Tuesday, May 31, 2011

විහිළු සහ ගුටි කෑම



ඔක්කොටම කලින් මගේ "තාමත් කෙල්ලෙක් නැද්ද" පොස්ට් එකට ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි. මේ බ්ලොග් එක ලියන්න අරගෙන දැන් මාස 4ක් විතර වෙනවා. ඔය මාස 4ට එක එක ජාති ලීවා. ඒත් ගිය සතියේ ලියපු ඔය පෝස්ට් එකට තමයි වැඩිම ප්‍රතිචාර ලැබුනේ. බලාගෙන යද්දී හොඳ කාලීන මාතෘකාවක් ගැනනේ මම ලියලා තියෙන්නේ. හික්ස්.....   දැන් දවස් තුන හතරකට කලින් අපේ ඇන්ඩයියා ලියපු " ගුටි " විස්තරේ කියවද්දී මටත් වෙච්ච සිද්ධියක් මතක් වුනා. කොමෙන්ට් එකක් විදිහට එතන දාන්න හදලත් දිග වැඩි නිසා අද ඒ විස්තරේ ලියන්න හිතුනා.

මම එතකොට 9 වසරේ. දිග කලිසමට බහින්න මාස කීපයයි. කොල්ලෙක්  දිග කලිසමට බහිනවා කියන්නේ වහු පැටියෙක්ට  අං ලැබෙනවා වගේ වැඩක්. 9 වසරේ ඉන්නකොටම කට්ටියටම ඔය රස්නේ වදිනවා. ඒ රස්නෙත් එක්කම ගැන්සි හදාගැනීම, බොක්කවල් හොයාගැනීම, වලි දාගැනීම, සෙට් වීම, ගුටි කෑම ආදී නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. මමත් ඒ වෙද්දී අනිත් උන් වගේම ඔය සංක්‍රාන්ති සමයේ හිටපු ගැටයෙක්. හැබැයි ඒ වෙද්දීත් මම ස්කොලේ ආවේ පාසල් සේවයේ පිහිටෙන්.  ඔන්න දවසක් ස්කොලේ ඉවර වෙලා අපේ ස්කුල් බස් එක එනකම් මමයි අපේ ස්කූල් බස් එකේ යන උන් සෙට් එකයි ස්කොලේ ගේට්ටුවෙන් එළියේ පාර අයිනට වෙලා ඉන්නවා. දන්නවනේ ඉතින් ස්කොල අරුනහම කට්ටියට හරියට වැඩනේ. ස්කොලේ වෙච්ච දේවල් ගැන සාකච්චා කරන්න, එක එකාට ලනු දෙන ඒවා ගැන කතා කරන්න,  ස්කුල් වෑන් වල ඉන්න කෙල්ලෝ බලන්න, එතකොට අපේ උන් ට්‍රයි කරපු කෙල්ලන් ගැන ඔත්තු බලන්න, කඩ චෝරු හොයන්න, මුද්දර, ස්ටිකර්, රූප ආදී දේවල් හුවමාරු කරන්න.....  ඔය වගේ නානාප්‍රකාර වැඩ එක එකාට තිබ්බා. 

මමත් ඔන්න ස්කොලේ ඇරිලා ගජබින්නාලන්කාරය දිග ඇරගෙන තව කොල්ලෝ දෙන්නක් එක්ක අපේ බස් එක එනකම් ඉන්නවා. ඒ අතරේ අපේ පන්තියේ කැරැව්වා  ජැන්ඩියට කැප් එකක් එහෙම දාගෙන පොරගේ මවුන්ටන් බයික් එකේ වටේ ඉන්න කෙල්ලන්ට එහෙම ඇඩ් එකක් දීගෙන එනවා. මටත් ඉතින් අතපය එක විදිහකට තියාගෙන ඉන්න බැරි අමාරුවක් තියනවනේ.  ඒ අමාරුවට කිවේ කැසිල්ල කියලා. ඉතින් ඔය කැසිල්ල නිසා මම ශේප් එකේ කැරැව්වාගේ පුටාර් එක පස්සෙන් දුවගෙන ගිහින් ඌ උජාරුවෙන් දාගෙන ගිය කැප් එක ගලවගෙන ගේට්ටුව ලඟට ආවා. කැරැව්වා ශේප් එකේ බයිසිකලේ පාරේ අයිනේ නවත්තලා මුණේ හිනා පොදක්වත් නැතුව එනවා. මොනවා වුනත් වෑන් වල යන කෙල්ලෝ එතකොට ස්කොලේ අයියලා මල්ලිලා  ඔක්කොමල්ලා ඉස්සර වෙච්ච වැඩේට පොරට පොඩ්ඩක් අවුල් වගේ. 

මමත් ඉතින් හිනාව දාගෙන ගියා ඌ එන පෙර මඟට කැප් එකත් උගේ පැත්තට දික් කරගෙන. මෙන්න ලඟට ආපු එකා කිසි කතාවක් නැතුව කැප් එක ඇදලා අරගෙන ඒ එක්කම දුන්නේ නැත්ද හොඳ කනේ පාරක්. කොහොමවත් මම බලාපොරොත්තු නොවුන පාරක් ඒක. කවුද දන්නේ මූ මල අතට වඩම්මාගෙන ආවේ කියලා. අනික එවෙලේ ගුටි කාපු අමාරුවට  වඩා වස ලැජ්ජාව. අර කෙල්ලෝ, කොල්ලෝ, අම්මලා,  තාත්තලා,  ටීචර්ලා ඔක්කොම බලාඉන්නවා. මමත් මගේ තියන කැසිල්ලට කරේ වුවමනා නැති වැඩක්නේ. ඒ නිසා පලවෙනි ප්‍රහාරය ඉවසාගෙන " මචං කැරැව් විහිළුවක් කලේ බං " කියද්දීම මූ ආයෙත් අත ඉස්සුවා. ඒ පාර මම උගේ අත් දෙකෙන් අල්ලාගෙන " විහිළුවක් බං. සිරා ගන්න දෙයක්ද ඕක. එකක් ගැහුවනෙ. ඇතිනේ. යමන් දැන්" කියද්දී මූ කකුලෙනුත් ගැහුවා. අන්න ඒ අවස්ථාවේදී නම් මගේ ඉවසීම කියන එක කොහෙන්ද මන්ද අන්තර්ධාන වුනා. ඇයි හත් දෙයියනේ මම වැරද්දක් කරාම කියමුකෝ. ඒත් අර ස්කොලේ ඇරිලා යන කෙල්ලෝ ඉස්සරහා මහ පාරේ ඔහොමත් ගුටි කන්න පුලුවන්ද ?  මගෙත් පුෂ්පය වැඩියා අතට. දීලා ඇද්දා අරූට. කොල්ලව අර තාර පාරේ බිම දාගෙන ගැහුවා. උගේ අතපය හීරිලා දණහිස පතුරු ගිහින් ලේ වැක්කෙරෙනකම් මමත් නෙළුවා. අන්තිමට ගේට්ටුවේ මුරට ඉන්න අන්කලුයි තවත් අන්කල් කෙනෙකුයි, තව අයියාලා දෙන්නෙකුයි ඇවිල්ලා තමයි ගෝරිය නවත්ත ගත්තේ. ඒ වෙද්දී ස්කූල් බස් එකත් ඇවිල්ලා මම එනකම් බලා ඉන්නවා. මම දඩබඩ ගාලා නැග්ගා බස් එකට ගෙදර ආවා.නැත්නම් ඉතින් මුර අන්කල්ටයි අහල පහල හිටපු සර්ලටයි උත්තර බඳින්න වෙනවනේ. 

ඒ සිද්ධිය එතනින් ඉවරයි. ඔන්න දැන් කොල්ලා පහුවදා ස්කොලේ යනවා. එදා අපිට විද්‍යාවටද කොහෙද ශාක පත්‍ර වින්‍යාසයේ අනුරුවක් හදාගෙන එන්න කියලා තිබ්බේ. ඉතින් ලොකු බෝඩ් එකක මම ඔය වින්‍යාසය එහෙම හදාගෙන අත්දෙකෙන්ම බෝඩ් එකත් අරගෙන පන්තියට අඩිය තිබ්බා විතරයි. කිව්වහම මොකද මට අර බෝඩ් එක කොහෙන්වත් තියාගන්නවත් ලැබුනේ නෑ. මූණ හරහා හොඳ පන්ච් එකක් ලැබුනා තරු පෝලිමක් එක්ක. ඒ එක්කම මගේ අතේ තිබ්බ බෝඩ් එක කව්දෝ එකෙක් උදුරලා අරන් පැත්තකින් තිබ්බා. ලාවට වගේ දැක්ක 10 දෙනෙක් විතර වටවෙලා ඉන්නවා. කැරැව්වා සහ උගේ ගැන්සිය. කලබලෙන් මම වටපිට බැලුවා. පන්තියේ එකෙක්වත් නෑ.  මගේ ගැන්සියේ එවුන් ඒ වෙද්දී ස්කෝලෙට ඇවිල්ලත් නෑ. අනික කැරැව්වා ස්කොලේ කිට්ටු නිසා උගේ ගැන්සිය ටිකක් ප්‍රභලයි. අයියලා එහෙමත් ඉන්නවා. කිසිම සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා එදානම් හොඳටම තේරුම් ගියා. සියලුම බලාපොරොත්තු අත ඇරගෙන ඇස් දෙක වහගත්තා. දහ දෙනෙක් විතර වටවෙලා උදේම නෙලද්දී තියන ආතල් එක ගැන නම් වචනයෙන් කියන්න බෑ. එදා උදේ කෑමට ලැබුනේ ගුටි. ගුටි කීවට හොඳම එකෙන්. විනාඩි 5ක් 6ක් ගුටි කෑවට පස්සේ තමයි අපේ එකෙක් ඇවිල්ලා යාන්තම් වැඩේ නවත්ත ගත්තේ. එහෙම නොවුනානම් ගොඩයා කනවා ඇප නැතිවෙන්නම. ඇත්තටම කිවොත් ඒ විනාඩි 5ට 6ට ඇප නැතිවෙන්නම කාලා තිබ්බේ. 

ගුටි මුරය ඉවර වෙලා නැගිටලා බලදී මම හිටියේ පන්තියේ අන්තිම කෙලවරේ. හැබැයි මතක හැටියට මම පන්තියට අඩිය තිබ්බා විතරයි. කොනට විසිවුනේ කොහොමද කියලා දෙයියෝ තමයි දන්නේ... ආ... නෑ නෑ කැරැව්වාගේ ගැන්සිය තමයි දන්නේ. එවෙලේ නම් ශේප් එකේ පන්තියේ එකෙක් ගාව තිබ්බ සිද්ධාලේප එකක් උලාගෙන මුකුත් වුනේ නැති ගානට හිටියා. ඒත් තැලුම් වේදනාව දවසක් දෙකක්ම තිබ්බා.  විලි ලැජ්ජාව නිසා ගෙදරට කිවේ නෑ.වේදනාව අමතක කරලා හිටියා. මොනවා වුනත් මගේ අත පය තියාගෙන ඉන්න බැරි අමාරුව නිසා කරපු දෙයක්නේ. අනික ස්කොලේ ඇතුලේ ගුටි කෑවට කෙල්ලන්ට පේන එකක්යැ.. ඒ වගේද මම කැරැව්වට දුන්න පෝරියල් එක. කීදාහක් ඉස්සරහද මහ පාරේ ඌ මගෙන් කෑවේ. ඒ නිසා මම රිටන් දෙන්න උවමනාවක් තිබුනේ නෑ. මොකද ගුටි කෑවත් මම දුන්න පෝරියල් එක ගැන මට සැටිස්. කැරැව්වාගෙයි මගෙයි ඔය අවුල දවස් කීපයකින් සමථයකට පත්වුනා. උගේ ගැන්සියත් ඒ වගේම සාමදාන වුනා.

 ඔය වගේ සිද්ධි කීපයකට පස්සේ ලැබුනු බෙහෙත් වල පවර් එකට මගේ අර තිබ්බ අමාරුව ඒ කිවේ කැසිල්ල, අන්න ඒ කැසිල්ල පොඩ්ඩක් විතර අඩුවුනා. හැබැයි නිට්ටාවට හොඳ කරන්න බැරිද මන්ද? මොනවා කොරන්නද උවමනා නැති විහිළු කරන්න ගියහම ඔහොම තමයි. ඊට පස්සේ නම් පොඩ්ඩක් විතර පරිස්සම් වුනා කාට හරි විහිළු කරන්න යද්දී. පරිස්සම් වුනා කිවටම එහෙමමත් නැද්ද මන්දා....  මොකද ඔය සිද්ධියෙන් පස්සෙත් කීප අවස්ථාවකදීම ගොඩයට ඔය වගේ බෙහෙත් හම්බවුනා. ඒවට වෙන්න ඇති මයේ හිතේ කියන්නේ විලි ලජ්ජා නැතිකම කියලා.....  හික්ස්....     

Sunday, May 15, 2011

වෙසක්..........


