Sunday, February 20, 2011

ගොඩයාගේ ගම

කලින් පොස්ට් එකෙන් වැඩිපුර ඉඩක් මාව මේ ලොකේට බිහි කරපු මගේ දෙමව්පියො වෙනුවෙන් වෙන්කලා. ඒත් මට නම් වෙන්කරපු ඉඩ මදි වගේ. කොහොමත් ඒ අයගේ ජිවිත වලින් වැඩිපුර ඉඩක් වෙන්කෙරුනේ අපි වෙනුවෙන්. ඔන්න ඉතින් එහෙම මේ ලෝකෙට පාත් උන මම අඟලෙන් අඟල උස් උනා, අඩියෙන් අඩිය තියන්න ඉගෙන ගත්තා. මගේ මතකයේ ඉතිරි වෙලා තියෙන්නේ අවුරුදු 5න් 6න් පස්සේ වගේ වෙච්ච සිද්ධි. වාසනාවට ඉපදුන දවසේ ඉදන්ම මේ දක්වාම අපි ජීවත් වුනේ එකම ගමක.එහෙම කීවේ මම දන්න මගේ යාළුවො ඉන්නවා. තාත්තාට අම්මාට මාරු වීම් ලැබෙද්දි ලංකාව වටේම යන්න සිද්ධ වෙච්ච. ඒ අය එක පළාතකට හුරු වෙද්දි ආයෙත් වෙන තැනකට. ඒ වැඩේ නම් පුදුම වදයක්. අද පොඩ්ඩක් වෙන්න මම හැදුන වැඩුන පරිසරය ගැන විස්තරයක් ලියන්න හිතුවා. අපේ ගමේ පොඩි රූප කෑලි දෙකකුත් ඔන්න ඇමිණුවා.

කොහොමහරි ගොඩයාගේ නම වගේම ගොඩයත් ගමේ ගොඩේ කොල්ලෙක්.  අපේ ගම පිහිටියේ සබරගමුව පලාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, වරකාපොල ප්‍රාදේශීය සභා සීමාවේ. හැබැයි කොළඹ - නුවර පාර මායිමේ අපේ ගෙවල් තිබ්බ නිසාද මන්දා ගම කීවට මම හැදුන පරිසරය අර්ධ ග්‍රාමී පරිසරයක් කියලා මට හිතෙනවා. මම දැනට ලංකාවෙන් පිටවෙලා හිටියත් මට මගේ ගම, මගේ රට වගේ හිතට ගතට සතුටක් සැනසුමක් දෙන වෙන තැනක් මේ ලෝකේ නෑ. කොහොමත් ගමක තියන නිස්කලංකකම හිතට පුදුමාකාර සහනයක් ගේනවා. අනිත් කාරණය මේතාක් කල් අපේ ගමේ කලබල තිබුනේ නෑ. පොඩි පොඩි සිද්ධි නොතිබුනා නෙවෙයි. ඒත් මහලොකු කරදරයක් තිබුනේ නෑ. ගම ඇතුලට කිලෝ මීටර් 3ක් 4ක් ගියහම මා ඔය හම්බ වෙනවා. ඒ නැතත් අපේ ගෙවල් ලගිත් පොඩි ඔයක් තියනවා. අපි පොඩි දවස් වල නම් ඉතින් අපි නිතරම ඔයට ගියා නාන්න. ඒත් අපේ ගමේ සීග්‍ර දියුණුවට පිං සිද්ධ වෙන්න දැන් නම් නෑවොත් මොනවගේ ලෙඩ හැදිලා නවතියිද දන්නේ නෑ. ඇත්තම කියනවා නම් දැන් ගම හරිම දියුණුයි. හැම තැනම අලුත් ගොඩනැගිලි. අලුත් මූණු , අලුත් මිනිස්සු ගමේ ඉඩම් අරන් පදිංචියට ඇවිත්. මට හිතුණා මේ අලුතෙන් එකතුවෙච්ච හැම දෙයක්ම ඉස්සර ගමේ තිබ්බ නිස්කලංකකම හොරකම් කරලා කියලා.


මේ පාර ලංකාවට ගියහම මම මූණ දුන්න පුංචි සිද්ධියක් ලියනවා. මොකද ඒකත් ගමේ දියුණුවට අදාලයි. මගේ කාමරේ එක ජනේලයක් තියෙන්නේ ගම ඇතුලට යන පාරට මූණ දාලා. පාරෙන් එහා පැත්තේ මහා විශාල වෙල් යායක් තියෙන්නේ. ඉස්සර මගේ මේසේ තිබුනේ මේ ජනේලේ ඉස්සරහා. එතන ඉදන් වැඩ කරන එක ගතට වගේම හිතටත් පහසුයි. ජනේලේ ඇරියහම හැමවෙලේම බොහොම සනීප සුලඟක් වෙල්යාය පැත්තෙන් එනවා. ෆෑන් පාවිච්චි කරන්න ඕනේ නෑ.මේ පාර ලංකාවට ගිහිල්ලා පලවෙනි දවසේ උදේම කාමරයේ වෙල් යාය පැත්තේ ජනේලේ ඇරලා මම පොඩ්ඩක් කාමරය අස්පස් කලා. ඒත් වෙනදා වගේ ඇඟට සනීපෙට දැනෙන හුලං පාර නෑ. පැයක් විතර යද්දි රස්නේ එන්න එන්න වැඩි උන නිසා පොඩ්ඩක් ජනේලෙන් එලියට එබුනා. අනේ වෙල්යායේ, පාර කිට්ටුව ටික ගොඩ කරලා එතන තට්ටු ගොඩනැඟිල්ලක් හදලා. ඉතින් කොහෙන් එන හුලංද? ලංකාවෙන් එනකම්ම කාමරේ ඉන්න වෙලාවට ෆෑන් එකේ සරණම තමා.

