සුපුරුදු විදිහට අම්මා ඊයේ හවස කතා කලා. ආගිය තොරතුරු කතා කර කර ඉන්නකොටම අම්මා " ආ මට කියන්න අමතක වුනානේ පුතේ, ඊයේ කරුණා මැඩම් කතා කලා. ඔයා ගැන විස්තර ඇහුවා ". මේ වචන ටික ඇහුන ගමන්ම මට පුදුමාකාර සතුටක් දැනුනා. ඒ වගේම මට පුදුමත් හිතුණා. කරුණා මැඩම් කියන්නේ මගේ පන්ති භාරව හිටපු ගුරුතුමියක්. එතුමිය තමයි මම 6 වසර ඉන්න කාලේ මගේ පන්ති භාර ගුරුතුමිය. එතුමිය මට ඉගැන්නුවේ 1996දී. අද 2011. අවුරුදු 15ක කාලයක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ. එතුමිය ලඟ අපේ ගෙදර නොම්මරය තිබ්බා කියන එකත් පුදුමයි. මට එවෙලේම ගිහින් එතුමිය බලන්න හිතුනත් මම ඉන්නේ රටින් පිටවෙලා. සතුට එක්කම දුකකුත් හිතට නැඟුනා.
එතුමිය මට ඉගැන්නුවේ මම කෑගල්ල ශාන්ත මරියා විදුහලේ හිටපු කාලේ. ඒත් මම 6 වසරේ එතුමියගේ පන්තියේ හිටියේ මාස 7ක් විතරයි.5 වසර ශිෂ්‍යත්වයේ ලකුණුවල පිහිටෙන් මම කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුලත් උනා ඊට පස්සේ. මට අද වගේ මතකයි මම 6 වසරෙන් අස්වෙලා යන්න ලැහැස්තිවෙලා එතුමියට වැඳපු වෙලාවේ එතුමිය මගේ අත්දෙකෙන් අල්ලගෙන සැහෙන වෙලාවක් අවවාද දීදී ඇඬුවා. අපේ ජිවිතේ අපට මුණගැහෙන ගුරුවරු බොහොමයක් යම් යම් හේතු නිසා අපේ මතකයෙන් කවදාවත් ඈත් වෙන්නේ නෑ. සමහරවිට අමතක නොවෙන හේතුව හොඳ එකක් නොවෙන්නත් පුළුවන්. කරුණා ගුරුතුමිය නම් ඇත්තෙන්ම තමන්ගේ ශිෂ්‍යයන්ට තමන්ගේ දරුවෙක්ට වගේ ආදරය දක්වපු නම වගේම හදවතත් කරුණාවෙන් පිරුණු ගුරුමවක්. එතුමිය විශ්‍රාම ගන්න තුරු මට විවේකයක් ලැබුණුවිට මගේ කලින් පාසලට ගිහින් මම එතුමියව මුණ ගැහුනා. ඒත් මම 9 වසර විතර වෙද්දී ඈ ගුරු දිවියෙන් විශ්‍රාම ගත්තා. ඊට පස්සේ සෑහෙන කාලයක් යනකම් කරුණා මැඩම් ගැන ආරංචියක් ලැබුනේ නෑ. මම උසස්පෙළ දෙවනි පාරත් ලියලා ඉවර වෙලා ඉන්න කාලේ මට එතුමියගේ ලිපිනය ලැබුනා. ඉතින් මම එතුමිය හොයාගෙන ගියා. මාව දැක්ක ගමන් එතුමිය මාව අඳුනගත්තා පමණක් නෙවෙයි, එතුමියගේ ඇස්දෙකට කඳුළුත් ඉනුවා. ඒ 2005 දී. එදා තමයි මට ඇයව අන්තිමට මුණගැසුනේ. පහුගිය අවුරුදු 6ටම මට කිසිම ආරංචියක් දැනගන්න බැරිඋනා. ලංකාවට නිවාඩුවට ගිය වෙලාවට මුණගැහෙන්න උත්සහා කරත් ඒ එකක්වත් හරි ගියේ නෑ.එහෙම වෙලත් එතුමියට මාව මතක් වෙලා නැවතත් ගෙදරට කතා කලා කීවහම මට පුදුමාකාර සතුටක් දැනුනා. එතුමියත් පහුගිය කාලේ විදේශ ගතවෙලා ඉඳලා තියෙන්නේ.