වෙසක් සතියත් ආවා............... කුසල් සිත් මතුවන අකුසල් සිත් දුරුවන, මෙත් ගුණ, කරුණා ගුණ දසත පැතිරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!    ඔන්න හතර වෙනි අවුරුද්දටත් වෙසක් එකට මම ලංකාවෙ නෑ. හිතට හරිම වේදනයි. ලංකාවේ ඉන්න ටිකේ හැම වෙසක් එකටම මම මොකක් හරි වෙසක් නිර්මාණයක් කළා. බොහොම පොඩියට මම 7 වසරේ වගේ ඉන්නකොට පටන් ගත්ත නිර්මාණ මම 9 වසර විතර වෙද්දී ටික ටික දියුණු වුනා. පොඩියට හදපු තොරණ 10 වසරදී සෑහෙන ලොකු වෙසක් නිර්මාණයක් වුනා. ඒ එක්කම මට ගොඩක් දෙනෙක් උදවු කළා ඒ නිර්මාණ ශක්තිය දියුණු කරගන්න. නම් වශයෙන් මෙතන කියන්න බැරි තරම් පිරිසක් ඉන්නවා.  මගේ යාළුවො, අසල වැසියෝ, නෑදෑයෝ, යාලුවන්ගේ අම්මලා තාත්තලා මේ හැමෝගෙන්ම උදවු ලැබුනා. ඒ උදවු නොලැබුණා නම් මේවා කරන්න බෑ ගොඩයට. ඒ වගේම නොසැලී මාව දිරිමත් කලේ මගේ අම්මා. ළඟ නොහිටියත් නෑ බෑ නොකියා ඕනේ දේවල් අරන් දීලා, ඒවට කිසිම පැකිලීමක් නැතුව වියදම් කරලා  මගේ තාත්තාත් මාව ඉස්සරහට තල්ලු කළා. ඒ වගේම පහු වෙද්දී මගේ යාළුවන්ගේ ගෙවල් වලිනුත් උදවු කළා. ඒ දවස්වල වෙසක් ලංවෙනකොට අපේ ගෙදර උදේ දවල් රෑ නැතුව කොල්ලෝ. හෝ ගාලා වැඩ. බල්බ් පාස්සනවා, කූඩුවලට කැටයම් කපනවා, රැලි කපනවා, ඊට අමතරව හට් ගහන්න, පාරේ කූඩුව ගහන තැන හදාගන්න, අම්මෝ වැඩ කෝටියයි. අපේ අම්මගේ වැඩේ නම් කොච්චරවත් තේ හදන එකයි කෑම හදන එකයි. අපේ අම්මම හින්දා හොඳයි.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආමිස පුජාවට වඩා වටින්නේ ප්‍රතිපත්ති පූජාව කියලා. ඇත්ත වෙන්න පුළුවන්. ඒත් කුසල් කෙසේ වෙතත් මේ නිර්මාණ නිසා අපේ කුසලතා නම් වර්ධනය වුනා. අදටත් මට ඒ ලැබුන හුරුව මගේ ජීවිතේට වටිනවා. ඒ කාලේ මම තොරණක් බලන්න ගියහම රිංගන්නේ පිටිපස්සට. කොහොමද ඔය ලයිට් වැඩේ වෙන්නේ බලන්න. තොරණක්, කූඩුවක් මොකක් බලන්න ගියත් එහෙම තමයි. පොඩි කාලේ වෙසක් එකට එලියට බැස්සහම අම්මගේ කටේ දෙයක් නෑ මට කෑගහලා. ඔය අස්සක මුල්ලක රිංගද්දී මට කරන්ට් වදී කියලා බයේ. කොහොමෙන් කොහොම හරි ටික ටික වැඩේ අල්ලගත්තා. අම්මා කොච්චර බය වුනත් මාව නැවැත්තුවේ නෑ. ඒ වැඩ කරන්න ඉඩ දුන්නා. පොතින් පතින් ඉගෙන ගන්න බැරිවුන ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. විදුලි කාර්මික වැඩ, යාන්ත්‍රික වැඩ, ඒ වගේම සැලසුම් කරන හැටි, අලුතින් පොඩ්ඩක් හිතන හැටි, තවත් මනුස්සයෙක්ගෙන් සහයෝගය ගන්න හැටි, තව කෙකෙන් එක්ක සහයෝගයෙන් වැඩ කරන හැටි, ඔය වගේ ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. ඒ දේවල්  කවදාවත් පොතින් ඉගෙන ගන්න බැරි දේවල්. ඒ වගේම දෙතුන් දෙනෙක්ගෙන්  මට කැපිල්ල ආවට ගොඩාක් දෙනෙක්ගෙන් සහයෝගය ලැබුනා. මම උ.පෙ අන්තිම අවුරුදට එනකම්ම  ඒ වෙසක් සැරසිලි වැඩේ කෙරුනා. ඊට පස්සේ මට වෙලාව නැති වුනා. වැඩෙත් නැවතුනා. ඔන්න බලන්නකෝ ඒ කාලේ කරපු නිර්මාණ කොහොමද කියලා ???



ඇත්තටම නියම බෞද්ධයෝ විදිහට අපි ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන්න ඕනේ බව මම හිතනවා. ඒත් 364 දවසක් කරන්න තියන අසමජ්ජාති වැඩ ඔක්කොම කරලා එක දවසක් ප්‍රතිපත්තියේ පිහිටලා වැඩක් තියෙයිද කියලත් හිතෙනවා. අනිත් අතට හැමදාම වැරදි කරන මිනිහෙක් එක දවසක් හරි ඒ වැරැද්දෙන් මිදිලා ඉන්න උත්සහ කරන එකත් ලොකු දෙයක්. මට හිතෙන විදිහට නම් අපි කරන්න ඕනේ ඒ උත්සාහය එක දවසකට සීමා නොකරන එකයි. මම මේ බණ කියන්න උත්සහා කරනවා නෙවෙයි. ඒත් අඩුම තරමේ තමන් වපුරන දේ තමයි කවදා හරි තමන්ට අස්වැන්න හැටියට ලැබෙන්නේ කියලා මිනිස්සුන්ට අවුරුද්ද පුරාම මතක තියනවා නම් ඒකත් ලොකු දෙයක්. 

ඒ කොහොම වෙතත් අලුත් අවුරුද්ද වගේම වෙසක් එකත් මුදලාලිලාට මඩිය තර කරගන්න අවස්ථාවක් කරගෙන. ඉස්සර වෙසක් එකට වහලා තිබ්බ හෝටල්, කඩ එහෙම ඔක්කොම වගේ දැන් වෙසක් එකට විවෘතයි. ඒ කාලේ වෙසක් එකට කරත්තෙට බැන්ද ගොනා පවා නිදහස් කරනවා වැඩ වලින්. ඒත් අද බෞද්ධයන්ටත් පෝය කියලා එහෙම නිදහසක් නෑ. සල්ලි පස්සේ දුවන්න වෙච්ච ලෝකෙක අරුමයක් නම් නෙවෙයි. ඒත් දුකයි.  අපි පොඩි කාලේ කවුරු හරි ලොකු කෙනෙක් එක්ක ඇලක් අයිනට ගිහින් උන ගහක් කපාගෙන ඇවිල්ලා ඒක පතුරු කරගෙන අටපට්ටම්, තරු හදන්න පටන් ගන්නේ වෙසක් එකට සති දෙකක් විතර තියාගෙන. හරිම සන්තෝසෙන් අයියලා, අක්කලා, මාමලා, නැන්දලා  එකතු වෙලා හැමෝගෙම ගෙවල් වලට ඇති වෙන්න කූඩු හදනවා. ඒත් අද හැමෝම කාර්ය බහුල නිසා කඩෙන් ගෙනත් කූඩුවක් එල්ලනවා. ඉතින් පොඩි එකෙක්ට එහෙම දෙයක් කරන්න අත හුරුවෙයිද ???  කූඩුව ලස්සනට සුදු පාටින් අලවලා රතු පාට හරි නිල් පාට හරි රැලි ලස්සනට දාලා වැඩේ ඉවර කරහම අපිට දැනුන සතුට දැනේවිද ???  මේවාගේ දේවල් පොඩි උන් පොතෙන් එහෙම නැත්නම් ටියුෂන් පන්තියෙන් ඉගෙන ගනීවිද?? හැබැයි මේ යන විදිහට නම් ලඟදීම ඕවටත් ටියුෂන් පටන් ගනී.

අනිත් එක වෙසක් එකට තොරණක් ඉදිකරොත් එතනත් මෙරිගෝ රවුන්ඩ්, මාරක ලිඳ අරවා මේවා ගෙනල්ලා ගානක් හොයාගන්නවා. සමහර තැන් වල දන්සල් කෙරෙන්නේත් ලාබ පාඩු බලාගෙන එහෙම නැත්නම් තරඟෙට. අරුන් කරපු නිසා අපි උන්ට වඩා ලොකුවට කරන්න ඕනේ කියලා. අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සිහිකරලා කරන මේ පින්කම් වලදී පවා මෙහෙම තරඟ කරන එක, වංචා කරන එක උන්වහන්සේට කරන දරුණු නින්දාවක් විදිහටයි මට හිතෙන්නේ. මෙහෙම පින්කම් කරන එකෙන් වෙන්නේ අන්තිමට අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අපේ ජිවිත වලින් බැහැර කරන්න කියලා දේශනා කරපු දේවල් බොහොම තදින්  ඒ අය තව තවත් අල්ලගන්න එක නෙවෙයිද ?  එහෙම පින්කම් නොකර ඉන්න එක ඊට වඩා හොඳද මන්දා?? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවනේ අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට කරන්න පුළුවන් ලොකුම ගෞරවය උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන එක කියලා. එහෙම නැතුව ලක්ෂ ගණන් ඔය විදිහට වියදම් කරන්න කියලා උන්වහන්සේ දේශනා කරලා නෑනේ. දානය උතුම් දෙයක්. හැබැයි කාටවත් තරඟයක් දෙන්න, ප්‍රසිද්ධ වෙන්න  එහෙම නැත්නම් කියක් හරි හොයාගන්න චේතනාවෙන් නෙවෙයි. චේතනාව තමයි වැදගත් හැමදේකදිම...............

ඔක්කොටම වඩා දුක හිතෙන්නේ අපේ සමහර පන්සල් වලට ගොඩ වුනහම. අනේ වෙසක් දවසට පන්සලට ගොඩවෙන උපාසක උපාසිකාවන්ට පන්සලේ හාමුදුරුවන්ගෙන් වෙන්න ඕනේ යුතුකම් උන්නාන්සේලාට අමතක වෙලා. සමහර ස්වාමින් වහන්සේලාට පන්සලට ආපු උදවියට පන්සිල් දෙන එකවත් මතක නෑ. ඒවා පැත්තකින්   තියලා අපාය පෙන්නන්න ටිකට් විකුණනවා. තවත් සමහර හාමුදුරුවරු පන්සලේ ඉදිකරපු තොරණ ළඟ කූඩුව ළඟ කවි කිය කියා ආධාර එකතු කරනවා. ඒ ඔක්කොමත් හරි පත්තරයක් ගත්තහම බලන්න ගුරුකම්, හදි හූනියම්, කේන්දර බැලිල්ල, ගියපු අය ගෙන්වා දෙන, පෙමවතා, පෙම්වති යාලු කරලා දෙන හාමුදුරුවරු කීදෙනෙක් ඉන්නවද කියලා.  ඒ වගේ  ස්වාමින්වහන්සේලා  දැක්කාහම අනේ අපොයි කියලා හිතෙනවා. මුදල් කියන්නේ කාටත් අවශ්‍ය දෙයක් බව ඇත්ත. ඒත් අපේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ  සර්පයෙකුට උපමා කරලා ඈත් කරන්න කියලා කියපු මුදල් පස්සේ අපේ හාමුදුරුවෝ යන එක නම් හරිම ඛේදනියයි.   මම මේ කියන්නේ දැනට අවුරුදු 4කට කලින් මම දැකපු දේවල්. දැන් තත්වය ඊටත් වඩා බරපතල ඇති කියලා හිතෙනවා.


 වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කිවලු. මේ සාසනය ආරක්ෂා කරන්න ඉන්න අපේ හාමුදුරුවරුත් එහෙම නම් අපේ ගිහියෝ ගැන මොන කතාද? සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ.... කියලා අපි වැඳ නමස්කාර කරලා සිහිකරන්නේ අපේ සංඝයා වහන්සේලාගේ ගුණ. ඉතින් එහෙම කරන කොට උන්වහන්සේලාත් පොඩ්ඩක් ගිහියන් ගැන අනුකම්පා කරලා කටයුතු කරනවා නම් හොඳයි. මේ ගිහි ජිවිතේ ප්‍රශ්න වලට කොටු වෙලා ඉන්න ගිහියෝ එහෙම දවසට හරි පන්සලට ගොඩවෙන්නේ හිතට සහනයක් ක්ෂාන්තියක් ලබාගන්න. ඒ සඳහා නොවැ උන්වහන්සේලා සසුන්ගත වුනේ. ඒ යුතුකම් ඉටුකරා නම් තමයි වටින්නේ. එහෙම නැතුව එන ගිහියන්ගෙන් සල්ලි එකතු කරන්න බලා ඉන්න එක නොවෙයිනේ. ඒ වගේම ගිහියන් වශයෙන් අපිටත් යුතුකමක් තියනවා උන්වහන්සේලාගේ උවමනා එපාකම් බලලා ඒවා සපයා දෙන්න.  


අපේ ආගම ධර්මය විනාස කරනවා කියලා අනිත් ආගම් වලට ඇඟිල්ල දික් කරගෙන වෛරයය, ක්‍රෝධය පතුරවලා ආගම් භේද ඇති කරන එක නෙවෙයි අපි කරන්න ඕනේ. අපි බෞද්ධයන් විදිහට හරියට කෙලින් වැඩ කරනවා නම් අමුතුවෙන් අපේ ආගම රකින්න දෙයක් නෑ. අනිත් එක මොනම හේතුවක් නිසාවත් වෙනත් ආගම්වල උදවියට චෝදනා කරන එකවත්  හිරිහැර කරන එකවත් බෞද්ධයන් විදිහට අපිට වටින්නේ නෑනේ. සත්ව හිංසාව හෙළා දකින අපි කොහොමද බුද්ධ ධර්මයේ නාමයෙන් තව කෙනෙක්ට කරදර කරන්නේ ??  අපේ ස්වාමීන්සේලාගෙන් අපේ සමාජයට වෙන්න ඕනේ යුතුකම්, කාරණා හරියට ඉටුවෙනවානම්, ගිහියන්ට ඉෂ්ට වෙන්න ඕනේ යුතුකම් කෙරෙනවා නම් මොන බලවේගයකටවත් අපේ ශාස්තෘන්වහන්සේ වදාළ ධර්මය නසන්නට බෑ. අනිත් ආගම් වලට ඇඟිල්ල දික් කරන අපේ අතින්මයි මට නම් පේන විදිහට අපේ ශාසනය විනාස වෙන්නේ. ඒ නිසා මේ ශ්‍රී සුභ වෙසක් සතියේ සම්බුද්ධ ජයන්තිය නිමෙත්තෙන් දස දහස් ආමිස , ප්‍රතිපත්ති පූජා කරන අතරම මේ ගැනත් හිතලා බලනවා නම් අපි කාටත් හොඳයි කියලයි ගොඩයට හිතෙන්නේ. ගොඩයාට බණ කියන්න දන්නේ නෑ. හිතුන දේ තමා කිවේ. වෙසක් උදාවත් එක්කම මේ ලෝ තලයේ වෙසෙන මනුසතුන්ගේ සිත් පිරිසිදු වී , වෛරී සිත් නිවී, අකුසල් සිත් පහවී මේ ලෝකේ සියලුම සත්වයන්ට සතුටෙන් සාමයෙන් ජිවත් වන්නට පුළුවන් හෙටක් උදාවේවා !!!!  සැමට සම්මා සම්බුදු සරණයි !!!

රෝද තුනේ කතා

මම මීට සැහෙන කාලෙකට කලින් ත්‍රී වීලර්  එක ගැන විස්තරයක් ලීවා.  මේ ලියන්නේ ඒ රෝද තුන සම්බන්ධ සිද්ධි දෙක තුනක්.  ලංකාවේ අපිට ඔය රෝද තුනේ වාහනය හරිම සමිපයිනේ.