ගම් දියුණු වෙන්න ඕනේ. පාරවල් හැදෙන්න ඕන, නගර දියුණු වෙන්න ඕන, රට දියුණු වෙන්න ඕන. ඒත් දෙයියනේ ඇයි මේ මිනිස්සු පොඩ්ඩක් පරිසරය, සොබ දහම ගැනත් හිතන්නේ නැත්තේ. මහ ලොකු දේවල් නෙවෙයි. අර ඔයට හෝස් ගාලා කුණු කානුව හරවනවා වෙනුවට පුළුවන් තරමක් හරි ඒ ජරාව, පෙරහනක් පාවිච්චි කරලා අඩු කරන්න බැරි ඇයි. ඔය වගේ පොඩි පොඩි දේවල් තියනවා. අපිට කරන්න පුලුවන්. ඒත් උවමනාවක් නෑ.දියුණුවත් එක්ක පරිසරය දූෂණය වෙන එක නවත්තන්න අමාරුයි. ඒත් අඩු කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.මොනව වුනත් මම මගේ ගමට ආදරය කරනවා. මගේ ගමත් දවසින් දවස දියුණු වෙන්න ඕනේ. ඒත් අපේ ගම දියුණු වෙනකොට  ගමේ තිබුන ගමේ කම, ලස්සන නැති වෙයිද කියලා බයයි.විස්තරේ කීවට මම ගමේ නම කීවේ නෑනේ. ගමේ නම අඹේපුස්ස. ගමට නම හැදුන එක ගැනත් ලස්සන කතාවක් තියනවා. ඒක පස්සේ දවසක ලියන්නම්. එහෙනම් ගිහින් එන්නම්. සැමට ජය !!!!

4 comments:

  1. නියමයි.. ඉදිරි ලිපි කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    ReplyDelete
  2. Totally agree with u ayya...i knw it well since it z my village too...the place where i've bn living for these whole 23 yrs of ma life...of coz,it z smtime ago,i got d same feeling abt our village...having d same doubt in ma mind too,as u have mentioned in d 3rd line frm d bottm in d last paragraph... :(((

    ReplyDelete
  3. මමත් ගමයෙක්... හැබැයි වැඩි කලලයක් ජීවත් වුනේ නගරවල.. ඉතින් අන්තිම කාලේ ඉන්න කියල ගේ කෑල්ලක් හදන්න පර්ච් 40 ක් ගත්ත.. ඕක අරණ දැන් අවුරුදු දොළහක්.. ඉතින් ලස්සනට ගස් වැවිලා... වටේට ඔක්කොම වගේ ඒවගේ ගෙවල්. පර්ච් 10 කෑලි.. දැන් මට හරි වදේ.. අම්මලට කරදර කරනවා ගස් ටික කපන්න කියල නොයෙක් හේතු වලට... ගස් නිසා මදුරුවෝ එනවලු !! ඇත්ත කරනේ ඒ ගොල්ලන්ගේ මාලිගා අනුන්ට නොපෙනෙන එක... මමත් කපන්නේම නෑ.. ඒ මොකද ලංකාවට නිවාඩුවට ගියාම ඕක තමයි මගේ පොඩි උන්ගේ මහා කැලේ.. එකේ කුරුල්ලෝ පිරිලා. ඉරමුසු වල හැම තැනම.. බීල තියෙනවද ඉරමුසු ? එතකොට ඉරමුසු කැඳ ? මමත් අයය වගේ වට පිට අය දිහා බලනවා.. උන්ට ගට නෑ මට කියන්න .. අර වයසක දෙන්නව මඩවන්න හදනවා. මගේ ගේ ඉස්සරහින් කවුරුහරි ඔය වගේ ගස් හදනවා නම් ! මේ මිනිස්සුන්ට මොනවා වෙලාද ?

    ReplyDelete
  4. මිනිස්සුන්ට මොනවා වෙලාද කියලානම් මටත් හිතාගන්න බෑ. මම ලංකාවෙන් පිටවුන කාලේ තිබුන ලංකාව නෙවෙයි දැන්. ඔය පර්චස් 10 මාලිගා හදලා තියන නෝනලා එතකොට ඔය ලොකු මහත්තුරු සේරම වටේ තියන ගංගාවල ගල්, කෑලෑවල හැදෙන මල්, එතකොට විසිතුරු ගස් ඔය සේරම ගලවගෙන ඇවිල්ලා අර පර්චර්ස් 10 ඇතුලේ වවාගන්නවා ලැන්ඩ්ස්කේප් කියලා. එයාලාගේ තාප්පේ ඇතුලට විතරයි ලස්සන පරිසරයක් ඕනේ. අර ස්වාභාවික දේවල් දානවා බල්ලට. ඒ විතරක් නෙවෙයි කුණු ටිකත් විසිකරන්නේ තාප්පෙන් එලියට. තාප්පේ ඇතුලේ විතරයි පරිසරය ලස්සන කරන්නේ.
    ඉරමුසු විතරක් නෙවෙයි සහෝදරයා, පොල්පලා, රණවරා, තම්පලා මේ හැම දෙයක්ම රස බලලා තියනවා. රසට වඩා ඒ දේවල්වල තිබුන ගුණය නිසා ඒ කාලේ මිනිස්සු හරිම සෞඛ්‍ය සම්පන්නව හිටියා. ඒකට දැන්. කොහොමවුනත් ගේ කෑල්ල හදාගන්න කම් ඒ ඉඩම එහෙම තියෙනවා නම් අඩුම ගානේ පොඩි උන්ට පොඩ්ඩක් පරිසරයට සමීප වෙන්නවත් පුලුවන් වෙයි.

    ReplyDelete