මෙහෙම විස්තර ලියන එක සමහරවිට මෙලෝ රහක් නැති වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. ඒත් මම හැදුන වැඩුන පරිසරය ගැන, වටපිටාව ගැන විස්තරයක් නොකර මගේ ජීවිත අත්දැකීම් ලියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මොකද මම අහසින් වැටුන මිනිහෙක් නෙවෙයිනේ.
මට හිතෙන විදිහටනම් මගේ ළමා කාලය ගැන මට මතක් කරලා කල්පනා කරලා තාමත් සතුටු වෙන්න පුළුවන්. එහෙම කීවහම කාට වුනත් හිතෙන්න පුලුවන් මම පොඩි කාලේ සුර සැප විඳපු, රෝසමල් අතුරපු යහනාවක හැදුනු වැඩුනු කොල්ලෙක් කියලා. අනේ එහෙමම නෙවෙයි. ඒත් මේ ලෝකේ සමහර පොඩි උන් විඳින දුක් කන්දරාව දැක්කහම ඇත්තටම මම වින්දේ සුර සැප. විශේෂයෙන් මානසිකව මට කිසිම පීඩාවක් වුනේ නෑ.මට හිතෙන විදිහට ඒක තමයි පොඩි එකෙක්ට වැදගත්ම දේ. කොහොමහරි මට අවුරුදු දෙකක් පිරිලා ටික දවසක් යනකොට අපේ පවුලට තවත් සාමාජිකයෙක් එකතු වුනා. ඒ තමයි මගේ සැපට, දුකට, තනියට, පාළුවට ළඟ හිටපු මගේ ආදරණීය නැඟණිය. අනේ ඉතින් පොඩි කාලේ ගහ ගත්තට, බැණ ගත්තට, රණ්ඩු උනාට අපි දෙන්නට අපි දෙන්නා නැතුව බෑ. අදටත් නංගී මගේ ළඟ නැති උනාට ඒ බැඳීමේ කිසිම වෙනසක් නෑ.
මගේ නංගීට අමතරම මගේ බාප්පාගේ දුවත්, පුතාත්, මගේ මහප්පාගේ පුතාත් මගේම අක්කා සහ අයියලා දෙන්නා උනා. අනිත් කාරණය මගේ තාත්තාගේ නෑ පිරිවරම තමයි මගේ අසල්වැසියෝ වුනේ. ඉතින් බාප්පාගේ ගෙවල් තිබ්බේ අපේ ගෙදරට උඩින්. මහප්පාගේ ගෙදර වම් අත පැත්තේ. ඉතින් පොඩි කාලේ ඉදන් අපි හැදුනේ වැඩුනේ එකට. අයියලා දෙන්නා එකම ස්කෝලෙට ගිය නිසා ලොකු ගොඩයයි, පොඩි ගොඩයයි උනා. ඒත් දැනට අවුරුදු තුනකට උඩදි අවාසනාවන්ත රිය අනතුරක් ලොකු ගොඩයාව සදහටම අපෙන් ඈතට අරන් ගියා. ඒක තමයි මගේ ජිවිතේ මට ලැබුන කම්පිතම සිදුවීම. ඒ ගැන මෙහෙම ලියන්න බෑ. ඒ ගැන ඉදිරියේදි වෙනම ලියන්නම්.
මම කලින් කීවා වගේ මගේ තාත්තා ලංකාවේ හිටියේ නෑ. ඉතින් අනිත් පොඩි උන්ට වගේ වැඩ ඇරිලා තාත්තා එනකම් බලාගෙන ඉන්න අවස්ථාවක් මට ලැබුනේ නෑ. නංගියි, මමයි ඒ වෙනුවට කලේ බාප්පා එනකම් බලා ඉන්න එක. අනේ අපේ බාප්පාත් මොනතරම් මහන්සිවෙලා උනත් වැඩ ඇරිලා ගෙදර යන ගමන් අපේ ගෙදරට ගොඩවෙලා පොඩි වෙලාවක් නංගියි මමයි වඩාගෙන ඉඳලා, වැඩ ඇරිලා එද්දි ගෙනාපු යෝගට් එකක් හරි, චොක්ලට් එකක් හරි අපි දෙන්නාටත් දීලා තමයි උඩහට ගොඩ වෙන්නේ. අනික නංගිගෙයි මගෙයි අවාසනාවකටද කොහෙද අපි ඉපෙදෙන කොට අම්මාගේ දෙමාපියොත්, තාත්තාගේ දෙමාපියනුත් මේ ලෝකෙන් සමු අරන්. ඉතින් අපි දෙන්නාටම කවදාවත් අත්තම්මලාගේ සීයලාගේ ආදරය ලබන්න බැරි උනා. අපේ අම්මාට ලොකු හයියක් උනා බාප්පාගේ පවුල. බාප්පා, පුංචිඅම්මා විතරක් නෙවෙයි නිතරම තනි නොතනියට හිටිය අක්කාත් අයියත් ලොකු හයියක් උනා. මහප්පාත් අපි පොඩි කාලේම අපි අතරින් වියෝවුන නිසා මහප්පාගේ පවුලට ගොඩක් කරදර තිබුනා. ඒ නිසා ඒ පවුලටත් ගොඩක් උදව් කලේ බාප්පලා. කොහොම උනත් මගේ අම්මාට පස්සේ මාවයි නංගිවයි හදන්න බලාගන්න මහන්සි ගත්තේ පුංචි අම්මා. අදටත් මම මගේ දෙවනි මව් විදිහට සලකන්නේ මගේ පුංචිඅම්මාව. ඒ වගේම තමයි බාප්පාත්. ඒ අය අපි වෙනුවෙන් කරපු උදව් වලට සමාන වෙන්න ප්‍රති උපකාරනම් අපිට කරන්න බෑ. අපි හැමදාමත් ඒ අයට ණයගැතියි. ඊට අමතරව තව ගොඩාක් දෙනෙක් මම පොඩි කාලේ පටන් අද වෙනකම් අපිට නානාප්‍රකාරයෙන් උදව්කලා. ඒ හැමෝම ගැන නොලීවට ඒ හැමදෙයක්ම ගොඩයට අද ඊයේ වගේ මතකයි. ඒ හැමෝටම බොහෝම ස්තූතියි, බොහෝමත්ම පිං...................
No comments:
Post a Comment