පලවෙනි සිද්ධිය
මට මතක විදිහට එදා වෙසක් පෝය හරි පොසොන් පෝය හරි දවසට පහුවදා දවසක්. මමයි මගේ යාළුවො කීප දෙනෙකුයි හවස් වරුවේ පාරට ආවා. පාර කිවේ කොළඹ නුවර පාරට. හවස් වීගෙන එනකොට ඉතින් වාහන පෝලිමේ එලියට බහිනවනේ එදාට. වෙසක් සැරසිලි බලන්න. පන්සල් යන්න. දන්සැල් කන්න. එදාට ඉතින් පාරට නිවනක් නෑනේ.  අපි තුන් හතර දෙනා පාරට අද්දරට ආවහම දැක්කා පොලිසියේ ඈයෝ දෙන්නෙකුත් පාරට වෙලා ඉන්නවා. ඉස්සර හැබැයි වෙසක් එකට එහෙම එච්චර පොලිසියෙන් පන්න පන්න වාහන ගැන බලන්නේ නෑනේ. මොකද එහෙම බලන්න වෙලාවක් නෑ.  මාර්ග තද බදය නිසා වාහන හසුරවන්න තියනවනේ. ඒත් අපිට තේරුණ විදිහට නම් දෙන්නා දඩ කොළ ලියනවා.  වැඩේ පොඩි ගතියක් තිබ්බා වගේ දැනුන නිසා අපිත් ඒ පැත්තට කිට්ටු කළා.

 ඔය අස්සේ මහා සද්දෙට සින්දුවක් එහෙම දාගෙන ආවා රෝද තුනක්. කොටින්ම කීවොත් ඒක දුවන  කැසට් එකක්. ඒකේ එලවන එකාගේ දෙපැත්තේත් දෙන්නෙක් එල්ලිලා පොල් පටවලා වගේ පිටිපස්සේත්. පොලිස් ලොක්කා දැම්මා අත. වාහනයත් නතර වුනා. දෙපැත්තේ හිටපු උන් දෙන්නා පැන්න එලියට. ඩ්‍රයිවර් කොලුවත් බැස්සා." ඔන්න ඔය කන්කරච්චලේ නතර කරනවා ඉස්සෙලා. ගන්නවා බලන්න ලයිසන්, ඉන්ෂුවරන්ස්. මේකේ කීදෙනෙක් ඉන්නවද ??? හා හා බහිනවා බහිනවා ඔක්කොමල්ලා." පොලිසියෙන් පුරුදු විදිහටම සද්දේ දැම්මා.  ඔන්න පිටිපස්සේ හිටපු උන් එකා එකා අමාරුවෙන් බහිනවා. එක පොලිස් උන්නැහේ කෙනෙක් ලයිසන් ඉන්ෂුවරන්ස් වලට සද්ද දාන අතරේ අනිත් මනුස්සයා ත්‍රි වීලර් එකෙන් බහින උන් ගනිනවා. ඒ අස්සේ වීල් එක එලවාගෙන ආපු ගැටයා " අනේ සර් ලයිසන් ඉන්ෂුවරන්ස් මුකුත් නෑ. මේක අයියගේ ත්‍රිවිල් එක. වෙසක් හින්දා පොඩ්ඩක් ඇවිදින්න ආවේ. අනේ සර් දඩ නම් ලියන්න එපා. අයියා මාව එල්ලයි." කියා කියා නහයෙන් අඬනවා.
මේ කියවන ඔයාලා විශ්වාස කරයිද මන්දා ඒ ත්‍රිවිල් එකේ පිටිපස්සේ ඉඳං කොල්ලෝ 6ක් බැස්සා. ත්‍රිවිල් එකෙන් බැස්ස කොල්ලෝ ගණන් කර කර හිටපු පොලිස් උන්නැහේ කතා කළා සගයට. " මේ මේකේ පිටිපස්සේ 6 යි. ඉස්සරහ දෙපැත්තේ එල්ලිලා ආපු උන් 2යි, එලවපු මනුස්සයයි ඔක්කොම 9යි. වෑන් එකකට හරියන සෙනග" කියලා කියද්දීම තවත් එකෙක් බැස්සා ත්‍රි වීල් එකෙන් එලියට. ඒක තමයි මේ සිද්ධියේ උණුසුම්ම ජවනිකාව. පොලිස් උන්නැහලාගේ කටවල් අරුනා, ඇස් දෙකක්ත් පැන්නා එලියට. අපිටත් හිනා අර කොලු ගැටයා හීන් සීරුවේ එලියට ආපු හැටි දැකලා.

" තමුසෙත් මෙකෙද ආවේ?? කොහෙද ඔයි මේකේ තමුසෙට එන්න ඉඩ තිබ්බේ ??? " ඔන්න පොලිසියේ ප්‍රශ්නේ. "අනේ සෑර් මම ආවේ බක්කියේ " කොලුවා බය පක්ෂපාතිව උත්තර දුන්නා. " මොන බක්කියක්ද අයිසේ ? " නැවතත් පොලිසියේ අවස්ථාව. ඒ පාර කොලුවා අර පිටිපස්සේ සීට් එකට පිටිපස්සේ තියන පොඩි ඉඩ පෙන්නුවා.
" තමුසෙලා මේ ආපු විදිහට තමුසෙලට තෑග්ගක් දෙන්න ඕනේ. බලනවා දැන් වැරදි කීයක්ද ? දඩ කියලත් කීයකට ගහන්නද ??? " පොලිසියෙන් යනවා දේසනාව. අපිටත් හිතුනා දඩ ගණන් බලලා ගැටයෝ සෙට් එකට හොඳ තෑග්ගක් දෙයි කියලා.  ගැටයෝ කිවේ උන් අවුරුදු 16, 18 වගේ කොලු ගැටව් ටිකක්. කොහොම හරි පැය බාගෙක විතර දේසනාවකින් පස්සේ කට්ටියව හරවා යැව්වා. එතනින් එහාට යන්න දුන්නේ නෑ. දඩ ගැහුවෙත් නෑ. කොල්ලෝ ටිකත් දේසනාව අහලා සාධු කාරයක් එහෙම දීලා වෙසක් බැලිල්ල පැත්තකින් තියලා ගියා. ඔන්න වෙසක් ළඟ හින්දා කියන්නේ වෙසක් කියලා මාර්ග නීති වෙනස් වෙන්නේ නෑනේ. පාරවල් පුරා  සෙනග නිසා කවුරු කවුරුත් පරිස්සමින්.

දෙවැනි සිද්ධිය 
 තව දවසක් මම හවස ටවුන් එකට යන්න බස් එකක් එනකම් ඉන්නවා හන්දියේ... ඒ වෙලාවට හන්දියේ කට කපලා සෙනග. වැඩ ඇරිලා යන උදවිය, පන්ති ඇරිලා යන ගෑනු ළමයි, වැඩ ඇරිලා යන ගෑනු ළමයි.... ජනගහනය බොහොම වැඩියි. ඔය වගේ වෙලාවට වැඩ පෙන්නන්න කැමති ඈයෝ ඉන්නවනේ. මම ඉන්නකොට එහෙම ඈයෙක් රෝද තුනක පිඹගෙන ආවා. ආපු ගැම්මටම වැඩ කාරයා වගේ හැරෙව්වා හන්දියෙන්. ගෙම්බා පොලේ ගැහුවා වගේ පාර මැද්දෙම පෙරලුනා ත්‍රි වීලර් එක. මොකෝ ත්‍රී වීල් එක කියන්නේ ජෙට් එක වගේ උඩින් යන්න තියන වාහනයක් නෙවෙයිනේ. වේග සීමාවත් 40යි. ඒ තත්පරේට ත්‍රි වීලර් හාදයා ඔලුව දාලා " මට කිසිම අවුලක් නෑ. කවුරුත් කලබල වෙන්න එපා. " කියලා හන්දියටම ඇහෙන්න කෑගහලා අපි දුවගෙන යන ටිකට ත්‍රි වීලර් එක කෙලින් කරගෙනත් ඉවරයි. විලි ලැජ්ජාව සහ වටේ ඉන්න අයගෙන් බැනුම් අහන්න වෙන නිසා මිනිහා තත්පරෙන් මාරු. කව්දෝ එකෙක් කිවා " මිනිහට නිතරම වැඩ පෙන්නන්න ගිහින් ඔහොම ඒවා වෙනවා. ඌට ඕවා හොඳට පුරුදුයි " කියලා. ඌට විතරක් නෙවෙයි ත්‍රී වීල් එකටත් ඒවා හොඳට පුරුදුයි කියලා හිතුනා කිසිම හාවක් හූවක් නැතුව ගිය විදිහ දැක්කහම.  ඔන්න වැඩ පෙන්නන්න යන අයට වෙන දේවල්. ආදර්ශෙට ගන්නවා හොඳයි.

තුන්වැනි සිද්ධිය
මේක අපේ ගෙවල් පැත්තේ කොල්ලෙක්ට හයර් එකක් ගිහිල්ලා වෙච්ච වැඩක්. මනුස්සයා රෑ මල ගෙදරක ගිහින් හයර් එකක්. ගිහින් තියෙන්නේ මිරීගමට. වරකාපොල ඉඳං මීරිගමට යන්න තියන පාර මහා අහීමාන පාරක්. කොල්ලා හයර් එක ගිහින් රෑ 2ට විතර එනවලු. හයර් එක ගියපු අයියයි මූ දෙන්නා විතරයි ත්‍රි වීල් එකේ. ඔහොම එනකොට එක පාරම මුන් දෙන්නා දැකලා කෙල්ලෙක් ඉන්නවා පාර අයිනේ.... මළගෙදරක ගිහින් මහා රෑ 2ට විතර පාලු පාරක එනකොට ගෑනු පරානයක් දක්කහම මතක් වෙන්නේ කව්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.  ඔව් ඔව්... මෝහිනී අක්කා තමයි මතක් වෙලා තියෙන්නේ දෙන්නටම. එක පාරටම දෙන්නා ගැස්සුනත් කව්ද දන්නේ හදිසි ලෙඩෙක්, එහෙම නැත්නම් කරදරයක්ද කියලා කෝකටත් පොඩ්ඩක් බලමු කියලා ටික දුරක් ගිහින් නැවත්තුවලු. මෙන්න අර හිටපු කෙල්ල ලොකු බෑග් එකකුත් උස්සගෙන දුවගෙන ඇවිත් වීල් එකට නැග්ගලු. අරුන් දෙන්නා හොඳටම බය වෙලා. බෑග් එක තිබ්බට පස්සෙයි කෙල්ල ත්‍රිවිල් එකේ හිටපු එකාගේ මුණ දැකලා තියෙන්නේ. ඒ පාර කෙල්ල කෑගහගෙන ත්‍රිවිල් එකෙන් පැනලා. පිටිපස්සේ හිටිය එකා බෑග් එකත් එතනම බිමින් තියලා දෙන්නම පිඹගෙන ඇවිල්ලා ගෙදරම. කොහොමහරි 3දෙනාම බය වෙලා. පහුවදා ආරංචි කරලා බලද්දී අනේ ඒ පැත්තේ කෙල්ලෙක් රෑ පැනලා ගිහිල්ලලු. මුන් දෙන්නට හම්බ වෙලා තියෙන්නේ ඒ කෙල්ල. ඒකි හිතලා තියෙන්නේ ත්‍රි වීල් එකේ ආවේ කෙල්ලගේ කොල්ල කියලා. වැරදි ත්‍රි වීල් එකට නැගලා.

ත්‍රි වීලර් ගැන නම් තව කතා ගොඩක් තියනවා. ඒත් මෙහෙම එක පෝලිමට මාගල වගේ ලියන්න බෑ. අයෙ නිවාඩු වෙලාවක දාන්න බැරියෑ..........

Sunday, May 1, 2011

කොල්ලා කාණුවේ......

පහුගිය ටිකේ ටිකක් වෙනස් පෝස්ට් ලියපු නිසා මේ සතියේ පොඩි වෙනසකට වෙච්ච සිද්ධියක් ලියන්න හිතුවා.  මේ කියන්න යන්නේ ඈත අතීතයේ සිද්ධ වෙච්ච ඇබැද්දියක්...  කොටින්ම කිවොත් ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවක් මේ....... ඒ කාලේ කීවට මහා කාලයක් නෑ. මගේ මතකයේ හැටියට ඒ එකදාස් නවසිය අනූ නවය වසරයි. ඒ වසර නම් මරුම වසර. එකයි නවයේ ඒවම තුනක් තිබ්බා. අනික 20වෙනි ශත වර්ෂයේ කෙලවරටත් කිට්ටුයි. ඒවගෙන් වැඩක් නෑ. කොහොමෙන් කොහොම හරි අපිත් එතකොට නවය වසරේ. කියන්න හැදුවේ අපි එතකොට නවය වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෝ කියලා.

ඔන්‍න‍ නවය වසරදී ස්කොලෙන් අපිව විනෝද චාරිකාවක් එක්ක ගියා. ආ...... වැරදුනා. අපේ ගුරුවරු කීවේ ඒකට විනෝද චාරිකාවක් කියලා නෙවෙයිනේ ඒකට කීවේ අධ්‍යාපන චාරිකාවක්.  ඔය මොනවා කීවත් ඒ කාලේ අපිට  ඕනෑම ගමනක්  විනෝද චාරිකා තමයි. ගෙදර ඉඳන් ස්කෝලෙට යන එකත් විනෝද චාරිකාවක් කරගත්ත අපිට ඕවා මොනවද ? ස්කොලෙන් ගිය  හැම ගමනටම වගේ මේ ගමනටත් මට තිබුන ප්‍රශ්නේ තමයි පාන්දර ස්කෝලෙට යන එකයි. ගමන ගිහින් ආවට පස්සේ රෑ දෙගොඩහ ගෙදර එන එකයි. නවය වසර කියෙන්නේ ඉතින් අපි කිරි කජු කොල්ලොනේ. ගෙදරින් තනියම නම් රෑ එන්න දෙන්නේ නෑ. අම්මා විතරනේ හිටියේ. ඉතින් අම්මට තනියෙන් එන්නත් බෑනේ. අපේ ස්කොලෙයි ගෙදරයි අතර දුර කිලෝමීටර් 36ක්. ඔන්න අපේ අම්මා මාව එක්ක යන එකයි ආපහු එක්ක ගෙන එන එකයි අපේ ගෙදර වැඩවලට උදව් කරපු පියදාසට භාර දුන්නා.  පියදාසගේ පිහිටෙන් මමත් දෙයියනේ කියලා ගමන ගියා. අපේ ගෙවල් ළඟ ඉන්න කොඩ්ඩයි, මිතිලයයි දෙන්නත් ගියා, උන් දෙන්නා ගියේ තාත්තා එක්ක.

