙන් අහපන් කොහොමද ඔය ජිල්මර්ට් වැඩේ කලේ කියල. මොකද ඕක උනේ කොහොමද කියල දන්නේ නැති පුහු කතාවක්. ඉතින් කියපන්කො අපේ රට කොහොමද දිඋනු වෙන්නේ කියල ?

    ReplyDelete
  22. මචං, මම ඉන්නේ මීට දශක කීපයකට කලින් මගේ රටට වඩා පල්ලේහා හිටපු ඒවගේම දැන් මගේ රටට වඩා ගොඩාක් ඈතට ගිය රටක. සිංගප්පූරුව කියන්නේ කිසිම ස්වාභාවික සම්පතක් නැති චූට්ටක් රටක්. ඒත් අද ඉන්න තැන දැක්කහම මට නම් මගේ රට ගැන ගොඩක් දුකයි. මම ඔය ටික ලීවේ ආණ්ඩු විරෝධී වෙන්නවත් පක්ෂක්ග්‍රාහී වෙන්නවත් නෙවෙයි. මෙහෙව් රටක ඉන්න උන් අපේ රට ගැන කියන ඒවා ඇහෙද්දි හිතලා බැලුවහම ඇති වෙච්ච දුක නිසා. මම කියන්න උත්සහා කලේ ජනාධිපතිතුමාට ඔක්කොම හොයලා බලන්න නෙවෙයි. ඒත් එතුමා දැනුවත්ම සිද්ධවුන සමහර සිද්ධි නොදැක්කා වගේ හිටිය නිසයි. එතකොට එතුමා වටේ ඉන්න හෙන්චයියෝ මහ දවාලේ මිනිස්සුන්ට පාර්ට් දානකොට, පාරේ වෙඩිතියා ගන්නකොට, ඒ වගෙම වැරදි කාරයෝ නිවැරදිකරුවන් වෙලා නිවැරදිකරුවන් වැරදි කාරයෝ වෙනකොට ඔය වගේ සිද්ධි ඔහේ සිද්ධවෙනකොටත් සද්ද නැතුව ඉන්න එක ගැන ඇතිවෙච්ච දුකට.
    මගේ දේශපාලන පසුබිම, ආණ්ඩු පක්ෂද නැද්ද කියන එක මාව පෞද්ගලිකව දන්න මිනිස්සු හොඳට දන්නවා. ඒත් ආණ්ඩුව උනත් විපක්ෂේ උනත් කරන්නේ වැරදි දෙයක් නම් පුරවැසියෝ විදිහට අපිට ගොඩක් ඒක බලපානවා. මම කීවේ නෑ ආණ්ඩුව හොඳක් කරන්නේම නෑ කියලා. පැහැදිලිව කියෙව්වොත් ඔබතුමාට සාරාංශය තේරේවි. මහන්සියෙන් දොවාගත්ත කිරි කළේට ගොම එකතු කරන්න එපා කියලයි කිවේ. කොහොමත් ලංකාවේ දේශපාලනය කරන මිනිස්සු දේශපාලනය කරන්නේ තමන්ගේ දේපළ වතුපිටි විකුණලා ඒ මුදල් යොදවලා රට දියුණු කරන්න ඕනේ කියන අරමුණට වඩා තමා හැදෙන්න ඕනේ කියන අරමුණින්නේ. ඔන්න ඔය නිසා පහුගිය අවුරුදු දෙක තුනට මොනතරම් දේවල් නැති වෙන්න ඇතිද? අන්න ඒ දුකටයි මේක ලියවුනේ. දේශපාලනය කියන්නේ මම කතා කරන්න අකමැතිම මාතෘකාවක්. පක්ෂය වේවා විපක්ෂය වේවා ඕක ජරා වලක්. මම ඕක ජනාධිපතිතුමාට කියන විදිහට ලීවේ රටේ ලොකුම තැනින් පටන් අරන් මිසක් ජීවිතේට පොඩි තැනින් පටන් අරන් රට හදන්න අමාරු නිසා. මහ කකුලුවෝ ඇදේට යද්දි පොඩි උන්ට කෙලින් යන්න කියලා වැඩක් නෑනේ. මොකද රට හදන්න චාන්ස් එකක් ආයෙත් එන්නේ නෑ මේ චානස් මිස් වුනොත් ඒකයි. අනේ මම මේක පාට කණ්ණාඩි දාගෙන පක්ෂයකට කඩේ යන්න ලියපු එකක් නම් නෙවෙයි.

    ReplyDelete