ඇත්තටම මම හරිම වාසනාවන්තයි කියලා මට දැනුනා. ගුරු වෘත්තියත් මුදලට යට වුන යුගයක, තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අඩත්තේට්ටම්, නොයෙකුත් අපයෝජන කරන, තමන්ගේ ශිෂ්‍යයන්ට මත් ද්‍රව්‍ය බෙදා හරින ගුරුවරු ඉන්නා යුගයක, සියළුම ශිෂ්‍යයන් තමන්ගේ දරුවන් ලෙස සලකපු ගුරුවරු කොටසකින් අකුරු කරන්න, දැනුම ලබන්න අවස්ථාව ලබපු මම හරි වාසනාවන්තයි. කොලුකමට සමහර වෙලාවට අනවර්ථ නාමයකින් ගුරුවරයෙක් හැඳින්වුවාට කවදාවත් මගේවත් මගේ පාසල් මිත්‍රයන්ගෙවත් ගුරු ගෞරවය බින්දුවක්වත් අඩු උනේ නෑ. සමහර ගුරුවරුන්ට අනවර්ථ නාමයක් පාවිච්චි කලේ ආදරේට. අපේ ආදරණීය කල්ලා සර්ට, කල්ලා කීවේ ඇත්තටම අපේ හිතේ එතුමා කෙරෙහි තිබූ බැඳීමට හා ආදරය නිසා. සමහර වෙලාවට අපි කරපු ජඩ වැඩකට අපිට ගැහුවත් බැන්නත් කවදාවත් අපේ ගුරුවරු ඒවා හිතේ තියාගෙන හිටියේ නෑ. මට තාම මතකයි මම 10 වසර ඉගෙන ගන්න කාලේ මම පන්තියේ බෙර ගහ ගහ ඉඳලා අපේ පන්ති භාර ගුණවර්ධන ගුරුතුමා මට දුන්නා හොඳ කනේ පාරක්. හැබැයි පීරියඩ් එක ඉවර වුන ගමන් මගේ ළඟට ඇවිත් " ගොඩයෝ මම උගන්නද්දී උඹ බෙර ගහ ගහ ඉන්නවා දැක්කහම මට කේන්ති ගියා, පාඩමට බාධා කරහම අනිත් උන්ටත් පාඩුයි, එහෙම නැතුව මගේ තරහක් නෑ. ගහපු එක අමතක කරලා ඊලඟ පීරියඩ් එකට ලැහැස්ති වෙනවා " කියලා පන්තියෙන් පිටවුනා. මම ගුටි කෑවේ කරපු වරදට. මගේ හිතේ ගෞරවයක් මිසක් කවදාවත් වෛරයක් ඇතිවුනේ නෑ එතුමාගෙන් ගුටි කෑවා කියලා.
මේ විදිහට මෙතුවක් කල් මට අකුරු කරපු ගුරුවරු සියළුම දෙනා මගේ මතකයේ අද ඊයේ වගේ රැඳිලා ඉන්නවා. අදටත් අපේ මිත්‍රයෝ එකතු උනහම අර ගුරුතුමා මුණගැහුනා, මේ ගුරුතුමාට දැන් මෙහෙමයි ඔය වගේ තොරතුරු හුවමාරු කරගන්නේ පුදුමාකාර ආදර භක්තියකින්. මට මේ ලිපිය ලියන්න හිතුණේ මගේ දයාබර ගුරුමෑණියන්ගේ ඇමතුම නිසා. ඊළඟ පාර ලංකාවට ගියහම නම් කොහොමහරි මම යනවා එතුමිය බලන්න.කොහොමත් ලංකාවට යන හැම පාරකම මගේ හදවතට බොහෝ සමිපවුන ගුරුවරුන්ව බලලා එන්න මම කවදාවත් අමතක කලේ නෑ. අපි අද මෙහෙම ඉන්න එක දිහා බලලා අපේ දෙමව්පියන්ට පස්සේ සතුටු වෙන්නේ අපිට හොඳ නරක කියලා දුන්න අපේ ගුරුවරු කියලා මම විශ්වාස කරනවා. දෙවිවරු වැනි ගුරුවරු වගේම අතරින් පතර ගුරුහොරු හිටියත් බහුතරයක් ගුරුවරු එහෙම නොවෙයි කියලා හිතනවා.ගුරු වෘත්තිය කියන්නේ මේ ලෝකේ පවතින වෘත්තීන්ගෙන් ඉතාමත් උසස් වෘත්තියක්. ඒ නිසා කිසිම ගුරුවරයෙකුට ඒ වෘත්තියේ ගෞරවය කෙලසෙන ආකාරයට හැසිරීමට හිත් පහළනොවේවා ප්‍රාර්ථනය සමඟම මගේ පෙර පාසලේ පටන් මේ දක්වා මට හොඳ නරක කියාදුන්, දැනුම බෙදා දුන් සියලුම ගුරුවරුන්ට නීරෝගි සුවය සහ දීර්ඝායුෂ පතමි!!!!!
ape kalla sir....
ReplyDeleteea mathakaya nam kawadawathma nethi wen na......
මටත් මගේ ගුරුවරු ඔක්කොම වගේ තාමත් හොඳින් මතකයි. සමහර වෙලාවට ආපහු යන්න පුළුවන් නම් කියල හිතෙනවා දෙපා වඳින්න.. දැන් නම් ඒ වගේ ගුරු දෙවිවරු හිඟයි..
ReplyDelete