ගමන අහවර වෙලා ස්කෝලෙට කිට්ටු වෙද්දී රෑ 11 විතර වෙලා. ඒ වෙලාවට ඉතින් බස් එහෙම අඩුයි. මමයි පියදාසයි. මිතිලයයි, කොඩ්ඩයි, ජයසුරියයි උන් තුන් දෙනාගේ තාත්තලයි අපි කට්ටියම ඉන්නවා බස් එකක් එනකම්. සිද්ධිය වුනේ ඔය අතරේ. තාත්තලා වෙනම කතාවක් දාගෙන ඉන්න අතරේ අපි හතරදෙනා ගමන ගැනයි, එක එකාට වෙච්ච දේවල් ඕවා මේවා ගැන කතාව. කුරුණෑගල අවට ඉන්න අය නම් දන්නවා ඉස්සර දුර ගමන් සේවා බස් නැවතුම තිබ්බ තැන. කුරුණෑගල පොදු වෙළදපොල ඉස්සරහා ඔරලෝසු කනුව ලඟයි දුර සේවා බස් නැවතුම තිබ්බේ. ඔය ඔරලෝසු කනුව ළඟ හරි හරියට සුවිප් කූඩු තිබ්බා. දැන් නම් තියනවද දන්නේ නෑ. කොහොමත් දැන් එතන දුර සේවා නැවතුම නම් නෑ. ඊළඟ වැදගත් දේ තමයි බූ ඇල. කුරුණෑගල ටවුම පැත්තේ පස් පාගලා තියන උදවිය නම් අනිවාර්යයෙන් ඔය බූ ඇල ගැන දන්නවා. කුරුණෑගල නගරයේ සියලු අපද්‍රව්‍ය බැහැර කරන්න පාවිච්චි කරන වාරිමාර්ග ක්‍රමය තමයි බූ ඇල. ඔය බූ ඇලේ අතු ටවුන් එක පුරාම තියනවා. ඒවා වැඩිහරියක් ක්‍රොන්ක්‍රිට් ලෑලි දාලා වහලා තියෙන්නේ. ඔතන " බූ " වෙනුවට " ගූ " කියන අකුර පාවිච්චි කරත් ඒ හැටි වෙනසක් නෑ. ඔය අසිරිමත් බූ ඇලේ ශාඛාවක් යනවා ඔරලෝසු කනුව ඉස්සරහින්. වෙන මොකටවත් නෙවෙයි මාර්කට් එකේ කුණු ටික එකතු කරගන්න. හරි හරි ඒ විස්තරේ ඇති. කතාවට එමුකො.

ඔන්න පැය භාගයක් විතර ඉන්නකොට අපිට පොඩි හදිස්සියක් ඇති වෙනවා. සුළු දිය ප්‍රශ්නයක්. මහ රෑ ආයේ වෙන කොහෙවත් රිංගන්න ඕනේ නෑනේ. හතර දෙනාම තීරණය කරා  ඒ අහල පහල තිබ්බ සුවිප් කූඩු පිටිපස්සට ගිහින් වැඩේ කරගන්න. අර මම කිව ඇලේ ශාඛාව වහලා තියන ක්‍රොන්ක්‍රිට් ලෑලි උඩ තමයි ඔය සුවිප් කූඩු තිබ්බේ.  ඔන්න දැන් අපි හතර දෙනාම කයිය ගහ ගහ කූඩු අස්සෙන් රිංගනවා. මිතිලයා හිටියේ මගේ වම් අත පැත්තෙන්.  එක පාරටම මෙන්න මගේ වම් අත වගේ හිටපු මිතිලයා පොලව පලාගෙන අපාගත වුනා. කවුරුත් දැකලා නෑ නේද මිනිහෙක් පණ පිටින් අපාගත වෙනවා. මට අද වගේ මතකයි ඌ පොලව පලාගෙන ගිය හැටි. එක පාරටම කළුවර අස්සෙන් මූ පොලව ඇතුලට ගියා. අන්තිමටම වගේ මූ ඇඳගෙන හිටපු සුදු පාට ෂර්ට් එකත් නොපෙනී ගියා. තප්පර දශම ගානෙන් ජවනිකවම ඉවරයි. මම ඉක්මනට අනිත් උන් දෙන්නට කතා කළා. හිතාගන්න බෑ වුනේ මොකක්ද කියලා.

" මචං කොඩ්ඩා, ජයා, වරෙල්ලකෝ. අරූ නෑ බං.. අතුරුදහන් වුනා. මාත් එක්කමයි මූ හිටියේ. එක පාරටම පොලව පලාගෙන  වගේ ගියා " මම අනිත් උන් දෙන්නට ඒ ත්‍රාසජනක ජවනිකාව විස්තර කරනවා. ඒ අස්සේ හීනියට කෙඳිරිලි සද්දයක් එනවා. සද්දේ හින්දා ඔන්‍න‍ අපි තුන්දෙනා පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. කට්ට කරුවලේ අපිට යාන්තමට පෙනුනා අර බූ ඇලේ එක කොන්ක්‍රීට් ලෑල්ලක් නෑ කියලා. අපේ මිතිලයා අඩිය තියලා තියෙන්නේ එතනට. " අනේ තාත්තට කතා කරපල්ලා. අම්මෝ... ඉන්න බෑ. කකුල රිදෙනවෝ, බුදු අම්මෝ.... " මිතිලයගේ කෙඳිරිය දිගටම යනවා. හරියට ප්‍රයිවට් බස් එකක දාපු නන්ස්ටොප් කැසට් එකක් වගේ. කොඩ්ඩා දුවගෙන ගියා  මිතිලයාගේ තාත්තා හොයන්න. ඒ අතරේ මමයි ජයයි අරුගේ අත් දෙකෙන් අල්ලලා ගොඩට ගත්තා. අප්පා උගේ කුසුඹ.... පළාතේ ඉන්න බෑ. මම කිවේ ඒකයි  "බූ" කියන තැනට "ගූ" දැම්මත් වරදක් නෑ කියලා. ඊට වඩා මූ ගොඩ ගත්ත වෙලේ ඉඳං මොර දෙනවා අඩිය තියන්න බෑ කකුල රිදෙනවා කියලා. ඔක්කොම අස්සේ අපට හිනා වෙච්ච වැඩේට. අපි හිනාව නවත්තගන්න දඟලනවා. අපිට හිනා යන්න හිනා යන්න අරුගෙ ඇඬියාව වැඩි වෙනවා.

යාන්තම් මුගේ ඇඟේ ගෑවිලා තිබ්බ කුණු එහෙන් මෙහෙන් පත්තර පිටු ටිකක් අරගෙන පිහදැම්මා. කොහෙද ඒත් අර ගඳ නම් එහෙමමයි. මට හිතුන විදිහට නම්  හත් පාරක්වත් ඌව නාවන්න ඕනේ ගඳ යවන්න. මහා රෑ නාන්න තැන් හොයන්න කියලද ???  හිමිට පේන්න තිබ්බ ජරාව පිහිගෙන ඒ එක්කම ආපු ඉන්ටර් සිටි බස් එකකට මූවත් අමාරුවෙන් නග්ගගෙන අපි ගෙදර ආවා. මුළු බස් එකම ගඳයි. බස් එකේ හිටියේ අපි ඇරුනහම තව දෙතුන් දෙනෙක් නිසා  අවුල් වුනේ නෑ. අනිවා පහුවදා උදේම බස් එක සර්විස් කරන්න දාන්න ඇති...

උදේ ආරංචි වුනා මිතිලයාගේ කකුල පැනලා කියලා. මතක විදිහට ඌට මාස දෙකකට කිට්ටු වෙන්න ස්කොලේ යන්නත් බැරි උනා.කුණු කානුව උනත් බූ ඇල අඩි 5ක් 6ක් ගැඹුරුයි. ඕකට වැටිච්ච එකෙක්ට ලේසියෙන් අතක් පයක් බේරගන්නේ වෙන්නේ නෑ. අපිට නම් ඒ වෙලාවේ තිබ්බ අමාරුම වැඩේ තමයි ගඳ ඉවසන එක. තව අදටත් බූ ඇල ලඟින් යද්දී මට ඔය සිද්දිය මතක් වෙනවා. මොකද එදා තමයි මම ජීවිතේටම මිනිහෙක් පණ පිටින් අපාගත වෙන හැටි සජීවීව දැක්කේ.............................

Saturday, April 23, 2011

සිතක් දිවගිය දුරක්...............

අද උදේ අන්තර්ජාලෙයේ අරමුණක් නැතිව සැරිසරන අතරතුරේ එක්තරා වීඩියෝවක් මගේ නෙත ගැටුනා. ඒ රූප පෙල නරඹන අතරේ මට දැනුනා මගේ දෙනෙත් බොඳ වෙනවා. ටික වෙලාවකින් කඳුළු කැටයක් දෙකක් මටත් හොරාම මගේ අතට වැටුනා. ඒ එක්කම මගේ හිතත් ඒ අසුරු සැනින් මටත්  හොරාම සැහෙන දුරක් දිව්වා. ඒ දුවපු දුර නිසාමයි මට මේක ලියන්න හිතුනේ. ඔක්කොටම කලින් රූප පෙල බලල හිටිමුකෝ.......



අපේ ජිවිත වලට සමීප අයගේ වෙන්වීම කොච්චර නම් වේදනාකාරිද ???  මේ රූපපෙලේ පොඩි උන් දුවගෙන ඇවිල්ලා තාත්තාගේ ඇඟේ එල්ලෙනවා දැක්කහම මට මුලින්ම මතක්වුනේ කසුන් අයියගේ  පොඩි උන් තුන්දෙනා.  අයියා නැතිවුන කාලේ මම ගියහම ලොකු පුතා මගේ ලඟට ඇවිල්ලා ඇහුවේ " කෝ තාත්තා ? " කියලා. ඒ පොඩි හිතත්  මේ රූප පෙලේ දකින පොඩි උන් වගේ දුවගෙන ඇවිත් තාත්තගේ කරේ එල්ලෙන්න සැහෙන කාලයක් හීන බල බල හිටියා කියලා මම හොඳටම දන්නවා.  ඒත් පොඩි උන්ගේ පුංචි හිත්වල තිබුන ඒ ලස්සන හීනය තත්පරෙන් තත්පරේ බොඳවෙලා යනවා කියලා මට ඊට පස්සේ ලංකාවට යන හැම පාරම තේරුම් ගියා. උන්ගේ පුංචි හිත් ඇතුලේ තිබ්බ ලස්සන බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නෑ වගේ කියලා පැටවු තුන්දෙනා ටික ටික තේරුම් අරගෙන. ඉතින් මගේ ඇසට මටත් හොරෙන් කඳුළු ආවේ අනේ උන්ටත් මෙහෙම දුවගෙන ඇවිල්ලා තාත්තගේ ඇඟේ එල්ලෙන්න තිබුනා නම් කියලා හිතුන නිසා....  ඒ විතරක් නෙවෙයි මම ලංකාවට ගියහම තුන්දෙනාම දුවගෙන ඇවිල්ලා මගේ ඇඟේ එල්ලෙන හැටි මතක් වෙලා.  බැරිවෙලා හරි අපේ පොඩ්ඩිව ගන්න කලින් දෙවනියා වඩාගත්තොත් එහෙම එතන ලෝක යුද්දේ....  ඒ යුද්දේ වෙන මොකටවත් නෙවෙයි නැතිවුන සෙනහස කොහොමහරි ලබාගන්න.....

ඊළඟට මගේ හිත දුවගෙන ගිහින් නතරවුනේ මගේ ළමා කාලයෙන්. මගේ දයාබර තාත්තාටත් ජිවිතේ වැඩි කාලයක් අපෙන් ඈත් වෙලා ඉන්නයි සිද්ධවුනේ...... යුධ හමුදාවේ සේවය කල නිසා නෙවෙයි. ඒ අපි වෙනුවෙන් ලස්සන ලෝකයක් හදන්න, අපිට වුවමනා සැප සම්පත් දෙන්න කාසි උවමනා නිසා. අපි පොඩි කාලේ ඉඳන්ම තාත්තා හිටියේ පිටරට. අපෙන් ඈත්වෙලා තාත්තා කරපු කැපවීම ගැන මට හරියටම අදහසක් ආවේ මමත් පිටරටක තනිවුන දවසේ.....  අපේ තාත්තාත් දෙතුන් සැරයක් අපිට නොකියා ඇවිත් අපිව පුදුම කරලා තියනවා. මේ රූප පෙල දකිද්දී මට මතක් වුනේ ඒ සිදුවීම් පෙල, අපේ තාත්තා සහ මගේ ළමා කාලය.......  ඒ සිදුවීම් පෙළත් මාව අවුරුදු 15ක් 20ක් ඈතට අරන් ගියා......  

ඊළඟට මගේ හිතට ආවේ අපේ විරෝධාර රණවිරුවන්ගේ පවුල් වල උදවිය.... රණවිරු පවුල් කීයක දරුවෝ කීදාහක් නම් අද ඔය විදිහට තාත්තා ඒවී කියා බලාගෙන ඉන්නවා ඇත්ද?? ඒ වගේම යුද්ධය අතරතුරේ අතුරුදහන්වෙලා, තුවලා ලබලා, කිසිම ආරංචියක් නැතුව හිටපු රණවිරුවන් මාස ගානකට පස්සේ හදිස්සියේ ගෙට ගොඩවෙන කොට කීදෙනෙක් නම් ඔය විදිහට කඳුළු වගුරවන්න ඇතිද ??

මේ වීඩියෝ එක බලද්දී  පොඩි උන් විතරක් නෙවෙයි අපි ආදරය කරන, ප්‍රිය කරන කෙනෙක්  වෙන්වෙලා ඉඳලා නැවත හමුවුනහම දැනෙන හැඟීම, සතුට කොහොමද කියලා එහෙම අත්දැකීමක් නැති කෙනෙක්ට උනත් අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.  හැබැයි එහෙම අත්දැකීමක් තියන කෙනක් මේක බැලුවොත් නම් ඇසට කඳුලක් ඉබේම නැඟෙවී...... හැබැයි මේ රූපපෙලේ ගොඩක් රූපරාමුවලින් පිය සෙනෙහස විස්තර වු නිසා මට ටී.එම් ජයරත්න මහත්තයාගේ අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී  ගීතය ඔය සියලුම සිතිවිලි මැදින් මගේ හිතට ආවා. අම්මා දසමාසයක් අපිව කුසේ තියාගෙන පරිස්සම් කරලා, මේ ලෝකෙට අපිව බිහිකරලා, ලේ කිරිකර පොවලා, අපිව ලොකු මහත් කරනබව ඇත්ත. අම්මගේ මෘදු මොලොක් ආදරයෙන් අපේ හදවත් තෙමෙන බව ඇත්ත. ඒත් ඒහා සමාන වූ සෙනහසක්, ආදරයක් තාත්තා තුලත් තියනවා.  මගේ හැඟීමනම්  තාත්තලගේ  හිතේ දරුවන් ගැන තියන ආදරේ, කැක්කුම අම්මලාට වගේ පෙන්න තෙරෙන්නේ නෑ, ඒත් ඒ ආදරය අම්මා හරහා හීන් සීරුවේ දරුවන්ට ගලායන්න ඉඩ හරිනවා කියලයි........  දරුවන් වෙනුවෙන් රහසින් කඳුළු හලන පියවරු අපි අතරේ කොච්චරනම් ඇතිද ???   දරුවන් වෙනුවෙන් සමහරවිට තමන්ට කරන්න අසීරු, අපහසු දෙයක් පවා කරන්න තාත්තාලා සුදානම්. තාත්තලා කරන ගොඩක් දේවල් අම්මා හරහා සිද්ද වෙන නිසාද කොහෙද තාත්තා ගැන කතා කෙරෙනවා අඩුවෙලා ඇත්තේ. ගීතයේ කියවෙන විදිහටම අම්මා සඳකි. නමුත් ඒ සඳට එලිය ලැබෙන්නේ කොහෙන්ද ???  ඉරෙන් නේද ?? ඉතින් ඒ සඳ එලිය කරන හිරු අපේ තාත්තා. ඒ ඉර හඳ දෙකෙන් තමයි අපේ ලෝකෙය එලිය වුනේ.........
මටත් අහන්න තියෙන්නේ ගීතයෙන් අහනවා වගේම  අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ ??? කියලා 

ඒ වගේම පියා කවුරුන්දැයි දන්නේ නැති, සමාජයෙන් අවමන්, නින්දා විඳින දරුවෝ කී දාහක්නම් අපි අතරේ ඉන්නවද කියලත් මතක් වුනා. තාත්තා කියන නමට අවමන් කරපු තාත්තලා කීදාහක් අපි අතරේ ඉන්නවද? ඒ සිතුවිල්ලත් එක්කම මට මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ  ගීතයත් හිතට ආවා...  අනේ ඉතින් අපි ජිවත්වන ලෝකේ හැටි ???? 

ඔන්න ඔය වීඩියෝ එක දිගේ මගේ සිතුවිලි දුවපු දුර......

“දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං 
යේ චිත්තං සංය මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා”*          

දුර ගමන් යන තනිව හැසිරෙන සිරුරක් නැති ශරිර කුඩුවේ වාසය කරන සිතට යන්න පුළුවන් දුරේ හැටියට මේ දුර නම් මහා දුරක් නෙවෙයි. ධම්මපදයේ එන මේ ගාථාවේ කියන හැටියට නම් යමෙක් ඒ සිත දමනය කරගනිද  ඒ පුද්ගලයා මාර බන්දනයෙන් මිදේවි. මේ මාර බන්දනවලින් කවදා නම් අපිට මිදෙන්න හැකිවේවිද?????


Friday, April 22, 2011

කසුන් අයියා

මේ ලියන්න යන්නේ මගේ ජිවිතේ මම මුහුණ දුන්න දුක්බරම සිද්ධිය ගැන... මම අවුරුදුත් ඉවරයි පොස්ට් එකේ කිවනේ මම අවුරුද්දට අවුරුදු 3 කින්  ලංකාවේ හිටියේ නෑ කියල.  මට පහුගිය අවුරුදු තුනේ අවුරුද්දට ඉන්න නිවාඩු තිබිලත් වුවමනාවෙන්ම තමයි මම හිටියේ නැත්තේ....  හේතුව තමයි මේ කියන්නේ යන්නේ.....

කසුන් අයියා කියන්නේ අපේ මහප්පාගේ පුතා. අපි පොඩි කාලෙදිම මහප්පා නැතිවුනා. මහප්පාට හිටියේ එකම එක දරුවයි. ඒ අපේ අයියා විතරයි. අපේ බාප්පාගේ පුතයි, දුවයි, කසුන් අයියයි, මමයි, නංගියි පොඩි කාලේ ඉඳන්ම එකට හැදුනේ. අපේ ගෙවල් තියෙන්නේ එක ළඟ. ඉතින් හැම වෙලාවේම උඩහට දුවන එක තමයි වැඩේ. කසුන් අයියත් නිතරම බාප්පලාගේ ගෙදර. අපිත් කොච්චරවත් දුවන්නේ එහෙට.  මමයි නංගියි එයාලත් එක්ක බලද්දී ගොඩාක් පොඩියි. ඒ 3 දෙනාම අපි දෙන්නට වඩා අවුරුදු 10 ක් විතර වැඩිමල්. කසුන් අයියට සහෝදර සහෝදරයින් නැති නිසා මල්ලියි, නංගියි විදිහට සැලකුවේ මටයි නංගිටයි.  බාප්පාගේ පුතත් කසුන් අයියගේ වයසම වගේ නිසා බාප්පාගේ පුතා සහෝදරයෙක්ට වඩා මචං විදිහට තමයි අයියා ආශ්‍රය කලේ. හැබැයි පොඩි කාලේ නම් අයියලාගේ වැඩේ මාව අන්දවන එක. මම ඉතින් පොඩි එකානේ. කොච්චරවත් මාව බයිට් එකට ගන්නවා. වෙලාවකට යකා නැඟලා මූණත් අකුලන් ගෙදර එන්නේ ආයේ උන් දෙන්නගේ මූණවත් බලන්නේ නෑ කියලා හිතාගෙන. එත් විනාඩි 10යෙන් ඔක්කොම අමතකයි. ආයෙත් ලජ්ජා නැතුව පස්සෙන් යනවා. ඒ කාලේ මතක්  වෙද්දි පුදුම දුකක් දැනෙනවා.

ඔය විදිහට තත්පරෙන් තප්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස,  සතියෙන් සතිය, අවුරුද්දෙන් අවුරුද්ද, ගෙවිලා ගියා. ගොඩාක් දේවල් වෙනස් වුනා. මම ටික ටික ලොකු වෙනකොට වැඩිහිටියෙක් බවට පත්වෙන කාලය වෙද්දී අපි තව තවත් ලං වුනා. අයියලා දෙන්න ඒ වගේම අක්කත් විවහා වුනා. මොන දේ වෙනස් උනත් අපි වෙනස් වුනේ නෑ. හැමදාම හැමදේකටම අපි එකට හිටියා. අපි හැම අවුරුද්දෙම අවුරුදු කෑවේ එකට, නෑගම් ගියේ එකට,  මඟුල් ගෙදරක, මල ගෙදරක ගියේ එකට.  දානයක්, පින්කමක් තිබ්බහම නිදි මරාගෙන වැඩ කලේ එකට, වෙසක් එකට දන්සල් දුන්නේ, වෙසක් කුඩු හැදුවේ එකට. හිටපු ගමන් සෙට් වෙලා පිස්සු නැටුවේ එකට. ට්‍රිප් ගියේ එකට, ඒ විතරක් නෙවෙයි අසනිපයක් උනහම එකෙක්ට අනිත් උන් පන කඩාගෙන දිවා, අපි පස් දෙනාගෙන් කාට ප්‍රශ්නයක් උනත් අපේ වැඩ ඔක්කොම දාලා අපි වලේ වැටිච්ච එකා ගොඩ දාන්න දැගලුවා.  වලියක් සෙට් වුනත් ළඟ හිටියේ අයියලා තමයි. වලියකදි නම් කසුන් අයියා තමයි මුලටම.  අයියලා දෙන්න බැන්දට පස්සේ දෙන්නම කාර්යබහුල වුනා. ඉතින් ඒ දෙන්නට දෙන්නා හම්බවෙන්න වෙලාව අඩු වෙද්දී දෙන්නගෙම දේවල් වලට උදව් කරන්න මට වෙලාව ඉතුරු වුනා. විශේෂයෙන් කසුන් අයියට තනියම කොහේ හරි යන්න උනහම, එයාගේ ව්‍යාපාර වැඩ වලට උදවුවක් ඕනේ වුනහම, එයාගේ ප්‍රශ්න කියන්න කෙනෙක් උවමනා වුනහම මට තමයි කතා කලේ. මොකද මට ඒ දවස් වල විශේෂ වැඩක තිබුනේ නෑ. ඕනේ තරම් වෙලාව තිබ්බා. ඉතින් මම උ.පෙ කරලා ඉන්න කාලේ අයියා මට ගොඩක් සමීප වුනා.

මම ලංකාවෙන් හා හා පුරා පිටත් වෙන්න තියන දවසට කලින් දවසේ රෑ අයියා කෑම හදාගෙන ඇවිල්ලා කන්න දීලා " උඹ ගිහින් වරෙන් මල්ලි. බය නැතුව ගිහින් තියන වැඩ ටික හරියට කරපන්. අම්මයි නංගියි බලාගන්න අපි ඉන්නවනේ. ඕනේ දෙයකට මම ඉන්නවා. ඒ නිසා මෙහෙ දේවල් ගැන උඹ කරදර වෙන්න එපා. පරිස්සමට ගිහින් වරෙන් "  කියලා තමයි මාව පිටත් කරේ. මම මෙහෙට පය ගහලා තුන් මාසයයි ගියේ..... දවසක් උදේ වරුවක දනි පනි ගාලා නැගිටගෙන ලෙක්චර්ස් යන්න ලැහැස්ති වෙනවා. පරක්කු වෙලත් තිබුනේ. ඔය අස්සේ ෆෝන් එක අතට ගත්තහම දැක්ක කෙටි පණිවිඩයක් ඇවිල්ලා තියනවා. මොන හදිස්සියේ වුනත් ඒක බැලුවා. ලංකාවේ මගේ යාලුවෙක්ගෙන්. " මල්ලි මම මේ කියන දේට කලබල වෙන්න එපා. ඊයේ රෑ කසුන් අයියා ඇක්සිඩන්ට් එකකින් නැතිවුනා. ගෙදර අය කියනකම් ගෙදරට කෝල් කරන්න එපා. මට මේක උබට කියන්නේ නැතුව ඉන්න බෑ. ඒකයි කිවේ. කලබල වෙන්න එපා. " මගේ ඇඟම පණ නැතිවුනා. වචනත් එන්නේ නෑ. කරන්න ඕනේ මොකක්ද කොහොමද කියලා තේරුම් ගන්නත් බැරි උනා. ඒ විතරක් නෙවෙයි මම හිතුවෙම මේක විහිළුවක් කියලා. මම විශ්වාස කලේ නෑ පොඩ්ඩක්වත්. එහෙම්මම ඇඳේ වාඩිවෙලා ගත්තා කෝල් එකක් ඒ මනුස්සයාට විස්තර දැනගන්න. අනේ ඒ පණිවිඩය විහිළුවක් එහෙම නැත්නම් බොරුවක් වුනා නම් කොච්චර හොඳද??  ඒත් සිද්ධිය ඇත්ත. ඒවෙලාවේ මගේ යාලුවත් ඉස්පිරිතාලේ. ( මෙන්න අනතුර ගැන පොඩි විස්තරයක් උවමනා නම් .)  ගෙදරින් කතා කරනකම් මම හිටියේ කොහොමද කියලා නිච්චියක් නෑ. ගෙදරින් කෝල් එකක් ආවත් අම්මටවත් නංගිටවත් වචනයක් කියාගන්න බැරි වුනා.  අඬනවා ඉවරයක්‌ නෑ. මෙහෙ ඉන්න මටත් ඇඬෙනවා. මොකද මට ගෙදරින් නොකීවට මම දැනගෙන හිටියනේ.... ටිකකින් තාත්තා කතා කලා. එතකොටත් තාත්තා ලංකාවට යන්න යන ගමන්. මටත් යන්න උවමනාව තිබ්බත් තාත්තා කැමති වුනේ නෑ. තාත්තා තේරුම් කරලා දුන්නා ගොඩක් දේවල්.

" ඔයා ගියා කියලා අයියට ලැබෙන අමුතු දෙයක් නෑ. දැන් කවුරු හරි ඉන්න ඕනේ මළගෙදර වැඩ ටික කරන්න. ඉතින් මම යනවා. ඔයා තුන් මාසෙට ගිහින් ඒ වැඩ ටික කරන්න. ඔයා ඔහෙට ආපු ගමන්ම තියන වැඩ දාලා ඇවිල්ලා හරියන්නේ නෑ. අනික අපි දෙන්නගෙන් කවුරුහරි ඉන්න ඕනේ තුන් මාසෙටත් "
 ඉතින් අමාරුවෙන් හරි එවෙලේ මම හිත හදාගෙන මෙහෙ හිටියා. හැබැයි ඒ දවස් ටිකේ හිටියේ කොහොමද කියලවත් හරියට ගානක් නෑ.

 හිත හදාගෙන විභාග ඉවර වෙනකම් අමාරුවෙන් හිටියා. විභාගේ ඉවර වෙච්ච ගමන් ලංකාවට ගියා. මම ලංකාවෙන් එද්දී මට කන්න දීලා අපේ අම්මවයි නංගිවයි බලාගන්නම් කිව මනුස්සයා අද කොහෙද ? මම කොහොමද විශ්වාස කරන්නේ ?  අයියෝ මම අයියලාගේ ගෙදරට ගොඩ වුනහම මට පුදුමාකාර හිස් හැඟීමක් ආවේ. ජීවිතේට සමීප කෙනෙක් අකාලයේ අපි අතරින් වෙන් වුනහම දරාගන්න තියා ඒ දේ විශ්වාස කරන්නත් අමාරුයි. ඒ අස්සේ අයියගේ ලොකු පුතා ඇවිත් " බාප්පේ, බාප්පේ, ඇයි තාත්තා ආවේ නැත්තේ ??  ඔයාට තාත්තා හම්බ වුනේ නැත්ද ? තාත්තාත් රට ගියා " කියල මගේ ඇඟේ එල්ලුනා. මම මොකක්ද දෙන උත්තරේ ??  මටම හිතාගන්න බැරි උනා. අයියාගේ පැන්චිට එතකොට මාස 4යි. අක්කා පොඩි උන් 3දෙනා වට කරගෙන ඔහේ කල්පනා කර කර ඉන්නවා. ජිවිතේ හැටි... අයියා අපිව දාලා ගියේ 2008 ජනවාරි 15 වෙනිදා . තුන් මාසේ තිබුනේ හරියටම 2008 අලුත් අවුරුදු පහුවුන ගමන්ම වගේ.. 2008 අලුත් අවුරුද්දේ මම ලංකාවේ හිටියා. ඒ අයියගේ දානෙට. අවුරුද්ද ගෙවුනේ අයියාගේ පොඩි උන් එක්ක. මට අවුරුද්ද එපා වුනේ අපේ නෑදෑයෝ කියන සමහරක්   අයියාගේ තුන් මාසේ ඉවර වෙන්නත් කලින් රතිඤ්ඤා එහෙම පත්තු කරලා ලිප පත්තු කරලා කියලා ආරංචි උනහම. අයියා ඉන්නකම් පණ යනකම් උගෙන් උදව් එහෙම ගත්ත මිනිස්සු. ඒ විතරක් නෙවෙයි කැවුමක්, කොකිසක්‌ අරන්  නෑගම් එහෙමත් ගියා.  මට තාමත් එහෙම නෑදෑයොත් එක්ක අවුරුදු කන්න යන්න හිත හදාගන්න අමාරුයි. ඒ නිසයි මම ඊට පස්සේ හැම අවුරුද්දක්ම මඟ ඇරියේ.......

 නැකතට රතිඤ්ඤා පත්තු වෙනවා ඇහුනම මට ඇඬුම්  ආවේ අයියයි මමයි හැම අවුරුද්දෙම තරඟෙට රතිඤ්ඤා පත්තු කරන හැටි, පාරවල් දිගේ අහස්‌ කූරු ඇරපු හැටි මතක් වෙලා.  හැමදාම නෑගම් ගිය හැටි මතක වෙලා. මට හොඳට මතකයි අවුරුදු ගානකට පස්සේ මම සැහෙන වෙලා ඇඬුවා. ඉපදුන දවසේ ඉඳං හැම අවුරුද්දකම අපිත් එක්ක හිටපු අයියා නැතිව අපිට ගතකරන්න වුන පලවෙනි අවුරුද්ද. මට වගේම අයියගේ වියෝව බාප්පාගේ පුතාටයි, දුවටයි දරා ගන්න බොහෝම අමාරුවුනා. තව අදටත් මට හැම දවසෙම අයියාව දවසට කීප වතාවක් මතක් වෙනවා. මොනවා දැක්කත්, මොනවා ඇහුනත් ඒ දේවල් අතීතයේ අපි දෙන්නටම සම්බන්ධ වෙලා තියනවා...  ඒ නිසාම හැමවෙලේම ඒ මතකය මාත් එක්ක ජිවත් වෙනවා.  ඒ පාර නිවාඩුව ඉවරවෙලා ලංකාවෙන් ආවත් ඒ දුක, ඒ වියෝව, ඒ අඩු පාඩුව තාමත් හිතේ එහෙමමයි.....

අයියා වෙනුවෙන් මට කරන්න තියන එකම දේ අර පොඩි උන් 3 දෙනාගේ අනාගතය ලස්සන කරන එක. අයියාගේ පැටව් 3දෙනා  යහපත් මිනිස්සු විදිහට මේ සමාජයට එකතු කරාට පස්සේ තමයි මම අයියා වෙනුවෙන් යුතුකම් ඉෂ්ටකලා වෙන්නේ. එදාට නම් මට අවුරුදු වගේ තියෙයි. අයියා අපි අතරින් වෙන් වෙලා අද වෙද්දී අවුරුදු 3යි මාස 3 කුත් ගෙවිලා. දැන් අපේ පොඩ්ඩි ඇවිදිනවා, පණ්ඩිත කතා කියනවා, එක එක කෝලං ගොඩයි. ලොකු පුතා ඉස්කෝලේ යනවා. අනේ මේ දේවල් දකින්න අයියාට ඉන්න වාසනාව නැතිවුනා. ඒත් අයියා කොහේ හරි ඉඳං මේ දේවල් බලාගෙන ඇති කියලා විශ්වාසයි...... මමත් මේ රටක හිර වුන නිසා මටත් උන් එක්ක ගෙවන්න තියන කාලය සීමිත වෙලා.....   නැවත ඉපදෙන ආත්මයක මගේම අයියා වෙලා ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතුනත් එහෙම ආත්මාර්ථකාමී ප්‍රාර්ථනාවක් කරන්න මට හිත දෙන්නේ නෑ.... ඒ නිසා අයියාට  මේ සසර ගමනේ තවත් ඇලී ඇලී දුක නොවිඳ මේ සසරෙන් එතර වෙන්න මාර්ගයක් විවෘත වේවා!!!
කසුන් අයියාට  නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!

Saturday, April 16, 2011

අවුරුදුත් ඉවරයි

ලැබුවා වූ නව වසර සැමටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන  සාමය සතුට පිරි වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා !!!   අපිට නම් ඉතින් මොන අවුරුදුද?  අවුරුදු දවසෙත් අපි වැඩ. එහෙම වෙලත් නැකතට නැතත් අවුරුද්ද දවසේ කිරිබත් කෑල්ලක් කන්න තරම් වාසනාවක් මට තිබුනා.  ඒ මම වැඩ කරන තැන මාත් එක්ක වැඩ කරන අක්කා කෙනෙක්ටයි එයාගෙ හොඳම යාළුවාටයි පිං සිද්ධ වෙන්න. අක්කාගේ යාලුවා නොනගතෙට වැඩ අල්ලලා කිරිබත් උයලා තිබුනා.  මාස ගානකට පස්සෙ රසම රස කිරිබත් කැල්ලක රස බැලුවා. කිරිබත් උයපු සහ මට ආරාධනා කරපු දෙන්නාටම බොහොම පිං. එහෙමවත් ආරාධනාවක් නොලැබුනා නම් මේ අවුරුද්දෙත් ගොඩයට හුළං තමයි. ඔය පල්ලෙහා තියෙන්නේ අක්කලා ලැහැස්ති කරපු, අපි හා හා පුරා කියලා ඉඳුල් කරපු අවුරුදු මේසේ.




 පහුගිය අවුරුදු 3ම මම අවුරුද්දට ලංකාවේ හිටියේ නෑ. නොහිටින්න හේතුව පස්සෙ ලියන්නම්. ගිය අවුරුද්දේ නම් මම ඉන්දියාවේ. ඊට කලින් අවුරුද්දේ ලංකාවෙන් ආවේ පරණ අවුරුද්ද දවසේ.  මේ අවුරුද්දෙත් මෙහෙ. මම මෙහෙ හිටියට  නිතරම ලංකාවේ රේඩියෝ එක අහනවා. පහුගිය ටිකේම රේඩියෝ එක පුරවලා අවුරුදු අසිරිය. ඕවා ඇහෙනකොට නිකන්ම මම ලංකාවේ වගේ තමයි. හැබැයි රේඩියෝ එකෙන් නම් ඇහුනේ අවුරුදු අසිරියට වඩා අවුරුදු වෙළදාම. අපි දන්න විදිහට නම් අවුරුද්ද කියන්නේ සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්තවීම සැමරීම. ඒ වගේම දන්න විදිහට නම් අවුරුද්ද කියන්නේ පරිසරය එක්ක බැඳුන උත්සවයක්. ඒත් මට රේඩියෝ එක අහනකොට නම් මේ කාලේ වැඩිපුර ඇහුනේ කඩවල් වල ගොඩ ගැහුනු රෙදි ගොඩවල්, සපත්තු ගොඩවල්, බිස්කට් ජාති, කේක් ජාති, අයිස් ක්‍රීම් ජාති, නෑගම් යන්න ගෙනියන්න ඕනේ දේවල් විකුණගන්න රටේ මිනිස්සුන්ව අන්දවන්න ගත්තු උත්සහයන්.  අනේ මන්දා, මිනිස්සු අවුරුදු කනවද? අවුරුදු මිනිස්සු කනවද කියලයි හිතාගන්න බැරි. එහෙම කිවේ මම ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ලංකාවෙන් එන්න කලින් දැකපු සිද්ධියක් නිසා.  ලංකාවෙන් එන්න කලින් ටවුන් එක පැත්තේ ගියා ඕනේ කරන දේවල් හොයාගෙන එන්න. අම්මෝ  සෙනග. හුස්ම ගන්න ඉඩ නෑ. ඔක්කොම හරි මම ලොකුම පෝලිම දැක්කේ උගස්‌ මධ්‍යස්ථාන වල. අතේ, කනේ, කරේ තියන දේවල් උගස්‌ තියල අවුරුදු කනවා. අවුරුද්දටම කන්නේ අදින්නේ එක දවසයි වගේ තමයි වැඩ. එහෙම අවුරුදු කාලා ඊට පස්සේ මුළු අවුරුද්දෙම ණය බේරනවා.


තව දෙයක් තමයි අවුරුද්දට නගරයේ ගම මාකට් කිරිම සහ ගමේ නගරය මාකට් කිරීම. එහෙම කිවේ නගරයේ සුපිරි වෙළදසල් වල සේවිකාවන්ට අන්දනවා රෙද්ද හැට්ටේ. ගහනවා පොල අතු මැස්සක්. එහෙම කරලා ගම මාර්කට් කරනවා. ගමේ රෙදි කඩේට අවුරුද්දට ගෙනත් දානවා නගරයෙන් අලුත් ෆැෂන්. අලුතින් ගෙනාපුවා අවුරුද්දට කියලා ගහනවා මිනිස්සුන්ගේ ඇඟේ. කොහොම කරත් අන්තිමට අවුරුදු කාලා තියෙන්නේ මුදලාලිලා. 


මම කලින් කීවානේ අවුරුද්ද පරිසයට බද්ද වුනු උත්සවයක් කියලා. අවුරුද්දට හේතුව වෙන්න සුර්යය සංක්‍රාන්තිය. සුර්යයා නිසානෙ මුළු ලෝකෙම පවතින්නේ. කෙලින්ම පරිසයට සම්බන්ධයි. අපේ අම්මා හැමදාම  නැකතට ගනුදෙනු කලේ ළිදත් එක්ක. අවුරුද්දේම වතුර සපයන ළිදට කලගුණ සැලකීමක් විදිහට. එකත් පරිසරයට සම්බන්ධයි. ගොඩක් වෙලාවට අපේ ගම් වල උදවිය  වැඩ ඇල්ලුවේ ගහක් හිටවලා. ඔය වැඩ අල්ලන වැඩේට කිරි ගහ තමයි බොහොම ප්‍රසිද්ධ.  හිස තෙල් ගාන්න නානු හැදුවේ කැලෙන් හොයාගත්ත ඖෂධ වලින්. පයට, හිසට ගහක කොළ අත්තක් තමයි ගත්තේ හිස තෙල් ගාන්න. මේ හැමදෙයක්ම පරිසරයට සම්බන්ධයි. ඒත් අද අවුරුදු කාලේදී පරිසරය ගැන කතා කරනවා අඩුයිනේ. හැමෝම තමන්ගේ බඩ වඩාගන්න හදනවා මිසක්. අනේ මේ සුභම සුභ අලුත් අවුරුද්දේ අපේ වටේ තියන ගහ කොළ, ඇළ දොළ, සතා සීපාව අමතක කරන්න එපා. අපේ මිතුන් මිත්තෝ අවුරුදු සැමරුවේ ඒවත් එක්ක. බොහොම අර්ථවත් විදිහට. අවුරුද්ද විකුණන මුදලාලිලා පෝසත් කරන්න විතරක් අවුරුදු කන්නේ නැතුව පොඩ්ඩක් මේ ගැනත් හිතලා බලමු නේද?  


අනික අද අපි අතරේ ඉන්න ගොඩක් ඈයෝ අවුරුද්ද දවසට හැමෝටම සුභ පතලා ඊට පස්සෙ මුළු අවුරුද්දම අර මිනිස්සුන්ගේ දියුණුවට අකුල් හෙලන්න පුරුදු වෙලා. ඔය අවුරුදු දවසට විතරක් කරන චාරිත්‍ර වාරිත්‍ර සිතුම් පැතුම් මුළු අවුරුද්ද පුරාම තියනවා නම් අපේ සමාජය මොනතරම් ලස්සන වෙයිද? අවුරුද්ද කියන්නේ තරහ මරහා අමතක කරලා හැමෝම සතුටු වන සමයක්. මුළු අවුරුද්ද පුරා කලකෝලාහල කරලා අවුරුදු දවසේ විතරක් සාමයෙන් හිටියට වැඩක් නෑනේ.  ඉතින් මේ අවුරුද්දෙවත් සැමදෙනාටම අවුරුදු පැතුම් අවුරුද්දේ 365 දවසෙම හැමෝගෙම හිත් වල රැදෙන, සාමය සතුට මුළු අවුරුද්ද පුරාම පැතිරෙන, අපි ගැන වගේම ගහ කොළ, ඇළ දොළ ගැන සලකා බලන්න හිතෙන පරිසරයට මිනිස්සුන්ට මනුස්සකමට ආදරය කරන්න හිතෙන සුන්දර සිත්  පහළ වේවායි ගොඩගේ පැතුම.  ආ....තව කාරණයක්. ඊළඟ අවුරුද්දෙදිවත්  අසරණ, අහිංසක පාරිභෝගික ජනතාව වන අපිව මංකොල්ල නොකන අලුත් අවුරුද්දක් දකින්න වාසනාව හැමෝටම ලැබේවා !!!!!

Sunday, April 10, 2011

තනියට තනිකම.....................



තනිකම ඇවිදින් තනියට මා ළඟ හිඳ            ඉකිබිඳිනවා
පාළු රැයේ හමන සුළං මූසලකම                 මුසු කරනවා
කුටියක සිරවුනු මාගේ හදවත හඬනව            ඇහෙනවා
නොරටක තනිවු මාහට මගෙ අසරණකම      දැනෙනවා


තනිකම සැපයි මිහිරියි කියලා සිතුනත් මට          විටෙක
ඒ තනිකමම හැඬවූවා මා රඳවා                     සිර ගෙයක
හුදකලාව අතරින් සිහිවන නටබුන් වූ                    මතක
කඳුලැලි ගෙනාවේ දෙනෙතට බොඳකර දෙනුවන් හනික


පෙරදා ගෙවූ කාලය  සමඟින් මාගේ මිතුරු         කැළ
නෑදෑ පිරිවරයි, පවුලේ උදවිය මට දුන්               රුකුල
තනිවූ විටදි සිහිවීලා හදවත පිරුණා                   කඳුල
සඟවා ගතිමි කඳුලට හිමිකරදි  මගෙ හද             පතුල


බන්ධන වැඩි විටදි නිතරම  ජීවිතයට                දුක ඒවී
වෙන්වූ විටදි ප්‍රියයන්ගෙන් දුක් ගිනි හද          ඇවිලේවි
බුදු හිමි දෙසූ ඒ  බණ පද මගෙ දෙසවන්           පුරවාවි
ඒ මෘදු වචන තරමක හෝ මාහට            සැනසුම දේවි



Saturday, April 9, 2011

පුංචි පහේ මං........

පිසාචයා ලියපු අපේ ගුරුතුමා පෝස්ට් එක කියවද්දි මට මතක් උනා තවත් සින්දුවක්. ඒ සින්දුවත් එක්කම මම මගේ අතීතයට ගියේ අසුරු සැනින්. සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන ඉස්සර මං ගිය පාසල ඇරිලා  කියන සින්දුව අහලා ඇතිනේද හැමෝම. අහලා නැති කෙනෙක් ඉන්නවානම් මෙන්න මෙතන ඔබන්නකෝ. මේ සින්දුවේ විස්තර කරන පොඩි එකා තරම් නම්  මම වාසනාවන්ත නෑ. මොකද මටත් ඉස්කෝලේ යන්න වුනේ පාසල් සේවයේ, පහු පහු වෙද්දි නම් බස් එකේ. මේ කියන පොඩි එකාට වගේ මට සොබාව සෞන්දර්යය රස විඳින්න ලැබුනේ නෑ.  ඒත් මට 5 ශිෂ්‍යත්ව පන්ති යද්දි නම් ඒවාගේ පොඩි පොඩි අත්දැකීම් ලැබුනා. ඉතින්  මේ සින්දුව ඇහෙන  ගානේ මට මතක් වෙන්නේ පන්ති ගිය හැටි. ඒ මතකය ඇවිස්සුනු නිසා මට හිතුනා ඒ ගැන පොඩ්ඩක් ලියන්න.

මම ඒ කාලේ පොඩි එකා. දැනුත් ඉතින් මහ වයසක්යෑ.....  අර කලින් පෝස්ට් එකක ලීවා වගේ අපේ අම්මා මට පන්න පන්න උගන්නන්න දැඟලුවේ නෑ. එහෙම කිවේ  දැන් ඉන්න ගොඩක් දෙමව්පියෝ,  පොඩි උන්ට තියන නිදහස සම්පූර්ණයෙන් දින, කාල වකවානු නැතුවම අහෝසි කරලනේ. අපේ අම්මා නම් එහෙම කලේ නෑ. සෙල්ලම් කරන්න යන්න නොදී එක වසරේ ඉඳන් මාව පන්ති ගානේ ඇදගෙන යන්න ලැහැස්ති වුනේ නෑ. මට පොඩි කාලේ පොඩි එකෙක් විදිහට ලැබෙන්න ඕන අත්දැකීම් ලැබෙන්න ඇරියා. අනිත් උන් 2 වසර 3 වසර ඉඳන් ශිෂ්‍යත්ව පන්ති ගියාට අම්මා ඒ කාලේ මට නිදහසේ ඉන්න දුන්නා. හැබැයි හතර වසර වෙද්දි මගේ පන්තියේ හිටපු ගොඩක් උන් පන්ති යනවා. මටත් ඔන්න පන්ති යන්න ඕනේ වුනා. ඒකාලේ පන්ති යනවා කියන්නේ ලොකු වැඩක්. ගිහින් කන්නේ අමුම අමු කට්ටක්. ඒ වුනාට ඒක හෙන ලොකු වැඩක්.

තාත්තා පිටරට නිසා අම්මට නංගිත් එක්ක මාව අරන් ඔය ඈත පන්තිවලට යන්න අමාරුයි.  ඒ නිසා මාව දැම්මා අපේ ගමේම පන්තියකට. පියසීලි ටීචර්ගේ පන්තියට. ටීචර් පන්ති කලේ ටීචර්ලගේ ගෙදර. අපේ ගෙදර ඉඳන් ගම ඇතුලට කිලෝමීටර් එකහමාරක් දෙකක් යන්න ඕනේ. ගම ඇතුලේ නිසා ආරක්ෂාව හොඳයි. අම්මට පස්සෙන් ගිහින් බලන්න ඕනේ උනේ නෑ. ඔන්න හතර වසරේ මැදක් විතර වෙද්දි මම පන්ති යන්න පටන් ගත්තා. පයින් තමයි ගමන. අපරාදේ කියන්න බෑ පන්ති යන්න සෙට් එකකුත් හිටියා. සෙට් එකම අපේ ගේ ලඟින් යන්නේ. අපේ කොඩිකාරයත් පන්ති එනවා. ඌ එන්නේ තාත්තා එක්ක. තාත්තා ඌව බයිසිකලෙන් පන්තියට ගිහින් දානවා. කොඩිකාර කියන්නේ මාත් එක්ක 1 වසරේ ඉඳන් මේ දක්වාම ඉන්න එකෙක්. ඌ මගේ අතිජාත මිත්‍රයා උනත් තාත්තා එක්ක එන නිසා ඌව මඟ අරිනවා.මොකද අපි සෙට් එකට වැඩ තිබුනේ පන්තියට යන එන අතරමඟ. කොඩ්ඩගේ තාත්තට හරි පන්තියට එන වෙන කාගේ හරි දෙමව්පියෙක්ට මාට්ටු උනොත් අපේ වැඩ ඔක්කොම හබක්. අපිට ඔය තිබ්බ තිරිකිස් වැඩ නිසා තමයි මට අර සින්දුව ඇහෙද්දි පන්ති ගිය හැටි මතක් වෙන්නේ.

ඔන්න අපි සෙට් එකට උදේම පන්තියට යන අතරේ තියනවා ලොකු රාජකාරියක්. ඒ තමයි සංඛ්‍යාලේඛනයක් හදන්න. හතර වසරේ උන්නු කිරි කජු කොල්ලන්ට මොන සංඛ්‍යාලේඛනද කීවලු?   සංඛ්‍යාලේඛනය වෙන මොකවත් ගැන නෙවෙයි, පාර දෙපැත්තේ වතුවල තියන රඹුටන් , අඹ, පේර, ජම්බු, ලොවි, වෙරළු....... මෙකී නොකී ගඩා ගෙඩි ගැන තමයි. කොකෝවා ගහකුත් තිබ්බා හොඳට මතකයි. උදේට ඔය හදන රිපෝට් එකේ හැටියට තමයි පන්ති ඇරුනහම වැඩ සිද්ධ වෙන්නේ. අනික ගිය සතියේ පන්ති එද්දි ගස් වල තිබ්බ පැහිච්ච නැති ගෙඩි ගැන එහෙමත් හොඳ මතකයක් සෙට් එකටම තිබ්බා. හොඳට ඉදුනු පේර, රඹුටන්, ජම්බු වගේ දෙයක් උදේ දැක්කොත් පන්ති ඇරෙනකම් කට්ටියට සිහි නෑ. පන්ති ඇරිච්ච ගමන් සෙට් එකම නවතින්නේ ගස් යට තමයි. අනිත් එක ඔය වතු වල අයිතිකාරයෝ ගෙඩි කැඩුවා කියලා ගහන්න බනින්න ආවේ නෑ. සමහර වෙලාවට අයිතිකාරයා දැක්කොත් අහලම කඩාගන්නවා. ලඳු ගානේ රිංගන්න හේතුවක් නැති උනොත් ඒ කිවේ කඩන්න තරමේ පැහිච්ච ඉදිච්ච ගඩා ගෙඩි නැති වුනොත් ඊළඟ වැඩේ තමයි ඇළකට බැහැලා මාළු අල්ලන එක. අපේ ගම මැද්දේ ලොකු වෙල්යායක් තියනවා. ඔය වෙල අයිනෙන් යන පොඩි ඇළට බැහැලා සිලි කවරයක් හොයාගෙන මාළු අල්ලනවා. ඔය මොන කෙලිය කරත් මම නම් ගමේ මිනිහෙක් දකී කියලා පට්ට බයේ තමයි ඉන්නේ. වෙන මොකවත් නෙවෙයි සමහර වෙලාවට මම ගෙදර එන්න කලින් මගේ වැඩ ගැන ගෙදරට සියළු විස්තර ඇතුව වාර්තාව ඇවිල්ලා. එදාට ඉතින් ඉඳලා ඉවරයි.

පහ වසරට ආවහම අම්මා මට බයිසිකලේ පන්ති යන්න දුන්නා. බයිසිකලේ කීවේ බාගේ බයිසිකලයක්. හැබැයි කොන්දේසි බර ගානක් දාලා තමයි අවසර දුන්නේ. හයියෙන් යන්න බෑ. ඩබල් දාලා යන්න බෑ. පැලවත්ත කන්දෙදි බැහැලා බයිසිකලය තල්ලු කරගෙන එන්න ඕනේ. ( පැලවත්ත කන්ද කියන්නේ පට්ටම බෑවුමක් ) මලාට බයිසිකලේ කන්දේ පදින්න නම් බෑ. එද්දි නම් පල්ලම. ආයේ මුකුත් නෑ වෙඩිල්ල වගේ එන්න පුලුවන්. පල්ලම ඉවර වෙන්නේ වෙල් යාය පටන් ගන්න තැනින්. ඒ එක්කම වංගුව.  කොහොම කොහොම හරි අම්මා  ඔය මොන කොන්දේසි දැම්මත් මම ඉතින් ඔය කරන්නේ නෑ කීව හැම දේම කොලා. පුදුම කරුමයක් කියන්නේ හැමදාම අම්මට ආරංචි වෙනවා මම කන්ද පල්ලමේ නැඟලා ආවහම. ඩබල් දාලා ආවාහම. මම ඒ දවස් වල ඔය කේලම් කියන එකා හොය හොය හිටියේ.හෙව්වේ ඌට ගහන්න එහෙම නෙවෙයි අනිත් දවසේ ඌට පෙන්නේ නැතිව එන්න. පුදුම තරහක් තිබුනේ ඌත් එක්ක.

දවසක් පන්තිය ඇරෙන්න කිට්ටුව වැස්සක් පටන් ගත්තා. ඉවරයක් නැතුව වහිනවා. වැස්සක තෙමෙනවා කියන එක මොනතරම් ආතල්ද? මම ඉතින් පොත් ටිකත් සිලිකවරයට දාගෙන ඕන එකක් කියලා බයිසිකලේ අරන් එලි බැස්සා. අර පල්ලමට කිට්ටු කරහම වැස්ස නිසා තල්ලු කරන් යන්නත් කල්පනා කරලා ආයෙත් වීරයා වගේ පැදගෙනම පල්ලම බැස්සා. පල්ලම කාලක් විතර ආවාහම බ්‍රේක් ගහලා බැලුවා. උදේ හොඳට වැඩ කරපු බ්‍රේක් හදිස්සියෙ අතුරුදහන් වෙලා. බ්‍රේක් වදින්නෙම නෑ. එහෙන් වැස්ස. මෙලො දෙයක් කල්පනා කරන්නවත් වෙලාවක් තිබුනේ නෑ. මම බුලට් එක වගේ කන්දපල්ලමේ එනවා. වෙල්යායට කිට්ටු උනහම හොඳට ඇස් දෙක තද කරලා වහගත්තා.  හැඩල් එක හයියෙන් අල්ලගත්තා. එච්චරයි මතක. කොල්ලයි බයිසිකලෙයි දෙන්නම උඩින් ගිහින් නතර වුනේ වෙලේ. දඩ බඩ ගාලා නැඟිටලා බැලුවා කවුරුත් දැක්කද කියලා. වෙලේ හිටපු මි හරක් රංචුව ඇරෙන්න වැස්ස නිසා කවුරුත්  අහල පහල නෑ. අතක් පයක් කැඩුනේ නෑ හොඳ වෙලාවට. ඇඟ පුරා මඩ, ගන්න සසරක් නෑ.  මඩ පිටින් ගියොත් වැඩේ මාට්ටු නිසා වැස්සෙම ඇළට බැහැලා මඩ හෝදගෙන කොල්ලා ගෙදර ආවා. ඒත් වැස්සේ බයිසිකලේ ආපු නිසා හොඳට බැනුම් ඇහුවා. මේ සීන් එකට මං මෙච්චර කල් පබ්ලිසිටියක් දුන්නේ නෑ. ඒ කාලේ ඉතින්  විලි ලැජ්ජාව නිසා කාටවත් සීන් එක කීවෙ නෑ. ඔන්න ඒකත් අද කීවා.

ඔන්න ඔහොමයි පුංචි පහේ ගොඩයා ශිෂ්‍යත්ව පන්ති ගියේ. පන්තියට වුනත් හෙනම ආතල් එකේ තමයි ගියේ. සමහරු ගොඩයට ශිෂ්‍යත්වය පාස් වෙන්න තරමේවත් ලකුණු ගන්න බෑ කියලා කියද්දි, පියසීලි ටීචර්ට පිං සිද්ධ වෙන්න ගොඩයා ශිෂ්‍යත්වේ හොඳට පාස් වෙලා ලොකු ඉස්කෝලෙකටත් ගියා. පන්තිය යන අතරමඟ මොන නාඩගම නැටුවත් පන්තියෙදි වැඩ ටික හොඳට කලා. ඒ පියසීලි ටීචර් බොහොම ආදරයෙන් කරුණාවෙන් උගන්නපු නිසා. අදටත් ලංකාවට යන වෙලාවට එතුමිය බලලා එනවා. මට අර සින්දුව ඇහෙනකොට ඔය පරණ සිද්ධි මතක් වෙනවා.අපි ඉතින් පන්තිය ගියත් ඒ අතරතුරෙත් කලේ කැලේ පැන්න එක, ගඩා ගෙඩි හොයපු එක, ඇළවල්වල දන්ඩි පැටව් අල්ලපු එක. ඒත් ඉතින් අද කාලේ පොඩි උන්ට නම් මෙහෙම අත්දැකීම් නෑ. උන්ව බඩට ආපු දවසේ ඉඳන් අම්මලා උන්ව පන්ති යවනවානේ. ඒ යවන්නෙත් ඉතින් ලොකු ලොකු පන්ති වලටනේ. අනික උන්ටත් ඉතින් වීඩියෝ ගේම්, කොම්පියුටර්, ෆෝන් වලින් තොර ලෝකයක් නෑ. තියන තරඟය නිසා පොඩි උන්ට උන්ගේ ළමා කාලය අහිමි වෙලා. හිතක් පපුවක් නැති, ගහ කොල, සතා සීපාවා තියා අම්මා තාත්තාවත් අඳුරන්නේ නැති පරම්පරාවක් බිහිවෙන එක ගැන එක අතකට පුදුමයකුත් නෑ. මොකද උන්ට ඒ දේවල් අඳුරගන්න වෙලාවක්, අවස්ථාවක් නෑනේ.............

Sunday, April 3, 2011

අවසාන මහා තරඟය............


මේ ලියන්න යන්නේ ඊයේ මැච් එක ගැන විචාරයක් එහෙම නෙවෙයි.  කොහොමත් එහෙම ඒවා ලියන්න තරම් මම පොරක් නෙවෙයි. මැච් එක පැරදුනාට පස්සේ මොන විචාර දුන්නත් වැඩක් නෑනේ. මේ ලියන්න හදන්නේ මැච් එක බලන්න ගියපු මට ඇහුන, දැකපු දේවල් සහ මට හිතුන ඒවා. අනිතිම ලාස්ට් ෆයිනල් මැච් එක හින්දා මගේ යාළුවෝ සෙට් එකම කතා කලා එලියට ගිහින් මැච් එක බලන්න. ලංකාවේ ඉන්නවා වගේ නෙවෙයිනේ පිට ඉන්නකොට. කාමරේට වෙලා ඉන්ටර්නෙට් එකෙන් ඕක බලන එකේ කිසිම ගතියක් නෑනේ. ඉතින් කට්ටියම කතා කලා කොහේ හරි පබ් එකකට හරි රෙස්ටුවරන්ට් එකකට හරි ගිහින් මැච් එක බලමු කියලා. ගාණකට තට්ටු වුනත් කට්ටිය සෙට් වෙලා බියර් එකක්  එක්ක තරඟය බලන එකේ ෆන් එක වැඩි නිසා මමත් හා කීවා.ඊයේ දවල් වෙනකම්ම යන්න තැනක් හෙව්වා. මෙහෙ ක්‍රිකට් පෙන්නන්නේ ගොඩක් වෙලාවට ඉන්දියන් පබ් වල. මොකද මෙහෙ ක්‍රිකට් ජනප්‍රිය නෑ.  ගොඩක් තැන් වලට කතා කරහම ඒවා බුක් කරලා. අනික ඉන්දියන් පබ් වල ඉන්දියන් උන් පිරිලා. අපිට එහෙම තැනකට යන්න ඕන වුනෙ නෑ.

හවස් වෙද්දි එක එකා අදහස වෙනස් කරගෙන ඉතුරු වුන අපි පස් දෙනා ගියා රෙස්ටුවරන්ට් එකකට. මගේ ඉන්දියන් යාළුවෝ දෙන්නෙකුත් ආවා. හොඳ තැනක් ඕන නිසා කලින්ම ගියා.වැඩි කලබලයක් නෑ. අපි හිතුවා අවුලක් නැතිවෙයි කියලා. මෙන්න බොලේ ටිකකින් කඩාපාත් වුනේ නැත්ද ඉන්දියන් උන් 20ක් 30ක්. ලංකාවෙන් අපි පස් දෙනයි. ටිකකින් බලද්දි ඉන්දියන් උන් ඉන්නවා 40ක් විතර." අයියෙ සෙට් එකම ඉන්දියාවෙන් වගේ, අපි විතරයි ලංකාවෙන්, මාර ගේම නේද? කෑවොත් නම් ඇපත් නෑ. අනේ කොහොමහරි ගහපල්ලා." ඒ මාත් එක්ක ගියපු උන්. අනිත් කාරණය අපියි ඉන්දියන් උනුයි පෙනුමන් එක වගේ නිසා වාඩි වෙලා ඉන්න උන් ඔක්කොම ඉන්දියන්මද කියලා ෂුවර් නෑ. ඔන්න මැච් එක පටන් ගත්තා.

මැච් එක පටන් අරන් විනාඩි 3ක් 4ක් යද්දි තේරුනා වටේම ඉන්නේ ඉන්දියන් උන් කියලා. ඩිල්ශානුයි, තරංගයි දෙන්නම හිර වෙන්න වෙන්න උන් දෙවනත් වෙන්න කෑ ගහනවා.  බෝලෙන් බෝලෙට චීයර් කරනවා. අපි 5 දෙනා හරියට හනුමන්තාගේ සේනාවට කොටු වෙච්ච රාවනාගේ කොල්ලො වගේ. කට ඇරගන්න චාන්ස් එකක්  එනකම් බලාගෙන ඉන්නවා. අනික අපේ උන් ලංකාවේ ටී ෂර්ට් ඇඳගෙන ආවේ. ඉතින් උන් ඔක්කොම දන්නවා අපි ලංකාවෙන් කියලා. බෝලෙන් බෝලෙට අපි දිහා බලනවා, කෑ ගහනවා. අම්මෝ ඒ කෑ ගැහිල්ලෙන්, බැලිල්ලෙන් දැනෙන ප්‍රේෂර් එක විස්තර කරගන්න මට බෑ. මැච් ගහන උන්ට වඩා එතන බලන්න ගිය අපිට ප්‍රෙෂර්. උඹලට කියන්න මට එවෙලේ මතක් උනේ පිට්ටනිය මැද්දේ සෙල්ලක් කරන අපේ කොල්ලන්ට මොනතරම් පීඩනයක් ඇත්ද කියලා. අපිට මෙතන 40ක් 50ක් ඉඳලා මෙහෙම ඒක දැනෙනවා නම් දාස් ගානක් මැද්දේ ඉන්න අපේ කොල්ලන්ට කොහොමඇත්ද? අනිත් රටක එකෙක් දෙන චියර් එකක් වගේ නෙවෙයි මුන්ගේ චියර්. මුන් ඉතින් ෆිල්ම් එකක් බලලා අන්තිමට වීරයා මැරුනොත් ෆිල්ම් හෝල් එක ගිනිතියන ජාතියක්නේ. අපි 5 දෙනා හිතින් අනේ හතරක් ගහපන්, අනේ හතරක් ගහපන් කිය කිය හිටියා. 4 ගහපු ගමන් අපි 5 දෙනා කෑ ගහනවා. ඒත් කරුමෙට ඊයේ උන් හොඳට ෆීල්ඩ් කරා. ඉන්දියන් උන්ටත් පුදුමයි ඊයේ උන් ෆීල්ඩ් කරපු හැටි.මම හිතන්නේ ඉන්දියන් ටීම් එකේ උන් දන්නවා මැච් එක කෑවොත් කොහොමත් රටේ උන් උන්ගේ අඬු කඩනවා කියලා. ඉතින් නිකන්ම අඬු කඩාගන්නවට වඩා බෝලෙකට පැනලා අතක්, පයක් ගැලවුනත් දුක නෑ කියලා හිතාගෙනද කොහෙද උන් ඊයේ සෙල්ලම් කලේ.  ඔහොම ඔහොම වෙලාව යද්දි ඔන්න මහේල ටික ටික නෙලන්න ගත්තා. අපිට මාර ආතල්. දැන් මොකෙක්වත් සද්ද නෑ. අපිට අමුතු විදිහේ කෝචොක් බැල්මවල් දාන්නෙත් නෑ.

අන්තිම බෝලටත් තිසර මල්ලි 6ක් ගැහුවා විතරයි අපිට පුදුම ආතල් එකක්. එතන හෙලවෙන්න කෑ ගහලා වටපිට බැලුවා. කලින් කෑගහපු උන්ගේ මූණු මැලවිලා. ඉන්දියන් සෙට් එකෙම තිබුන බලාපොරොත්තු හේදිලා තිබුනා. එ වගේම බලාපොරොත්තු අත ඇරගෙන තිබුන අපිට බලාපොරොත්තුවක් ලැබුනා. දැන් ඉතින් දෙවනි ඉනිම තමයි වැඩේ. ඔය අතරේ ඉන්දියන් එකෙක් අපිට ඉඳන් කියනවා " ඕක දිනුවේ නැත්නම් ටීම් එකට එලියට යන්න හම්බ වෙන්නේ නෑ. අනිවාර්යයෙන් කුඩු කරනවා ඔක්කොම.  ඕක සචීන්ගේ ටවුන් එක. ඒ නිසා මේක කොහොමහරි දිනන්න ඕනේ. " කියලා. අපිට වඩා ඉතින් උන් දන්නවානේ උන්ගේ උන් ගැන. අනික අපිට මතකයි 96 සෙමි ෆයිනල් වෙලාවේ ඉන්දියන් උන් හැසිරුන විදිහ. කතාව බොරු වෙන්නත් බෑ. කොහොමත් අපිට දැන් දිනුවත් පැරදුනත් දුක නෑ. චාටර් ලකුණු ගානකට අපේ කට්ටියම අවුට් වෙලා චාටර් උනා නම් මොනවා උනත් හිතට දුකයිනේ.

ඔන්න දෙවනි ඉනිමත් පටන් ගත්තා. මාලිංගගේ පලවෙනි ඕවරෙන්ම එකෙක් ගියා. පට්ට ආතල්. ෆුල් සද්දයක් දාලා වටපිට බැලුවා. ඉන්දියන් උන්ගේ මූණු ඔක්කොම මල ගෙයක් වගේ කරගෙන. එහෙම ඉඳලා ඉඳලා හතරක් වැදුන ගමන් උන් කෑගහනවා මැච් එකම ගැහුවා වගේ. මොනවා උනත් ඉන්දියන් උන් මාලිංගට පට්ට බයයි. මාලිංග බෝල් කරද්දි කට්ටියම කට ඇරගෙන බලාගෙන ඉන්නේ. ඔහොම ඔහොම ඕවර් 30ක් විතර වෙනකම් ගියා. කට්ටියම දැන් සද්ද නෑ. මීයට පිම්බා වගේ. අපිවත් ඉන්දියන් උන්වත් කෑගහන්නේ නෑ. කාටවත් ෂුවර් නෑ මොනවා වෙයිද කියලා. මොනවා උනත් ඕවර් 45 ට විතර එනකම් මාරම ආතල්. අපි අනේ විකට් එකක්, අනේ විකට් එකක් කිය කිය ඉන්නවා. ඉන්දියන් උන් අනේ 4ක් අනේ 4ක් කිය කිය ඉන්නවා. මැච් එකේ හතලිස් පස්වෙනි ඕවරේට ආවට පස්සේ " මල්ලී මට නම් පේන විදිහට අද ඉන්දියන් උන්ට රෑ කෑමට සිංහ මස් වගේ. අපි පස් දෙනාවත් කන සීන් එකක් තියෙන්නේ. ලකුණු 274ක් ගහපු නිසා අපේ උන් මෙතනින් රෙදි ඇඳගෙන යන්න පුලුවන්. එහෙම නොවුනානම් යන්න වෙන්නේ කලිසම ගලවලා ඒකෙන් ඔලුව වහගෙන තමයි" එහෙම කියලා මම පරදින එක ගැන හිත හදාගත්තා. " නෑ ,නෑ බං අපි අද දිනනවා. දිනනවාමයි. තව ඕවර් 5ක් තියනවානේ. අනිවා ඊළඟ එකේ විකට් 2ක් යනවා. එතනින් එහාට ගේමම ගොඩ. " අපේ එකෙක් පරදින්න යනවා කියලා පිලිගන්න කැමතිම නෑ. ඒකත් එක අතකට හොඳයි. හොඳ හයියක්.

ඔන්න දෙයියනේ කියලා නුවන් කුලසේකරගේ ඕවරේට හතරේ දෙකක් නෙලුවා. පලාතම හෙලවෙන්න අරුන් කෑගහනවා. අපිට නම් ඇපත් නැත. ඊළඟ ඕවර් එකෙන් මැච් එක අපි පැරදුනා.  කවුරුහරි දිනන්න තවත් කෙනෙක් පරදින්න ඕනේ. ඒත් පැරදුනත් මට දුකක් හිතුනේ නෑ. මොකද ඊට විනාඩි 15 කට කලින් ඉන්දියන් උන්ගේ මූණු දැක්කාහම අපි උන්ට හෙන ගේමක් දීලා පැරදුනේ කියලා පෙනුන නිසා. අනික අපිට උන්ට වගේ නෙවෙයි ජය පරාජය දෙකම දරාගන්න කොන්දක් තියනවා. සමහරවිට අපි දිනුවනම් අර කලින් ඉන්දියන් එකා කීවා වගේ උන්ගේ ටීම් එකටත් ගහලා අපේ කොල්ලන්ටත් ගහලා මොකක් හරි මෝඩ ආතල් එකක් ගන්න ඉඩ තිබ්බා. ඔක්කොම වෙන්නේ හොඳටයි කියලා හිත හදාගන්නයි තියෙන්නේ. අපරාදේ කියන්න බෑ දිනලා, කෑ ගහලා ටික වෙලාවක් ගියාට පස්සේ සෙට් එක අපි ලඟට ඇවිත් " hey are you guys ok ? don't worry man. it was an amazing battle. your team did well. " කීවා. මොනවා උනත් ලඟට ඇවිත් කතා කරානේ. අපිත් ඉතින් හිතින් බැන බැන  කට්ටියටම සුභ පතලා ආවා.

ඇත්තටම මට හිතෙන විදිහට නම්  අපේ කොල්ලන්ට බනින්න දෙයක් නෑ. අළුත් මූණු කීපයක් එක්ක සංගයි, මහේලයි යම් කිසි දෙයක් කෙරුවා. උන්ගේ රටේ උන්ගේ මිනිස්සු මැද්දේ සෙල්ලම් කරද්දි තියන පීඩනය ගැන පොඩිහරි අදහසක් මට ආපු නිසයි මේ කියන්නේ, එහෙම පීඩනයක් එක්ක සෙල්ලම් කරන එක ලේසි නෑ. කොහොම උනත් දැන් ඉතින් ඔය ගැන කතා කරලා වැඩක් නෑ. මේක ලීවේ මගේ ජීවිතේ මෙහෙම අත්දැකීමක් ලැබුනේ ඊයේ නිසා. අනිත් හැම පාරම ලංකාවේ උන් එක්ක මැච් බැලුවේ. ඒ විස්තරේ නම් ඉවරයි. මම අද උදේ දැක්කා මැච් එක ඉවර වෙද්දිම ලංකාවේ ඉන්ධන මිල නැග්ගා කියලා ප්‍රවෘත්තියක්. මැච් පැරදුන හින්දා තමයි ඔය ගානෙන් වැඩි වුනේ දිනුවානම් අනිවා තවත් රුපියල්5ක් 10ක් එකතු කරනවා වැඩි කරපු ගානට. මොකද මැච් එකේ ජයග්‍රහනය සතියක් විතර යනකම් භුක්ති විඳිනකොට අපේ මිනිස්සුන්ට ඔය ගනන් හිලව් අමතක වෙනවානේ. දැන් ඉතින් වර්ල්ඩ් කප් එක ඉවරයි. පටි තද කරගෙන කප් එක ගහනකම් ජිවිත ක්‍රිකට් මැච් එක ගහන හැටි කල්පනා කරපල්ලා. මේ තියන පීඩනයත් එක්ක හයේ , හතරේ ඒවා නම් අපිට ජීවිතෙට ගහන්න බෑ. ඒ උනාට අඩුගානේ විකට් එක බේරගන්න උත්සහයක් ගමු................